ඇල්ම: කැළඹිලිකාරී භාවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම

යමෙකු වෙත ඇලී සිටීම නම් වූ කැළඹිලිකාරී භාවය මගින් අපගේ චිත්ත සාමය හා ස්වයං පාලනය අහිමි කරවයි. එ් සමගින් අපි එසේ ඇලී සිටින්නාගේ පෙනුම වැනි යහපත් ගුණාංග අතිශයෝක්තියට නංවන අතර එම පුද්ගලයා වස්තුවක් යැයි සිතමන් ඔවුන් වෙත ඇලී අත හැරීමට අකමැති තත්ත්වයකට පත්වෙයි. එසේ නමුදු, විවිධාකාර වූ භාවනා ක්‍රම මගින් අපට අපගේ ඇල්ම මැඩ පවත්වා එම පුද්ගලයා සමගින් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වාගත හැක.

අපගේ සියලු කැළඹිලිකාරී භාවයන්හි හා ආකල්පයන්හි ගැඹුරුම හේතුව ලෙස නොදැනුවත්භාවය හෙවත් මෝහය එ්වාහි මූලයෙහිම පවතී. එම නොදැනුවත්භාවය හේතුඵලවාදය - අපගේ චර්යාවෙහි ඵලය- හෝ යථාර්ථය පිළිබඳ නොදැනුවත්භාවයක් විය හැක. චර්යාත්මක හේතු ඵලවාදය පිළිබඳ නොදැනුවත්භාවය සාමාන්‍යයෙන් පාප ක්‍රියාවන්හි නිරත වීමේ හා වැරදි කර්තව්‍යයන්හි නියැළීමේ තත්ත්වයන් ඇති කරවන දෙය ලෙස විස්තර කරනු ලබයි. යථාර්ථය, අවස්ථාවන් පිළිබඳ නොදැනුවත්භාවය, කෙසේ වුවද, පාපකාරී වේවා පුණ්‍යවන්ත වේවා ඕනෑම සාංසාරික චර්යාවක පදනමෙහි පිහිටිය හැක. එබැවින්, නොදැනුවත්භාවය අපගේ කැළඹිලිකාරී භාවයන්හි හා කැළඹිලිකාරී ආකල්පයන්හි පදනමෙහි පවත්නා ආකාරය දැකීමට අවශ්‍ය වන්නේ නම්, වඩ වඩාත් අවස්ථාවන් පිළිබඳ නොදැනුවත්භාවය හා යථාර්ථය පිළිබඳ නොදැනුවත්භාවය විග්‍රහ කරමින් මෙම කරුණ විමසා බැලීමට සිදුවේ.

"යථාර්ථය" යන වදන වූකලි හාස්‍යෝත්පාදක වදනකි. එතුළ සුවිශාල ගණනාවක් වූ විවිධ අරුත් ගැබ්විය හැක. සාමාන්‍යයෙන් භාවිත වන වචනය වනුයේ "සත්‍යය" හෙවත් යමක සත්‍ය ස්වරූපය යන්නයි. ඕනෑම දෙයක් සම්බන්ධ සත්‍යයන් දෙකක් පවතී. යමක් පෙනෙන ආකාරය සම්බන්ධ සම්මුතික හෙවත් මතුපිට සත්‍යය හා එහි පැවැත්ම සම්බන්ධ ගැඹුරුම සත්‍යය වශයෙනි. සත්‍යයේ විවිධ "මට්ටම්" යන වදනින් අඟවන්නාක් මෙන් එක් සත්‍යයක් අනෙකට වඩා සත්‍ය වන බවක් මින් අදහස් නොවේ. එම සත්‍යයන් දෙකම සත්‍යම වේ. නිරපේක්ෂ යන වදන තුළින් එම වදන සම්බන්ධ වන දෙය අනෙකට වඩා සත්‍ය බවක් අඟවන බැවින් මෙකී සත්‍යයන් දෙක අතරින් දෙවැන්න සඳහා "නිරපේක්ෂ" යන  වදන යෙදීමට අකමැත්තෙමි; එ් වෙනුවට "ගැඹුරුම" යන වදන යෙදීමට වඩාත් කැමැත්තෙමි. එ් අනුව සත්‍යයන් දෙක වනුයේ යමක පැවැත්මේ මතුපිට පෙනුම හෙවත් යමක පැවැත්මේ පෙනෙන ආකාරය හා ගැඹුරුම අර්ථයෙන් එය සැබෑ ලෙස පවත්නා ආකාරයයි.

ඇල්ම යනු කවරක්ද?

කැළඹිලිකාරී භාවයන් හා සාපේක්ෂව දෙසත්‍යයන් විමසා බලමු; එවිට ඇතැම් විට එය යම් තරමකින් වඩාත් පැහැදිලි වනු ඇත. ඇල්ම හෙවත් තණ්හාව යනු කවරක්ද? එය වූකලි යම් වස්තුවක ධනාත්මක ගුණයන් අතිශයෝක්තියට නඟමින් ප්‍රධාන වර්ග දෙකකින් පෙනී සිටින්නාවූ චිත්ත ස්වභාවයයි. තණ්හාව අප සන්තකව නොපවත්නා යම් කිසිවක් ඉලක්ක කොට ඇතිවන අතර එහි භාවය නම් "මට එය අවශ්‍යමයි, එ්ක ඕනෙමයි" යන්නකි.  ඇල්ම යනු දැනටමත් අප සතුව පවත්නා යම් කිසිවක් ඉලක්ක කොට ඇතිවන්නක් වන අතර එහි භාවය වනුයේ "මම එ්ක අත හරින්න අකමැතියි" යන්නකි. මෙම දෙවර්ගයම යමක ධනාත්මක ගුණ හෝ ධනාත්මක ගුණ ලෙස අප සිතන දෙය අතිශයෝක්තියට නැගීම මත පදනම් වේ. තෙවන වර්ගය වනුයේ ලෝභයයි. එයද අප සතු යම් කිසිවක් ඉලක්ක කොට ඇතිවන අතර එයින් කිසි විටෙකුදු තෘප්තිමත් නොලබන අතර වඩ වඩාත් එය අවශ්‍ය වේ.

මෙකී සියලු විචල්‍යයන් අතරද සැබෑ යථාර්ථය හෙවත් යමක් පිළිබඳ සැබෑ සත්‍යය අපි නොදන්නෙමු. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, අපි හුදෙක් යමක ධනාත්මක ගුණ හෙවත් යහ ලක්ෂණ නොදකින නමුදු එ්වා අතිශයෝක්තියට නංවමින් එහි නොමැති යහ ගුණද එයට එක් කරන්නෙමු. මේ හා සමාන්තරවම සිදුවන දෙය ලෙස එහි පවත්නා දෝෂ හෙවත් සෘණාත්මක පැතිකඩ මෘදු බවට පත් කිරීම හෝ මුළුමනින්ම නොසළකා හැරීමද සිදු කරන්නෙමු. එ් අනුව අපි සත්‍ය වශයෙන්ම සැබෑ යහ ලක්ෂණ කවරේද යන්න පිළිබඳ නොදැනුවත්ව සිටින අතර එහි සැබෑ දුර්වල ලක්ෂණ කවරේද යන්නද නොදකිමු. එකී දෙය අප බොහෝ සෙයින් ආකර්ශනය වී ඇති හා අපූර්ව අයෙකු සේ දකින පුද්ගලයෙකු හෝ අයිස් ක්‍රීම් වැනි දෙයක් හෝ විය හැක.

අප රාගයෙන් හා ඇල්මෙන් බැඳී සිටින පුද්ගලයෙකු සම්බන්ධ තත්ත්වය සලකා බලමු. ඔවුන් කෙතරම් සුන්දර අයද හෝ අප ආකර්ශනය වන කවර හෝ යහ ගුණය කෙතරම් යහපත්ද ආදී වශයෙන් අතිශයෝක්තියකට නගන්නෙමු. ඔහු අපට කවදා හෝ හමුවූ සුන්දරම පුද්ගලයාය ඈ වශයෙන් කරුණු අතිශයෝක්තියට නඟන්නෙමු. එවිට එම පුද්ගලයාගේ දෝෂයන් නොසලකා හැරේ; ඔවුන් කරදරකාරයින්ය, හෝ ඔවුන් ආහාර ගන්නා ආකාරය හාස්‍යජනකය හෝ ඔවුන් නින්දෙන් ගොරවන්නේය ඈ වශයෙන් එම දෝෂ ලක්ෂණ පිළිබඳ එතරම් සිතීමට අපට අවශ්‍ය නොවේ. ඔවුන් සාපේක්ෂව මනා පෙනුමකින් යුත් අය විය හැකි අතර අපට ඔවුන් ඉතාමත් සුන්දර පුද්ගලයන් සේ දිස්විය හැක. එම කරුණ සත්‍යයක්ය යන්න මෙහිදී ප්‍රතික්ෂේප නොකෙරෙන නමුදු, එම ලක්ෂණය අතිශයෝක්තියට නැගීම තුළින් තණ්හාව හා ඇල්ම ඇතිවන අතර පුද්ගලයාගේ දෝෂයන් නොසලකා හැරීමේ හෝ මෘදු බවට පත් කිරීමේ පෙළඹීමක් ඇතිවේ. එකී බොළඳ ඇල්ම ක්‍රමිකව ගෙවී යන බැවින් අවසානයේ එම චිත්ත ස්වභාවය මගින් බොහෝ කරදර ඇති කරවයි. එසේ එම පුද්ගලයාගේ දෝෂ ලක්ෂණ කැපී පෙනෙන්නට වන විටදී අපගේ ආදරය, අපගේ ඇල්ම පහසුවෙන්ම සැබෑ නුරුස්නා බවක් හා කෝපයක් බවටද පත්විය හැක.

කෝපය හෝ හිරිහැරය යනු එහි විලෝමයයි. එහිදී අපි යමක හෝ යමෙකුගේ දෝෂයන් ලෙස එන සෘණාත්මක ගුණ අතිශයෝක්තියට නගමින් යහ ලක්ෂණ නොසලකා හරින්නෙමු. නිදසුනක් ලෙස, ඔවුන් සිය කාමර පිළිවෙලට තබා නොගන්නේය හෝ අපිරිසිදුව තබා ගන්නේය යන කරුණ හෝ ආහාර ගැනීමේදී නිසි අනුකූලතාවයන් නොදක්වන්නේය ඈ ලෙස වූ කරුණු මහත් කොට ගන්නෙමු. එය විශාල කොට දක්වමු; එය පමණ ඉක්මවා අතිශයෝක්තියට නංවමින් කෝපයට හෝ වියවුලට පත් වෙමු. එ් හා සමගම අදාළ පුද්ගලයන් ඉතා කාරුණිකය, ඉතා වගකීම් සහගතය, සෘජුව කටයුතු කරන්නේය ඈ ලෙස වූ යහ ලක්ෂණ නොදැකීමේ හෝ නොසලකා හැරීමේ නැඹුරුවක සිටින්නෙමු. ඉස්මතුව පෙනෙන එකම දෙය වන "එයා එයාගේ කිළිටි මේස් බිම දාල යන එක මට පෙන්නන්න බෑ" යන කරුණ මත පිහිටා කෝපයට පත් වෙමු.

ගැඹුරුම සත්‍යය

මෙම උදාහරණ මෙන්, යමෙකුගේ ධනාත්මක හා සෘණාත්මක හෝ ප්‍රබල හා දුර්වල ලක්ෂණ කවරේද ලෙස වූ සාපේක්ෂ, මතුපිට සත්‍යය සම්බන්ධ අපගේ දැනුවත්භාවය අප‌ගේ ඇල්ම හා කෝපයට පිටුපසින් පවතින්නකි. එක්කෝ අපි එ්වා නොදනිමු; නොඑසේ නම් එ්වා නොසලකා හරින්නෙමු; නොඑසේ නම් එ්වා අතිශයෝක්තියට නඟන්නෙමු; එ්ත් නොමැති නම් සාවද්‍ය ලෙස ගන්නෙමු. එනමුදු, ගැඹුරුම මට්ටමේදී අපගේ ඇල්ම හෝ කෝපය පදනමෙහි එ්වාහි පැවැත්ම හෙවත් එ්වා පිළිබඳ වූ ගැඹුරුම සත්‍යය පිළිබඳ අපගේ නොදැනුවත්භාවයද පවතී.

මෙම කරුණ ඉතා සංකීර්ණ, සියුම් මට්ටමකින් සාකච්ඡා කළ හැකි වුවද, මෙම සන්ධ්‍යාවේ අපගේ අවශ්‍යතාවය සඳහා මෙය තරමක් පහසු මට්ටමකින් සාකච්ඡා කරමු. මෙම පුද්ගලයා තමා වටා විශාල, ගණ රේඛාවක් ඇඳ ගනිමින් යම් ස්ථිතියක් ලෙස පවත්නා බවක් අපට පෙනේ. ප්ලාස්ටික් හෝ එවැන්නකින් ආවරණය කොට ඔවුන් අපට පෙනෙන ආකාරයට නිශ්චල ඡායාරූපයක ගණීභූතව අප ඉදිරියේ සිටින්නාක් මෙන් පෙනේ. ස්වයං ස්ථාපිතව, හේතු ප්‍රත්‍යයන්ගෙන්, බලපෑම් ආදියෙන් ස්වාධීනවූද, කිසි දින නොවෙනස් වන ස්ථාවර පැවැත්මක් සහිතව යම් ප්‍රබල ස්ථිතියක් වශයෙන් ඔවුන් පිළිබඳ සිතනුයේ එකී සාවද්‍ය සංකල්පය පදනම් කොට ගනිමිනි. එය ඉතා ව්‍යාකූල තත්ත්වයකි; එය සාවද්‍යය. මක් නිසාද, සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ ස්වභාවය නිතිපතා වෙනස් වන බැවිනි; ඔවුන්ගේ ශරීරය නිරන්තරයෙන් වෙනස් වන බැවිනි; ඔවුන්ගේ චිත්ත ස්වභාවය නිරන්තරයෙන් වෙනස්වන බැවිනි. එහි ප්ලාස්ටික් ආවරණයකින් වැසුණු, ස්ථාවර හා සදාකල් පවත්නා කිසිදු ගණ ස්ථිතියක් නොමැත.

"ඔබ" යම් ගණ, ස්ථිර ස්ථිතියක් සේ වරදවා වටහා ගනිමින් අපි මෙසේ සිතමු:"ඔබ නිරතුරු මෙසේ පවතී; ඔබ නිරන්තරයෙන්ම ඔබගේ මේස් බිම දමා යන්නෙකි" ඈ ලෙසිනි. මෙම සාවද්‍ය සංකල්පය හා එය යථාර්ථය හා අනුගත නොවන්නේය යන කරුණ පිළිබඳ නොදැනුවත්භාවය ඇඳේ අනික් පස සිටීමින් අපට කරදර කරන්නාවූ මෙම "දෙය" ට අදාළ සෘණාත්මක ගුණ අතිශයෝක්තියට නැගීම පදනමෙහි පවතී. ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ අපගේ නොදැනුවත්භාවය විසින් පෙනුමෙන් ගණ අපූර්ව "දෙයක්" ලෙස මෙම පුද්ගලයාගේ යහ ගුණ අතිශයෝක්තියට නැංවීම කරාද අප යොමු කරවනු ලබයි. අපගේ ව්‍යාකූලත්වය හේතුවෙන් එම පුද්ගලයා ස්පර්ශ කිරීම කෙරෙහි අපව යොමු කරවනු ලබයි. එ්වා එතරම් ආකර්ශනීය වන බැවින් අපට අපගේ අත් ඉන් ඉවත්ව තබාගත නොහැක. අප කෙතරම් ඇලී සිටින්නේද යත්, අපට එම පුද්ගලයා අත් හැරීමට හෝ ඔහුට නින්දට යාමට අවසර දීමට නොහැකියාවක් ඇත.

එ් අනුව, යමෙකු ගණ හා ස්ථිර අයෙකුය යන සිතිවිල්ල ඇති කරවන්නාවූ නොදැනුවත්භාවයේ මෙකී පැතිකඩයන් දෙකෙන් අපට මිදීමට හැක්කේ නම්, කැළඹිලිකාරී භාවයන් ඉස්මතු නොවනු ඇත. එවිට එම පුද්ගලයා නිරන්තරයෙන් වෙනස්වන බවත්, වෙනස් වීමේ ධර්මතාවයට විවෘත බවත්, ඔහු කිසි විටෙකුදු ප්ලාස්ටික් ආවරණයකින් වැසුණු යම් ගණ වස්තුවක් නොවන බවත් අවබෝධ කරගනු ඇත. එය අවබෝධ කරගත් විටදී, ප්ලාස්ටික් ආවරණයකින් වැසුණු මෙම පුද්ගලයා තුළ මෙකී යහ ගුණ කිහිපය පවත්නා බවක් සිතමින් එවැන්නක් මවා පෑම හෝ එවැන්නක් අතිශයෝක්තියට නැංවීම සිදු නොවනු ඇත. ඔවුන්ගේ සැබෑ යහ හෝ අයහ ගුණ දැකීම කෙරෙහි අප විවෘත මනසකින් කටයුතු කරනු ඇති අතර සියල්ලන් තුළම ධනාත්මක හා සෘණාත්මක ලක්ෂණ පවත්නා බව වටහාගනු ඇත. එවිට අප එ්වා අතිශයෝක්තියට නැංවීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකරනු ඇත. එම පදනමින්, අපට එ් කෙරෙහි පරිණත, කාරුණික හා ආදරණීය අයුරින්, ඉවසිලිවන්තව හා අවබෝධයෙන් සම්බන්ධ විය හැක. එතුළ ඇල්මක් හෝ පීඩාවක් නොපවතිනු ඇත.

යන්ත්‍ර ඉලක්ක කරගත් ඇල්ම හා කෝපය

ටේප් රෙකෝඩරය වැනි යන්ත්‍රයක් සම්බන්ධයෙන්ද පවත්නේ එම තත්ත්වයමය. එවැන්නකට ඇලීම හෝ එවැන්නක් කෙරෙහි කෝපයට පත්වීම පදනමෙහි පවත්නේ කවරක්ද? සියල්ලටම පළමු "මම එ් සඳහා බොහෝ මුදල් වියදම් කළෙමි"යි සිතමින් එතුළ විශාල, ගණ පැවැත්මක් නිර්මාණය කරවන අතර, එ් අනුව විශාල, ගණ රේඛාවක් එ් වටා ඇඳගත් වස්තුවක් නිර්මාණය වේ. ඉනික්බිති අපට එහි යහගුණ අතිශයෝක්තියට නැංවිය හැක. "එය දේශනා රෙකෝඩ් කිරීමට හරිම විශ්වසනීය යන්ත්‍රයක්" වශයෙනි. එ් අනුව අප එ් මත රඳා පවතින්නන් බවට පත්වේ. එ් අනුව අපි සැබැවින්ම දේශනයට සවන් දීමක් හෝ සටහන් ලියා ගැනීමක් නොකරන්නෙමු. මක් නිසාද, රෙකෝඩරය දොෂ රහිත, ස්ථිර එකක් බන බැවින් නිරතුරු එය නිවැරදිව ක්‍රියාත්මක වනු ඇති බවට වූ සිතිවිල්ල හේතුවෙනි. යම් විටෙක එය අක්‍රිය වූ විට අපි බොහෝ සෙයින් එ් කෙරෙහි කෝපයට පත් වෙමු.

කෙසේ නමුදු, එය යන්ත්‍රයක් පමණි. එය කොටස්වලින් නිර්මිත එකක් වන අතර, කොටස් ගෙවී යයි; කිසිවක් සදාකාලික නැත. එයට අපූරු ලෙස පටිගත කිරීම කළ හැකිය යන්න සත්‍යයකි. නමුත් ඇතැම් විට එය අසාර්ථක වේ. එය යන්ත්‍රයක් පමණි - බැටරි බලය අවසන් වීම ආදිය සිදුවිය හැක. එය වටහාගත හැකි නම් බැටරි බලය අවසන් වූ විටෙක අපි එතරම් කලබලයට පත් නොවෙමු. එය පරිහරණයට පෙර වගකීම් සහගත ලෙස හැසිරෙන අතර යන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න හා වියලි කෝෂ ආරෝපිතද ආදී කරුණු සහතික කරගනු පිණිස පරීක්ෂාකර බලන්නෙමු. එනමුදු, යම් විධියකින් එය ක්‍රියාත්මක නොවන්නේ නම් ඉනුදු කලබලයට පත් නොවෙමු. මෙහිදී දේශනයේ සටහන් ලියා ගනිමු: මෙම පටිගතකරණ උපකරණය මතම සම්පූර්ණයෙන් රඳා නොපවතින්නෙමු.

මෙම පටිගත කරන යන්ත්‍රය හෙවත් ටේප් රෙකෝඩරය හා විශේෂයෙන් වර්තමාන යුගයේදී නම් අපගේ පරිගණක ආදී යන්ත්‍ර විෂයයෙහි එවන් කැළඹිලිකාරී භාවයන් පවත්වාගන්නා ආකාරය පුදුමාකාරය. උපකරණය විසින් අපට අවශ්‍ය දේ නොකරන විටදී අපි බොහෝ කෝපයට පත් වෙමු. "එයටද සිතක් ඇතැ"යි අපි සිතන්නෙමු. එය හාස්‍යෝත්පාදක සිතිවිල්ලකි. "එ්ක වැඩ කරන්න ඕන"යි අපි සිතමු. එය සර්ව සම්පූර්ණ විය යුතුය. එනමුත් එය යන්ත්‍රයක් පමණක් වන අතර කොටස් එක්කොට නිම වූවකි; එයද අත් වැරදීම් නිරන්තරයෙන් සිදුවන හා දේවල් සර්ව සම්පූර්ණ ලෙස සිදු කිරීමට නොදන්නා පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද්දකි. එමගින් අප පරිගණයකයක් හෝ පටිගත කරන යන්ත්‍රයක් පාවිච්චි නොකළ යුතු බවක් අදහස් නොවේ. එය ඉතා ප්‍රයෝජනවත් විය හැකි බැවින් අපි එය පරිහරණය කරමු. එනමුත් එය හොඳින් ක්‍රියාත්මක වන්නේ නම් එයට ඇලීම නුසුදුසු වන අතර සමබර, සෞඛ්‍ය සම්පන්න ආකල්පයක් එ් කෙරෙහි පවත්වාගත යුතුය. විශේෂයෙන් යන්ත්‍රය මිල අධික එකක් නම් එය පහසු කටයුත්තක් නොවේ.

යමෙකු කෙරෙහි පවත්නා ආශාව හා ඇල්ම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තාවකාලික විධික්‍රමයක්

අපගේ කැළඹිලිකාරී භාවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බුදු දහම තුළ යොදාගන්නා විධික්‍රම මට්ටම් දෙකකි. දේවල් සම්බන්ධ සාපේක්ෂ සත්‍යය නිවැරදිව දැකීමට මූලිකව උපකාරී වන්නාවූ තාවකාලික, අන්තර්කාලීන විධික්‍රමද, කැළඹිලිකාරී භාවය යොමු වන්නාවූ වස්තුව පිළිබඳ ගැඹුරුම සත්‍යය වටහාගත යුතු වන්නාවූ ගැඹුරුම හෝ අවසන් විධික්‍රමද පවතී. ගැඹුරුම විධික්‍රම හුරු කරගනු පිණිස බොහෝ අධ්‍යයන කටයුතු හා ගැඹුරින් සිතා බැලීම් අවශ්‍ය වන නමුදු, තාවකාලික, අන්තර් කාලීන විධික්‍රම වටහා ගැනීම හා යෙදීම වඩාත් පහසු වන බැවින්, අප විසින් පළමුව පුහුණු වන්නේ හා යොදා ගනු ලබන්නේ මේවාය. මෙම තාවකාලික විධික්‍රම පිළිබඳ උදාහරණ කිහිපයක් සලකා බලමු.

සිරුර තුළ පවත්නා දේ පිළිබඳ සිතීම

යමෙකු කෙරෙහි ඇල්මක් හෝ තණ්හාවක් පවත්නේ නම් සහ විශේෂයෙන් ආලයෙන් බැඳී යමෙකුගේ සිරුරේ ආකර්ශනීයත්වයට අදාළ ගුණයන් අතිශයෝක්තියට නංවන්නේ නම් හෝ අපි අපගේම සිරුර කෙරෙහි හෝ තණ්හාවෙන් පසුවන්නේ නම්, අප භාවනා කරන අරමුණ නිරන්තරයෙන් "ශරීර පටික්කූල සංඥාව"  හෙවත් "සිරුරේ පිළිකුල්බව පිළිබඳ භාවනාව" නම් වේ. "පිළිකුල" යන වදන තුළ දැනටමත් අප යම්තාක් දුරකට ඉවතට යොමු කරවනු ලබයි. එය සුවපහසු වදනක් නොවේ. එ් අනුව "පිළිකුල" යන වදන හෝ ඇතැම් විට භාවිත වන "අපිරිසිදු බව "යන වදන පවා මෙහිදී ඉවත් කළ හැකි බව මාගේ අදහසයි. ස්වයං ඇගයීමේ මානසිකත්වයෙන් පිරී ඇති වර්තමාන ජන සමාජය තුළ මෙම වචන දෙකෙහිම එතරම් සෞඛ්‍ය සම්පන්න අර්ථයක් ගැබ්ව නොමැත. එ් වෙනුවට යම්  වස්තුවක සාපේක්ෂ සත්‍යය ලෙස මදකට පෙර අප විසින් සාකච්ඡා කළ ආකාරයේ දෘෂ්ටි කෝණයෙන් අපගේම හෝ වෙනත් අයෙකුගේ මිනිස් සිරුර දෙස බලමු.

මෙහිදී යම් පොට්ටනියක් සම්බන්ධ උපහැරණයක් භාවිත කළ හැක. පොට්ටනිය හොඳින් ආවරණය කර ඇත. මෙය පිටතින් මනාව ඔතා ඇති ත්‍යාගයක් සේ සිතමු. මේ හා සමානවම, අපගේ හෝ වෙනයම් අයෙකුගේ සිරුරද පිටතින් සමකින් ඔතා ඇති අතර, සාමාන්‍යයෙන් අප දකිනුයේ එයයි. එසේ නම් සම යනු අලංකාර ආවරණයකට සමාන දෙයකි. ත්‍යාග ආවරණයක් අලංකාර, වියදම් අධික කඩදාසි හා රිබන් පටිවලින් ආවරණය කළ හැක්කාක් මෙන්ම සිරුරද ආකර්ශනීය, මිල අධික රෙදි පිළිවලින් සරසා ආකර්ශනීය එකක් බවට පත්කළ හැක. එනමුදු, මෙම රෙදිපිළිද හුදෙක් ආවරණයන්ම වේ. ගබඩාවක පවත්නා නිෂ්පාදනයකට වැඩි අවධානයක් ආකර්ශනය කරගනු පිණිස, නිෂ්පාදකයෝ ආවරණයට මෝස්තර එක් කිරීමට හා සිත් ඇදගන්නා වෙළඳ දැන්වීම් එක් කිරීමට බොහෝ වෙහෙසෙති. මේ හා සමානව බොහෝ පුද්ගලයෝද නිරන්තරයෙන් මේකප්, විසිතුරු කොණ්ඩා මෝස්තර හා සුවඳ විලවුන්, හෝ වඩාත් ආකර්ශනීය හා අලංකෘත පච්චා, සිරුරු විදීම් ආදිය යොදමින් සිය සම වඩාත් අලංකාර කිරීමට උත්සාහ කරති.

එනමුදු, ආවරණයක් යනු හුදෙක් පිටතින් එතුම පමණක් නොවේ; එහි අන්තර්ගතයන්ද ඇත. සිරුරු ආවරණය තුළ පවත්නේ ඇට සැකිල්ල, මස් පිඩු, ඉන්ද්‍රිය ආදියයි. බඩෙහි අන්තර්ගත දේ පිටතට පැමිණි කල වමනය නමින් හැඳින්වේ. බඩවැල් තුළ මළපහ ඇති අතර මුත්‍රාශය තුළ මුත්‍රා පවතී. ධමනි හා ශිරා හරහා ගමන් ගන්නා රුධිරයද එහි පවතී. එය යථාර්ථයයි. සම නමැති ආවරණය තුළ පවත්නා දේ සම්බන්ධ සත්‍යය එයයි. අපට එය ප්‍රතික්ෂේප කළ නොහැක. බඩේ ඇති සියලු වමනයද, මුව තුළ ඇති සියලු කෙලද, නාසය තුළ ඇති සියලු සොටුද, බඩවැල් තුළ ඇති මළපහද, මුත්‍රාශය තුළ ඇති මුත්‍රාද, ශිරා හා ධමනි තුළ ඇති රුධිරයද එළියට ගෙන එම සම වෙන්කොට ගතහොත්, තවදුරටත් එය අප ආශා කළ දෙය නොවනු ඇත. අදරැති අයෙකු සම්බන්ධ යථාර්ථය වනුයේ ඔහු හෝ ඇය ඉහත කී සමස්ත පොට්ටනියක් බවයි. අපට අප ආදරය කරන අයගේ සම පමණක් කපු හෝ එවැනි පිළියකින් ගවසා ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයකින් ගන්නා දෙයක් සේ ගැනීමට අවශ්‍ය නොවේ. අපට එම පුද්ගලයාම සජීවිව අවශ්‍යය. එ් අනුව, අප කැමති වුවද, නොවුවද, එම සමස්ත පොට්ටනිය තුළ පවත්නා දේ සම්බන්ධ යථාර්ථය මෙයයි.

එ් අනුව මෙම කරුණ බොහෝ සිත් ගන්නා සුළු එකක් වේ. මෙහි ආකර්ශනීය වනුයේ කවරක්ද, හා අප්‍රසන්න වනුයේ කවරක්ද? පිරිසිදු වනුයේ කවරක්ද, හා අපවිත්‍ර වනුයේ කවරක්ද? යමෙකුට මෙම සම ආකර්ශනීය එකක් හා ඇට සැකිල්ල අවලස්සන එකක් විය හැකි නමුත්, ඇට සැකිල්ලේ අවලස්සන යනු කවරක්ද? එය හුදෙක් ඇට සැකිල්ලකි. රෝහලක ශල්‍ය කර්මයක් අතරතුර සිරුර තුළ පවත්නා සියලු දේ දුටුවහොත්, එහි අවලස්සන හා පිළිකුල් සහගත දෙය කවරක්ද? එය වූකලි අපගේ ආකල්පය පමණක් නොවේද? සත්‍ය වශයෙන්ම එම ශල්‍ය කර්මය සිදු කරන වෛද්‍යවරු එය අවලස්සන හා පිළිකුල් සහගත දෙයක් සේ නොදකිති.  එය හුදෙක්ම සිරුරු අභ්‍යන්තරයේ ස්වභාවයයි.

ආකර්ශනීයත්වය බඳු යහගුණ අතිශයෝක්තියට නැගීමෙන් වැළකීම

මෙහිදී ගතයුතු අදහස නම් යහ ගුණ අතිශයෝක්තියට නොනැගිය යුතු බව හා යහ ගුණ පවා සාපේක්ෂ හා විෂය මූලික එ්වා බව අවබෝධ කරගැනීමයි. නිදසුනක් ලෙස, මා හට ඉතා ආකර්ශනීය අය ලෙස දැනෙන දෙය කිසි සේත් ඔබට ආකර්ශනීය දෙයක් නොවන්නට පිළිවන. මා හට අවලස්සන අයෙකු ඔබට ඉතා ආකර්ශනීය අයෙකු විය හැක. එය වූකලි මුළුමනින්ම මනෝ මූලික වූවකි. එ් අනුව පුද්ගලයාගේ සම හා සිරුරේ හැඩය ඉතා ආකර්ශනීය එකක් බව වැටහෙන්නේ නම්,එය අපට ආකර්ශනීය එකක් වීමේ කිසිදු වරදක් නොමැත. මෙහිදී සිතට ගත යුතු කරුණ නම් එය අතිශයෝක්තියට නොනැගිය යුතු බවයි. එම පුද්ගලයා දැකීම අපගේ සතුටට හේතුවන්නේය යන කරුණ තුළ කිසිදු වරදක් නොපවතී. ඔවුන්ගේ පෙනුමට අප කැමැත්තක් දක්වමු; ඔවුන් දැකීම අපට සතුට දනවන්නකි. කරදරය ඇති වන්නේ එම තත්ත්වය අතිශයෝක්තියට නංවමින් "මට එ් සිරුර නිරන්තරයෙන්ම ස්පර්ශ කරන්නට අවශ්‍යයි; එය දකින වාරයක් පාසා සිඹින්නට අවශ්‍යයි; එය නිරතුරු මා අසලින් තබා ගන්නට අවශ්‍යයි" යන හැඟීමක් ඇතිකර ගැනීමයි. ගැටලුව පවත්නේ එතැනයි. අන් සියල්ලන්ද මෙම පුද්ගලයා දෙස ආශාවෙන් බලන්නේ නම් අපි වියවුලට පත් වෙමු: " මේ පුද්ගලයා හා ඔහුගේ සිරුර මාගේය" ලෙසය. මාර්ගයේ ඇවිද යන විට අපට බොහෝ ප්‍රසන්න පුද්ගලයන් හමු වේ. "මට මේ පුද්ගලයා ස්පර්ශ කරන්නට පුළුවන් නම්, එයත් එක්ක මේ වගේ, එ් වගේ හැසිරෙන්න පුළුවන් නම්" ඈ ලෙස බලහත්කාරී සිතිවිලි පැන නගින විටදීය එය කැළඹිලිකාරී සිතිවිල්ලක් බවට පෙරළෙනුයේ. එමගින් අප භාවමය වශයෙන් අතිශය කැළඹිල්ලකට පත් කරනු ලබයි.

පුද්ගලයාගේ පෙනුම නමැති පිටත ආවරණය අතිශයෝක්තියට නංවන්නට යන්නේ නම්, එක්ස්-රේ දර්ශනයක් වැනි දෘෂ්ටියක් ගොඩනගා ගනිමින් පුද්ගලයාගේ ඇට සැකිල්ල සිතින් මවා ගැනීම බොහෝ ප්‍රයෝජනවත් වේ. ඇටසැකිල්ලක පෙනුම කවරක්ද යන්න දන්නේ නම් එම කාර්යය සිදු කිරීම එතරම් දුෂ්කර නොවේ. එය කාය ව්‍යච්ඡේද විද්‍යා පාඩමක් නොවේ. එය සර්ව සම්පූර්ණ විය යුතුද නොවේ. එනමුදු, මුහුණේ හා හිසේ සමට යටින් පවත්නා හිස් කබල අපට සිතින් මවාගත හැක. එමගින් සිත සන්සුන් කරගැනීමට හැකිවනු ඇත. යමෙකුගේ කුස අතගාමින් "කොච්චර අපූරුද මේක"යි සිතන්නේ නම්, එම සමට සෙන්ටි මීටර තුනක් හෝ හතරක් පහළට අත යවන්නට හැකි වුවහොත් හසු වන්නේ කවරක්ද යන්න පිළිබඳ යම් තරමකින් සිතා බලන්න. එහිදී අප පිළිකුලක් උපදවාගත යුතු බවක් ඉන් අදහස් නොවේ. ඉන් හුදෙක් අදහස් වන්නේ යමෙකුගේ සිරුර අතගෑමෙන් උපදින කිසිදු සතුටක් මහා සුවිසල් දෙයක් සේ නොගත යුතු බවයි. මෙම විධික්‍රම යොදාගැනීම තුළ වැඩි භාවමය සමතුලිතභාවයක් ඇති කරගත හැක.

පෙරදී සඳහන් කළ මෙම විධික්‍රම හුදෙක් තාවකාලික එ්වා වේ; එ්වා මගින් අප තණ්හාවෙන් හා ඇල්මෙන් මුදවාලීමක් සිදු නොවේ. එනමුදු, තාවකාලිකව, ඇතැම් අවස්ථාවන්හි එ්වා ඉස්මතුවන විටදී එමගින් මෙම කැළඹිලිකාරී භාවයන් තරමක් දුරට සංසිඳවනු ලැබේ. සැබැවින්ම එ්වායින් මිදෙනු පිණිස, අප විසින් පුද්ගලයෙකුගේ සැබෑ පැවැත්ම වටහා ගනිමින් එම පුද්ගලයා තුළින් "දෙයක්" නිර්මාණය කර නොගැනීමට ප්‍රවේශම් විය යුතුය. එනමුදු මෙම කාර්යය ඉතා දුෂ්කර හා උසස් මට්ටමේ එකක් වේ. එබැවින්, පළමුව මෙම තාවකාලික, අන්තර්කාලීන විධික්‍රම යොදා ගන්නෙමු. එසේ සිදු කිරීමට හැකිවනු පිණිස ඇහුම්කන් දීමේ, සිතීමේ හා මෙනෙහි කිරීමේ ත්‍රිවිධ පියවර ක්‍රියාවලියක් අවශ්‍ය වේ.

ක්‍රමයට සවන් දෙමින් එ් පිළිබඳ සිතීම

පළමුව එම ක්‍රමය කවරක් වනු ඇත්ද යන්නට සවන් දිය යුතුය. යමෙකුගේ සිරුර හෝ පෙනුම හේතුකොට අපි යමෙකු කෙරෙහි බැඳී, ඇලී සිටින්නේ නම්, ඇට සැකිල්ල හා කුස ඇතුළත පවත්නා දේ වැනි සමට පහළින් පවත්නා දේ පිළිබඳවද දැනුවත් වීම එම ක්‍රමයයි. මෙම ක්‍රමය පිළිබඳව ඇසීමෙන් අනතුරුව එය වටහා ගනිමින් අපට එම පොට්ටනියේ වැස්ම පමණක් නොව පොට්ටනිය තුළ පවත්නා අන්තර්ගතය පිළිබඳවද දැනුවත්ව සිටිය හැක්කේ නම්, මෙම පුද්ගලයා කෙරෙහි තණ්හාවෙන් හා බැඳීමෙන් එතරම් කැළඹිල්ලකට පත් නොවනු ඇත යන කරුණ එ්ත්තු ගනු පිණිස එ් පිළිබඳ සිතිය යුතුවේ. මෙම පුද්ගලයා සම්බන්ධ ගැටලු අවම වනු ඇති අතර අපගේම භාවමය ප්‍රතිරූපය තුළ පවත්නා ගැටළුද අවම වනු ඇත.

සිද්ධාන්ත සතරක් යොදා ගැනීම

අප ශ්‍රවණය කළ මෙම කරුණු පිළිබඳ සිතා බලනු පිණිස "සිව් සිද්ධාන්ත" ලෙස හැඳින්වෙන විෂයගත දෘෂ්ටි කෝණයෙන් එ්වා විමසා බැලිය යුතුය. මේවා වූකලි යම් දෙයක් එ්ත්තු ගැනීමෙ ක්‍රම සතරකි.

හේතු යුක්ති සලකා බැලීම මගින් තහවුරු කරගැනීමේ සිද්ධාන්තය

පළමු සිද්ධාන්තයේදී, දේශනා යුක්ති සහගත හා තාර්කික වන්නේ ද යන්න විමසනු පිණිස පරීක්ෂාකර බලන්නෙමු. මෙහිදී පුද්ගලයන් යනු ඔවුන්ගේ සම පමණක් නොවන්නේය යන කරුණ පැහැදිලිය. එය අප විසින් ඔප්පු කළ යුත්තක් නොවේ. එනමුදු, මෙම කරුණ තර්ක ශාස්ත්‍රානුකූලව ස්ථාපනය කරන්නේ නම්, සමින් පිරි හිස් බෑගයකට එතුළ ඇට සැකිල්ලක් නොමැත්තේ නම් නැගී සිටිය නොහැකි බව පෙන්වා දිය හැක. ආහාර ගන්නේ නම්, අපගේ සිරුරු හා බඩවැල් තුළ යම් කිසිවක් පැවතිය යුතුය. එ් අනුව, සම ඇතුළතද යමක් පැවතිය යුතුවන බැවින් පුද්ගලයෙකුගේ සිරුර යනු හුදෙක් සම පමණක් නොවන්නේය යන්න මුළුමනින්ම තාර්කික අදහසකි.

ක්‍රියාකාරිත්වය පිළිබඳ සිද්ධාන්තය

ඉන්පසු යම් දේශනාවක් ඉන් අපේක්ෂිත ප්‍රතිඵලය ඇති කරනු පිණිස ක්‍රියාත්මකවන ආකාරය පරීක්ෂා කරමු. නිදසුනක් ලෙස, මෙම පුද්ගලයාගේ සිරුර පිටත හා ඇතුළත පවත්නා දෙය පිළිබඳ සමාන දැනුවත්භාවයකින් පසු වන්නේ නම්, එම වැටහීම හේතුකොට ඉන් එක් පාර්ශ්වයක් අතිශයෝක්තියට නංවමින් අනෙක් පාර්ශ්වය නොසලකා හැරීමේ පෙළඹීමක් ඇති නොවනු ඇත.

යමෙකු බොහෝ සෙයින් ප්‍රිය මනාප හා ආකර්ශනීය නම්, ඔහුගේ සම පමණක් එතරම් ආකර්ශනීය බව සිතන්නේ මන්ද යන තර්කන පදනම මත කරුණු විශ්ලේෂණය කළ හැක. ඔහුගේ කුස තුළ පවත්නා වමනයද ආකර්ශනීය සේ නොපෙනෙන්නේ මන්ද? පැහැදිලිවම අපට එසේ නොහැඟේ. එ් අනුව, සිරුරේ ඇතුළත හා පිටත නම්වූ පැතිකඩයන් දෙක පිළිබඳ දැනුවත්භාවය මගින් එකී පිටත පෙනුම ඉතා ආකර්ශනීය ලෙස දැකීමේ හැකියාව වැළැක්වීමක් හෝ එහි පවත්නා ආකර්ශනීයත්වය භුක්ති විඳීමේ වරප්‍රසාදය විනාශ කරලීමක් සිදු නොවේ. එමගින් අප භුක්ති විඳින අරමුණට සාපේක්ෂකත්ව දෘෂ්ටියක් ලබාදෙනු ලබයි. මෙම පුද්ගලයාගේ සිරුර පිටතින් ආකර්ශනීය විය හැකි නමුත්, ඇතුළතද යමක් පවත්නා අතර මෙය සියල්ලන් කෙරෙහි සාධාරණ තත්ත්වයකි.

බොහෝ විට සිදුවන්නේ අප එම කරුණු විශ්වාස කිරීමට අකමැති වීම වන බැවින් මෙම කරුණු පිළිබඳව සිතමින් එ්වා එ්ත්තු ගැනීමට උත්සාහ කරමින් මෙම කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා සිත් ගන්නා සුළු දෙයකි. මෙම පුද්ගලයාගේ කුස තුළ හා බඩවැල් තුළ පවත්නා දේ පිළිබඳ සිතීමට භාවමය බාධකයක් පවතී. කෙසේ වුවද, යථාර්ථය මෙයයි; සත්‍යය මෙයයි. තිබ්බතීයයෝ ඉතා රූපමය වූද, නිර්මාණාත්මක වූද රූපවලට ඇලුම් කරති. ඔවුනට අනුව, විශාල මළපහ කන්දරාවක් ඇතැයි සිතමු. එම මළපහ තොගයෙන් නිරුවත් සිරුරක පිළිමයක් නෙළා එහි සමේ පැහැයද මතුපිටින් ආලේප කළේ යැයි සිතමු. එය කෙතරම් අලංකාරවත්ව නිර්මාණය කළද, එය මළපහ කන්දරාවක්ම වනු ඇත.

යමෙකුගේ සිරුරේ බාහිර හා අභ්‍යන්තරය පිළිබඳවද දැනුවත්ව සිටින්නේ නම්, එමගින් එකී සිරුර සම්බන්ධ තණ්හාවක් හා ඇල්මක් ඇතිකර නොගැනීමේ කර්තව්‍යය ඉටු කරන්නේය යන ක්‍රියාකාරිත්වයක්ද මෙම වැටහීම තුළ ඇත. මක් නිසාද මෙහිදී මවිසින් එක් පාර්ශ්වයක් ප්‍රතික්ෂේප කරමින් අනෙක අතිශයෝක්තියට නැංවීමක් සිදු නොකරන බැවිනි. එ් අනුව, මෙම වැටහීම ලාමක ආලය හා අනුගත නොවේ. මෙම වැටහීම අනුගත වනුයේ ඕනෑම සිරුරක් වයස්ගත වනවිට එයට සිදුවන දේ කෙරෙහි ඉවසීමක්ද සහිත වූ අවංක ආදරයක් සහිත ආකල්පයකින් ස්ථිර, දිගු කාලීන බැඳීමක් එම පුද්ගලයා වෙත තබාගැනීම කෙරෙහිය. ඔවුන්ගේ වර්තමාන රූ සපුව අතිශයෝක්තියට නංවන්නේ නම්, ඔවුන් වයස්ගත වන්නට පටන් ගත් විට, රෝගී වන විට හා එම රූ සපුව වියැකී යන විටදී වඩාත් ආකර්ශනීය තවෙකෙකු සොයා යනු ඇත. ඇතුළත හා පිටත යන දෙ අංශයම වෙනස් වන්නේය යන යථාර්ථය වටහා ගනිමින් එය පිළිගන්නේ නම්, අදාළ පුද්ගලයා සමගින් ස්ථාවර, ප්‍රේමණීය සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට එම අන්තර් ඥාණය යෝග්‍ය වනු ඇත.

දේවල ස්වභාවය සම්බන්ධ සිද්ධාන්තය

යම් පුද්ගලයන් බාහිර රූ සොබාවෙන් යුක්ත වුවද, ඇතුළත ඇට සැකිලි, මළපහ හා වමනය සහිත අය වනුයේ මන්ද? එය දේවල්හි ස්වභාවයයි; අප සත්ත්වයන් වන අතර, සිරුර සමන්විත වනුයේ එ්වායිනි. එය යථාර්ථයය යන කරුණ පිළිගැනීම හැර විකල්පයක් අපට නොමැත. සිරුර ක්‍රියාත්මක වනුයේ එසේය.

රඳා පැවැත්ම පිළිබඳ සිද්ධාන්තය

අවසන, මෙම චිත්ත ස්වභාවය සන්තක කරගනු පිණිස එකී චිත්ත ස්වභාවය, වැටහීම ගොඩනගා ගැනීම කවරක් මත රඳා පවත්නේද යන කරුණ පරීක්ෂා කරමු. ඉතාමත් වැදගත් කරුණ වන්නේ, අපට ස්වයං විනයක් අවශ්‍යය යන්නයි. පුද්ගලයා දකින විටදී, ඔහුගේ සිරුර පුරා අතපත ගෑමේ පෙළඹීම පාලනය කරගත යුතුය. මදකට පසෙක සිට විශ්ලේෂණය හා අන්තරාවේක්ෂණය ක්‍රියාත්මක කළ යුතුය. මෙම ස්වයං පාලනය මගින් කරුණු වඩාත් පැහැදිලිව හා ගැඹුරින් වටහා ගැනීමේ හැකියාව අප වෙත ලබාදෙනු ඇත.

තවද, එය සිදු කිරීමේ හා එ්වා හසුරුවාගත නොහැකි වන තරමට අදාළ පුද්ගලයා විසින් අප පිළිකුලට ලක් කරනු ඇත්තේය යන බිය ඇතිකර නොගැනීමේ කැමැත්තක් පැවතිය යුතුය. මෙම විධික්‍රමය නිසි පරිදි යොදා ගැනීම යන්න මෙකී සියලු සාධක මත රඳා පවතී. අප මෙම ප්‍රගතිය වටහා ගතහොත් සූදානම් විය යුත්තේ කවරාකාරවද යන්න අපට වැටහේ.

භාවනාව

ඉගැන්වීම වටහා ගනිමින් එය ගොඩනගා ගැනීම ප්‍රයෝජනවත් වන අතර එ් වූකලි අප විසින් ගොඩනගා ගත යුතු දෙයක්ය යන්න එ්ත්තු ගැනීම නම්වූ මෙකී සිතිවිලි ක්‍රියාවලිය ඔස්සේ ගමන් කළ පසු, එ් සම්බන්ධ "භාවනාවේ යෙදීම" නම් වූ කාර්යයට පිවිසෙන්නෙමු. භාවනාව යනු අප විසින් වටහාගත් ඉගැන්වීම් අපගේ ජීවිත තුළට එ්කාබද්ධ කරගනිමින් එ්වා එ්ත්තු ගැනීමේ විධික්‍රමයකි. එ් මගින් අපට සිදු කිරීමට උපදෙස් දෙන්නාවූ දෙය හා අනුගතව නැවත නැවතද සිතීම හා ක්‍රියා කිරීම මගින් ප්‍රයෝජනවත් පුරුද්දක් ලෙස එය ගොඩනගා ගැනීම මගින් එය එ්කාබද්ධ කරගන්නෙමු.

මෙය වූකලි දෙ-අංගික ක්‍රියාවලියකි. පළමුව "විශ්ලේෂණාත්මක භාවනාව" ලෙසද ඇතැම් විට හැඳින්වෙන විනිවිද දැක්මේ භාවනාවෙහි නියැළෙන්නෙමු. පාලිත තත්ත්වයක හෙවත් අප ඉදිරියේ අදාළ පුද්ගලයා නොමැතිව හුදෙකලාව හිඳ සිටිමින් පෙනුම කෙරෙහි තණ්හාවක් ඇතිකර ගනිමින් ඈ ලෙස අප ඇලුම් කරන පුද්ගලයා සම්බන්ධ භාවනා කාර්යය සිදු කරන්නෙමු. අදාළ පුද්ගලයාගේ රූපයක් සහිතව හෝ හුදෙක් ඔහු පිළිබඳ සිතින් මවාගනිමින් එම කාර්යය සිදු කරන අතර, "ඔව්, ඔහුට ඇට සැකිල්ලක් ඇත, ඔව් ඔහුගේද  කුස තුළ යම් කිසිවක් ඇත" යනුවෙන් වූ විමර්ශන කාර්යය සිදුකළ හැක. ඔහුගේ සිරුර විනිවිද පෙනෙන්නක් බව සිතා ගනිමින් එම සමට ඇතුළතින් පවත්නා ඔහුගේ ඇට සැකිල්ල, කුස තුළ පවත්නා දේ ආදිය සිතින් මවා ගනිමින් ඔහුගේ සිරුර තුළ එ්වා පවත්නා බවට විනිවිද දැකිය හැක. එය එක්ස්-කිරණ දර්ශනයක් ඉදිරිපිට තබාගැනීමක් මෙන් වන නමුත් එහිදී සැබැවින්ම ප්‍රියමනාප විය හැකි වූ එම පුද්ගලයාගේ බාහිර දර්ශනය කෙරෙහි වූ දැක්මද ගිලිහී යාමට ඉඩ නොදෙමින් කාර්යය සිදු කරනු ලබයි. සිරුර තුළ පවත්නා දේ දැකීම තුළ බාහිරින් පවත්නා සම්මුතික රූ සපුව අවලංගු කර දැමීමක් සිදු නොකරයි.

අවධානය යොමු කරනු ලබන පුද්ගලයාගේ සිරුර කරා අපගේ චිත්ත ශක්තිය යොමු කෙරෙන මෙකී විනිවිද දැකීමේ භාවනාව යම් කාලයක් සිදුකළ පසු අපි ස්ථායිකරණ භාවනාව කරා යොමු වන්නෙමු. සත්‍ය වශයෙන්ම විනිවිද දුටු දේ ඇතුළතට ගිලී යාමට ඉඩ හරින අතරතුර මෙම දෙවන අදියරයේදී අපගේ චිත්ත ශක්තිය වඩාත් ඇතුළතට යොමු කරවනු ලබයි. "ඔව්, මෙයයි යථාර්ථය; මෙයයි පිටත සිට ඇතුළතට විහිදෙන මේ පුද්ගලයාගේ සිරුරේ සත්‍ය තත්ත්වය. ඔව්, මෙය සත්‍යයි" යන්න සැබෑ ලෙස දැනීමට උත්සාහ කරමු. අදාළ පුද්ගලයා ඔහුගේ සිරුරද සමගින් සුවිශේෂීව හඳුනා ගත්තේ නම්, එම පුද්ගලයා හට සිතක්, භාවයන් ආදියද පවත්නා බව සිහිපත් කරගමු. එනමුදු එය භාවනාව සම්බන්ධ වෙනත් මාතෘකාවකි.

එදිනෙදා ජීවිතයේදී මෙම ක්‍රමය යොදා ගැනීම

තණ්හාව හා ඇල්ම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ මෙම ක්‍රමය හුරු කරගත් පසු, එය පුරුද්දක් ලෙස ජීරණය වීමට පටන්ගත් පසු, මෙම විධික්‍රම සැබෑ, සත්‍ය ජීවිත අවස්ථාවනට අදාළ කරගැනීමට පටන් ගන්නෙමු. එනම්, මෙකී ඇල්ම නම්වූ දැඩි හැඟීම හෙවත් අදාළ පුද්ගලයාගේ සිරුර ස්පර්ශ කිරීමේ දැඩි තණ්හාවක් ඇතිවන විටදී එම විධික්‍රම ක්‍රියාවේ යොදවන්නෙමු. අපගේ පෙළඹුම් කාරකයන් පරීක්ෂා කිරීමේදී අපට ඔහු ස්පර්ශ කිරීමට අවශ්‍ය වන්නේ ඔහුට යම් සුව පහසුවක් අවශ්‍ය බැවින් හෝ යම් සම්බාහනයක් ඔහු අපේක්ෂා කරන නිසා හෝ නොව අපගේ ඇල්ම හේතුකොට ඔහු ස්පර්ශ කිරීමේ අපගේම කැමැත්ත හේතුවෙන්ය යන කරුණ අවබෝධ කරගන්නෙමු. එම අවස්ථාවේදී, භාවනාවේදී පුහුණු වූ පරිදි එම පුද්ගලයාගේ සිරුර සැබෑ ලෙස විනිවිද දැකීම ක්‍රියාත්මක කරන්නෙමු. ඇට සැකිල්ලක් පැවතීම හා කුස තුළ වමනය පැවතීම එ්වාහි සැබෑ ස්වරූපය වන බව පැහැදිලිව දකිමින් මෙය සත්‍ය කරුණක්ය යන හැඟීම ඇතිකර ගැනීමට උත්සාහ කරන්නෙමු.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම අවස්ථාවේදී සුදුසු හා නුසුදුසු දේ දැකීමේ හැකියාවන් ලබාදෙන සුලු වැඩි පැහැදිලිභාවයක් අප තුළ පවත්නා බව අත් විඳින්නෙමු. එසේ වුවද, මෙහිදී තවදුරටත් හුදෙක් තාවකාලික, කෙටි කාලීන විධික්‍රමයක් පමණක් අනුගමනය කරන්නෙමු. එ් අනුව, අදාළ පුද්ගලයා ස්පර්ශ කරන්නට, අත අල්ලා ගන්නට හෝ එ් ආකාරයේ දෙයක් සම්බන්ධ හැඟීම තවදුරටත් පැවතියද, එය සිදු කරන්නේ අපට යහපතක් සිදුකරගැනීම සඳහාම පමණක් බව අවබෝධ කරගන්නෙමු. එනම්, අදාළ පුද්ගලයා හට සිය පාර්ශ්වයෙන් එවැන්නක් අවශ්‍ය නැත. එනමුදු මෙම මෙනෙහි කිරීම එම අවස්ථාවේදී යොදා ගැනීම තුළ අප විසින් අප සිදුකරන දෙය අතිශයෝක්තියට නැගීමෙන් වළකින්නෙමු. එමගින් අනෙක් පුද්ගලයා හට සුව පහසුවක් ඇති කෙරෙන්නේද, එවැන්නක් සිදු කිරීම අනෙක් පුද්ගලයාගේ පාර්ශ්වයෙන් යහපත් දෙයක්ද යන කරුණු පිරික්සා බැලීමටද එමගින් අවකාශ සලසනු ලබයි. එය ගැටලුවක් නොවේ නම්, ඔවුන් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිනු සඳහා ස්වයං පාලනයක් පවත්වා ගැනීමට අපට වඩාත් හොඳින් හැකියාව ලැබෙනු ඇත.

අවසන, මෙකී සමබර, කාරුණික අයුරින් කටයුතු කිරීම ස්වභාවික හා ස්වයං සිද්ධ ක්‍රියාවක් බවට පත්වනු ඇත: අතිශයෝක්තියට නැංවීමෙන්, ඇලී සිටීම ආදියෙන්ද වැළකී සිටිමු. එහි ප්‍රතිඵලයක් ලෙස අනෙක් පුද්ගලයා තුළ අප කෙරෙහි කිසියම් වූ හෝ සංවේදිතාවයක් පවත්නේ නම් ඔහුට එය හැඟෙනු ඇත. මක් නිසාද, අපගේ අනාරක්ෂිත හා හුදෙකලාබව හේතුකොට ගෙනම අපි ඔවුන්ගේ අත අල්ලාගෙන සිටින්නේ නම්, හා එසේ අනෙකාගේ අත අල්ලාගෙන සිටීමෙන් අපගේ තත්ත්වය යහපත් වනු ඇති බවක් සිතන්නේ නම්, හා එමගින් අපගේ ගැටලු විසඳෙනු ඇත්තේ යැයි සිතන්නේ නම්, එවිට අප පිළිබඳ මෙම කැළඹිලිකාරී කම්පනය හා ඇලීම පවතින බැවිනි. එය අනෙකාට සුව පහසු දෙයක් නොවේ. යම් කිසි මට්ටමක සංවේදිතාවයක් පවත්නේ නම් අනෙක් පුද්ගලයා හට එය දැනේ. ශාරීරික ස්පර්ශයේ පවත්නා සුවය අතිශයෝක්තියට නොනංවන්නේ නම්, "හොඳයි, දැන් යම් කිසිවෙකුගේ අත අල්ලාගෙන ඉන්නවා; ස්පර්ශය දැනීම මිහිරියි; මං දන්නවා මේ අත ඇතුළෙ තියෙන්න ඇටකටු ආදියයි" යන හැඟීම ඇතිවේ. එ් අනුව, ඇතිවන හැඟීම "ෂා, නියමයි. හරිම සුන්දරයි" පන්නයේ එකක් නොවේ. එ් වෙනුවට, "එ්ක මිහිරියි වගේම එමගින් මට යම් සුව පහසුවක් දැනුනත් එමගින් මාගේ සියලු ප්‍රශ්න නොවිසඳේ" යන අවබෝධය ඇතිවිය යුතු අතර, එ් අනුව එ් පිළිබඳ ඉහිල්, සුව පහසු ස්වභාවයක් දැනේ. එය ස්වායත්ථව සිදුවන, ස්වභාවික දෙයක් වන අතර, අනෙකා එය කෘත්‍රිම දෙයක් ලෙස හඳුනා නොගනී; ඔවුනටද එමගින් වැඩි සුව පහසුවක් දැනේ. එයයි අප ඉලක්ක කරන දෙය. "කිසිවෙකු හෝ ස්පර්ශ නොකරන්න, මක් නිසාද සියලු දෙනාම හුදෙක් මළපහ මලු පමණක් වන බැවිනි" යන අරමුණක් අප තුළ නොවේ. මෙහි ඉලක්කය වනුයේ සැබෑ ලෙසම අනෙකාගේ ප්‍රයෝජනය පිණිස කටයුතු කිරීමට හැකිවනු පිණිස යම් සමතුලිතයක් පවත්වාගෙන යාමයි. 

ශාන්තිදේවයන්ගේ බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ කෘතීන්හි මෙවන් විධික්‍රම පිළිබඳව කියවන විටදී, මෙම මාතෘකාව ශාන්තිදේවයන් ආදීන් විසින් සාකච්ඡා කරනු ලබන සන්දර්භය පිළිබඳ වැටහීමක් පැවතිය යුතුය. එය වූකලි චිත්ත ස්ථාවරත්වය හා එකඟතාවය ලබාගැනීමේ සන්දර්භයයි. භාවනාව තුළ පවත්නා බරපතලම අවධානය වෙනතක හරවනු ලබන එක්තරා කරුණක් වනුයේ අප තණ්හාවෙන් හා ඇලීමෙන් සිටින්නාවූ පුද්ගලයෙකු පිළිබඳව නිරතුරුවම සිතීමයි. එය බොහෝ සෙයින් සිත වෙනතක හරවන සුළු කරුණකි. එ් අනුව ඕනෑම භාවනා පිළිවෙත් පූරණයකදී සිතේ ස්ථාවරත්වය හා එකඟතාවය ලබාගැනීමට හැකිවනු පිණිස එවන් ඇල්මක් අප තුළ පවත්නා පුද්ගලයා සමගින් නොසිටින අවස්ථාවන්හිදී පවා මෙම ක්‍රමය යොදාගත යුතුවේ. එය වූකලි මෙම විධික්‍රමයන් බෞද්ධ පාඨ ග්‍රන්ථ තුළ විස්තර කරනු ලැබ ඇති සන්දර්භයයි.

එසේ නමුදු, අප විසින් භාවනා කරමින් සිතේ සමාධිය ලබාගැනීම සඳහා උත්සාහ කරන අවස්ථාවන්ගෙන් පරිබාහිරවද පැහැදිලිවම මෙම විධික්‍රම බොහෝ සෙයින් යොදාගත හැක. අන්‍යයන් සමගින් වූ අපගේ එදිනෙදා සම්බන්ධතාවයන් කෙරෙහිද එ්වා බොහෝ සෙයින් යොදාගත හැක. එ් අනුව පාඨ ග්‍රන්ථ තුළ තණ්හාව හා ඇල්ම සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස වූ මෙම විධික්‍රම පිළිබඳව කියවා බලන විටදී, සිත එකඟ කරගැනීම පිණිස සිදු කරනු ලබන භාවනාවන්හිදී සිත විසිර යාමට එරෙහිව ක්‍රියාත්මකවන බලවේග වශයෙන් පමණක් යොදාගැනීමට වඩා එ්වා යොදාගැනීම සඳහා වැදගත් වන වඩා පුළුල් සන්දර්භයක් පිළිබඳව අවධානය යොමුකළ යුතුව පවතී.

කෝපය, ඊර්ෂ්‍යාව ආදී සෙසු කැළඹිලිකාරී භාවයනට එරෙහිව කටයුතු කරනු පිණිස වු විවිධ විධික්‍රම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයන් හා කරුණු ඉදිරිපත් කිරීම්ද එම පාඨ ග්‍රන්ථ තුළ අන්තර්ගත වන නමුත් මෙහිදී එ්වා පිළිබඳ විස්තර කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැත. යමෙකුගේ පෙනුම මත පදනම්ව ඔහු පිළිබඳ ඇල්මක් හා තණ්හාවක් ඇතිවූ විට එ් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ මෙම නිදසුන මගින් අදාළ වන විධික්‍රමය පිළිබඳ මනා අදහසක් ලබාදෙන්නේය යන්න මාගේ අදහසයි.

අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීම

වඩාත් ගැඹුරින් කරුණු විමසා බලන්නේ නම්, යමෙකු කෙරෙහි වූ අපගේ ඇල්ම හා තණ්හාව පදනමෙහි අපගේ අනාරක්ෂිත හැඟීම පවත්නා බව අවබෝධ වේ. ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා ඇල්ම හේතුකොට මෙම පුද්ගලයා සමග පවත්වාගන්නා සම්බන්ධතාවය තුළ එය සොයාගැනීමට අපේක්ෂා කරන්නෙමු. ගැඹුරුම කැළඹිලිකාරී භාවයක් වන අනාරක්ෂිත බව බිය, හුදෙකලාව ආදිය මගින් පෝෂණය වේ. ඉන් මිදෙන්නේ කෙසේද?

මේ සඳහා ප්ලාස්ටික් ආවරණයකින් ආවරණය වූ, සියල්ලෙන් හා සියල්ලන්ගෙන් වෙන්වූ හා ආරක්ෂිත බවට පත්කළ හැකි දැඩි "මමෙකු" නොමැත්තේය යන "මා" පිළිබඳ ගැඹුරුම යථාර්ථය, ගැඹුරුම සත්‍යය වටහාගත යුතුවේ. ආරක්ෂා කළ හැකි එවැන්නක් නොමැත. අප විසින් ආරක්ෂා කිරීමට උත්සාහ කරනු ලබන්නේ අපගේ සැබෑ පැවැත්මේ අතිශයෝක්තියකි. යථාර්ථය වනුයේ අප නිරතුරුවම වෙනස් වෙමින් පවත්නා බවයි: අපගේ චිත්ත ස්වභාවයද, අපගේ සිරුරද, අපගේ භාවයන්ද නිරතුරුවම වෙනස් වේ. සම්ප්‍රදායිකව එ් සියල්ල "මා" ලෙස ලේබල්ගත කළද, සියල්ලෙන් වෙන්ව නැගී සිටින්නා වූ හා ආරක්ෂා කළ හැකි දැඩි "මමෙක්" නොමැත. එ් සියල්ල සැම කල්හිම වෙනස් වේ.

"මා" සම්ප්‍රදායිකව ලේබල්ගත කරනු ලබන සියල්ල නිරතුරු වෙනස් වන්නේ නම්, කළ හැකි එකම කාර්යය වනුයේ අප ගමන් ගන්නාවූ මාර්ගය පැහැදිලි දිශානතියකට, ආරක්ෂක දිශානතියකට යොමු කිරීම පමණි. එම ආරක්ෂිත දිශානතිය වනුයේ යථාර්ථවාදී ලෙස වඩා ධනාත්මක ආකල්ප ගොඩනගා ගනිමින් අපගේ තත්ත්වය වැඩිදියුණු කරගැනීමට උත්සාහ කිරීම ආදියයි. එසේ වුවද, ආරක්ෂා කළයුතු දෙයක්ද නොමැත; රැකගත යුතු දෙයක් නොමැත. අන් සියල්ලෙන් වෙන්වූ හා හුදෙකලා වූ කිසිවක් නොපවතී. එය ගැඹුරින් වටහාගෙන එ්ත්තු ගතහොත්, අනාරක්ෂිත බව හා හුදෙකලා බව සම්බන්ධ ගැටලු ක්‍රමිකව හා මන්දගාමී ලෙස වියැකී අතුරුදන් වනු ඇත. අතකින් බිය විය යුතු දෙයක්ද නොමැත. දැඩිවූ, ස්ථිර "මමෙකු" සම්බන්ධ අදහස ගලවා ඉවත් කිරීමේදී අප කිසි ලෙසකිනුදු නොපවත්නා අය වන අතර එ් අනුව අපගේ ක්‍රියාවන් කෙරෙහි වගකීමද අප විසින් නොගත යුතුය යන නාස්තිකවාදී අන්තයට නොයා යුතුය. අප අපගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල පිළිබඳ නිශ්චිතව නොදන්නවා විය හැකි නමුත්, නොකඩවා ක්‍රියාවන් සිදු කිරීමද, හැකි පමණ උත්සාහ කිරීමද සිදු කරන්නෙමු.

මෙහිදී මූලික වශයෙන් භාවමය අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන අතර, මූල්‍යමය අනාරක්ෂිත බව ආදී වශයෙන් අනාරක්ෂිත බවේ සෙසු පැතිකඩයන්ද පවතී. මෙම ක්ෂේත්‍රයන් සලකා බැලීමේදී "මා" හා මාගේ වගකීම් පිළිබඳ සාපේක්ෂ සත්‍යයද හඳුනාගත යුතුය. යම් ආකාරයේ සම්මුතික ආරක්ෂිත හැඟීමක් අප වෙත ලබාදෙනු ලබන ආර්ථිකමය පාර්ශ්වයන් හෝ සෙසු පාර්ශ්වයන් පිළිබඳ සැලකිලිමත් වීමටද උත්සාහ කළ යුතුය. එනමුත් එසේ කිරීමේදී, ආර්ථික පාර්ශ්වයේදී මෙන්, අදාළ අවස්ථාවට සම්බන්ධ යථාර්ථය අතිශයෝක්තියට නොනැංවීමටද වගබලාගත යුතුය. අපගේ ආර්ථික තත්ත්වයට අදාළ යථාර්ථය වනුයේ එය මුළුමනින්ම අපගේ පාලනය යටතේ නොපවත්නා දෙයක් බවයි. අපගේ මූල්‍යමය ආරක්ෂිත බවට සමස්ත ලෝකයේම ආර්ථික තත්ත්වය බලපානු ඇති අතර, නව රාජ්‍ය පාලන ක්‍රමයක් හා සමාජ ක්‍රමයක්ද පවතින වකවානුවක දේවල් වෙනස්වනු ඇත. එ් අනුව, අපට ස්ථාවරත්වයක් හා ආරක්ෂිත බවක් ලබාදෙන එකම දෙය වනුයේ ගමන් කිරීම සඳහා වූ ආරක්ෂිත දිශානතියක් පිහිටුවා ගනිමින් ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන කවර දෙයකට වුව මුහුණ දීමට හැකිවන අයුරින් වඩ වඩාත් ආම්පන්න එ්කරාශි කරගැනීමයි. ජීවිතය මුළුමනින්ම ස්ථිතික එකක් වන අතර, කිසි දින වෙනසකට භාජනයන නොවන්නක් නම් පමණි අපට ආරක්ෂිත විය හැක්කේ. මක් නිසාද, එවිට අප සිදුවන්නට යන දේ පිළිබඳ දන්නා බැවිනි. එනමුත් එවැන්නක් විය නොහැක.

අවශ්‍ය ප්‍රමාණයට ලද විටදී එ් පිළිබඳ දැනුවත් වන්නාවූ ලද දෙයින් සතුටු වීමේ හෙවත් සෑහීමකට පත්වීමේ ගුණයද පැවතිය යුතුය. ඩොලර් මිලියනයක් සන්තකයේ තබාගෙනද අනාරක්ෂිත හැඟීමෙන් පසුවන පුද්ගලයන් පිළිබඳව දනිමි. ඔවුනට පවතිනුයේ "මට ඩොලර් මිලියන දහයක් විතර තියෙනව නම් ආරක්ෂිත හැඟීමක් ඇති වෙන්න තිබුණා" යන හැඟීමකි. එවැන්නෙකු නොවීමට උත්සාහ කරන්න. එය වූකලි ඉතා අසතුටුදායක චිත්ත ස්වභාවයකි.

නොදැනුවත්භාවයෙන් මිදීමට උත්සාහ කිරීම මිරිඟුවක් පසුපස හඹා යාමක්ද?

මෙයට ප්‍රතිවිරුද්ධව "අපි සීමිත අය. බුදුවරුන් නොවේ. එ් අනුව අපගේ ක්‍රියාවන්හි සියලු ප්‍රතිඵල දකින්නට අපට බැරි අතර අප හෝ අන් අය පිළිබඳ යථාර්ථය දකින්නටත් අපට නොහැකියි. එ් නිසා දුක් විඳීම හා අසතුටින් සිටීම අපගේ දෛවයයි. අපට අපගේ නොදැනුවත්භාවයෙන් හා ව්‍යාකූලත්වයෙන් කවදා හෝ මිදෙන්නට හැකිද?" යන්න ඔබගේ ප්‍රතිචාරය විය හැක.

සැබැවින්ම අප එවන් සාප ලද්දෝ නොවෙමු. මක් නිසාද එම නොදැනුවත්භාවයෙන් මිදීමේ හැකියාවක් පවත්නා බැවිනි. එය පහසු නොවන දිගු ක්‍රියාවලියක් වන නමුත් දේවල් වටහා ගැනීමේ හැකියාවද සියල්ල එකට ගොනුකර ගැනීමේ ශක්‍යතාවයද සිත තුළ පවතී. එ් අනුව අප විසින් සිදු කරනු ලබන්නේ අපගේ වැටහීම පුළුල් කරගැනීමට උත්සාහ කිරීමකි. වඩ වඩා විදර්ශනා වඩමින් අපගේ චර්යාවේ ප්‍රතිඵලය කවරක්ද යන්න නොදන්නා නමුදු අපගේ දැනුම වඩ වඩාත් වර්ධනය වන පරිදි වඩ වඩාත් දේවල් වටහා ගන්නට උත්සාහ කරන්නෙමු.  එම පදනමින්, විය හැකියාව හා අත්දැකීම මත පදනම්ව ඕනෑම තත්ත්වයක් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් උගැනීමෙන් ලද අනුමානයක් ගොඩනගාගෙන ඉන්පසු අපගේ ප්‍රගතිය පිණිස නොකඩවා කටයුතු කළ හැකිවේ.

අන්‍යයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව වැඩිදියුණු කරගනු පිණිස, අනෙක් පුද්ගලයා, හේතු සාධක ආදිය පිළිබඳ හැකි තරම් තොරතුරු ලබාගැනීමට උත්සාහ කරමු. සාමාන්‍යයෙන් සිදුවන දේවල රටාව වටහා ගැනීමට උත්සාහ කරන්නෙමු: එනම්, මෙම පුද්ගලයා ප්‍රතිචාර දක්වන රටාව කවරේද ආදී වශයෙනි. ඉන්පසු අදාළ අවස්ථාවේ හා අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවයද සැළකිල්ලට ගන්නෙමු. මේ මත පදනම්ව මේ පුද්ගලයා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය මගින් උත්සාහ කළ යුත්තේ කවරක් සම්බන්ධයෙන්ද යන යම් අදහසක් හෝ අපට ලැබෙනු ඇත.

අප සියලු දෙනා සතුව මෙම හැකියාවන් පවතිනුයේ සිත ක්‍රියාත්මක වන ආකාරයම එය වන බැවිනි. සාමාන්‍යයෙන් අප වටා පවත්නා සියලු හැඟීම් ආශ්‍රිත තොරතුරු අපි ලබාගන්නෙමු. එ් සියල්ල වෙත අවධානය යොමු නොකළද, එ් සමහරක් සම්බන්ධයෙන් අපගේ ඇල්මක්ද නොපැවතියද, එහි සියලු හැඟීම්ගත තොරතුරු පවතී; එ් සියල්ල ඇතුළත් කෙරේ. තවද, අප සියලු දෙනා රටාවන් දැකීමේ පූර්ණ හැකියාවකින්ද යුක්ත අය වෙමු. නිදසුනක් ලෙස යම් පුද්ගලයන් තිදෙනෙකු දෙස බලා එ් සියලු දෙනා කාන්තාවන් බව හඳුනාගත හැකි අතර, එ් අනුව දේවල් එකට සම්බන්ධවන රටාව හඳුනාගත හැක. අපට තොරතුරු එකට එක්කොට රටාවක් බවට හරවා ඉන් යම් අදහසක් ලබාගත හැක. මාගේ දකුණු අත මාගේ වම් අත නොවන බව වටහා ගනිමින් දේවල අනන්‍යතාවය පිළිබඳ දැනුවත් වෙමු. විවිධ දේවල් වෙනස් වෙනස් ආකාරයන්ගෙන් හැඳින්වීමේ හැකියාවද අප සතුවේ. දරුවෙකුට කථා කළ යුත්තේ කෙසේද හා වැඩිහිටියෙකුට කථාකළ යුත්තේ කෙසේද යන්න වෙන් වෙන් වශයෙන් දන්නා බැවින් එකම අකාරයෙන් මෙම දෙදෙනාට කථා නොකරන්නෙමු. අපි සැබැවින්ම අසංවේදී වූවන් නොවේ නම්, අප තුළ එම නම්‍යශීලිත්වය පවතී. එ් අනුව සියලු මූලික අඩු වැඩිය එහි පවතී.

එක් අතකින් අපගේ සිත ක්‍රියාත්මකවන මෙකී විවිධාකාර ක්‍රමයන් "බුද්ධ ස්වභාවය" ලෙස හඳුන්වන යම් ලක්ෂණයෝ වෙති. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බවට පත්වීමේ හැකියාව අප වෙත ලබාදෙන මෙකී බුද්ධත්ව ස්වභාවයන් අප සියලු දෙනා තුළ පවතී. කළ යුත්තේ එ්වා හඳුනාගෙන පුහුණු කිරීම පමණි.

සාරාංශය

කෙටියෙන් පවසන්නේ නම්, කුසල විධික්‍රම යොදාගැනීමේ හැකියාව ලබාගැනීම සඳහා පුහුණු වෙමින් කැළඹිලිකාරී භාවයන් සම්බන්ධයෙන් කටයුතු කරනුයේ මෙයාකාරයෙනි. එ් එක් එක් වර්ගයේ කැළඹිලිකාරී භාවයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බොහෝ විධික්‍රම පවතින අතර එ්වා බොහොමයක් උගෙන, පුහුණු කොට යොදාගැනීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.  මක් නිසාද, ඇතැම් අවස්ථාවන්හි එක් ක්‍රමයක් එතරම් ඵලදායී නොවනු ඇති අතර එය එතරම් හොඳින් යොදා ගැනීමේ හැකියාව අප සතු නොවනු ඇති බැවිනි. එනමුදු, වෙනත් විකල්ප ක්‍රම පවතී නම්, එවිට එම නිශ්චිත අවස්ථාවට එ්වා වඩාත් ඵලදායී විය හැක. නොඑසේ නම්, ඇතැම් විට, රෝගී තත්ත්වයකදී මෙන්, අපට ඖෂධ වර්ග ගණනාවක් ගැනීමට සිදුවේ. එමෙන්ම විශේෂයෙන් ප්‍රබල කැළඹිලිකාරී භාවයක් සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස විධික්‍රම සංයෝගයක් යොදා ගැනීමට අවශ්‍ය විය හැක. එබැවින්, දේවල් වැඩි වැඩියෙන් ඉගෙන ගනිමින් පුහුණු කරවන තරමටම දුෂ්කර, ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හා එ්වා වළකාලීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ සඳහා ශාන්තිදේවයන්ගේ කෘතියක් වන බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නමැති කෘතිය කියවා බලා අධ්‍යයනය කිරීම ඉතා ප්‍රයෝජනවත් වනුයේ එතුමාගේ සමස්ත කරුණු දැක්වීමම "මවිසින් මෙකී කැළඹිලිකාරී භාවයනට මා පාලනය කිරීමට ඉඩ සලසන්නේ ඇයි? එ්වාට මාගේ සිත තුළ එතරම් සුව පහසු ස්ථානයක් තනා දෙන්නේ මන්ද? මෙය සැබෑ සතුරා වන අතර එයට සැබෑ බලයක් නොමැත. මා එ්වායින් මිදුණු පසු, එ්වා මාගේ සිතින් ඉවත් කළ පසු, එ්වා ගමන් කරන්නේ කොහේද? සාමාන්‍ය සතුරෙකුට මෙන් එ්වාට හුදෙක් යම් තැනෙක සිට මා හට නැවත ප්‍රහාර එල්ල කළ නොහැක. එ්වාහි කිසිදු දැඩි පැවැත්මක් නොමැත" යන කරුණ විභාගකර බැලීම කරා යොමුව ඇති බැවිනි. මෙයාකාරයෙන් සිතමින් එය සත්‍ය බව එ්ත්තු ගැනීම ඉතා ප්‍රයෝජනවත් දෙයකි. එමගින් මෙකී කැළඹිලිකාරී භාවයන්ගෙන් මිදීම සඳහා කටයුතු කිරීමේ ප්‍රබල පදනමක් නිර්මාණය කරනු ලබයි. එ්වාහි පාලනයෙන් මිදුණු කල අපට අපගේ ජීවිතයේ ගුණාත්මකභාවය සම්බන්ධ වගකීම වඩාත් හොඳින් ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත.

Top