නොපසුබස්නා උත්සාහය පිළිබඳ පරිපූර්ණත්වය: වීර්ය පාරමිතාව

පාපකාරී ක්‍රියාවන්හි නිරත වීම කන්දකින් පහලට ගල් කුට්ටියක් පෙරළීම තරම් පහසු කටයුත්තක් වන අතර, ශීලයෙහි පිහිටීම මුරණ්ඩු බූරුවෙකු කන්ද මුදුනට දැක්කීම තරම් දුෂ්කර කටයුත්තක්ය යන කියමනක් තිබ්බතීයයන් අතර ඇත. අප කෙතරම් ත්‍යාගශීලී, ඉවසිලිවන්ත හා ප්‍රඥාවන්තයන් වුවද, කුසීත බව මැඩ පැවැත්විය නොහැක්කේ නම් තවදුරටත් ජීවිතයෙන් ප්‍රයෝජන ලැබීමට නොහැකි වනු ඇත. අප්‍රතිහත ධෛර්යය හා නොපසුබස්නා උත්සාහය තුළින් බුද්ධත්වය ලබමින් අන් සියලු සත්ත්වයන් වෙත ප්‍රයෝජන සැලසීමේ ගමනෙහිදී කවර වූ හෝ බාහිර හෝ අභ්‍යන්තර සටනකට මුහුණ දීමට රණ ශූරයන් සෙයින් සූදානම්ව සිටිමු.

හැඳින්වීම

බලවත් ආකල්ප (පාරමිතා) සය අතර සතර වැන්න වනුයේ නොපසුබස්නා උත්සාහයයි. ධනාත්මක චර්යාවන්හි බලසම්පන්න ලෙස නිරත වෙමින් එම කාර්යය ඉටු කිරීමෙහි ලා අවශ්‍ය උත්සාහය පවත්වා ගන්නා චිත්ත ස්වභාවය වශයෙන් එය විග්‍රහ කරනු ලැබ ඇත. එනමුදු එතුළට හුදෙක් යම් ධනාත්මක කාර්යයකට ඇලී සිටීමට වඩා යමක් අන්තර්ගත වේ. එනම්, කාර්යය අත්හැර නොදැමීමට තරම් වූ අප්‍රතිහත ධෛර්යයක්ද යම් ධනාත්මක කාර්යයක නියැලීමේ සතුටක්ද එතුළ අන්තර්ගත වේ.

අපි අප සිදුකරන කාර්යයට වෛර කරන නමුත් එය කළ යුතු නිසාම, නොඑසේ නම් වරදකාරී හැඟීමක් ඇතිවන නිසාම හෝ ඒ හා බැඳී ඇති නිසා වැනි හේතුවක් නිසා පමණක් ඉටු කරන දැඩි වෙහෙසකර ආකල්පයක් පවත්වාගෙන යාමක් මෙහිදී අදහස් නොවේ. තවද, හුදෙක් වැඩ කිරීමටම කැපවූ අයෙකු මෙන් යාන්ත්‍රිකව සෑම දිනකම ඒ සඳහා පිටත්ව යාමක්ද මින් අදහස් නොවේ. එය යම් කිසි කාර්යයක් සිදු කිරීම සඳහා අති මහත් වූ ශක්තියක් වැය කරමින් සිටින නමුත් සතියක් ඇතුළත උනන්දුව පිරිහී එය අත්හැර දමන ආකාරයේ “කෙටි කාලීන උනන්දුව” ලෙස හඳුන්වන දෙයද නොවේ. මෙහිදී අප සාකච්ඡා කරනුයේ තිරසර උත්සාහය හා උනන්දුව පිළිබඳවයි. එබැවිනි එය නොපසුබස්නා උත්සාහය ලෙසද හඳුන්වනු ලබන්නේ. එය තිරසර වීමට හේතුව නම් අප විසින් අප කරන කටයුත්ත හෙවත් අප නියැළි සියලු ධනාත්මක කාර්යයන් සතුටින් සිදු කිරීමයි. නොපසුබස්නා උත්සාහය හා බැඳුණු අප්‍රතිහත ධෛර්යය වූකලි කුසීත බවට හා කාර්යයන් කල් දැමීමේ ස්වභාවයට එරෙහි ප්‍රබලතම ප්‍රතිවාදියා වේ.

අවියක් වැනි නොපසුබස්නා උත්සාහය

නොපසුබස්නා උත්සාහය ත්‍රිවිධාකාර එකක් වන අතර ඉන් පළමුවැන්න අවියක් වැනි දෙයකි. එනම් අදාල කාර්යය කෙතරම් දිගට ඇදුණද, කෙතරම් දුෂ්කර වුවද එය නොසලකා නොකඩවා කාර්යය කරගෙන යාමේ කැමැත්තයි. කවරක් සිදු වුවද අපි කම්මැලි හෝ අධෛර්යය නොවෙමු. ධර්ම මාර්ගය පරිපූරණය යනු බොහෝ සෙයින් දිගු කල් ගත වන්නක් බව දන්නේ නම්, හා අන්‍යයන්ට උපකාර කරනු පිණිස අපාගත වීමට හෝ කැමැත්තෙන් පසුවන්නේ නම්, ඉස්මතුවන යම් සුළු ගැටළුවක් හේතුකොට කම්මැලි හෝ අධෛර්යයට පත්වීමේ හැකියාවක් නොමැත. “කිසිවකට හෝ මා සොලවාලිය නොහැක” යන අවියක් වැනි ආකල්පයක් අප සතුවේ. කාර්යය කෙතරම් දුෂ්කර වුවද, ඒ සඳහා කෙතරම් කලක් ගත වුවද, එය සිදු කරන්නේය යන තීරණයට දැනටමත් එළැඹ ඇති බැවින් මෙයාකාරයේ අප්‍රතිහත ධෛර්යයක් මගින් හමුවන ඕනෑම දුෂ්කරතාවයකින් අපව ආරක්ෂා කරනු ලබයි.

එක් අතකින් බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම වඩ වඩාත් දීර්ඝ කාලීන කටයුත්තක්ය යන අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නම් එය වඩාත් කෙටි කලක් ඇතුළත සාක්ෂාත් කරගත හැකිවනු ඇත. අනෙක් අතට, එය වහා පහසුවෙන් අත්කර ගත හැක්කක් වශයෙන් සලකා අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා අපමණ කාලයක් ගතවනු ඇත. ක්ෂණිකව හා පහසුවෙන් බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එය මූලිකව අපගේ ආත්මාර්ථය හා කුසීත බව පිලිබඳ ලක්ෂණයක් වේ. මෙහිදී අපට ප්‍රතිඵල අවශ්‍ය වන නමුදු අන්‍යයන් වෙත උපකාර සලසමින් බොහෝ කාලයක් ඒ සඳහා ගත කිරීමට අපේක්ෂා නොකරන්නෙමු. හුදෙක් අපට අවශ්‍ය වනුයේ බුද්ධත්වය රස විඳීම පමණි. අවශ්‍යයෙන්ම අප කුසීතයන් බව පැවසිය යුතුය. කාර්යයට අදාල වෙහෙස මහන්සිය දැරීමට අකමැත්තෙමු. අලෙවි කිරීමට ඇති භාණ්ඩයක් මෙන් බුද්ධත්වයද ලාභදායී මිලකට ලබා ගැනීමට අපේක්ෂා කරන්නෙමු. එනමුදු මෙයාකාරයේ කේවල් කිරීම් කිසි දින සාර්ථක නොවේ. “අන්‍යයන් වෙත උපකාර කිරීමේ ධනාත්මක ශක්තිය ගොඩනගාගනු පිණිස අසංඛ්‍ය කල්ප තුනක් වුව වෙහෙස වී කටයුතු කරමි” යන ආකල්පය සහිතව කරුණාවෙන් කටයුතු කරන විටදී, මෙම අප්‍රතිහත ධෛර්යයේ පවත්නා සුවිශාල විෂය පථය වඩ වඩාත් වේගයෙන් බුද්ධත්වය ලබාගැනීමට අපට උපකාරී වේ.

පුණ්‍ය ක්‍රියාවන් සඳහා යොදවනු ලබන නොපසුබස්නා උත්සාහය

බුද්ධත්වය සාක්ෂාත් කරගනු පිණිස අවශ්‍ය ධනාත්මක ශක්තිය ගොඩනගා ගැනීමට අදාල ධනාත්මක පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීමේ දැඩි උත්සාහය දෙවන වර්ගයේ නොපසුබස්නා උත්සාහයයි. මෙමගින් අදහස් කෙරෙනුයේ කටයුතු කල් දැමීම ආදී වශයෙන් වන මූලික පිළිවෙත් පිරීමෙහි ලා කම්මැලි නොවන අතර, අධ්‍යයනයන්, ඉගෙනුම් හා භාවනාවන් සිදු කිරීමෙහිද කම්මැලි නොවන බවකි. මේ සියලු දේ සිදු කිරීමට අපට අවශ්‍ය වන අතර, ඒවා සිදු කිරීමෙන් සතුටට පත් විය යුතුය.

සීමිත සත්ත්වයන්ගේ ප්‍රයෝජනය පිණිස කටයුතු කිරීම සඳහා වූ නොපසුබස්නා උත්සාහය

අපගේ ධනාත්මක බලපෑම යටතට අන්‍යයන්ද ඒකාරාශී කරගැනීමේ සතර විධ ක්‍රම හා බලවත් වූ ආචාර ධාර්මික විනය හා සම්බන්ධව සාකච්ඡා කෙරෙන එකොළොස් විධ පුද්ගලයන් සමගින් කටයුතු කිරීමද ඇතුළත්ව අන්‍යයන් වෙත උපකාර කරමින් ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස කටයුතු කිරීමේදී අදාලවන බලවත් උත්සාහය තෙවන වර්ගයේ නොපසුබස්නා උත්සාහයයි. කෙසේ වුවද, ඒ සියල්ල මුළුමනින්ම එකිනෙකට අනන්‍ය නොවේ. මූලිකව මෙහිදී අදහස් කෙරෙනුයේ මෙම නොපසුබස්නා උත්සාහයට ගැලපෙන පරිදි විවිධාකාරයෙන් මෙබඳු පුද්ගලයන් වෙත සක්‍රීයව උපකාර කිරීමයි. අන්‍යයන්ට උපකාර කිරීමේ හැකියාවක් ලැබීම පිළිබඳ සැබෑ ලෙසම සතුටු වෙමින් මේ සියල්ල සිදු කිරීමෙන් ප්‍රීති වන්නෙමු. මෙයට අමතරව, ඉවසීම මගින් කාර්යයට අදාල කවර හෝ දුෂ්කරතාවයක් ඉවසා වැදෑරීමට සූදානම් වන අතර, ආචාර ධාර්මික ස්වයං විනය තුළින් සැබෑ ලෙසම ඔවුනට උපකාර කිරීමෙන් අපව වළකාලිය හැකි එම කැළඹිලිකාරී භාවයන් සියල්ලෙන් වැළකී සිටීමට අදහස් කරන්නෙමු. විවිධාකාර බලවත් ආකල්ප එකිනෙකට උපකාරී ලෙස පවත්නා ආකාරය මේ අනුව පැහැදිලි වේ.

ත්‍රිවිධාකාර කුසීත බව

අපගේ නොපසුබස්නා උත්සාහයට බාධක විය හැකි අයුරින් කුසීත බවෙහි ආකාර තුනක් පවතී. පිළිවෙත් පූරණය තුළින් නොපසුබස්නා උත්සාහය ගොඩනගාගනු පිණිස, කුසීත බව මැඩ පැවැත්විය යුතුවේ.

1. නිදිමත ස්වභාවය හා කටයුතු කල් දැමීමේ කුසීත බව

නිරතුරුවම හෙට දවස දක්වා කටයුතු කල් තැබීමට සිතෙන ආකාරයෙන් පවත්නා මෙම කුසීත බව අප බොහෝ දෙනා විසින් පෞද්ගලිකවම අත්දැක ඇත. මෙම තත්ත්වය මැඩ පවත්වනු පිණිස, මරණ හා අනිත්‍ය භාවනාවෙහි නියැළිය යුතු අතර ඒවා සිහිපත් කළ යුතුය. අපි නිරනුමානවම මිය යන අතර මරණය කවරදා උදාවනු ඇත්තේද යන්න පිළිබඳ කිසිදු හෝඩුවාවක්ද නොමැත. තවද, බොහෝ ආශ්චර්මයත් කාර්යයන් සිදු කිරීමේ අවස්ථාව උදාකර දෙන්නාවූ මෙම අගනා මිනිස් දිවිය උදාකර ගැනීම දුෂ්කර කාර්යයකි. මාගේ ප්‍රියතම සෙන් කියමන වනුයේ “මරණය ඕනෑම අවස්ථාවක උදාවිය හැක. එබැවින් ඉහිල් වන්න, සන්සුන් වන්න” යන්නයි. මෙම ප්‍රකාශය පිළිබඳ සිතා බැලීම යහපත්ය. මරණයේ ප්‍රහාරය ඕනෑම අවස්ථාවක අප වෙත එල්ල විය හැකි නමුදු ඒ පිළිබඳ වද වෙමින්, කැළඹිල්ලෙන් හා ආතතියෙන් පසුවුවහොත්, කිසිවක් හෝ සාර්ථක කරගත නොහැකි වනු ඇත. අන්ධ භක්තියකින් “හැමදේම අදම කරන්න ඕන” යන හැඟීමද ප්‍රයෝජනවත් එකක් නොවේ. අප මිය යන්නේ ය හා එය ඕනෑම අවස්ථාවක සිදුවිය හැක්කේය යන්න සත්‍යයක් වන නමුදු, මෙම ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නම් මෙම සත්‍යයන් දෙක පිළිබඳ සැහැල්ලු සිතින් වාසය කළ යුතුය. තියුණු මරණ බියකින් නිරතුරු පෙළෙන්නේ නම්, සැම විටෙකම ප්‍රමාණවත් කාලයක් නොමැත්තේය යන හැඟීමකින් පසුවෙමු.

2. නොවැදගත් දේ වෙත ඇලීමේ කුසීත බව

දෙවන වර්ගයේ කුසීත බව යනු සුළු දේවලට ඇලී සිටීමයි. මෙයද අප බොහෝ දෙනෙකු හට පහසුවෙන් වටහාගත හැක. රූපවාහිනිය නරඹමින්, ඕපාදූප කථා කරමින් හා මිතුරන් සමගින් කයිවාරු ගසමින්, ක්‍රීඩාවන් ආදිය ගැන කථා කරමින් බොහෝ කාලයක් අපතේ යවන්නෙමු. මෙම දේවල් කාලය නාස්ති කිරීමක් සේ සැලකෙන අතර මූලිකවම කුසීත බවේ ආකෘතියකි. සරලව ප්‍රකාශ කරන්නේ නම්, රූපවාහිනිය ඉදිරිපිට හිඳ සිටීම භාවනාවට වඩා බොහෝ සෙයින් පහසු කටයුත්තකි. වඩාත් දුෂ්කර වන නමුදු බොහෝ සෙයින් අර්ථවත් දෙයක් සිදු කිරීමට උත්සාහ කිරීමට වඩා අපගේම කුසීත බව තුළින් මෙකී සාමාන්‍ය, ලෞකික දේවලට ඇලී සිටීමු.

ඇතැම් විට අප කෙරෙහි නව පණක් ලැබීමට, ප්‍රබෝධයක් ලබනු පිණිස යම් විනෝදාස්වාදයක් හෝ ඉහිල් වීමක් ලැබීම සඳහා අපගේ භාවනා කටයුතු ආදිය මදකට නතර කළ නොහැකි බවක් මින් අදහස් නොවේ. මෙහිදී ඉදිරිපත් කිරීමට උත්සාහ කරන පණිවිඩය නම් හුදෙක් කම්මැලිකම හේතුවෙන්ම ඒවාට ඇලී සිටිමින් පමණ ඉක්මවා එම කාර්යයන්හි නිරත වීමෙන් වැළකිය යුතු බවයි. අපට ඕනෑම අවස්ථාවක විවේකයක් ලැබීමේ, ඇවිදින්නට යාමේ, රූපවාහිනියේ ප්‍රදර්ශනයක් නැරඹීමේ හැකියාව ඇති නමුදු එයට ඇලී ගැලී සිටිය යුතු නොවේ. ප්‍රමාණවත් විවේකයක් ලද පසු, පෙර සිදුකළ ධනාත්මක කාර්යයන්හි නැවත නියැලෙන්න.

නොවැදගත් දේවලට ඇලී සිටීමේ ආකල්පය මැඩ පැවැත්වීමේ වඩාත් යෝග්‍ය විධි ක්‍රමය වනුයේ ලෞකික සාර්ථකත්වයන් හා ක්‍රියාවන් තුළින් ලබන ප්‍රීතිය හා තෘප්තිය මගින් කිසි විටෙකුදු කල් පවත්නා සතුටක් ලබා නොදෙන ආකාරය සිතා බැලීමයි. අප කෙතරම් චිත්‍රපට බැලුවද, අප සැමරූ දේ පිළිබඳ කෙතරම් ඕපාදූප කථා කළද, විවිධ ප්‍රදේශ වෙත කෙතරම් සංචාරය කළද ඒවා මගින් කිසි විටෙකුදු අවුංසයක හෝ කල් පවත්නා සතුටක් ලබා නොදෙනු ඇත. මෙම කල් පවත්නා සතුට ලබා ගැනීමේ එකම විධික්‍රමය වනුයේ ඒ කරා අප යොමු කරවන ධර්ම විධික්‍රමය තුළ පුහුණු වීමයි. පන්දුවක් දැල වෙත යොමු කිරීමට පුහුණු වෙමින් අපගේ මුළු කාලයම ගතකළ හැකි නමුත් එමගින් කිසි දිනෙක අප වෙත වඩා යහපත් පුනරුත්පත්තියක් අත්කර නොදෙනු ඇත.

ඒ අනුව, මින් ලබාගත යුතුවන ප්‍රධාන අදහස නම් කිසිවකට හෝ ඇලී ගැලී නොසිටීමයි. ඉහිල් වනු පිණිස යම් කාර්යයක් සිදුකළ හැකි අතර එය යහපත් දෙයකි. එනමුදු වඩා ධනාත්මක දෙයක් සිදු කිරීමට නොහැකි තරමට කුසීත බවින් පෙළෙන බැවින් කරමින් සිටින කාර්යය වෙතම ඇලී ගැලී ඒ වෙනුවෙන්ම වෙහෙස මහන්සි වීම හුදෙක් කාලය කා දැමීමකි. මෙයාකාරයේ කුසීත බවක් සැබැවින්ම ධනාත්මක දේවල් සිදු කිරීමෙන් සතුටක් ලැබීමට එරෙහිව ඉස්මතුවන බාධකයක් වේ.

3. අධෛර්යමත් වීමේ කුසීත බව

දේවල් හුදෙක් අපට සිදු කිරීමට නොහැකි තරමට දුෂ්කර වන අතර ඒවා අපට කිසිදිනක සිදුකළ නොහැකි වනු ඇත්තේය යන අසමත් බවේ මෝහාකල්පයක් පවත්නා ස්වභාවය තෙවන වර්ගයේ කුසීත බව වන අතර, ඒ අනුව අධෛර්යයට පත් වෙමු. “මං නම් ඒක කරන්න උත්සාහ කරලවත් බලන්නෙ නෑ. මං වගේ කෙනෙක් කොහොමද ඒක කරන්නෙ?” යි කෙතරම් වාර ගණනක් සිතන්නෙමුද? බුද්ධත්වය වැනි විශාල අරමුණක් අධෛර්යයට පත් කරවන තරම් සුවිශාල එකක් සේ පෙනී යා හැකි නමුදු එය සාක්ෂාත් කරගැනීමට උත්සාහයක් හෝ නොදැරීම කුසීත බවෙහි ආකෘතියකි.

මින් මිදීම සඳහා අප සෑම අයෙකු තුළම ඉටු කළ හැකි විවිධාකාරයේ විශ්මය ජනක ගුණාංග හා විභවයන් පවත්නේය යන බුද්ධ ස්වභාවය සිහිපත් කළ යුතුය. චුවින්ගම් වැනි සුළු දේ අලෙවි කරමින් උදෑසන සිට රාත්‍රිය වනතුරු වෙහෙස වී සුළු මුදලක් හරි හම්බ කරගැනීම සඳහා හැකියාවක් බොහෝ පුද්ගලයන් තුළ පවත්නේ නම්, එයට වඩා බොහෝ සෙයින් වැදගත් දෙයක් සාක්ෂාත් කරගැනීම පිණිස යම් කාලයක් ගත කිරීමේ හැකියාව අප සතු විය යුතුය. හුදෙක් පැය එකහමාරක කාලයක් පැවැත්වෙන සංගීත සංදර්ශනයක් නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට පැය ගණන් පෝලිමේ සිටින්නේ නම්, බුද්ධත්වය නමැති සදාකල් පවත්නා අරමුණ කෙරෙහි යොමුවූ ධනාත්මක කාර්යයක නියැළීමේ නොහැකියාවකින් අපි පෙළෙන්නේ යැයි කිසි විටෙකුදු නොසිතිය යුතුය.

නොපසුබස්නා උත්සාහය ගොඩනගා ගැනීමේ ආධාරක සතර

නොපසුබස්නා උත්සාහය ගොඩනගා ගැනීමට උපකාරී වන ආධාරක සතරක් පිළිබඳ ශාන්තිදේවයන් විසින් විස්තර කරනු ලබයි.

1. අචල විශ්වාසය

ධර්මයේ ධනාත්මක ගුණ හා එමගින් අප වෙත ලබා දෙන්නාවූ ප්‍රයෝජනයන් පිළිබඳ වූ අචල විශ්වාසය මගින් දේශනා තුළින් ඉගැන්වෙන කරුණු පුහුණු කිරීමේ බලවත් අදහසක් ඇතිවේ.

2. අචල බව හා ආත්මාභිමානය

අපට අචල බව හා බුදුවරයෙකුගේ ස්වභාවය වටහා ගැනීම හා ආත්ම විශ්වාසය මත පදනම් වූ ස්ථාවරත්වයක් අවශ්‍ය වේ. අප සියලු දෙනා තුළ පවත්නා මූලික ස්වභාවය වූ බුදුවරයෙකුගේ ස්වභාවය පිළිබඳව සැබැවින්ම ඒත්තු ගත් විටදී, ශාන්තිදේවයන් විසින් “අභිමානය” හෝ “ආත්මාභිමානය” ලෙස හඳුන්වන අපූර්ව ආත්ම විශ්වාසයක් නිරායාසයෙන් අප තුළ ගොඩනැගේ. ආත්මාභිමානයක් පවත්නේ නම්, අපගේ උත්සාහය ස්ථාවර හා ක්‍රමික එකක් වනු ඇත. කවර ඉහළ පහළ යාම් පැවතියද,  අප්‍රතිහත ධෛර්යයෙන් නොපසුබටව කටයුතු කරන්නෙමු.

3. ප්‍රීතිය

තෙවන ආධාරකය වනුයේ සිදු කරන කාර්යය තුළින් සතුටු වීමයි. ඒ වූකලි අපගේ ජීවිත තුළින් සිදු කරනු ලබන කාර්යය පිළිබඳ තෘප්තිමත් හැඟීමකි. එය වූකලි අපගේ ස්වයං වර්ධනය පිණිසද අන්‍යයන්ට උපකාර කරනු පිණිසද ගොඩනගාගත හැකි බොහෝ සෙයින් ආත්ම තෘප්තිකර හා සාර්ථකත්වයට තුඩුදෙන දෙයකි. මෙය සිදු කරන විටදී, ස්වභාවයෙන්ම අප තුළ සුවිශාල සතුටක් නිර්මාණය වේ.

4. අත් හැරීම

අවසන් ආධාරකය වනුයේ විවේකයක් ගත යුතු අවස්ථාව පිළිබඳ දැනුවත් වීමයි. හුදෙක් මානසිකව ඇද වැටී සියල්ල අත්හැර කරමින් සිටි කාර්යය වෙත නැවත ප්‍රවේශ වීමේ තත්ත්වයට මුහුණ දීමට නොහැකි තරමට වෙහෙස වීමද නොකළ යුතුය. පමණ ඉක්මවා වෙහෙස වී අරමුණ කරා යන්නට උත්සාහ කිරීම හා අප කෙරෙහිම ළදරුවන් කෙරෙහි සේ සලකා කටයුත කිරීම අතර මැද මාවත අනුගමනය කළ යුතුය. මෙමගින් අදහස් කෙරෙනුයේ හුදෙක් යම්කිසි වෙහෙසක් දැනෙන දැනෙන වාරයක් පාසා කෙටි නින්දක් ගත යුතු බවද නොවේ.

එසේ වුවද, දලයි ලාමා වහන්සේගේ අභාවප්‍රාප්ත කණිෂ්ඨ දේශක ට්‍රිජෑං රින්පොෂේ විසින් ප්‍රකාශ කරනුයේ බොහෝ සෙයින් අයහපත්, සෘණාත්මක මනෝභාවයක සිටින අතර අන් කිසිදු ධර්ම විධික්‍රමයක් අපට උපකාරී නොවන අවස්ථාවක, හොඳම දෙය නම් කෙටි නින්දක් ලබා ගැනීම බවයි. නින්දෙන් ඇහැරෙන විටදී, හුදෙක් එම කෙටි නින්ද ගැනීමේ ස්වභාවය හේතුකොට අපගේ මනෝභාවය වෙනස්ව තිබිය හැක. මෙය වූකලි ඉතා ප්‍රායෝගික උපදෙසකි.

අප්‍රතිහත ධෛර්යය ගොඩනගා ගැනීමේ තවත් සාධක දෙකක්

උපකාරී වන තවත් සාධක දෙකක් ශාන්තිදේවයන් විසින් පෙන්වා දෙනු ලබයි.

1. නොවලහා පිළි ගැනීම

පළමු කරුණ වනුයේ පූරණය කළ යුතු පිළිවෙත් කවරේද යන්න පිළිගනිමින් අත්හැර දැමිය යුතු දේ කවරේද යන්නද පිළිගැනීමයි. මෙයට අමතරව, මේ හා සම්බන්ධ දුෂ්කරතාවයන්ද පිළිගත යුතුවේ. මේ සියල්ල ඒ එක් එක් කරුණක් යථාර්ථවාදීව පරීක්ෂාකර බැලීමට හා ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපට ඇති හැකියාව මත පදනම් වේ. අන්‍යයන් වෙත උපකාර කරමින් බුද්ධත්වය සාක්ෂාත් කරගනු පිණිස මේ පුණ්‍ය ක්‍රියාව හා අර පුණ්‍ය ක්‍රියාව අපට අවශ්‍ය වනුයේය යන කරුණ පිළිගැනීමද මෙයට අයත් වේ. සිදු කිරීමෙන් වැළකිය යුතු දේ පවත්නා බව හා එහිදී අත් විඳීමට සිදුවන දුෂ්කරතාවයන්ද පැවතිය හැකි බව පිළිගනිමු.

අපගේ හැකියාව හා යථාර්ථවාදීවම අදාල වන දේ පිළිබඳ දැනුවත්ව එය පිළිගනිමින් අප මතට ආරෝපණය කරගන්නෙමු. යථාර්ථවාදී නොවන ආකල්පයක් පවත්වා නොගත යුතුය. නමස්කාර වාර 100,000ක් සිදු කරන්නට සැලසුම් කරන්නේ නම්, එය එතරම් පහසු කටයුත්තක් නොවන බව දත යුතුය. අපගේ පා වේදනා දෙනු ඇති අතර අත්ල රිදුම් දෙනු ඇත. නිසැක වශයෙන්ම බොහෝ වෙහෙසට පත්වනු ඇත. ඒ අනුව එහි ඇති ප්‍රයෝජනයන් පිළිබඳව සිහි කැඳවාගමු.

කිරීමෙන් වැළකිය යුතුවන දේ කවරේද? ආරම්භයක් ලෙස, කාලය ගත කරමින් දේවල් කපා ගැනීම ආදී වශයෙන් දැනටමත් එය දුෂ්කර කාර්යයක් විය හැකි අතර එය සිදු කරනු පිණිස ආරම්භයක් වශයෙන් කාලය ගත යුතුය. “මා හට එය කළ හැක්කේද?” යන්න විමසා බලනු පිණිස අප පිළිබඳවම අවංක සුපරීක්ෂාවක නියැළිය යුතුය. එම කාර්යයට අදාල දේවල යථාර්ථය පිළිගනිමින් ප්‍රීතිමත් උද්‍යෝගයකින් එයට මුළු හදින්ම යොමු වන්නෙමු.

2. පාලනය සියතට ගැනීම

දැඩි නොපසුබස්නා උත්සාහයක නියැලීමේ ගුණය වඩවා ගැනීම සම්බන්ධ ශාන්තිදේවයන්ගේ දෙවන අදහස නම්, ඉහත කී දේ පිළිගැනීම සඳහා වූ යථාර්ථවාදී ආකල්පයක් අප තුළ ඇතිවූ විට, ඒ තුළ සැබැවින්ම ක්‍රියාත්මක වීමේ පාලනය සියතට ගැනීමයි. අධිෂ්ඨානශීලීව විශේෂයෙන් කුසීත බවින් පෙළෙමින් පෙරදී කටයුතු කළ ආකාරයටම කටයුතු කිරීමට අපව යොමු කිරීමක් ඉන්පසු සිදු නොවේ.  සාක්ෂාත් කරගත යුතුවන ධනාත්මක කාර්යය සම්බන්ධ පාලනය සියතට ගනිමින් එහි යෙදෙමු. ඉංග්‍රීසි කියමනට අනුව ඒ කෙරෙහි “මුළු හදින්ම යොමු වන්නෙමු”.

සාරාංශය

ධර්ම පිළිවෙත් පූරණයේ ඇති ප්‍රයෝජන සත්‍ය වශයෙන්ම ඒත්තු ගෙන, එමගින් ඇති කරන සතුට අසම වූවක් බව වටහා ගන්නා විටදී, එම කාර්යයෙහි නොපසුබස්නා වීර්යයෙන් යෙදීමේ ශක්තිය ස්වභාවිකවම ගොඩනැගේ. අපගේ ජීවිත තුළ කවරක් සිදු වුවද, නොපසුබස්නා උත්සාහය හා බැඳි දැඩි අභිප්‍රායක් පවත්නේ නම්, වීරවරයන් සේ අපට අපගේ අභිමතාර්ථ සාධනය කරගත හැක.

අපගේ අභිමතාර්ථ සාධනය කරගැනීමට කරන උත්සාහයට එරෙහිව ක්‍රියාත්මක කුසීත බව නමැති ප්‍රබලතම බාධකය මැඩ පැවැත්වීමට නොපසුබස්නා උත්සාහය උපකාරී වේ. බුද්ධත්වය කරා වූ අපගේ මාර්ගයෙහි ඉදිරි ගමනක යෙදෙන විටදී පමණක් නොව ජීවිතය පුරා අපගේ ලෞකික අරමුණු සඳහාද මෙහි විස්තර කරන ලද විධික්‍රම ප්‍රයෝජනවත් වේ.

Top