සමාලෝචනය
පුහුණු ත්‍රිත්වය හා අෂ්ඨාංගික මාර්ගය පිළිපැදීම අපගේ එදිනෙදා ජීවිතයේදී උපකාරී විය හැකි ආකාරය පිළිබඳව විමසා බලමු. පුහුණු ත්‍රිත්වය:
- ආචාර ධාර්මික ස්වයං-ශික්ෂණය
- සමාධිය හෙවත් සිත එකඟ කර ගැනීම
- විචක්ෂණ අවබෝධය හෙවත් සිහි නුවණින් අවබෝධ කරගැනීම
හා සම්බන්ධව වේ.
ආචාර ධාර්මික ස්වයං-ශික්ෂණය ගොඩනගා ගැනීම පිණිස අපි නිවැරදි කථාව, ක්‍රියාව, හැසිරීම හා දිවි පැවැත්ම ක්‍රියාත්මක කරන්නෙමු. දැන් අපට නිවැරදි වෑයම හෙවත් උත්සාහය, නිවැරදි සිහිය හා නිවැරදි සමාධිය අන්තර්ගතවන සමාධි පුහුණුව පිළිබඳව විමසා බැලිය හැක.
නිවැරදි වෑයම නම් විනාශකාරී චිත්ත ධාරාවන්ගෙන් මිදී භාවනාවට හිතකර මානසික තත්ත්වයන් ගොඩනංවා ගැනීමයි.
යම් කිසිවක් අමතක වීමෙන් තොරව රඳවා ගනු පිණිස උපකාරීවන මානසික මැලියම වනුයේ සිහියයි. එමගින්,
- අපගේ අවධානය වෙනතක විසුරුවා නොහරින පරිදි අපගේ ශරීරයේ, හැඟීම්වල, සිතෙහි හා චෛතසිකයන්හි සැබෑ ස්වභාවය අමතක නොකිරීම
- අපගේ විවිධ ආචාර ධාර්මික මාර්ගෝපදේශ, සිල්පද, හෝ ලබාදී ඇති පොරොන්දු අමතක නොකිරීම
- චිත්ත අරමුණ අත් නොහැරීම හෝ අමතක නොකිරීම සිදු කරයි.
එබැවින්, අපි භාවනා කරන්නේ නම්, අපගේ භාවනා අරමුණින් බැහැර නොවනු පිණිස හෙවත් රඳවාගනු පිණිස අපහට පැහැදිලි ලෙසම සිහිය පවත්වා ගැනීම අවශ්‍ය වේ. යමෙකු හා සංවාදයක යෙදෙන්නේ නම්, පුද්ගලයා කෙරෙහි හා ඔවුන් පවසන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම පිණිස අපට එය අවශ්‍ය වේ.
සමාධිය යනු මනස යම් අරමුණක පවත්වාගෙන යාමයි. ඒ අනුව අප යමෙකු පවසන දෙයකට ඇහුම්කන් දෙන විට, අපගේ අවධානය ඔවුන් පවසන දේ, ඔවුන් බලන ආකාරය හා ඔවුන් ක්‍රියා කරන ආකාරය ආදිය පිළිබඳව යොමු කෙරේ. සමාධිය හෙවත් අවධානය පවත්වාගෙන යාම පිණිස සිහිය උපකාරී වේ. මක්නිසාද, සිහිය යනු අප උදාසීන නොවන හා අපගේ අවධානය වෙනතක නොයැවෙන පරිදි අදාළ කරුණ තුළ රඳවා තබන මානසික මැලියම වන බැවිනි.
වෑයම
මෙය වූකලි අපගේ සමාධිය වැඩෙනු පිණිස භාවිත කරන අෂ්ඨාංගික මාර්ගයේ පළමු සාධකය වේ. සමාධියට උපකාරී නොවන පරිදි සිත විසුරුවා හරින සිතිවිලි හා භාවමය තත්ත්වයන්ගෙන් මිදීමට උත්සාහ කරන අතරම යහපත් ගුණයන් වඩා වර්ධනය කර ගැනීමටද අපි උත්සාහ කරන්නෙමු. පොදුවේ ජීවිතය තුළ යම් කිසිවක් සාර්ථක කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, අපට ඒ සඳහා යම් ප්‍රයත්නයක් දැරීමට සිදුවේ. දේවල් ආකස්මිකව අප කරා ඇදී නොඑන අතර, එය පහසු කාර්යයක් බව කිසිවෙකුදු ප්‍රකාශ නොකරනු ඇත. එනමුත්, අප ක්‍රියාකරන, කථාකරන හා අන්‍යයන් හා කටයුතු කරන ආකාරය සම්බන්ධ ආචාර ධාර්මික ස්වයං-ශික්ෂණයක් සහිතව කටයුතු කිරීමෙන් යම් ශක්තියක් ගොඩනගාගෙන ඇත්තේ නම්, එමගින් අපගේ මානසික හා භාවමය තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යත්න දැරීමේ යම් ශක්තියක් අප වෙත ලබාදෙනු ලබයි.
අයහපත් හෙවත් වැරදි වෑයම
වැරදි වෑයම මගින් අපගේ අවධානය වෙනතක යොමු කරමින්, කළ නොහැක්කක් නොවේනම්, සමාධිගත වීම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත් කරන හානිකර, විනාශකාරී චිත්ත ධාරා වෙත අපගේ ශක්තිය යොමු කරවනු ලබයි. විනාශකාරී සිතීම් ආකාර ප්‍රධාන වශයෙන් තුනකි:
- ලෝභ සිතිවිලිවල නිමග්න වීම
- ද්වේෂ සහගත හෙවත් ව්‍යාපාද සිතිවිලිවල නිමග්න වීම
- විකෘති හා එදිරිවාදී සිතිවිලිවල නිමග්න වීම.
ලෝභ සිතිවිලිවල නිමග්න වීම
සෙසු අය ඉටු කරගත් දේ පිළිබඳව හෝ ඔවුන් භුක්ති විඳින සතුට හෝ භෞතික දේ පිළිබඳව ඊ්ර්ෂ්‍යා සහගත සිතිවිලිවල නිමග්න වීම ලෝභ සිතිවිල්ලට ඇතුළත් වේ. “ඒක මට අයිති කරගන්නෙ කොහොමද?” යන සිතිවිල්ල ඔබ තුළ වේ. මෙය ඇලීම හේතුකොට පැන නැගෙන තත්ත්වයකි. සාර්ථකත්වය, මනා රූ සපුවෙන් යුත් සහකරුවෙකු/කාරියක, හා අළුත් වාහනයක් ආදී ලෙස අප සතු නොවන ඕනෑම දෙයක් වෙනෙකෙකු සතුව පැවතීම අපට නුරුස්සයි. ඒ පිළිබඳ නිතර නැගෙන සිතිවිලි මගින් ඇති කරනුයේ ඉතා කැළඹිලිකාරී චිත්ත ස්වභාවයකි. මෙමගින් මුළුමනින්ම අපගේ සමාධිය වළක්වනවා නොවේද?
පරිපූර්ණතාවාදය මෙම මාතෘකාව යටතට ගැනිය හැක - මෙහිදී අපි නිතරම අපවම අභිබවා යන ආකාරය පිළිබඳ සිතමින් සිටින්නෙමු. එය ස්වයං ඊර්ෂ්‍යාවකට සමාන තත්ත්වයකි.
ද්වේෂ සහගත සිතිවිලිවල නිමග්න වීම
ද්වේෂ සහගත සිතිවිලිවල නිමග්න වීම යනු “මේ මිනිහා මං අකමැති දෙයක් කිව්වොත් හරි කෙරුවොත් හරි මාත් බලාගන්නම්කො” ආදී ලෙස යමෙකු හට හිරිහැර කරන ආකාරය පිළිබඳව ද්වේෂ සහගතව සිතීමයි. එම පුද්ගලයා නැවත හමු වුවහොත් එවිට ඔහුට කරන හෝ කියන දෙය පිළිබඳව සිතමින් ඔහු අපට යමක් කී අවස්ථාවෙහි එකටෙක කිරීමක් වශයෙන් යමක් නොකිරීම හෝ නොපැවසීම පිළිබඳව අපි පසුතැවෙන්නෙමු. අපගේ සිතින් බැහැර කිරීමට නොහැකි තරම් අපි ඒ පිළිබඳව සිතන්නෙමු.
එදිරිවාදී විකෘති සිතිවිලිවල නිමග්න වීම
විකෘති, එදිරිවාදී සිතිවිල්ලට නිදසුනක් ලෙස යමෙක් තම පිරිසගේ දියුණුව පිණිස හෝ අන්‍යයන්ගේ යහපත පිණිස කටයුතු කරයි නම් “උන්ට පිස්සු - උං කිසි තේරුමක් නැති දේවල් කරන්නෙ. කාටවත් උදවු කරන්නෙ අහවල් කෙං ගෙඩියකටද?” ආදී වශයෙන් අප තුළ නැගෙන සිතිවිලි දැක්විය හැක.
ඇතැමෙක් ක්‍රීඩා කෙරෙහි ඇල්මක් නොදක්වන අතර රූපවාහිනියෙන් පාපන්දු තරග නරඹන හෝ කණ්ඩායමක් ක්‍රීඩා කරන ආකාරය නැරඹීම සඳහා යන අය මුළුමනින්ම සිහි විකල් වූවන් ලෙස සලකති. එය තකතීරු කාර්යයක් හෝ කාලය අපතේ හැරීමක් ලෙස සිතීම එදිරිවාදී චිත්ත ස්වභාවයකි.
නොඑසේ නම්, වෙනත් අයෙකු විසින් යාචකයෙකු හට මුදල් ලබාදී උපකාර කරනු දකින ඔබ “එයා නම් හරිම මෝඩයි” යන සිතිවිල්ල ඇතිකර ගනී. අනෙකා කෙතරම් අඥානද, ඔවුන් සිදු කරන දේ කෙතරම් අතාර්කිකද ආදී ලෙස නිතිපතා සිතිවිලි ඇති කරගතහොත් අප හට කිසි විටෙකත් සමාධිය ඇතිකරගත නොහැකි වනු ඇත. අප මිදිය යුතු සිතිවිලි මේවාය.
යහපත් හෙවත් නිවැරදි වෑයම
හානිකර, විනාශකාරී චිත්ත ධාරාවන්ගෙන් අපගේ ශක්තිය මුදාගෙන ඵලදායී ගුණාංග වර්ධනය පිණිස යොමු කිරීම නිවැරදි වෑයම වේ. මේ සඳහා පාලි භාෂාවෙන් “සතර සම්‍යක් ප්‍රධාන වීර්යය” පිළිබඳව කථා කරමු. සංස්කෘත හා තිබ්බත සාහිත්‍යයෙහි ඒ්වා නිවැරදි මිදීම අත්කරගැනීම සඳහා වූ සාධක සතර වශයෙන් හැඳින්වේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, ඒ්වා අපගේ අඩු ලුහුඬුකම්වලින් මිදීමේ “සතරාකාර පිරිසිදු අත්හැරීම්” වේ:
- පළමු කොට මේ දක්වා අප තුළ වර්ධනය වී නොමැති පාපී ගුණ ඉස්මතු වීම වැළැක්වීම සඳහා වීර්යය කරන්නෙමු. එනම් නූපන් අකුසල් නූපදවීම පිණිස වීර්යය කරන්නෙමු. නිදසුනක් ලෙස, අපගේ පෞරුෂය යම් යම් කරුණු කෙරෙහි ඉතා ඉක්මනින් ලොල්වන ස්වරූපයේ එකක් නම්, අපට මාර්ගගතව සිනමා පට සම්ප්‍රේෂණය කිරීමේ සේවයකට බැඳීමෙන් වැළකී සිටිය හැක. නොඑසේ නම් ඔබ අවසානයේ සිනමා පට පෙළින් පෙළ නරඹමින් මුළු දවස ගත කරන්නෙකු බවට පත්විය හැක. එය ඉතා හානිකර වනවා මෙන්ම සමාධිය අහිමි කිරිමට හේතු වේ.
- ඉක්බිති අප විසින් අප සතුව දැනටමත් පවත්නා අහිතකර ගුණාංගවලින් මිදීම සඳහා හෙවත් උපන් අකුසල් ප්‍රහාණය පිණිස උත්සාහ කළ යුතුය. අප යම් කිසිවකට ලොල්ව ඇත්නම් එය සීමා කිරීමට උත්සාහ කිරීම යහපත්ය. නිදසුනක් ලෙස, ඇතැම් අය සිය අයිපොඩ් මාධ්‍ය උපකරණයට බෙහෙවින් ඇලී සිටින අතර, ඉන් නැගෙන සංගීතයට සවන් දීමකින් තොරව කිසි තැනෙක යා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව අපි දනිමු. ඔවුන් නිහඬ බවට බියවූ, අන් කිසිවක් පිළිබඳ සිතීමට නොහැකිව නිතිපතා සංගීතයේ පිහිට පතන්නන් මෙනි. දුර ගමනක වාහනය පදවාගෙන යන විටදී නිදි වර්ජිතව පසුවීම සඳහාද, ශාරීරික ව්‍යායාම කිරීමේදී අවශ්‍ය වේගය රඳවා ගැනීම සඳහාද ඉහළ හඬැති සංගීතයට සවන් දීම ප්‍රයෝජනවත් විය හැකි අතර, වැඩ කිරීමේදී සිත නිවා ගැනීම පිණිස මෘදු සංගීතය උපකාරී විය හැක. එනමුත්, යමෙකු හා සංවාදයක යෙදීමේදී අවශ්‍ය අවධානය පවත්වාගෙන යාම පිණිස සත්‍ය වශයෙන්ම සංගීතය ප්‍රයෝජනවත් නොවේ. එය එහිදී සිත විසුරුවා හරින බාධකයක් වීම අනිවාර්ය ය.
- මින් පසු අප විසින් නව ධනාත්මක ගුණාංග හෙවත් නූපන් කුසල් උපදවා ගැනීම සිදුකළ යුතුය.
- ඉනික්බිති, දැනටමත් අප තුළ පවත්නා ධනාත්මග ගුණාංග පවත්වාගෙන යමින් වැඩි වර්ධනය කරගැනීමට හෙවත් උපන් කුසල් ප්‍රවර්ධනය පිණිස උත්සාහ කළ යුතුය.
මේවා විමසා බලමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය සොයා බැලීම ඉතා සිත් ගන්නා සුළු කාර්යයකි. මා පිළිබඳවම නිදසුනක් දක්වන්නේ නම්, මාගේ වෙබ් අඩවිය හා සම්බන්ධයෙන් ඉතා අයහපත් පුරුද්දක් මා තුළද විය. මා සමග එහි කටයුතු කරන අය 110 දෙනෙකු පමණ සිටින අතර ඔවුහූ ඔවුන්ගේ භාෂා පරිවර්තන හා සංස්කරණය කළ ගොනු සමගින් නිරතුරු විද්‍යුත් තැපැල් පණිවිඩ එවති. මාගේ අයහපත් පුරුද්ද වූයේ, මාගේ සහකාරවරයා හා මා හට ඒවා පහසුවෙන් සොයාගත හැකි ලෙස නිසි පරිදි ෆෝල්ඩරයන්හි ගොනුගත කිරීම වෙනුවට, එම සියල්ල එක් ෆෝල්ඩරයකට බාගත කරගැනීමයි. එය ඉතා අයහපත් පුරුද්දක් විය. හේතුව නම්, ඒවා සොයා ගනිමින් නැවත වර්ග කිරීම සඳහා බොහෝ කාල වේලාවක් අපතේ හැරීමට සිදුවන තත්ත්වයක මෙම ලිපි ගොනු සමගින් අපගේ අවධානය පවත්වාගෙන යාමේ හැකියාව පෙරකී මාගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් වැළකිනි. මෙහි ධනාත්මක ගුණාංගය කුමක්ද? යම් ලේඛනයක් පැමිණි විගස එය නිවැරදි නියමිත ෆෝල්ඩරයට ඇතුළුවන ක්‍රමයක් සැකසීමයි. මෙමගින් පළමුව සෑම දෙයක්ම සෑම තැනකම විසුරුවාලන කම්මැලි චර්යාවකට වඩා, දේවල් ඒවාට නියමිත තැන්හි තැබීමේ පුරුද්ද ඇති කරනු ලබයි.
මෙම නිදසුන තුළ අප විසින් ඉතාමත් අව-ඵලදායක පුරුද්දක් වූ යම් සෘණාත්මක ගුණයක් ද ධනාත්මක ගුණයක්ද හඳුනා ගන්නා ලදී. ඒ අනුව, සෘණාත්මක ගුණය වළකාලමින් එම ගුණාංගය තවදුරටත් සක්‍රීයව පැවතීම නතර කරනු පිණිස නිවැරදි ගොනු ක්‍රමයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් මෙහිදී ගනු ලැබීය. ඉතා සරල චර්යා මට්ටමක් මගින් පෙන්වා දෙන ලද මෙකී කාරණය පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ.
සමාධියට බාධා පමුණුවන පංචවිධ අවහිරයන් මැඩ පැවැත්වීම
නිවැරදි උත්සාහය හෙවත් වීරිය තුළ සමාධියට බාධා පමුණුවන පංචවිධ අවහිරයන් මැඩ පැවැත්වීමක්ද පවතී. ඒවා නම්:
කාමච්ඡන්දය හෙවත් පංචවිධ ප්‍රිය සංවේදක වස්තු අතරින් කවරක් හෝ හඹා යාමේ සංකල්පනා
පංචවිධ ප්‍රිය සංවේදක වස්තු වනුයේ ප්‍රිය උපදවන රූප, ශබ්ද, සුගන්ධයන්, රස හා ශාරීරික ස්පර්ශයන් වේ. අප මැඩ පැවැත්වීමට උත්සාහ කරන මෙම අවහිරතා ක්‍රියාත්මක වනුයේ අප යම් කරුණක් පිළිබඳ සිත එකඟ කරගැනීමට උත්සාහ කරන අවස්ථාවන්හිදීය. නිදසුනක් ලෙස, අප යම් කාර්යයක නිරත වන විටදී “චිත්‍රපටියක් බැලුවොත් හොඳයි” හෝ “ශීතකරණය පොඩ්ඩක් බැලුවනං හොඳයි” ආදී සිතිවිලි මගින් අපගේ අවධානය විසුරුවා හරිනු ලබයි. මෙහිදී අපි ආහාර ගැනීම, සංගීතයට සවන්දීම ආදී සංවේදක ආශ්වාදයන් හෝ ආශාවන් හඹා යන්නෙමු. අවධානය නිසි පරිදි යොමුගතව පවත්වාගත හැකිවනු පිණිස එවන් හැඟීම් ඉස්මතුවන විටදී ඒවා හඹා නොයෑමට අප විසින් වීර්ය යෙදිය යුතුය.
ව්‍යාපාද සිතිවිලි
එනම් අන්‍යයන් කෙරෙහි වූ හිංසක සිතිවිලිය. “මේ මිනිහා මට රිද්දෙව්වා. මට උන්ව පෙන්නන්න බෑ, කොහොමද පළි ගන්නේ?” ආදි වශයෙන් නිරන්තර කුඩුකේඩු සිතිවිලි දරා සිටින්නේ නම් එය සමාධියට ඉහමත් අවහිරයක් වනු ඇත. අනුන් පිළිබඳව පමණක් නොව අප පිළිබඳවම පවා අමනෝඥ, හානිකර සිතිවිලි සිතීමෙන් වැළකීමට අප යත්න දැරිය යුතුය.
ථින මිද්ධ හෙවත් සිතෙහි අපැහැදිලි බව නොහොත් සිහි මුළාව බව හා නිදිමත ස්වභාවය
මෙය අප නිසි පරිදි සිහි කල්පනා රහිත තත්ත්වයක පසුවන ස්වභාවයයි. තෝන්තු ස්වභාවයෙන් යුතුව පැහැදිලිව සිතීමේ නොහැකියාව මෙහිදී ඇතිවේ. නිදිමත ගතිය යනු පැහැදිලි ලෙසම අපට නින්ද යාමේ ස්වභාවයයි. අප මෙම තත්ත්වයට එරෙහිව සටන් කිරීමට උත්සාහ කළ යුතුය. කෝපි කෝප්පයක් පානය කිරීමෙන් හෝ එළියට පහළියට ගොස් නව සුළං රොදක ආස්වාදය ලැබීමෙන් හෝ ඉහත තත්ත්වයෙන් මිදීමට අප උත්සාහ කළ යුතුය. නමුත් සමාධිගතවීම පමණට වඩා දුෂ්කර වන්නේ නම්, අප විසින් සීමා මායිමක් පනවාගත යුතුය. ඔබ නිවසේ සිට කටයුතු කරන්නේ නම් එය “මං විනාඩි විස්සක කෙටි නින්දක් ගන්නවා” හෝ ඔබ කාර්යාලයේ සිට කටයුතු කරන්නේ නම් එය “මං විනාඩි දහයක විවේකයක් අරගෙන කෝපි කෝප්පයක් බීල එනවා” ආදී ලෙස සීමා පනවා ගැනීමක් කොට එම විවේකයෙන් පසු නැවත ඔබගේ කටයුත්තට පැමිණිය යුතුය.
උද්දච්ච-කුක්කුච්ච හෙවත් සිතේ විසිරෙන ස්වභාවය හා පසුතැවීම්
සිතේ විසිරෙන ස්වභාවය යනු අපගේ සිත මුහුණු පොත හෝ යූ ටියුබය හෝ වෙනයම් අරමුණක් කෙරෙහි පැන යාමේ තත්ත්වයයි. පසුතැවීම යනු තමා මත වරද පටවා ගනිමින් “මට හරිම කණගාටුයි ඒ දේ කරන්න වෙච්ච එක ගැන” ආදී ලෙස සිතමින් යම් වැරදි ක්‍රියාවක් පිළිබඳ අරමුණක සිත පැවතීමයි. මේවා සිත අරමුණින් ඉවතට ගෙනයන සුළු වන අතර අපගේ සිත එක්තැන් වීමෙන් වළක්වනු ලබයි.
විචිකිච්චා හෙවත් සිතේ අතීරණාත්මක චංචල බව හා සැකය
සිතේ අතීරණාත්මක චංචල බව හා සැකය යනු අප මැඩ පැවැත්වීම සඳහා ප්‍රයත්න දැරිය යුතු අවසන් බාධකයයි. “මං මොනවද කරන්නෙ? දවල්ට මොනවද කන්නෙ? මේව හොඳයි වගේ. නැත්නම් අරව ගන්නවද?” ආදී වශයෙන් ඔබගේ සිත හදා ගැනීමට නොහැකි වීමේ තත්ත්වය විසින් සුවිශාල කාල සීමාවක් අපතේ යවනු ලබයි. නිරන්තර සැකයෙන් හා අතීරණයෙන් පසුවන්නේ නම්, අපට සිත එක්තැන් කරගැනීම හෝ කටයුතු ඉදිරියට සිදු කිරීම කළ හැකි නොවේ. එබැවින් මෙම ගැටලුව නිරාකරණය කරගනු පිණිස උත්සාහ කළ යුතුය.
කෙටියෙන් සඳහන් කරන්නේ නම්, නිවැරදි වීරිය හෙවත් උත්සාහය යනු:
- කැළඹිලි සහගත හා විනාශකාරී සිතිවිලිවලින් වැළකී සිටීම
- අප තුළ ඇති අයහපත් පුරුදු හා අඩු ලුහුඬුකම්වලින් නිදහස් වීම
- අප සතු හා අප සතුව එතරම් වර්ධනය වී නොමැති යහපත් ගුණාංග ගොඩනගා ගැනීම හා
- සමාධියට බාධකව පවත්නා කරුණුවලින් නිදහස් වීම
සඳහා උත්සාහ කිරීමයි
සතිය හෙවත් සිහිය
අෂ්ඨාංගික මාර්ගයේ සමාධිය හා බැඳුණු ඊළඟ පැතිකඩ වනුයේ නිවැරදි සිහියයි:
- සිහිය යනු මූලික වශයෙන් මානසික මැලියමකි, හෙවත් ඇලී පැවතීමකි. ඔබ සමාධිගත වන විටදී ඔබගේ සිත යම් අරමුණක බැඳී පවතී. මෙම බැඳී පැවතීම, සිහිය, විසින් ඔබ එම අරමුණින් ඉවත්වීමෙන් වළකනු ලබයි.
- මෙය ඔබගේ අවධානය බැහැර යන විටදී හෝ ඔබට නිදිමත හෝ උදාසීන ගතියක් දැනෙන විටකදී එය හඳුනා ගන්නා පරීක්ෂාකාරීබව හා එක්ව ගමන් කරයි.
- ඉන්පසු අප සිත යොමුකර ඇති අරමුණ කරා සැළකිල්ල යොමු කරවන්නාවූ අපගේ අවධානය ප්‍රයෝජනයට ගන්නෙමු.
මෙහිදී අපි අපගේ සිරුර, හැඟීම්, සිත හා විවිධ චෛතසිකයන් පිළිබඳ සැලකිලිමත්වන ආකාරය පිළිබඳව අවධානය යොමු කරන්නෙමු. අත්හැරීම සිදු නොකරන විටදී සිත බැහැර ගොස් එකඟ කරගත නොහැකි තත්ත්වයකට පත්වන බැවින් අපගේ සිරුර හා හැඟීම් පිළිබඳ සැලකිල්ල යොමු කිරීමේ සාවද්‍ය විධීන් තවදුරටත් ග්‍රහණය කරගෙන සිටීමෙන් වැළකීමට අපට අවශ්‍ය වේ. එබැවින් සිහිය පවත්වා ගැනීමේ සාවද්‍ය හා නිවැරදි ආකාරයන් පිළිබඳව පිළිවෙලින් මෙහිදී සළකා බලමු.
සිරුර පිළිබඳ සැලකිල්ල යොමු කිරීම
සිරුර පිළිබඳ කථා කිරීමේදී පොදුවේ මෙමගින් අදහස් කෙරෙනුයේ අපගේ සැබෑ ශරීරය හා අපගේ ශරීරයේ විවිධ භෞතික සංවේදනාවන් හෝ පැතිකඩයන් පිළිබඳව වේ. ස්වභාවයෙන්ම අපගේ සිරුර ප්‍රිය උපදවන හෝ පිරිසිදු හෝ අලංකාර වූවක් ලෙස සැලකීම සිරුර පිළිබඳ සාවද්‍ය ලෙස සලකා බැලීමකි. අපි අපගේ පෙනුම පිළිබඳ උමතු හෝ වද වෙමින් - අපගේ කොණ්ඩය හා ලාවන්‍ය ආලේපනයන්, අප අඳින පළඳින ආකාරය ආදිය වෙනුවෙන්- සුවිශාල කාල වේලාවක් වැය කරන්නෙමු. සත්‍ය වශයෙන්ම පිරිසිදුව හා ප්‍රියජනක ලෙස සිටීම යහපත් වුවද, සිරුරේ පෙනුම ප්‍රිය උපදවන්නක් විය යුතු බවත් අන්‍යයන් ආකර්ශනය කරගැනීමට හැකිවන තරමින් එය සැම විට අංග සම්පූර්ණව පැවතිය යුතු බවටත් කල්පනා කරන්නාවූ අන්තයට ගියහොත් වඩා අර්ථවත් වූ අන් කිසිවක් කෙරෙහි අවධානය යොමු කිරීමට එතරම් කාලයක් ඉතිරි නොවනු ඇත.
සිරුර පිළිබඳව තත්ත්වාකාරයෙන් සළකා බලමු. ඔබ පමණට වඩා වැඩි කාලයක් හිඳගෙන සිටියහොත් අපහසුතාවයක් දැනෙන අතර ඔබට චලනය වීමට අවශ්‍ය වේ. වැතිරී සිටියද, එක් ඉරියව්වක් අපහසු වන විටදී ඊළඟ ඉරියව්වට මාරු වීමට සිදුවේ. අපි ලෙඩ වන්නෙමු; සිරුර ජරාවට පත්වේ. ව්‍යායාම හා නිසි පරිදි ආහාර ලබාගැනීම මගින් ශරීරය රැකබලා ගනිමින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීමට වගබලා ගැනීම වැදගත් වන නමුත් - සිරුර සදාකල් ප්‍රිය උපදවන්නක් වනු ඇත යන අදහසින් - මේ පිළිබඳ පමණ ඉක්මවා අවධානය යොමු කිරීම ගැටලුවකි.
අප මිදිය යුත්තේ මෙම සාවද්‍ය සිහියෙනි. අපගේ හිසකෙස් සැම කල්හි වැදගත්ම දේ වශයෙන් පවතිනු ඇත හෝ අප සැම විටම නිසි වර්ණ සංයෝජනයන් යෙදිය යුතුය යන අදහස අත්හල යුතු වන්නේ මෙමගින් දුක ඇති කරන බැවිනි. මෙය ග්‍රහණය කරගෙන සිටීමෙන් වැළකී “මගේ කොණ්ඩය හා ඇඳුම් පැළඳුම් සැබෑ ලෙසම සතුට උපදවන්නන් නොවේ. ඒ් පිළිබඳ පමණ ඉක්මවා කල්පනා කිරීමෙන් මාගේ කාලය අපතේ යාම පමණක් සිදුවන අතර මා වඩා අර්ථවත් දෙයක් මෙනෙහි කිරීමෙන් වළක්වනු ලබයි” යන නිවැරදි සිහිය පිහිටුවා ගන්නෙමු.
අපගේ හැඟීම් සළකා බැලීම
මෙහිදී අවසානයේ දුකෙහි මූලය හා සම්බන්ධවන දුක් හෝ ප්‍රීතිමත් හැඟීම් පිළිබඳව කථා කරමු. අප දුකින් පසුවන විටදී, අප තුළ යම් “පිපාසාවක්” පවතී - දුකෙහි අවසානයක් දැකීමේ පිපාසාවකින් අපි පෙළෙන්නෙමු. ඒ හා සමානවම, අප යම් තරමක හෝ සතුටකින් පසුවන විටදී සැබෑ ලෙසම එම තත්ත්වය වඩ වඩාත් ලබාගැනීමෙ පිපාසාවක් ඇතිවේ. මෙය මූලික වශයෙන් ගැටලුවලට මූල හේතුව වේ.
ලොව අයහපත්ම දෙය දුක වශයෙන් සළකා බලන විට එමගින් ගැටලු නිර්මාණය කෙරේ. ඒ් කෙසේද යත්, “මට ටිකක් අපහසුයි” හෝ “මගෙ හිතට එච්චර හරි නෑ” හෝ “මං දුකින් ඉන්නෙ” ආදී වශයෙනි. එය එසේ වුණාවේ. ඔබ කරමින් සිටින කටයුත්ත නොකඩවා කරගෙන යන්න. ඔබ ඔබගේ හිත් වේදනාව ලොව අයහපත්ම දෙය වශයෙන් ගෙන එය ග්‍රහණය කොටගෙන සිටීනම් එම තත්ත්වය ඔබට දැන් කරන කාර්යය කෙරෙහි හිත යොමු කිරීමේ බරපතලම බාධකය වේ.
අපි සතුටින් සිටින විටදී එම සතුට සදාකල් පවතීවා යන පැතුම සමගින් සිත විසිරී යාමට අවකාශ නොසැලසිය යුතුය. මෙය භාවනාවේදී සිදුවිය හැකි තත්ත්වයකි. එහිදී ඔබට සැබෑ යහපත් හැඟීමක් දැනෙන්නට පටන් ගන්නා විටදී, එය කොපමණ අගනේදැයි සිතමින් ඔබ ඔබගේ අවධානය වෙනතක විසිර යාමට අවකාශ සලස්වයි. ඔබ ප්‍රියමනාප අයෙක් සමගින් සිටින විට හෝ රස පිරි යමක් ආහාරයට ගන්නා විට “මේක හරිම අපූරුයිනෙ” යන හැඟීම ග්‍රහණය කරගනිමින් සිතේ ඒ්කාග්‍රතාවය බිඳ ගැනීම වැරදි ලෙස සිහිය පැවැත්වීමක් වේ. එය පවත්නා ගුණයෙන් රස විඳින නමුත් එමගින් මහා අවුලක් ඇතිකර නොගන්න.
අපගේ සිත පිළිබඳ සලකා බැලීම
අපගේ සිතෙහි සහජයෙන් පිහිටි යම් වරදක් හෝ දෝෂයක් පවත්නා බව සිතමින් එය ස්වභාවයෙන් කෝපයෙන් හෝ අමනෝඥභාවයෙන් හෝ මෝහයෙන් පිරි එකක් වශයෙන් සළකන්නේ නම් සිත එකඟ කරගැනීම දුෂ්කර වනු ඇත. නිරතුරු සිතින් අපි අපවම අවතක්සේරු කරන්නෙමු: උත්සාහ කිරීමට පෙරම “මා මේ විදිහ නොවෙයි, මා අර විදිහ නොවෙයි, මං වැඩකට නෑ” හෝ “මට තේරෙන්නෙ නෑ” ආදී සිතිවිලි ගලා ඒම මෙහිදී සිදුවේ. අප මෙම අදහස් ග්‍රහණය කරගතහොත්, කිසිවක් කළ නොහැකි වේ. එනමුත් නිවැරදි සිහිය එළවාගත හොත් අපගේ සිතිවිලි මෙයාකාර වනු ඇත: “ඔව්, තාවකාලිකව මට අවබෝධ නොවෙන්න පුළුවන්, තාවකාලිකව සිත අවුල් වෙන්න පුළුවන්, ඒ වුණත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒක මගේ හිතේ ස්වභාවය බව” ආදී වශයෙනි. එමගින් අදාළ කාර්යය නොකඩවා සිදුකිරීම සඳහා සිතේ එකඟබව යොදා ගැනීමේ විශ්වාසය අප වෙත ලබාදෙනු ලබයි.
අපගේ චෛතසිකයන් පිළිබඳ සලකා බැලීම
බුද්ධිය, කරුණාව, ඉවසීම ආදී වශයෙන් වූ චෛතසිකයන් අනුව සලකා බැලීම සිවුවන සාධකය වේ. වැරදි සිහිය පවතින විටදී ඒවා ස්ථිර ලෙස සිතමින් “ඒ මගේ හැටි. හැමෝටම ඒ්ක පිළිගන්න වෙනවා. ඒක වෙනස් කරන්න හරි වැඩි කරගන්න හරි මට කරන්න පුලුවන් දෙයක් නෑ.” ලෙස වූ අදහසක සිටී. නිවැරදි සිහිය යනු මෙකී සියලු සාධක යම් මට්ටමක ගල්වී පවතින දේ නොව මෙම සන්දර්භය තුළ වැඩිදුර සිත එකඟ කරගනු පිණිස වර්ධනය කරගත හැකි හා වෙනස් කරගත හැකි ඒවා බව දැන සිටීමයි.
ස්වයං පාලනය
සැබෑ ලෙසම කෝපවූ විලාසයකින් සිටින විට එම තත්ත්වය සම්බන්ධයෙන් අප කටයුතු කරන ආකාරය විග්‍රහ කිරීමේදී එම තත්ත්වය පුදුමාකාර බව පෙනේ. එසේ කෝප වූ හෝ වරදකාරී හැඟීමකින් සිටින විටදී අප එම චිත්ත ස්වභාවය ග්‍රහණය කරගනිමින් එහි ඇලී සිටින්නෙමු. වරදකාරී හැඟීමකදී, අපි අප කළ වරදෙහි ඇලෙමු. නමුත් අපි සියලු දෙනා මනුෂ්‍යයන් වශයෙන් වැරදීම ස්වභාව කොට ගත්තෝ වන්නෙමු. වැරදි සිහිය වන්නේ එම හැඟීමට ඇලෙමින්, ග්‍රහණය කරගනිමින්, අපම සිතන වරදකාරී ස්වභාවය උපයෝගි කරගනිමින් අපටම පහර දී ගැනීමයි. නිවැරදි සිහිය පවත්නා විටදී එවන් ස්වභාවයන් වෙනස්වන සුළු බව දැන සිටී. මක් නිසාද ඒවා නිරන්තර වෙනස්වීම්වලට භාජනය වන හේතු ප්‍රත්‍යයන් තුළින් හටගන්නා බැවිනි: කිසිවක් සදාකාලිකව නොවෙනස් ස්වභාවයකින් නොපවතී.
මූලිකව “තමා පාලනය කරගන්න” යනු බෞද්ධ ඉගැන්වීම්වල හමුවන ඉතා ප්‍රයෝජනවත් උපදේශයකි. එය යහනෙහි වැතිර දැනෙන සුවය හා නිදිමත හේතුකොට ඉන් නැඟී සිටීමට අකමැතිව සිටින ඔබ එවන් හැඟීම් පරයා උදෑසන අවදි වන්නාක් මෙනි. මෙහිදී ඔබ ස්වයං පාලනයක් සහිතව නැගී නොසිටින්නේද? අපට එම හැකියාව නොමැත්තේ නම්, අප අතරින් අඩක් දෙනා කිසිදින උදෑසන අවදි නොවනු ඇත. අප කෝප ගැන්වී සිටින විට හෝ යම් තරමක මානසික ඇද වැටීමකට ලක්ව සිටින විටද සිදුවනුයේ මේ සමාන සිදුවීමකි. අපට අප පාලනය කරගත හැක. “පැමිණ කාර්යය ඉටු කරන්න. එපමණයි!” නොසැලී කළ යුත්ත නොකඩවා සිදු කරන්න.
සිහියේ සෙසු පැතිකඩ
පොදුවේ සිහිය ඉතා වැදගත් වේ. එමගින් අප වෙතින් යම් කරුණු අමතක වීම වළක්වනු ලබයි. කළ යුතු යම් දේ පවතී නම්, ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට නිවැරදි සිහිය උපකාරී වේ. සිහිය මතක තබාගැනීම හා සම්බන්ධ කරුණකි. අද රාත්‍රී ඔබගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන ඔබ මතකයේ පවතිනු ඇත. නමුත් මෙහිදී සිදුවනුයේ එතරම් වැදගත් නොවන දෙයක් ග්‍රහණය කරගැනීමයි. එමගින් වඩා වැදගත් දේ අමතක කරවනු ලබයි.
අප යම් පුහුණුවක් ලබමින් සිටින්නේ නම්, නිවැරදි සිහිය තුළින් එහි කරුණු ග්‍රහණය කරගත හැකි වේ. අභ්‍යාස කරන්නේ නම් දිනපතා අභ්‍යාසයෙහි නියැලීම ග්‍රහණය කරගත යුතුවේ. ආහාරයක් ගන්නේ නම්, අප වෙත පිරිනමන කේක් කැබැල්ල එක්වරම ඩැහැ නොගැනීමට තරම්, සිදු කරන කාර්යය පිළිබඳ සිහිය පවත්වාගත යුතු වේ.
සිහිය යනු අප ඉටු කරන කාර්යය ග්‍රහණය කරගැනීම විනා සියලු බාහිර නොවැදගත් දෙයින් සිත විසුරුවා ගැනීම නොවේ.
පවුලේ සාමාජිකයන් සමග සිටින විටදී සිහිය පවත්වා ගැනීම
බොහෝ දෙනෙකු හට මිතුරන් හෝ අමුත්තන් සමග සිටින අවස්ථාවලට වඩා සිය පවුලේ සාමාජිකයන් සමග සිටින විටදී සිහිය පවත්වා ගැනීම අසීරු කටයුත්තක් වේ. තත්ත්වය එසේ නම්, ලබාදිය හැකි පොදු උපදේශය වනුයේ ආරම්භයේදීම ප්‍රබල අරමුණක් පිහිටුවා ගන්නා ලෙසයි. නෑදෑයන් හමුවීමට සූදානම් අවස්ථාවකදී “මං තරහ පාලනය කරගන්නවා. ඒ අය මට හරි කරුණාවන්ත බව සිහි තබාගන්න උත්සාහ කරනවා. ඒ අය මට සමීප අය නිසා මම සලකන විදිහ ඔවුන්ට දැනෙන්න පුලුවන්” යන අරමුණ පිහිටුවාගත හැක. ආරම්භයේදී මෙය ඉතා වැදගත්ය.
ඔවුන් මනුෂ්‍යයන්ය යන කරුණද අප සිහිපත් කරගත යුතුය. මව, පියා, සොයුරිය, සොහොයුරා හෝ ඔවුන් වෙත පවත්නා කවර හෝ ඥාතිත්වයකට අනුවම හුදෙක් ඔවුන් හඳුනාගත යුතු නැත. ඔබ එවන් යම් කාර්ය භාරයකට අනුව ඔවුන් හා සම්බන්ධ වන්නේ නම්, මව හෝ පියා යනු කවුරුන්ද යන්න පිළිබඳ සියලු චිත්ත නිමිති හා අප ඔවුන් සමගින් පවත්වා ගන්නා ලද සියලු ඉතිහාසගත කරුණු, අපේක්ෂාවන් හා කළකිරීම්ද සහිතවය අප ඔවුන්ගේ ක්‍රියාවනට ප්‍රතිචාර දැක්වීමට යොමු වන්නේ. එක් මනුෂ්‍යයෙකු තවත් මනුෂ්‍යයෙකු හා පවත්වන බැඳීම් ඇසුරින් පමණක් ඔවුන් හා සබඳතා පැවැත්වීම වඩා යහපත්ය. මේ කරුණ පිළිබඳ සිහි තබාගැනීමකින් තොරව තවදුරටත් දරුවෙකුට මෙන් ඔවුන් අප වෙත සැලකිලි දක්වන්නේ නම්, අප ඒ අනුව කටයුතු කිරීමට නොපෙළඹිය යුතුය. ඔවුන් මනුෂ්‍යයන්ය යන කරුණ සිහියේ තබා ගනිමින්ම එම භූමිකාව රඟපෑමෙන් වළකින්න; තනි අතින් අත්පුඩි ගැසිය නොහැකිය.
මගේ වැඩිමල් සොයුරිය මෑතකදී මා බලන්නට පැමිණ සතියක් මා සමග රැඳුනාය. ඇය රාත්‍රියේ සෑහෙන වේලාසනින් නින්දට යන අතර ඉන්පසු, මාගේ මව මෙන් සිතා, “දැන් ගිහින් නිදාගන්න” යැයි මා හට පවසන්නීය. එනමුත්, මාද දරුවෙකු මෙන් එයට ප්‍රතිචාර දක්වමින් “නෑ. තාම වේලාසන වැඩියි, මට නිදිමත නෑ. මං ටිකක් ඉන්නම්. ඇයි ඔයා මට නිදියන්න කියන්නෙ?” ආදිය ප්‍රකාශ කළහොත් ඇයට සමාන කටයුත්තක්ම මා අතින්ද සිදුවේ. ප්‍රතිඵලය වන්නේ දෙදෙනාම අවුලට පත්වීම පමණි. එබැවින්, ඇය මා පිළිබඳ සැලකිලිමත්වන බැවින් විනා මා කෝප ගැන්වීමේ අදහසින් මා වෙත ඉහත උපදෙස ලබා නොදෙන බව සිහිපත් කරගැනීමට මාහට සිදුවිය. ඇය සිතනුයේ වේලාසන නින්දට යාම මාහට වඩා යහපත් වන බවයි. එබැවින් හුදෙක් අපගේ අදහස් ප්‍රක්ෂේපණය කිරීමකින් තොරව සිදුවෙමින් පවත්නා දෙය පිළිබඳ වඩා තාත්වික අයුරින් නිරීක්ෂණය කිරීමේ උත්සාහයක අප නිරත විය යුතුය.
එබැවින්, පවුලේ සාමාජිකයන් මුණ ගැසීමට පෙර අපට අපගේ චේතනාවලිය පිළිබඳ සිහි කල්පනාවෙන් සිටිය හැක. එහි අදහස නම්:
- අපගේ අභිමතාර්ථය: අභිමතාර්ථය නම් මා ආදරය කරන, මට ආදරය කරන අපගේ පවුල සමගින් යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම හා
- ඒ සමග පවත්නා හැඟීම: මනුෂ්‍යයන් වශයෙන් අපගේ පවුල රැකබලා ගැනීමයි.
භයංකර ව්‍යායාමයක් ලෙස ගැනීමකින් තොරව ඒ දෙස බැලීමේ තවත් ආකාරයක් නම් එය අභියෝගයක් හා ප්‍රගතිය සඳහා වූ අවස්ථාවක් ලෙස දැකීමයි: “කෝප නොවී පවුලේ අය සමග මට රාත්‍රී ආහාරය ගත හැකිද?”
“ඇයි ඔයා කසාදයක් බැඳ ගන්නෙ නැත්තෙ? ඇයි වඩා හොඳ රස්සාවකට යන්නෙ නැත්තෙ? තාම දරුවො නැත්තෙ මොකද?” ආදී විමසීම් සමගින් නිරන්තරයෙන් දෙමවුපියන් මෙන් ඔබගේ පවුලේ සාමාජිකයන් විසින් ඔබ පීඩාවට පත් කිරීමට පටන් ගන්නා විටදී, (මා දුටු විගස මාගේ සොයුරිය මට පැවසූයේ “ඔයාගෙ කොණ්ඩෙ කපන්න ඕන” යන්නයි) අප අවබෝධ කරගත යුත්තේ අප පිළිබඳ ඔවුන් තුළ පවත්නා සැලකිල්ල හේතුවෙන්ම ඔවුන් එකී විමසීම් සිදුකරන බවයි. ඒ් අනුව “මා ගැන හොයා බලනවට ස්තුතියි” වැනි පිළිතුරකින් ඔවුන් වෙත සංග්‍රහ කළ හැක.
ඔවුන් කවර සමාජ පසුබිමකින් එන්නේද යන කරුණ පිළිබඳවද අපට සිතා බැලිය හැක. එනම්, ඔවුන්ගේ මිතුරන් බොහෝ දෙනෙකු විසින් “හොඳයි, ඔයාගෙ පුතා මොනවද කරන්නෙ? දුව මොනවද දැන් කරන්න හිතාගෙන ඉන්නෙ?”ආදිය විමසිය හැකි අතර, ඔවුන්ට සිය මිතුරන් සමග සමාජමය සබඳතා පවත්වා ගැනීමට සිදුවේ. ඔබ තවමත් තනිකඩව සිටින්නේ මක් නිසාද ආදී ප්‍රශ්න ඔවුන් විමසන්නේ ක්‍රෝධය පෙරදැරිව නොවේ. ඔබගේ සතුට පිළිබඳ සැලකිලිමත් වන බැවිනි. පළමු පියවර වනුයේ මෙම තත්ත්වය පිළිගෙන ඔවුන්ගේ සැලකිල්ල පිළිගැනීමයි. ඔබට අවශ්‍ය වන්නේ නම්, ඔබ අවිවාහකව සිටින්නේ මන්ද යන්න පිළිබඳව ඔවුනට විස්තර කරදිය හැක!
අයෝග්‍ය හෙවත් වැරදි සිහියක් පවත්වාගෙන යන්නේ නම්, අපි නිතරම ග්‍රහණය කරගෙන සිටින්නේ කිසිසේත් ධනාත්මක නොවන කරුණු වේ. ඒවා “ඇයි ඔයා අවුරුදු දහයකට කලින් මේක කළේ?” හෝ “ඔයා අවුරුදු තිහකට කලින් මෙහෙම කිව්වනෙ” ආදී ස්වරූපයේ ඒවා විය හැක. අප එම අදහස් තදින් අල්ලාගෙන සිටින අතර ඔවුන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව අපගේ අවධානය යොමු කිරීමෙන් වැළකීමට කිසිවෙකුටද අවස්ථාවක් ලබා නොදෙයි. “හරිම අවුලක් තමයි. අම්මල එනවා” යන පූර්ව මතය අපි ග්‍රහණය කොටගෙන සිටින අතර, එම මතය හේතුවෙන්ම රාත්‍රී ආහාරයට පෙර අපි නිරායාසයෙන් ආතතිමය තත්ත්වයකට පත් වන්නෙමු. එබැවින් අප කළ යුත්තේ මෙම තත්ත්වය නිවැරදි සිහියෙන් යුතුව සැලකිල්ලට ගනිමින් පූර්ව සංකල්පනාවන්ගෙන් තොරව ඔවුන්ගේ තත්ත්වය විමසා බැලීමට හා එළැඹෙන තත්ත්වයට අනුව ප්‍රතිචාර දැක්වීමට එය අවස්ථාවක් කරගැනීමයි.
සිහිය පවත්වාගෙන යාම සඳහා වූ ප්‍රායෝගික උපදෙස්
දුෂ්කර අවස්ථාවන්හිදී අපගේ සිහිය පවත්වාගෙන යන්නේ කෙසේද? අප විසින් පහත ගුණයන් වගාකර ගත යුතු වේ:
- අභිප්‍රාය - අමතක නොකිරීම සඳහා වූ දැඩි අභිප්‍රාය
- හුරු පුරුදු බව - ස්වයංක්‍රීයව සිහි තබාගත හැකිවන පරිදි එකම ක්‍රියාවලිය නැවත නැවතද සිදු කිරීම
- සුපරීක්ෂාකාරී බව - සතිමත් බව ගිලිහෙන විටදී එය පරීක්ෂා කෙරෙන අනතුරු ඇඟවීම් පද්ධතිය.
මේ සියල්ල සැලිකිලිමත් ආකල්පයක් මත පදනම් වේ. ඒ අනුව ඔබගේ චර්යාව ඔබටම හා සෙස්සන්ට බලපාන ආකාරය සැලකිල්ලට ගනු ලබයි. ඔබ සැබෑ ලෙසම ඔබ ක්‍රියා කරන ආකාරය පිළිබඳ සැලකිල්ලක් නොදක්වන්නේ නම්, එහි ශික්ෂණයක් නොපවතින බැවින් සිහිය පවත්වා ගැනීමක් සිදු නොවේ. අප සැලකිලිමත් විය යුත්තේ මක් නිසාද? ඔබ මනුෂ්‍යයෙකු වන බැවිනි. ඔබගේ දෙමව්පියෝ මනුෂ්‍යයෝ වෙති. අපි සියළුදෙනා නිදුක් වීමට කැමැත්තෙමු. කිසිවෙකු හට දුකින් පෙළීමට අවශ්‍ය නොවේ. අන්‍යයන් සම්බන්ධ අපගේ හැසිරීම හා කථාව ඔවුන්ගේ හැඟීම්වලට බලපාන බැවින් අප ක්‍රියා කරන ආකාරය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
අප විසින් අප පිළිබඳවම හා අපගේ අභිප්‍රායන් පිළිබඳව නිරීක්ෂණය කළ යුතුය. අනුන්ගේ කැමැත්ත දිනා ගැනීමේ අදහසින් පමණක් යහපත් අය වීමේ අරමුණක් පවත්නේ නම්, එය තරමක් අඥාන අදහසකි. සතිමත්ව සිටිමින් සිහිය පවත්වාගෙන යාම සඳහා වූ හොඳම හේතුව නම් එමගින් අප අනනු පිළිබඳ සැලකිලිමත් වීමයි. මෙම සැලකිල්ල යහපත තකා සොයා බැලීමේ ස්වභාවය මත පදනම් වේ.
චිත්ත ඒකාග්‍රතාවය
අප විසින් අදාළ කරගනු ලබන අෂ්ඨාංගික මාර්ගයේ තුන්වන පැතිකඩ වනුයේ චිත්ත ඒකාග්‍රතාවයයි. චිත්ත ඒකාග්‍රතාවය යනු සැබෑ ලෙසම යම් අරමුණක් මත සිත ස්ථානගතව පවත්වාගෙන යාමයි. අවධානය යොමුකර සිටීමට අවශ්‍ය කවරක් හෝ අප විසින් ග්‍රහණය කරගත් විටදී එය බැහැර වීමක් සිදු නොවන පරිදි සිහිය විසින් සිත එහි පිහිටුවනු ලබයි. නමුත් අරමුණ ග්‍රහණය කරගැනීම යනුම චිත්ත ඒකාග්‍රතාවයයි.
චිත්ත ඒකාග්‍රතාවය යම් අරමුණක් මතට යොමු කිරීම සඳහා අවධානය යන කරුණ භාවිත කරන්නෙමු. අතීතය හා සාපේක්ෂව වර්තමානයේ වඩ වඩාත් සිදු වෙමින් පවතින්නේ අපගේ අවධානය විසිර පවතින අතර කිසිවක් මත කිසි විටෙකත් පූර්ණ සිහිය නොපවතීමයි. රූපවාහිනී ප්‍රවෘත්ති නරඹන විටදී, දවසේ පුවත් ප්‍රකාශ කරන පුද්ගලයා තිරය මැදද, පහළින් වෙනත් පුවත් පළ කෙරෙන තීරයක්ද, දෙපස තවත් කරුණුද වේ. අපට ඒ කිසිවකට අවධානය යොමු කිරීම හෝ පූර්ණ සිහිය යෙදවීම සිදු කළ නොහැක. බහු කාර්ය හැකියාවන්ගෙන් හෙවත් එක්වර කාර්ය කිහිපයක් සිදු කිරීමේ හැකියාවන්ගෙන් අප සමන්විත වන්නේය යන්න අපගේ සිතිවිල්ල වුවද එය සාවද්‍ය සිතිවිල්ලක් වන අතර - ඔබ බුදුවරයෙකු වේනම් විනා - කිසිවෙකුට හෝ සැම දෙයක් කෙරෙහි 100% ක චිත්ත ඒකාග්‍රතාවයක් පවත්වාගත නොහැක.
ඇතැම් විට අප සමග සිටින අයෙක් අප හා කථා කරන විටදී අපගේ මනස ස්ථානගතව ඇත්තේ අපගේ සෙල්ෆෝනය මත විය හැක. මෙලෙස ඔවුන් අප හා කථා කරන විටදී අපි අවධානය යොමු කිරීමක් පවා නොකරන්නේ නම් මෙය සාවද්‍ය ලෙස මනස ස්ථානගත කිරීමකි. යමක් මත මනස ස්ථානගතව පවතින විටදී පවා, එය ස්ථිරව පවත්වා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. වරෙක එක් දෙයක් දෙසද තවත් වරෙක තවෙකක් ලෙසද බලමින් වර්තමානයේ ක්ෂණිකව දේවල් වෙනස්වන ආකාරය නිරතුරු අත්දකින අපි එමගින් ඉතා පහසුවෙන් පීඩාවට පත් වන්නෙමු. සුළු මොහොතක් එක් දෙයක්ද තවත් සුළු මොහොතක් තවත් දෙයක්ද ආදී වශයෙන් මාරුවෙන් මාරුවට වෙනස් වෙමින් පවත්වාගන්නා මෙයාකාර චිත්ත ඒකාග්‍රතාවයක් සාවද්‍ය හෙවත් වැරදි චිත්ත ඒකාග්‍රතාවයක් වේ. නිසි පරිදි සිහිය පැවැත්වීමට හැකිවීම යන්නෙන් අදහස් කරනුයේ, අපගේ කැමැත්ත වෙනස්වන ක්ෂණයකින් වෙනස් වීමකින් තොරව හා පීඩාවට පත්වීමකින් තොරව අවශ්‍ය තරම් කාලයක් සිහිය පවත්වාගෙන යාමට හැකි තත්ත්වයයි.
ප්‍රධාන අවහිරතාවයක් වන්නේ අපගේ විනෝදකාමිත්වයයි. තාවකාලික ප්‍රීතිය මගින් තව තවත් පිපාසාව ඇති කරනු වෙනුවට තෘප්තියක් ලබාදෙනු ඇත යන වැරදි සිහිය වෙත මෙමගින් ආපසු ගමන් කෙරේ. අපට කළ හැකි හා නැරඹිය හැකි දේවල් වැඩි වන්නට වන්නට - මෙම අසීමිත හැකියාවන් අන්තර්ජාලය විසින් අප හට ලබාදෙනු ලබයි - අප සැබැවින්ම වඩ වඩාත් පීඩාවට, ආතතියට හා වෙහෙසට පත්වන බව සමාජ විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. ඔබ යමක් නරඹන විටදී එයට වඩා විනෝදය දනවන වෙනත් යමක් ඇත්දැයි යන සිතිවිල්ල පැන නැගෙන අතර, එම වඩා විනෝදජනක දෙය අහිමි වනු ඇතැයි යන බියද හට ගනී. මෙපරිදි එකින් එකට මාරු වෙමින් ඉදිරියට යන ඔබ අවසානයේ කිසිවක් දෙස නැවතී අවධානය යොමුකර නොමැති තත්ත්වයක් ඇති වේ. දුෂ්කර කාර්යයක් වුවද, එකවර බොහෝ දේ සිදු නොවන තත්ත්වයකට ඔබගේ ජීවිතය සරල කරගැනීමට යත්න දැරීම යහපත්ය. ඔබගේ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වන විටදී ඔබට ඇසුරු කළ හැකි පරිසරයේ අවකාශය වර්ධනය කරගැනීමට ඔබට හැකි වනු ඇත.
ඔබට මනා චිත්ත ඒකාග්‍රතාවයක් පවත්නේ නම්, එවිට වරෙක මේ කරුණද වරෙක අර කරුණද ආදී වශයෙන් මාරු වෙමින් නමුත් අවධානය විසිර යාමකින් තොරව එක් වරෙක එක් කරුණක් මත පමණක් සිහිය පවත්වාගත හැක. මෙය කලින් සත්කාර කළ රෝගියා හෝ ඊළඟට සත්කාර කිරීමට නියමිත රෝගියා පිළිබඳව හෝ නොසිතමින් එක් වරෙක එක් රෝගියෙකු සම්බන්ධයෙන් පමණක් කටයුතු කළ යුතුවන වෛද්‍යවරයෙකුගේ තත්ත්වයට සමාන වේ. වෛද්‍යවරයෙකු හට දිනකට බොහෝ රෝගීන් පරීක්ෂා කළ හැකි නමුදු ඔවුන් නිරන්තරයෙන් එක් වරෙක මුළු සිහිය හෙවත් අවධානය යොමු කරනුයේ එක් රෝගියෙකු පිළිබඳව පමණි. මෙය චිත්ත ඒකාග්‍රතාවය හා සම්බන්ධ වඩා යහපත් තත්ත්වයකි.
කෙසේ වුවද, එය බොහෝ සෙයින් අභියෝගාත්මක කරුණක්ද වේ. මා සම්බන්ධයෙන් සලකා බලන විටදී, මම වෙබ් අඩවියෙහි විවිධාකාරයේ භාෂාවන්ගෙන් යුත් විවිධාකාර කාර්යයන් සමූහයක නිරත වන්නෙක්මි. එක් දෙයක් මත අවධානය රඳවා ගනිමින් පවත්වාගෙන යාම සත්‍ය වශයෙන්ම දුෂ්කර කාර්යයක් වේ. එකවර බොහෝ දේ ඉදිරියට පැමිණේ. සංකීර්ණ ව්‍යාපාර කටයුත්තක නිරත අයෙකු හටද ඒ හා සමාන තත්ත්වයකටම මුහුණ දීමට සිදු වේ. එනමුදු චිත්ත ඒකාග්‍රතාවය අදියරෙන් අදියර ගොඩනගාගත හැකි වේ.
සාරාංශය
චිත්ත ඒකාග්‍රතාවයට අවහිර වන්නාවූ කරුණුවලින් මිදීමද පුළුල් පරාසයක විහිදෙන මාතෘකාවක් වේ. අප කළයුතු කාර්යය පිළිබඳ පූර්ණ සිහිය පවත්වාගෙන යාමට හැකිවන පරිදි කාර්යයක නිරතව සිටින විටදී සෙලියුලර් දුරකථනය ක්‍රියා විරහිත කර තැබීම හෝ විද්‍යුත් තැපැල් පණිවිඩ පිරික්සනු පිණිස දිනකට වරක් හෝ දෙවරක් නිශ්චිත වේලාවක් තෝරා ගැනීම මේ සඳහා වූ සරල ක්‍රම වේ. එය කාර්යාල වේලාවන් වෙන්කර ඇති වෛද්‍යවරයෙකු හෝ මහාචාර්යවරයෙකුගේ තත්ත්වයට සමානය: ඔවුන් කාර්යාලයේ සිටින නිශ්චිත කාල වේලාවන් පවත්නා බැවින් ඔබට ඕනෑම අවස්ථාවක එහි පැමිණිය නොහැක. චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගා ගැනීමට උපකාරී වන බැවින් අපද අප සම්බන්ධයෙන් මේ දේ කළ යුතු වේ.
අපි සිත් ගන්නා සුළු සමාජ සංවර්ධනයක් අත් දකිමින් සිටිමු. අතීතයේ චිත්ත ඒකාග්‍රතාවයට එරෙහිව පැවති ප්‍රධාන අවහිරතාවයන් වූයේ මනස ඉබාගාතේ යාම, දහවල් හීන දැකීම ආදී ලෙස වූ අපගේම මානසික තත්ත්වයන්ය. නමුත් වර්තමානයේ තවත් බොහෝ දේ පවත්නා අතර මේවා අතරින් බොහොමයක් සෙලියුලර් දුරකථන, මුහුණු පොත හා විද්‍යුත් තැපෑල වැනි බාහිර මූලාශ්‍රයන් වෙතින් පැමිණේ. ඒ සියල්ලෙන් මවිතයට පත්වී නොසිටීමද දුෂ්කර කාර්යයකි. එසේ කළ හැකිවනු පිණිස නම් අප මෙම මාධ්‍යයන්හි හානිකර අංග ලක්ෂණ හඳුනාගත යුතුය. එක් කරුණක් මත අවධානය පවත්වාගත හැකි කාල සීමාවන් නොකඩවා කෙටි වෙමින් පවත්නේය යන්න බොහෝ අය අත්දැක ඇතිවා විය හැකි වඩාත් පැහැදිලි ලක්ෂණයයි. ට්විටර්හි සීමිත චරිත සංඛ්‍යාවක් පවත්නා අතර මුහුණු පොත් පෝෂකය නිතිපතා යාවත්කාලීන වේ. සැම දෙයක්ම නොකඩවා වෙනස් විය යුතු බැවින් ඔබට ඔබගේ අවධානය කිසිවක් මත රඳවා පවත්වාගෙන යාමට නොහැකි වීමේ හේතුවෙන් චිත්ත ඒකාග්‍රතාවයට හානිකර භයංකර පුරුද්දක් ගොඩනංවන තරමේ වේගවත් බවක් ඒ සතුවේ. මෙය ප්‍රවේශම්කාරී විය යුතු සංසිද්ධියකි.