සමාධියේ පරිපූර්ණත්වය : ධ්‍යානපාරමිතාව

03:58
අපගේ සිත් කැළඹිල්ලට පත්ව විසිර ගොස් ඇත. යම් කරුණක් මත අවධානය රඳවන්නට උත්සාහ කරන විටදී පවා අපගේ ස්මාට් ජංගම දුරකථනයන් වෙතින්නොකඩවා ගලා එන දැන්වීම් හෝ අනාගතය පිළිබඳ වූ සිහින මගින් නිරතුරු අවධානය වෙනතක යොමු කරවනු ලබයි. විශේෂයෙන් අපගේ සිත් සාංකාව, තැවුල් හා බිය යන හැඟීම්වලින් පිරී පවත්නා විටදී කිසිදු ස්ථාවරත්වයක් සහිතව අවධානය යොමුකරගෙන සිටීමේ හැකියාව වළකාලමින් අපගේ භාවයන් ඉහළ පහළ පනින්නට පටන් ගනී. සමාධි පරිපූර්ණත්වය සමගින් එන චිත්ත හා භාවමය ස්ථාවරත්වයෙන් සපිරි අපට ඕනෑම ධනාත්මක කාර්යයක් සපුරාලනු පිණිස සාර්ථකව අපගේ හැකියාවන් සියල්ල යෙදීමට හැකිවේ.

හැඳින්වීම

බලවත් ආකල්ප (පාරමිතා) සය අතරින් පස්වැන්න වනුයේ සමාධිය හෙවත් චිත්ත ස්ථාවරත්වයයි. එය පවත්නා විටදී ධනාත්මක භාවයක් හා ගැඹුරු වැටහීමක්ද සහිතව අවශ්‍ය තරම් කාලයක් ඕනෑම වස්තුවක් මත අපගේ අවධානය පරිපූර්ණ වශයෙන් යොමු කරගෙන සිටීමට හැකිවේ. අපගේ සිත් අයාලේ යාම, (විශේෂයෙන්ම කාම වස්තූන් කෙරෙහි ආකර්ශයන වීමෙන් සිදුවන) කැළඹිලිකාරී භාවයන් හේතුවෙන් ඇතිවන වැනෙන සුළු බව හෝ මානසික අවබෝධයේ හීනබව නමැති අන්තයන්ගෙන් මුළුමනින්ම නිදහස්ව ඇත. තියුණු මනසක් සහිත තැනදී අපගේ ශක්තීන් ඒකරාශී වී කීකරු මට්ටමක පවත්නා අතර ඒවා තවදුරටත් අප තුළ කැළඹිලි ඇති නොකරයි. මානසික හා ශාරීරික මට්ටමකින්ද අතිශය ප්‍රීතිමත් - නමුදු සාමකාමීද වන- හැඟීමක් අත් දකින්නට ලැබේ. අවධානය වෙනතක යොමු කරවන්නාවූ සිතිවිලි හෝ බාහිර භාවයන්ගෙන් මිදුනු කල්හි ඉස්මතුවන අසාමාන්‍ය චිත්ත පවිත්‍රත්වය අත් විඳින්නෙමු. මෙම හිස්, පැහැදිලි හා ප්‍රීතිමත් ස්වභාවය කෙරෙහි ඇලීමකින් තොරව අපේක්ෂා කරන්නාවූ යම් ධනාත්මක කාර්යයක් සාක්ෂාත් කරගනු පිණිස එය යෙදවිය හැක.

බලවත්වූ චිත්ත ස්ථාවරත්වයක් කොටස්වලට බෙදීමේ විධි ගණනාවක් පවතී - ස්වභාවයට අනුව, වර්ගයට අනුව, ක්‍රියාකාරිත්වයට අනුව ඈ වශයෙනි.

සමාධියේ ස්වභාවයට අනුව කරනු ලබන වර්ග කිරීම්

බලවත්වූ චිත්ත ස්ථාවරත්වයේ විවිධ ස්වභාවයන් කොටස්වලට බෙදීමේ එක් ආකාරයක් වනුයේ එම ස්වභාවය පවත්නා පුද්ගලයාගේ සාර්ථකත්ව මට්ටමට අනුව එය සලකා බැලීමයි. අපට පහත සඳහන් අයගේ සමාධියේ පරිපූර්ණත්වය එකිනෙකාගෙන් වෙන්කොට දැක්විය හැක:

  • ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකු – හිස්බව (ශූන්‍යත්වය) පිළිබඳ අසංකල්පීය වැටහීම මේ දක්වාද සාක්ෂාත් කර නොගත් අයෙකු
  • සාමාන්‍ය තත්ත්වය ඉක්මවූවෙකු - ශූන්‍යත්වය පිළිබඳ අසංකල්පීය වැටහීමක් සහිත උසස් අවබෝධයක් ඇති අයෙකු (ආර්යයෙකු).

යම් තරමින් හෝ අසංකල්පීය වූ ශූන්‍යතා වැටහීම දැනටමත් අත්විඳ ඇති අය කැළඹිලිකාරී ආකල්පයන්ගෙන් යම් මට්ටමකට සිය සිත් මුදවාගෙන ඇත. මෙලෙසින්, භාවමය කැළඹිලි හේතුකොට එදිනෙදා ජීවිතයේ බලවත් සමාධිය භාවිතයට යොදා ගැනීමට නොහැකි වීමේ අවකාශය ඔවුන් විෂයයෙහි අවම වේ.

සමාධි වර්ගයට අනුව සිදුකරන වර්ග කිරීම්

මෙම වර්ග කිරීම තුළ බලවත් මානසික ස්ථාවරත්වයක් සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන විටදී ලබා ගැනීමට උත්සාහ කරන දෙය හැඳින්වේ. අපගේ සමාධිය පහත සඳහන් දේ සාක්ෂාත් කරගැනීම කෙරෙහි යොමුවිය හැක:

  • සමථය – කැමති තරම් කාලයක් ධනාත්මක ස්වභාවයකට අවධානය යොමුකොට පවත්වාගත හැකි, ප්‍රීතියෙන් පිනා යන හා සතුටුදායක ශාරීරික හා මානසික හැඟීමකින් අත් විඳිනු ලබන, වැනෙන සුළු ස්වභාවයෙන් හා චිත්ත අප්‍රාණිකත්වයෙන් මුළුමනින්ම මිදුණු නිශ්චල හා සන්සුන් චිත්ත ස්වභාවයකි. එමගින් පුණ්‍යවන්ත චිත්ත ස්වභාවයකින් ඒකාග්‍රතාවයක් සහිතව යම් වස්තුවක් මත අවධානය යොමු කරනු ලබයි - නිදසුනක් ලෙස, කරුණාව හෝ හුදෙක් වෙන්කොට දැකීමේ දැනුවත්භාවය සහිතව සීමිත සත්ත්වයන් එක් අයෙකු හෝ වැඩි ගණනක් මත අවධානය යොමු කිරීම දැක්විය හැක.
  • විපස්සනා - එලෙසම වැනෙන සුළු ස්වභාවයෙන් හා චිත්ත අප්‍රාණිකත්වයෙන් මුළුමනින්ම මිදුණු හා ඕනෑම වස්තුවක සියලු විස්තර පැහැදිලි වැටහීමකින් හඳුනාගත හැකි ප්‍රීතිමත් යෝග්‍යතා හැඟීමකින් අත් විඳනු ලබන සුවිශේෂී වශයෙන් කරුණු වැටහෙන්නාවූ චිත්ත ස්වභාවයකි. සමථ පිළිවෙත් පූරණයේදී මෙන්,එහිදීද කරුණාව වැනි යම් ධනාත්මක චිත්ත ස්වභාවයකින් යම් වස්තුවක් මත සිත ඒකාග්‍ර කොට පිහිටුවන නමුදු, මෙහිදී එම පිහිටුවීම සිදු කරනු ලබන්නේ වස්තුවේ අනිත්‍ය ස්වභාවය හෝ දුක්ඛ ස්වභාවය වැනි පොදු ලක්ෂණ පිළිබඳ දළ පරීක්ෂාවක්ද සමගින් හා සත්ත්වයන් අත් විඳින දුකෙහි එකිනෙක වෙනස් වූ විවිධාකාර වර්ගයන් බඳු වස්තුවේ නිශ්චිත විස්තර සියල්ල පිළිබඳ තියුණු හඳුනා ගැනීමක්ද සමගිනි.
  • සමථය හා විපස්සනාව එකිනෙක බද්ධ යුගලයක් වශයෙන් - සම්පූර්ණ සමථ තත්ත්වයක් සාක්ෂාත් කරගත් පසු, එය විපස්සනා ස්වභාවයක් හා සම්බන්ධ කිරීමට කටයුතු කරන්නෙමු. දැනටමත් සාක්ෂාත් කරගත් සමථයක් වේනම් පමණි සැබෑ විපස්සනා මට්ටමක් අත්පත් කරගත හැක්කේ. එවිට එසේ ඒකාබද්ධ වූ මෙම යුගලය තුළ (කැමති ඕනෑම කරුණක් මත අවධානය පවත්වාගෙන යමින් එය විස්තරාත්මක වශයෙන් හඳුනා ගැනීම නමැති) ප්‍රීතිමත් හැඟුම් වර්ග දෙකම මෙන්ම එම සියලු විස්තර පිළිබඳ දළ පරීක්ෂාවක් හා තියුණු හැඳිනීමක්ද පවතී.

සමාධියෙන් ඉටු කෙරෙන කාර්යයනට අනුව සිදුවන වර්ග කිරීම්

බලවත් චිත්ත ස්ථාවරත්වය සාක්ෂාත් කරගත් කල්හි බලවත් චිත්ත ස්ථාවරත්වය මගින් බොහෝ ප්‍රතිඵල අත්කර දෙනු ලබයි. මේවා එකී සමාධිය මගින් ඉටු කරනු ලබන කාර්යයන් වශයෙන් දක්වනු ලැබේ. සමාධිය තුළින් පහත කරුණු ඉටුවේ:

  • මෙම ජීවිත කාලය තුළම අපගේ සිරුරු හා සිත් ප්‍රීතිමත් ස්වභාවයකට පත් කිරීම - මානසික හා ශාරීරික යෝග්‍යතාවයේ ප්‍රමෝදමත්, ප්‍රීතිමත් හැඟීමක් අත් විඳිනු ලබන හා අපගේ කැළඹිලිකාරී භාවයන් තාවකාලිකව නිශ්චල වූ ස්වභාවයක් අත් විඳින ස්වභාවයකි.
  • යහගුණ ඇති කිරීම - අතීන්ද්‍රීය අක්ෂි (දිබ්බ චක්ඛු) හා උසස් දැනීම (දිබ්බ සෝත), නිස්ස්‍රාව ශක්තිය (ආසවක්ඛය ඥාණය) වඩා උසස් තත්ත්වයේ මානසික ස්ථාවරත්වයක් (ධ්‍යාන) සහ ව්‍යාකූලත්වය මිශ්‍ර හැඟීමෙන් තාවකාලිකව නිදහස් වීම හා කැළඹිලිකාරී භාවයන් අඩුවී යාම වැනි සිය විමුක්තිය (අර්හත්වය) උදෙසා පමණක් ප්‍රයත්න දරන්නාවූ අය හා පොදුවේ අත්දකින සාර්ථකත්වයන්.
  • දුක් විඳින සත්ත්වයන් වෙත ප්‍රයෝජන සැලසීමේ හැකියාවක් අප වෙත ලබාදෙයි - බලවත් ආචාර ධාර්මික ශික්ෂණය හා නොපසුබස්නා උත්සාහය හා සම්බන්ධවද සාකච්ඡා කෙරෙන, උපකාර කළ යුතුවන ජන කොටස් වර්ග 11.

සාරාංශය

මෙම කරුණ නිරතුරුවම පැහැදිලිව දක්නට නොලැබුණද,  අපට අපගේ සපත්තු ලේස් ගැටගසා ගැනීම වැනි සුළු කාර්යයන් පවා සාර්ථක කරගැනීමට සමාධිය හෙවත් සිතේ එකඟතාවය අවශ්‍ය වේ. අප අතරින් බහුතරයක් දෙනා හට වඩා සංකීර්ණ කරුණු මත සිත එකඟ කොට පවත්වාගැනීමේ හැකියාව ඇති අතර, අපගේ ආධ්‍යාත්මික අභිමතාර්ථ සාධනය පිණිස මෙම කුසලතාවයන් පූරණය කළ හැකිවේ. සෙසු බලවත් ආකල්ප හා බද්ධව, බෝධිචිත්ත ඉලක්කයේ බලයද සහිතවූ අපගේ චිත්ත ස්ථාවරත්වය හා එකඟතාවය හෙවත් සමාධිය බුද්ධත්වය කරාම අප යොමු කරවන තරම් බලවත් එකක් වේ.

Top