බුදුන් දැකීම හෙවත් දෘෂ්ටි කල්පනය බොහෝ භාවනා පිළිවෙත් තුළ අන්තර්ගත කරුණකි. මෙහිදී අපගේ ඇස් භාවිත නොකෙරෙන බැවින් “දැකීම” යන යෙදුම යම්තාක් දුරට නොමග යවන සුළු පරිවර්තනයක් විය හැක. අපගේ සිතීම හෙවත් පරිකල්පනය සමගින් කටයුතු කරන බැවින් එය හුදෙක් දෘෂ්ටිමය තත්ත්වයක් පමණක් නොව, එහිදී අපට ශබ්දය, ගන්ධය, රසය හා ශාරීරික දැනීම්ද සිතින් සිතාගැනීමට සිදුවේ. විවිධ දේ සිතින් පූජා කරන විටදී, ඒවා සිතින් භුක්ති විඳීමේ ඉන්ද්‍රීය ගෝචර සතුට සිතින් මවා ගනිමු. මෙහිදී ද්විමාන රූප සිතින් මවාගැනීමක්ද සිදු නොවේ: හුදෙක් රූපයක්, පිළිමයක් හෝ කාටූන් පින්තූරයක් නොව ආලෝකයෙන් නිර්මිත ත්‍රිමාණ රූපයක් සිතින් මවාගැනීම අවශ්‍ය කෙරේ.
බුදුන් වහන්සේ පිළිබඳ අවධානය යොමු කිරීම
මහායාන සම්ප්‍රදාය තුළ සතිය පිහිටුවීමේ පිළිවෙත පිරීමේදී, හුස්ම පිළිබඳ අවධානය පවත්වාගෙන යාම වඩාත් පහසු ක්‍රමය වන බැවින් එය සිදු කරන ලෙස බොහෝ ගුරුවරුන් විසින් උපදෙස් දෙනු ලබයි. මෙම සම්ප්‍රදාය තුළ වඩාත් පොදුවේ භාවිත කෙරෙන පිළිවෙත වනුයේ කුඩා බුදුන් වහන්සේ කෙනෙකු සිතින් මවා ගැනීම මගින් සිහිය උපදවා ගැනීමයි. අපට ඇපල් ගෙඩියක් දෙස බලා සිටිමින් ඒ පිළිබඳ සිහිය පවත්වාගත හැකි නමුදු, ඇපල් ගෙඩියක් දෙස බලා සිටීමෙන් ඇතිවන ප්‍රයෝජනය කුමක්ද? බුදුවරයෙකු මත අවධානය යොමු කරන්නේ නම්, එහිදී සතිය පිහිටුවීමට අමතරව බුදුන් වහන්සේගේ ගුණ පිළිබඳ දැනුවත්ව පසුවන අතර, බෝධි චිත්තය ආදිය මගින් බුද්ධත්වයට පත්වීම ඉලක්ක කරගනිමින් බුදුන් වහන්සේ විසින් දක්වන ලද ආරක්ෂිත දිශානතිය (සරණ) අපගේ ජීවිතයට සම්බන්ධ කරගත හැක.
තවද, පුරාණ ගුරු අසංගයන් විසින් පෙන්වා දෙන ලද්දේ පූර්ණ සතිය සාක්ෂාත් කරගත හැක්කේ ඉන්ද්‍රිය බද්ධ සිහිය තුළින් නොව මනෝ සතිය තුළින් පමණක් වන බවයි. මක් නිසාද, අපගේ සිත් මගින් ආදරය, කරුණාව, ශූන්‍යතා අවබෝධය ආදිය උත්පාදනය පිණිස එම සතිය යොදාගන්නා බැවිනි. අප විසින් උත්පාදනය කිරීමට උත්සාහ කරන්නාවූ චිත්ත ස්වභාවය විෂයගත සතිය ලබාගනු පිණිස අපගේ මානසික සිහිය පුහුණු කිරීමේ මෙවලමක් වශයෙන් බුදුන්ගේ රූපය සිතින් මවාගැනීම යොදාගත හැක. මෙලෙස, විශේෂයෙන් තිබ්බතීය ගෙලුග් සම්ප්‍රදාය තුළ, පූර්ණ සතිය ලබාගනු පිණිස බුදුන් වහන්සේ සිතින් මවාගැනීම අවධාරණය කරනු දක්නා ලැබේ.
හුස්ම පිළිබඳ අවධානය යොමු කරන ලෙස හෝ බුදුන් වහන්සේගේ රූපයක් හෝ පිළිමයක් ඇසින් දකිමින් ඒ මත අවධානය යොමු කරන ලෙස කරනු ලබන උපදෙස් නිරතුරුව හමුවන තිබ්බතීය සාක්‍ය, න්යින්මා හා කාග්යු සම්ප්‍රදායන් පිළිබඳ තත්ත්වය කවරක්ද? මෙමගින් අසංගයන්ගේ උපදේශයට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කෙරෙන්නේද? නැත. අක්ෂි විඥාණය වර්ණ සහිත හැඩතලයන් පිළිබඳව පමණක් දැනගන්නා අතර එයද වරකට එක මොහොත බැගින් එසේ දැනීම ඇතිවන බව මෙම ගුරුකුලයන් තුළ ප්‍රකාශ කෙරෙන අතර, සිත මගින් වස්තූන් හඳුනා ගන්නා ආකාරය පිළිබඳ ඔවුන්ගේ විග්‍රහය විමසීමේදී එය එසේ නොවේ. එමෙන්ම, ශ්‍රව්‍ය විඥාණය විසින් එක් වරෙකට එක් මොහොතක් බැගින් ශබ්ද පිළිබඳ පමණක් දැනුවත්ව පසුවේ. සංකල්පනාත්මක හඳුනාගැනීම මගින් ඉන්පසු ඒ සියල්ල එක්කොට “පොදු ඉන්ද්‍රිය වස්තුවක්” නිර්මාණය කරනු ලබයි. නිදසුනක් ලෙස, ඇපල් ගෙඩියක් යනු හුදෙක් රක්ත වර්ණ ගෝලාකාර හැඩයක් පමණක් නොවේ. එය හුදෙක් රසයක් හෝ ගන්ධයක් පමණක්ද නොවේ. එය ඔබගේ අතට ගත්විට දැනෙන භෞතික හැඩය පමණක් හෝ එය හපන විට නැගෙන ශබ්දය හෝ පමණක් නොවේ. එය එක් මොහොතකට පමණක් නොපවතින අතර, ඉන්පසු එය සම්පූර්ණයෙන්ම වෙනස් වූ වස්තුවක් බවට පත්වේ; එනම් කාලය ඔස්සේ අඛන්ඩතාවයක් හෙවත් සන්තතියක් පවතී. ඇපල් ගෙඩිය අවසානයේ කුණුවී අවසන්ව යනු ඇති නමුත් දින කිහිපයක් පුරා පවත්නා සම්මුතික ඇපලයක් ඒ හරහා අප තුළ ක්‍රියාත්මක වේ. ඇපල් ගෙඩිය දක්නා විටදී ඔබ විසින් සැබැවින්ම දකිනු ලබන්නේ මානසික නිර්මිතයකි.
හඳුනාගැනීම හා සම්බන්ධ මෙම විග්‍රහයට අනුව, ඇපල් ගෙඩියක් හෝ අපගේ හුස්ම පිළිබඳ අවධානය යොමු කිරීමේදී, එය සංකල්පීය වස්තුවක් වන අතර, සංකල්පීය වස්තූන් මත අවධානය යොමු කෙරෙනුයේ මනෝ විඥාණය මගිනි. සංකල්පීය වශයෙන් අපි යම් වස්තුවකට වර්ණිත හැඩයන් හා ගන්ධයන් හා පිළිවෙලින් එන ඒ ඒ මොහොත එක් කරන අතර, එයට අපි ඇපල් ගෙඩිය හෝ වෙනයම් නමක් සහිතව පොදු හැඟීමක් ආරෝපණය කරන්නෙමු. එබැවින් මෙම ගුරුකුලයන් විසින්ද මනෝ විඥාණය මගින් සතිය වර්ධනය කරගත යුතු බවට වූ අසංගයන්ගේ ප්‍රකාශයට ගරු කරනු ලබයි.
සැබෑ පිළිවෙත
සතිය වර්ධනය කරගනු පිණිස බුදුන් වහන්සේගේ රූපයක් යොදා ගන්නේ නම්, එම බුද්ධ රූපය අපගේ මාපටැඟිල්ලේ ප්‍රමාණයට විය යුතු අතර අප ඉදිරියෙන් අතක දුරින් පිහිටුවිය යුතුය. අපගේ ඇස් පහතට හෙළනු ලබන අතර, සැබෑ ලෙසම වස්තුව මත හෙළනු නොලබයි. මක් නිසාද එය ඔබගේ ඇස් මගින් උත්පාදනය කෙරෙන රුවක් නොවන බැවිනි. අපගේ ඇස් පහතට හෙළන අතර බුද්ධ රූපය තරමක් ඉහළින් අපගේ නළල මට්ටමින් පිහිටුවනු ලබයි.
එය කිසිසේත් දුෂ්කර කාර්යයක් නොවේ. බිම බලන්න. ඉන්පසු ඔබගේ මාපටැඟිල්ල ඔබගේ ඉදිරියෙන් නළල මට්ටමින් පිහිටුවන්න. ඔබගේ මාපටැඟිල්ල එම ස්ථානයේ පවත්නේය යන හැඟීම ඔබ සතුවන බැවින් ඒ දෙස නොබලමින්ම ඔබගේ මාපටැඟිල්ල පිළිබඳ අවධානය යොමුකළ නොහැක්කේද? ඉන්පසු ඔබගේ අත පහළට හෙළන්නේ නම්, එවිටද ඔබගේ මාපටැඟිල්ල පෙරදී පිහිටුවා තිබූ ස්ථානය පිළිබඳ අවධානය යොමුකළ හැක. මෙය පහසු කාර්යයකි.
බොහෝ ථේරවාද බෞද්ධ පිළිවෙත්හි දෑස් පියවා තබන ලෙස නිර්දේශ කෙරෙන නමුදු, මහායාන පාඨ ග්‍රන්ථයන්හි උපදේශය වනුයේ ඇස් විවරව තබාගන්නා ලෙසයි. දෑස් පුළුල්ව විවර කොට හා පියවා තබන යම් නිශ්චිත භාවනා පිළිවෙත් පවත්නා නමුදු පොදු මහායානයේදී දෑස් විවරව මිස වසාගෙන නොපවතී. පහසුවෙන් අවධානය වෙනතක යොමුවිය හැකි හා විසිරී යා හැකි බැවින් දෑස් සම්පූර්ණයෙන් විවෘතව තබාගැනීම අවශ්‍ය නොවේ. එබැවින් අපි නාසාග්‍රය කරා පහළට හෙලූ බැල්මක් හෙළන්නෙමු. අපගේ ඇස් වපර වන බවක් මින් අදහස් නොවන නමුදු, ඉහිල් අවධානයක් සහිතව, එනම් තියුණු අවධානයක් නොමැති තත්ත්වයක, නාසාග්‍ර මට්ටමින් බිම දෙස බලන්නෙමු: අපි මෙහිදී බිම වැටුණු අපගේ ඇස් කණ්නාඩිය සොයන්නෝ නොවෙමු.
ඇස් වසාගෙන භාවනා කිරීමේ අවාසිද පවතී. චිත්ත සංහිඳියාව හා ආදරය සහ කරුණාව වර්ධනය කරගනු පිණිස අපගේ ඇස් සම්පූර්ණයෙන්ම වසාගෙන සිටීමේ පුරුද්ද ඇතිකර ගතහොත්, අදාළ කටයුත්ත එදිනෙදා ජීවිතයේදී සිදු කිරීම අපහසු විය හැක. අන් අය සමග කටයුතු කරමින් සිටීමේදී එක්වරම ඔබගේ ඇස් වසාගෙන යම් චිත්ත ස්වභාවයක් උත්පාදනය කිරීමට උත්සාහ කළ නොහැක - එය තරමක් අසාමාන්‍ය දෙයක් ලෙස පෙනී යා හැක. මහායාන බුදු දහමේදී අන් සියලු සත්ත්වයන් කෙරෙහි අපගේ කර්තව්‍යය යොමු කෙරෙන බැවින් අපගේ ඇස් තරමක් විවෘත කරගෙන සිටිමු; මක් නිසාද, ඔවුන් අපගේ දෘෂ්ටියෙන් ඉවතට හෙළීමට අපට අවශ්‍ය නොවන බැවිනි. පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් පෙන්වා දෙන පරිදි, දෑස් වසාගෙන භාවනා කිරීමේ වඩාත් තියුණු ගැටලුවක් වනුයේ එහිදී අපගේ ඇහි පිය තරමක් ගැස්සෙන අතර, අවධානය විසිරී යවන්නාවූ නර්තනාකාර රක්ත වර්ණ බිඳු නිරන්තරයෙන් දිස් වන්නට වීමයි.
සිතින් මවාගැනීමේ පැතිකඩයන් දෙක
සිතින් මවා ගැනීමේදී කල්පනාවට ගතයුතු වැදගත් පැතිකඩ දෙකක් පවතී. ඉන් එකක් වනුයේ දර්ශනයක් මැවී යාමයි. මෙය නිරන්තරයෙන් “පැහැදිලි බව” යනුවෙන් පරිවර්තනය කෙරෙන නමුදු, එය එතරම් සුදුසු වචනයක් නොවන්නේ එමගින් අවධානයට ලක් කෙරෙන වස්තුවක් පිළිබඳ සඳහන් කෙරෙන බැවිනි. මේ අවස්ථාවේදී සාකච්ඡා කෙරෙනුයේ එවැන්නක් පිළිබඳව නොව අපගේ සිත්හි මවාගැනීම තුළ යමක් දිස්වන්නට සැලැස්වීමයි. දෙවන සාධකය පොදු භාෂාවෙන් පවසන්නේ නම්, “ආඩම්බරය” වන අතර, එහිදී අප විසින් සිතින් මවාගනු ලබන දෙය සැබෑ ලෙසම පවත්නා බවට හැඟීමෙන් ඇතිවන ආඩම්බරකාරිත්වය අදහස් කෙරේ.
ෂොංඛපා විසින් විස්තර කරන පරිදි මෙම ආඩම්බරය, මෙම හැඟීම, ආරම්භයේදී ඉතා වැදගත් වේ. අවධානයට ලක්වන සත්ත්වයන් සිතින් මවාගැනීම පිළිබඳව අප පමණට වඩා වදවිය යුතු නොවන නමුදු අප ඉදිරිපිට බුදුවරයෙකු ඇත්තේය යන්න සැබෑ ලෙසම දැනීමේ හැකියාවක් ඇත්තේ නම් එය ඉතා යහපත්ය. අපට අවශ්‍ය වනුයේ හුදෙක් කහ වර්ණයක් වැනි යම් දර්ශනයක් පැවතීම හා ඉන්පසු ඒ ඔස්සේ “ඔව්, එතන බුදුවරයෙකු සිටිනවා”යි සිතීම පමණි. අපගේ සතිය වර්ධනය වන කල්හි විස්තර ස්වයංක්‍රීයව ඉස්මතුවනු ඇත.
පමණට වඩා පීඩනයන් ඇති නොකරන්න
පිළිවෙත් පුරන්නන් වශයෙන් අප විසින් සිදුකරන මහාම වරදක් නම් සිතින් මවාගැනීමට උත්සාහ කරන දෙය කවරාකාරයෙන් පෙනෙනු ඇත්තේද, එහි ඇති ස්වර්ණාභරණ හා ඇඳුම් පැළඳුම් කවරේද හා ඇස් කවර වර්ණයෙන් යුක්තද ආදී වශයෙන් වූ විස්තර තුළ ගැලී සිටීමයි. මෙමගින් කිසිසේත් පිළිවෙත් පිරීම සිදුකළ නොහැකි බවට වන ආතතිමය හැඟීමක් ඇතිවිය හැක. බොහෝ රූප සමූහයක් දර්ශනය කරගැනීමට උත්සාහ කරන විටදී එය වඩාත් අයහපත් අතට හැරේ. පාඨ ග්‍රන්ථවලින්ද උපකාරයක් නොලැබෙනුයේ ආරම්භයේ සිටම ඒ සියල්ල දර්ශනය කරගැනීමට හැකිවිය යුතු බවට වූ හැඟීමක් ලබාදෙන සියලු සවිස්තරාත්මක තොරතුරු එමගින් සපයනු ලබන බැවිනි. බොහෝ රූපයන්හි සංකීර්ණ සැකැස්ම පිළිබඳ සියලු විස්තර දර්ශනය කරගැනීමට හැකිවීම යනු විශ්වාස කළ නොහැකි තරම් උසස් මට්ටමකි. අවසානයේදී විශ්වාස කළ නොහැකි තරම් කුසලතාවයෙන් යුක්ත අය වන විටදී, අපට ඒ සියල්ල දර්ශනය කරගැනීමට හැකිවනු ඇති නමුදු දැනට අපට එම තත්ත්වය අමතක කළ හැක. සියලු විස්තර ලබාගනු පිණිස පමණට වඩා මහන්සි වන්නේ නම්, එවිට තිබ්බතීය භාෂාවෙන් “ලං” ලෙස හැඳින්වෙන අපගේ ශක්තිය කැළඹීමට පත්ව ඉච්ඡා භංගත්වයට පත්වන තත්ත්වයක් සැබෑ ලෙස ඇතිවනු ඇත.
දර්ශන ගොඩනැගීම
ෂොංඛපා විසින් සම්ප්‍රදායන් දෙකක් පිළිබඳව සඳහන් කරමින් සංකීර්ණ දර්ශන පිළිබඳ ඉතා ප්‍රායෝගික උපදෙස් ලබාදෙනු ලබයි. ඉන් එකක් වනුයේ වරෙකට එක බැගින් සියුම් විස්තර සම්බන්ධයෙන් සිහිය පවත්වාගෙන යන අතර, සමස්ත රූපය ලැබෙන තුරු ඒවා එක්රැස් කිරීමයි. මෙම ක්‍රමය විශේෂිත පුද්ගලයන් කිහිප දෙනෙකුට පමණක් සුදුසු වන බව ඔහු පවසයි. අප අතරින් බහුතරයක් දෙනා හට පළමුව සමස්තය පිළිබඳව වූ දළ රූපයකින් ආරම්භ වී ඉන්පසු එම රාමුව ඇතුළත ක්‍රමයෙන් විස්තර පුරවාලීමට සිදුවනු ඇත.
එක් විස්තරයක් මත තියුණු ලෙස අවධානය යොමු කරමින් ඉන්පසු පළමු විස්තරය මත වූ අවධානය තබාගනිමින්ම තවත් විස්තරයක් එක් කිරීම සිදුවන මෙකී විස්තර එක් කිරීමේ ක්‍රියාවලිය එසේ ඒකරාශිකරණ ස්වභාවයක් ගැනීම වැදගත් වේ. එවිට ඔබගේ තියුණු අවධානයට යොමුවන කරුණු දෙකක් පවත්නා අතර පළමු කරුණු දෙක පිළිබඳ අවධානය ගිලිහීමකින් තොරව තුන්වැන්නක්ද එක්කළ හැක. තවදුරටත් යමක් එක් කිරීමේදී දැනටමත් පවත්වාගෙන යනු ලබන දෙය මත වූ අවධානය ද ගිලිහී යා නොදී පවත්වාගෙන යාම තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වේ.
බුදුවරයෙකු සිතින් මවාගන්නේ නම්, ෂොංඛපා විසින් උපදෙස් ලබාදෙනුයේ අක්ෂි ඉන්ද්‍රියයෙන් ආරම්භය ගන්නා ලෙසයි. ඉන්පසු ඔහු පවසන්නේ සිරුරේ පොදු ආකෘතිය පැහැදිලි නම්, එය රඳවාගත යුතු බවයි. පොදු ආකෘතිය අපැහැදිලි නමුදු ඇතැම් කොටස් පැහැදිලි නම්, එවිට එම පැහැදිලි කොටස් මත අපගේ අවධානය රඳවන්නෙමු. මෙම කොටස් කිහිපයද වියැකී යන්නේ නම්, නැවතද වරක් සමස්ත පොදු දළ ආකෘතිය උපදවාගත යුතු වේ.
දැනුවත්භාවය ව්‍යාප්ත කිරීමේ මෙවලමක් වශයෙන් සිතින් මවාගැනීම
මෙකී සියලු සංකීර්ණ චිත්ත මැවීම්හි අදහස කුමක්ද? ඒ වූකලි හුදෙක් චිත්ත රූප මැවීම සම්බන්ධයෙන් ඔලිම්පික් රන් පදක්කම දිනීම අවසාන ඉලක්කය වන මානසික මලල ක්‍රීඩා කුසලතාවයන් වැඩි වර්ධනය කරගැනීමක් නොවේ. සියලු විස්තර එක් වරම බොහෝ විවිධ දේ පිළිබඳ අපගේ සිතේ දැනුවත්භාවය හා වැටහීම ව්‍යාප්ත කිරීමට උපකාරී වේ. මෙහිදී වැදගත්වන කරුණ සියල්ල දිස්වන ආකාරය නොවේ, ඒ එක් එක් විස්තරය මගින් නියෝජනය කෙරෙන දෙයයි.
බුදුවරයෙකු බවට පත්වීම කරා අප යොමු කරන විවිධ හේතුමය පිළිවෙත් සලකා බලන්න: ප්‍රධාන පිළිවෙත් 32ක් පවතී. විශේෂයෙන් අප විසින් සම්පූර්ණයෙන් දුරවබෝධ විධික්‍රමයකට එම කාර්යය සිදු කරන්නේ නම්, මෙකී විවිධාකාර වූ පිළිවෙත් වර්ග 32 මත සම්පූර්ණ මානසික අවධානය යොමුකරගෙන සිටීම ඉතා දුෂ්කර කාර්යයක් වේ. කොණ්ඩය වමේ සිට දකුණට රැළි ගැසී පැවතීම වැනි බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ස්වරූපයෙන් මෙම කරුණු 32 නියෝජනය කරවන්නේ නම්, මේ සියල්ල එකට තැබීම වඩාත් පහසු වන අතර, එයයි අපගේ අරමුණ වනුයේ. වරකට එක බැගින් ඒ ඒ අවබෝධය උත්පාදනය කරගැනීමට නොහැකි වූයේ නම්, ඒ සියල්ල එක්වර ජාලගත කරනුයේ කෙසේද? සියලු සත්ත්වයන්ගේ යහපත සැලසීම අපගේ අරමුණ වන්‍නේ නම් ඉන් අදහස් කෙරෙනුයේ එකම අවස්ථාවක සියල්ලන් පිළිබඳ දැනුවත්ව සිටින බවයි. මේ සඳහා අප විසින් අපගේ දැනුවත්වීම ක්‍රමිකව වර්ධනය වන පරිදි සිත් ව්‍යාප්ත කළ යුතු වේ. මෙකී සංකීර්ණ චිත්ත රූප අපට මෙම කාර්යය සිදු කිරීමට උපකාරී වේ.
සාරාංශය
යම් කාර්යයක් පිළිබඳ සැබෑ උද්‍යෝගයක් පවත්නේ නමුත් යම් විවේකයක් ලැබෙන තුරු එය කල් දමන්නේ නම් අපි කම්මැලියන් නොවන්නෙමු; සම්පූර්ණයෙන්ම ශක්තිය වියැකී, උනන්දුව පිරිහී කාර්යය ඉවත දමන තත්ත්වයට පත් නොවනු පිණිස අපට විවේකයක් අවශ්‍ය වන්නේ කවර විටෙකද යන්න දැන සිටීම සැබෑ ලෙසම වැදගත් වේ. දේශනා විමර්ශනය කරමින් ඒවා පිළිබඳ භාවනා කරමින් ඉගෙන ගැනීමේ ප්‍රයෝජනයන් සැබෑ ලෙස දකින්නට පටන්ගත් විටදී, නොපසුබස්නා උත්සාහයෙන් බලගැන්වුණු මානසික ශක්තිය ක්‍රමිකව ඉස්මතු වනු ඇත. මේ සියල්ලටම ඉහළින්, බුදු දහමේ එන සිතින් දර්ශන මවාගැනීමේ විධික්‍රම යනු නොඇදහිය හැකි මට්ටම් දක්වා අපගේ සතිය හා දැනුවත්භාවය පිරිපහදු කිරීමේ බලවත් ක්‍රමයක් වේ. එය පියවරින් පියවර ලබාගත යුතුබව දැන සිටීම මේ සඳහා වූ ප්‍රධාන අවශ්‍යතාවයයි. කලක් පුරා මෙම කාර්යය සිදු කරන්නේ නම්, අප වෙනුවෙන්ම පමණක් නොව සෙසු සියලු දෙනා හට උපකාර කිරීම සඳහාද අතිශයින් ප්‍රයෝජනවත් චිත්ත ස්වභාවයන් සාක්ෂාත් කරගැනීමට අපට හැකිවනු ඇත.