භාවනාව සඳහා වූ මූලික අවශ්‍යතා

Week%203%20preliminaries%20to%20meditation%20%281%29

භාවනාවට යෝග්‍ය පරිසරයක්

සැබෑ ලෙසම භාවනාවෙහි නිරත වීමට නම් ඒ සඳහා යෝග්‍ය පසුබිමක් අවශ්‍ය වේ. භාවනාව සඳහා යෝග්‍ය සාධක ලැයිස්තු ගණනාවක් පවත්නා නමුත්, අප බොහෝ දෙනෙක් නිවසේ සිට භාවනා කරන නමුදු වස් වසමින් භාවනා කරන පසුබිමක් තුළය මේවා සාමාන්‍යයෙන් සාකච්ඡා කොට ඉදිරිපත් කෙරෙනුයේ.

නිවසේදී පවා වඩාත් ප්‍රයෝජනවත් වනුයේ සිත වෙනතක යවන සුළු කරුණු නොපැවතීමයි. පරිසරය හැකිතාක් නිහඬ එකක් විය යුතුය. අප බො‍හෝ දෙනෙකු රථ වාහනවලින් පිරි ඝෝෂාකාරී වීදි ආසන්නයේ ජීවත්වන බැවින් වාහන තදබදය අවම වන හිමිදිරි උදෑසන කාලයේ හෝ රාත්‍රී පසුයම භාවනා කිරීම වඩාත් යහපත්ය. මෙයට අමතරව, යාබද කාමරයේ සංගීතය හො රූපවාහිනී වැඩසටහන් ක්‍රියාත්මකව නොපැවතිය යුතුය. මෙයාකාර දේ බොහෝ සෙයින් වැදගත් වේ. නිහඬ පරිසරයක් සොයා ගැනීම සිදුකළ නොහැක්කේ නම්, කන්වල ඇබ ගසා ශබ්දය වළක්වාලීමට උත්සාහ කරන්න. එමගින් සමස්ත ඝෝෂාව වළක්වාලීම සිදු නොවුවද එහි තීව්‍රත්වය අවම කරනු ලබයි.

අප අතරින් බොහෝ දෙනෙකු හට වෙන්වූ භාවනා කාමරයක් පවත්වාගෙන යාමේ හැකියාව නොමැති විය හැක. පවත්නා කවර හෝ අවකාශයක් මේ සඳහා භාවිත කළ හැක. අවශ්‍ය වන්නේ නම්, නිදන ඇඳේ සිටම භාවනා කිරීමෙහිද ගැටළුවක් නොමැත. ඉන්දියාවේ වසන බොහෝ තිබ්බතීයයෝද සිය ඇඳන්වල සිට භාවනා කරති.

බොහෝ සෙයින් වැදගත්වන තවත් සාධකයක් නම් පිරිසිදු, හොඳින් සැකසූ කාමරයක් පැවතීමයි. පරිසරය පිරිසිදු හා මනා ‍සේ සැකසූ එකක් වේනම්, එමගින් සිතටද පිරිසිදු හා මනාසේ සැකසූ තත්ත්වයකට පත්වීමේ බලපෑමක් ඇති කරයි. කාමරය අපිරිසිදු, අවුල් සහගත, කිලිටි වූ තත්ත්වයක පවත්නේ නම්, සිතද එම තත්ත්වයට පත්වීමේ නැඹුරුවක් ඇත. එබැවින්, භාවනාවට පෙර අවශ්‍ය දෙයක් වශයෙන් නිරතුරු ලැයිස්තුගත කෙරෙන පූර්වාවශ්‍යතාවයන්ගෙන් එකක් වනුයේ භාවනා කාමරය පිරිසිදු කොට අවම වශයෙන් වතුර කෝප්පයකින් හෝ බුද්ධ පූජාවක් පැවැත්වීමයි. අපට අප සිදු කරන දෙය සඳහා යම් ගෞරවයක් පෙන්වීමේ අවශ්‍යතාවයක් පවත්නා අතර බුදුන් වහන්සේලාට හා බෝධිසත්ත්වයන් වහන්සේලාට එහි පෙනී සිටින ලෙස ආරාධනා කිරී‍මේ සිතිවිල්ලක් පවත්නේ නම්, උන් වහන්සේලාට පිරිසිදු කාමරයකට විනා අවුල් වූ කිලිටි කාමරයකට ආරාධනා කිරීමට අපට අවශ්‍ය නැත. සාමාන්‍ය මානසික මට්ටමකදීද, සිදුකරන කාර්යය කෙරෙහි යම්කිසි ගෞරවයක් සහිතව එය යම් විශේෂිත කරුණක් සේ සලකා කටයුතු කිරීම වැදගත් වේ. “විශේෂිත” යන්නෙන් අදහස් කෙරෙනු‍‍යේ ඉටි පන්දම් හා සුවඳ දුම් ගල්වා සූදානම් කරනු ලබන හොලිවුඩ් සිනමා පටයකදී මෙන් නොව, සරල, චාම්, පවිත්‍ර, පිිරිසිදු හා ගෞරවාන්විත පරිසරයක් ඇති කිරීමයි.

ඉරියව්ව

විවිධ ආසියානු සංස්කෘතීන් අතර භාවනාව සඳහා පවත්වාගනු ලබන ඉරියව්වේ වෙනස්කම් දක්නට ලැබේ. ඉන්දියානු/තිබ්බත, චීන/ජපන් හා තායිලන්ත භාවනා ඉරියව් එකිනෙකට වෙනස් වන බැවින් යම් නිශ්චිත ඉරියව්වක් එකම නිවැරදි ඉරියව්ව බව පැවසිය නොහැක. ඉන්දියානුවෝ හා තිබ්බතීයයෝ එරමිණිය ගොතා හිඳ ගනිති. නිරතුරු ජපන් ජාතිකයෝ හා ඇතැම් චීන ජාතිකයෝ හිඳ ගැනීමේදී සිය පා යටින් නමා හිඳ ගනිති. තායි ජාතිකයෝ සිය පා පසෙකින් පිහිටන සේ හිඳ ගනිති. සිරුරේ ශක්තිය සමගින් කටයුතු කරන්නාවූ තන්ත්‍ර පිළිවෙත්හිදී, පූර්ණ පර්යංකය අවශ්‍ය වන නමුදු අප බොහෝ දෙනෙකු එම පිළිවෙත් අදියරට ප්‍රවේශ වී නොමැත.කෙසේ වුවද, ඒ වර්ගයේ පිළිවෙත් පිරීමකට අපේක්ෂාවක් පවත්නේ නම්, ජීවිතයේ පසු කාලීනව මෙම ඉරියවුවෙන් හිඳ ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන බැවින්, පූර්ණ පර්යංකයෙන් හිඳ ගැනීම ඉතා තරුණ වියේදීම ආරම්භ කළ යුතු බවට දැඩිසේ නිර්දේශ කරනු ලැබේ. බටහිර ජාතීන් සම්බන්ධයෙන් සලකා බලන කල, ඔබට මෙම සම්ප්‍රදායික ආසියානු ඉරියවු අතරින් කවරකින් හෝ හිඳ සිටීම සිදුකළ හැක්කේ නම්, එය අගනේය; නොඑසේ නම්, පුටුවක හිඳගැනීමද යහපත්ය. වැදගත්ම කරුණ නම් කොන්ද සෘජු ලෙස තබා ගැනීමයි.

බැල්ම යොමු කිරීම

ඇස් සම්බන්ධයෙන් සලකා බලන කල, ඇතැම් භාවනාවන් අපගේ දෙනෙත් වසාගෙනද, ඇතැම්වා දෙනෙත් ඇරගෙනද, ඇතැම්වා දෙනෙත් පහතට හෙළමින්ද, ඇතැම්වා දෙනෙත් ඉහළට හෙළමින්ද සිදු කරනු ලබයි; එය ඒ ඒ භාවනාව මත පදනම් වේ. පොදුවේ, දෙනෙත් පියාගෙන භාවනා කිරීම තිබ්බතීයයන් විසින් අනුබල දෙන්නක් නොවේ. දෙනෙත් පියාගෙන සිටීමේදී නින්ද යාමේ වැඩි ඉඩකඩක් පවත්නේය යන කරුණට අමතරව, භාවනා කිරීමට නම් දෙනෙත් පියාගත යුතු බවට වන මානසික බාධකයක්ද ගොඩනැගීමේ නැඹුරුවක් එතුළ පවතී. ඔබට එවැන්නක් හැ‍‍ඟේ නම්, භාවනාවේදී දියුණු කෙරෙන දෙය සැබෑ ‍ජීවිතයට ඒකාබද්ධ කරගැනීම වඩාත් දුෂ්කර වේ. නිදසුනක් ලෙස, මම යමෙකු සමගින් කථා කරන්නේ නම්, හා ආදරය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට නම් මා දෙනෙත් පියවිය යුතු නම් එය අසාමාන්‍ය තත්ත්වයක් වනු ඇත. එබැවින්, තිබ්බතීය සම්ප්‍රදාය තුළ බොහෝ භාවනාවන් සඳහා දෙනෙත් විවෘතව, ලිහිල් නාභිගතකරණයක් සහිතව බිම බලා සිටීම සිදුවේ.

කුෂන් ඇතිරිල්ල

එරමිණියා ගොතා හිඳ සිටින්නේ නම්, හිඳගත යුතුවන නිවැරදි කුෂන් ඇතිරිල්ල තෝරාගත යුතුය. ඇතැමුනට පැතලිව පහසුවෙන් බිම හිඳ සිටිය නොහැකි අතර ඔවුන්ගේ පා නොනිදයි. නිදසුනක් ලෙස පරම පූජනීය දලයි ලාමා වහන්සේ දේශනා පවත්වන විටදී හිඳ ගන්නේ එලෙසිනි. එසේ නමුදු බොහෝ දෙනෙකු හට‍ කුෂන් ඇතිරිල්ලක් මත හිඳ නොසිටින්නේ නම්, පා වඩාත් ඉක්මනින් නිද්‍රාගත වීමට පටන් ගනී. ඔබට එම ගැටලුව පවත්නේ නම්, උකුල් ප්‍රදේශය දණහිසට වඩා ඉහළින් පිහිටන සේ ඔබගේ පිටුපසින් කුෂන් ඇතිරිල්ලක් තබාගෙන හිඳගැනීමට උත්සාහ කරන්න. ගණකම හෝ තුනී, තද හෝ මෘදු ආදී වශයෙන් ඔබට වඩාත් යෝග්‍ය වන කුෂන් වර්ගය තෝරා ගන්න. වැදගත්ම කරුණ වන්නේ ඔබ පහසුවෙන් හිඳ සිටින අතර ඉතා අප්‍රසන්න ලෙස ඔබගේ පා නින්දට වැටීමෙන් වළක්වන පරිදි කුෂන් ඇතිරිල්ල යෙදීමයි. බොහෝ බෞද්ධ මධ්‍යස්ථානයන්හි වටකුරු හෝ සතරැස් යෝගාසන ඇති නමුදු එම සෙන් යෝගාසන පා යටකොට හිඳගන්නා ජපන් ඉරියව්වෙන් හිඳ සිටීම සඳහා සකසා ඇත. මේවා මත ඇතැමුන් හට පහසුවෙන් එරමිණිය ගොතා හිඳගත හැකිවිය හැක. එසේ නමුදු බොහෝ දෙනෙකු හට ඒවා උසින් හා ගණකමින් වැඩිවේ. ඔබගේ මධ්‍යස්ථානය මගින් ගණකමින් යුත් යෝගාසන පමණක් ලබා දෙන්නේ නම් හා ඔබ එරමිණිය ගොතා හිඳ‍ සිටින්නේ නම්, ඔබගේම පෞද්ගලික පරිහරණයට ගෙන ඇති කුෂන් ඇතිරිල්ල රැගෙන ආ හැක.

භාවනාව සඳ‍හා වේලාවක් තෝරා ගැනීම

බොහෝ අය සම්බන්ධයෙන් සලකා බලන කල භාවනාව ස‍ඳහා වඩාත් යහපත් වේලාව දෛනික කටයුතුවලට අදාළව සිත විසිර යන්නාවූ කරුණු අවම වන පරිදි සියල්ලට පෙර උදෑසන කාලය හෝ සියලු කටයුතුවලට පසුව එන රාත්‍රී කාලයයි. ඇතැම්හූ උදෑසන වඩාත් අවදිව සිටින අතර ඇතැම්හූ රාත්‍රී කාලයේ වඩාත් අවදිව සිටිති. ඔවුන් පිළිවෙලින් “උදෑසන පුද්ගලයන්” හා “රාත්‍රී වවුලන්” ලෙස හැඳින්වෙන දෙපිරිසයි. ඔබ අන් සියල්ලන්ටම වඩා ඔබ පිළිබඳව හා ඔබගේ ජීවන රටාව පිළිබඳව දැන සිටින බැවින්, දවසේ වඩාත්ම යහපත් වේලාව ඔබට තීරණය කළ හැක.

නිදිමත ස්වභාවයෙන් පසුවන අවස්ථාවන්හි භාවනා කිරීම කිසි විටෙකත් නිර්දේශ නොකෙරේ. රාත්‍රියේ නිදිමත දැනෙන නමුත් නින්දට යාමට පෙර භාවනා කිරීමට උත්සාහ කරන්නේ නම්, භාවනාව අතරතුර නින්දට වැටෙනු ඇති අතර, එය කිසිසේත් ප්‍රයෝජනවත් කාර්යයක් නොවේ. එමෙන්ම, හිමිදිරි උදෑසනද ඔබ අඩ නින්දේ පසුවන්නේ නම් ඔබට භාවනාව එතරම් ඵලදායක එකක් නොවනු ඇත. බොහෝ තිබ්බතීයයන් තුළ මෙම පුරුද්ද නොපවත්නා නමුදු හිමිදිරි උදෑසන භාවනා කිරීමට පෙර කෝපි හෝ තේ කෝප්පයක් පානය කිරීමේ කිසිදු ගැටළුවක් නොමැත.

මාගේ ගුරුවරයා වූ ෂෙන්ෂැබ් සර්කොං රින්පොෂේ පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ ගුරුවරුන් අතරින් එක් අයෙකු විය. එතුමා විසින් එතුමා පුහුණුව ලද තිබ්බතීය තන්ත්‍ර විද්‍යාලයීය තාපසාරාමයන්හි භාවනාවන්හි නිරත වූ අයුරු විස්තර කරන ලදී. සියලු භික්ෂූන් භාවනා ශාලාවේ හි‍ඳ සිටි අතර, අසල සිටින්නාගේ උකුල මත සිය හිස තබාගැනීමේ විලාසයකින් හිඳ සිටින ස්ථානයේම ඔවුහූ නින්දට වැටෙති. ශාරීරිකව ස්පර්ශ වීම තිබ්බතීයයන් හට ගැටලුවක් නොවේ. ඉතාමත් හිමිදිරි උදෑසන අවදි වීම සඳහා සීනුව නාදවන අතර, ඔවුන් විසින් සිය භාවනාව ආරම්භ කිරීම, ගාථා සජ්ජායනය ආදිය හිඳගෙන සිටිමින් ආරම්භ කළ යුතුවිය. ඔබ මැදියම් රැයේ නින්දෙන් ඇහැරවනු ලැබ ශල්‍ය කර්මයක් වැනි යම් කාර්යයක නිරත වීමට හුරු පුරුදුව සිටින්නෙක් නම් විනා, අවදි වූ විගස භාවනාව ආරම්භ කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වේ.

භාවනා කාලය

භාවනා පුහුණුවේ ආරම්භක අවදියේදී ඔබගේ භාවනා සැසි කෙටි නමුත් නිරන්තරයෙන් සිදුවන ඒවා වීම වැදගත්ය. ආරම්භකයෙකු ලෙස පැය ගණනක් හිඳ‍ගෙන සිටිමින් භාවනා කිරීමට උත්සාහ කිරීම මහත් අපහසු කටයුත්තක් වේ. ඇතැම් ස්ථානයන්හි එයාකාර වැඩ පිළිවෙලක් අනුගමනය කෙ‍රුණද භාවනාව අපහසු කාර්යයක් වුවහොත් ඔබ ඉන් ඉවත්වනු ඇති බැවින් පොදුවේ තිබ්බතීයයෝ එවන් පුහුණු ක්‍රම දිරිමත් නොකරති. ඔබ එම සැසිය අවසන් වනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිනු ඇත. එබැවින් ආරම්භයේදී විනාඩි කිහිපයක් පමණක් භාවනා කිරීම ප්‍රමාණවත්ය. ථේරවාද භාවනා අසපුවල, පමණ ඉක්මවා දිගු කාල සීමාවන් තුළ එකම භාවනාව නොකෙරෙන පරිදි හිඳගෙන සිදුකරන භාවනාව හා සක්මන් භාවනාව මාරු කරමින් සිදු කෙරේ.

මේ සඳහා තිබ්බතීයයන් යොදාගනු ලබන උපහැරණ කථාව නම්, යම් මිතුරෙකු ඔබ බැහැ දකින්නට පැමිණි කල ඔහු බොහෝ වේලාවක් රැඳී සිටින්නේ නම් එම පුද්ගලයා පිටත්ව යනතුරු ඔබ නොඉවසිල්ලෙන් බලා සිටින තත්ත්වයක් උදාවේ. මිතුරා පිටත්ව ගිය පසු, ඔහු හෝ ඇය නැවත දැකීමේ කිසිදු ඇල්මක් ඔබ තුළ නොපවතී. එසේ වුවද, ඔබ ඔහු සමග තවත් වේලාවක් ගත කිරීමට කැමැත්තෙන් පසුවන අවස්ථාවක මිතුරා නික්ම යන්නේ නම්, ඉතා ඉක්මනින් නැවත එම මිතුරා දැකීමේ අභිලාෂයකින් ඔබ පසුවේ. එමෙන්ම, අපගේ පුහුණුව පිළිබඳ අප උද්‍යෝගිමත් කෙරෙන අයුරින් අපගේ භාවනා ඉරියව්ව, භාවනා අසුන, භාවනා සැසියේ කාලය යන සියල්ල සුව පහසු ඒවා විය යුතුය.

අභිලාෂයක් පිහිටුවීම

භාවනා කිරීමට පෙර අභිලාෂය පිහිටුවීම වැදගත්ය. සත්‍ය වශයෙන්ම, උදෑසන අවදි වූ විගස සිදු කළ යුත්තක් වශයෙනි අභිලාෂය පිහිටුවීම සලකනු ලබන්නේ. අවදි වූ විගස, ඇ‍ඳ මත හිඳිමින්ම ඔබට දිනය සඳහා වූ ඔබගේ අපේක්ෂාව පිහිටුවාලිය හැක. ඔබට මෙසේ සිතිය හැක: “අද දින මම තරහ නොවී සිටීමට උත්සාහ කරමි. වඩාත් ඉවසිලිවන්ත වීමට උත්සාහ කරමි. අන්‍යයන් කෙරෙහි වඩාත් ධනාත්මක හැඟීම් ගොඩනගා ගැනීමට උත්සාහ කරමි. මෙම දිනය අර්ථවත් දිනයක් බවට පත්කර ගැනීමටද, එය අපතේ නොයැවීමටද උත්සාහ කරමි”.

මාගේ ප්‍රියතම ප්‍රකාශයද වන සිත් ගන්නා සුළු සෙන් කියමනක් නම් මෙසේය: “මරණය ඕනෑම අවස්ථාවක එළැඹිය හැක: සන්සුන් වන්න”. ඒ පිළිබඳ සිතන්නට වුවහොත් එය මහා ගැඹුරු සිතිවිල්ලක් වනු ඇත. ඔබ ඒ පිළිබඳ  මහත් ආතතියෙන් පසුවන්නේ නම්, හා මරණය ඕනෑම අවස්ථාවක පැමිණිය හැකි බවට වූ කම්පනයකින් හා චිත්ත ව්‍යාකූලත්වයකින් පසුවන්නේ නම් ඔබට කිසිවක් හෝ සාර්ථකව සිදුකළ හැකි නොවනු ඇත. “මං වැඩ කරන ප්‍රමාණය මදි; මං එච්චර දක්ෂ නෑ” වැනි සිතිවිලිවලින් ඔබ පෙළිය හැක. එසේ වුවද, මරණය ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බව ඔබ දන්නේ නම් හා ඔබ එම කරුණ පිළිබඳ කලබල නොවේනම්, එවිට ඔබට හැකි සියල්ල සාංකාවකින්, ආතතියකින් හෝ කෝපයකින් තොරව අර්ථාන්විත හා යථාර්ථවාදී ආකාරයෙන් සිදුකළ හැක. ඒ අනුව, මරණය ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බැවින් ඉහිල් වන්න, සන්සුන් වන්න.

භාවනා කිරීමට පෙර “මම මෙතරම් විනාඩි ගණනක් භාවනා කිරීමට උත්සාහ කරමි. මම සිහිය පිහිටුවීමට උත්සාහ කරමි. නින්ද යන්නට වුවහොත් මම ඇහැරී සිටිමි. අවධානය විසිර ගියහොත් එය නැවත කැඳවමි” යන අභිලාෂය පනවන්න. මෙය තදින් සිතට ගන්න. හුදෙක් වචන පැවසීම වෙනුවට ඔබගේ අභිලාෂය සිත්හි රඳවා ගනිමින් ඒ අනුව කටයුතු කරන්නට උත්සාහ කරන්න. ඔබගේ අභිලාෂයට අවංක වීම ඉතා දුෂ්කර කාර්යයක් විය හැක. වෙනත් කරුණු පිළිබඳ කල්පනා කිරීම සඳහා ඔබගේ භාවනා සැසිය යොදා ගැනීමේ අයහපත් පුරුද්ද ඇති වුවහොත්, එසේ කල්පනා කරන කරුණු වෙනත් ධර්ම සංකල්ප වුවද, එම පුරුද්ද බිඳ දැමීම ඉතා දුෂ්කර වනු ඇත. මෙය මාගේ අත්දැකීමයි: එය බිඳ දැමීමට ඉතා දුෂ්කර වූ පුරුද්දක් වන බැවින් භාවනා සැසියට පෙර නිවැරදි අභිලාෂයක් ස්ථාපනය කොට ඒ අනුව කටයුතු කිරීමට උත්සාහ කරන්න.

අභිප්‍රේරණය හෙවත් පෙළඹීම

ඊළඟ කරුණ අභිප්‍රේරණය හෙවත් පෙළඹීමයි. තිබ්බතීය බෞද්ධ සන්දර්භයක් තුළ පෙළඹීම කොටස් දෙකකින් සමන්විත වේ. පළමු කරුණ අරමුණයි: අපි සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරන්නේ කව‍රක්ද? “මාර්ගයේ ශ්‍රේණිගත අදියර” (ලම්-රිම්) තුළ ප්‍රමිතිගත අරමුණු විස්තර කර ඇත. ලම්-රිම් තුළ විස්තර කර ඇති ආකාරයට ඉලක්කයන් විය යුත්තේ: (අ) මතු ජීවිත ප්‍රවර්ධනය කරගැනීම, (ආ) පුනර්භවයෙන් සම්පූර්ණයෙන් විමුක්තිය ලබාගැනීම, හා (ඇ) පුනර්භවයෙන් විමුක්තිය ලැබීම සඳහා අන් සියල්ලන් වෙත උපකාර කිරීමට හැකිවනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමයි. දෙවන කොටස වනුයේ එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය බලය ලබාදෙන භාවයයි.

අපගේ අභිප්‍රේරණය පිළිබ‍ඳව සලකා බැලීමේදී, අප සමගම අවංක වීම වැදගත්ය. මම සත්‍ය වශයෙන්ම පුනර්භවය විශ්වාස කරන්නෙම්ද? අප අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරන බැවින් “මාගේ ඊළඟ ජීවිතයේදී වටිනා මනුෂ්‍ය ආත්මයක පුනරුත්පත්තිය ලබන බවට සහතික වනු පිණිස මෙය කරමි” හෝ “සම්පූර්ණයෙන්ම පුනර්භවයෙන් විමුක්තිය ලැබීමට මෙය සිදු කරමි” හෝ “අන් සියල්ලන් හට පුනර්භවයෙන් විමුක්තිය ලබාගැනීමට උපකාර කරනු පිණිස බුද්ධත්වයට පත්වීම ස‍ඳහා මෙය සිදු කරමි” යන සියල්ල පුනර්භවය විශ්වාස නොකරන්නේ නම් හුදු හිස් වචන පමණක් වනු ඇත.

පුනර්භවයකින් තොර බුදු දහමක් ලෙස ධර්මය මෙලොව දිවියේ සාර්ථකත්වය උදෙසා පමණක් ගෙන භාවනාව පුහුණු වන්නේ නම්, එ් අරුතින් එයද යහපත් දෙයකි. අන් කිසිවෙකු හා පැවසිය යුතු නොවුවද, ඔබගේ අභිලාෂය පිළිබඳව අවංක වන්න: “මේ ජීවිත කාලයේ මාගේ තත්ත්වය වඩා යහපත් කරගනු පිණිස මෙම කටයුත්ත සිදු කරමි” යනුවෙනි. අප එයට අවංක වන තරමට ඒ වූකලි වලංගු අභිප්‍රේරණයකි. අනෙක් අතින්, “සැබෑ ධර්මය” ලෙස මවිසින් හඳුන්වනු ලබන ධර්මය තුළ එන නිර්ව්‍යාජ දිගු කාලීන අභිමතාර්ථ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්තව, බුදු දහමේ පිළිවෙත් පිරීම මෙම ජීවිත කාලයේ දේවල් වැඩිදියුණු කරගනු පිණිස පමණක් සිදු කරන්නක් ලෙස නොසිතීමද වැදගත්ය.

අපගේ අභිප්‍රේරණයට අදාළ දෙවන කොටස සලකා බලන්නේ නම් - එනම්, අපගේ අභිමතාර්ථය කෙරෙහි අප යොමු කරන්නාවූ භාවය පිළිබඳව සලකා බලන්නේ නම්- සැබෑ පෙළැඹීමේ පළමු මට්ටම නම් “මැස්සෙකු, කැරපොත්තෙකු, හෝ වෙනයම් පහළ මට්ටමේ පුනර්භවයක් (භාවයක්) තුළ පුනර්භවය ලැබීම කෙතරම් අභාග්‍ය සම්පන්නද යන කරුණ පිළිබඳ බිය වන බැවින් මතු භවයන්හි අගනා මනුෂ්‍ය ජීවිතයක පුනරුත්පත්තිය ලැබීමට අපේක්ෂා කරමි. පෙරකී ආකාරයේ පහළ මට්ටමේ අනාගතයකින් වැළකී සිටීමට මාහට සැබෑ ලෙසම අවශ්‍ය අතර එය වළක්වාගත හැකි මාර්ගයක් පවත්නා බවට විශ්වාස කරමි” යන්නයි. මෙලොව පමණක් විශ්වාස කරන්නෙකුගේ මෙලොව අර්ථගත සංස්කරණය මෙපරිදි විය හැක: “මාගේ තත්ත්වය මෙයට වඩා නරක අතට හැරුණහොත් (භාවය) එය කෙතරම් අමිහිරි එකක් වනු ඇත්තේද යන්න පිළිබ‍ඳ බිය වන බැවින් ජීවිතයේ අනාගත කාලයෙහිද කටයුතු හොඳින් සිදුවන ලෙසද, මෙයටද වඩා යහපත් වන ලෙසටද (ඉලක්කය) මාගේ ඉලක්කය පිහිටුවමි. එවන් අයහපත් තත්ත්වයක් වැළැක්විය හැකි ධනාත්මක දේ පවත්නා බව මම දනිමි”. මෙම අවස්ථා දෙකෙහිදීම අන්තර්ගත බිය වූකලි “තත්ත්වය බලාපොරොත්තු තියාගන්න බැරි තරම් නරකයි. මං ඉවරයි” ලෙස බියවී ඇද වැටෙන තරම් ප්‍රබල එකක් නොව “මට ඇත්තටම එහෙම වෙන්න අවශ්‍ය නෑ. මං දන්නවා ඒක වළක්වන්න පුළුවන් ක්‍රමයක් තිබෙන බව” ලෙස වූ සෞඛ්‍ය සම්පන්න අදහසකි. මෙය රථයක් පදවන විටදී අනතුරක් විය හැකිය යන බිය මෙනි - මෙහිදී මා ප්‍රවේශම් වන නමුදු, කිසි දින රථයක් ධාවනය නොකරන තරම් බියෙන් සලිත වීමක් සිදු නොවේ.

දෙවන සත්‍ය අවස්ථා මට්ටම වනුයේ “පුනර්භවයට සම්බන්ධ සියලු දුක් පිළිබඳ මා හට පවත්නේ සම්පූර්ණ කළකිරීමක්, එපා වීමක් හා නීරස හැඟීමක් (භාවය) වන අතර, මට ඉන් මිදීමට අවශ්‍යයි (අරමුණ)”. අත්හැර දැමීමේ භාවය පසුපස පවත්නා සාරය නම් “නැවතත් දරුවෙකු ලෙස ඉපදීම, සියල්ල නැවත මුල සිටම ඉගෙනීමට සිදුවීම, නැවත අධ්‍යාපනය ලබා ජීවිකාව සරිකර ගැනීමට සිදුවීම විශ්වාස කළ නොහැකි තරම් කරදරකාරී දෙයක්. නැවත නැවතත් ලෙඩ වීම හා වයසට යාමද නීරස දෙයකි. එය නැවත නැවතද නීරස සිනමා පටයක් නැරඹීම වැන්නකි. කොච්චර නම් නීරසද, දැන් ඇති” යන්නයි. 

වඩාත් උසස් මට්ටමේ අභිප්‍රේරණය තුළ බුදු බවට පත්වීමට (අරමුණ) බෝධි චිත්තයෙන් අරමුණු කරන අතර කරුණාවෙන් කම්පනයට පත්වේ (භාවය): “සියලු සත්ත්වයන් මෙතරම් දුක් විඳින්නේය යන කරුණ දැරිය නොහැකියි. සියල්ලන්ට දුකින් මිදීමට උපකාර කළ හැකි මට්ටමකට ළඟා වීමට මට හැකිවිය යුතුයි” වශයෙනි.

අභිප්‍රේරණය තුළ අපගේ ඉලක්කය සාක්ෂාත් කරගත් පසු සිදුකරන කාර්යයද ඇතුළත් වේ. මහායාන සම්ප්‍රදායක් තුළ පිළිවෙත් පුරන කල්හි, අභිප්‍රේරණයට අදාළ එක් එක් මට්ටමක් අවසානයේදී බුදු බවට පත්වීම කරා කටයුතු කිරීමේ සන්දර්භය තුළ ක්‍රියාත්මක වේ. එවිට, බුද්ධත්වයට පත්වීම මගින් අපගේ අභිමතාර්ථය සාධනය කරගත් පසු සිදුකරන දෙය වර්ණවත් කරයි.

මෙලොව සුභ සාධනය සඳහා ධර්මය යොදාගැනීමේ මට්ටමකදී, බුද්ධත්වයට පත්වීම පහසු දෙයක් ලෙස සිතමින් සිට බුද්ධත්වයට පත්වීමකින් තොරවම මරණ මඤ්චකයට පැමිණි කල කලකිරීමට හා මානසික අවපීඩනයට පත්වීමේ බොළඳ මානසිකත්වයට පත් වීමකින් තොරව මෙම ජීවිත කාලය තුළම හැකිතාක් බුද්ධත්වයට පත්වීම සඳහා අවශ්‍ය ප්‍රගතිය උදාකර ගැනීමට අපට අවශ්‍ය වේ.

  • අභිප්‍රේරණයේ සත්‍ය ස්වභාවයේ මට්ටම් තුන අතරින් පළමු මට්ටම වනුයේ “මාගේ ඉලක්කය සපුරා ගනු පිණිස බොහෝ ජීවිත කාලයන් අවශ්‍ය විය හැකි බැවින් බුද්ධත්වයට පත්වීම කරා යන ගමනෙහි අඛන්ඩව නිරත වනු පිණිස තවත් වටිනා මනුෂ්‍ය ආත්මයක පුනරුත්පත්තියක් ලබාගැනීමට අවශ්‍යයි”.
  • දෙවැන්න නම්, “අනෙක් අය සමග කෝප වුවහොත්, ඔවුන් කෙරෙහි ඇල්මක් ඇතිකර ගතහොත් හෝ මා තුළ බලහත්කාරී චර්යාවන් පවත්නේ නම් මට ඔවුනට උපකාර කළ නොහැකි බැවින් මට කර්මයෙන් හා කැළඹිලිකාරී භාවයන්ගෙන් විමුක්තිය ලැබීමට අවශ්‍යයි. මට මා පිළිබඳ පවත්නේ ආඩම්බරයක් හා අහංකාරයක් නම් අන්‍යයන් වෙත උපකාර කිරීම සිදුකළ නොහැකියි. එබැවින් මාගේ විමුක්තිය උදාකරගත යුතුයි”.
  • උසස්ම අභිප්‍රේරණය වනුයේ, “සෑම පුද්ගලයෙකු හටම වෙන් වෙන් වශයෙන් උපකාර කිරීමේ හොඳම මාර්ගය පිළිබඳ පූර්ණ වශයෙන් දැනුවත් වනු පිණිස මට බුද්ධත්වයට පත්වීමට අවශ්‍යයි” යන්නයි.

අභිප්‍රේරණය ඉතා වැදගත් වේ. භාවනා සැසිය ඇරම්භයේදී පමණක් නොව, ෂොංඛපා අවධාරණය කරන පරිදි, අභිප්‍රේරණය යනු සමස්ත දිනය පුරාම අප සතුව පැවතිය යුතු ගුණයකි. තවද, අභිප්‍රේරණය හුදෙක් මිහිරි වදන්වලට පමණක් සීමා නොවිය යුතු අතර සැබෑ ලෙසම එය අදහස් කළ යුතුය. “අදහස් කරනවා” යන්නෙන් අදහස් කෙරෙනුයේ කවරක්ද? ඉන් අදහස් කෙරෙනුයේ භාවනා පිළිවෙත් පිරීම මගින් අභිප්‍රේරණය කොතරම් දැඩි ලෙස අප තුළට තහවුරු ‍කරගෙන ඇත්තේද යත්, එය නිර්ව්‍යාජ, ස්වභාවික භාවයක් වන අතර එය එදිනෙදා අපගේ ජීවිත‍යේ අත්‍යවශ්‍ය කොටසක් බවටද පත්වන බවයි.

භාවනා කිරීමට පෙර නිහඬ වීම

නිවැරදි භෞතික පරිසරය නිර්මාණය කොටගෙන අපගේ අපේක්ෂාව හා අභිප්‍රේරණය පිහිටුවා ගත් පසු, අප නිහඬ විය යුතුය. නිරන්තරයෙන් එය හුස්ම වාර ගණන් කිරීම වැනි යම් හුස්ම පිළිබඳ භාවනාවක් හා සම්බන්ධව සිදු කරනු ලබයි. හුස්ම සමගින් සිදුකළ හැකි වඩාත් සවිස්තරාත්මක විවිධ  අභ්‍යාසයන්ද පවත්නා නමුත් හුදෙක් සාමාන්‍ය පරිදි නාසයෙන් හුස්ම ගනිමින් එකොළොස් වරක් ඉහළ පහළ යන හුස්ම ගණන් කිරීමේ කාර්යය කිහිප විටක් සිදු කිරීම ප්‍රමාණවත් වේ. අපගේ සිත් මේ ආකාරයෙන් සන්සිඳුවීම මගින් ‍මේ දක්වා අප විසින් සිදුකළ කාර්යය හා මින්පසු සිදුකරනු ලබන භාවනාව අතර නිහඬ අවකාශයක් නිර්මාණය කරනු ලබයි. එවන් අවකාශයක් නිර්මාණය කිරීම තුළින් අපගේ කාර්ය බහුල ජීවිතය හා භාවනාව අතර සංක්‍රාන්තියක් නිර්මාණය කරගැනීමට උපකාරයක් ලැබේ.

සප්ත ගාත පිළිවෙත

සැසිය ආරම්භයේද යම් ධනාත්මක ශක්තියක් ගොඩනගා ගන්නා ලෙස නිරතුරු නිර්දේශ කෙරෙන අතර ඒ සඳහා “සප්ත ගාත යැදුම” හෝ “සප්ත ගාත පිළිවෙත” ලෙස හඳුන්වනු ලබන කරුණ යොදා ගන්නෙමු. මෙම සන්දර්භය තුළ “ගාතය” යන්නෙන් “පියවර” යන අදහස අර්ථවත් වේ.

 (1) සරණ හා බෝධිචිත්තය සහිතව පසඟ පිහිටුවා වැඳීම

පළමු ගාතය වනුයේ පස‍ඟ පිහිටුවා වැඳීමයි. ඉන් අදහස් කෙරෙනුයේ බුද්ධත්වයට පත් උතුමන් වෙත ගෞරවය දැක්වීමයි; එමෙන්ම බෝධි චිත්තය මගින් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන්නාවු අපගේම බුද්ධ ස්වභාවය වෙත ගෞරවය දැක්වීමයි; තවද, එම අරමුණ සාක්ෂාත් කරගැනීමට උපකාරී වනු ඇත්තාවූ අපගේම බුද්ධ ස්වභාවය වෙත ගෞරවය දැක්වීමයි. මෙලෙසින්, අපගේ ජීවිතය තුළට සරණ යාම පිළිබඳ ආරක්ෂිත දිශානතියක් පිිහිටුවා ගනිමින් ජීවිතයේ බෝධිචිත්ත ඉලක්කයද සහිත සන්දර්භයක් තුළ පසඟ පිහිටුවා නමස්කාර කිරීම සිදු කරනු ලබයි. අප අනුගමනය කිරීමට අපේක්ෂා කරන ආරක්ෂිත දිශානතිය බුදුවරුන්, උන් වහන්සේලාගේ ධර්ම දේශනා හා සාක්ෂාත් කරගත් තත්ත්වයන්, හා විමුක්තිය හා බුද්ධත්වය ලැබීමේ මාර්ගයෙහි මනා කොට ගමන් ගන්නාවූ සංඝ සමාජය විසින් දක්වනු ලබයි. බෝධිචිත්ත ඉලක්කයක්ද සමගින්, අපි බුදුවරුන් වීමේ මාර්ගය තුළට අපගේ සිත් හා හදවත් යොමු කරන්නෙමු.

(2) පූජාවන්

දෙවන පියවර වනුයේ ගෞරවය පෙන්වීමේ එක් ක්‍රමයක් වන පූජාවන් පැවැත්වීමයි.

(3) දුර්වලතා පිළිගැනීම

ඉන්පසු එළැඹෙනුයේ අප‍ගේ අත්වැරදි හා දුර්වලතා විවෘතව පිළිගැනීමයි. එමගින් අපගේ අත්වැරදි සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇතිකර ගැනීමක් අදහස් නොවේ; වරදකාරී හැඟීමක් ඇතිකර ගැනීම සුදුසු නොවේ. වරදකාරී හැඟීම යනු සිදු කරන ලද යම් කිසිවක් ග්‍රහණය කොටගෙන පවත්වාගෙන යන අතර, එය අප විසින් සිදුකළ බව හා සිදුකරන ලද කාර්යය අයහපත් එකක්ය යන සිතිවිල්ල අත් නොහැර පවත්වාගෙන යාමයි. ඒ වූකලි කසල ඉවත් නොකොට ඒ වෙනුවට ඒවා නිවෙස තුළ තබාගෙන “මේ කසල හරිම පිළිකුල් සහගතයි. හරිම ගඳයි” ලෙස සිතමින් සිටීම වැන්නකි. වරදකාරී හැඟීම වෙනුවට, තුන්වන ගාතය වනුයේ අපගේ අත්වැරදි සම්බන්ධයෙන් පසුතැවීමයි: “මං මගේ කටයුතු ගැන පසුතැවෙන අතර ඒක නැවත සිදු නොකරන්නට හැකි සියලු උත්සාහයන් ගන්නවා. මං මගේ දුර්වලතා මැඩ පවත්වා ගන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නවා” ආදී වශයෙනි.

(4) සතුටු වීම

සිවුවන පියවර වනුයේ අප හා අන් අය විසින් සිදුකරන ලද ධනාත්මක කාර්යයන් පිළිබඳ සතුටු වීමයි. ඒ අනුව අප තුළ අප කෙරෙහිම හා අන් අය කෙරෙහිද වඩාත් ඉහළ ධනාත්මක ආකල්පයක් පවතී.

(5) උගන්වන ලෙස ඉල්ලා සිටීම

ඉන්පසු අපි අපගේ ගුරුවරුන් හා බුදුවරුන් වෙතින් දේශනා පවත්වන ලෙස ඉල්ලා සිටින්නෙමු: “කරුණාකර දිගින් දිගටම උගන්වන්න. මං විවෘතයි වගේම ඒ දේවල් පිළිගන්න සූදානම්” වශයෙනි.

(6) ඉවත්ව හෝ මිය නොයන ලෙස ගුරුවරුන් වෙතින් අයැද සිටීම

මීළඟ ගාතය වනුයේ: “ඉවත්ව නොයන්න, මිය නොයන්න. මං ඉගෙන ගැනීම සම්බන්ධව තදින් පිහිටා සිටින නිසා අප සමග රැඳී සිටින ලෙස ඔබතුමාගෙන් අයැද සිටිනවා” වශයෙනි.

(7) කැපවීම

අවසන් කරුණ කැපවීමයි. කැපවීම යනු යම් ආකාරයකට ශක්තිය යම් දිශාවකට යොමු කිරීමයි. “ගොඩනැගී ඇති යම් ධනාත්මක බලයක්, අවබෝධයක් වේනම් එය මාගේ අපේක්ෂාව මුදුන්පත් කරගැනීම පිණිස හේතුවේවා”යි මෙහිදී සිතන්නෙමු. මේ සම්බන්ධව මා යොදාගැනීමට කැමැති වන උපහැරණය නම් පරිගණකයක අපගේ කටයුතු රඳවා තැබීමයි (saving). එය “විමුක්තිය” හෝ “බුද්ධත්වය” සඳහා ආදී වශයෙන් එන විශේෂිත ෆෝල්ඩරයක save නොකරන්නේ නම් අපගේ කටයුතු ස්වයංක්‍රීයව “සංසාරය වර්ධනය කිරීම” නම් වූ ෆෝල්ඩරය තුළ ‍ save වනු ඇත. “සංසාරය වර්ධනය කිරීම” නම් වූ ෆෝල්ඩරය තුළ ‍අපගේ කටයුතු රඳවා තැබීම හෙවත් save කිරීම යහපත් වුවද, එය අපගේ අරමුණ නොවන්නේ නම්, අපට අපගේ කටයුතු විමුක්තිය ලැබීම හෝ බුද්ධත්වය ලැබීම සඳහා වූ පදනම සැකසීමට යොදාගැනීමේ අවශ්‍යතාවයක් පවත්නේ නම්, සිතා මතාම එය “විමුක්තිය” හෝ “බුද්ධත්වය” නමැති ෆෝල්ඩරය තුළ රැඳවිය යුතුවේ. එයයි කැපවීම. අපි ඉන් අදහස් කෙරෙන දෙය බරපතල ලෙස ගන්නෙමු; හුදෙක් වදන් පැවසීම පමණක් සිදු නොකරන්නෙමු. කරුණාව වැනි යම් භාවයක් සහිතව අපගේ ධනාත්මක ශක්තිය කැප කරන්නෙමු.

සප්ත ගාත යැදුමට අනතුරුව සැබෑ භාවනාව එළැඹෙන අතර, භාවනාව අවසානයේදී තවත් කැප කිරීමක් සිදු කරන්නෙමු.

සාරාංශය

භාවනාව යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එය සිදුකරන ආකාරය පිළිබඳ උපදෙස් නිශ්චිත ඒවා වේ. මෙහිදී පොදු උපදෙස් අතරින් එකක් ඉදිරිපත් කර ඇත; එක් එක් නිශ්චිත භාවනාව තුළ එයට අදාල නිශ්චිත උපදෙස් පවතිනු ඇත. එසේ වුවද, සියලු අවස්ථාවන්හිදී අප විසින් සිදුකරනුයේ කවරක්ද, එය සිදුකරනුයේ කෙසේද හා කවර හේතුවක් නිසාද යන්න දැන සිටීම වැදගත් වේ.

“හිඳගෙන භාවනා කරන්න. කාර්යය අතරතුරදී ඔබට කරුණු වැටහෙනු ඇත” ලෙස උපදෙස් දෙන සෙන් වැනි බෞද්ධ සම්ප්‍රදායන් සමහරක්ද ඇත. මෙය ඇතැමුන් සඳහා සාර්ථක විය හැකි නමුදු, වෙනත් අය සඳහා එය බොහෝ දුෂ්කර විය හැක. බොහෝ දෙනෙකු හට එම ප්‍රවේශය ඉතා දුෂ්කර වන බැවින් මෙහි ඉදිරිපත් කර ඇත්‍තේ ඉන්දු-තිබ්බතීය සම්ප්‍රදායයි.

Top