භාවනාව යනු හුදෙක් බුදු දහම තුළ පමණක් නොව බොහෝ සම්ප්‍රදායන් තුළ හමුවන්නකි; සියළු භාරතීය සම්ප්‍රදායන් තුළ භාවනාවේ බොහෝ පැතිකඩයන් දක්නට ලැබුණද, මෙහිදී බුදු දහම තුළ භාවනාව ඉදිරිපත් කෙරෙන ආකාරය තුළට අපගේ සාකච්ඡාව සීමා කරමු.
භාවනාව යනු කුමක්ද?
"භාවනාව" යන වදනින් අදහස් කෙරෙනුයේ අප තුළට යම් පුරුද්දක් ඇතිකර ගැනීමයි. එ් සඳහා වන තිබ්බතීය වදන වන "ගොම් (ස්ගොම්)" යන්න තුළ ප්‍රයෝජනවත් පුරුද්දක් ගොඩනගා ගැනීම යන අරුත ගැබ්වේ. මුල් සංස්කෘත "භාවනා" යන වදන තුළ යමක් සැබෑ ලෙසම සිදුවන්නට සැලැස්වීම යන අරුතක් ඉදිරිපත් කෙරේ. අප තුළ යම් ප්‍රයෝජනවත් චිත්ත ස්වභාවයක් හෝ ආකල්පයක් පවත්නා අතර අපට එය සිදු වන්නට සැලැස්වීමේ අවශ්‍යතාවයක් පවතී. අන් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, අප සිතන හා ජීවත්වන සංස්ථාව තුළ සැබෑ ලෙසම එම චිත්ත ස්වභාවය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ. භාවනාව භාවිත කෙරෙන සම්ප්‍රදාය මත පදනම්ව, උපදෙස් තුළ ප්‍රයෝජනවත් පුරුදු කවරේද යන්න හා එ්වා යථාර්ථයක් බවට පත්කරගනු පිණිස වු හේතු හා අරමුණුද නිශ්චිතව දක්වනු ලබයි. කෙසේ වුවද, සියලු භාරතීය සම්ප්‍රදායන් තුළ මෙම ක්‍රියාවලිය ත්‍රිවිධාකාර වේ: පළමුව ශ්‍රවණය හෝ ඇහුම්කන් දීමද, ඉන්පසු සිතීමද පසුව සැබෑ භාවනාවද වශයෙනි.
දේශනාවනට සවන් දීම
කාරුණික වීම නම්වූ ප්‍රයෝජනවත් පුරුද්ද ගොඩනගා ගැනීමට අපට අවශ්‍ය යයි සිතමු. කරුණාව ගොඩනැගීම හෝ දැනට පවත්නා කරුණා සහගත හැඟීමක් වැඩි වර්ධනය කරගනු පිණිස පළමුව අපට එම තේමාව යටතේ එන යම් දේශනාවනට සවන් දීමට සිදුවේ. පුරාණ භාරතයේ කිසිදු දේශනාවක් ලේඛනගත නොවිණි. එ් සියල්ල මුඛ පරම්පරාගතව ඉදිරියට ගෙන එන ලදී. එ් හේතුකොට, භාවනාව ඉගෙන ගන්නා අයෙකු වේනම්, ඔහු හට පළමුව දේශනාවනට සවන් දීමට සිදුවිය. මේ හේතුවෙනි පළමු පියවර "ඇහුම්කන් දීම" වශයෙන් හැඳින්වෙනුයේ.
වර්තමානයේදී අපට විවිධාකාර දේශනා කියවන්නට ලැබේ - පුද්ගලිකවම යම් කිසිවෙකු පැමිණ අපට මේ දේවල් ප්‍රකාශ කළ යුතු නොවේ - එසේ නමුදු, මේ පිටුපස පවත්නා මූලධර්මය එකසේම අදාළ වේ. පුරාතනයේදී සියල්ල මතකයේ රඳවාගත යුතු වූ අතර, යමෙකු විසින් සජ්ජායනය කරනු ලබන දෙය නිවැරදි බවට ශ්‍රාවකයා සහතික විය යුතු විය. මතකයෙන් දේශනා සජ්ජායනය කරන්නාවූ පුද්ගලයා විසින් එය නිවැරදිව සිහි තබා නොගත්තාද විය හැක. යම් අත් වැරදීම්ද එක් වූවා විය හැකි අතර, මෙය සැබෑම ගැටළුවක් වේ.
විචක්ෂණ දැනුවත්භාවය
දේශනාවනට සවන් දෙන විටදී, "ශ්‍රවණයෙන් ඉස්මතු වන විචක්ෂණ දැනුවත්භාවය" ලෙස හැඳින්වෙන ගුණය වැඩි වර්ධනය කරගැනීමට අපට සිදුවේ. සංස්කෘත භාෂාවෙන් "ප්‍රඥා" ලෙස හැඳින්වෙන තිබ්බතීය "ෂෙරැබ්" යන වදන නිරතුරුවම "නුවණ" යන අරුතැති wisdom යන පදය යොදා ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලබයි. එනමුදු wisdom යන පදය භාවිතය තුළ පමණ ඉක්මවු අවිනිශ්චිත බවක් ඇඟවේ; එතුළ සරල හා නිවැරදි අරුතක් ගැබ් නොවේ. යම් ජන කණ්ඩායමකට wisdom යන වදන ඇසුනු විට ඉන් අදහස් කෙරෙනුයේ කවරක්ද යන්න පිළිබඳ එ් එක් එක් අය වෙත විවිධ අදහස් පහල විය හැකි බැවින් wisdom යන යෙදුම තුළ "ෂෙරැබ්" යන්නෙහි අරුත සැබෑ ලෙස වටහා ගැනීමට කිසිදු රුකුලක් ලබාදෙනු නොලබයි. එබැවිනි මා "ෂෙරැබ්" යන වදන විචක්ෂණ දැනුවත්භාවය ලෙස පරිවර්තනය කිරීමට වඩාත් කැමැති වන්නේ.
විචක්ෂණ දැනුවත්භාවය පූර්ව මානසික සාධකයක් මත පදනම් වන අතර එය මම "වෙන්කොට දැකීම" ලෙස පරිවර්තනය කරමි. බොහෝ අය මෙම වදන "හඳුනාගැනීම" ලෙස පරිවර්තනය කරති. එසේ නමුදු, "හඳුනාගැනීම" යන වදනද නිවැරදි නොවේ. "හඳුනාගන්නවා" යන්නෙන්ද අර්ථවත් වනුයේ ඔබ එම වස්තුව පෙරදී දන්නා අතර එයම නැවත හඳුනාගන්නා බවයි; මෙය එතරම් නිවැරදි නොවේ. "වෙන්කොට දැකීම" යන්නෙන් යමක් "මෙය" ලෙස "මෙය නොවූ" අන් සියල්ලෙන් වෙන්කොට නිශ්චිතව දැක්වීම අර්ථවත් කෙරේ. යම් කිසි දෙයක් පිළිබඳව දැනුවත්ව සිටින කල්හි අප අවබෝධ කරගන්නා නිශ්චිත, පුද්ගලික චරිත ලක්ෂණ හෝ අර්ථ දැක්විය හැකි ලක්ෂණ පවත්නා විටදී අපට "මෙය" "මෙය නොවන" දෙයින් හෝ "මෙය" "එයින්" වෙන්කොට දැකිය හැක. සරල උදාහරණයකින් දක්වන්නේ නම්, අත දරුවන් හට "කුසගින්න" "කුසගිනි නොමැති" තත්ත්වයෙන් වෙන්කොට දැක්විය හැක. අත දරුවන් හට මෙකී දෙයාකාර ශාරීරික හැඟීම් සඳහා වචන අවශ්‍ය නොවන අතර ඔවුන් විසින් ඉතා ගැඹුරින් "කුසගින්න" හා "කුසගිනි නොමැති" තත්ත්වය සම්බන්ධ සංකල්ප අවබෝධ කරගැනීමක්ද අවශ්‍ය නොවේ. එසේ නමුදු, නිශ්චිත ශාරීරික සංවේදනා නම් වූ අසහාය අර්ථ නිරූපණ ලක්ෂණ මෙම දෙකෙහිම පවත්නා බැවින් ඔවුනට මෙම හැඟීම් දෙක අතර වෙනස පැහැදිලිව දැක්විය හැක.
විචක්ෂණ දැනුවත්භාවය විසින් එම වෙන්කොට දැකීමට නිශ්චිතාර්ථ සාධකයක් එක් කරනු ලබයි: "එය නිශ්චිතවම මෙය වන අතර එය නොවේ" වශයෙනි. දේශනා ශ්‍රවණය කරන විටදී හෝ කියවන විටදී අපට අවශ්‍ය වනුයේ මෙම නිශ්චිතභාවයයි. "මෙය සැබෑ දේශනාවකි; ව්‍යාජයක් නොවේ" යන්න වටහාගනු පිණිස විශ්වාසය අවශ්‍ය වේ. "මෙය සැබෑ දේශනාවකි" යන්න දැන ගැනීම සත්‍ය වශයෙන්ම ඉතා දුෂ්කර කාර්යයකි. මක් නිසාද, ධර්ම ග්‍රන්ථ එ්වා පමණක් කියවීමෙන් අවබෝධ කරගැනීම පහසු කාර්යයක් නොවන බැවිනි. සාමාන්‍යයෙන්, අපට එ්වා විස්තර කරන පොත පතක් හෝ ගුරුවරයෙකු මත විශ්වාසය තැබීමට සිදුවේ. එසේ වුවද, එම ගුරුවරයා විශ්වසනීය, නිර්ව්‍යාජ අයෙකු බවට දැන ගන්නේ කෙසේද? යමෙකු හට බුදු දහම පිළිබඳ දේශනා පැවැත්වීම හෝ ආදරය හා කරුණාව පිළිබඳ දේශනා පැවැත්වීම කළ හැකි නමුත් ඇතැම් අවස්ථාවන්හි ඔවුහූ බුදු දහම තුළ සැබෑ වශයෙන්ම දේශනා කෙරෙන දේ හා ගැටෙන්නාවූ තොරතුරු විසුරුවා හරිති. අප ශ්‍රවණය කරන හෝ කියවන දේශනාව, එය සැබෑ ලෙසම විය යුතුව පවත්නා අයුරින් විකාශනය කෙරෙන බවට විචක්ෂණ දැනුවත්භාවය භාවිතයෙන් හොඳින්ම සහතික කරගත යුතුය; එය නිර්ව්‍යාජ දේශනාවක් බවට සහතික විය යුතුය.
දේශනාවක් වලංගු ලෙසම බෞද්ධ එකක් බවට පත්වනු පිණිස පැවතිය යුතුවන සාධක කිහිපයක් පවතී. රචකයා හෝ දේශනාව ඉදිරිපත් කරන තැනැත්තා, විමර්ශනය කර බැලීමෙන් අනතුරුව, සැබෑ ලෙසම සුදුසුකම් ලත් ගුරුවරයෙකු බවට අපට තීරණය කළ හැකි අයෙකු විය යුතුය. මෙය තීරණය කරනු පිණිස අපට සෙසු අයද අවශ්‍ය වේ, නිදසුනක් ලෙස: "මෙයාට ඔහුගේ හෝ ඇයගේ වලංගු ගුරුවරයෙකු ඇත්තේද හා ඔවුන් දෙදෙනා අතර පවත්නා සම්බන්ධය කවරාකාරද? මෙයාගේ ගුරුවරයා යහපත් ඉතිහාසයක් සහිත වලංගු ගුරු පරපුරකින් පැවතෙන්නේද?" මේවා විමසා බලනු පිණිස වැදගත්වන ප්‍රශ්න වේ. අහඹු ලෙස පොතක් අතට ගනිමින්, එහි කතුවරයා ජනප්‍රිය අයෙකු බැවින්ම එය විශ්වසනීය මූලාශ්‍රයක් ලෙස ගත යුතු නොවේ. යමෙකුගේ දේශනයකට සවන් දෙන විටදීද එම මූලධර්මයම අදාල වේ.
දේශනා සන්දර්භය තීරණය කරනු පිණිස විචක්ෂණ විමසීම භාවිත කිරීම
තවද, සෑම බෞද්ධ දේශනාවකටම එම දේශනා ප්‍රභවය ලද දාර්ශනික ගුරු කුලයක් ලෙස එන සන්දර්භයක් පවතී. යම් නිශ්චිත දේශනාවක සන්දර්භය කවරක්ද යන්න දැන සිටීම වැදගත් වේ. හේතුව නම්, "කර්මය" වැනි එකම තාක්ෂණික වදන සඳහා විවිධ විග්‍රහයන් විවිධ බෞද්ධ ක්‍රම මගින් ඉදිරිපත් කිරීමයි. තවද, නිශ්චිත සංස්ථාවක් තුළ දේශනා කෙරෙන කර්මය පිළිබඳ සංකල්පය ඥාණන න්‍යාය බඳු ධර්මය තුළ එන අන් බොහෝ ආශ්‍රිත තේමාවන් පිළිබඳවද එම සංස්ථාව තුළින් ලබාදෙන විග්‍රහයන් හා ගැලපේ. ශ්‍රවණය කර ඇති සෙසු දේශනාවන් හා ගලපාගනු පිණිස අදාළ දේශනාවන් කවර සංස්ථාවකට අයත්ද යන කරුණ පිළිබඳ සහතික විය යුතුවේ.
එදිනෙදා සාමාන්‍ය සංවාදයනදී පවා වචන භාවිත කෙරෙන සන්දර්භය දැන සිටීම ප්‍රයෝජනවත් වේ. නිදසුනක් ලෙස, "බොන්" යන වදන ඔබට ඇසෙන්නේ යැයි සිතමු. මෙය තිබ්බතයේ පූර්ව-බෞද්ධ සම්ප්‍රදායේ නාමය වේ. එනමුදු, ප්‍රංශ බසින් "බොන්" යන්නෙන් අදහස් කෙරෙනුයේ "යහපත්" යන්නයි. එ් අනුව, භාෂා සන්දර්භය පිළිබඳ නොදැනුවත් නම්, "බොන්" යන වචනය ඇසුණහොත් ඔබ චිත්ත වියවුලකට පත්විය හැක. එනම් අර්ථය කථා කරනු ලබන පුද්ගලයා විසින් අදහස් කරන්නේ බොන් යන වදන තුළ එන ප්‍රංශ අර්ථය හෝ තිබ්බතීය අර්ථයද යන්නයි. වචනය අයත් වන භාෂාව පිළිබඳ දැනුවත්භාවයකින් තොරව වචනයේ ශබ්දය මත විශ්වාසය තැබීම මගින් ඔබ නොමග යා හැක.
බෞද්ධ තාක්ෂණික යෙදුම් සම්බන්ධ කටයුතුවලදී සන්දර්භය දැන සිටීම වඩාත් තීරණාත්මක වේ. නිදසුනක් ලෙස, ඔබ විසින් ශූන්‍යතාවය (හිස්බව) පිළිබඳව ඉගෙන ගන්නවා විය හැක. එය එක් භාරතීය ගුරු කුලයක් තුළ එක් අයුරකින්ද වෙනත් ගුරු කුලයක් තුළ වෙනත් අයුරකින්ද විස්තර කෙරේ. එකම බෞද්ධ දාර්ශනික ගුරු කුලය යටතේ එන විවිධ තිබ්බතීය බෞද්ධ ගුරු කුලයන් තුළ ශූන්‍යතාවය බොහෝ සෙයින් වෙනස් වූ ආකාරයන්ගෙන් අර්ථ නිරූපණය කරනු ලබයි.
එකම මාතෘකාව පිළිබඳ බොහෝ විවිධ වූ විග්‍රහයන් පවත්නේය යන කරුණ බුදු දහම හදාරන්නාවූ බටහිරි ජාතීන් මුහුණ දෙන ඉතාමත් ව්‍යාකූල, අවුල් සහගත ගැටලුවක් වේ. විශේෂයෙන් අන්තර්ජාලය තුළ වර්තමාන යුගයේදී මෙකී විවිධ ආසියානු බෞද්ධ සම්ප්‍රදායන් සියල්ල වෙත ප්‍රවේශ විය හැකි වීම මෙම ගැටළුව වඩාත් තීව්‍ර කරන්නකි. තිබ්බතය මෙන් එක රටක් තුළ පවත්නා බෞද්ධ සම්ප්‍රදාය තුළ පවා බොහෝ වූ විවිධත්වයන් හා විවිධාකාර අර්ථ නිරූපණයන් දක්නට ලැබේ.
මෙම කරුණ නිදසුන් මගින් පැහැදිලි කරමු. යම් ගුරුවරයෙකු වෙතින් කර්මය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් අධ්‍යයනය කරන්නේ යැයි සිතමු. ඉගෙන ගන්නා කරුණ පිළිබඳ චිත්ත ව්‍යාකූලත්වයට පත් නොවනු පිණිස එම ගුරුවරයා සිය විග්‍රහයට පාදක කරගන්නා සම්ප්‍රදාය හැරුණු කොට අන් සියලු සම්ප්‍රදායන්හි එන විග්‍රහයන් ඉවත් කිරීමට අපට සිදුවේ. නිදසුනක් ලෙස, හින්දු විග්‍රහයන් නොව බෞද්ධ විග්‍රහයන් පිළිබඳ ඉගෙන ගනිමින් සිටින බව දැන සිටීමට අවශ්‍ය වේ. බෞද්ධ විග්‍රහයන් අතරිනුදු, පාලි ථේරවාද සම්ප්‍රදායේ විග්‍රහයක් නොව අප ඉගෙන ගන්නේ භාරතීය සංස්කෘත සම්ප්‍රදායේ එන විග්‍රහයක්ය යන්නද දැන සිටීමට අවශ්‍ය වේ. භාරතීය සංස්කෘත සම්ප්‍රදායන් තුළිනුදු චිත්තමාත්‍ර අදහස නොව අප ඉගෙන ගනුයේ වෛභාෂික අදහස වන බවද දැන සිටිය යුතු වේ. තවද, වෛභාෂික ඉදිරිපත් කිරීම් අතරිනුදු අප උගන්නේ කාග්යු විග්‍රහය නොව ගෙලුග් විග්‍රහය බව දැන සිටිය යුතු වේ. මෙයාකාර, අප විසින් නිශ්චිත නිවැරදි සන්දර්භය දැන සිටිය යුතු වන්නේ දාර්ශනික සන්දර්භයට අනුව කර්මය පිළිබඳව පවත්නා විවිධ විග්‍රහයන් එකිනෙකින් බොහෝ සෙයින් වෙනස් වන බැවිනි. ධර්ම තේමාව සම්බන්ධ ගෙලුග් විග්‍රහය කාග්යු සම්ප්‍රදාය තුළට සම්බන්ධ කිරීමට උත්සාහ කළහොත් ඉන් බොහෝ ව්‍යාකූලත්වයක් ඇති වනු ඇත. සියලු විග්‍රහයන් එකම සලාදයක් තුළට මුහු කිරීමට උත්සාහ කළහොත් තත්ත්වය මෙයටද වඩා ව්‍යාකූල වනු ඇත.
මාගේ ගුරුවරයෙකු වූ ගෙෂේ ගැවාංග් ධාර්ගේ විසින් බටහිර ජාතීන් පිළිබඳ බොහෝ සෙයින් විනිවිද දක්නා සුළු කරුණක් පෙන්වා දෙන ලදී. එතුමා ප්‍රකාශ කළේ "බටහිර ජාතීන් සෑම අවස්ථාවකම කිසි විටෙකත් හොඳින් වටහා නොගත් කරුණු දෙකක් සන්සන්දනය කරන්නට උත්සාහ කරනවා. අවසානයේදී තත්ත්වය වඩාත් ව්‍යාකූල වෙනවා". මින් අප උගත යුතුවන පාඩම නම් විවිධ සම්ප්‍රදායන් අතර සන්සන්දනයක් සිදු කිරීම යහපත් වුවද, එය සිදුකළ යුත්තේ ඉන් එක් සම්ප්‍රදායක් පිළිබඳව ඉතා හොඳින් දැනුවත්ව වන බවයි. එසේ එක් සම්ප්‍රදායක් ඉතා හොඳින් දන්නා විටදී විනා එසේ දැනගැනීමට පෙර ඔබට අන් සම්ප්‍රදායන් නිරීක්ෂණය කොට එ්වාහි පවත්නා විවිධත්වයන් ඇගයීමට ලක්කළ නොහැක.
එබැවින්, කර්මය හෝ ශූන්‍යතාවය හෝ බුදු දහමේ එන වෙනත් මාතෘකාවක් පිළිබඳ සිතා බැලීමට අවශ්‍ය වන්නේ නම් ශ්‍රවණය මගින් විචක්ෂණ දැනුවත්භාවය වැඩි වර්ධනය කරගත යුතුවේ. මින් අදහස් කෙරෙනුයේ පහත පරිදි නිවැරදිව හා නිශ්චිතව කරුණු දැන ගැනීමයි:
- දේශනා කරන ලද වදන් මේවා විනා අන් කිසිවක් නොවේ.
- එ්වා දේශනා කළ පුද්ගලයා අවිශ්වසනීය පුද්ගලයෙකු නොවන අතර මාතෘකාව සම්බන්ධ නිවැරදි තොරතුරු මූලාශ්‍රයක් වේ.
- විග්‍රහය මෙම දාර්ශනික සම්ප්‍රදායෙන් විනා අන් කිසිවකින් පැමිණි එකක් නොවේ.
ශ්‍රවණය මගින් පැන නගින්නාවූ විචක්ෂණ දැනුවත්භාවය පවත්නා විටදී, ඊළඟ පියවරට ගමන් කිරීමට දැන් අපි සූදානම්ය.
ඇසුණු දේ පිළිබඳ සිතා බැලීම
ඊළඟ පියවර වනුයේ සිතා බැලීම තුළින් ඉස්මතුවන විචක්ෂණ දැනුවත්භාවය අත්පත් කරගැනීමයි. "සිතා බැලීම" යන්නෙන් අදහස් කෙරෙනුයේ කවරක්ද? මෙහිදී සිතා බැලීම යන්නෙන් යමක අර්ථය අවබෝධ කරගැනීමට උත්සාහ කිරීම අදහස් වේ. එසේ නම්, යමක් "අවබෝධ කරගැනීම" යන්නෙන් අදහස් කෙරෙන්නේ කවරක්ද? "අවබෝධ කරගැනීම" හෝ "වටහා ගැනීම" ලෙස සාමාන්‍යයෙන් පරිවර්තනය කෙරෙන තිබ්බතීය වදනේ අර්ථ නිරූපණය වනුයේ "යම් කිසි කරුණක් පිළිබඳ නිවැරදි හා තීරණාත්මක දැනුවත්භාවය" යන්නයි.
මානසික ක්‍රියාකාරිත්වයන් හා සිත විස්තර කිරීම සඳහා භාවිත කෙරෙන සංස්කෘත හා තිබ්බතීය වදන් බොහොමයක් තුළ, අපගේ බටහිර භාෂාවන් තුළ භාවිත කරන වචන හා සන්සන්දනාත්මකව සලකන කල, මුල් භාෂාවේ බොහෝ සෙයින් වෙනස් අර්ථයන් ගැබ්වේ. මේ හේතුවෙනි මුල් ආසියානු භාෂාවන් අධ්‍යයනය කොට ආසියානු භාෂා සන්දර්භය තුළ වදන්වල අරුත් අධ්‍යයනය කොට තිබීම ඉතා ප්‍රයෝජනවත් වනුයේ. මින් අදහස් කෙරෙනුයේ හුදෙක් ශබ්ද කෝෂ පරිවර්තනය කියවා බැලීම පමණක් නොව සැබෑ ලෙසම අදාල භාෂාව හා කටයුතු කරමින් අර්ථ නිරූපණ ඉගෙනීම ආදියයි. එසේ සිදු කළහොත්, බෞද්ධ දේශනා වටහා ගැනීම පිණිස ඉතා බලවත් විග්‍රහාත්මක මෙවලමක් ඔබ සතුවේ.
කථා කරනු ලබන වදන් වටහා ගැනීම
"වටහා ගැනීම" නමැති මෙම වදන දේශනාවනට සවන් දීම හා සම්බන්ධවද භාවිත කළ හැක. එම සන්දර්භය තුළ එය "ඔයා එ් වචන කිව්වා කියන එක මට තේරෙනවා" වැනි වාක්‍යයන්හි දක්නට ලැබේ. එම වාක්‍යයේ අවධාරණය "ඔබ" යන වචනය මත පවත්නේ නම්, එමගින් ඇඟවෙනුයේ ඔබ විසින් සැබෑ ලෙසම එම වදන් ප්‍රකාශ කර ඇත්තේය යන්න අපට නිසැක කරුණක් වන බවයි. එනම් ඔබ එ්වා ප්‍රකාශ නොකළ බව හෝ අන් කිසිවෙක් විසින් එ්වා ප්‍රකාශ කළ බවක් එහිදී අපි නොසිතමු. ඔබ එ්වා ප්‍රකාශ කරනු අප අසා සිටි අතර, අපගේ ශ්‍රවණය සම්බන්ධ යම්කිසි ගැටළුවක් නොපවත්නා බවට අප තුළ පූර්ණ විශ්වාසයක් පවතී.
අවධාරණය "එ් වචන" යන්න තුළ නම්, එවිට "ඔයා එ් වචන කිව්වා කියන එක මට තේරෙනවා" යන්න තුළ වෙනස් වූ අර්ථයක් ගැබ්විය හැක: එනම්, "ඔයා පැවසූ එක් එක් වචනය මට තේරුණා. මට වචන හා වාක්‍යාංශවල යටින් ඇති අර්ථය සම්පූර්ණයෙන් ග්‍රහණය කරගන්න බැරි වෙන්න පුළුවන්. එ්ක වෙනම කාරණයක්. එ් වුණත් මේ වචනය හා මේ වාක්‍යාංශය හා මේ වාක්‍යය ඔබ පැවසූ බව මං නිවැරදිව වටහා ගත්තා" ලෙසය. පවසන ලද වචන නිවැරදිව ශ්‍රවණය කළ බවට වූ විශ්වාසයක් පැවතිය යුතුය. අපට ඇසුණු වචනම අන් අයටද ඇසුණු බවට තහවුරු කරගනු පිණිස අන් අයගෙන්ද විමසා දැනගත හැක. යම් පටිගත වූ මූලාශ්‍රයක් පවතී නම්, එයට ඇහුම්කන් දිය හැක. දේශකයාගේ කඩහඬ හා පටිගත රේකෝඩරය පැහැදිලි නොවේ නම්, යම් උපකාරයක් ලබාගැනීමට හා අන් අයට ඇසුණු ආකාරය සොයාගනු පිණිස අන් අයගෙන් විමසා බලා එ්වා අපට ඇසුණු දේ හා සැසඳිය හැක. පටිගත කළ දේශනා ශ්‍රවණය කරන විටදී මේ කරුණු සත්‍ය වශයෙන්ම ඉතා වැදගත් වේ. එබැවින්, ශ්‍රවණය මගින් ඇතිවන විචක්ෂණ දැනුවත්භාවය යොදා ගනිමින් නිවැරදිව හා තීරණාත්මකව එම වදන් කවරේද යන්න වටහා ගත් බව තීරණය කරන්නෙමු.
වචනාර්ථය වටහා ගැනීම
දැන්, අවබෝධය ලබාගැනීමෙ අදියර තුනකින් යුත් ක්‍රියාවලියේ දෙවන පියවර වන සිතා බැලීම යන්නෙන් අදහස් කෙරෙනුයේ වචනවල අර්ථය වටහා ගැනීම වන අතර, එය සැබැවින්ම අතිශයින් වැදගත් කරුණකි. යම් කිසිවක් ප්‍රයෝජනවත් පුරුද්දක් ලෙස ගොඩනගා ගැනීමට යන්නේ නම්, වචන පමණක් නොව වචනවල අර්ථයද දැන සිටීමට අවශ්‍ය වේ. නිදසුනක් ලෙස, ඇතැම්හු, සැබෑ අර්ථය පිළිබඳ නොදැනුවත්වම තිබ්බත භාෂාවෙන් ගාථා සජ්ජායනය සිදු කරති. වචන අර්ථය පවා නොදන්නේ නම්, ප්‍රයෝජනවත් පුරුද්දක් වශයෙන් යම් කිසිවක් ගොඩනගා ගන්නේ කෙසේද?
බොහෝ තිබ්බතීය බෞද්ධ ගුරුවරුන් විසින් තිබ්බත භාෂාවෙන් ගාථා සජ්ජායනය හා විවිධ පිළිවෙත්හි නිරතවීම නිර්දේශ කරනු ලබන බව ඔබට වැටහෙනු ඇත. සියවස් ගණනාවක් පැරණි චාරිත්‍ර විධීන්වලට සහභාගිවීමේ ප්‍රයෝජන ඇත: ඔබ යම් සම්ප්‍රදායකට අයත්වන බව ඔබට දැනෙන අතර, විවිධ රටවලින් හා භාෂාමය පසුබිම්වලින් පැමිණි ජනයා එකම දෙය යැදීම හා සජ්ජායනය කරනු ලබන බව දැනගන්නට ලැබීම සැනසිලිදායක කරුණකි. එසේ නමුදු, තිබ්බතීය වචනවල අර්ථය වටහා ගන්නේ නම් විනා, තිබ්බත භාෂාවෙන් සජ්ජායනය මගින් එම වදන්වල අර්ථය පිළිබඳ අර්ථවත් පුරුද්දක් ඇතිකර ගැනීමට උපකාරයක් නොලැබේ. එබැවින්, අර්ථය වටහාගත යුතු වන අතරම එම අර්ථය නිවැරදි හා තීරණාත්මක එකක්ද විය යුතුය. එනම්, යමක් තුළින් අදහස් කෙරෙන දෙය ඉන් අදහස් නොකෙරෙන දෙයින් වෙන්කොට ගැනීම සඳහා වූ විචක්ෂණ දැනුවත්භාවය ප්‍රයෝජනයට ගැනීමයි. වචන මගින් සැබෑ ලෙසම අර්ථවත් වනුයේ කවරක්ද යන්න තීරණාත්මක ලෙස වටහාගනු පිණිස විග්‍රහයේ හා තාර්කික සාධාරණීකරණ ක්‍රියා පරිපාටියක් මගින් මෙම කාර්යය සිදු කරන්නෙමු.
දේශනාවක එන වචනවලින් අදහස් කෙරෙන දෙය පිළිබඳ එ්ත්තු ගැනීම
තීරණාත්මක වැටහීමක් ලබාගැනීම සම්බන්ධ එම කරුණ තුළ ඉතා දුෂ්කර මාතෘකාවක් සාකච්ඡා කෙරේ: සැබෑ ලෙසම යමක් පිළිබඳ එ්ත්තු ගනුයේ කෙසේද? පැහැදිලි නොවන අතර ඉන්ද්‍රියයන් මගින් දත නොහැකිවන දෙයක් පිළිබඳ එ්ත්තු ගැනීම සඳහා අපට තර්කය මත රඳා පැවැත්මට සිදුවේ. තාර්කික කරුණක් ඉදිරිපත් කළ කල්හිද එම හේතු සාධක මගින් සනාථ කෙරෙන දෙය විශ්වාස නොකරන ඇතැම්හූ සිටිති. ඇතැම් විට, තාර්කික නිගමනය එය වුවද, ඔවුනට එය විශ්වාස කිරීමට අවශ්‍යතාවයක් නොමැත. අපි එබඳු අය නම්, එම තත්ත්වය මගින් ධර්මය අධ්‍යයනයේදී බොහෝ බාධක ඇතිකළ හැක.
තර්කනයේ නිගමනයන් පිළිගන්නේ යැයි උපකල්පනය කරමු. එසේ නම්, විග්‍රහයේ හා හේතු දැක්වීමේ ක්‍රියාවලියේ නිදසුනක් ලෙස අනිත්‍යය භාවිත කරමු. අපට සනාථ කිරීමට හා එමගින් අවබෝධ කරගැනීමට අවශ්‍ය වනුයේ හේතු ප්‍රත්‍ය මත පදනම්ව නිර්මිත හෝ නිෂ්පාදිත කවර දෙයක් වුව අවසන් වන බවයි. පරිගණකයක්, මෝටර් රථයක්, අපගේ සිරුර, හෝ පුද්ගලික සබඳතාවයක් පිළිබඳව කථා කරන්නේ වුවද, එ් සියල්ල හේතු ප්‍රත්‍ය මත පදනම්ව නිෂ්පාදිත දේවල් වේ. එම හේතු ප්‍රත්‍ය සෑම මොහොතකම නවීකරණය නොවන බැවින්, එ්වා මගින් නිෂ්පාදිත හා එ්වා මත රඳා පවත්නා නිෂ්පාදිතය අවසානයේ විනාශ වී යනු ඇත.
ඔබ මිලදී ගත් හා අවසානයේ කැඩී බිඳී ගිය හෝ දෝෂ තත්ත්වයට පත්වූ යම් කිසිවක් පිළිබඳ නිදසුනක් සිතට නඟාගත හැක; නිදසුනක් ලෙස, අවසානයේදී කැඩී ගියාවූ ඔබ මිලට ගත් නව මෝටර් රථය, වැඩී වර්ධනය වී අවසානයේදී දිරා ගිය පුෂ්පය හෝ ඵලය ආදී වශයෙනි. මෙම නියමයට ව්‍යතිරේක නොමැත. නිෂ්පාදනය කළ හා ඉන්පසු කිසිදින කැඩී බිඳී නොගොස් සදා කාලිකව පැවති යමක් පිළිබඳ නිදසුන් නොමැත. යමක් නිර්මිත නම් - එනම් එවැන්නක් පෙරදී නෙැපැවතියේ නම්- එවිට එය කැඩී බිඳී යනු ඇත. මක් නිසාද? යමක් අළුතින් නිර්මාණය වන්නේ නම් එසේ නිර්මාණය විය හැක්කේම හේතු ප්‍රත්‍ය මත රඳා පැවැත්ම තුළින් ඉස්මතු වීමක් ලෙස පමණක් වන හෙයිනි. එසේ නමුදු, යමක් ඉස්මතුවූ විගසම, එය ඉස්මතු වීමට උපකාරී ලෙස බලපෑ හේතු ප්‍රත්‍යද වෙනස් වී ඇත. එ්වා වෙනස් වී ඇත්තේ එ්වාද සෙසු හේතු ප්‍රත්‍ය මත රඳා පවතිමින් ඉස්මතුවූ දේ හෙයිනි. එබැවින්, එළැඹෙන සෑම මොහොතකම අදාළ අයිතමයේ අඛන්ඩ ඉස්මතුවීමට ආධාරක වනු පිණිස එ්වා තවදුරටත් නොපවතී. අන් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, යමක් ඉස්මතුවීමට බලපෑ හේතු ප්‍රත්‍ය තවදුරටත් නොපවත්නා කල්හි, එම ආධාරක සාධක මත රඳා පවතිමින් ඉස්මතුවූ යම් කිසිවක් ඇත්තේ නම් එයද සිඳී බිඳී යනු ඇත. එය එසේ විනාශ වී යනුයේ එය මුල් අවස්ථාවේදී ඉස්මතුවන විටදී මෙන් එහි අඛන්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය වන සාධක එතුළ නොමැති බැවිනි. එය සෙසු හේතු ප්‍රත්‍යයන්හි බලපෑමට ලක්වන බැවින් එහි තත්ත්වය වෙනස්වනු ඇත.
පෞද්ගලික සම්බන්ධතා තවත් උදාහරණයකි. යමෙකු සමග පවත්නා සම්බන්ධතාවය බොහෝ හේතු ප්‍රත්‍ය මත රඳා පවතිමින් ඉස්මතු වන්නකි. නිදසුනක් ලෙස, මා යම් වයසකද, අනෙක් පුද්ගලයා යම් වයසකද පසුවන විටදී මා හට මාගේ ජීවිතයේ මේ දෙයද, අනෙක් පුද්ගලයා හට ඔහුගේ ජීවිතයේදී එ් දෙයද සිදුවන අතර මෙයයි සමාජයේ පොදුවේ සිදුවන්නේ. මේ සියලු සාධක අප දෙදෙනා හමුවී සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට සහාය විය. එසේ නමුදු, එම ප්‍රත්‍යයන් නොකඩවා නොපැවති අතර නිරතුරු වෙනස් විය. අපි වයසට ගිය අතර අපගේ ජීවිතවල විවිධ දේ සිදුවිය. බොහෝ දිගු කලක් අපි එක්ව සිටි නමුදු, අප අතරින් එක් අයෙකු අනෙකාට පෙර මියයනු ඇත. හේතු ප්‍රත්‍ය මත රඳා පැවැත්ම හේතුකොට, අප දෙදෙනා අතර සම්බන්ධතාවය නිරතුරු වෙනස් වන අතර සදාකල් පැවතිය නොහැක. අප එළැඹෙන තර්කානුකූල නිගමනය මෙය වන නමුදු, අපි මෙම සත්‍යය පිළිගැනීමට මැලි වෙමු.
වෙනත් නිදසුනක් සලකා බලන්නේ නම්, අපි පරිගණකයක් මිලදී ගන්නා අවස්ථාවක් ගත හැක. එය සදාකල් පැවතිය යුතු අතර කිසි දින කැඩී බිඳී නොයා යුතුය යන්න අපගේ අපේක්ෂාව වුවද, එය එසේ සිදු නොවේ. එය කැඩී බිඳී යනුයේ මක් නිසාද? කැඩී බිඳී යනුයේ එය නිපදවන ලද්දක් වන හෙයිනි. එය කැඩී බිඳී ගිය අවස්ථාවේදී එසේ සිදුවීමට බලපෑ කවර හෝ සිදුවීම වූකලි එහි අවසානය තීරණය කරන කොන්දේසිය වේ. එය බිඳී යාමට බලපෑ සැබෑ හේතුව නම් එය නිර්මාණය කළ එකක් වීමය. එය "මේ පුද්ගලයාගේ මරණයට හේතුව කුමක්ද? මරණයට හේතුව ඔහුගේ උපතයි" ලෙස පැවසීම මෙනි. හාස්‍යය සඳහා යමක් පවසන්නේ නම් "ජීවිතය පිළිබඳ අර්ථ නිරූපණය කවරක්ද? එය නම්, එය 100% මරණ අනුපාතයක් සහිතව ලිංගිකව සම්ප්‍රේෂණය කළ ව්‍යාධියක්" වන බවයි. අවාසනාවකට මෙන් එය සත්‍යයකි. අනිත්‍යය වටහා ගැනීම සඳහා ආදී වශයෙන් යම් මාතෘකාවක් පිළිබඳව සිතා බලන විටදී තර්කය භාවිත කළද එයට සුවිශාල ප්‍රතිරෝධයක්ද පවතී. ඇතැම් විට ඉදිරිපත් කෙරෙන තොරතුරු විශ්වාස කිරීමට අපි මැලි වෙමු. අනිත්‍යය ජීවිතය හා සම්බන්ධ සත්‍යයක්ය යන කරුණ පිළිගැනීමට අපි මැලි වෙමු. එබැවිනි, මෙම මාතෘකාව සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලනු පිණිස නැවත නැවතද තර්කනයේ පිහිට පතන්නට අප පෙළැඹෙන්නේ.
චින්තන ක්‍රියාවලිය හරහා "සිතීමෙන් ඇතිවන විචක්ෂණ දැනුවත්භාවය" ලෙස හැඳින්වෙන "වටහා ගැනීමකට" එළැඹෙන්නෙමු. නිවැරදිව වචනවල අර්ථය අවබෝධ කරගන්නා අතර අපි එ් පිළිබඳ එ්කාන්ත අදහසකින් පසුවන්නෙමු. වෙනත් වචනවලින් පවසන්නේ නම්, අපි තර්කන මාර්ගයෙහි ඉදිරියට ගොස් ඇති අතර ඉන් අදහස් නොකෙරෙන දෙය ඉවත් කොට ඇත්තෙමු. "අනිත්‍යය යනු මාගේ පරිගණකය කැඩී බිඳී යන බව නොවේ. ඉන් අදහස් කෙරෙනුයේ යම් අවස්ථාවක එය අනිවාර්යයෙන් කැඩී බිඳී යනු ඇතැයි යන්නයි". "නිර්මිත සියල්ල කැඩී බිඳී යනු ඇත" යන සත්‍යය අපට බලවත් සේ එ්ත්තු ගොස් ඇත්තේ හෝ නොමැත්තේ වුවද, අවම වශයෙන් අනිත්‍යය යනු කවරක්ද යන කරුණ අපි නිවැරදිව වටහා ගන්නෙමු.
ශ්‍රවණය කළ දේශනා සත්‍ය හා ප්‍රයෝජනවත් බවට එ්ත්තු ගැනීම
ඉනික්බිති, ශ්‍රවණය කළ වචනවලින් අදහස් කෙරෙන දෙය පමණක් නොව එ්වා මගින් අදහස් කෙරෙන දේ සත්‍ය බවටද අපට එ්ත්තු යා යුතුය. අනිත්‍යය පිළිබඳ අපගේ උදාහරණයේදී: එම වදනේ අර්ථය අපට වැටහුණද, එය සැබෑ ලෙසම සත්‍යද අසත්‍යද යන්න විශ්වාස කරන්නෙමුද? සැබෑ ලෙසම එ්ත්තු ගෙන සිටින්නෙමුද? අනිත්‍යය පිළිබඳ සිතීම නොකඩවා සිදු කරන්නේ නම්, හා අපට නිශ්චිතවම එම නියාමයට එරෙහි කිසිදු ව්‍යතිරේකයක්ද සොයාගත නොහැකි වන්නේ නම්, එවිට අනිත්‍යය වූකලි මූලික නියාමයක් වන බවට සැබෑ ලෙස විශ්වාස කරන්නට පටන් ගන්නෙමු. චින්තන ක්‍රියාවලිය යම්තාක් දුරට මෙබන්දක් විය හැක: " මා අනිවාර්යයෙන් මියයනු ඇත. උපන් සියලු දෙනා මිය ගොස් ඇත. උපන් නමුදු මිය නොගිය අයෙකු පිළිබඳ උදාහරණයක් සොයාගත නොහැක. එබැවින්, මා මිය නොයන බවට විශ්වාස කිරීමට තරම් හේතුවක් පවතීද? නැත, නොපවතී."
යම් අවස්ථාවකදී අපි මියයන බවට එ්ත්තු ගෙන ඇත්තේ නම්, අපි මෙම ජීවිතය හැකිතාක් අර්ථාන්විත කරගැනීම සඳහා උත්සාහ කරන්නෙමු. යමෙකු හට මරණාසන්න අත්දැකීම් ඇතිවන විටදී නිරතුරුවම "ඔව්, මම තාමත් ජීවත් වෙනවා, මට ජීවිතයේ ඉතිරි කාලය හැකි තරම් අර්ථාන්විතව ගත කරන්නට අවශ්‍යයි" යන හැඟීම ඇතිවේ. එසේ නමුදු, අප මිය යන්නන්ය යන කරුණ පිළිබඳ එ්ත්තු ගෙන අපගේ ඉතිරි ජීවිත කාලයෙන් යම් ප්‍රයෝජනයක් ගත යුතුය යන තහවුරුව ලබාගනු සඳහා මරණාසන්න අත්දැකීමක් ඇතිවන තුරු බලා සිටිය යුතු නොවේ.
එ් අනුව, සිතීම මගින්, පළමුව අපි අර්ථ නිවැරදිව හා නිරවද්‍යව වටහා ගන්නෙමු. ඉනික්බිති, එය සත්‍ය බවට එ්ත්තු ගන්නෙමු. තෙවනුව, මේ කරුණ උකහා ගනිමින් මා ජීවිතයේ කටයුතු කරන ආකාරයෙහි කොටසක් බවට එය පත්කර ගැනීමට කටයුතු කිරීම ප්‍රයෝජනවත් වනු ඇත්තේය යන කරුණ පිළිබඳ එ්ත්තු ගත යුතුය.
අර්ථය වටහා ගැනීම, එය සත්‍ය බවට එ්ත්තු ගැනීම හා එය උපකාරී වන බවට සහතික වීම යන එ් සියල්ල සිතීම තුළින් ඉස්මතුවන විචක්ෂණ දැනුවත්භාවය ගොඩනගා ගැනීමෙහි කොටස් වේ. එය ඉතා වැදගත් ක්‍රියාවලියක් වන අතර සුවිශාල කාලයක් ගන්නා වැඩ පිළිවෙලකි. අප ශ්‍රවණය කළ හෝ කියවා බැලූ දේශනාවන් පිළිබඳ නිහඬව සිට ගැඹුරින් කල්පනා කොට බැලිය යුතු වේ. එසේ සිදු කිරීමකින් තොරව, නිදසුනක් ලෙස, අපි අනිත්‍යය පිළිබඳ සිතා බැලීමට යතහොත්, හුදෙක් කළ යුත්තේ කවරක්ද යන්න පිළිබඳ කිසිදු අදහසකින් තොරව අනිවර්තයේ හිඳ සිටීමට පමණක් සිදුවනු ඇත. එවිට වියවුල් සහගත තත්ත්වයට ඇද වැටී එය භාවනාව වශයෙන් වරදවා වටහා ගනු ඇත. එය කිසිසේත් භාවනාවක් නොවේ. එසේ නම් භාවනාව යනු කවරක්ද?
භාවනා වර්ග තුන
දේශනාවනට සවන් දීමෙන් හා එ්වා පිළිබඳ සිතා බැලීමෙන් මෙම දෙකරුණ හා සම්බන්ධ විචක්ෂණ දැනුවත්භාවයන් ගොඩනගා ගන්නාක් මෙන් භාවනා කිරීමේදී "භාවනාව තුළින් ඉස්මතුවන විචක්ෂණ දැනුවත්භාවය" ඇති කරනු ලබයි. මෙම දැනුවත්භාවයද සමගින් අපට, පූර්ණ සමාධියකින්, වැඩි වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන්නාවූ ප්‍රයෝජනවත් චිත්ත ස්වභාවය උත්පාදනය කරගත හැකි අතර එය අන් සියලු චිත්ත ස්වභාවයන්ගෙන් තීරණාත්මක ලෙස වෙන්කොට ගත හැක. මෙම විචක්ෂණ දැනුවත්භාවය අත්පත් කරගනු පිණිස, එය වෙන් වෙන් වශයෙන් උත්පාදනය කරමින් මෙකී අපේකෂිත චිත්ත ස්වභාවයට හුරු වන්නෙමු. මෙය සිදු කරන්නාවූ විවිධ භාවනා වර්ග පවත්නේ නමුදු, වඩාත් පොදු වර්ග තුන පමණක් මෙහිදී සලකා බලමු.
අරමුණක් මත අවධානය පවත්වාගෙන යාම
පළමු භාවනා වර්ගය සඳහා යම් අරමුණක් මත අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. ඕනෑම වර්ගයක අරමුණක් මත අපගේ අවධානය යොමුකළ හැකි අතර අප විසින් වර්ධනය කරගැනීමට උත්සාහ කරනුයේ එම අරමුණ මත පවත්නා අවධානයයි. ඉහළ පහළ යන හුස්ම රැල්ලේ දැනීම වේවා, සිතින් මවාගත් බුද්ධ රූපයක් වේවා සිතේ ස්වභාවය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් වේවා සිදු කරනුයේ යම් අරමුණක් මත අවධානය පවත්වාගෙන යාමයි. කෙසේ වුවද, එම තෙවර්ගය, තිබ්බතීය බුදු දහම තුළ සතිය වර්ධනය කරගනු පිණිස වැඩි වශයෙන්ම භාවිත වන අරමුණු වේ.
මෙම වර්ගයේ භාවනාවේ වැදගත් විචලනයක් නම් සිහිය පවත්වාගෙන යමින් අරමුණ මත අවධානය යොමුකරගෙන සිටින අතර අනිත්‍ය වශයෙන් ඈ ලෙස යම් ආකාරයකින් එය විනිවිද දැකීමට උත්සාහ කිරීමයි. මෙම විනිවිද දැකීමද සහිතව මෙම අරමුණ මත සිහිය පවත්වාගෙන යාම මගින්, එය සැබැවින්ම අනිත්‍ය බව වැටහේ. යම් කිසිවක් කෙරෙහි සදාකල් පවතින්නක් වශයෙන් සිතා ඇලී සිටීමේ තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා එය ඉතා ප්‍රයෝජනවත් වේ.
තවත් ප්‍රයෝජනවත් උදාහරණයක් පහත පරිදි දැක්විය හැක: ඔබ යමෙකු සමග මිත්‍රත්වයක් පවත්වාගෙන යන අතර ඔහු ඔබට කථා කිරීම හෝ ඔබ දැකීමට පැමිණීම සිදු නොකරන අවස්ථාවක ඔබ ඉතා චිත්ත ව්‍යාකූලත්වයට පත් වේ. මෙම උදාහරණයේදී, "මම මාගේ මිතුරාගේ ජීවිතයට අදාළ එකම පුද්ගලයා නොවේ. මා හැර ඔහුගේ ජීවිතයට අදාල වෙනත් පුද්ගලයන්ද ඇත. එබැවින්, අන් කිසිවෙකුට හෝ කාලය වෙන් නොකරමින් මුළුමනින්ම ඔහු සිය කාලය මා වෙනුවෙන් වෙන් කරනු ඇතැයි සිතීම සම්පූර්ණයෙන්ම අසාධාරණය" යන කරුණ වටහා ගනිමින් පූර්ණ එ්ත්තු ගැනීමකට හරවාගත යුතුය. මෙහිදී "මම මාගේ මිතුරාගේ ජීවිතයට අදාළ එකම පුද්ගලයාය" යන විය නොහැකි තත්ත්වයකට අදාල මනඃකල්පිත ප්‍රක්ෂේපණයට අභියෝග කිරීමක් සිදුවේ. ඔබගේ මිතුරා ඔබ වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් ගත නොකරන්නේය යන අදහසින් සිත ව්‍යාකූල කරගන්නා විටදී "මා හැර ඔහුට ඔහුගේ ජීවිතයට අදාල වෙනත් පුද්ගලයන් හා දේවල්ද ඇත" යන අවබෝධයද සහිතව ඔහු පිළිබඳ සිතීමට උත්සාහ කරයි.
එබැවින්, භාවනාව පිළිබඳව කථා කරන විටදී, යම් ගුප්ත, මායාකාරී ක්‍රියාවලියක් පිළිබඳව කථා කිරීමක් සිදු නොවේ; මෙහිදී මනෝ ලෝකයකට ගමන් කිරීමක් සිදු නොවේ. එ් වෙනුවට, භාවනාව තුළ අපගේ ජීවිතවල දුක, දුෂ්කරතා හා ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ඉතා ප්‍රායෝගික විධික්‍රම පවතී.
පළමු භාවනා වර්ගය වනුයේ අපගේ මිතුරා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධ උදාහරණයේදී මෙන් යම් වැටහීමක් හා විනිවිද දැකීමක්ද සහිතව හෝ සිහියෙන් යම් ආකාරයකට අරමුණක් මත අවධානය යොමු කිරීමයි.
චිත්ත ස්වභාවයක් උත්පාදනය
දෙවන වර්ගය වනුයේ නිදසුනක් ලෙස, ආදරය හෝ කරුණාව උත්පාදනය කොට එය දැනීම මත අවධානය යොමුකොට පවත්වාගෙන යාම ඈ ලෙස යම් නිශ්චිත චිත්ත ස්වභාවයක් උත්පාදනය කරනු උදෙසා සිදු කරනු ලබන භාවනාවයි. මෙහිදී අවධාරණය පවත්නේ අප මෙම ආදරය හෝ කරුණාව එල්ල කරනු ලබන අරමුණ නොවේ; මෙහිදී අවධාරණය කෙරෙනුයේ හැඟීමක් හෝ භාවයක් ගොඩනැංවීම කෙරෙහිය.
අපේක්ෂාවක් උපදවා ගැනීම
තුන්වන වර්ගය වනුයේ එ් ආශ්‍රිත අරමුණක් සාක්ෂාත් කරගනු පිණිස යම් අපේක්ෂාවක් සහිතව අරමුණක් මත අවධානය යොමුකොට පවත්වාගෙන යාමයි; නිදසුනක් ලෙස, "මම එය සාක්ෂාත් කරගනිමි" යන අපේක්ෂාවද සහිතව මේ දක්වාද සිදුවී නොමැති අපගේම පෞද්ගලික බුද්ධත්වය මත අවධානය යොමු කිරීම සැලකිය හැක. මෙය "බෝධිචිත්ත භාවනාව" ලෙස හැඳින්වේ. ඇතැම් විට "අවබෝධය ලත් සිත" ලෙස පරිවර්තනය කෙරෙන බෝධි චිත්තය පිළිබඳ භාවනා කරන විටදී, අපි අවධානය යොමු කරනු ලබන්නේ පොදුවේ බුද්ධත්වය පිළිබඳව හෝ බුදුන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳව නොවන අතර එ් වෙනුවට අපගේම පෞද්ගලික බුද්ධත්වය පිළිබඳ අවධානය යොමු කරන්නෙමු. දැනටමත් අප බුද්ධත්වයට පත්ව නොමැති නමුදු බුද්ධ ස්වභාවයේ විභවයන් හා බොහෝ වෙහෙස වී සිදුකරනු ලබන කටයුතු හරහා එය සිදුවිය හැක්කක් වන අතර එය සිදුවිය හැකි බවට අප විසින් එ්ත්තු ගෙන ඇත. එ් අනුව, මෙම තෙවන වර්ගයේ භාවනාවේදී, අරමුණ සාක්ෂාත් කරගැනීමේ ප්‍රබල ඉලක්කයක්ද සහිතව අනාගත අරමුණක් කෙරෙහි අවධානය යොමු කරන්නෙමු.
එදිනෙදා ජීවිතයේ භාවනා වර්ග ත්‍රිත්වය
එ් අනුව මෙම භාවනා වර්ග තුන මගින් අපගේ එදිනෙදා ජීවිතය තුළට එක්කර ගැනීමට අවශ්‍ය කෙරෙන ප්‍රයෝජනවත් පුරුදු ගොඩනංවනු ලබයි. භාවනාව අපගේ ජිවිතයට සම්බන්ධ නොවන්නාවූ යම් අතුරු කාර්යයක් නොවීම ඉතා වැදගත්ය. භාවනාව යනු යම්කිසි පැන යාමක් නොවේ; එය විනෝද ක්‍රීඩාවක්ද නොවේ; විනෝදාංශයක්ද නොවේ. එ් වූකලි අපගේ ජීවිත තුළට ඇතුළත් කරගනිමින් සෑම දිනකම භාවිත කිරීමට අවශ්‍ය වන ගුණාංග වැඩි වර්ධන කරගැනීමට උපකාරී වන විධි ක්‍රමයකි.
මොහොතකට පෙර සඳහන් කරන ලද නිදසුන් භාවිතයෙන් මෙම විධික්‍රම තුන ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය නිරූපණය කරමු. අරමුණක් මත අවධානය යොමු කරන්නාවූ පළමු වර්ගයේ භාවනා පිළිවෙත් පුරන විටදී, සිත නිශ්චල කොට සිහිය පවත්වාගෙන යාමේ හැකියාව වැඩි වර්ධනය කරගැනීමට උගන්නෙමු. අපි අපගේ කාර්යය මත අවධානය යොමු කිරීමට පමණක් නොව යම් පුද්ගලයෙකු හා සංවාදයේ යෙදෙන විටදී එම පුද්ගලයා හා ඔහු පවසන දෙය කෙරෙහිද අවධානය යොමු කරමින් විවිධාකාරයේ වෙනත් දේ පිළිබඳ කල්පනා කිරීමකින් තොරව පසුවීමට සිදුවේ. කිසිදු මානසික ගුණ දොස් ප්‍රකාශනයකින් හෝ "එ්කනම් හරි පිස්සු කතාවක්" හෝ "මෙයා දැන් නවත්තනව නම් හොඳයි" ආදී වශයෙන් ඔහු ප්‍රකාශ කරන දේ පිළිබඳ විනිශ්චය කිරීමකින් තොරව ඇහුම්කන් දීමට සිදුවේ. එ් සියලු මානසික කයිවාරු නිහඬ කිරීමට සිදුවේ. "මට වගේම මනුෂ්‍යයෙක් විදිහට ඔයාටත් හැඟීම් තියෙනවා; මං කථාකරන කොට අනිත් අය අහගෙන ඉන්නවට මං කැමතියි වගේම ඔබටත් ඔබගේ කථාවට අන් අය අවධානය යොමු කරනව නම් හොඳයි කියල හිතෙනවා" යන අවබෝධය සහිතව අපට මෙම පුද්ගලයා හා ඔහුගේ වදන් පිළිබඳවද අපගේ අවධානය අනුපූරණය කළ හැක. සිහිය පිළිබඳ භාවනාව මගින් පුහුණු කිරීමට අපේක්ෂා කරනුයේ මෙයයි.
එදිනෙදා ජීවිතයේදී පවත්නා ආදරය හා කරුණාව වර්ධනය කරගනු පිණිස චිත්ත ස්වභාවයක් උත්පාදනය කරන්නාවූ දෙවන භාවනා වර්ගය භාවිත කළ හැක. අප සිටින ස්ථානය කවරක්ද යන්න හෝ අප කවුරුන් සමග සිටින්නේද යන්න නොසලකා සියල්ලෝ නිදුක් වෙත්වාය යන ප්‍රේමණීය ආකල්පය උත්පාදනය කිරීම සඳහා කටයුතු කරන්නෙමු. මෙහිදී ආදරය හෙවත් ප්‍රේමය යන්නෙන් සියල්ලන් කෙරෙහි විහිදුවනු ලබන ආදරය අදහස් වේ: බස් රථයේ ගමන් කරන සියලු දෙනා, අතුරු පාරේ ගමන් ගන්නා සියලු දෙනා, වාහන ගමනාගමනයේ යෙදෙන සියලු දෙනා, අලෙවි හලට පැමිණ ඇති සියලු දෙනා, සියලු සත්ත්වයන් හා කෘමීන්ද ඇතුළු සියලු දෙනා මෙහිදී අදහස් කෙරේ. ඉන් අදහස් කෙරෙනුයේ සියලු දෙනා කෙරෙහි ගෞරවයක් ගොඩනගා ගැනීමයි. සියල්ලන් හට සතුටින් සිටීමට අවශ්‍ය වන අතර කිසිවෙකු හෝ දුක් විඳීමට කැමති නොවන්නේය යන අදහසින් සියලු දෙනා සමාන වේ. අප අතරින් පියාසර කරන මැස්සාද ඇතුළුව සියලු දෙනා හට සතුටින් සිටීමේ සම අයිතියක් සතුවේ.
අවසානයේදී, අප විසින් දිවිය පුරා රැගෙන යන්නාවූ අපේක්ෂාවක් ගොඩනංවාගනු පිණිසද භාවනාව යොදා ගන්නෙමු:"මම අරමුණක් සඳහා කටයුතු කරමි. මම මාගේ දුර්වලතා අඩු කිරීමටද, යහපත් ගුණාංග වැඩිදියුණු කිරීමටද උත්සාහ කරමි. මම විමුක්තිය හා බුද්ධත්වය උදෙසා කටයුතු කරමි" වශයෙනි. එම අපේක්ෂාව කුෂන් ඇතිරිල්ල මත හිඳ සිටින කෙටි කාලය තුළ පමණක් නොව අපගේ සමස්ත දිවිය පුරා විහිදේ.
ප්‍රයෝජනවත් චිත්ත ස්වභාවයක් ගොඩනගා ගැනීම සඳහා ෂොංඛපා විසින් දෙන ලද උපදෙස්
මෙකී සියලු භාවනා වර්ග සඳහා අපට සැබෑ ලෙසම අවශ්‍ය වන්නේ කවරක්ද; වෙනත් අයුරකින් පවසන්නේ නම්, භාවනාව සඳහා පදනමක් වශයෙන් ප්‍රයෝජනවත් චිත්ත ස්වභාවයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මහා තිබ්බතීය ගුරුවරයෙකු වූ ෂොංඛපා විසින් ඉතා මැනවින් විස්තර කරන ලදී.
අවධානය යොමු කරන දෙය පිළිබඳ දැනුවත් වන්න
පළමුව අප අවධානය යොමු කරන දෙය කවරක්ද යන්න දැන සිටිය යුතුය. කරුණාව පිළිබඳ නිදසුන ගනිමු. කරුණාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී, සෙසු අයගේ දුක පිළිබඳ අවධානය යොමු කරන්නෙමු. එය මේ දක්වාද සිදුවී නොමැති අපගේම බුද්ධත්වය පිළිබඳ අවධානය යොමු කරන්නාවූ බෝධිචිත්ත භාවනාවෙන් බොහෝ සෙයින් වෙනස් වේ. ඇතැම්හූ කරුණා භාවනාවෙහි යෙදෙමින් බෝධිචිත්ත භාවනාවේ යෙදෙන්නේ යැයි සිතති; කරුණාව යනු බෝධිචිත්තයේ පදනම වන නමුදු, කරුණාව හා බෝධිචිත්තය යනු එකම කරුණ නොවේ.
එහි සියලු පැතිකඩ පිළිබඳ දැනුවත් වන්න
මෙහිදී කරුණාව තුළ අවධානයට යොමු කෙරෙන අන්‍යයන්ගේ දුක පිළිබඳ කාරණය මෙන් නිශ්චිතව අවධානය යොමු කරනු ලබන අරමුණ තීරණය කළ පසු, එම අරමුණෙහි සියලු පැතිකඩ දැනගැනීමට අවශ්‍ය වේ. එ් අනුව සියලු දෙනා විසින් අත්දකින දුකෙහි විවිධ පැතිකඩ හෝ වර්ගයන් පිළිබඳ ගවේෂණය කරන්නෙමු:දුක, අපගේ සාමාන්‍ය සතුට, කර්මයේ බලපෑමට යටත්ව සිටීම හා පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනර්භවයට යටත්ව සිටීම ආදී වශයෙනි. රැකියා අහිමිවීම මගින් ඇතිවන දුක හා දුෂ්කරතාවයන් වැනි සත්ත්වයන් කිහිප දෙනෙකු හා සම්බන්ධ සීමිත දුකක් මත පමණක් හුදෙක් අපගේ අවධානය යොමු නොකරන්නෙමු. මහා කරුණාව සම්බන්ධයෙන් සලකා බලන කල, සත්ත්වයන්ද ඇතුළත්ව සියලු දෙනා විසින් විශ්වමය වශයෙන් අත් විඳින දුකෙහි සියලු පැතිකඩයන් මත අපගේ අවධානය යොමු කරන්නෙමු.
අපගේ සිත එයට සම්බන්ධවන ආකාරය දැන සිටින්න
ඉන්පසු එම අරමුණ කෙරෙහි අපගේ සිත සම්බන්ධවන ආකාරය දැන සිටිය යුතු වේ. කරුණාව තුළ, අපගේ සිතෙහි දුක ඉවත් වේවා සහ නැවත ඉස්මතු නොවේවා යන පැතුම සහිතව අන්‍යයන්ගේ සියලු දුක් පිළිබඳ අවධානය යොමු කරයි. එහිදී "අනේ කොච්චර අවාසනාවන්තද" යන ආකල්පයක් නොමැත. එ් අනුව, නැවතද ප්‍රකාශ කළ යුත්තේ, මෙම සිතිවිල්ල බෝධිචිත්තයට වඩා බොහෝ සෙයින් වෙනස් වන බවයි. බෝධිචිත්තයේදී අපි මේ දක්වාද අත්පත් කර නොගත් බුද්ධත්වය පිළිබඳ අවධානය යොමු කරන අතර, "මම එය සාක්ෂාත් කොටගෙන එහි ප්‍රතිඵලයක් ලෙස සෙස්සන් වෙත සෙත සලසමි" යන අදහසින් එයට සම්බන්ධ වේ. අන්‍යයන්ගේ දුකට කරුණාවෙන් සම්බන්ධ වන ආකාරයට වඩා මෙය බොහෝ සෙයින් වෙනස් වේ.
එය ගොඩනගා ගැනීමට උපකාරීවන දෙය දැන සිටින්න
ඉනික්බිති මෙම චිත්ත ස්වභාවය ගොඩනගා ගැනීමට අපට උපකාරී වනුයේ කවරක්ද යන්න දැනගත යුතුය. අපගේ නිදසුනෙහි, අපගේම දුක කෙරෙහි එකම අපේක්ෂාව හෝ හැඟීම පැවතීම මගින් කරුණාවට යම් සහායක් ඇතිවේ. එය හැඳින්වෙනුයේ සාමාන්‍යයෙන් "අභිනිෂ්ක්‍රමණය" යන වදනින් පරිවර්තනය කෙරෙන "නිදහස් වීමේ අධිෂ්ඨානය" ලෙසිනි. එහිදී අපගේම දුක පිළිබඳ අවධානය යොමු කෙරෙන අතර එම දුකින් හා එයට හේතුවන කරුණුවලින් මිදීමේ අධිෂ්ඨානයක් පවතී. දුකට හේතුවලින් මිදීමේ අභිලාෂය යන්නෙන් අදහස් කෙරෙන්නේ, කෝප වීම වැනි අප දුකට පත් කරන්නාවූ චර්යාවන් බැහැර කිරීමේ කැමැත්තයි. සැබෑ ලෙසම දුකින් මිදීමේ අධිෂ්ඨානය ගොඩනගා ගැනීමට හැකිනම්, එවිට අප කෙරෙහි අවධානය යොමු කරන තීව්‍රතාවයෙන්ම එම ආකල්පය, පැතුම සෙසු අය කෙරෙහිද යොමු කිරීමට ඉන් සහායක් ලැබෙනු ඇත.
එය වර්ධනය කරගැනීමේදී හානිකරව පවත්නේ කවරක්ද යන්න දැනගන්න.
මෙම චිත්ත ස්වභාවය වර්ධනය කරගැනීමට බාධා කරනුයේ කවරක්ද යන්නද දැන සිටිය යුතුය. කරුණාව ගොඩනගා ගැනීමට බාධකව පවත්නේ අන් අය බරපතල ලෙස ගැනීම හෝ ඔවුන්ගේ දුක බරපතලව ගැනීම නොවේ. එයට ප්‍රතිරෝධී වනු පිණිස අප විසින් "සියල්ලන් සතුටු වීමට කැමතිය. කිසිවෙකු හෝ දුක් වීමට අකමැතිය. දුකින් මිදීමේ කැමැත්ත ගත්විට කිසිවෙකු හෝ අනෙකාගෙන් වෙනස් නොවේ. අපි සියල්ලෝ සමානයෝය. මා හට මෙන්ම සියල්ලන් හටද හැඟීම් ඇත. මාගේ දුක මාහට වේදනාකාරී වන්නාක් මෙන් සියල්ලන්ට ඔවුනගේ දුක වේදනාකාරී වේ. මා දුකින් මිදීමට කැමති වන්නාක් මෙන්ම සියල්ලෝද දුකින් මිදීමට කැමති වෙති" යන සිතිවිල්ල පවත්වාගත යුතුය. එම සංවේදීත්වය හා ගෞරවය නොමැත්තේ නම්, අවංකව කරුණාව ගොඩනංවා ගැනීමේ කාර්යයට බාධා සිදුවනු ඇත.
එය ක්‍රියාත්මක කරන ආකාරය දැන සිටින්න
මෙම චිත්ත ස්වභාවය ගොඩනගා ගත් පසු, ඉන් කවරක් සිදු කළ යුත්තේද යන්න දැන සිටිය යුතු බව ෂොංඛපා විසින් වැඩිදුරටත් පවසයි. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, එය යොදවන්නේ කවරාකාරවද යන්නයි. "මා කරුණාව ගොඩනංවාගත් පසු සිදුකරන්නේ කවරක්ද? අන්‍යයන් සමගින් කටයුතු කිරීමට එය උපකාරී විය හැක; ඔවුන්ට ප්‍රයෝජන පිණිස කටයුතු කිරීමට ඉන් මට රුකුලක් ලැබෙනු ඇත; මට සෙස්සන් වෙත සැලකිය යුතු මට්ටමින් උපකාර කිරීමට හැකිවනු පිණිස අවසාන ඉලක්කය වූ බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම සඳහා එය විසින් මා පොළඹවා ඉදිරියට යොමු කරනු ඇත. දැනට ඔවුනට උපකාර කිරීමට හැකිවන තත්ත්වයෙන් මා වළකාලනු ලබන්නේ මා තුළ පවත්නා සීමාවන් බව වැටහී ඇති බැවින් බොහෝ සෙයින් මාගේ සීමාවන් මැඩ පැවැත්වීමට මට අවශ්‍ය වේ".
එමගින් මුලිනුපුටා දමනුයේ කවරක්ද යන්න දැන සිටින්න
අප විසින් දැන සිටිය යුතු මීළඟ කරුණ නම්, මෙම චිත්ත ස්වභාවය මගින් මුලිනුපුටා දමනුයේ හෝ නිදහස් කෙරෙනුයේ කවරක්ද යන්නයි. කරුණාව විසින් සෙස්සන් නොසලකා හරින දැඩි සිත් සහිත හැඟීම මුලිනුපුටා දමනු ඇත. එමගින් අන්‍යයන් හට උපකාර කිරීමට අවශ්‍ය නොවන කම්මැලිකමෙන් මිදීමට මා හට උපකාරයක් ලැබෙනු ඇති අතර, මාගේ ප්‍රගතිය උදෙසාම කටයුතු කිරීමට අවශ්‍ය නොවන කම්මැලිකම මැඩ පැවැත්වීමටද ඉන් රුකුලක් ලැබෙනු ඇත. මෙම දැඩි සිත් සහිත හැඟීම මුලිනුපුටා දැමීම මගින් මා හට වඩ වඩාත් අන්‍යයන් කෙරෙහි උපකාරී විය හැක. කරුණාව වැඩි වර්ධනය කරගෙන එ් පිළිබඳ භාවනා කිරීමේ මෙකී සියලු මූලිකාංග දන්නේ නම්, මෙම භාවනාව නිවැරදිව සිදු කරන බවට මහත් වූ විශ්වාසයක් පවත්වාගත හැක; සිදුකරන්නේ කවරක්ද යන්න හා එය සිදු කරන්නේ මන්ද යන්න පිළිබඳව නිශ්චිතවම අපි දන්නෙමු. මෙම භාවනාවෙහි නියැලීම සඳහා අපි නිසි පරිදි සූදානම්ව සිටිමු. නොඑසේ නම්, එය පිහිනීම පිළිබඳ කිසිදු අදහසකින් තොරව පිහිනුම් තටාකයේ ගැඹුරු දියට පැනීම හා සමානය. "ඉදගෙන භාවනා කරන්න"යි පැවසූ පමණින්ම කළ යුත්තේ කවරක්ද යන අදහසක් ඉස්මතු නොවන අතර, එහිදී ඵලදායක අන්තයකින් කාර්යය කෙළවර නොවීමේ වැඩි ඉඩකඩක් පවතී.