‍‍බෝධිචිත්ත සප්තාංග හේතුඵල භාවනාව

බෝධිචිත්තය යනු සෙස්සන් හට හැකිතාක් පූර්ණ ලෙස උපකාර කුරනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ ඉලක්කයයි. මෙම ඉලක්කය උත්පාදනය කරගැනීමේ හා එය වර්ධනය කරගත් පසු තවදුරටත් බලගැන්වීමේ සප්තාංග හේතුඵල ක්‍රමය මගින්, සමචිත්තතාවයෙන් ආරම්භ වී මව් සෙනෙහස සිහි කරමින් සියලු සත්ත්වයෝ අපගේ මව්වරුන් වශයෙන් කටයුතු කර ඇති බව හඳුනා ගැනීම හරහා කෘතඥතා පූර්වකව එම කාරුණිකත්වය වෙනුවෙන් ප්‍රත්‍යුපකාර දැක්වීම දක්වා වූ භාව හා අවබෝධයන් මාලාවක් හරහා අප ගෙනයනු ලබයි. බෝධිචිත්ත ඉලක්කයක් වන මෙම හේතුඵල අනුපිළිවෙල මගින් සුවිශේෂී අධිෂ්ඨානයක් වූ සියලු සත්ත්වයන් කෙරෙහි ආදරය හා කරුණාව ගොඩනඟා ගැනීම දක්වා අප යොමු කරනු ලබයි.

හැඳින්වීම

අපි බෞද්ධ මාර්ගය අනුගමනය කිරීමේ අවකාශ සලසන සියලු අස්වැසිලි හා පෝෂණයන් සහිත අගනා මිනිස් දිවියක් ලබා සිටින්නෙමු. කෙසේ වුවද මෙම නිදහස හා අවස්ථාවන් සදාකල් නොපවතිනු ඇත. එබැවින්, අප ලබා ඇති අවස්ථාවන්ගෙන් පූර්ණ ප්‍රයෝජනය ගත යුතුව පවතී.

අපගේ අගනා මිනිස් දිවියෙන් ප්‍රයෝජන ගැනීමේ වඩාත් යහපත් ක්‍රමය වනුයේ එය බෝධිචිත්ත ඉලක්ක සාධනය සඳහා යොදා ගැනීමයි. බෝධිචිත්ත ඉලක්කයක් යනු බුද්ධත්වය පෞද්ගලිකවම සාක්ෂාත් කරගැනීමට හැකියාව ලබාදෙන, අප තුළ පවත්නා බුද්ධ ස්වභාවයේ සාධක පදනම් කරගනිමින් අපගේ චිත්ත සන්තති තුළට පසු කාලීනව යොමුකළ හැකි, මේ දක්වා සිදු නොවුණු අපගේ බුද්ධත්වය කෙරෙහි අවධානය යොමුකොට පවත්වාගන්නා චිත්තයකි. මෙම සාධකයන් තුළට ධනාත්මක බලයන් හා ගැඹුරු දැනුවත්භාවය සම්බන්ධ අපගේ ජාලයන්, අපගේ විවිධ යහ ගුණ හා අපගේ සිත්වල පවත්නා ස්වභාවික පාරිශුද්ධත්වයද ඇතුළත් වේ. මෙම බෝධිචිත්ත ඉලක්කය සමගින් අපේක්ෂාවන් දෙකක් සමාන්තරව ගමන් කරයි: හැකිතාක් විගසින් එම බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම හා එමගින් සියලු සත්ත්වයන් වෙත ප්‍රතිලාභ සැලසීම වශයෙනි

බෝධිචිත්තය ගොඩනගා ගැනීමේදී, අපි ප්‍රතිවිරුද්ධ අනුපිළිවෙලගතව අභිප්‍රායන් දෙක ගොඩනගා ගන්නෙමු. පළමුව, අපි මනුෂ්‍යයන් වෙත පමණක් නොව සියළු සීමිත සත්ත්වයන් වෙත ප්‍රතිලාභ සැලීමට පූර්ණ වශයෙන් අදහස් කරන්නෙමු. මෙය අපගේ ආදරය, කරුණාව හා සුවිශේෂී අධිෂ්ඨානය මගින් ඇති කරවනු ලබන අතර, ඒවා පිළිබඳව මෙම දේශනයේ පසුව සාකච්ඡා කරන්නෙමු. ඉනික්බිති ඔවුන් වෙත වඩාත් ඵලදායී ලෙස ප්‍රයෝජන සලසනු පිණිස, අපි බුද්ධත්වය ලැබීමෙ පූර්ණ අපේක්ෂාව පවත්වාගෙන යන්නෙමු. අපගේ සියලු සීමා සහිතකම් හා දුර්වලතාවයන් මගින් අන්‍යයන් වෙත උපකාර කිරීමෙන් අපව වළකාලන බැවින්, ඒවායින් මිදීම සඳහා බුද්ධත්වය සාක්ෂාත් කරගත යුතුවේ. නිදසුනක් ලෙස, අන්‍යයන් හා කෝප ගන්නේ නම්, ඒ හා සමගින්ම ඔවුන් වෙත උපකාර කරනුයේ කෙසේද? තවද, අපගේ සියලු හැකියාවන් අවබෝධ කරගනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමද අවශ්‍ය වේ. අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස එම ගුණාංග යොදා ගැනීමට හැකිවනු පිණිස ඒවා පූර්ණ වශයෙන් අවබෝධ කරගත යුතුවේ. ඒ අනුව බෝධිචිත්ත ඉලක්කයක් ගොඩනගා ගැනීම යනුවෙන් අදහස් වනුයේ ඉහළම තත්ත්වය වනුයේ බුද්ධත්වය බැවින් පළමුව එම තත්ත්වය සාක්ෂාත් කරගෙන, ඉන්පසු අප විසින් ගෙවා දැමිය යුතුවන බදු මුදලක් ගෙවන්නාක් මෙන්, අන් අය වෙත උපකාර කළ යුතු බවක් නොවේ.

බෝධිචිත්ත ඉලක්කය ගොඩනඟා ගැනීමේ ප්‍රධාන විධික්‍රම දෙකකි. එකක් වනුයේ සප්තවිධ හේතුඵල දේශනාව මගින් එය ගොඩනගා ගැනීම වන අතර, අනෙක වනුයේ තමා හා සෙස්සන් පිළිබඳ අපගේ ආකල්ප සමාන කරගනිමින් හුවමාරු කරගැනීමයි. මෙහිලා මෙම ක්‍රම දෙක අතරින් පළමුවැන්න පිළිබඳව සාකච්ඡා කරමු.

සමචිත්තතාවය ගොඩනගා ගැනීම

සප්තවිධ හේතුඵල දේශනාව තුළ බෝධිචිත්ත ඉලක්කය සැබෑ ලෙසම ගොඩනගා ගැනීම නම් වූ සත්වැන්න සඳහා වූ හේතු ලෙස ක්‍රියාත්මකවන පියවර හයක් අන්තර්ගත වේ. එය මෙම කරුණු සත තුළ ලා නොගැනෙන මූලික පියවරකින් ආරම්භ වේ. ඒ වූකලි ඇතැම් සත්ත්වයන් වෙත ආකර්ශනය වෙමින්, අන්‍යයන් වෙතින් විකර්ශනය වන හා තවත් ඇතැමුන් කෙරෙහි උපේක්ෂා සහගතද වන තත්ත්වය මැඩ පවත්වනු ලබන සමචිත්තතා වර්ධනයයි. මෙම මූලික පියවර තුළින් ලබාදෙනු ලබන පණිවිඩය වනුයේ සියලු දෙනා වෙත එක සමාන ලෙස විවෘත විය යුතු බවයි.

සියලු දෙනා වෙත එකහා සමාන විවෘත මනසක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ, සියලු දෙනා සමානයන්ය යන වැටහීම ලැබෙනුයේ චිත්ත සන්තතිය හෝ චිත්ත ධාරාවට අදාල ආරම්භයක් හෝ අවසානයක් නොපවත්නේය යන කරුණ අවබෝධ කරගැනීමෙනි. එබැවින්, සියලු දෙනා යම් කලෙක අපගේ මිතුරන් ලෙසද, යම් කළෙක අපගේ අමුත්තන් ලෙසද සිට ඇති අතර මෙම තත්ත්වය නිරතුරු වෙනස් වේ. මෙම අරුතින් ගත්කල සියලු දෙනා සමාන වේ.

මෙම චින්තන විධිය පසුපස අප විසින් අවබෝධ කළ යුතුව පවත්නා ප්‍රධාන කරුණ වනුයේ ආරම්භයක් නොපවතින සිතයි. මේ වූකලි බුදු දහමේ මූලික උපකල්පනයකි. පුනරුත්පත්තිය යනු අත්දැකීම් අඛන්ඩතාවයනට සම්බන්ධ කරුණකි. ඒවා ස්වාධීනව පවත්නා දේවල් වන අතර මනුෂ්‍යයා, සිව්පාවා, පිරිමියා හෝ ගැහැණිය ආදී වශයෙන් වූ නෛසර්ගික අනන්‍යතා රහිත ඒවා වේ. කිසියම් නිශ්චිත පුනරුත්පත්තියක් තුළ චිත්ත සන්තතිය මගින් නිරූපණය කරනු ලබන ජීවිත ආකෘතිය හා ස්ත්‍රී-පුරුෂභාවය පෙර කර්ම    චර්යාවන් හා එහි ප්‍රතිවිපාකය මත රඳා පවතී.

ආරම්භයක් නොපෙනෙන සිත පිළිබඳ කරුණ වූකලි බෝධිචිත්තය ගොඩනගා ගැනීමට හැකිවනු පිණිස අවශ්‍ය මූලික වැටහීමක් වනුයේ මෙම වැටහීම මත පදනම්ව පරිපූර්ණව සියලු දෙනා කෙරෙහි ආදරණීය කරුණාවක් ගොඩනගා ගැනීමට එමගින් හැකිවන බැවිනි. අපි සෙසු සත්ත්වයන් හුදෙක් මදුරුවන් වැනි සතුන් ලෙස පමණක් නොදකින්නෙමු. ඒ වෙනුවට, සිය කර්මය හේතුකොට මෙම ජීවිතය තුළ මදුරු ආකෘතියක් ගත්, අනන්ත දීර්ඝ කාලයක් පුරා දිව යන්නාවූ චිත්ත සන්තතියක් ලෙස එය දකින්නෙමු: ඌ නෛසර්ගගිකවම මදුරුවෙකු නොවේ. මෙමගින් අපගේ හදවත් මනුෂ්‍යයා වෙත මෙන්ම මදුරුවා වෙතද විවර කිරීමේ අවකාශ සලසනු ලබයි. බෝධිචිත්තයේ බලය උත්පාදනය වනුයේ එම චිත්තය සහිත වූ විට මුළුමනින්ම සියලු දෙනාටම ප්‍රයෝජන සැලසීමේ අදහස අප තුළ ඇතිවන්නේය යන කරුණ තුළිනි. සැබැවින්ම එය පහසු කරුණක් නොවේ. සැබැවින්ම එය පහසු කටයුත්තක්ද නොවේ.

සියලු දෙනා අපගේ මව වශයෙන් කටයුතු කර ඇත්තේය යන කරුණ වටහා ගැනීම

සමචිත්තතාවය සහිතව, සියලු සත්ත්වයෝ -මෙම ජීවිත කාලය තුළ සත්ත්වයන්ගේ රූපයන් ප්‍රතික්ෂේප නොකරන්නේ නමුදු- තනි තනි වශයෙන් ආරම්භයක් රහිත චිත්ත සන්තතීන් වශයෙන් දැකීමට හැකිවූ කල සප්ත විධ හේතුඵල භාවනාවේ පළමු පියවර ගැනීමට සූදානම් වූවන් වෙමු. මෙහිදී යම්කිසි අවස්ථාවකදී, සෑම සත්ත්වයෙකුම අපගේ මව වශයෙන් සිට ඇති බව හඳුනාගනු ලබයි. මෙහි හේතු දැක්වීමේ ස්වරූපය නම්, අපට මෙම ජීවිත කාලයේ මවක් සිටින්නාක් මෙන්, මව් කුසින් හෝ බිත්තරයක් තුළින් හෝ උපන් සෑම ජීවිත කාලයක් තුළම අපට මවක සිට ඇත. ආරම්භයක් නොපෙනෙන පුනරුත්පත්තියක් පවත්නේය යන තර්කනය හා නොගිනිය හැකි තරම් වුවද, සීමිත සංඛ්‍යාවක් වූ සත්ත්ව පිරිසක් ඇත්තේය යන කරුණට අනුව, සෑම සත්ත්වයෙකුමද ආරම්භයක් නොපෙනෙන කාල පරිච්ඡේදය තුළ අපගේ මවව සිට ඇති අතර, අපිද ඔවුන්ගේ මව වශයෙන් සිට ඇත. ඔවුන් අපගේ පියවරුන්, අපගේ සමීපතම මිතුරන් ආදීන්වද සිට ඇත.

සියලු දෙනා අපගේ මව වශයෙන් කටයුතු කර ඇත්තේය යන්න දකිනා විටදී, අපගේ මව වීම කිසිවෙකුගේ හෝ නෛසර්ගික අනන්‍යතාවය වශයෙන් නොදැකීමටද ප්‍රවේශම් විය යුතුය. මක් නිසාද, එයද තරමක් ගැටළු සහගත විය හැකි බැවිනි. නෛසර්ගික හා නිත්‍ය අනන්‍යතාවයන් නොමැති වීමේ ශූන්‍යතාවය (හිස්බව) යන කරුණ අපගේ විමසුම් දෑසින් කිසිදින ඉවත් නොකොට පවත්වා ගැනීමටද උත්සාහ කළ යුතුය.

සියලු දෙනා අපගේ මව වශයෙන් සිට ඇත්තේය යන කරුණ හඳුනා ගැනීම මගින්ද අන්‍යයන් හා අප සම්බන්ධ වන ආකාරය තීරණාත්මක වෙනසකට ලක් කරනු ලබයි. මෙහිදී, සියලු දෙනා කෙරෙහි හුදෙක් සමචිත්තතාවය පමණක් පවත්වාගෙන යාමේ තත්ත්වය ඉක්මවා යන්නෙමු. සියලු දෙනා සමගින් ඉතා සමීප, උණුසුම් හා ආදරණීය සම්බන්ධතාවයක් අප තුළ පැවති, හා තවමත් පවත්නා බව අපි දකින්නෙමු.

මව් ‍‍සෙනෙහසේ කාරුණිකත්වය සිහි තබාගැනීම

සප්ත පියවරයන්හි දෙවැන්න වනුයේ මව් සෙනෙහසේ කාරුණිකත්වය සිහි තබාගැනීමයි. ඉන්දියානුවන් හා තිබ්බතීයයන් නිරතුරු මෙම ජීවිත කාලය තුළ අපගේ මව නිදර්ශනය වශයෙන් ගන්නා බැවින් බටහිර ජාතීන් වන අපට මෙය භාවනාවේ යම් ගැටළුකාරී පියවරකි. එම සමාජයන්හි පුද්ගලයන් හට, බටහිර සමාජයනට වඩා  අඩු නියුරෝසික හා දුෂ්කරතාවයන්ගෙන් අඩු සම්බන්ධතාවයන් පවත්නා බවක් දිස්වේ. එය සත්‍යද අසත්‍යද යන කරුණ ඒ ඒ අවස්ථාවට අනුව වෙනස් වන්නකි. වසර 29ක් පුරා තිබ්බතීය හා භාරතීය සමාජයන්හි ජීවත් වූවෙකු වශයෙන් මා හට මාගේ නිරීක්ෂණයනට අනුව පැවසිය හැක්කේ එම රටවල වැඩුණු දරුවන් හා මව්වරුන් අතර පවත්නා සම්බන්ධතාවය බටහිර රටවලට වඩා බොහෝ සෙයින් අඩු නියුරෝසික තත්ත්වයක් ගන්නා බවක් පෙනෙනා බවයි.

භාවනාවේ මෙම පියවරයෙහි අරමුණ වනුයේ මව විසින් අප ඇයගේ කුසයේ දරා සිටි සමයේ සිට මේ දක්වාම ඇය අප වෙත කෙතරම් නම් කාරුණික වී ඇත්තේද හෝ කාරුණිකද යන කරුණ සිහිපත් කිරීමයි. ඉන්පසු, පසුගිය ජීවිත කාලයන්හි සියලු දෙනා අප වෙත ඒ හා සමානම කාරුණිකත්වයක් පෙන්වා ඇති ආකාරය සිතීම කරා මෙය විහිදුවන්නෙමු.

බොහෝ අය විසින් මෙම කරුණ බටහිර ජාතීන් වෙත ඉගැන්වීමේදී ප්‍රකාශ කරන දෙයක් නම්, ඔබට ඔබගේ මව සමගින් යම් ගැටළු ඇත්තේ නම්, ඒ වෙනුවට ඔබගේ පියා, සමීප මිතුරෙකු හෝ ඉමහත් කාරුණිකත්වයක් අප වෙත දක්වා ඇති කවරෙකු පිළිබඳව හෝ සිතා බැලිය හැක. මෙයාකාරයෙන් මෙම භාවනාව සිදු කිරීමට කරනු ලබන උත්සාහයේදී කිසිදු සිරවීමක් සිදු නොවනු ඇත. මෙය ප්‍රයෝජනවත් ප්‍රවේශයක් වන්නේය යන්න මාගේ අදහසයි. කෙසේ වුවද, අපට අපගේ මව හා සමගින් පවත්වාගන්නා සම්බන්ධතාවය විෂයයෙහි ගැටලු ඇත්තේ නම් එය හුදෙක් ලිස්සා හැරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් යැයි සිතමි. මව සමගින් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයන් පවත්වාගත නොහැක්කේ නම්, කවරෙකු හෝ සමගින් සෞඛ්‍ය සම්පන්න ආදරණීය සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වනු ඇත. නිරතුරුවම ගැටළු ඇතිවීම සාමාන්‍ය දෙයකි. ඒ අනුව, මව හා සමග පවත්නා සැබෑ සම්බන්ධතාවය විමසා බලා, ඇය හා පවත්නා සම්බන්ධතාවය කෙතරම් දුෂ්කර එකක් වුවද, ඇයගේ කාරුණිකත්වය හඳුනා ගැනීමට උත්සාහ කිරීම ඉතා වැදගත් වේ.

පළමුව, පරමාදර්ශී මව් සෙනෙහස පිළිබඳ විමසා බැලිය යුතුවේ. සම්භාවනීය පාඨ ග්‍රන්ථ මේ සම්බන්ධ විස්තරයන්ගෙන් පිරී ඇත. නිදසුනක් ලෙස මෙම සම්බන්ධතාවය බොහෝ සතුන් සම්බන්ධයෙන්ද දැකිය හැක. කෙතරම් සීතල හෝ උණුසුම් තත්ත්වයක වුවද, කුරුළු මවක් සිය බිත්තර රැකීම සිදු කරනු ඇති අ‍තර, බිත්තර මෝරා පුපුරා පැටවුන් එළියට පැමිණි කල ඇය කෘමීන් අල්ලා විකා, එනමුදු සිය ආහාරයට නොගෙන, ඒ්වා සිය පැටවුණට - ඇයගේ පැටවුණට - ලබා දෙන්නීය. මෙය සැබැවින්ම බොහෝ සුවි‌ශේෂී තත්ත්වයකි.

මව්වරුන් විසින් සිය දරුවන් කා දමන අවස්ථාවන් පිළිබඳ උදාහරණද සත්ත්ව හා කෘමි ලෝකයෙන් හමුවන නමුදු, එම තත්ත්වය තුළ පවා ඔවුහූ සිය පැටවුනට උපත ලබාදීම සඳහා එම දුෂ්කරතා අත් වින්දහ. ඇය අපගේ වැදූ මව් හෝ හැදූ මව් වුවද, යමෙකු විසින් අප සිය කුස තුළ වඩවන ලදී. පරීක්ෂණ නලයක් තුළ උපත සිදු වුවද, එහිදීද යමෙකු විසින් එම පරීක්ෂණ නලය නිරීක්ෂණය කරමින් එය නිවැරදි උෂ්ණත්වය තුළ තබන ලදී. අපගේ මව අප කුස තුළ දරා සිටීම සිය කැමැත්තෙන් කළේද, එසේ නොවන්නේද යන්න අදාල නැත. ඇය විසින් අප සිය කුස තුළ දරා සිටිමින් අප ගබ්සා කොට ඉවත් නොකිරීමට කටයුතු කිරීමම අසිරිමත් කාරුණිකත්වයකි: මක් නිසාද එම කාර්යය කිසිසේත් සුව පහසු එකක් නොවූ බැවිනි. අපගේ සැබෑ උත්පත්තිය ඇතුළත ඇය විසින් බොහෝ වේදනා විඳින ලදී. තවද, අපගේ ළදරු වියේදී, යමෙකු හට රෑ මැදියමේ අවදිව අපට ආහාර ලබාදීමට හා අප රැකබලා ගැනීමට සිදුවිය. නොඑසේ නම්, අපගේ ජීවිත ඉතිරි නොවන්නට තිබිණි. මෙයාකාරයේ දේවල් සම්භාව්‍ය ග්‍රන්ථ තුළ අවධාරණය කර ඇත.

අපට අපගේ මව සම්බන්ධයෙන් යම් දුෂ්කරතා පැවතියේ නම්, පස්වන දලයි ලාමා වහන්සේගේ ලම්-රිම් ග්‍රන්ථය තුළින් ගුරු භාවනාවන් කෙරෙන් ඉදිරියට ගමන් කරනුයේ කෙසේද යන්න පිළිබඳ අපට ඉඟියක් ලබාගත හැකි යයි සිතමි. යහපත් ගුණාංග පමණක් සහිත ආධ්‍යාත්මික ගුරුවරයෙකු සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බව බොහෝ මුල් කාලීන ග්‍රන්ථ තුළ ප්‍රකාශ කෙරී ඇත. කිසිදු ආධ්‍යාත්මික ගුරුවරයෙකු පරමාදර්ශී අයෙකු නොවනු ඇත: සියලු දෙනා තුළ ප්‍රබල හා දුබල ලක්ෂණ සම්මිශ්‍රණයක් පවතී. ආධ්‍යාත්මික ගුරුවරයා පිළිබඳ සිතා බැලීමේදී කළ යුතු වන්නේ අති ප්‍රබල ගෞරවයක්, අනුප්‍රාණයක් හා ඇගයීමක් ගොඩනගා ගනු පිණිස ගුරුවරයාගේ යහපත් ගුණාංග හා කාරුණිකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමයි. මෙමගින් අප විසින්මද මෙම යහ ගුණයන් හා කාරුණිකත්වය ගොඩනගා ගැනීම සඳහා වූ පෙළඹීමක් ඇති කෙරෙනු ඇත.

මෙම කාර්යය සිදු කිරීමේ ක්‍රියාවලියේදී, ගුරුවරයාගේ දුර්වලතා හා අඩු ලුහුඬුකම් ප්‍රතික්ෂේප කළ යුතු නොවන බව පස්වන දලයි ලාමා වහන්සේ විසින් විස්තර කරන ලදී. එය මෝහයයි. දුර්වලතා පවත්නා බව පිළිගන්නා නමුදු, ගුරුවරයා‌ගේ දෝෂ තත්ත්වයන් පිළිබඳ සිතීම මගින් හුදෙක් මැසිවිලි නැගීම හා සෘණාත්මක ආකල්පයක් ඇති කිරීම පමණක් සිදු කරන බැවින් එම දෝෂයන් පසෙකින් තබන්න. එමගින් අපට කිසි ලෙසකිනුදු අනුප්‍රාණයක් නොලැබෙනු ඇත. අනුප්‍රාණයක් ලැබිය හැකි වන්නේ යහපත් ගුණ හා කාරුණිකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පමණි.

එබැවින් පළමුව අපි අපගේ දුර්වලතා පිළිගන්නෙමු. එනමුදු මේවා සැබෑ දුර්වලතාවයන්ද නොඑසේ නම් හුදෙක් අපගේ චිත්ත ප්‍රක්ෂේපණයන් පමණක්ද යන්න විමසා බැලිය යුතුවේ. එම දුර්වලතා හුදෙක් ප්‍රක්ෂේපණයන් වන අතර සත්‍ය නොවන්නේ නම්, එ්වා මුළුමනින්ම ඉවත හෙළන්නෙමු. ඉන්පසු සිතින් මවා නොගත්තාවූ දුර්වලතාවයන් ගුරුවරයා තුළ වර්තමානයේ පවත්නා එ්වාද, නොඑසේ නම් අප විසින් තවදුරටත් අත් නොහැර අල්ලාගෙන සිටින්නාවූ ඔහු තුළ පෙර පැවති දුර්වලතාද යන්න විමසා බැලිය යුතුවේ. එම දෝෂයන් තවදුරටත් නොපවතින එ්වා නම්, එ්වා පිළිබඳ සිතිවිලි පවත්වාගෙන යාම නවතාලමු: එ්වා තවදුරටත් අදාළ නොවේ. සැබෑ ලෙසම පවත්නා වර්තමාන දෝෂයන් කවරේද යන කරුණ පිළිබඳව පැහැදිලි වැටහීමකට පැමිණි පසු, හොඳයි, එ්වා ඔහුගේ /ඇයගේ දැනට පවත්නා දෝෂයන්ය යන්න පිළිගනිමු. ඉනික්බිති එ්වාද මොහොතකට බැහැරින් තබා එ් වෙනුවට යහ ගුණයන් පිළිබඳ පමණක් අවධානය යොමු කරමු.

අපගේ මවගේ කරුණාව පිළිබඳ විමසා බැලීමේදීද එම ක්‍රියා පරිපාටියම යොදා ගැනීම සුදුසුය හා එය ඉතා සාර්ථක වනු ඇත්තේය යන්න මාගේ හැඟීමයි. කිසිවෙකුගේ හෝ මව පරමාදර්ශී චරිතයක් නොවේ. අපිමද දෙමව්පියන් වන්නේ නම්, පරමාදර්ශී මවක/පියෙකු වීම විශ්වාස කළ නොහැකි තරම් දුෂ්කර කාර්යයක් වන්නේය යන කරුණ අපි දන්නා බැවින් අපගේ දෙමවුපියන්ද පරමාදර්ශී චරිත විය යුතුය යන්නක් බලාපොරොත්තු නොවිය යුතුය. ඉනික්බිති අපගේ මව්වරුන් තුළ පවත්නා හෝ පැවති දෝෂ හා දුර්වලතා පිළිබඳ විමසා බලා මෙම දෝෂයන් ඇතිකරන්නට හේතුවූ හේතු ප්‍රත්‍ය වටහා ගන්නට උත්සාහ කරමු. කිසිදු චිත්ත සන්තතියක් නෛර්ගිකවම මදුරුවෙකුගේ චරිතය තුළ නැවතී නොපවත්නාක් මෙන් ඇයද නෛසර්ගිකවම අයහපත් පුද්ගලයෙකු නොවේ. අපගේ මව්වරුන් වෙත දුර්වලතා පමණක් ප්‍රක්ෂේපණය කිරීම හෝ දුරාතීතය කරතබාගෙන යාම පමණක් සිදු නොකරන බවට වගබලාගත යුතුය. ඉනික්බිති, සිතින් මවාගත් සියලු දෝෂයන් හා සියලු අතීත හා වර්තමාන දෝෂයන්ද මොහොතකට පසෙකින් තබමු. හොඳයි, ඇය තුළ දෝෂයන් පැවති හෝ පවතින්නේ නමුදු ඇයද අන් සියල්ලන් මෙන්ම පුද්ගලයෙකුය යන්න පිළිගනිමු: අප සියලු දෙනා තුළ දෝෂ පවතී. ඉනික්බිති ඇයගේ යහගුණ හා ඇය අප වෙත පෑ කාරුණිකත්වය කෙරෙහි අවධානය යොමු කරමු.

මා හට නිවැරදිවම කවුරුන්ද යන්න සිහිපත් කළ නොහැකි නමුත්, එක්තරා බටහිර ධර්ම ගුරුවරයෙකු විසින්, මාගේ අදහසට අනුව නම් ඉතාමත් ප්‍රයෝජනවත් භාවනා ක්‍රමයක් යෝජනා කරන ලදී. මෙම අවස්ථාවේදී, අපගේ මව්වරුන්ගේ අයහ ගුණයන් පසෙකින් තබා, අපි අපගේ ජීවිත පස් වසර හෝ දස වසර බැගින් වූ එ්කකවලට කඩා විමසා බලන්නෙමු. එකී එක් එක් පස් හෝ දස වසර සමයන් තුළ අපගේ මව්වරුන් විසින් අප වෙනුවෙන් සිදුකරන ලද සියලු කාරුණික ක්‍රියාවන් පිළිබඳව කරුණු පෙළ ගස්වමින් හා සිහි කරමින් විනාඩි පහක්, පැය භාගයක්, පැයක් හෝ අපට අවශ්‍ය තරම් කාලයක් ගතකරන්නෙමු. පළමුව මව් කුස තුළ ගතකල සමයේ සිට වයස අවුරුදු පහ දක්වා වූ කාලය තුළ ඇය විසින් අපගේ කිලිටි ඇඳුම් පැළඳුම් මාරු කරමින්, ආහාර කවමින් පොවමින්, අප නහවමින් මෙකී නොකී සියලු දේ කළ බව සිහි කරමු. ඉනික්බිති වයස අවුරුදු පහේ සිට දහය දක්වා ආදී ලෙස ඉදිරියට කොටස් වශයෙන් කාලය සිහි කරමු. ඇය අප පාසලට රැගෙන ගිය අතර, ඇතැම් විට අපගේ පාසැල් කටයුතුවලට උපකාර කළා හෝ නොකළාද විය හැක. එසේ නමුදු, බොහෝ විට ඇය අපගේ ආහාර පිළියෙල කොට අපගේ ඇඳුම් පැළඳුම් සෝදන්නට ඇත. අපගේ ළමා වියේදී, අත වියදමට මුදල් ලබා දුන්නා විය හැක. අපගේ මව්වරුන් කෙතරම් අපට අමිහිරි වූවා විය හැකි නමුදු, අපගේ ජීවිතයේ එක් එක් කාල පරිච්ඡේදය තුළ නිසැකවම ඔවුන් විසින් අප වෙත බොහෝ වූ කාරුණික සැලකීම් ලබාදී ඇත.

ඉනික්බිති අපගේ පියවරුන් හා අනෙක් ඥාතීන්, මිතුරන් ආදීන් කෙරෙහිද එම සිහිපත් කිරීමම සිදුකළ හැක. එය භාවනාව සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එය වූකලි ඇතැම් විට "කවුරුවත් මට ආදරේ නෑ" යන සිතිවිල්ල අපට ඇතිවන විටදී එ් ආශ්‍රිත චිත්ත අවපීඩන තත්ත්වයට විශේෂයෙන් ප්‍රබල විෂබීජ නාශකයක් වේ. මෙයාකාරයෙන් අපට මෙම ජීවිත කාලය තුළ අපගේ මව්වරුන් විසින් දක්වා ඇති කාරුණිකත්වය දැකිය හැක්කේ නම්, සියලු දෙනා එ් හා සමානවම අප වෙත කාරුණික වී ඇති බව හඳුනා ගැනීමට එය උපකාරී වේ. කිසිවෙකු හෝ පරමාදර්ශී මවක ලෙස සිට නොමැත - වෙනත් ජීවිත කාලයක යම් අවස්ථාවකදී ඇය විසින් අප කා දමා තිබෙන්නටද පිළිවන. එසේ නමුදු ඇය විසින් අපට කරුණාවද පා ඇත.

මව් සෙනෙහසේ කාරුණිකත්වයට කළගුණ දැක්වීම

සප්තාංග සාර දේශනාවේ තුන්වන පියවර වනුයේ අප ලද මව් සෙනෙහසේ කාරුණිකත්වයට කළ ගුණ දැක්වීමේ අපේක්ෂාවයි. මේ සඳහා අපගේ මව අන්ධව, මුළුමනින්ම චිත්ත ව්‍යාකූලත්වයට පත්ව, වික්ෂිප්තව යම් ගිරි කුළක කෙළවර සිටගෙන සිටින හා දුක නමැති මහා අගාධයට ඇද වැටීමට ආසන්න තත්ත්වයක් සිතින් මවාගන්නෙමු. ඔවුන්ගේ දූ පුතුන් වන අපද ඔවුන් අසල සිටගෙන සිටින අතර ඔවුන්ගේ ඇද වැටීම වළකාලන ආකාරයද දැන සිටින තත්ත්වයක් සිතින් මවා ගනිමු. දරුවන් වන අප ඔවුනට උපකාර නොකරන්නෙමු නම් අන් කවරෙකු එසේ කරයිද? ඔවුනට උපකාර පිණිස අත දිගුකළ හැක්කේ කා දෙසටද? සියලු ආකාරයේ දුක්වලින් ඔවුන් මුදවාලීම සඳහා උපකාර කරමින් ඔවුන් අප වෙත දැක්වූ කාරුණිකත්වයට කළගුණ දැක්වීමේ හෘදයාංගම පැතුමක් ගොඩනගා ගැනීමට එවන් සිතිවිලි අපට උපකාරී වේ.

අපගේ පැතුම තවදුරටත් බල ගන්වනු පිණිස අප වෙත දක්වන ලද මවකගේ කාරුණිකත්වය සිහි කිරීමට අදාලව මොහොතකට පෙර දළ වශයෙන් දක්වන ලද භාවනාවේ වැඩිදුර අනුවර්තනයක් නිර්මාණය කළ හැක. නැවතද, ජීවිතයේ පස් වසර හෝ දස වසර කාල පරිච්ඡේදයන් ගෙන අප විසින් අපගේ මව්වරුන් වෙත කාරුණිකත්වය නැවත ප්‍රදානය කර ඇති ආකාරයන් විමසා බලන්නෙමු. එම කාර්යයම අපගේ පියවරුන්, මිතුරන්, ඥාතීන් ආදී අය කෙරෙහිද සිදු කරමු.

අප ලද උපකාරයන්ගේ ප්‍රමාණය හා අප විසින් පිරිනමන ලද උපකාරයන්ගේ ප්‍රමාණය සන්සන්දනය කළහොත්, අප බොහෝ දෙනෙකුට දැකිය හැකි වන්නේ අප විසින් ලබාදුන් ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අප විසින් ලබාගෙන ඇති බවයි. මෙහි අදහස නම් එ් අනුව වරදකාරී හැඟීමක් ඇතිකර ගත යුතු බව නොවේ. එය වූකලි එක්තරා ආකාරයක නියුරෝසික බටහිර පන්නයේ ප්‍රතිචාරයකි. මෙහි අදහස නම් අප ලද කාරුණිකත්වය හඳුනාගෙන ගැඹුරු කෘතඥතා හැඟීමක් ඇතිකර ගනිමින් එම කාරුණිකත්වයට කෘතගුණ දැක්වීමේ පැතුමක් ඇතිකර ගැනීම නම් වූ බෝධිචිත්ත භාවනාවේ ඊළඟ පියවර සඳහා උපකාරයක් ලබා ගත යුතු බවයි.

මවිසින් සුළු මොහොතකට පෙර දළ වශයෙන් දක්වන ලද භාවනාවට අනුවර්තනය වීම අපට යමක් සැබෑ ලෙසම දැනෙනාකාරයෙන් අපගේ හදවත් චලනය කරවීම කෙරෙහි ඉතා ප්‍රයෝජනවත් වේ. එය ඉතා වැදගත්ය යන්න මාගේ අදහසයි. ආදරය හා කරුණාව සම්බන්ධ මෙකී සියලු භාවනාවන් සිදු කරමින් ඉනුදු ඉදිරියට ගොස් අන් අයට උපකාරද කරන්නාවූ බොහෝ බටහිර බෞද්ධයන් මා විසින් දැක ඇති නමුදු, ඔවුන් සිය මව්පියන් සමග පවත්නා සම්බන්ධය අමිහිරි එකක් වන අතර එම අමිහිරි හැඟීමට ඇලී සිටිති. එම සම්බන්ධතාවය සම්බන්ධයෙන් කටයුතු කරන අතර හුදෙක් එය දුෂ්කර කාර්යයක් බැවින් ඉන් වැළකී නොසිටීම ඉතා ප්‍රයෝජනවත් දෙයක්ය යන්න මාගේ අදහසයි.

පිළිවෙත ක්‍රියාවෙහි යෙදවීම සඳහා යෝජිත විධික්‍රම

මෙකී එක් එක් පියවර හා සම්බන්ධ වැදගත් දෙයක් වනුයේ සියලු සත්ත්වයන් කෙරෙහි වූ අපගේ පිළිවෙත් විෂය පථය විවර කොට එය වඩාත් පුළුල් කිරීමට උත්සාහ කිරීමයි. එ් එක් එක් පියවරකදී සුළු වශයෙන් ආරම්භ කොට විෂය පථය ක්‍රමිකව පුළුල් කළ යුතුවේ. සියලු දෙනා තනි තනි වශයෙන් වූ චිත්ත සන්තතීන්ය යන්න දකිමින් ඇති කරගන්නා සමචිත්තතාව මත පදනම්ව මෙය සිදු කරමු. මා හඳුනාගත් පරිදි මෙය සිදු කිරීමේ ඵලදායී විධික්‍රමයක් වනුයේ "සියලු සත්ත්වයන්" පිළිබඳව දුරස්ථව සිතමින් හුදෙක් අපගේ දෑස් වසා ඉඳි ඉරියව්වෙන් භාවනා කිරීම නොවේ. සමබර භාවයන් ගොඩනගා ගැනීමේ සංවේදනාව තුළ මා යෝජනා කරන ආකාරයට සමාන ආකාරයෙන් පිළිවෙත් පිරීම වඩාත් ඵලදායක වන්නේය යන්න මාගේ අදහසයි.

වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම්, මිතුරන්, අප එතරම් කැමැත්තක් නොදක්වන්නන්, හා අමුත්තන් ආදී වශයෙන් වූ විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප මත අවධානය යොමුකර ගනිමින් පළමුව එ්වා කෙරෙහි මෙම ධනාත්මක ආකල්ප වර්ධනය කරගැනීමට උත්සාහ කරන්න. ඉන්පසු භාවනා රවුමක අප වටා හිඳගෙන සිටින්නාවූ සැබෑ පුද්ගලයන් දෙස බලා සිටිමින් එම පිළිවෙත වර්ධනය කරගැනීමට උත්සාහ කරන්න. ඉනික්බිති, එයම මහා මාර්ගයේ හමුවන, බස් රථයේ හමුවන ආදී මඟතොට හමුවන පුද්ගලයන් කෙරෙහිද යෙදීමට උත්සාහ කරන්න. මෙයාකාරයෙන් ගොඩනගා ගැනීමට උත්සාහ කරන්නාවූ ධනාත්මක ආකල්ප අන්‍යයන් කෙරෙහි සැබෑ ලෙසම යොදන්නෙමු.

මෙයාකාරයෙන්ම එම සිතිවිල්ල සතුන්, කෘමීන් ආදීන් කෙරෙහිද යොමු කිරීමට උත්සාහ කරමු. එය හුදෙක් අපගේ සිත් තුළ න්‍යායාත්මකව ඇතිකරගන්නා දෙයක් නොව එම සතුන් සැබෑ ලෙසම දකින විටදීද ඇතිකරගත යුතු තත්ත්වයකි. එසේ කිරීමේදී, ඇතැම් විට තිබ්බතීයයන් අතර දකින්නට ලැබෙන ආකාරයෙන් මනුෂයෙකුට වඩා කෘමියෙකු කෙරෙහි කාරුණික වීම පහසුය යන අන්තයට වැටීමෙන් වැළකී සිටීමට උත්සාහ කළ යුතුය. පන්සල මධ්‍යයේ කූඹියෙකු සිටී නම්, ඌට නොරිදවන අන්තයක් දක්වා සියලු දෙනා ගමන් කරන නමුදු එම කාරුණිකත්වය හා සැලකිල්ල ඔවුන්ගේ පන්සල් කරා එන ඉන්දියානුවන් හෝ විදේශිකයන් ආදී මනුෂ්‍යයන් කෙරෙහි එ් හා සමානව නොදක්වන අතර එ් වෙනුවට එම විදේශිකයන් එහි කවරක් බලන්නට පැමිණියේද යන කරුණ දැනගැනීමට උනන්දු වෙති. මෙහිදී අප විසින් නිවැරදි දෘෂ්ටි කෝණයක් පවත්වාගත යුතුවේ.

මනුෂ්‍යයෙකුට උපකාර කරනවාට වඩා කූඹියෙකුට උපකාර කිරීම පහසු යැයි යමෙකු විසින් පැවසිය හැක. බොහෝ විට මිනිසුන් විසින් සිදු කරන්නාක් මෙන් කූඹින් විසින් ඔබට එකට එක පැවසීම හෝ ඔබ දුෂ්කරතාවයට හෙළීමක් සිදු නොකිරීම මෙයට හේතුවයි. කූඹියෙකු හුදෙක් ඔබට අතින් ගෙන ඉවතින් තැබිය හැක. එනමුත් කරදරකාරී පුද්ගලයන් සම්බන්ධයෙන් එවැන්නක් සිදුකළ නොහැක. කෙසේ වුවද, "සියලු සත්ත්වයෝ" ඈ වශයෙන් බොහෝ දුරස්ථ සිතිවිලි සහිතව බොහෝ පුද්ගලයන් විසින් මෙම භාවනාවන් සිදු කරන නමුදු "සැබෑ ලෝකය තුළ" සැබෑ පුද්ගලයන් කෙරෙහි එය ප්‍රායෝගිකව යෙදවීමක් සිදු නොවන්නේය යන්නයි මා මෙහිදී ඉස්මතු කිරීමට උත්සාහ කරන්නේ. මාර්ගය තුළ කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීම විෂයෙහි මෙමගින් ඉමහත් සේ ගැටළු ඇති කරයි.

මහා සෙනෙහස

සියලු දෙනා අපගේ මව වශයෙන් සිට ඇත්තේය යන්න හඳුනාගෙන, මාතෘ ප්‍රේමයේ කාරුණිකත්වය සිහි කොට කෘතවේදීව එම කාරුණිකත්වය වෙනුවෙන් ප්‍රත්‍යුපකාර කළ යුතු බවට වූ සිතිවිල්ල ඇතිකරගත් විටදී, ස්වභාවිකවම අප තුළ හෘදයාංගම සෙනෙහසක හැඟීමක් ඇතිවේ. මෙය වූකලි අපට හමුවන ඕනෑම පුද්ගලයෙකු කෙරෙහි සමීපත්වයක් හා උණුසුම් හැඟීමක් සහිතව ස්වයංක්‍රීයව ඉස්මතුවන හැඟීමකි. එය ඇගයීම, සැලකිලිමත් ආදරය ලෙසද හඳුන්වන අතර, එය වූකලි අප යමෙකු කෙරෙහි ඇගයීමක් සහිතව ඔහුගේ/ඇයගේ සුභ සාධනය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔහු/ ඇය කෙරෙහි යම්කිසි අයහපතක් සිදු වුවහොත් බොහෝ සෙයින් දුක්වන ස්වභාවයකි.

හෘදයාංගම ආදරය මත පදනම්ව, සතරවන පියවර වන මහා සෙනෙහස හෙවත් ආදරය පිළිබඳ භාවනාව කෙරෙහි යොමු වෙමු. ආදරය වූකලි පොදුවේ අපගේ කැමැත්තක් ඇති අයෙකු සුවපත් වේවාය යන පැතුමයි. මහා ආදරය නමින් හැඳින්වෙනුයේ සියලු දෙනා සුවපත් වේවාය හා සතුටේ හේතු ඔවුන් කෙරෙහි ඇති වේවාය යන පැතුමයි. එතුළ අන්තර්ගත සුවපත් වීම හෙවත් සතුට හා එහි හේතුද යන කරුණු ඉතා වැදගත් වේ. එමගින් අරුත් ගැන්වෙනුයේ එම පැතුම වූකලි සතුට හේතු මගින් ඇතිවන්නේය හා හුදෙක් දෙවියන් වහන්සේ හෝ වාසනාව මගින් පෑදෙන්නක් නොවන බව හා එකී හේතුව "මම" යන්නෙක්ද නොවන බවට වූ අපගේ වැටහීමයි.

කර්මය පිළිබඳ දේශනාවන් තුළ සතුටේ හේතු දක්වා ඇත : ලෝභ, දෝෂ ආදියෙන් තොරව පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වුවහොත් සතුට අත්විඳීමට හැකිවේ. එබැවින්, "ඔබට සතුට හා සතුටේ හේතුද ඇති වේවා. ඔබ සැබෑ ලෙසම සතුට අත් විඳීමට හැකිවන පරිදි ඔබ ධනාත්මක හා සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවන්හි නිරත වේවා" යි සිතිය යුතුය.

මෙම බෝධිචිත්ත භාවනාවන් තුළ සියලු දෙනා හට උපකාර කිරීමේදී අපට ඉටුකළ හැකි කාර්ය භාරය පුම්බාලීමකින් තොරව ඔවුන් හට උපකාර කිරීම සඳහා මෙම බෝධිචිත්ත භාවනාවන් තුළ අපි බුදුවරුන් බවට පත්වීමට උත්සාහ කරන්නේය යන කරුණ මෙම පියවර මගින් දැනටමත් පැහැදිලි වේ.

මහා කරුණාව

ඉන්පසු එළැඹෙනුයේ පස්වන පියවර හෙවත් මහා කරුණාවයි: එනම්, සියලු දෙනා දුකින් හා එයට හේතුවලින් නිදහස් වේවාය යන පැතුමයි. මෙයද එයාකාරයෙන්ම සිදු කිරීමේදී දුක යනු හේතු මගින් ඇතිවන්නක් වන අතර, ඔවුන් විසින් සිය දුක මුලිනුපුටා දමනු පිණිස එම හේතු මුලිනුපුටා දැමිය යුතුය යන පූර්ණ අවබෝධය සහිතව කාර්යය සිදුකළ යුතුය. නැවතද ප්‍රකාශ කළ යුත්තේ එය ඉතා යථාර්ථවාදී දැක්මක්ය යන්නයි. මහා සෙනෙහස හා මහා කරුණාව යනු "සියලු දෙනා දුක් විඳිනු දැකීමෙන් මට කණගාටුවක් ඇතිවේ" වැනි හුදු භාවමය හැඟීම් නොවේ. ඉන් ඔබ්බට ගොස් එ් තුළ චර්යාත්මක හේතු ඵල පිළිබඳ වැටහීමක්ද අන්තර්ගත වේ.

මහා කරුණාව තුළ අන් බොහෝ ආකාරයන්ගෙන් සාමාන්‍ය කරුණාව ඉක්මවීමක් සිදුවේ.

  • එය හුදෙක් එක් අයෙකු නොව සියලු සීමිත සත්ත්වයන් කෙරෙහි සමව යොමු වූවකි.
  • මහා ආදරය මෙන්, එතුළද ආදරණීය මවක් විසින් සිය එකම දරුවා කෙරෙහි දක්වන සෙනෙහස මෙන් වූ ඇගයීමක් හා සැළකිලිමත් වීමක් සෑම සත්ත්වයෙකු කෙරෙහිම යොමු කෙරෙන අතර, ඔවුන් ආරක්ෂා කිරීමේ පැතුමක්ද අන්තර්ගත වේ.
  • එය වූකලි ව්‍යාකූලත්වයෙන්, ව්‍යාකූලත්වය මිශ්‍රිතව, වඩ වඩාත් ව්‍යාකූලත්වයම ඇති කරමින් හා එ් අනුව දුකම සදාකාලික කරගනිමින් උපදවනු ලබන ස්කන්ධයන් සහිතව නැවත නැවතද පාලනයකින් තොරව සිදුවන පුනරුත්පත්තියේ සර්ව ව්‍යාප්ත දුකින් එ් සියලු දෙනා මිදේවාය යන පැතුමයි. එ් අනුව, එහිදී හුදෙක් වේදනාවේ හෝ අනිත්‍යතාවයේ දුකින් අන්‍යයන් මිදේවාය යන පැතුම පමණක් අන්තර්ගත නොවේ.  අනිත්‍යතාවයේ දුක වූකලි කිසිදින ස්ථාවරව නොපවත්නා හා තෘප්තියක්ද ලබා නොදෙන්නාවූ සාමාන්‍ය ලෞකික සතුටයි. මහා කරුණාව යනු එම ගැටළුවෙන් පළා යනු පිණිස පාරාදීසයකට සත්ත්වයෝ ඇතුළු වෙත්වාය යන පැතුමක් නොවේ.
  • සියලු තැන්හි පැතිර පවත්නා දුකින් විමුක්තිය ලැබීම සියලු සීමිත සත්ත්වයන් හට සිදුකරගත හැක්කක්ය යන දැඩි වැටහීම මත එය පදනම් වේ. එය හුදු යහපත් හා මිහිරි පැතුමක් පමණක් නොවේ.

කරුණාව යන්න නිරතුරුවම නිදහස් වීමේ අදිටන හෙවත් අත්හැර දැමීමට සමාන ආකල්පයක් ලෙස විස්තර කෙරේ. අත්හැර දැමීම වූකලි අපගේම දුක, එයට හේතු, හා අප එ්වායින් නිදහස් වේවාය යන පැතුම ඉලක්කගත ආකල්පයකි. අපගේම දුකින් හා එ්වාහි හේතුවලින් නිදහස් වීමේ අපගේ අදිටන මත පදනම්ව, අපට අන්‍යයන් කෙරෙහි සහකම්පනයක් ගොඩනගාගත හැක. කළ යුතු එකම දේ නම් අප උදෙසාම සිදුකරනු ලබන පැතුමට සමානම තීව්‍රතාවයක් සහිතව එම ආකල්පයම අන්‍යයන් කෙරෙහිද, ඔවුන්ගේ දුක හා එයට හේතු කෙරෙහිද ඔවුන් ඉන් මිදේවාය යන පැතුම කෙරෙහිද යොමු කිරීම පමණි.

අප අපගේම දුක පිළිබඳව සිතා බලා අප ඉන් මිදේවාය යන පැතුම ඇතිකර නොගත්තේ නම් අන්‍යයන් කෙරෙහි සහකම්පිත වෙමින් කාරුණික වීම දුෂ්කර කාර්යයක්ය යන්න නිරතුරු ප්‍රකාශ කෙරේ. අන් අය ඔවුන්ගේ දුක තුළින් වේදනාව අත් විඳින අතර, අප‌ගේ දුක මගින් අපට වේදනා ගෙන දෙන්නාක් මෙන්ම ඔවුන්ගේ දුක තුළින් ඔවුන් වෙතද වේදනා ගෙන දෙන්නේය යන්න අවබෝධ කරගත යුතුය. අපගේම දුකද වේදනාකාරීය යන්න පිළිගැනීම මත මෙම අවබෝධය රඳා පවතී. නොඑසේ නම්, අපි අන්‍යයන්ගේ දුක එතරම් බරපතලව නොසලකන්නෙමු. අප වෙත බොහෝ සෙයින් කාරුණික වූ අපගේ මව්වරුන් දුකින් මිදේවාය යන්න අපගේ පැතුම බව සිහි කරන්න. භාවනාවට යම් සැබෑ හැඟීමක් ඇතිවනු පිණිස අපගේ මව්වරුන් ආදීන්ගෙන් භාවනාව ආරම්භ කරන්නෙමු.

අඩු ස්වයං ඇගයීම් තත්ත්වය සමනය කිරීමේ විධික්‍රමය විහිදුවාලීම

අප විසින් පළමුව අපවම දුකින් හා එහි හේතුවලින් මිදේවාය යන පැතුම අවංකවම ඇතිකර ගන්නේ නම් පමණක් කරුණාව ගොඩනැගෙන්නේය යනුවෙන් ධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නාක් මෙන්, ආදරය සම්බන්ධවද එම මූලධර්මයම සැකසිය හැක. මෙය විශේෂයෙන්ම අඩු ස්වයං ඇගයීම් තත්ත්වයෙන් පෙළෙන්නාවූ අය සඳහා අදාල වේ. අඩු ස්වයං ඇගයුම් තත්ත්වය වූකලි තිබ්බතීයයන් හෝ භාරතීයයන් අතරද එතරම් සුලභව දක්නට නොලැබෙන බටහිර සංසිද්ධියකි. සෙසු අය සතුටින් සිටීවා හා සතුටේ හේතු ඔවුන් සඳහා ඇති වේවා යයි පැතීමට පෙර අප සතුටින් සිටීවා හා අප වෙනුවෙන් සතුටේ හේතු ඇති වේවායි අවංකවම පැතිය යුතුය. අපට සතුට හිමි නැත යන හැඟීමක් ඇති තැනදී, අන් සියල්ලන් හටද සතුටක් තිබිය යුතු නැත යන හැඟීම ඇතිවේ.

අපගේ සතුට ප්‍රාර්ථනා කිරීම එ් අනුව, අප අඩු ස්වයං ඇගයීම් තත්ත්වයකින් පෙළෙන්නෝ නම් අපගේ භාවනාව තුළට එක්කළ හැකි ආරක්ෂිත පියවරක්ය යන්න මාගේ අදහසයි.මෙය බොහෝ සෙයින් වැදගත් එකක්ය යන්න මා හට හැඟේ. සියලු දෙනා සතුටින් සිටීමේ හිමිකම් සහිත අයවළුන්ය යනුවෙන් මෙයාකාරයෙන් සිතීම තුළින් අපට බුදුවරයෙකුගේ ස්වභාවය සිහිපත් කරවයි. අපි සියලු දෙනා අයහපත් පුද්ගලයෝ නොවෙමු; කිසිවෙකු හෝ මුළුමනින්ම අයහපත පමණක් සහිත අයෙකු නොවේ. අප සියලු දෙනා තුළ බුදුවරයන් වීමේ, අන්‍යයන් වෙත ප්‍රතිලාභ සැලසීමේ හා සතුටින් සිටීමේ ඈ ලෙස වූ විභවයන් පවතී.

තවත් කරුණක් ඇත: ආදරය හා කරුණාව ථේරවාද හා සෙසු හීනයාන ගුරුකුලයන් තුළද ගොඩනඟනු ලබයි. කෙසේ වුවද එ්වාහි භාවනා ක්‍රම තුළ මවගේ කාරුණිකත්වය සිහි කිරීම ආදී හේතු මත පදනම්ව ආදරය හා කරුණාව ගොඩනැගීමට අපට උපකාරී වන්නාවූ මෙහි එන සප්තාංග මෙන් වූ ශ්‍රේණිගත පියවරයන් අනුගමනය කිරීමක් සිදු නොවේ. කෙසේ වුවද ථේරවාද භාවනාව තුළ ආදරය හා කරුණාව නොපවත්නේය යන අදහසකට නොයා යුතුය. කෙසේ වුවද එහි බෝධිචිත්ත භාවනාවේ ඊළඟ පියවර දක්නට නොලැබේ.

සුවිශේෂී අදිටන

විවිධ භාෂා පරිවර්තකවරුන් විසින් ඊළඟ පියවර විවිධාකාරයෙන් දක්වනු ලබයි. ඇතැම්හූ එය "ශුද්ධවූ පරාර්ථකාමී පැතුම" ලෙස හඳුන්වති. පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් "විශ්ව වගකීම" නමැති යෙදුම භාවිත කරනු ලබයි. මවිසින්ද එය විවිධාකාරයෙන් පරිවර්තනය කර ඇති නමුදු, මේ අවස්ථාවේදී "සුවිශේෂී අදිටන" යන්න යෙදීමට මම කැමැත්තෙමි. මහා කරුණාව සහිතව අපට සියලු සත්ත්වයන් හට උපකාර කිරීමේ පූර්ණ පැතුමක් හා අදහසක් ඇත. මෙහිදී අපි දැඩි තීරණයක් ගෙන අනිවාර්යයෙන් එය සිදු කරන බවට අදිටන් කරගනිමු. සැබැවින්ම අන්‍යයන්ගේ දුක පිළිබඳව යම් කිසිවක් සිදු කිරීමේ වගකීම අප උර මත තබා ගන්නෙමු. යමෙකු වැවක ගිලෙන්නේ නම්, අපි හුදෙක් වැව් ඉවුරේ සිට "අනේ මේක මෙහෙම නොවුනානම්" යයි නොකියමු. අප විසින් සැබැවින්ම සිදුකළ යුතු දෙය නම් වැවට පැන එම පුද්ගලයාට උපකාර කිරීමට උත්සාහ කිරීමයි. එමෙන්ම මෙහි එන බෝධිචිත්ත භාවනාවේදී හැකිතාක් දුරට සියලු සත්ත්වයන් වෙත උපකාර කිරීමේ විශ්වමය වගකීම ගැනීමට පූර්ණ වශයෙන් තීරණය කරන්නෙමු.

බෝධිචිත්ත ඉලක්කය/අරමුණ

හේතුවක් වශයෙන් මෙම සය පියවර සංවර්ධන මාර්ගය මත පදනම්ව ගොඩනැගෙන සත්වන පියවර වනුයේ එහි ප්‍රතිඵලයක් ලෙස බෝධිචිත්ත අරමුණ ගොඩනගා ගැනීමයි. අන්‍යයන් වෙත වඩාත් හොඳින් උපකාර කළ හැකි ආකාරය විමසා බැලීමේදී, අප තුළ දැනට පවත්නා කැළඹිලිකාරී භාවයන් හා ආකල්පද සහිතව අපට එතරම් විශාල ලෙස එම උපකාරයන් සිදු කිරීමේ හැකියාවක් නොමැති බව අවබෝධ වේ. මා ආත්මාර්ථකාමියෙකු නම්, හා නොඉවසිලිමත් නම්, ඇතැම් අය වෙත ආකර්ශනය වෙමින් සෙසු අය සමගින් කෝප ගන්නේ නම් හා කම්මැලි නම්ද, සෑම විටම වෙහෙසට පත්ව සිටින්නේ නම්ද, මා හට සැබැවින්ම අන්‍යයන් වටහාගත නොහැකි නම්ද, මා හට නිසි පරිදි සන්නිවේදනය කළ නොහැකි නම් හා අන්‍යයන් කෙරෙහි වූ බියකින් පෙළෙන්නේ නම්, එනම්, ඔවුන් මා හට අකමැති වනු ඇතැයි හෝ මා ප්‍රතික්ෂේප කරනු ඇතැයි යන බියෙන් පෙළෙන්නේ නම්, මේ සියල්ල තුළින් හැකිතාක් දුරට අන්‍යයන් වෙත උපකාර කිරීමෙන් මා වළකනු ඇත.

එබැවින්, මා හට සැබෑ ලෙසම අනුනට උපකාර කිරීමට අවශ්‍ය බැවින්, මා මෙම දේවලින් නිදහස් විය යුතුය. සත්‍ය වශයෙන්ම මාගේ කුසලතා හා හැකියාවන් සහ බුදුවරයෙකුගේ ස්වභාවයට අයත් ගුණාංග අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස යෙදවීමට හැකිවනු පිණිස මාගේ දියුණුව සඳහා කටයුතු කොට මේවායින් නිදහස් විය යුතුය. "හැකිතාක් දුරට" යන්න නිරතුරු සිත්හි දරගත යුතුය - අපි සර්ව බලධාරී දෙවිවරුන් නොවන්නෙමු. මෙයාකාරයෙන් වූ සිතිවිලි මත පදනම්ව, හැකිතාක් දුරට සියලු දෙනාට උපකාර කරනු පිණිස බුද්ධත්වයට පත්වීම සඳහා අපගේ හදවත් හා සිත් පිහිටුවන්නෙමු. බෝධිචිත්ත අරමුණ ගොඩනගා ගැනීම යනු මෙයයි. අප විසින් මේ දක්වාද සාක්ෂාත් කර නොගත් පුද්ගලික බුද්ධත්වයන් හැකිතාක් විගස සාක්ෂාත් කරගනිමින් එමගින් අන්‍යයන් වෙත උපකාර කිරීමේ පූර්ණ අදහස සහිතව එම බුද්ධත්වය කෙරෙහි අපගේ අවධානය යොමු කරන්නෙමු.

බොධිසත්ත්ව චර්යාව

බෝධිචිත්තය ගොඩනගාගත් පසු, අපගේ සීමා සහිතකම් තිබියදී වුවද අන්‍යයන් හට හැකිතාක් දුරට උපකාර කිරීමට උත්සාහ කරන්නෙමු. මෙසේ වනුයේ ඉන් පෙර එන සප්තාංග හේතුඵල බෝධිචිත්ත භාවනාවෙන් ගොඩනැගෙමින් අන්‍යයන් වෙත උපකාර කිරීමේ වගකීම ගැනීම සඳහා වූ සුවිශේෂී අදිටනක් අප තුළ පවත්නා බැවිනි.

මින් අදහස් වනුයේ නිදසුනක් ලෙස නිවසක් නොමැති තත්ත්වයක සිටීම ආදී වශයෙන් යම් ගැටළුවකට අන්‍යයන් විසින් මුහුණ දී සිටින තත්ත්වයක් දකිනා ඕනෑම විටෙක අපි ඔවුන් හුදෙක් නිවසක් අහිමි පුද්ගලයන් වශයෙන් පමණක් නොදකින බවයි. ඔවුන් දකින විටදී නෛසර්ගිකවම දුප්පත්, කම්මැලි හෝ අපගේ විනිශ්චයට අදාල වන කවර හෝ ගුණයක් සහිත අය ලෙස ඔවුන් පිළිබඳව නොසිතන්නෙමු. එ් වෙනුවට, මෙම ජීවිතය තුළ හෙවත් මෙම ජීවිතය තුළද මෙම නිශ්චිත අවස්ථාවේදී පමණක් ඔවුන් එම තත්ත්වයට පත්ව ඇති බව අවබෝධ කරගන්නෙමු. කෙ‌සේ වුවද, ඔවුන්ගේ චිත්ත සන්තතීන්හි මුලක් නොපෙනෙන අතර, යම් අවස්ථාවක, ඔවුන් අපගේ මව්වරුන් වශයෙන් සිට ඇති අතර කාරුණිකව අප රැක බලාගෙන ඇත. ඔවුන් විසින් අප සිය කුස තුළ දරා සිට, පසුව අපගේ කිලිටි ඇඳුම් මාරු කිරීම් ආදී කටයුතු සිදුකර ඇති අතර මෙම කාරුණිකත්වය වෙනුවෙන් මා සැබැවින්ම කෘතඥ වන අතර කෘතගුණ දැක්වීමටද කැමැත්තෙමි. ඔවුන් සුවපත් වේවා යනුවෙන්ද, සුවපත් වීමට අවශ්‍ය හේතු ඔවුන් වෙනුවෙන් පහළ වේවා යනුවෙන්ද ඔවුන් ඔවුන්ගේ ගැටළුවලින්ද එම ගැටළුවලට තුඩුදුන් හේතුවලින්ද නිදහස් වේවා යනුවෙන්ද පතන්නෙමු. එ් සම්බන්ධයෙන් යම් කිසිවක් සිදු කිරීමට උත්සාහ කිරීමේ වගකීම ගන්නෙමු.

අප විසින් කළ යුත්තේ කුමක්ද? නිවසට ගොස් අපගේ දුර්වලතා මැඩ පැවැත්වීම සඳහා භාවනා කරමින් සිටින අතර එවන් පුද්ගලයන් වෙත සැබැවින්ම උපකාර කිරීම සඳහා කිසිවක් නොකරන තත්ත්වයක් ඉන් අදහස් නොවේ. අප වඩ වඩාත් භාවනා කළ යුතු නමුදු, මෙමගින් අප වෙත සිදු කිරීමට පෙළඹවීමක් ඇති කරන දේවල් වනුයේ අපගේ ලජ්ජාශීලිත්වය, ප්‍රමාදී බව හා ලෝභකම මැඩ පවත්වා අවම වශයෙන් සිනහවක් වැනි යමකින් හෝ ඔවුන් වෙත පරිත්‍යාගශීලී වීමට උත්සාහ කිරීමයි. අවම වශයෙන් යම් කිසිවක් හෝ සිදු කරන්න.

වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, හැකිතාක් දුරට අපගේ සීමා සහිතකම් මැඩ පැවැත්වීම පිණිස මේ අවස්ථාවේදීම අප යොමු කරනු ලැබීමේ සුවිශේෂී අදිටන යොදා ගනිමින් මේ අවස්ථාවේදී උපකාර කිරීමට හැකිතාක් දුරට අපගේ චිත්ත ස්වභාවය නංවාලීමට උත්සාහ කළ යුතුය. අපගේ අදිටන අවංක වූවක් නම්, එමගින් අප සිහියෙහි පිහිටුවනු ලබයි.

සෑම අවස්ථාවකම අපගේ ප්‍රගතිය පිණිස කටයුතු කිරීමේ වඩාත් ප්‍රබල පෙළඹීම ඇති වනුයේ උපකාර අවශ්‍ය වන අන් අය හමුවන විටදීය. බස් නැවතුම්පලක් අසල ශීත සෘතුවේදී ශීතල බිම හිඳගෙන සිටිමින් සිඟමන් යදින මැහැල්ලක් දකින අවස්ථාවක ඇය මාගේ මව වූයේ නම් යන සිතිවිල්ල ඇතිකර ගන්නෙමු. එම ශීත බිම හිඳ සිටින ස්වරූපයෙන් මේ ජීවිත කාලයේදී අපගේ සැබෑ මව දකින්නට වුවහොත් එවිට අපි හුදෙක් ඇය පසුකර යන්නෙමුද? නොඑසේ නම්, එසේ නිවසක් අහිමිව සිටින අයගේ පුතු අපගේ පුතු සේ සළකමින් සිතන්නේ නම් තත්ත්වය කවරක් වනු ඇත්ද? මෙම දරුවාට මව්පියන් වෙති. එය ඉතා වැදගත් වේ. ඉන්දියාවේදී, අපි ලාදුරු රෝගීන් හා සෙසු විකෘතිතා සහිත පුද්ගලයන් දකින අතර සාමාන්‍යයෙන් මෙම ලාදුරු රෝගීන් හටද පවුල් ජීවිත ඇති බවක් අපි කිසි දින නොසිතන්නෙමු. ඔවුන්ටද දරු පවුල් ඇත. ඔවුනටද මනුෂ්‍යයන් සේ සලකන්න.

මෙම නිවාස රහිත පුද්ගලයන්ගේ සම්මුතික තත්ත්වය වෙන්කොට දැකීම සඳහා අපට වෙන්කොට දැකීමේ දැනුවත්භාවයක් පැවතිය යුතුය. ඇතැම්හූ හුදෙක් මත්පැන් හෝ මත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මිනිසුනට කරදර කරති. එවන් අවස්ථාවන්හිදී, "කුසල් විධික්‍රම" ලෙස බුදු දහම තුළ යෙදෙන දෙය යොදාගත යුතුය. උපකාර කිරීමේ අපේක්ෂාවක් අප සතුවේ, ඔවුන්ගේ දුකෙහි හේතුව කවරක් වේද හා ඔවුන්ගේ සතුටේ හේතුව කවරක් වනු ඇත්තේද යන යම් අදහසක් අප සතුවේ. ඉන්පසු සැබැවින්ම ඔවුනට උපකාරී විය හැකි දෙය සිදු කිරීමට අපි උත්සාහ කරමු. ඔවුන් විසින් හුදෙක් තව තවත් මත් ද්‍රව්‍ය හෝ මත්පැන්ම මිලදී ගැනීම සඳහා යොදාගනු ඇති බැවින් මුදල් ලබාදීමෙන් කිසිදු පලක් නොවිය හැකි අතර එ් අනුව අපි ඔවුනට මුදල් ලබා නොදෙන්නෙමු. යම් ආහාරයක් ඇත්තේ නම් ඔවුනට එය ලබාදිය හැක. කෙසේ වුවද, ඔවුන් පිළිබඳව හුදෙක් නාස්තිකාර, කාලකණ්නින් ලෙස පමණක් නොසිතීමේ අපගේ සැලකිලිමත් ආකල්පය හා ගෞරවය ඔවුන් වෙත ලබාදිය හැක. ඔවුහූ මනුෂ්‍යයෝ - දුක් විඳින මනුෂ්‍යයෝ - වෙති.

යමෙකුට උපකාර කිරීමේ වඩාත් යහපත් විධිය කවරක්ද යන්න තීරණය කිරීම පහසු කටයුත්තක් නොවේ. අපි මේ අවස්ථාවේදී සීමිත අයය යන්න දන්නෙමු. වඩාත් යහපත් දෙය කවරක්ද යන්න නොදන්නෙමු. සැබෑ ලෙසම මෙම දැනුම අත්පත් කරගනු පිණිස බුද්ධත්වයට පත්විය යුතු නමුත්, අපිද ඇතැම් විට වැරදි සිදු කරන්නේය යන්න අවබෝධ කරගනිමින් මේ අවස්ථාවේ හැකි පමණ වූ උත්සාහයක නියැළෙන්නෙමු. අවම වශයෙන් එම උත්සාහයෙහි නිරත වන්නෙමු.

සාරාංශය

සප්තාංගික හේතුඵල ක්‍රමය පුහුණු වීමෙන් බෝධිචිත්ත අරමුණක් ගොඩනගා ගත් පසු, අන් සියල්ලන් වෙත ඉතාමත් හොඳින් උපකාර කිරීම සඳහා බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ අපගේ එම අරමුණ තුළ බොහෝ පුද්ගලික හැඟීම් එ්කාරාශි කරගන්නාවූ තදබල භාවමය ස්වභාවයක් එයට ආධාරක වශයෙන් පවතී. මේවා තුළට සියලු දෙනා හා සමසේ ඇතිවන සමීපත්වයක් හා සම්බන්ධතාවයක්, අන් අය විසින් අප වෙත පෙන්වා ඇති කාරුණිකත්වය ඇගයීමක්, ගැඹුරු කෘතඥතා හැඟීමක්, සැලකිලිමත් වීමක්, ආදරයක් හා කරුණාවක් මෙන්ම හැකිතාක් දුරට සියලු දෙනා වෙත උපකාර කිරීම සඳහා වූ වගකීම ගැනීමේ ප්‍රබල අදිටනක්ද ඇතුළත් වේ. එයාකාරයේ හැඟීමක් පදනමේ පවතින අපගේ බෝධිචිත්ත අරමුණ දැඩි, හෘදයාංගම හා ස්ථාවර එකක් වේ.

Top