සැලකිලිමත් විය යුතුවන අට වැදෑරුම් ලෞකික කරුණු හා සංකල්පීය රාමුව

සැලකිලිමත් විය යුතු අටවිධ ලෞකික කරුණු

අප සිත් තුළ පවත්නා හැඟීම් හා අත්දැකීම්වලට අමතරව අපගේ ජීවිතයේ අන්තර්ගතයක්ද පවතී. මෙහිද සැලකිල්ලට ගත යුතු කරුණ වනුයේ ඒ සියල්ල පිළිබඳ එතරම් කලබල නොවිය යුතු බවයි. සියල්ල නිරන්තරයෙන් වෙනස් වෙමින් ඉහළ පහළ ගමන් කරන්නේය යන එකම මූලධර්මය අනුගමනය කරමින් “සැලකිලිමත් විය යුතු අටවිධ ලෞකික කරුණු” හෙවත් “ අෂ්ට ලෝක ධර්ම” ලෙස වූ ජීවිතයේ අස්ථිර දේවල් අටක් පවතී.

ලාභ - අලාභ

ඇතැම් විට අපට ලාභයන්ද ඇතැම් විට අලාභයන්ද ඇතිවේ. ඇතැම් විට මූල්‍යමය වශයෙන් මුදල් ලැබීම්ද ඇතැම් විට මුදල් අහිමි වීම්ද සිදුවේ. ඇතැම් විට යමක් මිලදී ගන්නා අතර එය ඉතා යහපත් එකක් (ලාභයක්) වුවද, ඇතැම් විටෙක එය වහා බිඳේ (අලාභය). නැවතද ප්‍රකාශ කළ යුත්තේ මේ කිසිවක් තුළ කිසිදු විශේෂත්වයක් නොපවත්නා බවයි. එය කාඩ් සෙල්ලම් කිරීමක් හෝ ළමා සෙල්ලමක් මෙනි; විටෙක දිනන අතර විටෙක පරදින්නෙමු. මෙහි කිසිදු විශේෂත්වයක් නොමැත.

සත්‍ය වශයෙන්ම තමා පරාජය වන බව දුටු විට “මට දිනන්න ඕන”යි කෑගසමින් අඬන්නට වන කුඩා දරුවාගේ තත්ත්වයට අප නොවැටිය යුතු බව අපටම සිහිපත් කරගත යුතුය. ඔබ නිරතුරුවම ජය ගත යුතු නොවේ. එයද සියලු දෙනා මා හට කැමති වනු ඇතැයි අපේක්ෂා කිරීම වැන්නකි. “බුදුන්ට පවා සියලු දෙනාගේ කැමැත්ත හිමි නොවූ තැන අපට සියලු දෙනා කැමති වනු ඇතැයි අපේක්ෂා කරමුද?” යන බෞද්ධ කියමනක් ඇත. එය පැහැදිලිවම සිදු නොවන්නකි. සියලු දෙනා අපගේ මුහුණු පොත් පිටුවෙහි තමා කැමති බවට වූ ‘ලයික්’ බොත්තම එබීමක් සිදු නොවනු ඇත. ඇතැම්හූ අපට අකමැති වනු ඇති අතර, මෙය සාමාන්‍ය තත්ත්වය වන බැවින් කළ හැක්කක් නොමැත.

සියල්ල ලාභ-අලාභ මත රඳා පවතී. යමෙකු හා සම්බන්ධතාවයක් ඇතිකරගත් විට අවසන එය අවසන් වනු ඇත. පෙරදී අපගේ ජනේලයේ වසන්නට වූ වන පක්ෂියෙකු පිළිබඳ රූපකයක් ගෙනහැර පෑවෙමි. ඌ පැමිණ මොහොතක් රැඳී සිට නිදහසේ පියඹා යයි. සම්බන්ධතාද එපරිදිය. “මාව කවදාවත් දාල යන්න එපා. ඔයා නැතිව ජීවත් වෙන්න බෑ”යි පැවසුවද, ජීවිත කාලය පුරාවටම එක්ව වාසය කළද, ඔබ දෙදෙනා අතරින් එක් අයෙකු අනෙකාට පෙර නිසැක වශයෙන්ම මිය යනු ඇත. අපට මිතුරෙකු ලැබේ, අහිමි වේ. මෙහි කිසිදු විශේෂත්වයක් නොමැත. එය හුදෙක් ජීවිතයේ ස්වභාවයයි. මිතුරා ලද විට සතුටු වීම හෝ අහිමි වූ විට දුක්වීම යන හැඟීම් පහල නොවිය යුතු බවක් ඉන් අදහස් නොවේ. කිසිවක් නොදැනීමේ ස්වභාවය යනු “වෙන දෙයක් වුණාවේ” යන ආකල්පයයි. එය “මෙහි විශේෂත්වයක් නොමැත” යන ආකල්පයට සපුරා වෙනස් එකකි. එනමුදු, අප අන්තයන් දක්වා ගමන් කොට එය මහා දෙයක් ලෙස නොගත යුතුය.

අප පිළිබඳවම විමසා බලමින් ලාභ-අලාභ කෙරෙහි අපගේ ප්‍රතිචාරය නිරීක්ෂණය කිරීම සිත් ගන්නා සුළු එකකි. නිදසුනක් ලෙස මම මා පිළිබඳව විමසා බලන්නෙමි. මක් නිසාද, මම මාගේ වෙබ් අඩවිය පිළිබඳව නිරතුරු සිත යොමු කරවන බැවිනි. එමගින් දවස පුරාම පාහේ මාගේ සිතිවිලි හා ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබයි. සැබැවින්ම අප විසින් සංඛ්‍යාන වැඩසටහනක් ක්‍රියාත්මක කරවන අතර ඒ අනුව කෙතරම් පුද්ගල සංඛ්‍යාවක් එය කියවන්නේද යන්න දිනපතා දැන ගන්නෙමි. එක් දිනෙක එම සංඛ්‍යාවේ වර්ධනයක් ඇති වුවහොත්, එය ඉතා යහපත් දෙයක් වන නමුත් එය යම් සංඛ්‍යාවක් හෝ මා අපේක්ෂා කරන සංඛ්‍යාවට නොපැමිණියහොත් එවිට කාරණය එතරම් මිහිරි නොවේ. එයයි ලාභය හා අලාභය.

එක් අතකින් මා හට දැනෙන සතුට ඉතා පහළ මට්ටමේ එකකි. එය තීව්‍ර එකක් නොවේ. සති කිහිපයකට පෙර එක් දිනක් ඇතුළත වෙබ් අඩවියට 6,000ක් දෙනා පිවිස තිබිණී.  එයට ප්‍රතිචාරය විය යුතුව තිබුණේ “ෂහ්, ඒක ලොකු සංඛ්‍යාවක්නෙ” යන්න වන නමුත්, ඉන් ලද්දේ ඉතා සුළු සතුටක් පමණි. එය මහත් වූ දෙයක් නොවූයේ එමගින් කිසිවක් හෝ සැබෑ ලෙසම සිදු නොවූ බැවිනි. ඇතිවූ හැඟීම නම් “හොඳයි, ඒක යහපත්. දැන් මොකක්ද? අළුතින් මොනවද වෙන්නෙ?” යන්නයි. තවත් දිනෙක පිවිසීම් 4,500 දක්වා එය පහත වැටුණු අතර යම්කිසි කලකිරීමක් මා හට ඇතිවිය. “අද එච්චර අය මේක කියවල නෑනෙ” යන හැඟීමයි. නමුත් මා මෙහිදී පාපෝච්චාරණය කරන දෙය නම් වඩාත් ඉස්මතුව ඉදිරියට එන හැඟීම නම් සෑම විටෙකම අදාළ සංඛ්‍යානයන් විමසා බැලීමේ අවශ්‍යතාවයයි. තමා පිළිබඳවම නිරතුරු සිත යොමුව තිබීමේ මෙකී තත්ත්වය සෙසු දේ කෙරෙහි සිත යොම කරගෙන සිටීමේ තත්ත්වයකට වඩා බොහෝ සෙයින් ප්‍රබල එකක් බව බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. මක් නිසාද, “මා” පිළිබඳව සිතීම එතරම්ම නෛසර්ගික කාර්යයක් වන බැවිනි. තමා පිළිබඳවම සිතීම අපූරු හා යහපත් කාර්යයක් වන අතර කිසිවෙකු හෝ අපට ආදරය නොකරන්නේය ඈ ලෙස එය ඉදිරිපත් නොවුවද, එහි නිරන්තරයෙන්ම මෙම පදනම්ගත සිතිවිල්ල පවතී.

ඇතැම් විට මෙවැනි මුහුණු පොත හෝ දුරකථන කෙටි පණිවිඩ සම්බන්ධ ඔබ අත්දුටු නිදසුන් පිළිබඳව ඔබටද සිතා බැලිය හැක. මා හට අද දින කෙතරම් කෙටි පණිවිඩ සංඛ්‍යාවක් ලැබී ඇත්ද? මා පළකළ අදහස්වලට කී දෙනෙකු මුහුණු පොතේ කැමැත්ත දක්වා ඇත්ද? අප විසින් කෙතරම් නම් වාර ගණනක් අපගේ මුහුණු පොත් ගිණුම පරීක්ෂා කිරීම හෝ යම් කිසි පණිවිඩයක් ලැබී ඇත්ද යන්න පිරික්සනු පිණිස අපගේ ජංගම දුරකථන එළියට ගන්නෙමුද? පෙරදී මෙකී අන්තර්ජාල පහසුකම් නොතිබි සමයේද පුද්ගලයෝ තැපෑලේ ලියුම් බෙදන්නා එන තෙක් බලා සිටියහ. “මට අද ලියුම් තියෙනවද?” ලියුම් නොතිබියේ නම් “අනේ කවුරුවත් මට කැමති නෑනෙ” යන්න ප්‍රතිචාරය විය. එසේ නොමැති නම් ලද ලිපිය හුදෙක් වෙළඳ දැන්වීමක් පමණක් වූ අතර, ඒවා අපට අවශ්‍ය දේ නොවීය. “විශේෂයක් නෑ” යන ආකල්පය තුළින් භාවමය ඉහළ පහළ යාම් අන්ත කරා නොයන පරිදි පාලනය කළ හැක. මක් නිසාද, සිදුවන දේ සම්බන්ධයෙන් අප තුළ වැඩි භාවමය සමතුලිතයක් හා සම චිත්තතාවයක් පවතිනු ඇති බැවිනි. වඩාත් දුෂ්කර කාර්යය වනුයේ තමා අමතා ලැබී ඇති දේ කවරේද යන්න විමසා බැලීමේ අවශ්‍යතාවයට අදාළව නිරන්තරයෙන් සිත යොමුකරගෙන සිටීමයි.

අපගේ ආකල්පය වෙනස් කරලීම වූකලි මන්දගාමී හා දීර්ඝ ක්‍රියාවලියකි. දේවල් වෙනස්වීම සිදුවනුයේ ක්ෂණිකව නොව ක්‍රමිකවය. ඔබ විසින් ඔබ පිළිබඳවම වඩාත් යථාර්ථවාදී විමසුමක නියැළි විටදී “මං පරිගණකයට, මගේ දුරකථනයට වහලෙක් වෙලා හැම වෙලාවෙම ඒක  දිහා බල බලා ඉන්න සිදුවෙලා. නිරන්තරයෙන්ම මට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව විමසිලිමත්ව ඉන්න සිද්ධ වෙලා. මෙහෙම වහලෙක් වුණේ ඇයි?” යන ස්වයං පැනය පැණ නගිනු ඇත. මාර්ගයේ ගමන් ගන්නා විට හමුවන කී දෙනෙකු අත නිරන්තරයෙන් සිය දුරකථනය සූදානම්ව තිබෙන්නේදැයි විමසා බලන්න. ඒ මන්ද? “මට කිසිවක් මග හැරෙන්න නරකයි” යන මානසිකත්වයෙන් වූ ස්වයං පෝෂණ අනාරක්ෂිතභාවයක් පවත්නා බැවිනි. සැබැවින්ම එතරම් වැදගත් දෙය කවරක්ද? ඇතැම් වැදගත් දේ නොපවතින්නේ යැයි අපි නොකියමු. එසේ නමුදු, නිරතුරු සූදානම්ව, පරීක්ෂාකාරීව, මාර්ගගතව සිටීමේ වැදගත්කම මෙහිදී අධික ලෙස අතිශයෝක්තියට නංවනු ලබයි. මෙම කරුණ අපගේ භාවමය සමබරතාවයට අනුව විග්‍රහ කොට බැලීම යහපත්ය.

ඒ අනුව, ඇතැම් විට අප ජය ගන්නා අතර ඇතැම් විට පරාජය වේ. මෙය එක් කාරණා කට්ටලයකි.

දුක හා සැප හෙවත් දේවල් හොඳින් සිදුවීම හා අයහපත් ලෙස සිදුවීම

දෙවන කරුණු කට්ටලය වනුයේ ඇතැම් විට දේවල් හොඳින් සිදුවන අතර ඇතැම් විට අයහපත් ලෙස සිදුවීමයි. අපට මෙම කරුණ බොහෝ මට්ටම්වලින් වටහාගත හැකි නමුත්, නැවතද ප්‍රතිචාරය විය යුත්තේ “විශේෂත්වයක් නෑ” යන්නයි. එක් දිනක කටයුතු ඉතා හොඳින් සිදුවිය හැකි අතර ඊළඟ දිනය බාධාවලින් පිරි දිනයක් විය හැකි අතර අන්‍යයන් විසින් නිරන්තරයෙන් අපට හිරිහැර කරන අතර සියල්ල වරදින බව පෙනේ. මෙය සාමාන්‍ය තත්ත්වයයි. උදෑසන අපගේ ශක්තිය ඉහළ මට්ටමක පැවතිය හැකි අතර සවස් කාලයේ එය ඉතා පහළ බැසිය හැක. ඇතැම් විට අපි සෞඛ්‍ය සම්පන්නව සිටින අතර, ඇතැම් විට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ. මෙහිද කිසිදු විශේෂත්වයක් නොමැත.

ප්‍රශංසා හා නින්දා හෙවත් ගුණ ගැයුම් හා විවේචන

ඊළඟට සලකා බලන අදහස් කට්ටලය ගුණ ගැයුම් හා විවේචන වේ. ඇතැම්හු අපට ප්‍රශංසා කරන අතර ඇතැම්හූ විවේචනය කරති. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද? සියලු දෙනා බුදුන් වහන්සේටද ප්‍රශංසා නොකළහ; උන් වහන්සේගේ ඥාති සොයුරා ප්‍රධාන කොටගත් ඇතැම්හූ බොහෝ සෙයින් විවේචනාත්මක වූහ. ඒ අනුව සියලු දෙනා අපට ප්‍රශංසා කළ යුතුයැයි අපේක්ෂා කරන්නේ මන්ද?

මම නැවතද මාගේම නිදසුනක් යොදන්නෙමි. මාගේ වෙබ් අඩවිය පිළිබඳ නිරන්තරයෙන් විද්‍යුත් තැපැල් පණිවිඩ මා වෙත ලැබේ. ඉන් බහුතරයක් තුළ එම වෙබ් අඩවිය තමාට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් එකක් බව සඳහන් වන අතර කලාතුරකින් විවේචනද වේ. සැබැවින්ම ප්‍රශංසා භාර ගැනීම ඉතා පහසුය; විවේචනය අපගේ සිත් වඩාත් කැළඹිල්ලට පත් කරන දෙයක් විය හැක.

ප්‍රශංසාවේදී අප ශ්‍රේෂ්ඨයන් ලෙස හෝ එහි ප්‍රතිවිරුද්ධාර්ථය හෝ සිතීමේ අන්තයට ගමන් කළ යුතු නොවේ. “හොඳයි, මට ඒක හිමි දෙයක් නොවෙයි. සැබෑ මා කවුරුන්දැයි ඔවුන් දන්නේ නම්, ඔවුන් මා හට කැමති නොවනු ඇත”. එසේ නමුදු ප්‍රශංසාව සමගින් වාසය ඉතා පහසු එකකි. විවේචනය එයට වඩා බොහෝ සෙයින් දුෂ්කර වනුයේ මන්ද? ඒ අප විසින් මමත්වය පෝෂණය කරන බැවිනි. ආකල්ප පුහුණුව මගින් අපි අප පිළිබ ඳව විමසනවාට වඩා එම ආකල්ප පිළිබඳ විමසිලිමත් වෙමු. ඒ අනුව ඔවුන් සිය විවේචන එල්ල කිරීමට හේතු වන ලෙස අප විසින් සිදු කරන ලද කාර්යය පිළිබඳව සිතන්නට වෙමු. “මං හිතන්නේ මේ දේ නිසා තමයි ඔයාව අපහසුතාවයට පත් වෙන්න ඇත්තෙ. මට ඇත්තටම කණගාටුයි. මං ඒක නෙවෙයි අදහස් කළේ” වැනි හුදු කණගාටුව ප්‍රකාශ කිරීමක් ලෙස වුවද, යම් දෙයක් ප්‍රකාශ කළ හැකි නම්, ක්‍රමිකව අපට ආත්ම පෝෂණ ආකල්පයේ සිට අන්‍යයන් පිළිබඳ සිතා බැලීමක් දක්වා සිතිවිලි දාමය මාරු කළ හැක.

අපට මෙම කාර්යය අන්‍යයන් සමගින් එදිනෙදා සිදුකරන සාමාන්‍ය ගනුදෙනුවලදී සිදුකළ හැක. විටෙක ඔවුන් අප පිළිබඳව සතුටු වනු ඇති අතර ඇතැම් විට එසේ නොවනු ඇත. පුද්ගලයන් අප සමග සතුටින් සිටින විටදී අපට පහසුවක් දැනේ. ඇතැම් අවස්ථාවන්හි එක්ව සිටීම දුෂ්කර වන, නිරන්තරයෙන් අප කෙරෙහි සෘණාත්මක ආකල්පයකින් අප විවේචනය කරන්නාවූ පුද්ගලයෝද අපගේ ජීවිතයට සම්බන්ධව සිටිති. ඔවුන් සම්බන්ධ අපගේ ආකල්පය කවරක්ද? හුදෙක් ඔවුන් ඉතා දුෂ්කර, අප්‍රසන්න පුද්ගලයන් ලෙස පමණක් හඳුනා ගමුද? ඔවුන් ඉතා අසතුටින් කල් ගෙවන්නන් වශයෙන් හඳුනා ගමුද? ඔබ සියලු දෙනාටද මෙවැනි පුද්ගලයන් ඔබගේ ජීවිතවලට හසුවී ඇතිවාට සැකයක් නොමැත. ඔවුන් විසින් තමා සමග දිවා ආහාරයකට ඔබට ආරාධනා කරන අතර ඔවුන් පිළිබඳවම මැසිවිලි තොගයකට පමණක් සවන් දීමට ඔබට සිදුවන බව එම ආරාධනාව ලැබෙන විටදීම ඔබ දනී. “අයියෝ, ආයෙත් මෙයත් එක්ක කථා කරන්න වෙනව” යන්න ඔබගේ සිතිවිල්ල වනු ඇත. එනමුත් ඔබට නිරන්තරයෙන්ම තමා කාර්ය බහුල බව පවසා මඟහැර යාමද සිදුකළ නොහැක.

ප්‍රතිචාර වශයෙන් ඔවුන් සමග ගත කිරීම හා එම මැසිවිලිවලට සවන් දීම කෙතරම් නම් අප්‍රසන්න වනු ඇත්ද යනුවෙන් සිතන්නේ නම්, අපට අපගේ දෘෂ්ටිය වෙනස් කළ හැක: මෙම පුද්ගලයා නිරන්තරයෙන්ම මැසිවිලි නගන්නේ ඔහු සැබැවින්ම ඉතා අසතුටින් හා හුදෙකලා දිවියක් ගත කරන බැවිනි. සාමාන්‍යයෙන් යමෙකු විසින් නිරන්තරයෙන් මැසිවිලි නගනුයේ ඔවුන් සමගින් ගත කිරීමට කිසිවෙකු හෝ කැමති නොවන බැවිනි. ඒ අනුව, ඔවුන් සමගින් යම් කාලයක් ගත කළ හැක්කේ නම්, අපට වැඩි කරුණාවක් ගොඩනගාගත හැක. අපගේ සිතිවිල්ල ඒ අවස්ථාවේදී ඔවුන් කේන්ද්‍ර කරගත් දෙයක් විනා අප කේන්ද්‍ර කරගත් දෙයක් නොවන බැවින් එය එතරම් අප්‍රසන්න අත්දැකීමක්ද නොවනු ඇත.

යස - අයස හෙවත් යහපත් පුවත් හා අයහපත් පුවත් අසන්නට ලැබීම

සිව්වන කට්ටලය වනුයේ යහපත් හා අයහපත් පුවත් අසන්නට වීමයි. එයද පෙර පරිදිය: සියල්ල නිරතුරු ඉහළ, පහළ ගමන් කරනු ඇත. සත්‍ය වශයෙන්ම මෙම යුගල සතර එකිනෙක සමග මුහු වන අතර මෙම ලෝක ධර්ම අටෙහි කවර එකක් සඳහා වුවද “විශේෂයක් නෑ” යන ආකල්පය අදාළ වේ. යහපත් හෝ අයහපත් පුවත් ඇසීමට සිදුවීමේ කිසිදු විශේෂත්වයක් නොමැති අතර සියල්ලන් හට ඔවුන්ගේ ජීවිත තුළ සිදුවනුයේ එයයි.

ජීවිතයේ පෙරකී උන්නතාවනත තත්ත්වයන් නොමැත්තේ නම් ඔබ ජීවත් වන්නෙකු නොවන බැවින් තමා මෙකී භාවමය ඉහළ පහළ යාම්වලට කැමැති බව පවසමින් මෙයාකාරයේ පුහුණුවක් ලැබීමට ඇතැම්හූ අකමැති වෙති. මෙය පවත්වාගෙන යාමට තරම් ප්‍රයෝජනවත් ආකල්පයක්ද යන්න විමසා බැලිය යුතුය.

පළමුව, අප භාවමය ඉහළ පහළ යාම්වලට මුහුණ දුන්නද, නොදුන්නද ජීවත් වන්නෙමු. එය වූකලි යම් තරමක අමනෝඥ විරෝධතාවයකි. ඒ අනුව, භාවමය උන්නතාවනතික තත්ත්වයක සිටින විටදී සිදුවන්නේ කවරක්ද? භාවයන් මගින් යටපත් වන බැවින් තාර්කිකව නොසිතන්නෙමු. වඩාත් සන්සුන්ව සිටින්නේ නම්, ජීවිත කැළඹිලිකාරී නොවන බැවින් වඩාත් යහපත් ලෙස ඒ ඒ අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපට හැකිවේ. ඔබ පැහැදිලිව නොසිතා කෝපයට පත් වන්නේ නම්, පසුව පසුතැවිලි වීමට සිදුවන වදන් ඔබගෙ මුවින් පිටවේ. අපගේ භාවයන් සම්බන්ධව සම-මානසිකත්වයක් පවත්වාගෙන යාම යන්නෙන් අදහස් වන්නේ මෙයාකාරයේ දේවල් අප අතින් සිදු නොවන බවයි. සියලු දෙනා සතුටම අපේක්ෂා කරන්නේය යන කෝණයෙන් බලන කලද, මෙයාකාරයේ සාමකාමී, සන්සුන් සතුටක් කැළඹිලිකාරී සතුටකට වඩා බොහෝ සෙයින් ස්ථාවර වූවක් වේ.

“විශේෂයක් නෑ” යන්නෙහි අන්තර්ගත සංකල්පීය රාමුව

අප විසින් සාකච්ඡා කරන ලද මෙම ආකල්පයේ පදනම හෙවත් සංකල්පීය රාමුව සලකා බලමු. මෙහිදී සංකල්පීය සිතිවිලි වටහා ගැනීම වැදගත් වේ. සංකල්පීය සිතිවිල්ලක් යනු කවරක්ද?  “යම් විශේෂිත දෙයක්” වැනි කාණ්ඩයක් මගින් දේවල් දැකීම හෝ අත් විඳීම සංකල්පීය සිතිවිල්ල වේ. එය වූකලි යම් ආකාරයක මානසික රාමුවක් පවත්වා ගනිමින් ඉන්පසු අත් විඳින දෙය එකී “විශේෂිත දෙය” නම් වූ මානසික රාමුව තුළට ඇතුළත් කිරීම වැනි දෙයකි.

අපට දේවල් වටහා ගැනීම හා සැකසීම සිදුකළ හැක්කේ මෙයාකාරයෙන් බැවින් මෙම කාර්යය නිරතුරුවම සිදු කරන්නෙමු. “ගැහැණිය” නමැති මානසික රාමුවක් පවතී. යම් පුද්ගලයෙකු දකින මා ඒ අනුව එම පුද්ගලයා “ගැහැණිය” නමැති මානසික රාමුව තුළට බහාලන්නෙමි. මෙයාකාරයෙන් අපට විවිධ මානසික රාමු තුළට අප එක්ව අත්දකින දේ ඇතුලු කළ හැක. නිදසුනක් ලෙස, “මිනිසා” හෝ “ගැහැණිය” යන රාමුව තුළට ඇතුළත් කළ පුද්ගලයාම “තරුණයා” හෝ “වැඩිහිටියා” හෝ “තඹවන් කෙස් ඇති අය” හෝ “කළු කෙස් ඇත්තා” ආදී විවිධාකාර රාමු තුළටද අන්තර්ගත විය හැක. ඒ අනුව, එයාකාරයේ බොහෝ රාමු පවතී.

නමුත් යථාර්ථය තුළ දේවල් මෙවැනි රාමු තුළ නොපවතී. එය පැහැදිලි කරුණක් සේ දිස් වුවද, සැබෑ ලෙසම වටහා ගැනීම හා සිතට තහවුරු කරගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. නිදසුනක් ලෙස, යමෙකු “අප්‍රසන්න පුද්ගලයා” නමැති රාමුව තුළ බහා ලිය හැකි නමුත් කිසිවෙකු හෝ අප්‍රසන්න පුද්ගලයෙකු ලෙසම නොපවතී. මක් නිසාද, ඔවුන් එසේ සත්‍ය ලෙසම පැවතියේ නම්, ඔවුනට කිසිවෙකු හෝ කැමති නොවනු ඇති අතර, ඔවුන් කුඩා දරුවෙකුව සිටි සමයේ සිටම එසේ පැවතියාද විය යුතුය.

මෙම මානසික රාමු දේවල් පිළිබඳ යම් අදහසක් ඇතිකර ගැනීමට අපට උපකාරීවන අතර අප විසින් දේවල් ඇතුළත් කරන්නේ කවර මානසික රාමුව තුළටද යන කරුණ මගින් අන්‍යයන් කෙරෙහි වූ අපගේ ආකල්පය බොහෝ දුරටම තීරණය වේ. මෙම මානසික රාමු හුදෙක් මනෝ නිර්මාණයක් විනා සත්‍ය වශයෙන් නොපවත්නේය යන කරුණද සිත්හි තබාගත යුතුය.

මෙම රාමු නිර්මාණය කරනුයේ කෙසේද?

අප විසින් දේවල් හඳුනා ගනිමින් එම මානසික රාමුව තුළට නොදමමින් මෙම මානසික රාමුව තුළට ඒවා ඇතුළත් කරනුයේ කෙසේද යන කරුණ විමසා බලමු. එහිදී එම අදාළ අයිතමය වෙනත් ඒවායින් වෙනස්වන යම් ලක්ෂණයක් පදනම් කරගනිමින් එම කර්තව්‍යය සිදු කරන්නෙමු. මෙය “නිශ්චිත ලක්ෂණය” නම් වූ තාක්ෂණික වදනින් හැඳින්විය හැක. “සතරැස්” ස්වභාවය නමැති රාමුව තුළට දේවල් ඇතුලු කිරීමේදී යොදාගනු ලබන අර්ථ නිරූපණ ලක්ෂණය කවරක්ද යන්න සලකා බැලීම මෙහිදී සරල උදාහරණයක් ලෙස දැක්විය හැක. එහිදී සමාන පාද සතරක් පැවතීම යන ලක්ෂණය සලකනු ලැබේ - ඒ අනුව, මෙම ලක්ෂණය සහිත දේ “සතරැස්” යන මනෝ රාමුව තුළට ඇතුළත් කරන්නෙමු. 

එය සරල කාණ්ඩගත කිරීමකි. “කෝප ගන්වන සුළු පුද්ගලයා” යන කාණ්ඩය විමසා බලමු. “ඔබ මා කෝප ගන්වන පුද්ගලයෙකි” ලෙස දකිමින් එකී රාමුව තුළට එම පුද්ගලයා ඇතුලු කිරීම සඳහා එම පුද්ගලයා තුළ වූ ලක්ෂණ කවරේද? කෝප ගන්වන සුළු දේ කවරක්ද යන්න නිශ්චිතවම දැකීමට උත්සාහ කිරීම සිත් ගන්නා සුළු ව්‍යායාමයකි. ඔබගේ හිස වටා ගුම් නද දෙමින් පියාඹන මැස්සා සහ මෙම පුද්ගලයා යන දෙදෙනාම “කෝප ගැන්වීමේ” රාමුව තුළට බහා ලීමට හේතුවූ පොදු කරුණු කවරේද? මාගේ පිළිතුර වනුයේ මෙම දෙදෙනා විසින්ම මාගේ භාවමය සමතුලිතය හා චිත්ත සාමය අහිමි කරවන සුළු දේ සිදු කරන බවයි. මා හට කෝප ගන්වන සුළු දෙයක් සේ පෙනෙන දේ ඔබට එසේ නොපෙනිය හැකි බැවින් මෙහිදී මා මෙම චිත්ත රාමුව අර්ථ නිරූපණය කරනුයේ මාගේ දෘෂ්ටි කෝණයට අනුව විනා ඔබගේ දෘෂ්ටි කෝණයට අනුව නොවේ. මාගේ චිත්ත සාමය අහිමි කරවන යම් කිසිවක් සම්බන්ධයෙන් සලකා බලන කල, එය මා පිස්සු වට්ටවන තරම් ඇලුම් කරන්නක්ද විය හැක. මෙහිලා සිත් ගන්නා සුළු කරුණ වනුයේ අප විසින් දේවල් අර්ථ නිරූපණය කරන හා රාමුවලට බහාලන ආකාරය සැබැවින්ම අප පිළිබඳව සලකා සිදු කරන දෙයක් වන බවයි.

ඒ අනුව මෙකී සියලු හැඟීම් අප තුළ පවතී. දැන් මෙම කරුණ සිත් ගන්නා සුළු එකක් බවට පත්වෙමින් තිබේ. ඒ අනුව අපට දැන් “සතුටින් සිටින” නමැති මානසික රාමුව ඇත. “සතුටින් සිටින” නමැති එකී මානසික රාමුව තුළට දේවල් ඇතුළත් කරනුයේ කෙසේද? එය ප්‍රකාශ කිරීම ඉතා දුෂ්කරය. යමෙක් මාගෙන් “ඔබ සතුටින්ද?”යි අසයි. එයට අදාළ පිළිතුර කවරක්ද යන්න පවා අපි නොදනිමු. “මා සතුටින්ද?” යන පැනය මාගෙන්ම විමසුව හොත්, ඉන් අදහස් වන්නේ කවරක්ද යන්න පවා මම සැබැවින්ම නොදනිමි. ඒ අනුව, සතුටින් සිටීම යන්න අර්ථ නිරූපණය කරන ලක්ෂණය කවරක්ද? අපට සතුටින් සිටීමට බොහෝ සෙයින්ම අවශ්‍ය වන නමුදු සතුට යනු කවරක්ද යන්න පවා අපි නොදන්නෙමු. මෙය තරමක් අසාමාන්‍ය තතත්ත්වයක් නොවන්නේද?  මෙයට අදාළ අර්ථ නිරූපණය වනුයේ අත් විඳින විටදී ඉන් ඉවත් වීමට අකමැති වන දෙයක් යන්නයි; ඔබට අවශ්‍ය වනුයේ එය නොකඩවා පවත්වාගෙන යාමටයි. එය බෞද්ධ සාහිත්‍යය තුළ අපට හමුවන අර්ථ නිරූපණය වන අතර, එය තරමක් දුරට අර්ථය වටහා ගැනීමට උපකාරී වේ.

මුහුණු පොත සම්බන්ධ තත්ත්වය කවරක්ද? “කැමති වන” දේ අර්ථ නිරූපණය කරනුයේ කෙසේද? එය අප සිනහ ගන්වන හා අපට යහපතක් දනවන දෙයක් විය හැක. එසේ නමුදු, දවස පුරා අන් කවරක් වෙත හෝ අවධානය යොමු නොකරමින් ඒ දෙසම බලා සිටීමට සිදු වූයේ යැයි සිතන්න. එවිට එය එපාවනු ඇත. එය අරුම පුදුම තත්ත්වයක් නොවේද? සංකල්පීය සිතිවිල්ලක් පවත්නා විටදී නිරතුරු එම කාණ්ඩය නියෝජනය කරන දෙය සම්බන්ධ චිත්ත රූපයක් පවතී. ඒ අනුව, “බල්ලා” යි සිතන විටදී බල්ලෙකු පිළිබඳ යම් ආකාර චිත්ත රූපයක් ඔබ තුළ ඉස්මතුවන අතර මෙම රූපයද එකිනෙකාට වෙනස් වේ. ලිංගික ආකර්ශනය ගෙනදෙන පුද්ගලයෙකු හා කෝප ගන්වන සුළු පුද්ගලයෙකු නියෝජනය කරන චිත්ත රූපය සම්බන්ධ තත්ත්වයද එයමය.

ඒ අනුව මා කැමැත්තක් දක්වන දෙයක් නියෝජනය කරනුයේ කවරක් විසින්ද? එය සොයා ගැනීම වඩාත් දුෂ්කර දෙයකි. “මං මේ විලාසිතාවට කැමතියි; මං මේ කෑම ජාතියට කැමතියි; මං මේ චිත්‍රපට වර්ගයට කැමතියි; ඒ ගෑණු ළමයා මගේ ජාතියෙ නෙවෙයි; ඒ මනුස්සයා මගේ ජාතියෙම කෙනෙක්” ඈ වශයෙනි. මා කැමති දේ නියෝජනය කරනුයේ කවරක් විසින්ද? මුහුණු පොතේ ඇති රූපයක් යොදමින් එය අප කැමති වන දෙයක් සමගින් සන්සන්දනය කරමින් ඉන්පසු එය අප “කැමති” කාණ්ඩයට ඇතුළත් කරන්නෙමුද? මේ සියල්ල අපගේ සිත තුළින්ම විනා එම වස්තුව තුළින් ඉස්මතු නොවන බව සිහි තබාගත යුතුය. වස්තුව තුළ පවත්නා සැබෑ ආකර්ශනීයත්වයක් සේ වස්තුව තුළින් ඉස්මතුවන දෙයක් වේනම්, ඕනෑම අයෙකු එයට කැමති වනු ඇත. ඒ අනුව සියල්ල මනෝ මූලික වේ.

“විශේෂ” යන්න අර්ථ නිරූපණය

ඊළඟ පියවර වනුයේ යමක් විශේෂ දෙයක් බවට පත් කරනුයේ කවරක් විසින්ද යන්න විමසා බැලීමයි. වස්තුව තුළ යම් දෙයක් එසේ පවතින්නේද, නැතහොත් අප විසින්ම අර්ථ නිරූපණය කරන ලද, මනස තුළ පවත්නා “යම් විශේෂ දෙයක්” පිළිබඳ රාමුවක් පවත්නේද? යමක් විශේෂ දෙයක් බවට පත් කරනුයේ කවරක් විසින්ද යන කරුණ සලකා බැලීමේදී, “විශේෂයක් නොමැත” යන අදහසෙහි පවත්නා න්‍යායාත්මක පදනම වැටහේ. වස්තුව විෂයයෙහි කවරාකාර වූ හෝ විශේෂත්වයක් නොමැත. “විශේෂ” යන්න පිළිබඳ කවර වූ හෝ අදහසක් වේනම් එය අපගේම අදහස්, “විශේෂ” යන සංකල්පයට අදාළ අපගේම මානසික රාමුව තුළින්ම පමණක් ඉස්මතු වේ. එය වූකලි අප විසින් දේවල් දක්නාවූ පෙරනයයි: එනම්, මෙය විශේෂ වන බව හා අනෙක විශේෂ නොවන්නේය ඈ වශයෙනි.

අපි විශේෂ යන වදන අර්ථ නිරූපණය කරන්නේ කෙසේද යන කරුණ ඉන්පසු අපගෙන්ම විමසිය හැක. එය යම් කිසි දෙයක් අද්විතීය වන කල්හි සිදුවන්නක් බව යමෙකු විසින් පැවසිය හැක: “මෙය ඇත්තටම විශේෂ සිතුවමක්” හෝ “මෙය විශේෂ කෑමක්” ඈ වශයෙනි. නමුත් මේ කෝණයෙන් බලන කල සියල්ල අද්විතීය නොවේද? කිසිදු දේවල් දෙකක් සර්ව සමාන නොවේ. ගෝවා ගෙඩි තොගයක පවත්නා සෑම ගෝවා ගෙඩියක්ම අනෙකෙන් වෙනස්, අද්විතීය එකකි.

ඉන්පසු ඔබට මෙසේ සිතිය හැක: “හොඳයි, දේවල් එකිනෙක වෙනස් විය යුතුයි. විශේෂ වන්නට නම් ඒවා වෙනස්ද විය යුතුය” වශයෙනි. එසේ නමුත් ඒවා කෙතරම් වෙනස් විය යුතුද? සාමාන්‍ය හා විශේෂ දේ අතර බෙදුම් රේඛාව අඳිනුයේ කෙසේද, කවර ස්ථානයකින්ද? එය තීරණය කළ හැක්කේ කෙසේද?

ඉන්පසු, විශේෂ දෙයක් නම් අළුත් දෙයක් විය යුතු බව ඔබට පැවසිය හැක. එසේ නමුත් එය අලුත් වන්නේ මා හටද, විශ්වයටද? අපි සාමාන්‍යයෙන් සියල්ල “මා” ට සාපේක්ෂව අර්ථ නිරූපණය කරන අතර අප අත් විඳින සෑම අත්දැකීමක්ම අලුත් එකක් නොවේද? මා ඊයේ අත්විඳි දෙයම අද අත් විඳිනුයේ එයාකාරයෙන්ම නොවේ. අද යනු ඊයේ නොවේ. ඒ අනුව, එක් අතකින් සියල්ල විශේෂ වන අතර එමගින් සැබෑ ලෙසම අර්ථවත් වනුයේ කිසිවක් හෝ විශේෂ නොවන බවයි. සෑම දෙයක්ම අද්විතීයද, සෑම දෙයක්ම වෙනස්ද, සෑම දෙයක්ම එකිනෙකින් පෞද්ගලිකද වන බැවින් විශේෂ දෙයක් වශයෙන් ස්ථානගත කළ හැකි කිසිවක් හෝ නොමැත. අප යමකට කැමති වන බැවින් එය විශේෂ බවක් පවසන්නේ නම්, අප කැමති දේ නිරන්තරයෙන් වෙනස් වන බවද අපි දන්නෙමු; එම දෙය පමණ ඉක්මවා ලදහොත් එයට ඇති කැමැත්ත ඉවත් වන අතර පමණ ඉක්මවා වැඩි කාලයක් එය අප සන්තකයේ පැවතියහොත් ඉන් අපි වෙහෙසට පත්වෙමු.

දේවල් “විශේෂ” පෙට්ටියේ බහාලීම සඳහා වූ අපගේ ඇබ්බැහිය මැඩ පැවැත්වීම පිණිස උපකාරීවීම සඳහා අප විසින් ප්‍රගුණ කරනු ලබන දේ මේවාය. “මා හට දැන් හැඟෙන දේ අතිශයින් වැදගත්ය”. මක් නිසාද? එය “වැදගත්” රාමුව තුළ බහා ඇත්තේ මන්ද? ඒ අනුව අප විසින් උත්සාහ ගනු ලබන්නේ අනවශ්‍ය මානසික රාමු තුළ බහා කිසිවක් නොදකින්නටය. සත්තකින්ම ප්‍රයෝජනවත්, අවශ්‍ය ස්වභාවයේ රාමුද පවතී; ඒවායින් තොරව අපට භාෂාව වටහාගත නොහැකි වනු ඇත. එකම වදන ප්‍රකාශ කරනු පිණිස පුද්ගලයෝ විවිධ උච්චාරණ සහිත විවිධ ශබ්ද නගති. එම වදන සඳහා වූ මානසික රාමුවක් පවත්නා බැවින් පමණි අපට එය වටහාගත හැකි වන්නේ.

ඒ අනුව අපට සියලු රාමු ඉවතට විසි කළ නොහැක. එසේ වුවද, ඇතැම් මානසික රාමු ප්‍රයෝජනවත් නොවේ. මක් නිසාද, “යම් විශේෂ දෙයක්” ආදී ලෙස දක්වන ඒවා මුළුමනින්ම මනෝ මූලික වන බැවිනි. ඔබ විසින් එය විග්‍රහ කිරීම ආරම්භ කරන විටදී, ඒ සියල්ල අපගේ ආකල්පය හා බද්ධ වූ දේ වේ: එනම්, විශේෂ යනු කවරක්ද යන්න අර්ථ නිරූපණය කිරීමට අප අසමත් වුවද, අප විසින් විශේෂ දේ වශයෙන් විශ්වාස කරන දේය.

මෙයාකාරයෙන් හුදෙක් “දේවල්හි කිසිදු විශේෂත්වයක් පවත්නා ලෙස මම ඒවා නොදකිමි” යනුවෙන් ප්‍රකාශ කිරීම සඳහා පමණක් ස්වයං පාලනය හා විනය යොදා නොගනිමු. මක් නිසාද, එය සැබැවින්ම ක්‍රියාත්මක කරලීම අති දුෂ්කර කාර්යයක් වන බැවිනි. එසේ වුවද, ඒ සියල්ල හුදෙක් චිත්ත නිර්මිතයන් පමණක් වන බැවින්, සැබැවින්ම කිසිවක හෝ විශේෂත්වයක් නොමැති බව වැටහීම තුළින් හඳුනාගත හැක.

සංකල්පීය සිතිවිලි වටහාගැනීම මගින් සිත පුහුණු කිරීම

මානසික පුහුණුව මගින් අපගේ ආකල්ප සම්බන්ධයෙන් කටයුතු කළ හැකි මට්ටම් ගණනාවක් පවතී. අපට දේවල් විවිධාකාර මානසික රාමු මගින් හඳුනාගත හැකි අතර අප හඳුනාගන්නා වස්තූන් එක් රාමුවකින් වෙනත් රාමුවක් කරා විතැන් කිරීමද සිදුකළ හැක. ඒ අනුව, “කරදරකාර, මැසිවිලි නගන පුද්ගලයා” යන රාමුවෙහි ස්ථානගත කිරීම වෙනුවට අපි යම් පුද්ගලයෙකු “අසතුටින් පසුවන, හුදෙකලා පුද්ගලයා” නමැති රාමුවෙහි පිහිටුවමු. ඒ අනුව එම පුද්ගලයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අපගේ සමස්ත විධික්‍රමයම වෙනස් වේ. අදාළ පුද්ගලයා මෙයාකාර හෝ එයාකාර අයෙක් බවට පත් කරන කිසිදු නෛසර්ගික දෙයක් ඔහු තුළ නොපවත්නේය යන්නද, එය ඔවුන් සම්බන්ධ අපගේ අත්දැකීම හා ඔවුන් සමග වූ අපගේ අන්තර් ක්‍රියාවන්වලට බලපාන පරිදි අප විසින් ඔවුන් හඳුනාගන්නා ආකාරයේ ආකල්පයය යන කරුණද අවබෝධ කරගන්නෙමු.

“විශේෂ” වැනි ඇතැම් මානසික කාණ්ඩ කිසි ලෙසකිනුදු ප්‍රයෝජනවත් ඒවා නොවේ. විශේෂ පුද්ගලයන් හා විශේෂ අවස්ථාවන් වැනි දේවල් පවතී. එසේ නමුත් උපන් දින හෝ අළුත් අවුරුද්ද එතරම් විශේෂ දෙයක් වන්නේය යන අදහස කෙතරම් හිතුවක්කාර අදහසක්ද යන කරුණ ඔබ සිතට ගත්තේද? එය විශේෂ දෙයක් බවට පත් කරනුයේ කවරක් විසින්ද? හුදෙක් පුද්ගලයන් විසින් එය විශේෂ දෙයක් බවට තීරණය කර ඇත. ජනවාරි පළමුවැනිදා යන්නෙහි කිසිදු විශේෂත්වයක් නොමැති අතර, තාරකා විද්‍යාත්මකව පවා එම දිනයෙහි එබඳු කිසිදු සම්බන්ධයක් නොමැත. පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන අතර ඔබට “මෙය වසරේ පළමු දිනයයි” ලෙස එහි ආරම්භයක් පැනවිය නොහැක. එවැනි ආරම්භයක් නොමැති බැවිනි විවිධ සංස්කෘතීන් විසින් තමාටම ආවේණික අලුත් අවුරුදු දිනයන් සමරන්නේ. එහි කිසිදු විශේෂත්වයක් නොමැත. ඔබ අලුත් අවුරුද්ද සමරන සංස්කෘතියකට අයත් පුද්ගලයෙකු නම්, එය විකාර අදහසක් ලෙස සිතීමේ අවශ්‍යතාවයක් නොමැති අතරම, ඉන් කැළඹිල්ලට පත්ව ඉමහත් කලබලයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක්ද නොමැත.

මානසික රාමු හා කාණ්ඩ සහ මෙකී අර්ථ නිරූපිත ලක්ෂණද සමගින් සංකල්පීය සිතිවිලි ක්‍රියාත්මකවන ආකාරය සම්බන්ධ මෙකී මූලික ස්වභාවය වටහාගත් කල්හි, අපට එය ප්‍රයෝජනවත් අවස්ථාවන්හි ප්‍රයෝජනයට ගැනීම හා එසේ නොවන අවස්ථාවන්හි අත්හැර දැමීමද සිදුකළ හැක.

අවසන, අප වෙනස් වී අපගේ ආකල්ප වැඩිදියුණු කරගන්නා විටදී, එතුළ යම් පෙළඹීමක් හා දැඩි ඉවසීමක්ද පැවතිය යුතුවේ. නැවත නැවතද පිළිවෙත් පිරීම තුළින් මෙම වෙනස්වීම කෙරෙහි හුරු වන්නට වන්නට, එය වඩ වඩාත් ස්වභාවිකවම අපගේ එදිනෙදා ජීවිතය තුළ ඉස්මතුවනු ඇත. අසතුටක් දැනෙන විටදී කළ යුතු එකම දෙය නම් “මම හුදෙක් මා පිළිබඳ පමණක් සිතන්නෙමි” යන්න සිහිපත් කරගැනීම පමණි.

ආකල්ප පුහුණුව වූකලි දීර්ඝ නමුත් ඉතා අගනා ක්‍රියාවලියක් වේ.

සාරාංශය

අපි සෑම උදෑසනකම එකම අරමුණක් සහිතව අවදි වන්නෙමු: එනම් වඩාත් යහපත්, වඩා සතුටුදායක අනාගතයක් අවශ්‍යය යන්නයි. මෙම අරමුණේදී අපි සියල්ලෝ සමානයෝ වෙමු. “මා” විශ්වයේ කේන්ද්‍රය බවට සිතීමද අප සියල්ලන් කෙරෙහි සාධාරණ වූවකි. මෙ වූකලි අප්‍රමාණ ගැටලු අප වෙත ගෙන එන්නාවූ කරුණකි. ආත්මාර්ථය තුළින් “මා” යන අදහස පෝෂණය කරවන බැවින් එය ඉතා ආකර්ශනීය අදහසක් බව පෙනෙන අතර, එම ආත්මාර්ථය හේතුවෙන් අපි සැබැවින්ම අසතුට කරාම, අප බොහෝ සෙයින් ලොල් වන්නාවූ සතුටෙන් ඉවතටම දිව යන්නෙමු. දේවල්හි සැබෑ පැවැත්ම හෙවත් යථාර්ථය වටහා ගැනීම ආරම්භ කරන විටදී, මේ සියල්ල උඩු යටිකුරු වේ. ජීවිතය ඉහළ පහළ ගමන් කරන අතර ඉදිරියටත් නිරතුරු එය එසේම වනු ඇත: අපට මෙය පාලනය කළ නොහැකි නමුත් අප අත් විඳින දේ කෙරෙහි ප්‍රතිචාර දක්වන ආකාරය හෙවත් අපගේ ආකල්පය පාලනය කළ හැක. බාහිර හේතු සාධක කවරාකාර වුවද අප විසින් අප පිළිබඳව මෙන්ම අන්‍යයන් පිළිබඳවද සැබැවින්ම සැලකිල්ල යොමු කරන පරිදි උත්සාහයෙන් අපගේ ජීවිත ප්‍රීතිමත් ඒවා බවට පරිවර්තනය කරගත හැක.

Top