අප හෝ අපගේ හැඟීම් සම්බන්ධ කිසිදු විශේෂත්වයක් නොමැත

හැඳින්වීම

තිබ්බතීය භාෂාවෙන් ලොජොං ලෙස හැඳින්වෙන චිත්ත පුහුණුව හෙවත් ආකල්ප පුහුණුව වූකලි අප විසින් අපගේ ජීවිතය අත්දකින ආකාරය හා අප අත්දකින දේවල් කෙරෙහි අපගේ ආකල්පයන් වෙනස් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙන පුළුල් මාතෘකාවකි. ජීවිතය බොහෝ ඉහළ පහළ යාම්වලින් සමන්විත වන අතර එය ගතකිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව අප සියලුදෙනා දන්නා කරුණකි. අපට බොහෝ දේ නිරතුරුව සිදුවන අතර මේවා ඉතා පුළුල් හේතු ප්‍රත්‍ය මාලාවක් තුළින් ඉස්මතු වේ.

පහසු නිදසුනක් ලෙස, මේ සන්ධ්‍යාවේ මෙහි රැස්ව සිටින අප සියලු දෙනා සම්බන්ධයෙන් සලකා බලමු. ඔබ මෙහි එන්නට හේතුව කවරක්ද? රථ වාහන හා ප්‍රවාහනය, ඔබ නගරයේ ජීවත් වන්නේය යන කරුණ, ඔබ ඇලුම් කරන දේ, ඔබගේ පවුල, සේවා ස්ථානය හා පොදුවේ ජීවිතය තුළ සිදුවන දේ ආදී භෞතික පැත්තක්ද පවතී. සුවිශාල හේතු ප්‍රත්‍ය ගණනාවක් හේතුකොට අප සියලු දෙනා එක්ව මෙහි සිටින අතර සියලු දෙනා විවිධාකාර පසුතලයන්ගෙන් හා විවිධාකාර හේතු ප්‍රත්‍යයන්ගෙන් එළැඹි අය වේ.

දැන් අප මෙහි හිඳ සිටින අතර, එහි ඔබ සියලු දෙනාද, මාද, භාෂණ පරිවර්තකවරයෙකුද සිටී. මදෙස බලා සිටින ඔබ හා කැමරාව අතර පවත්නා වෙනස කවරක්ද? ඔබ මෙන්ම කැමරාවද මෙහි රැගෙන එන ලද්දේ විවිධාකාර හේතු ප්‍රත්‍ය හේතුවෙනි: යමෙකු විසින් එය නිෂ්පාදනය කරන ලද අතර, තවත් අයෙකු එය මිලදී ගන්නා ලදී; තවත් අයෙකු විසින් එය මෙහි ස්ථාපනය කරන ලදී. කැමරාව හා අප යන දෙපාර්ශ්වය විසින්ම තොරතුරු ලබා ගන්නෙමු. වෙනස නම්, අප ලබාගන්නා තොරතුරු පදනම් කොට යම් මට්ටමක සතුටක් හෝ අසතුටක් ලෙස වූ හැඟීම් ගොඩනැගීමයි. කැමරා සහ පරිගණක විසින් තමා වෙත ලැබෙන තොරතුරු අත්විඳීමක් සිදු නොකරයි.

සතුට යනු කවරක්ද?

අප සියලු දෙනා හට සතුටින් සිටීමට අවශ්‍ය වන අතර අසතුටින් සිටීමට කිසිවෙකුට හෝ අවශ්‍ය නොවන්නේය යන්න ජීවිතයේ මූලික මූලධර්මයයි. මෙමගින් "හොඳයි, ඇත්තටම සතුට යනු කවරක්ද? අපට සැබැවින්ම අවශ්‍ය කවරක්ද?" යන්න සිතා බැලීමේ ආභාසයක් ලබාදෙනු ලබයි.

බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන කල, සතුට යනු අත්දකින විටදී ස්වභාවිකවම අපට ඉන් ඉවත් වීමට සිත් නොදෙන්නාවූ හැඟීම වශයෙන් අර්ථ නිරූපණය කරනු ලබයි; අපි එයට කැමති වන අතර එය නොකඩවා පවත්නේ නම් සතුටු වෙමු.

එය වූකලි යමක් හෝ යමෙකු දැකීම වැනි ශාරීරික හැඳිනීමක් හෝ යමෙකු හෝ යමක් පිළිබඳව සිතීම වැනි මානසික හැඳිනීමක් සමගින් ඉස්මතුවිය හැකි මානසික අත්දැකීමකි. අප දකින හෝ සිතන දෙයට අප කැමති වන බවක්ම ඉන් අදහස් නොවේ; එ් වෙනුවට ඉන් අදහස් වනුයේ එය දැකීමේදී හෝ එ් පිළිබඳ සිතීමේදී ඇතිවන හැඟීමට අප කැමති වන බවයි. එනමුදු සතුට යනු සුඛය පිළිබඳ ශාරීරික සංවේදනයමද නොවේ; එය වූකලි මානසික ස්වභාවයකි. එය චොක්ලට්, අපගේ තරුණ කාලය හෝ සතුට ආදිය තුළ පවතින යහගුණ අතිශයෝක්තියට නංවමින් එය අත්හැරීමට අකමැති වන ඇලීම නමැති කැළඹිලිකාරී භාවයමද නොවේ.

චිත්‍රපටයක් ඈ වශයෙන් යමක් දෙස බලා සිටීමේදී අත්විඳින සතුට යම් පහත් තලයක සතුටක් විය හැකි නමුදු විනාඩි කිහිපයකට පසුද එය නැරඹීමටම සිතේ නම් හා වෙනතක බැලීමට සිත් නොදෙන්නේ නම්, මෙමගින් පෙන්වනුයේ අප තෘප්තියට පත්ව සිටින අතර දැනෙන දෙයින් වෙන් වීමට අකමැති වන බවයි. "තවත් එ්ක දිහා බලා ඉන්න කැමතියි" යනුවෙන් පැවසිය හැක. එ් පිළිබඳ අසතුටට පත්ව සිටියේ නම් හුදෙක් වෙනතක බැලීමෙන් හෙවත් ඉන් ඇස් ඉවතට ගැනීමෙන් අපගේ අත්දැකීම වෙනස් කිරීමට සාමාන්‍යයෙන් උත්සාහ කරනු ඇත. මෙහිදී අත් විඳින අසතුට යන්න අත්දකින විටදී ස්වභාවිකවම අපට ඉන් ඉවත් වීමට අවශ්‍ය වන්නාවූ හැඟීම වශයෙන් අර්ථ නිරූපණය කෙරේ. අප තුළ ඇතැම් විට උදාසීන හැඟීම්ද පවතී. මෙහිදී අපට යම් දෙයකින් ඉවත් වීමේ හෝ ඉවත් නොවී සිටීමේ උවමනාවක් නොමැති උපේක්ෂාවක් පවතී.

කෙසේ වුවද, "සතුට" හා "අසතුට" යන යෙදුම් පිළිබඳව සිතන්නේ නම් අප සිතනුයේ අන්තවාදී ආකාරයෙනි. එනම්, අපගේ මුහුණේ ඉතා පැහැදිලි සිනහවක් හෝ බොහෝ සෙයින් දුකට පත් දුක්ඛිත ස්වභාවයක් වශයෙනි. කෙසේ වුවද, සතුට හා අසතුට පිළිබඳ දැනීම මෙතරම් නාට්‍යාකාර විය යුතුද නොවේ. මක් නිසාද, අපගේ ජීවිතයේ සෑම මොහොතකම යම් මට්ටමක සතුටක් හෝ අසතුටක් භුක්ති විඳින අතර, එ් අතරින් බොහෝ අවස්ථා එසේ නාට්‍යාකාර එ්වා නොවන බැවිනි.

ජීවිතයේ උන්නතාවනත තත්ත්වයන්

සෑම මොහොතකම විවිධාකාරයේ දේවල් අපි අත් විඳින අතර, අප මෙහි පැමිණ සිටීම වැනි මෙසේ එ්කරාශි වූ අත්දැකීම් දස ලක්ෂ සංඛ්‍යාත හේතු ප්‍රත්‍ය සංඛ්‍යාවක් අතරින් මේවා පැමිණේ. අප වටා හෝ අපගේ සිත් තුළමද සිදුවන දෙය පිළිබඳ තොරතුරු ලබාගන්නා අතර මෙය සිදුවන අතර එ්වා විවිධ මට්ටමේ සතුටු හා අසතුටු හැඟීම් සමගින් අත් විඳිමු. මෙම සංසිද්ධිය නිරතුරුවම යහපත් මානසික තත්ත්වය හෝ අයහපත් මානසික තත්ත්වය වශයෙන් අප සිටින මානසික තත්ත්වයට අනුව විස්තර කරන්නෙමු.

ජීවිතයේ ස්වභාවය වනුයේ එය නිරතුරු ඉහළ පහළ ගමන් කරන්නක් වීමයි. අප සිටින මානසික ස්වභාවය සෑම අවස්ථාවකම අපට ලැබෙන තොරතුරු, අප වටා සිදුවන දෙය හා අප විසින්මද නිරතුරුවම සිදුකරන දෙයට අනුකූල නොවේ. නිදසුනක් ලෙස, අප විසින් අප සාමාන්‍යයෙන් කැමති වන කාර්යයක් සිදු කරමින් සිටිනවා විය හැකි නමුත් එය අසතුටින් හා රස විඳීමකින් තොරව අයහපත් මානසික තත්ත්වයකින් සිදු කරන්නෙමු. නොඑසේ නම්, ශාරීරිකව වෙහෙස විය යුතුවන විශේෂයෙන්ම විනෝදාත්මක නොවන කාර්යයක අප නිරතව සිටින නමුත් එය සතුටින් සිදු කරමින් නොකඩවා කාර්යයෙහි නිරත වීමේ උවමනාවකින්ද පසුවනවා විය හැක. අපගේ මානසික ස්වභාවය අප නිරත සැබෑ කාර්යයට නිරතුරුවම අනුගත නොවන ආකාරය විමසා බැලීමද සිත් ගන්නා සුළු කාර්යයකි.

සෑම මොහොතක්ම අත් විඳින විටදී සැම විටෙකම එ් කෙරෙහි වූ යම් ආකල්පයක් පවතී. මෙහි අප සාකච්ඡා කරන මාතෘකාව ආකල්පය සම්බන්ධ වූවක් වන අතර, එය කවරක්ද? ආකල්පය යනු සරලව පවසන්නේ නම් යම් කිසිවක් සම්බන්ධව අප විසින් සලකා බලන ආකාරයයි. අපට ලබාගත හැකි බොහෝ විවිධාකාර ආකල්පද වන අතර එම ආකල්පය මත රඳා පවතිමින් එය බොහෝ සෙයින් අප දැනට සිටින චිත්ත ස්වභාවයට බලපානු ලබයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ජීවිතයේ සියලු අවස්ථාවන්හි අප විසින් අත්දකින මෙකී ඉහළ පහළ යාම් වෙනස් කිරීමට අපට එතරම් කළ හැකි දෙයක් නොමැත. ඔබට යහපත් හැඟීමක් දැනෙන යම්කිසි ඔසුවක් පානය කළද, දිගු කාලීනව නොකඩවා එම ඉහළ පහළ යාම් පවතිනු ඇත. එසේ නමුදු, අපට වෙනස් කිරීම සඳහා උත්සාහයක නියැළිය හැකි දෙය වන්නේ අපගේ ආකල්පයයි.

අපගේ ආකල්ප පුහුණුව සම්බන්ධයෙන් කථා කරන විටදී, එහි පැතිකඩ දෙකක් පවතී. ඉන් එකක් වනුයේ දේවල් කෙරෙහි පවත්නා ආකල්පය පිරිසිදු කරගැනීම හෝ හානිකර ආකල්ප පවත්වාගෙන යාම නවතාලීමයි. "හානිකර" යන්න තරමක් බර වැඩි වදනක් විය හැකි බැවින් අපට එ් වෙනුවට "ඵලදායී නොවන" යන යෙදුමද භාවිත කළ හැකිය. එනමුත් එක්තරා අයුරකින් එයද ස්වයං විනාශකාරී දෙයක් වෙමින් මෙම ආකල්ප මගින් හුදෙක් අපගේ තත්ත්වය වඩාත් නරක අතට හැරුණු බවට වූ හැඟීමක් පමණි ලබා දෙනුයේ. අනෙක් පැතිකඩ වනුයේ දේවල් කෙරෙහි බලන ආකාරය වඩාත් ධනාත්මක කරනු පිණිස පුහුණු වීමයි.

අතිශයින් ධනාත්මක වීම; සෑම දෙයක්ම ඉතා යහපත්ය; සියලු දේ සර්ව සම්පූර්ණව සිදුවේ ආදී වශයෙන් "ධනාත්මක චින්තනයේ බලය" ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන සංකල්පය මෙහිලා සාකච්ඡා නොකෙරෙන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. අපගේ ආකල්පය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සැබෑ ඵලදායී ක්‍රමවේදයක් සඳහා අපට වඩාත් ගැඹුරින් කරුණු විමසා බැලීමට සිදුවේ.

මා හට දැනෙන දේහි කිසිදු විශේෂත්වයක් නොමැත

අපට දැනෙන සතුට හෝ අසතුට පිළිබඳ අපගේ ආකල්පය නම්වූ අපගේ හැඟීම පිළිබඳ ආකල්පය කෙරෙහි පළමුව අවධානය යොමු කරමු. තමාට හැඟෙන දේහි වැදගත්කම අතිශයෝක්තියට නැංවීම නම් වූ බොහෝ පුද්ගලයන් වෙත පවත්නා ගැටලුවක සන්දර්භය තුළින් මෙය විමසා බලන්නෙමු.

අපි අප පිළිබඳව - "මා" පිලිබඳ- බොහෝ සෙයින් වදවන අතර අපට දැනෙන දේ පිළිබඳ එයටත් වඩා වදවේ. අපි සියලු දේ ද්විත්වවාදී ආකාරයකින් අත් විඳින්නෙමු. නිදසුනක් ලෙස, අපට එක් පාර්ශ්වයක මෙකී 'මා' යන දෘෂ්ටියද අනෙක් පාර්ශ්වයෙහි අසතුටද පවතී. මෙම අසතුට පිළිබඳ අප බියවන අතර ඉන් ආරක්ෂා වීමට හා ඉන් මිදීමට හැකිතාක් උත්සාහ කරමු. එසේ නමුදු, මෙම ආකල්පය අප තුළ පවත්නා විටදී එමගින් අපට කවර හැඟීමක් ඇති කරවන්නේද? එමගින් සියල්ල වඩාත් නරක අතට නොහරවන්නේද?

එ් පිළිබඳ මොහොතක් සිතා බලන්න: ඔබ අයහපත් මානසික තත්ත්වයක හා අසතුටින් සිටින විට ඔබගේ ආකල්පය කවරක්ද? ඔබ හඬමින් සිටින හෝ බොහෝ දුකින් සිටින අවස්ථාවක් නොව මෙහිදී මා අදහස් කරන්නේ හුදෙක් ඔබ ඔබගේ එදිනෙදා කටයුතු කරමින් සිටින විට හෝ රූපවාහිනිය නරඹමින් සිටින විටදී හෝ එවැනි යම් කාර්යයක නිරත විටදී  දැනෙන"ෂිහ්, මට එච්චර හරි නෑ" යන හැඟීමයි. මෙහිදී අප මෙහි හිඳ සිටින අතර සුවිශාල අඳුරු වළාකුලක් අප වෙත ඇදී එන අතර "මට මේක ඕන නෑ" යි පවසමින් එ් වෙත අපගේ ආරක්ෂක පළිහ යොමු කිරීමක් වැනි දෙයක් ලෙස මේ පිළිබඳ සිතමුද? එය ඔබගේ අත්දැකීමේ කොටසක්ද? නිරතුරු හැඟෙන්නේ එම අයහපත් සිතිවිල්ල හුදෙක් එළැඹෙන අතර අපට එය කිසි විටෙකුදු අවශ්‍ය නොවන බවයි. එය කෙතරම් අමිහිරිද යනුවෙන් සිතමින් එ් දෙස අපගේ අවධානය‌ යොමු කරගෙන සිටින තාක් එය තව තවත් අයහපත් අතටම හැරේ. මෙහි පවත්නා ගැටලුව වනුයේ සිදුවන දේ අප විසින් අතිශයෝක්තියට නගමින් එ් හරහා දේවල් නිර්මාණය කිරීමයි - "මා" එක් පසෙකද අනෙක් පස අයහපත් චිත්ත ස්වභාවයද වශයෙනි. ඉන් පසු එය අහිමි වේය යන බියෙන් එයට ඇලී එය ග්‍රහණය කොටගෙන සිටීමට උත්සාහ කරමු. එය ඉක්ම යනු අතැයිද අපට අහිමි වනු ඇතැයිද යන බිය හේතුකොට අනාරක්ෂිත හැඟීමක් ඇතිවේ; යහපත් හැඟීමක් ඇතිවීමේ තත්ත්වය නවතාලන්නට යන්නෙමු. හුදෙක් ඉහිල්ව සතුටක් දැනීමේ තත්ත්වය භුක්ති විඳීම දුෂ්කර දෙයක් වනුයේ මෙකී අනාරක්ෂිත බව විසින් සැබැවින්ම එය විනාශ කරලන බැවිනි. මෙයට අමතරව "මං සතුටින් සිටින්න වටින කෙනෙක් නෙවෙයි" ආදී වශයෙන් වූ සියලු ආකාර සංකීර්ණතාද පැවතිය හැක.

එ් පිළිබඳ සිතා බැලීමට යන්නේ නම්, අප සියලු දෙනා නිරතුරු යම් තරමකට සතෙකු සේ වන්නේය යන කරුණ හාස්‍යජනකය. සුනඛයෙකු ආහාර ගන්නා ආකාරය බලන්න. ඌ තමා ගන්නා ආහාරය රස විඳින අතරම නිරතුරුවම වටපිට බැලීමක්ද සිදුවේ. එ් එම ආහාරය වෙනෙකෙකු විසින් උදුරාගනු ඇතැයි යන ආතතිමය හැඟීමෙනි. ඔබට කිසිදා හෝ එම හැඟීම ඇතිවී ඇත්ද? සතුටක් දැනෙන මුත් වෙනෙකෙකු එය හඳුනාගෙන අපගෙන් ඉවතට ගෙන යනු අතැයි බිය වෙමු. එය යම් ආකාරයක බිය ගෙන දෙන සුළු තත්ත්වයකි.

ඉන්පසු නැවතද "මා" හා උදාසීන හැඟීමක් පිළිබඳ ද්විත්වවාදී දෘෂ්ටි කෝණයක් තුළින් ඉස්මතුවන උදාසීන හැඟීමක්ද පවතී. අපි මෙම උදාසීන හැඟීම කිසිදු හැඟීමක් නොමැති තත්ත්වයක් දක්වා අතිශයෝක්තියට නංවන්නෙමු. මෙය අපට කිසි දෙයක් හෝ නොදැනෙන්නාක් මෙන් වූ හැඟීමක් සහිතව නිරන්තරයෙන් සිදුවේ. එමගින් අප සැබෑ ලෙසම ජීවතුන් අතර නොසිටින්නේය යන හැඟීමක් ඇති කරයි. මෙම උදාසීන හැඟීම මගින් සැබැවින්ම අපට තරමක අසතුටක් දැනීමට සලස්වයි. කිසිවක් නොදැනෙන හැඟීමට අපි සැබැවින්ම අකමැත්තෙමු.

සතුට, අසතුට හා උදාසීන යන සෑම හැකියාවක් සමගින්ම එය අතිශයෝක්තියට නංවමින් එය විශාල දෙයක් බවට පත් කරන්නට කරන්නට, එමගින් සැබැවින්ම අප වඩ වඩාත් අසතුටට පත් කරවයි. මෙලෙසින් අපගේ හැඟීම සම්බන්ධ ආකල්පය අපගේ ආකල්පයට බලපෑම උදෙසා ඉතා තීරණාත්මක එකක් වේ. අපි සතුට හෝ අසතුට හෝ උදාසීන හැඟීම තරමක් විශේෂ දෙයක් සේ දැකීමට යොමුවන අතර සාමාන්‍යයෙන් එය අපගෙන් වෙන්වූ දෙයක් සේ සලකමු.

ඔබ ඉදිරිපිට ආහාර දීසි තුනක් ඇතැයි සිතන්න. එකක් ඉතා අමිහිරිය, අනෙක මිහිරිය, අනෙක හුදෙක් සාමාන්‍ය තත්ත්වයේ එකකි; මේවා අපගේ අසතුට, සතුට හා උදාසීනත්ව හැඟීම් මෙනි. අපට මේවා දැනෙන විටදී එ්වා අප තුළට ගැනීමක් හෙවත් "කා දැමීමක්" මෙන් වේ. එක් අතකින්, එය අපට ආහාර නොගෙන සිටීමේ තෝරා ගැනීම සිදුකළ හැකි නමුත් "කිසිම හැඟීමක් නොමැත්තේ නම් හොඳ යැයි සිතෙනවා" වැනි හැඟීමක්ද සහිතව ඔබට සැබැවින්ම එය සිදුකළ නොහැකි තත්ත්වයක් මෙනි. එනමුත් එවැනි තත්ත්වයක අපට සජීවී බවක්ද නොහැඟේ. එ් අනුව එය අසතුටුදායක දෙයකි. අපට "මා" යන මෙම දෙය මෙහිද, හැඟීම මාගෙන් වෙන්ව එහිද වශයෙන් වූ මෙම ද්විත්වවාදී දෙය පවත්නේද යන්න පරීක්ෂාකර බැලිය හැක.

හුදෙක්ම එය සිදු කරන්න

අපගේ ආකල්පය පුහුණු කිරීමේදී කළ යුතුවන පළමු දෙය නම් "විශේෂයක් නෑ" යන ආකල්පය පවත්වාගෙන යාමයි. එය විශාල දෙයක් සේ නොදැනුනද සැබැවින්ම ඉතා ගැඹුරු දෙයකි. "මා හට දැන් දැනෙන දෙය සම්බන්ධ කිසිදු විශේෂත්වයක් නොමැත" - ජීවිතය ඉහළ පහළ ගමන් කරයි, ඇතැම් විට අපි යහපත් ආකල්පයකද, තවත් විටෙක අයහපත් ආකල්පයද තවත් ඇතැම් විටෙක කිසිදු දෙයක් සිදු නොවන තත්ත්වයකද පසු වෙමු. එහි විශ්මයට පත්වීමට තරම් දෙයක් නොමැති අතර, අප තුළ යම් ආකාරයක හැඟීම් පමණක් පැවතිය යුතු අතර අනෙක් හැඟීම් ඇතිවිය යුතු නොවන ආකාරයේ අප පිළිබඳ විශේෂත්වයක්ද නොමැත. ප්‍රධාන දෙය වනුයේ අපට දැනෙන ආකාරය කවරක් වුවද ජීවිතය නොකඩවා ඉදිරියට ගෙන යාමයි.

නිදසුනක් ලෙස ඔබට ඔබගේ දරුවන් රැකබලා ගන්නට සිදුව ඇත්නම්, ඔබගේ චිත්ත ස්වභාවය යහපත් වුවද, අයහපත් වුවද ඔබට එම කාර්යය සිදු කිරීමට සිදුවේ. ඔබට යහපත් හැඟීමක් ඇති වුවද, අයහපත් හැඟීමක් ඇති වුවද, ඔබ ඔබගේ මෝටර් රථය ධාවනය කරමින් සේවය සඳහා පිටව යයි. අප අප පිළිබඳවම හා අපට දේවල් දැනෙන ආකාරය පිළිබඳ අවධානය යොමු කරන්නට කරන්නට වඩ වඩාත් අසතුටටම පත් වන්නෙමු. කිසිවක් හෝ දැනීම නවතාලන බවක් මින් අදහස් නොවේ. මෙහි එන අදහස එය නොවේ. අපට දැනෙන දේ පිළිබඳ අප දැනුවත්ව සිටිය යුතු නමුත් එ් පිළිබඳ මහත් කලබලයක් ඇතිකරගත යුතුද නොවේ.

අසතුට තුළින් තමා මුළුමනින්ම යටපත් කරවනු ඇතැයි යන සිතිවිල්ල හේතුකොට අසතුටක් දැනීම කෙරෙහි ඇතැම්හූ මහත් සෙයින් බිය වෙති. යමෙකු මිය යන විටදී හෝ යම්කිසි අමිහිරි දෙයක් සිදුවන විටදී, එය තමාට දරා ගැනීමට නොහැකි දෙයක් වනු ඇතැයි බියෙන් අසතුටක් දැනීමෙන් ඔබට ඔබ ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වේ. එය යටි සිතෙන් ඇතිවන්නක් හෙයින් හැඟීම දැනුවත්ව වළකාලීමක් එමගින් සිදුවිය යුතු නොවේ. එය වූකලි ඇතුලු වීමට උත්සාහ කරන්නාවූ බාහිර දෙයක් සෙයින් අපට එය ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වන බවක් පෙනේ. අනෙක් අතින්, තමාට සතුටක් දැනීමට තරම් හිමිකමක් නොමැත්තේය යන සිතිවිල්ල ඇතැයි පෙනෙන අයද වෙති. ඇතැම් විට දේවල් යහපත් පරිදි සිදු වුවද තමා යහපත් අයෙකු නොවන බැවින් තමාට සතුට යනු හිමිවිය යුතු නොවන දෙයක් සේ ඔවුහූ සිතති. ඉනික්බිති උදාසීන හැඟීමකින් පමණක් නොසිටිය හැකි අයද ඇත. ඔවුන් හට නිරන්තරයෙන්ම සංගීතයට සවන් දීම වැනි දෙයකින් විනෝදාස්වාදයක් ලබාගැනීමට අවශ්‍ය වේ. එමගින් තමාට විනෝදාස්වාදයක් ලැබෙන අතර සතුටක්ද ලැබෙන බවක් ඔවුනට හැඟෙන බැවින් නිහඬතාවයේ උදාසීන බවට බිය වෙති. මෙලෙසින් ගත්කල එක් අතකින් අපි හැඟීම්වලට බිය වන්නෝ වෙමු. මක් නිසාද? හුදෙක් එ්වා මහත් කොට ගනිමින් එ්වාහි වැදගත්කම අප විසින් අතිශයෝක්තියට නංවන බැවිනි. එනමුදු, හැඟීම් යනු මුළුමනින්ම ජීවිතයේ සාමාන්‍ය කොටසක් පමණි; එ්වා යනු සෑම මොහොතක්ම ස්වභාවිකව අප විසින් අත් විඳින ආකාරයයි. එමගිනි අප හා වීඩියෝ කැමරාව අතර වෙනසක් ඇති කරනු ලබන්නේ. එ් අනුව එහි විශේෂත්වයක් නොමැත. එය සරල දෙයක් සේ ශ්‍රවණය වුවද, සරල දෙයක් නොවේ.

ජනේලය අසල සිටින වන පක්ෂියා පිළිබඳ නිදසුන

අපට අවශ්‍ය වනුයේ මෘදු සමබරතාවයකි. අපි සතුටින් සිටීමට වඩාත් ප්‍රිය කරන නමුත් එ් සමගම අප සතුව දැනටමත් පවත්නා යම් සතුටක් වේනම් එය විනාශ කර නොගැනීමේ අවශ්‍යතාවය සහිත හැගීමක්ද තවදුරටත් ඉස්මතු විය හැකි බැවින් අපි එහි ඇලී සිටිමින් එ් පිළිබඳ අනාරක්ෂිත හැඟීමකින් පසුවෙමු. අපගේ අත්දැකීමට අනුව, අප සතුව මේ අවස්ථාවේ පවත්නා සතුට ගෙවී යන්නක් බව දනිමු. ජීවිතයේ ස්වභාවයම ඉහළ පහළ යාමක් වන බැවින් එය අඛන්ඩව නොපවතී. මෙම කරුණ පිළිබඳ දැනුවත්ව සිටින්නේ නම්, වද වීමේ, දුක් වීමේ තේරුමක් නොමැත. එමගින් සතුට පවත්නා තාක් කල් එය භුක්ති විඳීමේ නිදහස අප වෙත ලබාදෙනු ලබයි.

මේ සම්බන්ධයෙන් ඇතැම් විට මා යොදාගන්නා සිත් ගන්නා සුළු නිදසුනක් ඇත. ඉතා පියකරු වන පක්ෂියෙකු අපගේ ජනෙල් පියන් පත මතට වසා සුළු වේලාවක් එහි රැඳී සිටින්නේ යැයි සිතන්න. මේ අවස්ථාවේදී අපට හුදෙක් එම පක්ෂියා‌ගේ පියකරු බව දැක සතුටු විය හැකි නමුත් ඌ වන සතෙකු බවත් නැවත ඉවතට පියඹා යනු ඇති බවත් දැන සිටින්නෙමු. ඌ අල්ලා කූඩුවක සිර කරන්නට උත්සාහ කළහොත් එමගින් එම පක්ෂියා මහත් සේ දුකට පත්වනු ඇත. අල්ලා ගැනීම සඳහා සිදුකරන කාර්යය අතරතුරදී පක්ෂියා බියට පත්ව නැවත කිසි දින මෙහි නොඑන පරිදි ඉවතට පියඹා යාමට උත්සාහ කරනු ඇත. එනමුදු, අපි හුදෙක් සන්සුන්ව එම පක්ෂියා එහි සිටින නිමේෂය තුළ උගේ පියකරු බව භුක්ති වින්දේ නම් කිසිවෙකු හෝ බියට හෝ අසතුටට පත් නොවන අතර ඇතැම් විට ඌ නැවතද එම ස්ථානයට එනු ඇත.

සතුටද බොහෝ දුරටම මෙයාකාර දෙයක් නොවන්නේද? එයද අපට සැබැවින්ම ප්‍රියමනාප පුද්ගලයන් මෙනි. ඔවුන් අප බැලීමට පැමිණ ආපසු යන්නට සූදානම් වන විටම "ඇයි ඔයා තව ටිකක් ඉන්නෙ නැත්තෙ?" යන ආකල්පය නිරන්තරයෙන්ම ඇතිවේ. "ඔයා ආයෙ එන්නෙ කවදාද?" යන්නද එ් හා බැඳුණු සිතිවිල්ලකි. එය අප විසින් අපගේ සතුට විනාශ කරගන්නා පොදු විධික්‍රමයයි.

මෙහි කිසිදු විශේෂත්වයක් නොමැත. පක්ෂියෙකු පැමිණ ජනේලයේ වසයි; මිතුරෙකු අප බලන්නට පැමිණේ; මෙහි කිසිදු විශේෂයක් නොමැත. හුදෙක් එය පවත්නා කාල සීමාව තුළ භුක්ති විඳින්න. මක් නිසාද, එය නිසැකවම අවසන් වනු ඇති බැවිනි. එ් අනුව ඔබ අපේක්ෂා කරන්නේ කවරක්ද? ඔව්, අපට සතුටින් සිටීමට අවශ්‍යය. අප අසතුටින් සිටින විටදී එය අප දැන් අත්දකින දෙයක් සේ පිළිගන්න. එහිද කිසිදු විශේෂයක් හෝ විශ්මයට කරුණක් නොමැත. එම අසතුටද ගෙවී යනු ඇත. ඔබ එය ඉවතට තල්ලු කිරීමට උත්සාහ කරන විටදී තත්ත්වය වඩාත් නරක අතට හැරේ.

එ් අනුව අපට අපගේ හැඟීම් විශ්ලේෂණය කරමින් අප සැබැවින්ම බියට පත්ව සිටින්නේ කවරකටද යන්න විමසා බැලිය හැක. මම අසතුටක් දැනීම පිළිබඳ බියට පත්ව සිටින්නෙම්ද? සතුට මට හිමි නොවන දෙයක් බැවින් සතුටු වීමට බියෙන් පසු වන්නෙම්ද? උදාසීන හැඟීමකදී කිසිවක් නොපවත්නා බැවින් එම හැඟීම කෙරෙහි බියෙන් පසු වන්නෙම්ද? අප බියෙන් සිටින්නේ කවරක් සම්බන්ධවද?

මම සංවේදනා පුහුණුව නම් වූ දෙයක් වැඩි දියුණු කළෙක්මි. එහි එන එක් අභ්‍යාසයක් මගින් පුද්ගලයන් හට හැඟීම් පිළිබඳ බිය මැඩ පැවැත්වීමට රුකුලක් ලබාදෙනු ලබයි. එය සරල දෙයකි; ඔබ ඔබගේ අත කිති කවා ඉන්පසු කොනිත්තයි, එයින්ද පසු එය අල්ලාගෙන සිටී. එහි එකක් මිහිරි හැඟීමක්ද, අනෙක එතරම් මිහිරි නොවන හැඟීමක්ද, තුන්වැන්න හුදෙක් උදාසීන හැඟීමක්ද වේ. එනමුදු, එ් කිසිවක හෝ සුවිශේෂත්වයක්ද නොමැත. එ්වා හුදෙක් හැඟීම් පමණි. අප විසින් ගොඩනගාගත යුතුවන ආකල්ප වර්ගයන්ද මෙයාකාරය. මම එතරම් යහපත් චිත්ත ස්වභාවයකින් නොසිටින්නේ නම් එහි අමුත්තක් නොමැත. විශේෂයක් නොමැත. එහිදී අයහපත් චිත්ත ස්වභාවයකින් සිටින්නේය යන කරුණ පිළිගනිමින් එය යහපත් අතට හරවා ගැනීමට කළ හැකි යමක් පවතී නම් එය සිදු කරමු. එසේ නොමැත්තේ නම්, එයට හුරු වෙමු. එ් සම්බන්ධයෙන් යමක් කිරීමට අවශ්‍යද නැත. හුදෙක් ඔබ කරමින් සිටින කාර්යයන්ම ඉදිරියට කරගෙන යන්න. එම හැඟීම අත් විඳින ආකාරය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පවත්නේ නම්, එ් සම්බන්ධ අපගේ ආකල්පය වෙනස් කිරීමේ වෙනත් විධික්‍රම සොයා බැලිය යුතුය.

මෙකී "විශේෂත්වයක් නොමැත" යන්න පළමු මට්ටමයි. මා හට හැඟෙන ආකාර‌යේ කිසිදු විශේෂත්වයක් නොමැත. මෙම හැඟීම්වලින් වෙන්වූ  හා මවිසින් ආරක්ෂා කළ යුතුවන "මමෙකු" නොමැත. ජීවිතයේ ස්වභාවය වනුයේම මෙම උන්නතාවනත හෙවත් ඉහළ පහළ යාමේ තත්ත්වයයි.

මා සම්බන්ධ කිසිදු විශේෂත්වයක් නොමැත

"විශේෂත්වයක් නොමැත" යන හැඟීම හා සම්බන්ධවම "මා සම්බන්ධව හා මා හට දැන් දැනෙන දෙයෙහිද කිසිදු විශේෂත්වයක් නොමැත" යන හැඟීමද පවතී. මෙමගින් බුදු දහම තුළ "තමා පෝෂණය කිරීම" නමැති මාතෘකාව ආමන්ත්‍රණය කෙරේ. අපි සියලු දේ තමා උත්කර්ෂයට නැගීම හෙවත් තමාම පෝෂණය කිරීමේ අකාරයෙන් අත් විඳින්නෙමු. මෙමගින් සැබෑ ලෙසම අරුත් ගැන්වෙනුයේ කවරක්ද? එමගින් අප පිළිබඳව පමණක් වූ සැලකිල්ලක් අදහස් කෙරේ. අපි අප පිළිබඳව හා අපට දැන් දැනෙන දෙය පිළිබඳව පමණක් අවධානය යොමු කරගෙන සිටින අතර අන් සියල්ල නොසලකා හරින්නෙමු: "අනුන්ට දැනෙන දෙය වැදගත් නැත. මම අසතුටින් සිටිමි" වශයෙනි.

නැවතද, මෙහිදී යොදාගත යුතුවන ප්‍රයෝගය වනුයේ අප හා අප සිතන දෙය තුළ කිසිදු විශේෂත්වයක් නොමැති බව සිතීමයි. "මා" වෙතට ඇලී සිටීම මගින් අපගේ සිත පටු වන්නට වන්නට, අපි වඩ වඩාත් අසතුටටම පත් වන්නෙමු. එය ඉතා තද මස් පිඩුවක් මෙනි. අපගේ සිත නිරතුරුවම "මා" යන හැඟීමෙහි ඇලී සිටින නමුදු, මෙම ග්‍රහලෝකයේ වාසය කරන්නාවූ බිලියන හතක් වූ මනුෂ්‍යයන්ද නොගිණිය හැකි සංඛ්‍යාවක් වූ සතුන්ද පිළිබඳ සිතා බලන්නේ නම්, අපට හැඟෙන දෙය වනුයේ අපගේ විශේෂත්වයක් නොමැත යන්නයි. සෑම අයෙකු හටම මේ මොහොතේ යමක් හැඟේ. ඇතැමෙකුට සතුටද, තවෙකෙකුට අසතුටද තවත් අයෙකුට (නිදා සිටින අවස්ථාවේදී මෙන්) උදාසීන හැඟීමක්ද දැනෙන අතර මේ සෑම පුද්ගලයෙකු සම්බන්ධවම තත්ත්වය නිරතුරුවම වෙනස් වේ. මෙයාකාරයෙන් නිරීක්ෂණය කරන විටදී මා හා මා හට දැන් දැනෙන දෙයෙහි කිසිදු විශේෂත්වයක් නොමැති බව වැටහේ.

එය ඔබ දැඩි වාහන තදබදයකට හසුවී සිටින අවස්ථාවක් මෙනි. එම වාහන තදබදයට හසුව සිටින අන් සියල්ලන් ඉතා සුන්දර, සතුටුදායක කාලයක් ගත කරන්නේ යැයි ඔබ සිතන්නේද? "මා, මා, මා මෙහි සිරවී සිටින අතර මින් මිදීමට නොහැකිව හරිම නීරස තත්ත්වයක සිටිනවා"යි සිතන්නට සිතන්නට අපගේ අසතුට වඩ වඩාත් දැඩි වේ. වාහන තදබදයට හසුව සිටින්නාවූ සියලු දෙනා සම්බන්ධව සිතන්නේ නම්, එමගින් ස්වයංක්‍රීයව ඔබගේ සිත වඩාත් ඉහිල්, සන්සුන් හා විවෘත එකක් බවට පත්වේ.

අද දින අප මෙහි එන විටදී අප ගමන් ගන්නා පැති වීදිය දිගේ සියලුම වාහන ගමන් කරන්නට වූ බැවින් වාහන ගමනාගමනය එම වීදියේ මුළුමනින්ම නැවතිණි. මෙම සියලු වාහන අපගේ විථියටද, අපගේ විථියෙන් පිටතටද වෙනත් විථි කරා ගමන් කරන්නට ගත් උත්සාහයේදී සියලු වාහන නැවතිණි. කිසිවෙකු හෝ අනෙකාට ගමන් කරන්නට ඉඩ නොදී තම වාහනය ඉදිරියට ඔබන්නට වූ බැවින් වාහන තදබදය නිර්මාණය වූ අතර, අප ඉදිරියේ තිබූ වාහනයේ සිටි පුද්ගලයා ඉදිරියට යා හැකිව තිබියදී පවා සිය ජංගම දුරකථනයෙන් කථා කරමින් සිටින්නට විය. ඔහු ඉදිරියට නොගිය බැවින්ද පසුපසින් වූ වාහනවල සිටි පුද්ගලයෝ තව තවත් කලබලයට පත් වන්නට වූහ. 

මේ සියල්ල මෙසේ සිදුවන තත්ත්වයක "අනේ මං වාහන තදබදයක හිර වෙලානෙ" යන සිතිවිල්ල පැන නොනැගි අතර, එය අප නරඹන ටෙලි නාට්‍යයක ස්වරූපයක් ඉසිළීය. "එ් වාහන කොහොමද මෙතනින් තමන්ගෙ පාර සුද්ධ කරගෙන ඉදිරියට යන්නෙ? තමුන්ගෙ පාර හොයා ගන්නෙ කොහොමද?" යන කුතුහලය තුළ මා හුදෙක් මා පිළිබඳ සිතන්නෙකු පමණක් නොවීය. මා මගේ ආකල්පය වෙනස් කරගෙන ඇත. මෙහි "මා" සම්බන්ධ එතරම් කලබලයක් සිදු නොවේ. "මං විශේෂයි. මං තමයි මේ වාහන තදබදයේ විශේෂ කෙනා" ආදී වශයෙන් "මා" පිළිබඳ කලබැගෑනියක් සිදු නොකරන විටදී එම අවස්ථාව අත්විඳින සම්පූර්ණ ස්වරූපයම වෙනස් වේ. එ් පිළිබඳ සිතන්න.

ස්වයං-පෝෂණ ගැටලුව

කියුනා ලාමා නම් වූ එක් මහා තිබ්බතීය ගුරුවරයෙකු විසින් ඉතා ප්‍රයෝජනවත් අභ්‍යාසයක් යෝජනා කරන ලදී. තමා එක් පසෙකද අන් සියලු දෙනා තවත් පසෙකද සිටින බවක් සිතා ගනිමින් එ් දෙස නිරීක්ෂකයෙකුගේ දෑසින් වෙනම පසෙක සිට බලන්නැයි ඔහු පැවසීය. මෙම පින්තූරයේ එක් පසෙක සිටින "මා" මෙන්ම අනෙක් පස සිටින සියලු දෙනාද අසතුටින් සිටිති. නොඑසේ නම්, ඔබ මෙන්ම අනෙක් අයද මෙම වාහන තදබදයට සිරවී සිටිති. දැන්, එවන් අපක්ෂපාතී නිරීක්ෂකයෙකු ලෙස නිරීක්ෂණය කරන විටදී වඩාත් වැදගත් වන්නේ කවුරුන්ද? සියල්ලන්ට වඩා ඉදිරියට යන්නට උත්සාහ කරන "මා" නමැති තනි පුද්ගලයාද, වාහන තදබදයට හසුවූ සමස්ත සෙනගද යන්න සිතා බලන්න.

පැහැදිලිවම වඩා විශාල සෙනග තනි පුද්ගලයෙකුට වඩා වැදගත් වේ. මෙමගින් අප නොවැදගත් අය යැයි අදහසක් ඉදිරිපත් නොකෙරේ. සැබැවින්ම, අප සියලු දෙනා කෙරෙහි සැලකිලිමත් වන්නේ නම් හා සොයා බලන්නේ නම්, අපද එ් "සියලු දෙනා" තුළට ඇතුළත් කෙරේ. ඉන් හුදෙක් අදහස් කෙරෙන්නේ විශේෂයෙන් අපගේ හැඟීම් සම්බන්ධයෙන් සලකා බලන කල මා අනෙක් සියල්ලන්ට වඩා විශේෂ අයෙකු නොවන බවයි.

එ් අනුව, ගැටලුව වනුයේ ස්වයං-පෝෂණය හෙවත් නිරන්තරයෙන්ම "මා, මා, මා ඉතා වැදගත්ය" යන හැඟීම පවත්වාගෙන යාමයි. අපි අසතුටින් සිටින විටදී මෙම වළාකුල අපට ඉහළින් ඇති අතර ඉන් පරිබාහිර "මමෙකු" ද සිටින බව සිතීම "මා" පිළිබඳ ස්වයං වැදගත්කම වේ. අප සතුටින් සිටින විටදීද එකම තැකීම වනුයේ "මා" පිළිබඳ පමණි. අපට වඩා විශාල සුනඛයෙකු පැමිණ අපගේ මස් කටුව වෙනතක ගෙන යාම අපට රුචි නොවේ.  තවත් විටෙක "මා, මා, මා හට කිසිවක් නොදැනේ. මා විනෝදාස්වාදයක්ද නොලබමි. මා විනෝදාස්වාදය ලැබිය යුතුය" යන හැඟීම ඇතිවේ.

අනුන් පෝෂණය කිරීම සඳහා විවෘත වීම

ගැටලුව වනුයේ මෙකී සීමිත "මා" හා මා වෙත දැනෙන දෙය පිළිබඳ අවධානය යොමු කරගෙන සිටින ස්වයං ගිලීමයි. අප විසින් කළ යුතු වන්නේ මෙම දෘෂ්ටි කෝණය වෙනස් කරමින් සියලු දෙනා පිළිබඳව සිතමින් සියලු දෙනාට සම්බන්ධ අභිප්‍රායක් පවත්වාගෙන යාමයි. "සියලු දෙනාම මෙම වාහන තදබදයෙන් මිදේවා" වශයෙනි. එයාකාරයෙන් සිතන්නේ නම්, මෙම වාහන තදබදයෙන් අපි තනිවම මිදෙන්නේ කෙසේද? ඉවත් කළ යුතු වන්නේ වාහන තදබදය නම් එම වාහනවල සිටින අප සියලු දෙනා එයට අයත් වේ. ඔබගේ සැලකිල්ල හා සිතිවිල්ල තුළට සියලු දෙනා අන්තර්ගතවන මෙතරම් විශාල පරිමාණයක් වේනම්, අපි වඩ වඩාත් සන්සුන් වූවෝ වෙමු. වාහන තදබදයට හසුවීම තුළ එ් අනුව අපි බොහෝ සෙයින් කලබලයට හෝ හානියට පත් වූවන් නොවෙමු. අවසානයේ එම වාහන තදබදයෙන් මිදුනු කල, "අපූරුයි, මං එළියට පැන ගත්තා"යි නොසිතන්න.  එ් වෙනුවට, "හරිම අපූරුයි. හැම දෙනාටම තමුන්ගෙ ගමන යන්න ලැබුණා" යන ආකාරයෙන් සිතන්න. එවිට, යමෙකු විසින් අපගේ මස් කට්ට උදුරා ගනු ඇතැයි යන ආකල්පයෙන් එම සතුට ග්‍රහණය කරගෙන සිටින ස්වභාවයක් නොපවතිනු ඇත.

මෙයයි මූලිකවම අප විසින් කරුණාව යනුවෙන් හඳුන්වන්නේ. එනම් අන්‍යයන්ගේ අසතුට පිළිබඳවද සිතමින් අපගේ අසතුට පිළිබඳ සිතන්නාක් මෙන්ම අන්‍යයන්ගේ අසතුට පිළිබඳවද සැලකිලිමත් වෙමින් එම අසතුට තුළ විශේෂයක් නොමැති වුවද, ඉන් සියලු දෙනා හට මිදීම ලබාදෙනු පිණිස වූ වගකීම ගැනීමයි. ලොව සිදුවන සියලු භයානක, අප්‍රසන්න දේවල් පිළිබඳව සිතමින් මානසික අවපාතයකට ඇද වැටීමෙන් පලක් නැත. මෙය ස්වභාවික හා නිරතුරු සිදුවන දෙයකි; එනමුදු, සියලු දෙනා සතුටින් සිටින්නේ නම් එය වඩා යහපත් නොවේද?

"මම සියලු දෙනා පිළිබඳ සැලකිලිමත් වෙමින් සියලු දෙනා ඔවුන්ගේ දුකින් මිදේවායි පතමි" යි සිතමින් ස්වේච්ඡාවෙන්ම යම් වගකීමක් ගන්නා විටදී අපි සුවිශාල දිරියක් හා ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්නෙමු. මෙය පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් බොහෝ විට කථා කරන දෙයකි. අපි අප පිළිබඳව හා අපගේ සතුට පිළිබඳව පමණක් සිතන්නේ නම්, සැබැවින්ම බොහෝ දුර්වලයන් වන්නෙමු. එනමුදු, අන් සියලු දෙනා හා ඔවුන්ගේ දුක පිළිබඳවද සිතීම සඳහා සුවිශාල ශක්තියක් අවශ්‍ය වේ. එය කිසි ලෙසකිනුදු දුර්වලත්වයේ ලකුණක් නොව නොඇදහිය හැකි තරම් වූ ආත්ම විශ්වාසයක් ඇති කරවන්නාවූ ශක්තිමත් බවේ ලකුණකි. මෙම ධනාත්මක ආකල්පය මගින් ස්වයංක්‍රීයව සතුට දනවනු ලබයි. මෙහි "අනේ අසරණ මා මේ වාහන තදබදයට හිරවෙලානෙ" යන සමස්තය නොමැත. එ් වෙනුවට වාහන තදබදයේ සිරවී සිටින සියලු දෙනා ඉන් මිදේවාය යන පැතුමින් එ් සියලු දෙනා පිළිබඳව සිතන්නෙමු. වාහන තදබදයට හසුවී සිටින සියලු දෙනා පිළිබඳ සිතීම වඩාත් ධෛර්ය සම්පන්න එකක් වන අතර, එ් අනුව අපි අප පිළිබඳවම පවා වඩාත් ධනාත්මක හැඟීම් ඇතිකර ගන්නෙමු. අපි දුර්වලයන් හෝ වාහන තදබදයෙන් පීඩාවට පත් වූවන් නොවෙමු; අපි ප්‍රබලයන් වෙමු.

හුදෙක් අප පිළිබඳවම පමණක් නොව වාහන තදබදයට හසුව සිටින අන්‍යයන් පිළිබඳවද සිතන්නේ නම් එමගින් වක්‍රව සෙසු අයටද උපකාරයක් සැලසේ. නිදසුනක් ලෙස, අපි කළහකාරීව නිරන්තරයෙන් අපගේ වාහනයේ නලාව නාද නොකරනු ඇත (කිසිවෙකුට ඉදිරියට යාමට නොහැකි තැනෙක එසේ කිරීමෙන්ද පලක් නැත). අනෙක් පස විථියෙන් පැමිණෙන රථය ක්‍රම ක්‍රමයෙන් සමීපයට පැමිණ අප පසුකර යන විටදී අපගේ රියේ වීදුරුව ඇර එහි රියැදුරු අමතා අසභ්‍ය වදනින් බැණ වැදීම සිදු නොකරන්නෙමු. එවිට අප දෙදෙනාටම සන්සුන්, ඉහිල් බවක් දැනේ. අපට පමණ ඉක්මවූ බලපෑමක් ඉවසා සිටිය නොහැක.

මෙය වූකලි අපගේ ආකල්පය, ස්වභාවිකව ඇතිවන ඉහළ පහළ යාම් අත්විඳින ආකාරයේ ගුණාත්මකභාවය වෙනස් කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ සරල උදාහරණයකි. එ් සියල්ල සඳහා අවශ්‍ය වනුයේ පුහුණුව හා අප බොහෝ විශේෂ වූ පුද්ගලයන්ය හා අපට දැනෙන දෙයද ඉතා විශේෂ වූ දෙයකි යන හැඟීම මැඩ පවත්වමින් සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජනය ගැනීමේ යම් දිරියක් පමණි.

කෝපය සම්බන්ධයෙන් කටයුතු කිරීම

අප වාහන තදබදයට හසුව සිටින අතර යමෙකු විසින් අපගේ මග කපාගෙන ඉදිරියට යන්නේ නම්, අපට පාලනය කරගත නොහැකි ක්ෂණික කෝපයක් ඇතිවිය හැක. අපගේ මෙම ආකල්පය වෙනස් කිරීමේ තවත් විධියක් වනුයේ එම රියැදුරාගේ දරුවා රෝගී තත්ත්වයෙන් පසුවන අතර එ් අනුව ඔහු ආරෝග්‍ය ශාලාව කරා දරුවා ගෙන යනවා විය හැකිය ආදී වශයෙන් මෙම තත්ත්වය ඇති කිරීමට හේතු විය හැකි විවිධ හේතු සියල්ල පිළිබඳ සිතා බැලීමයි. මෙය අප තුළ බො‌හෝ සන්සුන් හැඟීමක් ඇති වීමට උපකාරී වේ.

එනමුදු සැලකිය යුතු දෙය නම්, මෙකී මූලික කෝප පුළිඟු සැම විටෙකම නොකඩවා ක්‍රියාත්මක වීමයි. කෝපයට අදාළ ප්‍රවණතාවයන් හා පුරුදු මැඩ පැවැත්වීම බොහෝ සෙයින් දීර්ඝ ක්‍රියාවලියකි. මේ උදාහරණයේදී මෙන් එසේ වාහනය කපාගෙන යන පුද්ගලයා හට එසේ ගමන් කිරීම සඳහා වූ වලංගු හේතුවක් ඇත්තා විය හැක්කේය ඈ වශයෙන් සිතීමෙන් අපගේ ආකල්පය වෙනස් කිරීම හුදෙක් කෝපය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තාවකාලික විධික්‍රමයක් පමණි. අප විසින් අපවම හා සෙසු පුද්ගලයන්ද වටහා ගනු ලබන ආකාරයට අදාළ වන පරිදි කෝපයේ මුල් උදුරා දමනු සඳහා අපට තව තවත් ගැඹුරට යාමට සිදුවේ.

ජීවිතයේ සිදුවන එක් කුඩා සිදුවීමක් තුළින් පමණක් අප හා අන්‍යයන් හඳුනා ගැනීමට පෙළඹෙමු. නිදසුනක් ලෙස, මාගේ වාහනය කපාගෙන ඉදිරියට යාමට උත්සාහ කරන මේ පුද්ගලයා අප්‍රසන්න පුද්ගලයෙකු ලෙස දකින අතර එම පුද්ගලයා පිළිබඳ අප සිතන එකම ආකාරය එය වේ. එ් අනුව, අපට සම්බන්ධව ඔහුගේ ජීවිතයේ සිදුවන යම් තනි සිදුවීමක් තුළින් පමණක් එම පුද්ගලයා පිළිබඳ අනන්‍යතාවයක් ගොඩ නගන්නෙමු. අපට අප පිළිබඳවම පවත්නා අනන්‍යතාවය මෙන් එම පුද්ගලයා පිළිබඳවද දෘඪ අනන්‍යතාවයක් ආරෝපණය කරන්නෙමු. එ් අනුව, කෝපයට පත් මෙකී දෘඪ "මා" මෙහි සිටී.

ඔවුන් හෝ මා හෝ කිසිවක් සමගින් හෝ අනන්‍ය නොකරන ඉමක් දක්වා උත්සාහයෙන් මෙය ලිහිල් කරගත යුතුය. එනමුත් මෙය ගැඹුරු හා දීර්ඝ ක්‍රියාවලියකි. යමෙකුගේ නිශ්චල ඡායාරූපයක් පිළිබඳ සිතන්න. එය වූකලි එම පුද්ගලයාගේ එක් තනි අවස්ථාවක් විනා ඔහු පිළිබඳ සියල්ල නොවේ. එ් අනුව, අප විසින් අප, අපගේ ජීවිතය හා අනෙකුත් පුද්ගලයන් පිළිබඳවද නිශ්චල ඡායාරූප ක්‍රමයට දැකීමෙන් වැළකිය යුතුය. සියල්ල නිරතුරු වෙනස් වේ. දේවල් පිළිබඳ අපගේ රැවටිලිකාර දර්ශනය ලිහිල් කළ පසු, එයට හුරු විය යුතුවේ. මක් නිසාද, ප්‍රවණතාවය පවත්නේ නිරන්තරයෙන්ම ලිහිල් වීමට වඩා තද වීමේ දිශාවට වන බැවිනි. අවසානයේදී එකී කෝපයේ හෝ ඊර්ෂ්‍යාවේ ‌හෝ වෙනත් කාරණයට අදාළ එකී තද බව ඇති නොවීමේ පූර්ණ හැකියාවක් ඇතිවේ.

සතුටු වීමේ කිසිදු වරදක් නොමැත

අපගේ හැඟීම් හෝ අප තුළින් කිසිදු විශේෂත්වයක් නොදකිමින් ස්ථාවර, සීමිත අනන්‍යතාවයන් අපද ඇතුළත්ව කිසිදු අයෙකු සම්බන්ධයෙන් ප්‍රක්ෂේපණය නොකිරීමේ මෙම පුහුණුව අපගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමට උපකාරී වේ. දුෂ්කර අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා පහසු කාර්යයක් වන බැවින් ජීවිතය බරපතල අරගලයක් නොවේ. එ් අනුව අපි වඩාත් භාවමය සමතුලිතභාවයක් සහිත වඩාත් ප්‍රීතිමත් අය වෙමු.

අන්‍යයන් පිළිබඳව හා අප විසින් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ සිතීම වඩා විශාල අරමුණක් වේ. මා පවුලක සාමාජිකයෙකු නම් හා මා හට දරුවන් සිටී නම්ද, අපට මිතුරන් හා සහෝදර සේවක මහතුන්ද සිටීනම්, අප නිරන්තරයෙන් අයහපත් චිත්ත ස්වභාවයකින් සිටිමින් "අනේ අසරණ මා" යන සිතිවිල්ලෙන් සිටී නම්, අප ඔවුන්ට කිසිදු උපකාරයක් කිරීමට නොහැකි තරම් දුර්වල තත්ත්වයක සිටින අතර  එමගින් ඔවුන්ද අසතුටට පත් කරයි.  අපගේ ගති ස්වභාවයන් අන්‍යයන් කෙරෙහිද, අපගේ පවුලේ සාමාජිකයන් කෙරෙහිද ඈ වශයෙන් බලපාන්නාවූ බැවින් අප විසින් අපගේ මානසික ස්වභාවයන් පිළිබඳ වඩාත් ධනාත්මකව කටයුතු කළ යුතු වේ. එය අපගේ දියුණුව පිණිස කටයුතු කිරීමට පාදක වන තවත් හේතුවකි.

සතුට සඳහා වූ පෙළඹීම ජීව විද්‍යාත්මක දෙයක් වන අතර සතුටු වීමෙහි කිසිදු වරදක් නොමැති අතර අප විසින් සතුට අත්පත් කරගැනීමට උත්සාහ කළ යුතුය. එනමුත් එය ලද විටදී, එය ගෙවී යන බව හා එ් අනුව එය තමා සතුව පවත්නා විටදී භුක්ති විඳිය යුතු බවට වූ එහි ස්වභාවය හඳුනාගත යුතුවේ. එ් පිළිබඳ සන්සුන් මනසකින් කටයුතු කරන්නට කරන්නට, අප සතුට භුක්ති විඳින වාර ගණනද වැඩිවේ. ඇතැම් විට අපට අසතුටක් දැනිය හැකි නමුදු, එයට කම් නැත. අන් කවරක් අපේක්ෂා කරන්නද? එහි කිසිදු බරපතල තත්ත්වයක් හෝ විශේෂත්වයක් හෝ නොමැත.

සිදුවන දෙය සම්බන්ධ කිසිදු විශේෂත්වයක් නොමැත්තේය යනුවෙන් සිතන විටදී, එයමද වඩාත් සතුටු වීමේ වඩාත් සන්සුන් විධික්‍රමයක් වේ. මෙහි අදහස නම් අප කැළඹිල්ලට පත්ව හෝ වද වෙමින් නොසිටින බැවින් "මා නිරන්තරයෙන්ම සතුටින් සිටිය යුතුයි; මා නිරන්තරයෙන්ම විනෝද විය යුතුයි; මා හට අවශ්‍ය පරිදි නිරන්තරයෙන් සියලු කටයුතු සිදුවිය යුතුයි" යන නිරන්තර නියුරෝසික පෙළඹීම නොපවත්නා බවයි. මෙයාකාරයෙන් සිතීම සැබැවින්ම අප්‍රසන්න දෙයකි. අප පෙරදී ප්‍රකාශ කළ දේ සිහියට නගන්න. සතුටින් සිටීම හා ඔබ කරන කාර්යය අවශ්‍යයෙන්ම එකිනෙක අනුගත විය යුතු නොවේ. විවිධ දිනවල එකම කාර්යය තුළින් සතුටක්ද, අසතුටක්ද, උදාසීන හැඟීමක්ද ඇතිවිය හැක. එය ඔබගේ අවධානය යොමුව ඇති දෙය හා සම්බන්ද කරුණක් පමණි.

නිදසුනක් ඉදිරිපත් කරමි. මාගේ දන්ත වෛද්‍යවරයා යහපත් පුදගලයෙකු වන අතර අප අතර පවත්නා සම්බන්ධයද ඉතා මිත්‍රශීලී එකක් වන අතර, අප නිරතුරු විහිළු තහළුවෙන් ඇසුරු කරන බැවින් මාගේ දන්ත වෛද්‍යවරයා වෙත යාම මා හට සතුටට කරුණකි. එය සතුටට කරුණක් වනුයේ "මගේ දත විදින්න වෙයි, අනෙකක් කරන්න වෙයි. එ් නිසා මං ඉන්නෙ සිතේ කැළඹිල්ලෙන්" යන සිතිවිල්ල තුළට අවධානය යොමු කරගෙන නොසිටින බැවිනි. එතුළ කිසිදු සාංකාවක් නොමැත. "බොහොම හොඳයි, මට හෙට මගේ යාළුවා හම්බ වෙන්න පුළුවන්" යන සතුටිනි මා එදෙස බලන්නේ.

මෙය පවසන විටදී මා තරමක් අමුතු පුද්ගලයෙකුය යන හැඟීමක් ඔබට ඇතිවිය හැක. එනමුත් මා වරක් දත් මුල් ශල්‍යකර්මයකට සහභාගි වූ අතර ඉන් බොහෝ සතුටටද පත් වීමි. මාගේ මුව පුළුල්ව විවරව තිබූ අතර, වෛද්‍යවරු තව තවත් උපකරණ එතුළට යොමු කරන්නට විය.  ඔවුන් තව තවත් කොපමණ උපකරණ ඇතුළු කරනු ඇත්තේද යන සිතිවිල්ලත් සමගින් මා හට සිනහ නැගෙන්නට විය. අදාළ ප්‍රදේශය මුළුමනින්ම නිර්වින්දනය කර තිබූ බැවින් මා හට කිසිවක් හෝ නොදැනිනි.

නිර්වින්දන එන්නත්කරණයේදී වේදනාවක් ඇති වුවද කම් නැත. එම එන්නත ලබා නොගෙන දත් මුල් ශල්‍යකර්මයේදී විනාඩි 30ක් පුරා වේදනා විඳින්නේද, එන්නත ලබාගැනීමේදී තත්පර ගණනක් පමණක් ඇතිවන වේදනාව ඉවසා සිටින්නේද යන්න තෝරාගැනීමට සිදුවේ. වේදනා ඇති වුවද, එය ඇති වන්නේ හුදෙක් කෙටි කාලයකට පමණක් බැවින් එම එන්නත සතුටින් ලබා ගන්නෙමු. 

සියල්ල අපගේ ආකල්පය මත රඳා පවතී. මෙයයි ආකල්ප පුහුණුව යනු. එය ක්‍රියාත්මක වී අපගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි වර්ධනය කරයි. අපට දත් මුල් ශල්‍ය කර්මයක් අවශ්‍ය නම්, එය හිංසාකාරී ලෙස ලබා ගන්නේද, නැතහොත් එතරම් දිගු වේදනාවකින් තොරව ලබා ගන්නේද? අපට එය අත් විඳීමට සිදුවේ. මෙහි තෝරා ගැනීමක් නොමැත. එ් අනුව, එය හැකිතාක් දුරට යහපත් අත්දැකීමක් බවට පෙරළාගත යුතුය. මෙයයි එ් පසුපස පවත්නා මූලධර්මය.

සාරාංශය

තමා වෙත ගැටලු හා දුක් ඇතිවේවාය යන පැතුම සහිතව කිසිවෙකු හෝ උදෑසන අවදි නොවේ; අප කරන සියලු කාර්යයන් අප වෙත වඩ වඩාත් සතුට කැඳවීම අරමුණු කොට සිදු කරනු ලබයි. එසේ වුවද, මෙම මායාකාරී අරමුණ කිසි විටෙකුදු සමීපයට එන බවක් නොපෙනේ. අප පිළිබඳවම අවධානය නාභිගත කරගනිමින් හා අප කවුරුන්ද යන කරුණ, අප කරන කාර්යය හා අපට දැනෙන දේ පිළිබඳ වැදගත්කම අතිශයෝක්තියට නගමින් අපි එක්කෝ අප සතු සතුට භුක්ති විඳීමට අපොහොසත් වන්නෙමු, නොඑසේ නම් අපට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පිළිබඳ සිතිවිල්ලෙහි ගැලී සිටිමු. අන්‍යයන් හා ඔවුන්ගේ හැඟීම් වැඩියෙන් ඇතුළත් කරගන්නා ආකල්පයක් පුහුණු කරගැනීම මගින් අප සියලු දෙනාට මුහුණ දීමට සිදුවන උස් පහත් තත්ත්වයන් වඩාත් ඉහිල්ව හෙවත් සන්සුන්ව හා සතුටින් විඳ දරා ගැනීමේ දොර විවර කරගනිමු.

Top