සමාලෝචනය
එදිනෙදා ජීවිතයේ අපගේ අත්දැකීම වන ආකල්ප පුහුණුවේදී හෝ චිත්ත පුහුණුවේදී කටයුතු කරන්නේ කවරක් සම්බන්ධවද යන්න විමසා බැලුවෙමු. අපි අපගේ ජීවිත ගතකරන අතර එක් එක් මොහොත පෞද්ගලිකවම අත් විඳිමු. මුහුණු පොතේ හෝ ට්විටර් පිටුවේ සිදු කරන සියලු දේ විකාශනය කළද එය අත් විඳින්නේද අපම පමණි.
වර්තමානයේ බොහෝ පුද්ගලයන් කෙටි පණිවිඩ යැවීමට හා සිය හැඟීම් හා කටයුතු මුහුණු පොතේ හා ට්විටර් පිටුවට යොමු කිරීමට ඇබ්බැහි වී ඇති තරම්ය. මෙම කරුණු වෙනයම් අයෙකුගේ එදිනෙදා ජීවිතය ඇසුරින් කියවීම හා අපගේ ජීවිතය ඇසුරින් කියවීම අතර පවත්නා වෙනස කවරක්ද? විශේෂයෙන් අත්දැකීම ඉතා සුළු වචන සංඛ්‍යාවක් තුළින් ඉදිරිපත් කෙරෙන විටදී පැහැදිලිවම අපගේ පෞද්ගලික ජීවන අත්දැකීම් හා වෙනයම් අයෙකුගේ ජීවන අත්දැකීම් අතර වෙනසක් පවතී.
වෙනත් පුද්ගලයන් හා ඔවුන්ගේ ජීවිතවල සිදුවන දේ සම්බන්ධයෙන් අප තුළ සහකම්පනයක් ඇතිවිය හැකි නමුදු එය කිසි සේත් අප විසින් පෞද්ගලිකවම අත්විඳින දෙයින් ඇතිවන සතුට, හෝ අසතුට හෝ උදාසීන හැඟීම්මද නොවේ. වඩාත් මූලික මට්ටමේදී අපට එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමට සිදුවනුයේ මෙම තත්ත්වය සමගිනි; ඇතැම් විට අපට සතුටක්ද, තවත් විටෙක අසතුටක්ද දැනේ. තවත් විටෙක කිසිවක් හෝ නොදැනෙන්නාක් බඳු තත්ත්වයක්ද පවතී. අප නිරතුරුවම සතුටින් සිටීමට කැමැත්තේය යන කරුණ කෙසේ වුවද, අපගේ මානසික ස්වභාවය ඉහළ පහළ යන අතර එය අවශ්‍යයෙන්ම අප විසින් සිදුකරන කාර්යය හා අනුගතවම ගමන් කරන බවක් නොපෙනේ. බොහෝ විට අපට අපගේ මානසික ස්වභාවයන් කෙරෙහි එතරම් පාලනයක් පවත්වාගත හැකි බවක්ද නොපෙනේ. ආකල්ප පුහුණුව මගින් ජීවිතයේ එක් එක් අවස්ථා පසුකර යමින් අපට සිදුවන හා අප විසින් සිදු කරන දේවල් අත්දකින විටදී එ් එක් එක් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නා ආකාරය විමසා බලමු.
ජීවිතය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය විෂයයෙහි ඉතා වැදගත් වන ප්‍රධාන කරුණු දෙකක් විමසා බැලුවෙමු. අපි අපට දැනෙන දේහි වැදගත්කමද, අපගේම වැදගත්කමද අතිශයෝක්තියට නංවන්නෙමු. නිදසුනක් ලෙස, අසතුටක් දැනීමේදී එ් පිළිබඳ මහත් කලබලයකට පත්වන අතර එ් හේතුවෙන්ම තත්ත්වය වඩාත් අයහපත් අතට හැරේ.
අප සතුටින් සිටින විට එ් පිළිබඳ අනාරක්ෂිත හැඟීමෙන් පසුවන බැවින්ම එම සතුට විනාශ වේ. සෑම විටෙකම විනෝදාස්වාදය ලැබිය යුතුය යන හැඟීමක් පවත්නා බැවින් උදාසීන හැඟීමක් ඇතිවන විටදීද චිත්ත විප්‍රකාරයක් ඇතිවේ. සන්සුන් හා සුව පහසු හැඟීමක් ඇතිවීමෙන්ද තෘප්තියට පත් නොවන අතර, අපට රූපවාහිනිය හෝ සංගීතය හෝ එයාකාරයේ දෙයක් මගින් සෑම විටකම ක්‍රියාත්මක යම් කිසිවක් අවශ්‍ය වේ. නිරන්තරයෙන් ජීවත් වන බවට හැඟීමක් ලබාදෙනු පිණිස යම් ආකාරයක උත්තේජනයක් සෑම කල්හිම අවශ්‍ය වේ.
නිරතුරුවම රූපවාහිනිය ක්‍රියාත්මකව පවතිද්දී නින්දට යන මාගේ නැන්දා කෙනෙකු ඇත. සැබැවින්ම ඇය දවසේ පැය විසි හතර පුරා එය ක්‍රියාත්මකව තබා ගනී. ඇයට රාත්‍රී කාලයේ මොහොතකට ඇහැරුණ හොත් එවිටද රූපවාහිනිය ක්‍රියාත්මකව පවතින බැවින් ඇය එයට කැමති බව ඇය පවසයි. ඇය මුළුමනින්ම නිශ්ශබ්දතාවයට බියවී සිටින්නියකි. එය තරමක් ආගන්තුක ස්වභාවයක් පමණක් නොව මට හැඟෙන පරිදි නම් දුක්ඛිත තත්ත්වයක්ද වේ.
මා හට හැඟෙන දෙයෙහි කිසිදු විශේෂත්වයක් නොමැත
ජීවිතයේ ඇතිවන ඉහළ නැගීම් හා පහළ බැසීම් පිළිබඳ අපගේ ආකල්පය වැඩිදියුණු කරගනු පිණිස අප විසින් වටහාගත යුතුවන පළමු දෙය නම් එහි කිසිදු විශේෂත්වයක් නොමැත යන්නයි. විටෙක අපට සතුටක් නොදැනෙන්නේය හා තවත් විටෙක තත්ත්වය යහපත්ය යන්නක් දැනෙන්නේය සහ තවත් විටෙක සන්සුන් හා නිහඬතාවයක් දැනෙන්නේය යන කාරණයෙහි කිසිදු විශේෂත්වයක් නොමැත. මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයකි. එය සාගරයේ රළ මෙනි. ඇතැම් විට එය ඉහළ නගින අතර ඇතැම් විටෙක ඔබ එම රළ හරහා ඔරුවෙහි නැග යන අතරම තවත් විටෙක සාගරය සම්පූර්ණයෙන්ම සන්සුන් වේ. එය හුදෙක් සාගරයේ ස්වභාවය විනා කලබල වීමට තරම් දෙයක් නොවේ. ඇතැම් විටෙක සුවිශාල, කැළඹිලිකාරී තරංග නංවන්නාවූ මහා කුණාටුවක් හැමිය හැක; එනමුත්, සමස්ත සාගරය පත්ලේ සිට මතුපිට දක්වා ඔබගේ සිතිවිලි යොමු කිරීමේදී සාගරය පත්ලෙහි එවැනි කැළඹිල්ලක් ඇති නොවන බව පෙනේ. එය වූකලි කාලගුණය වැනි බොහෝ හේතු හා තත්ත්වයන්හි ප්‍රතිඵලයක් වශයෙන් මතුපිට දිස් වන්නාවූ දෙයක් පමණි. එහි විශ්මයට පත්වීමට තරම් දෙයක් නොමැත.
අපගේ සිත්ද මෙම සාගරය මෙනි. මෙයාකාරයෙන් සිතිවිලි හැඩගස්වා ගැනීම ප්‍රයෝජනවත්ය. එනම්, මතුපිටින් සතුට, අසතුට, මේ හැඟීම, එ් හැඟීම ආදිය ඇතිවිය හැකි නමුත් ගැඹුරෙහි සත්‍ය වශයෙන්ම අප එ්වායින් කැළඹිල්ලට පත් නොවන්නේය යනුවෙන් දැකීමයි. නිරන්තරයෙන් වඩාත් සන්සුන් හා ප්‍රීතිමත් චිත්ත ස්වභාවයක් පැවතීම කුණාටුවට වඩා යහපත් වන බැවින්, මෙහිදී එවන් චිත්ත ස්වභාවයක් පවත්වාගෙන යාමට උත්සාහ නොකළ යුතු බවක් මෙයින් අදහස් නොවේ. එනමුදු අන්තගාමී භාවයන් හා හැඟීම් නමැති කුණාටුව හමන විටදී, එය චණ්ඩ මාරුතයක් බවට හරවාගත යුතු නොවේ. කළ යුත්තේ එහි සැබෑ ස්වභාවයට අනුව එ් හා ගනුදෙනු කිරීමයි.
බොහෝ අය විසින් බෞද්ධ විධික්‍රම පුහුණු කරන අතර වසර ගණනාවක් ගතවන විටදී එතරම් කෝපයට හෝ ඊර්ෂ්‍යාවට පත් නොවීම, අන්‍යයන් වෙත අප්‍රසන්න නොවීම ආදී වශයෙන් එහි ප්‍රතිඵල අත් විඳිති. ඉන්පසු, වසර බොහෝ ගණනාවක් ගතවූ තැන ඔවුනට බොහෝ කෝපයට පත්වන, හෝ ආදර සම්බන්ධතාවයක පැටලෙන හා අතිශයින් ඇලීම් හා භාවමය කැළඹිලි සහිත ජවනිකාවක් අත් විඳින්නට සිදුවන විටදී ඔවුහූ ඉන් අධෛර්යයට පත් වෙති. අපගේ නැඹුරුතාවයන් හා පුරුදු ඉතා ගැඹුරින් අප තුළ මුල් බැස ඇති අතර එ්වා මැඩ පැවැත්වීම සඳහා බොහෝ කාලයක් ගතවන අතර ඉමහත් උත්සාහයක්ද ගත යුතුවන බැවින් "විශේෂත්වයක් නොමැත" යන සමස්ත ප්‍රවේශයම ඔවුන් විසින් අමතක කිරීම මෙම අධෛර්යයට පත් වීමේ මූලයයි. අපට එ් පිළිබඳ තාවකාලිකව වගබලාගත හැකි නමුත් අප කෝපයට පත්වන්නේ මන්ද ඈ ලෙස වූ කරුණුවල මූලයටම ගමන් කරන්නේ නම් විනා එය කලින් කලට නැවත නැවතද සිදුවනු ඇත. එ් අනුව එය නැවත සිදුවන විටදී "විශේෂත්වයක් නොමැත" යනුවෙන් සිතන බවට වගබලා ගැනීමට සිදුවේ. අපි තවමත් අර්හත්ව ඵලයට පත් වූවන් නොවන බැවින් ඇල්ම හා කෝපය නැවත නැවතද ඉස්මතුවනු ඇත. ඉන් මහත් කලබලයකට පත් වන්නේ නම් එතුළ අප සිරවනු ඇත.
අප අත්දකින හෝ අපට දැනෙන දෙයෙහි කිසිදු විශේෂත්වයක් නොමැති බව වටහාගෙන එ්ත්තු ගන්නේ නම්, අසාමාන්‍ය විදර්ශනාවක් වශයෙන් වේවා සිදුවන ඕනෑම දෙයකදී එ් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි. අඳුරේදී මේසයේ පය වැදී වේදනාවට පත්වේ. එහිදී ඔබ අපේක්ෂා කරන්නේ කවරක්ද? සත්‍ය වශයෙන්ම පාදය මේසයේ වැදුණහොත් වේදනාව ඇතිවේ. අස්ථි බිඳී ඇත්තේද යන්න පරීක්ෂා කළ හැකි නමුත් ඉන් ඉදිරියට කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යා යුතුය. එය කලබල විය යුතු දෙයක් නොවේ. උඩ පනිමින්, බිම වැටෙමින් මව පැමිණ වේදනාව යටපත් වනසේ රිදුම් දෙන ස්ථානය සිඹ සනසනු ඇතැයි අපේක්ෂා කළ යුතු නැත. එ් අනුව මෙම පහසු, ඉහිල් ස්වරූපයෙන් අපගේ ජීවිත ගත කරන්නට උත්සාහ කරමු. කවරක් සිදු වුවද, කවර හැඟීමක් ඇති වුවද, සන්සුන්ව සිටීමට එමගින් උපකාරයක් ලැබේ.
මා තුළ කිසිදු විශේෂත්වයක් නොමැත
දෙවන කරුණද, නැවතත්, අතිශයෝක්තියට නැංවීමයි. මෙවර අපගේ හැඟීම් වෙනුවට අපි අපගේ වැදගත්කම අතිශයෝක්තියට නංවන්නෙමු. අපගේ ගැටලු හා දුෂ්කරතා ආදිය ස්වයං පෝෂණය නමැති එකම දෙයකින් ඉස්මතුවන බැවින් මෙය වූකලි සැබැවින්ම ආකල්ප පුහුණු (චිත්ත පුහුණු) දේශනාවේ ප්‍රධාන මාතෘකාව වේ. මින් අදහස් වන්නේ හුදෙක් "මා" කෙරෙහි නිරතුරු වද වෙමින් අවධානය යොමු කරගෙන සිටින අතර අපගේ සැබෑ සැලකිල්ල යොමු වන්නේ අප කෙරෙහිම පමණක්ය යන්නයි. එතුළ ආත්මාර්ථකාමී , මමංකාර පැතිකඩයක් මෙන්ම ස්වාර්ථකාමීව තමා පිළිබඳවම සිතිවිල්ලක ගැලී සිටීමක්ද පවතී. මෙම ආකල්පය හා එ් සමගින් ගමන් ගන්නා දේවල් විස්තර කිරීමේ බොහෝ විධික්‍රම පවතී.
අප අපවම විශේෂ දෙයක් හෝ අයෙකු බවට පත්කර ගන්නා විටදී, මෙයයි අපගේ සැබෑ ගැටලු මූලය වනුයේ. "මම ඉතා වැදගත් අයෙක්. එබැවින් මා හට හැඟෙන දෙයද සැබැවින්ම වැදගත්" යන්න අපගේ සිතිවිල්ලයි. අප එතරම් "මා" පිළිබඳ සැලකිලිමත් නම්, මෙකී "මා" හට සතුටක් දැනීම හෝ අසතුටක් දැනීම හෝ කිසිදු හැඟීමක් නොදැනීම කෙරෙහිද වද වන්නෙමු.