පැදි
මෙම පෙළ කඩම්පා ගේෂේ ලැංග්‍රි තැංපා විසින් ලේඛනගත කරන ලදි.
පළමු පැදිය තුළ මෙසේ සඳහන් වේ:
(1) සර්වෝත්තම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා භාවිත චින්තා මාණික්‍යවලට වඩා උසස් වන සියලු සීමිත සත්වයන් සැමවිටම අගය කිරීමට මා හට හැකිවේවා.
පැහැදිලි කිරීමක් වශයෙන්, සියලු අරමුණු අන් අයගේ කරුණාව මත සපුරා ගැනීමට හැකි බැවින් සියලු සත්ත්වයින් වටිනාකමින් චින්තා මාණික්‍ය හා සම වේ. අපි අනුභව කරන හා පානය කරන සියල්ල, අපි හඳින ඇඳුම්, මේ සියල්ල අන් අයගේ කරුණාව නිසා ලැබෙන දේවල් වේ. අපි අනුභව කරන සියලු දෑ වගා කර වවා ගැනීමට හෝ අපි හඳින සියලු ඇඳුම් නිපදවා ගැනීමට අපට සිදු නොවේ. අපි උපදින විට, ඇඳුමක් හෝ ආහාරයක් හෝ අතේ මුදල් හෝ නොමැතිව, නිරුවත්ව සිටියෙමු. අපට අවශ්‍ය සියල්ල අපි ලබා ගන්නේ වෙනත් පුද්ගලයන්ගෙනි. අන් අයගේ කරුණාව නිසා අපට අවශ්‍ය සියල්ල ලැබේ.
සත්ත්වයින් අපට කරුණාවන්ත වන්නේ මෙම ජීවිතයේදී පමණක් නොවේ: ඔවුන් අපට ඇඳුම් හා ආහාර සපයයි; එමෙන්ම, අනාගත ජීවිතවල අපගේ සතුට ද අන් අය මත රඳා පවතී. අන් අය කෙරෙහි දානය පුරුදු කිරීම අනාගත ජීවිතවල ධනය ලැබීමට හේතුවන අතර එමගින් සියල්ල පහසු වනු ඇත. එලෙසම, අන් අය විෂයයෙහි සදාචාරාත්මක විනය පුරුදු කිරීමෙන්, අනාගතයේදී අප උදෙසාද දේවල් හොඳින් සිදු වනු ඇත. මෙය බුද්ධත්වය ලබා ගැනීම දක්වා සත්‍ය වේ. එය අන් අය මත රඳා පවතින අතර, අන් අයට උපකාර කිරීමේ අපේක්ෂාවෙන් යුත් බෝධිචිත්තය වර්ධනය කිරීම නිසා ද අපට බුද්ධත්වය ලබා ගැනීමට හැකි වේ.
උදාහරණයක් ලෙස, එය යම් භූමියක් වැනි ය. අපට ගසකින් පලතුරු ලබා ගැනීමට අවශ්‍ය නම්, බිමෙක ගස සිටුවීමට හැකි විය යුතුය. එවන් බිමක් නොමැති නම්, අපට පලතුරු ලබා ගැනීමට නොහැකි වනු ඇත. එලෙසම, අන් අය හෙවත් සත්ත්වයන් නමැති සරු බිම නොමැතිව, අපට දානය, ඉවසීම, සදාචාරාත්මක විනය හා උත්සාහය පුරුදු කිරීමට නොහැකි වන අතර බුද්ධත්වයේ ඵල නෙලා ගැනීමට නොහැකි වනු ඇත. විශාල ප්‍රමාණයක පොළොවක් තිබේ නම් අපට විශාල ප්‍රමාණයක පලතුරු ලැබෙනු ඇත. මෙම ආකාරයට සියලු සත්ත්වයින් අපගේ බිම ලෙස සිටින විට අපට පුරුදු ප්‍රගුණ කිරීමට හා බුද්ධත්වය ලබා ගැනීමට හැකි වනු ඇත. උදාහරණයක් ලෙස අපට එළදෙනුන්ගෙන් කිරි ලබා ගැනීමට හැකි වීම ගත්කල එය මුළුමනින්ම අන් අයෙකුගේ කරුණාව නිසා සිදුවේ. එම නිසා, අප අන් අය සමඟින් පිළිවෙත් පිරීමට අවශ්‍ය වේ.
ඊළඟ පද්‍යය තුළ මෙසේ සඳහන් වේ:
(2) කවරකුගේ හෝ සමාගමයට පාත්‍රවන විටදී මා අන් සියල්ලනට වඩා අඩු මට්ටමින් තක්සේරු කරමින් හද පත්ලෙන්ම අන් අය මට වඩා ඉහළින් තබා අගය කිරීමට මා හට හැකිවේවා.
අපි කවුරු සමඟ සිටියද, කොහේ සිටියද සැමවිටම ඉතා නිහතමානීව හැසිරිය යුතුය, සැමවිටම අන් අයට වැඩි සැලකිල්ලක් දක්වමින් අන් අය අගය කළ යුතුය. ඉතා හොඳ කිරි ලබා දෙන එළදෙනෙකු සිටියහොත්, අපි එළදෙනට ඉතා කරුණාවන්ත වනු ඇත. අපි උා සුරතල් කරමින් ඉතා හොඳ ආහාර ලබාදීම ඈ වශයෙනි. එලෙසම, අපි අන් අයට සැලකිය යුතු අතර ඔවුන්ට යහපත් ආහාර ලබාදිය යුතුය.
ඊළඟ පැදිය තුළ මෙසේ සඳහන් වේ:
(3) මම කුමක් කරමින් සිටියත් මාගේ චිත්ත ධාරාව පරීක්ෂා කරමින් සංකල්ප හෝ කරදරකාරී හැඟීම් මතුවන මොහොතේදීම, ඒවා මගින් මා මෙන්ම අන් අයද දුර්වල කරන බැවින්, ශක්තිමත් ක්‍රම මගින් ඒවාට මුහුණ දී ශක්ති සම්පන්නව ඉන් වැළකී සිටීමට මා හට හැකිවේවා.
මෙතුළ ප්‍රකාශවන පරිදි අප හොඳින් අපගේ සිත පිළිබඳව පරීක්ෂාකාරී විය යුතු අතර, අපගේ සිතුවිලි නිරීක්ෂණය කර අපගේ සිත තුළ සිදුවන්නේ කුමක්ද යන්න දැකීමට බලා සිටිය යුතුයි. අපට දැඩි කරදරකාරී හැඟීම් හෝ කරදරකාරී ආකල්ප මතුවේදැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍ය වේ. ද්වේෂයෙන්, රාගයෙන් සහ මෝහයෙන්ද මැඩුණු මනසක් තිබේ නම් මේවා අරමුණු වූ වහාම අප ඒවා නතර කිරීමට උත්සාහ කළ යුතුය. ළමයින්ට උගන්වන පාසලක සිටින අතර ළමයින් ඉතා නපුරු ලෙස දිව යන විට, අප ඔවුන්ට නිහඬව වාඩිවී උනන්දුවෙන් වැඩ කරන්න, අධ්‍යයන කටයුතු හොඳින් සිදු කරන්න වැනි උපදෙස් ලබාදෙනු ඇත. ඔවුන් ඉතා නපුරු නම් අප ඔවුන්ට දඬුවම් දීමටද ඉඩ ඇත; කෙසේ වෙතත්, ඔවුන් යහපත් නම්, අප ඔවුන්ට ඉතා කරුණාවන්ත වනු ඇත. එලෙසම, අප අපගේම සිත පිළිබඳව මෙවැනි ආකල්පයක් තබාගෙන එහි සිදුවන්නේ කුමක්ද යන්න නිරීක්ෂණය කර බැලිය යුතුය. කරදරකාරී හැඟීම් මතු වූ විට හැකි ඉක්මනින් ඒවා නතර කිරීමට උත්සාහ කළ යුතුය.
අවාසි පිළිබඳ සිතිය යුතුය. උදාහරණයක් ලෙස, කෝප වුවහොත්; එය අපගේ සියලු කුසල් විනාශ කරන අතර අප පහත් ගතිවල උපත ලබනු ඇත. අපට දැඩි ආශාවක් තිබේ නම්, ඉන් අපව නිරන්තරයෙන් සංසාරයේ සැරිසරන්නට සලසයි. මේ අවාසි දකිමින්, අප කරා ගලා එන ගංවතුර ප්‍රවාහයක් දුටු විට අපව සෝදාගෙන ගසාගෙන නොයන පරිදි එය අවහිර කිරීමට එහි ඉදිරියෙන් යමක් තැබීමට උත්සාහ කරන්නා සේ මේ කරදරකාරී හැඟීම් නතර කළ යුතුය. එලෙසම, අප සෝදා ගසාගෙන නොයන පරිදි මේ කරදරකාරී හැඟීම් ප්‍රවාහය නතර කළ යුතුය.
ඊළඟ පද්‍යය තුළ මෙසේ සඳහන් වේ:
(4) සහජයෙන්ම කෲර, සෘණාත්මක හා බරපතල ගැටලුවලින් යටපත් වූ සත්වයන් දකින විටදී මැණික් නිධානයක් සොයා ගැනීම මෙන් දුර්ලභ සොයාගැනීමක් ලෙස සලකා ඔවුන් අගය කිරීමට මා හට හැකිවේවා.
මෙයින් අදහස් කරන්නේ, අපට ඉතා කෲර, බොහෝ දුක් දෙන, ඉතා සෘණාත්මක පුද්ගලයෙකු හමුවූ විට, අප ඉතා සතුටු විය යුතු අතර අප සතුවූ එම අවස්ථාව අගය කළ යුතු බවයි, මන්ද දැන් අප විසින් ධර්මය ඇත්තටම පුරුදු කළ හැකි පුද්ගලයෙකු සොයා ගෙන ඇති නිසාය. අපට මේ පුද්ගලයා සමඟ සැබැවින්ම ඉවසීම සහ උත්සාහය පුරුදු කර ඔවුන්ට උපකාර කිරීමට කටයුතු කළ හැකිය.
උදාහරණයක් ලෙස එය වූකලි පාසල් ගොස්, බොහෝ උපාධි ලබාගත් නමුත් කිසිදු රැකියාවක් නොමැති පුද්ගලයෙකු වැනිය. සියලු ආකාර ඉගෙනීමෙන් පසුව යමෙක් රැකියාවක් සොයා යාමට යත්න දරන අතර, අවසානයේ රැකියාවක් සොයා ගතහොත් ඉතා සතුටු වනු ඇත. එලෙසම, යමෙක් හෙද සේවයට පුහුණු වූ නමුත් කිසිවෙක් රෝගී නොවේ නම් කිසි විටෙකත් ඔවුන්ගේ පුහුණුව භාවිතා කළ නොහැක. රෝගීන් සිටී නම් ඔවුන් සිය පුහුණුව භාවිතා කිරීමට හැකි වීම පිළිබඳ සතුටු වේ. එලෙසම ධර්මය සමඟින් අපට කෲර, සෘණාත්මක, කටයුතු කිරීමට බොහෝ අපහසු පුද්ගලයෙකු හමුවූ විට නිධානයක් සොයා ගත්තා සේ ඉතා සතුටු වන්නෙමු. මන්ද දැන් අපට මේ පුද්ගලයාට උපකාර කිරීමට කටයුතු කළ හැකි නිසාය.
ඊළඟ පැදියෙහි මෙසේ සඳහන් වේ:
(5) අන් අය, ඊර්ෂ්‍යාවෙන්, මට අසාධාරණ ලෙස බැණ වැදීම, අවමන් කිරීම හා තවත් එවන් දේ සිදුකරන විට, මා වෙතම පරාජය බාර ගනිමින් ජයග්‍රහණය අන් අයට ලබා දීමට මා හට හැකිවේවා.
මෙම පද්‍ය පැහැදිලි කරන්නේ කවදා හෝ අප ඊර්ෂ්‍යාවෙන්, අප විවේචනය කරන හෝ අපට අයහපත් ලෙස හැසිරෙන, අපට හානි කරන හෝ රවටන පුද්ගලයෙකු හමුවන විට, අප මෙම තත්ත්වය පිළිගත යුතු බවයි. කළ යුත්තේ අප කනගාටු වන බව පවසා වරද අපේම බව පැවසීමයි. මෙලෙසින් ඉවසීම පුරුදු කරන අපට කිසි විටෙකත් පෙරළා කෝප නොවිය හැකිය. අන් අය අපට කරන ඕනෑම හානියක්, අප අතීතයේ කරන ලද අපගේම අකුසල් ක්‍රියාවල ප්‍රතිඵල බව දැකිය යුතුය. මේ සියල්ල අප වෙත ආපසු පැමිණෙමින් පවතින්නේය. අනෙක් පුද්ගලයා වරදක් කර නොමැති අතර ඔහු හා ඔහුගේ ක්‍රියා හුදෙක් අපගේම අකුසල් කර්මය විපාක දීමට උපකරණයක් පමණක් බවට පත්ව ඇත. උදාහරණයක් ලෙස, යමෙක් අප සමඟ කෝප වුවහොත්, අපට හැඟී යා යුත්තේ ඔවුන් කෝප වීමට අප යම් හේතුවක් වී ඇති බවත් එය අපේ වරද බවත්ය. අපි මෙම පුද්ගලයාට කිසිවක් නොකියා නිවසේ සිටියේ නම්, ඔවුන්ගේ කෝපය අප මත පැමිණෙන්නේ නැත.
උදාහරණයක් ලෙස තියුණු කටුවලින් පිරි බිමක ඇවිදින්නට ගොස් අපගේ පාවල කටු ඇණී ගතහොත් එය අපේම වරදය. අප ඒවා මත ඇවිද නොගියේ නම් අපට හානි සිදු නොවනු ඇත. එලෙසම අප ව්‍යාපාරයකට ගොස් රැවටෙන්නේ නම්, වරද අපේය. අප මුලින්ම ව්‍යාපාරයට නොගියේ නම් රැවටෙන්නේ නැත. ව්‍යාපාරයෙන් මුදල් උපයා ගැනීමට ආශා කිරීම නිසා රැවටීමට හෝ කොල්ලකෑමට ලක්වන්නේය. කුමක් සිදු වුවත් සැමවිටම වරද අපේම යැයි දැකිය යුතු අතර කිසි විටෙකත් අන් අයට දොස් නොපැවරිය යුතුය.
ඊළඟ පද්‍යය තුළ මෙසේ විස්තර කෙරේ:
(6) මවිසින් උපකාර කරන ලද හා එබැවින්ම මවිසින් ප්‍රත්‍යුපකාර විෂයයෙහි විශාල අපේක්ෂා තබා ගත් යමෙක් මා හට සම්පූර්ණයෙන්ම අසාධාරණ ලෙස හානි සිදු කළද, ඔහු හෝ ඇය පූජනීය ගුරුවරයෙකු ලෙස සැලකීමට මා හට හැකිවේවා.
මෙතුළ පැහැදිලි කරන්නේ අපට ඥාතියෙක්, දරුවෙක් හෝ දෙමව්පියෙක්, හෝ අප විසින් නිරතුරු බොහෝ උපකාර කළ පුද්ගලයෙක් සිටී නම් සහ මෙම පුද්ගලයා සම්පූර්ණයෙන්ම කෘතඥ නොවී අපට හානිකර දේවල් සිදු කරන්නේ නම් ඒ හේතුකොට අප බොහෝ කෝප විය හැකි බවයි. අප දරුවෙකුට ඉතා කරුණාවන්ත වී ඇති නම්ද, අපට විශාල අපේක්ෂා ඇති නමුත් පසුව ජීවිතයේ දරුවා අපට කිසිසේත් උපකාර නොකරන්නේ නම් මෙය අපට කෝපය දැනීමට හේතුවක් විය හැකිය. කෙසේ වෙතත්, අප කිසි විටෙකත් කෝප නොවිය යුතු අතර, මෙම පුද්ගලයා සමඟින් යෙදෙන පරිසරය තුළ ඉවසීම පුරුදු කරමින් අදාළ භාවනා කළ යුතුය. එසේම, ඉවසීම වර්ධනය කිරීමට අරමුණක් අවශ්‍ය බව අප වටහා ගත යුතුය. මිනිසුන් සැමවිටම අපට කරුණාවන්ත වූවේ නම් හෝ අපට හිරිහැර කිරීමට හේතු විය හැකි ආකාරයට කිසි විටෙකත් ක්‍රියා නොකළේ නම්, අපට කිසි විටෙකත් ඉවසීම පුරුදු කිරීමට අරමුණක් නොලැබෙනු ඇත.
අප අතීෂගේ උදාහරණය පිළිබඳ සිතා බැලිය යුතුය. ඔහු තිබ්බතය වෙත ගමන් කළ අවස්ථාවේ ඔහු සමඟ ඉන්දියාවෙන් පැමිණි උපස්ථායකයෙක් සිටි අතර එම උපස්ථායකයා සැමවිටම ඔහු සමඟ තර්ක කළ හා කිසි විටෙකත් ඔහුට සවන් නොදුන්, සැමවිටම එකටෙක කතා කළ සහ ඉතා කරදරකාරී අයෙකු විය. මිනිස්සු මෙවන් කරදරකායෙකු කැටුව පැමිණියේ මන්ද යැයි අතීෂගෙන් විමසමින් ඔහු ආපසු පිටත්කර යැවිය යුතු බව කීහ. එම උපස්ථායකයා සිය ඉවසීම පිළිබඳ ගුරුවරයා බවත් ඔහු ඉතා වැදගත් බවත් අතීෂගේ පිළිතුර විය. "ඔහු මට අවනත නොවන සෑම විටම මට ඉවසීම පුරුදු කිරීමට අවස්ථාවක් ලබා දෙයි." එලෙසම, අපට මිතුරන් සහ ඥාතීන් සිටී නම් සහ අප ඔවුන්ට ඉතා හොඳින් සැලකූ නමුත් ඔවුන් කෘතඥ නොවී අපට අයහපත ගෙන දෙන්නේ නම් ඉවසීම පුරුදු කිරීම උදෙසා ලද එම අවස්ථාව පිළිබඳ ඔබ ඉතා කෘතඥ විය යුතුය.
ධර්මය යනු සිතට ප්‍රතිලාභ ලබාදෙන්නාවූ යමක් බැව් සිහි තබාගන්න; එබැවින්, අපගේ සිත වැඩිදියුණු කරගනිමින් අතීතයේ අප තුළ පැවති සියලු ආකාරය කැළඹිලිකාරී භාවයන් සහ දුෂ්කර තත්ත්වයන් ගෙන් මිදෙනු පිණිස එය පුහුණු කළ යුතුවේ. කරන කවර කටයුත්තක් තුළ වුව සිත දියුණු කරගනිමින් වඩාත් යහපත් පුද්ගලයන් බවට පත්වීමට උත්සාහ කළ යුතුය. ධර්මය යනු මෙයයි.
ඊළඟ පැදියෙහි මෙසේ සඳහන් වේ:
(7) කෙටියෙන් කිවහොත් මාගේ සියලුම මාතාවන්ට, සත්‍ය වශයෙන් හා වක්‍ර ලෙස, ප්‍රයෝජනවත් හා සතුට ගෙන දෙන සියල්ල පිරිනමමින් මාගේ සියලුම මාතාවන්ගේ කරදර හා දුක් රහසින් හා පෞද්ගලිකව ඔවුන් වෙනුවෙන් විඳ දරා ගැනීමට මා හට හැකිවේවා.
මෙම පද්‍ය ලබාදීම හා ලබාගැනීමට අදාළ ටොන්ග්ලෙන් භාවිතයට අදාළ වේ. එනම් අන් සියලු දෙනාගේ දුක හා අසතුට අප වෙත විපාක දෙන්නට ප්‍රාර්ථනා කිරීමයි. මෙම ආකාරයට, අප ඔවුන්ගෙන් දුක නිදහස් කර අප විසින්ම පෞද්ගලිකව එය දරා ගන්නෙමු. අපි අපගේ සියලු සතුට හා ප්‍රතිලාභ ද අන් අයට ලබා දෙන්නෙමු. මෙය ඉතා වැදගත් ඉගැන්වීමක් වන අතර, ඉදිරියේදී ශාන්තිදේවයන්ගේ බෝධිසත්ත්ව චර්යාවෙහි නියැලීම, බෝධිචර්යාවතාර පෙළෙන් මෙය හැදෑරීමට උත්සාහ කරන්න. ලබාදීම හා ලබාගැනීම පිළිබඳ මෙම භාවිතය තුළ ඉගෙන ගැනීමට හා සිතීමට බොහෝ දේ ඇත.
අවසන් පද්‍ය තුළ අපට මෙසේ සඳහන් කරනු ලබයි:
(8) අටලෝ දහම පිළිබඳ සංකල්පවලින් කැළැල් නොවූ මනසකින් මේ සියල්ල තුළ සියලු සංසිද්ධි මායාවක් ලෙස දකිමින් කිසිදු ඇලීමකින් තොරව සියලු බැඳීම්වලින් නිදහස් වීමට මා හට හැකිවේවා.
මෙම පද්‍යය තුළ සඳහන් කරන පරිදි අප පුරුදු කරන විට කිසිවිටෙකත් ධනය, කීර්තිය, ප්‍රශංසාව, හෝ අපගේම පෞද්ගලික සතුට ලබා ගැනීමේ අරමුණක් නොතිබිය යුතුය. මේවා අටලෝ දහමට අදාළ හැඟීම්වල කොටස් වේ. කෙසේ වෙතත්, ඒ වෙනුවට, අප අපගේ සියලු යහපත් භාවිතයන් අන් අයගේ යහපත සඳහා කැප කළ යුතුය. උදාහරණයක් ලෙස, අපගේ භාවනාව හා ජපය පුහුණු කරන විට කිසිවිටෙකත් "මෙමඟින්, මට කිසිදු රෝගයක් නොවේවා; මා දීර්ඝායු ලබා ධනවත් බව හා පහසුව ලබත්වා" යැයි නොසිතිය යුතුය. මේවා ඉතා කුඩා හා සාමාන්‍ය සිතුවිලි වේ. අප පුහුණුව කළ යුත්තේ අපගේ පුරුදු කිරීම සියලු සත්ත්වයන්ට ප්‍රයෝජනවත් විය හැකි බව සිතමින් පමණි. උදාහරණයක් ලෙස, එක් කුඩා ගිතෙල් පහනක් දල්වන විට පවා එය සිදුකරනුයේ අපගේම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නම්, එය ඉතා සුළු ක්‍රියාවකි. කෙසේ වෙතත් අපගේ සිතිවිල්ල මෙය සියලු සත්ත්වයන්ට ප්‍රයෝජනවත් වේවා යනුවෙන් වන්නේ නම්, එවිට එය ඉතා විශාල හා මහඟු ක්‍රියාවක් වේ.
නිගමනය
රිංපෝඡේ සඳහන් කරන පරිදි කාල සීමාවන් හේතුකොට ඔහුට මෙම පෙළ පිළිබඳ ඒ අවස්ථාවේ සඳහන් කළ හැකිව පැවතියේ මඳ වශයෙන් පමණක් වන නමුත් ඔබ ගෙෂේ රබ්ටන් හා ගෙෂේ නාවන්ග් ධර්ගේ සමඟ මෙය වඩාත් පුළුල්ව හැදෑරිය යුතුය. මෙය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. ඔබ බොහෝ දෙනා ශුද්ධ වූ ස්ථාන නැරඹීමට වන්දනා ගමනක නියැළෙමින් ධර්ම මධ්‍යස්ථානවලින් මෙහි පැමිණ ඇති අතර මෙය උතුම් කර්තව්‍යයකි. මෙය වෙනත් ජීවිතවල අතීත යහපත් ක්‍රියාවන්ගේ විපාකය වේ. ඔබ සිතිය යුත්තේ, "මෙයින් ලැබෙන සියලු ප්‍රතිලාභ අන් අය වෙත විපාක දී අන් අයට සතුට ගෙන දෙත්වා" යන්නයි.
ධර්මය යනු මනසට ප්‍රයෝජනවත් වන දෙයක්ය යන කරුණ සිත් දරා ගන්න; එබැවින්, අප විසින් අපගේ මනස දියුණු කිරීමට හා අතීතයේ අප තුළ පැවති සියලු කරදරකාරී හැඟීම් හා දුෂ්කර තත්ත්වයන් ඉවත් කිරීමට එය පුරුදු කළ යුතුය. අප සිදුකරන ඕනෑම දෙයක් හරහා අපගේ මනස දියුණු කිරීමට හා වඩා හොඳ පුද්ගලයන් වීමට උත්සාහ කළ යුතුය. ධර්මය මුළුමනින්ම සම්බන්ධ වන්නේ මෙය සමඟය.