චිත්ත පුහුණුව මගින් සිදුකරන ස්වයං-පරිවර්තනය

34:36
දුෂ්කර අවස්ථාවනට මුහුණ දී අපගේ ජීවිතයේ කටයුතු අයහපත් ලෙස සිදුවන විටදී, අපට එ් කෙරෙහි වූ අපගේ ආකල්පය වෙනස් කළ හැක්කේ නම්, මෙකී අත්දැකීම් අපගේ ආධ්‍යාත්මික ප්‍රගතිය වැඩිදියුණු කරන්නාවූ අත්දැකීම් බවට පරිවර්තනය කිරීමට හැකිවනු ඇත. ලොජොං චිත්ත පුහුණු තිබ්බතීය සම්ප්‍රදාය තුළ ජීවිතයේ අභියෝගයන් සම්බන්ධයෙන් වඩාත් හොඳින් කටයුතු කිරීමේ හැකියාව ලබාදෙන පරිදි අපට ප්‍රගුණ කළ හැකි පුළුල් ප්‍රයෝජනවත් ආකල්ප ගණනාවක් ඉදිරිපත් කෙරේ.

"චිත්ත පුහුණුව" යන්නෙන් අප විසින් යම් පුද්ගලයෙකු හෝ තත්ත්වයක් සම්බන්ධයෙන් සලකා බලන ආකාරය වෙනස් කිරීමේ විධික්‍රම දක්වයි. "චිත්ත පුහුණුව" යන වදන තුළ සමාධි හා සිහිය පිළිබඳ පුහුණුවක් අන්තර්ගත වන ආකාරයක් මතුපිටින් පෙනෙන බැවින් එම වදන භාවිතයේදී තරමක් ප්‍රවේශම් විය යුතුය. ඉන් අදහස් වනුයේ එවැන්නක් නොවේ. චිත්ත පුහුණුව අඟවන බ්ලෝ-බ්යොං ලෙස එන තිබ්බතීය වදනෙහි බ්ලෝ යන්නෙන් අඟවනයේ හුදෙක් "සිත" පමණක් නොවේ. එහි එයට වඩා "ආකල්පය" යන අරුතක් ගැබ්වේ. "පුහුණුව" යන අරුත් දෙන තිබ්බතීය වදන වන බ්යොං යන්නෙහි අරුත් දෙකක් ගැබ්වේ: යම් සෘණාත්මක ආකල්පයක් පිරිසිදු කිරීමේ අරුතින් "පිරිසිදු කිරීම" යන අරුත හා වඩාත් ධනාත්මක පුහුණුවක් ලබන්නේය යන අදහසින් "පුහුණු වීම" නමැති අරුත වශයෙනි. එ් අනුව චිත්ත පුහුණුව යන්න "ආකල්ප පුහුණුව" වශයෙන් වටහා ගන්නේ නම් කාරණය වඩාත් පැහැදිලි වේ.

සෝදා ඉවත් කළයුතු වන ප්‍රධාන සෘණාත්මක ආකල්පය වනුයේ අප පිළිබඳව පමණක් සිතමින් ආත්ම කේන්ද්‍රීය හා ආත්මාර්ථකාමී වීම ඇතුළත් ස්වයං පෝෂණ ආකල්පයයි. පුහුණු කළ යුතුවන ධනාත්මක ආකල්පය වනුයේ මූලිකව ආදරයෙන් හා කරුණාවෙන් සෙසු අයගේ සුභසාධනය පිළිබඳව සිතා බැලීම ඇතුළත්වන සෙසු අය පෝෂණය කිරීමේ ආකල්පයයි. සියලු චිත්ත පුහුණු ශිල්ප ක්‍රමයන් තුළ භාවිත කෙරෙන විධික්‍රමය "චතුරාර්ය සත්‍ය" ලෙස හැඳින්වෙන බුදුරජාණන් වහන්සේගේ පොදු ප්‍රවේශය සමගින් මනාසේ ගැලපේ.

Top