ප්‍රශ්නය: “විශේෂත්වයක් නොමැත” පන්නයේ ආකල්පය බොහෝ සෙයින් මා සිත් ගත්තකි. මාගේ කුතුහලය පවතින්නේ එයාකාර ආකල්පයකින් ඔබ ලෝකයාට මුහුණ දෙන අවස්ථාව පිළිබඳවයි. නිදසුනක් ලෙස, ඔබ වෙනත් අය සමග එක්ව යම් ව්‍යාපෘතියක කටයුතු කරන අතර එහි යම් වරදක් වන විට “කමක් නෑ. විශේෂයක් නෑ. මේව වෙනවනෙ” යන ආකල්පයෙන් කටයුතු කරයි. මෙහිදී මාගේ අදහස නම් අනෙක් අය විසින් ඔබ එම කාර්යය ගණන් නොගන්නා අයෙකු ලෙස සැලකිය හැකි බවයි.
ආචාර්ය බර්සින් මහතා: විශේෂයක් නොමැත්තේය යන ආකල්පය වරදවා වටහා නොගන්න. එය කිසිවක් නොකිරීමේ ආකල්පයක් නොවේ. එය කිසිවක් ගණන් නොගන්නා “වෙන දෙයක් වුණාවේ” යන උපේක්ෂා සහගත ආකල්පයක්ද නොවේ. “විශේෂත්වයක් නොමැත” යන්නෙන් අදහස් කෙරෙන්නේ සතුටක් දැනුනද, අසතුටක් දැනුනද ඉන් අප වියවුලට පත් නොවන හා ඒ දෙකෙන්ම එතරම් කලබලයටද පත් නොවන බවයි. හුදෙක් සිදු කරමින් සිටින කාර්යය තර්කානුකූලව හා සන්සුන්ව සිදු කරන්නෙමු. වියවුලට පත් වීමෙන් තොරව කළ යුතුව පවත්නා කාර්යය සිදු කරන්නෙමු.
අන් අය වියවුලට පත් වුවොත්?
ඔවුන් වියවුලට පත් වන්නේ නම්, ඔබගේ සන්සුන් බව අන් අයද සන්සුන් කිරීමට උපකාරී වනු ඇත. සම්භාව්‍ය නිදසුනක් ලබා දෙන්නේ නම්: පරිගණකයේ ලේඛනයක් ටයිප් කරන අතරතුර වැරදි බොත්තමක් එබී ලේඛනය මැකී යන්නේ යැයි සිතමු. එවන් දේ සිදුවේ. වියවුලට පත් වීමෙන් ප්‍රයෝජනයක් නොමැත. වරද නිවැරදි කිරීමේ ක්‍රමයක් නොමැත්තේ නම් ලේඛනය ඉවත්ව ගොස් ඇත. ඒ ගැන කෑ කෝ ගැසීමෙන් හෝ හඬා වැටීමෙන් එය නැවත නොලැබේ. ඒ පිළිබඳ සිත අවුල් කොටගෙන අසතුටට පත්වීම කිසි ලෙසකිනුදු ප්‍රයෝජනයක් නොමැති කරුණකි. එය බාධකයක් බවට පත්වනු ඇත. හුදෙක් “කමක් නෑ”යි පවසා එය නැවත යතුරු ලියනය කරන්න. ලියා ඇති දේ සිහියේ තබාගැනීමට තරම් හොඳ පුහුණුවක් ලැබ ඇත්තේ නම් එය නැවත නිර්මාණය කළ හැකි අතර ඇතැම් විට දෙවන වර එම නිර්මාණයේ ගුණාත්මකභාවය වඩාත් ඉහළ එකක් විය හැක. හුදෙක් ඒ සම්බන්ධයෙන් කටයුතු කර මුළු කටයුත්තම නාට්‍ය සංදර්ශනයක් බවට පත් කිරීමෙන් වැළකිය යුතුය. මා යම් කණ්ඩායමක සාමාජිකයෙක් නම් හා එම ලේඛනය කණ්ඩායමට අයත් එකක් නම්, අපගේ සන්සුන් ආකල්පය විසින් අනෙක් අයද සන්සුන් කරවනු ඇත.
අප සාකච්ඡා කරනුයේ යම් නිශ්චිත තත්ත්වයක් හේතුවෙන් ඇතිවන සතුට හෝ අසතුට සම්බන්ධයෙන්ද නැතහොත් පොදුවේ ඇතිවන සතුට හෝ අසතුට සම්බන්ධයෙන්ද?
මා අදහස් දැක්වූයේ අප සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තත්ත්වය පිළිබඳවයි. අපට සතුටක් හෝ අසතුටක් දැනෙන්නේ නම්, හුදෙක් අපගේ ජීවිත ඉදිරියට ගෙන යමින් ඒ පිළිබඳ කලබල නොවී සිටින්නෙමු. වෙනයම් අයෙකුට සතුටක් හෝ අසතුටක් දැනෙන අවස්ථාවක් සම්බන්ධ තත්ත්වය කවරක්ද? නිදසුනක් ලෙස කුඩා දරුවා අඬන්නේ යැයි සිතමු. වෙන කවරක් නම් අපේක්ෂා කරන්නද? ඔහු හුදෙක් කුඩා දරුවෙකි. “අනේ දරුවා අඬනවනෙ”යි කලබලයට පත් නොවෙමු. එය මහා අවුලක් බවට පත්කර නොගනිමින් හුදෙක් දරුවා පිළිබඳ සැලකිලිමත් වන්නෙමු. දරුවා අඬන්නේ මන්ද? කළ හැක්කක් කරන්නෙමු. එයයි කළ හැක්ක හා කළ යුත්ත.
ශාන්තිදේවයෝ එයට ඉතා කදිම යෙදුමක් යොදති: “පුද්ගලයෝ කුඩා දරුවන් මෙනි” වශයෙනි. එබැවිනි ඔවුන් වියවුලට පත් වන්නේ. එයද කුඩා දරුවා ඇඬීම මෙනි. අපේක්ෂා කළ යුත්තේ කවරක්ද? ඉන් බොහෝ සෙයින් කලබලයට පත් නොවෙමින් ඔවුන් සංසිඳුවීමට උත්සාහ කරමින් ඔවුන් වඩාත් යථාර්ථවාදී බවට පත් කරලීමට උත්සාහ කරමු.
කලබලයට පත්වීම යනු යමක පැවැත්ම පුම්බා එය මහත් වූ දෙයක් බවට පත් කිරීමකි. එයයි ශූන්‍යතාවය යනු. කලබල විය යුතු දේවල් ලෙස හැඳින්විය හැකි දේවල් නොමැත. මක් නිසාද එවැනි දේ යථාර්ථය හා අනුගත නොවන බැවිනි. හුදෙක් දේවල් සිදුවේ. එපමණකි. අපි හුදෙක්ම ඒවා සම්බන්ධයෙන් කටයුතු කරමු. අපට භාවයන් ඇත්තේද? සත්තකින්ම ඇත. ආදරය, කරුණාව හා ඉවසීම වැනි ධනාත්මක භාවයන් ශ්‍රේෂ්ඨය. එසේ වුවද, කෝපය, නොඉවසීම වැනි දේ කිසි ලෙසකිනුදු ප්‍රයෝජනවත් නොවන බැවින් එවැනි සෘණාත්මක දේ ක්‍රියාත්මක නොකළ යුතුය.
මෙම කරුණ තවත් පියවරක් ඉදිරියට තබන්නේ නම්, අපට අපගේ ගැටලු වඩා ගැඹුරු අන්තර් ඥාණයක් ලැබීමේ පියගැට ලෙස යොදා ගනිමින් ඒවායින් උගත හැක.
එය නිවැරදියි.
මෙම චිත්ත පුහුණු ක්‍රමය යථාර්ථවාදී නොවන්නේ යැයි ඔබ සිතන්නේද? විශේෂයක් නොමැත, හෝ කලබල විය යුතු නැත යන ආකල්පය ගොඩනගා ගැනීම වඩාත් යථාර්ථවාදී වන්නේ යැයි සිතන්නේද?
අපට අපගේ ආකල්ප වෙනස් කිරීමට උත්සාහ කිරීම සඳහා වූ විධික්‍රම පවතී. නිදසුනක් ලෙස, අපට සෘණාත්මක තත්ත්වයන් ධනාත්මක තත්ත්වයන් සැලකිය හැක. මේවා පොදු විධික්‍රම වුවද, තත්ත්වය වෙනස් කිරීමට පෙර අපට හැඟෙන දෙය පුම්බාලීම නවතා සැබෑ තත්ත්වය කවරක්ද යන්න වටහා ගැනීමට සිදුවේ. එතරම් විනාශකාරී දෙයක් දක්වා පුම්බා ලීමෙන් අනතුරුව එය වෙනස් කිරීම දුෂ්කර කාර්යයකි. “මේක නම් හරිම කරදරයක්. ළමයා ආයෙමත් තෙමාගෙනනෙ” වශයෙනි. වඩා යථාර්ථවාදී ආකල්පයක් පවත්වා ගනිමින් “සියලු දෙනාගේම තෙමාගත් රෙදි මා වෙත පැමිණියද, ඒ සියලු දෙනාගේ ඇඳුම් මාරු කරමි” යන අදහසකට මාරු විය යුතුය.
ඒ සඳහා පියවරින් පියවර ගමන් කළ යුතුවේ: පළමුව දරුවා තෙමාගෙන ඇත. ඉතින් මන්ද? ඔහු හුදෙක්ම දරුවෙකි. අපි ඇඳුම මාරු කරමු. දැන් ඇඳුම මාරු කරන අතරතුරදී, එහි දුර්ගන්ධය ඇති අතර “මම දරුවා පිරිසිදු කරමි. මා හට සියලු දෙනාගේම කිලිටි හා කැත කුණු පිරිසිදු කිරීමට හැකි වේවා. මෙම කාර්යය සිදු කිරීමේදී එය සියලු දෙනා පිරිසිදු කිරීමේ හේතු කාරකයක් ලෙසම ක්‍රියාත්මක වේවා” වශයෙනි. එනමුදු, පළමුව එය හානියක් ලෙස කොටස්කර ගත යුතුය. මෙය පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන ක්‍රියාවලියකි.
සියලු දෙනාගේම තෙත් ඇඳුම් මාරු කිරීම පිළිබඳ සිතමි. මොන තරම් අවුලක්ද.
මුළු ලෝකයේම සියලු කුණු කන්දල් දරා සිටීමට සිදු වන්නේ නම් කිසිවෙකුට හෝ බෞද්ධයෙකු බවට පත්වීමට අවශ්‍ය නොවනු ඇත්තේයැයි යමෙකු පැවසුවහොත් එයද සත්‍යයකි. පොදු මූලධර්මයක් වශයෙන්, දේවල් පිළිබඳ හාස්‍යෝත්පාදක නිදසුන් යොදාගත හැකිනම්, අප්‍රසන්න නිදසුන් යොදා ගැනීමට වඩා එමගින් වඩාත් ගැඹුරු හැඟීමක් ලබාදිය හැක.
හානිකර සම්බන්ධතාවයක් වැනි දෙයක් අත්දකින විටදී එදිනෙදා මට්ටමින් මෙය ඇතුළත් කරගන්නේදැයි සිතුවෙමි.
අප හානිකර සම්බන්ධතාවයක සිටින්නේ නම් හා දේවල් අයහපත් ලෙස සිදුවන්නේ නම්, “කමක් නෑ. මේක තමයි සංසාරය”යි නොකියමු. අප විසින් යොදාගත යුතු වන්නේ අපගේ වෙන්කොට දැකීමේ හැකියාවයි. එනම් “ආශ්චර්යමත් මනුෂ්‍ය බුද්ධිය” ලෙස පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් හඳුන්වන දෙයයි. යම් අවස්ථාවක් උපකාරී වේද, හානිකර වේද යන්න වෙන්කොට දැකීමේ හැකියාව අප සතු විය යුතුය. අප හා සෙස්සන් මෙම තත්ත්වයේ සිටීම ප්‍රයෝජනවත්ද, නැත්ද? ප්‍රයෝජනවත් නොවන්නේ නම්, දෙපාර්ශ්වයටම හානිකර නම්, එය අවසන් කරමු. වැදගත් කරුණ වනුයේ යථාර්ථය හා අනුගත නොවන පරිදි සිදුවන දේ මතට දේවල් අතිශයෝක්තියට නංවා ප්‍රක්ෂේපණය කිරීමකින් තොරව පැහැදිලි ලෙස සිතීමට හැකිවීමයි. ඇතැම් විට සත්‍ය වශයෙන් එසේ ඉවත් වීම වඩා යහපත් වේ. එසේ නමුදු එම තීරණය පැහැදිලි චින්තනය හා විග්‍රහය මත පදනම්ව සිදු කරන්න.
අප සතිමත්ව නොසිටින හැඟීම් පිළිබඳ දැනුවත්ව සිටිමින් ඒවා අවංකව ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම ධනාත්මක දෙයක් විය හැකිද?
බටහිර යෙදුමට අනුව සතිමත්ව නොසිටින මට්ටමකින් අපි භාවයන් අත් විඳිමු. ප්‍රශ්නය වනුයේ ඇතැම් අවස්ථාවන්හි ඒවා වඩාත් ප්‍රකාශිත මට්ටමකින් තබාගැනීම වඩා යහපත්ද යන්නයි. පරීක්ෂා කළ යුතුවන අවස්ථාවන් දෙකක් පිළිබඳව සිතා බැලිය හැක. ඉන් එකක් විනාශකාරී භාවයක් වන අතර අනෙක ධනාත්මක එකක් වේ. නිදසුනක් ලෙස කෝපය හෝ ආදරය පිළිබඳ විමසා බලමු. යමෙකු කෙරෙහි නොදැනුවත්වම විරෝධතාවයක් පවත්නේ නම්, අප සහතිකවම ඒ පිළිබඳ දැනුවත් විය යුතුය. ඒ පිළිබඳ දැනුවත්ව සිටීම යන්නෙන් අවශ්‍යයෙන්ම යමෙකු කෙරෙහි විරෝධතාවයක් ප්‍රකාශ කිරීමක් අදහස් නොවේ. නැවතද, සිදුවන දේහි විවිධාකාර පැතිකඩයන් විග්‍රහ කොට වෙන්කොට දැකිය යුතුවේ.
නිදසුනක් ලෙස, මා හට මිතුරන් ඇති අතර, ඔවුන් සමගින් ගනුදෙනු කරන විටදී “ඔයාට කොහොමද? මේ දවස්වල මොනවද සිද්ද වෙන්නෙ?” යි සැම අවස්ථාවකම ඔවුන්ගෙන් අසමි. කෙසේ වුවද, ඔවුහූ කිසි දිනක හෝ මාගේ දුක සැප කවරේදැයි නොවිමසති. ඔවුන් එතරම් ආත්මාර්ථකාමී ලෙස මාගේ දුක සැප කවරේදැයි විමසන්නට නොපෙළඹීම කෝප ගන්වන සුළු තත්ත්වයකි. දැන් මෙහි වෙනසක් ඇත. ඒ පිළිබඳ නොදැනුවත් විරෝධතාවයක් පවතින්නේද? සමහර විට එසේ විය හැක; එසේ නමුදු එය ප්‍රකාශ කොට ඔවුන් සමග විරසක වීමෙන් තත්ත්වය යහපත් නොවේ. “ඔයා හරිම ආත්මාර්ථකාමියෙක්. හරිම නරකයි” කීමෙන් හුදෙක් බලහත්කාරී පෙළඹීමක් මගින් විනාශකාරී ආකාරයකින් කටයුතු කිරීමට හා ඔවුන් වෙත කෑ මොර දීමට මග විවර කරනු ඇත. එමගින් තත්ත්වයෙහි යහපත් පරිවර්තනයක් සිදු නොවනු ඇත. “ඔයා මට කොහොමද කියල අහන් නැත්තෙ ඇයි” ඔයාට මොනවද වෙලා තියෙන්නෙ?” වර්ගයේ ආකල්පයක් මගින් කිසිදු යහපතක් සිදු නොවේ. මෙයාකාරයේ දෙයක් සම්බන්ධයෙන් අප තුළ විරෝධාකල්පයක් පවත්නා බව පෙනෙන්නට වූ කල්හි, එය ක්‍රියාවට නැඟුණහොත් අපගේ ස්වයං පාලනය ගිලිහී හානිකර අයුරින් ක්‍රියා කළ හැකි බැවින් එය ක්‍රියාවට නොනඟන වට පරිස්සම් විය යුතුය.
කෙසේ වුවද, එම එදිරිවාදිත්වය වටහා ගන්නා විටදී, කෝපයට පත් වීමකින් තොරව තත්ත්වය නිරාකරණය කරගැනීමට උත්සාහ කළ හැක. මම සාමාන්‍යයෙන් එම කාර්යය විහිළුවෙන් සිදු කරමි. හාස්‍යය තත්ත්වය සැහැල්ලු කිරීමේ ඉතා ප්‍රයෝජනවත් මාධ්‍යයක් වන බව වටහාගෙන ඇත්තෙමි. තමාගේ කටයුතු කෙසේද යන්න පිළිබඳ සම්පූර්ණ කථාව ඔවුන් විසින් ප්‍රකාශ කොට මාගේ දුක සැප විමසීමකින් තොරව මාතෘකාව වෙනස් කිරීමට පටන් ගන්නා විටදී “ඇලෙක්ස්, ඉතිං කොහොමද ඔයාට? අනේ මගෙන් එහෙම ඇහුවට ස්තුතියි” යනුවෙන් මා හටම පවසා ගනිමි. එය තරමක හාස්‍ය රසයක් සහිත ප්‍රකාශයක් වන අතර තමාද ප්‍රතිචාර දැක්විය යුතු අතර මාගේ දුක සැපද විමසිය යුතු බව ඔවුහූ ඒ අනුව අවබෝධ කරගනිති. එයාකාරයෙන් එදිරිවාදිත්වයකින් තොරවම කාර්යය සිදුවේ.
මෙයාකාරයේ පදනම්ගත එදිරිවාදිත්වයක් පවතින්නේ නම් එවැන්නක් පවත්නා බව දැනුවත්ව සිටීම ප්‍රයෝජනවත්ය. ඉන් මා හට කරදරයක් සිදු නොවන්නේ නම් එහි වරදක්ද නොමැත. ඔවුන් මාගේ සැප සනීප විමසන්නේද නැත්තේද යන්න පිළිබඳ එතරම් වද නොවෙන අතර එය මා හට අදාළ දෙයක්ද නොවේ. මා කරන දේ, මා සිටින තත්ත්වය මා ඔවුනට පැවසිය යුතුද? සැබැවින්ම නැත. මවිසින් එය ඔවුනට පැවසීමට කැමැත්තේ නම් එය පවසමි. එය වූකලි ඔබගේ වැඩිමල් දරුවන් හා මුණුපුරු මිණිපිරියන් දුරකථනයෙන් ඔබ ඇමතීම නොකරන තත්ත්වයක් මෙනි. මා සැබැවින්ම ඔවුනට එය පැවසීමට කැමැත්තේ නම්, එය පවසමි. ඔබගේ වැඩිහිටි ළමුන් හෝ මුණුපුරු මිණිපිරියන් ඔබ දුරකථනයෙන් නොඅමතන්නේ නම්, හා ඔබට ඔවුන්ගේ තොරතුරු විමසන්නට අවශ්‍ය වන්නේ නම්, ඔබම කතා කරන්න. එසේ කිරීමේදී එය එදිරිවාදිත්වයකින් තොරව හා ඔබට නොඇමතීමෙන් තමා වරදක් කළේය යන වරදකාරී හැඟීමක් ඔවුන් තුළ ඇති නොවන ආකාරයෙන්ද කළ යුතුය.
ධනාත්මක භාවයක් සම්බන්ධ තත්ත්වය කවරක්ද? දැන් එම කරුණ විග්‍රහ කිරීම ආරම්භ කළ යුතුය. ඇතැම් විට අප තුළ ප්‍රකාශයට පත් නොකළ ආදරයක් පැවතිය හැක. ඉන් අදහස් කෙරෙන්නේ කවරක්ද? මෙහිදී යමෙකු කෙරෙහි පවත්නා සැඟවුණු කාමාශාව හෝ ලිංගික ආකර්ශනය නම් වූ හානිකර භාවය පිළිබඳ කථා නොකෙරේ. එය “මට ඔයා සමග යහන්ගත වන්නට ඕන” වැනි දෙයක් නොවේ. සැබෑ ධනාත්මක හැඟීමක් පිළිබඳව කථා කරමු. නිදසුනක් ලෙස අපි අපගේ දරුවාට ආදරය කරමු. ඔහුට ආදරය කරන නමුත් එම ආදරය කෙතරම් වාර ගණනක් ඔහු වෙත ප්‍රකාශ කරන්නේද? වඩාත් සුප්‍රකාශ මට්ටමකට එය ගෙන ඒමේ අවශ්‍යතාවයක් අප තුළ පවතින්නේද? ඔව්, එය ප්‍රයෝජනවත් විය හැක.
අපට දරුවා වෙත පමණ ඉක්මවා සීමා බාධක පැනවීමේ අවශ්‍යතාවයක්ද නොමැති බැවින් මෙහිදී වෙන්කොට සැලකීමේ දැනුවත්භාවක්ද පවත්වාගත යුතුය. නිදසුනක් ලෙස, අපගේ දරුවා නව යොවුන් වියේ පසුවන අතර ඔහු සිය මිතුරන් සමගින් සිටී. මවක වශයෙන් ඔහුට “අනේ මං ඔයාට ගොඩක් ආදරෙයිනෙ” යි පවසා දරුවා සිප වැළඳ ගන්නෙමු. එහිදී මිතුරන් ඉදිරියේ දරුවා අපහසුතාවයට පත් කරන අතර එය සුදුසු දෙයක් නොවේ. තවත් උදාහරණයක් ලෙස දරුවා නිවසින් පිටතට ගිය විට නිරන්තරයෙන්ම ඔහුට ඇමතුම් හෝ කෙටි පණිවිඩ ලබා දීම දැක්විය හැක. එවිට ඔහුගේ ප්‍රතිචාරය “අයියෝ, ආයෙත් අම්ම කතා කරනව මං හොඳින්ද කියල අහන්න” පන්නයේ එකක් විය හැක.
අපගේ ධනාත්මක භාවයන් ප්‍රකාශයට පත්කළ යුතු ආකාරය හා අවස්ථාව තීරණය කිරීම සඳහා වෙන්කොට දැකීමේ දැනුවත්භාවය යොදාගත යුතුය. එය වසර දෙකක් වයසැති දරුවෙකු වෙත ප්‍රකාශ කරන ආකාරය වසර පහළවක් වයසැති දරුවෙකුට ප්‍රකාශ කරන ආකාරයට වඩා වෙනස් වේ. ධනාත්මක භාවයන් ප්‍රකාශ කිරීමෙහි වරදක් නැත: එනමුදු, එය නාට්‍යාකාර හා උද්වේගකර ජවනිකාවක් බවට පත්කරගත යුතු නැත. වඩාත් තියුණු මට්ටම් ඒ සඳහා යොදා ගැනීමෙහි වරදක් නැත.