සතුටේ මූලය ඔබ තුළ පවතින්නකි. අපගේ සිත් සුව පහසුව පවත්නා විට, පෙනුම ධනාත්මක හා යථාර්ථවාදීද වන විට, සිතිවිලි අන්‍යයන් කරා කාරුණිකව පිහිටි කල, කවර දුෂ්කරතා මධ්‍යයේ වුව ශක්තියෙන් හා ධෛර්යයෙන් අපට උපකාරී ලෙස පිහිටන්නාවූ සතුටක් අත් විඳින්නෙමු. අපට සතුටින් සිටීමට අවශ්‍ය නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි අපගේ සිත් කීකරු කරගත යුතුය.

සාමාන්‍ය සතුට: වෙනස්වීමේ දුක

අප විසින් අත් විඳින සියලු දේ දුක වශයෙන් හඳුනා ගනිමින් කිසි ලෙසකින් හෝ සතුටක් ඇතැයි නොපිළිගන්නා සෘණාත්මක ආගමක් වශයෙන් ඇතැම්හූ බුදු දහම විස්තර කරති.කෙසේ වුවද මෙය වූකලි නිසි තොරතුරු මත පදනම් නොවූ සාවද්‍ය අදහසකි. අපගේ සාමාන්‍ය සතුට වෙනස් වීමේ දුක වශයෙන් බුදු දහම තුළ හැඳින්වෙන්නේය යන්න සත්‍යයකි. මින් අදහස් වන්නේ මෙයාකාරයේ සතුටක් යනු අතෘප්තිකර දෙයක් වන බවයි: එය කල් පවත්නා දෙයක් නොවන අතර එහි සෑහීමකට පත් වීමක්ද නොමැත. එය වූකලි සැබෑ සතුට නොවේ. නිදසුනක් ලෙස අයිස් ක්‍රීම් කෑම සැබෑ සතුටක් නම්, එක දිගට එය ආහාරයට ගන්නට ගන්නට වඩ වඩාත් සතුටම දැනිය යුතුය. එනමුදු, ඉතා ඉක්මනින් හා යම් ඉමකින් ඔබ්බට අයිස්‍ ක්‍රීම් රස විඳීමේ සතුට අසතුටක් හා දුකක් බවට පත්වේ. හිරුරැස් විඳීම හෝ සෙවණක් කරා ගොස් සිටීම යන දේවල් සම්බන්ධ තත්ත්වයද මෙයමය. මෙයයි වෙනස් වීමේ දුක වශයෙන් දක්වනු ලබන්නේ.

කෙසේ වුවද බුදු දහම තුළ බුදුවරයෙකු විසින් අත්දකින සදාකල් පවත්නා ප්‍රීතිමත් තත්ත්වය සාක්ෂාත් කරගන්නා පරිදි මෙකී වෙනස්වීමේ දුක හෙවත් අපගේ සාමාන්‍ය සතුටේ සීමාවන් මැඩපැවැත්වීමේ බොහෝ විධික්‍රම ඉදිරිපත් කරනු ලබයි. එසේ වුවද, අපගේ සාමාන්‍ය සතුටේ පවත්නා සීමා සහිතකම් නොසලකා, එයාකාර සතුටක් සාක්ෂාත් කරගැනීමේ මූලයන්ද බුදු දහම තුළ විස්තර කරනු ලබයි. බුදු දහම තුළ මෙම ඉගැන්වීම ඉදිරිපත් කරනුයේ සියලු දෙනා සතුටින් සිටීමට කැමතිවන අතර කිසිවෙකු හෝ දුක් විඳීමට අකමැතිය යන්න එහි මූලික සිද්ධාන්තයක් වන බැවිනි. සියලු දෙනා සතුට සොයා යන්නන් වන බැවින් හා සාමාන්‍ය සත්ත්වයන් වශයෙන් සාමාන්‍ය සතුට හැර වෙනයම් කවරවූ හෝ සතුටක් අප නොදන්නා බැවින් එය සාක්ෂාත් කරගන්නා ආකාරය බුදු දහම තුළ අපට ප්‍රකාශ කරනු ලැබේ. සාමාන්‍ය සතුටේ ඉතාමත් පදනම්ගත මට්ටමේදී එකී සතුටේ අවශ්‍යතාවය හා පැතුම සාක්ෂාත් කරගත් පසු පමණි අපට වඩාත් උසස් ආධ්‍යාත්මික පිළිවෙත් පුරමින් සතුටේ වඩාත් ගැඹුරු, වඩාත් තෘප්තිමත් මට්ටම් කරා යා හැක්කේ.

සංස්කෘත භාෂාවෙන් බෝධිසත්ත්වචර්යාවතාර ලෙස හැඳින්වෙන, ශාන්තිදේවයන්ගේ බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නමැති කෘතියේ 1.27 කොටසේ දැක්වෙන පරිදි, අවාසනාවන්ත දෙය නම්,

දුක මඟහැර යාමේ සිතක් ඇත්තේ වුවද ඔවුහූ එක එල්ලේ දුක කරාම දිව යති. සතුට පතන්නේ වුවද, අඥානකම හේතුවෙන් ඔවුහූ තමාගේම සතුරා සේ සලකා සතුට විනාශ කොට දමති.

වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, අපි සතුට ප්‍රාර්ථනා කරන්නේ නමුදු, එහි මූලාශ්‍රය පිළිබඳ නොදැනුවත්ව සිටින බැවින්, අප කෙරෙහිම වඩ වඩාත් සතුටම නිර්මාණය කරගැනීම වෙනුවට වඩ වඩාත් අසතුට හා කණගාටුවම නිර්මාණය කරගනී.

Top