කර්මය පිළිබඳ හැඳින්වීම

එදිනෙදා ජීවිතය තුළ චතුරාර්ය සත්‍යය

නැවතද වරක් මෙම ක්සලාපා නගරය වෙත පැමිණීමට ලැබීම පිළිබඳ සතුටුවන අතර මේ සන්ධ්‍යාවේ මා හට කථා කිරීමට ඇරයුම් කරන ලද මාතෘකාව කර්මයයි. සත්තකින්ම බුදු දහම පිළිබඳ යම් මාතෘකාවක් අධ්‍යයනය කරන විටදී එය අධ්‍යයනය කළ යුත්‌තේ මන්ද, එහි වැදගත්කම කවරක්ද හා එය සමස්ත බුදු දහම පිළිබඳ සන්දර්භය තුළට ගැළපෙනුයේ කවර හෙයින්ද යන කරුණු පිළිබඳ යම් අදහසක් පවත්වා ගැනීම වැදගත්ය. බුදුන් වහන්සේ මූලිකව සියලු දෙනාගේ අත්දැකීම්, අපගේ ජීවන අත්දැකීම් හා සිදුවන දේ පිළිබඳ කථා කළ සේක. අප සියලු දෙනා, සෑම අයෙක්ම අත්දකින වඩාත් මූලික මට්ටමේ දෙය කුමක්ද? එයනම් ඇතැම් විට අප දුකින්ද ඇතැම් විට සතුටින්ද පසුවන බවයි. අප ජීවිතය අත්දකින ආකාරය මෙය නොවේද?

ඇතැම් විට අසතුටින්ද, ඇතැම් විට සතුටින්ද ගත කරන්නාවූ එම තත්ත්වය පිළිබඳ පිරික්සා බලන කල්හි, එ් හා බැඳුණු බොහෝ ගැටළු පවත්නා බව අපට සොයාගත හැක. අප අසතුටින් සිටින විටදී, පැහැදිලිවම එය දුකකි. කිසිවෙකු හෝ අසතුටින් කල් ගත කිරීමට කැමති වන්නේද? නැත. මිතුරෙකුගේ නික්ම යාම වැනි දෙයක් දැකීමෙන්ද, අමිහිරි වදන් වැනි දේ ඇසීමෙන්ද, විවිධ භාවයන් සහිතව විවිධ දේ පිළිබඳ සිතීමෙන්ද අපට දුකට පත්විය හැක. එසේ නමුදු, ඇතැම් විට අප දුකට පත්වන නමුදු එය අප දකින, අසන හෝ අප වටා සිදුවන කිසිදු දෙයකට සම්බන්ධයක් පවත්නා බවක් නොපෙනේ. මෙය ගැටළුවක් නොවේද?

එසේ වුවද, සතුට පිළිබඳ තත්ත්වය කවරක්ද? ඇතැම් විට අපට සතුටක් දැනේ. දේවල් දැකීමෙන්ද, ඇසීමෙන්ද, ප්‍රියතමයකුගේ කටහඬ ශ්‍රවණයෙන්ද සතුටක් දැනෙන අතර, යම් කිසිවෙකු හා ගතකල සුන්දර සමයක් පිළිබඳ සිහි කැඳවීමෙන් ඈ ලෙස යමක් පිළිබඳ සිතීමෙන්ද අපට සතුටක් දැනේ. එනමුදු, වඩාත් ගැඹුරට සොයා බැලීමේදී, අප අත්විඳින මෙම සතුට තුළද ඇතැම් ගැටළු පවත්නා බව පෙනී යයි. සියල්ලටම පළමු කරුණ නම්, එය කල් පවත්නක් නොවන අතර, එය කෙතරම් කාලයක් රඳා පවතීදැයි අපි නොදනිමු. තවද, එය ප්‍රමාණවත් බවක්ද නොහැඟේ. එක් ආහාර හැන්දක් ආහාරයට ගැනීමෙන් සතුටට පත්විය හැකි නමුදු, එය ප්‍රමාණවත් නොවේ - අපට තව තවත් ආහාර ගැනීමට අවශ්‍ය වේ. සැබැවින්ම සැබෑ ලෙස රස විඳීමට නම් කොපමණ ආහාර ප්‍රමාණයක් ඔබ ගත යුතුද යන්න ඉතා සිත් ගන්නා සුළු ප්‍රශ්නයකි. එ් පිළිබඳ සිතන්න. මෙම සතුට සම්බන්ධ තවද දෝෂයක්, අඩු පාඩුවක් වනුයේ ඊළඟ මොහොතේ කවරක් සිදුවනු ඇත්තේදැයි අපතුළ පවත්නා නොදැනුවත්භාවයයි. ඊළඟ විනාඩියේදී එම සතුට තවදුරටත් පැවතීම හෝ එ් වෙනුවට දුකක් ඇතිවීමද සිදුවිය හැක. එය වෙනස්විය හැකි බැවින් මෙම සතුට තුළ ආරක්ෂිත බවක් නොමැත.

සතුට හෝ දුක සම්බන්ධයෙන් මෙයාකාරයේ අන්තර්ඥානයක් හෝ විග්‍රහයක් යනු සත්‍ය වශයෙන්ම බුදු දහමට විශේෂිත වු දෙයක් නොවේ; ලොව බොහෝ මහා චින්තකයන් විසින් මෙකරුණ නිරීක්ෂණය කොට එ් පිළිබඳ දේශනා කර ඇත. එනමුදු, බුදුන් වහන්සේ විසින් වටහාගත් හා දේශනා කරන ලද දෙය වූකලි ගැටළුවේ හෝ දුකෙහි වඩා ගැඹුරු පැතිකඩකි. සතුට හා දුක නිරතුරු ඉහළ පහළ ගමන් කරන්නේය යන සියලු දෙනාගේ ජීවිතයට අදාළ උන්නතාවනත තත්ත්වය දෙස උන් වහන්සේ වඩාත් ගැඹුරින් විමසා බැලූ අතර, එම සිදුවීමේ හේතුව සැබෑ ලෙසම අප අත්දකින සෑම අවස්ථාවකම කොටසක්ය යන කරුණ උන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලදී. වෙනත් ආකාරයකට ප්‍රකාශ කරන්නේ නම්, ඉන් අදහස් කෙරෙනුයේ සතුට හා දුක අතර ඉහළ පහළ යාම් සහිතව දේවල් අත්දකින ආකාරය මගින් එකී දුක්ඛදායක තත්ත්වය නොකඩවා පවත්වාගෙන යන බවයි.

එ් අනුව සෑම මොහොතකම පවතිමින් මෙම දුක්ඛදායක තත්ත්වය අඛන්ඩව පවත්වාගෙන යන එකී හේතුව බුදුන් වහන්සේ විසින් ඉනික්බිති විමසා බලන ලද අතර, එය යථාර්ථය පිළිබඳ පවත්නා චිත්ත ව්‍යාකූලත්වය හෙවත් අවුල් සහගතබවය යන කරුණ හඳුනාගන්නා ලදී. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, එය අපගේ පැවැත්ම, අප වටා සිටින සියල්ලන්ගේ පැවැත්ම, ලෝකයේ පැවැත්ම පිළිබඳ චිත්ත ව්‍යාකූලත්වයයි.

මෙය අන් බොහෝ අය විසින් ප්‍රකාශිත කරුණුවලට වඩා බොහෝ සෙයින් වෙනස් වූ දෙයක් විය. නිදසුනක් ලෙස, සෙසු ඇතැමුන් විසින් පවසන ලද්දේ මූලික වශයෙන් දේව වරමක් හෝ දණ්ඩනයක් ලෙස හෝ නීති අනුගමනය කිරීම හෝ එසේ නොකිරීම අනුව අප අත්විඳින සතුට සහ දුකට අදාළ ඉහළ පහළ යාම් ඇතිවන බවයි. බොහෝ ශාස්තෘවරුනට අනුව සතුට හෝ දුක දැනීමට අදාල මූලික කරුණ කීකරුභාවයයි. එසේ නමුදු, බුදුන් වහන්සේ විසින් වදාරන ලද්දේ සැබෑ තත්ත්වය එය නොවන බවයි. සැබෑ හේතුව අපගේ මෝහය හෙවත් චිත්ත ව්‍යාකූලත්වය විනා කීකරු වීම හෝ නොවීම සම්බන්ධ දෙයක් නොවීය; එය ජීවිතය පිළිබඳ පවත්නා වියවුල් සහගත බවයි. ඉනික්බිති, තවදුරටත් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ, එකී වියවුල් සහගත බව අප දේවල් අත්දකින ආකාරයට අදාල ජීවිතයේ ආවශ්‍යක කොටසක් නොවන බවයි. එය පැවතිය යුත්තක් නොවේ: එය ඉවත් කළ යුත්තක් වන අතර, නැවත ඉස්මතු නොවන පරිදි සපුරා ඉවත්කළ හැක්කක්ද වේ. ඉනික්බිති උන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ එම කර්තව්‍යය ඉටු කිරීමේ සැබෑ ක්‍රමය නම් අප දේවල් අත්දකින ආකාරය වෙනස් කිරීම බවයි.

එම වියවුල් සහගත බවින් මිදීම යනු අන් කිසිවෙකුට අප ඉන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටීමක් නොව මූලිකවම අපගේ ආකල්ප, යථාර්ථය පිළිබඳ අපගේ වැටහීම වෙනස් කිරීම සම්බන්ධ වූවකි. අපට අනවබෝධය වෙනුවට අවබෝධය ඇතිකරගත හැක්කේ නම්, හා ඉන්පසු මෙම අවබෝධය සැම කල්හිම පවත්වාගත හැක්කේ නම්, එම අඛන්ඩව සිදුවන සතුටේ හා අසතුටේ ඉහළ පහළ යාම සැබෑ ලෙසම නොපවත්නා බව වැටහෙන අතර එකී ඉහළ පහළ යාම අඛන්ඩව පවත්වාගැනීම අප විසින්ද සිදු නොකරයි. එබැවින්, එදිනෙදා භාෂාවෙන් ප්‍රකාශ කරන්නේ නම්, එ් වූකලි බුදුන් වහන්සේගේ ඉතා මූලික දේශනාවක් වේ. 

කර්මය චර්යාත්මක හේතු ඵල හා සම්බන්ධ වේ

කර්මය පිළිබඳ කථා කිරීමේදී, එ් වූකලි අපගේ සතුට හා දුක පිළිබඳ අත්දැකීම් ඉහළ පහළ යන ආකාරය පිළිබඳ මූලික විග්‍රහයයි - කර්මය යනු එයයි. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, අපගේ වියවුල් සහගත බව තුළින් මෙකී සතුටේ හා අසතුටේ මෙන්ම මිහිරි හා අමිහිරි අත්දැකීම් ආශ්‍රිත ඉහළ පහළ යාම ඇති කරන්නේ කෙසේද? වෙනත් අයුරකින් පවසන්නේ නම්, එය හේතු ඵල න්‍යාය හා සම්බන්ධ වන අතර මෙහිදී හේතු ඵල න්‍යාය යනු අතිශයින්ම සංකීර්ණ මාතෘකාවකි. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි, වතුර බාල්දියක් පිරෙනුයේ එයට එක්වන මුල් බිඳුවෙන් හෝ අවසන් බිඳුවෙන් නොවේ; එය පිරෙනුයේ එයට එක්වන සමස්ත බිඳු රාශියෙහි එකතුවෙනි. මෙයට සමානවම, ජීවිතයේ අප අත්දකින දේ හුදෙක් තනි හේතුවක ප්‍රතිඵලයක් නොවේ - හේතුව මද වේලාවකට පෙර අප විසින් සිදුකරන ලද දෙයක් හෝ කල්ප ගණනකට පෙර අප විසින් සිදුකරන ලද දෙයක් හෝ නොවේ. එය වූකලි අති විශාල හේතු සාධක හා ප්‍රත්‍ය ගණනාවක ප්‍රතිඵලයකි.

එමගින් සැබෑ  ලෙසම ප්‍රකාශ කෙරෙනුයේ සිදුවීම් හුදෙකලා සිදුවීම් ලෙස සිදු නොවන අතර සැබෑ ලෙස සියලු දේ එකිනෙක හා සම්බන්ධ වන්නේය යන කරුණ වන බැවින් මෙය විද්‍යාත්මක අදහස හා ඉතා හොඳින් ගැලපේ. ඉතා සරල උදාහරණයක් ගෙන බලන්නේ නම්, ස්පාඤ්ඤ ජාතිකයන් ඇමරිකාවට නොපැමිණියේ නම් මෙම දේශනයට සවන් දෙමින් මේ සියලු දෙනා මෙහි නොසිටිනු ඇත. එය වූකලි අපගේ මෙම හමුවීමට අදාල එක් හේතුවකි. එමෙන්, මේ මොහොතේ හෝ ඕනෑම අවස්ථාවක අප විසින් අත්දකින්නාවූ දේවලට සෘජුවම හා වක්‍රව දායකවන බොහෝ හේතූන් පවතී.

කෙසේ වුවද කර්මය මගින් අපගේ සිත් සමගින් නිශ්චිතව සම්බන්ධ වී ඇති හේතු විස්තර කරනු ලබයි. අප අත්දකින දේවලට දායක වන අන් බොහෝ හේතුද පවතී - නිදසුනක් ලෙස කාලගුණය ඈ භෞතික හේතු දැක්විය හැක. අපට බලපාන්නාවූ බොහෝ දේ අපගේ සිත් තුළින් පමණක් පැන නොනගින අතර සෙස්සන්ගේ සිත් තුළින්ද පැන නගී. අපට බලපාන්නාවූ විවිධ ප්‍රතිපත්ති තීරණය කරන දේශපාලනඥයන් පිළිබඳ සලකා බැලුවහොත් එම ප්‍රතිපත්ති තුළද යම් වියවුල් සහගත කරුණු ඇතුළත් විය හැක.

කර්මය විසින් ඇදහිල්ල පිළිබඳව හෝ ඉරණම හා දෛවය පිළිබඳව සහ එවන් අන් කරුණු පිළිබඳව සාකච්ඡා නොකරන අතර එ් වෙනුවට අප විසින් දේවල් අත්දකින ආකාරය හා ජීවිතය තුළ එසේ අත්දකින දේවලට අපගේ ආකල්ප මගින් බලපෑම් ඇතිවන ආකාරය සාකච්ඡා කරයි. මෙහිදී චර්යාත්මක හේතු ඵල ප්‍රකාරව අදාළ වන සියල්ල ඇතුළත් පොදු අරුතකින් කර්මය යන වදන භාවිත කෙරේ; වෙනත් අයුරකින් පවසන්නේ නම්, අපගේ චර්යාව හා ආකල්ප තුළින් ඉස්මතුවන හේතු ඵල සම්බන්ධතාවයයි. "කර්මය" යන්නෙන් පොදුවේ චර්යාත්මක හේතු ඵල දහම සම්බන්ධ සමස්ත මාතෘකාව හෝ එම සමස්ත ක්‍රියාවලියේ එක් පැතිකඩක් පිළිබඳ නිශ්චිතව සාකච්ඡා විය හැක. කර්ම යාන්ත්‍රණය වටහා ගැනීමට අවශ්‍ය නම්, එම කරුණ මදක් විස්තරාත්මකව හා නිශ්චිතව සාකච්ඡා කළ යුතුය.

කර්මය පිළිබඳ විග්‍රහ කරන සංස්ථාවන් කිහිපයක්

බුදු දහම තුළ වඩාත් නිශ්චිත විග්‍රහයක් සෙවීමේදී, හුදෙක් එක් විග්‍රහයකට වැඩි විග්‍රහයන් ගණනාවක් පවත්නා බව ක්ෂණිකව සොයාගත හැක. මෙය ඇතැම් බටහිර ජාතීන් තරමක් අපහසුතාවයට පත් කරවන සුළු කරුණකි. එසේ වුවද, යම් ගැටළුවක් හෝ අවස්ථාවක් පවත්නේ නම්, අපට එය අපගේ දෘෂ්ටි කෝණයට අනුව විවිධාකාරයෙන් විග්‍රහ කළ හැක. බටහිර රටවල අප විසින් එම කටයුත්ත සිදු කරන අතර අපට යම් කරුණක් සමාජමය දෘෂ්ටි කෝණයකින්, මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින්, ආර්ථික විද්‍යානුකූල දෘෂ්ටි කෝණයකින් ඈ ලෙස විග්‍රහ කළ හැක - එය කිසිසේත් විශ්මයට පත්විය යුතු තත්ත්වයක් නොවේ. මෙකී විවිධාකාර විග්‍රහයන් සැබෑ ලෙසම සිදුවන දේ වඩාත් පරිපූර්ණ ලෙස අවබෝධ කරගැනීමට උපකාරී වේ. සිදුවන දේ පිළිබඳ එකී විවිධාකාර විග්‍රහ ක්‍රම එකිනෙකක් යම් චින්තන සම්ප්‍රදායක් මත පදනම් වේ - යම් මනෝ විද්‍යා සම්ප්‍රදායක්, දේශපාලන, ආර්ථික සම්ප්‍රදායක් ඈ වශයෙනි. බුදු දහම තුළද මෙයට සමාන දෙයක් පවතින බැවින් කර්මය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ විවිධ දාර්ශනික න්‍යාය සංස්ථා මගින් ඉදිරිපත් කෙරෙන විග්‍රහයන් ගණනාවක් පවතී. බටහිර රටවල මනෝ විද්‍යාව වැනි එක් විෂය කරුණක් ඇතුළත පවා එම විවිධත්වය පවතී - ෆ්‍රොයිඩියානු මනෝ විද්‍යාව තුළින් එක් විග්‍රහයක්ද, ජන්ගියානු මනෝ විද්‍යාව තුළින් තවත් විග්‍රහයක්ද ඈ වශයෙනි; යමෙකුට එකම දෙය සමාජවාදී අයුරින් හෝ ධනවාදී අයුරින්ද විග්‍රහ කළ හැක. බුදු දහම තුළ මෙම සංස්ථාවන් හෙවත් සම්ප්‍රදායන් කිහිපයක් විමසා බැලීමද සිදු කරන අතර එය සැබැවින්ම ප්‍රයෝජනවත් වනුයේ එමගින් අපට කර්මය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ අන්තර්ඥානයක් ලැබෙන බැවිනි. අපගේ කාර්යය සඳහා මෙම සම්ප්‍රදායන් අතර පවත්නා වෙනස්කම් විස්තරාත්මකව විග්‍රහ කිරීම අවශ්‍ය නොවුවද සම්ප්‍රදායන් ගණනාවක් පවත්නේය යන කරුණ පිළිබඳ දැනුවත්ව සිටීම ප්‍රයෝජනවත්ය.

එමගින් අධ්‍යහාරයෙන් අඟවනුයේ අපගේ අත්දැකීම් ඇසුරින්ද සිදුවන්නේ කවරක්ද යන්න විස්තර කරන්නාවූ බටහිර සම්ප්‍රදායන්ද ඇසුරු කළ හැකි බවයි.එමගින් කර්මය පිළිබඳ අපගේ විග්‍රහයට පරස්පර අදහසක් ඉස්මතු නොවේ.

කර්මය යම් පෙළැඹීමක මානසික සාධකය වශයෙන් 

නිශ්චිත අයිතමයක් වශයෙන් ගෙන කථා කරන විටදී, විග්‍රහයේ එක් සම්ප්‍රදායක් අනුව පවසන්නේ නම්, කර්මයද මානසික සාධකයක් හා සම්බන්ධ වේ. "මානසික සාධකය" යන්නෙන් අදහස් කෙරෙනුයේ කවරක්ද? මානසික සාධකයක් යනු යම් කිසිවක් පිළිබඳව දැනුවත්ව සිටීමයි. නිදසුනක් සලකා බලමු: යම් කිසිවෙකු දැක අපි එදෙසට ගමන් කරමු. එම අත්දැකීම තුළ අන්තර්ගත බොහෝ මානසික සාධක පවතී. එ්වා නම් මෙම පුද්ගලයා පිළිබඳ අප දන්නා ආකාරය සම්බන්ධයෙන් බොහෝ මානසික සාධක පැවතීමයි. මේවා වූකලි මෙම පුද්ගලයා පිළිබඳ අප දැන සිටින ආකාරය සම්බන්ධ විවිධ පැතිකඩයන් වේ. ඇතැම්වා මෙම පුද්ගලයා වෙනයම් අයෙකුගෙන් හෝ අසල පිහිටි බිත්තියෙන් වෙන්කොට හඳුනා ගැනීම වැනි බොහෝ සෙයින් මූලික මට්ටමේ එ්වා වේ. කැමැත්ත යනු එම පුද්ගලයා දැකීමත් සමගින් ඇතිවන පුද්ගලයා පිළිබඳ දැනුවත් භාවයේ එක් පැතිකඩකි. එතුළ සමාධියක් පැවතිය හැක; එහි විවිධාකාර හැඟීම් පැවතිය හැක. මේ සියල්ල මානසික සාධක වන අතර එ්වා එම පුද්ගලයා දැක ඔහු වෙත ගමන් කරන අවස්ථාවේදී සාමුහිකව ක්‍රියාත්මක වේ.

කර්මය යනු කවර මානසික සාධකයක්ද? කර්මය යනු අප එම පුද්ගලයා වෙත ආකර්ශනය කරගන්නා මානසික සාධකයයි; එ් වූකලි පුද්ගලයා දැකීම හා ඔහු වෙත ගමන් කිරීම සමගින් ඇතිවන පෙළැඹීමයි. එබැවිනි ඇතැම් න්‍යායන් තුළ කර්මය භෞතික බලවේගයකට සමාන කොට විස්තර කෙරෙනුයේ. අපේක්ෂාව වැනි සෙසු මානසික සාධකද පැවතිය හැකිය. මෙම පුද්ගලයා සමගින් අප සිදු කිරීමට අපේක්ෂා කරන්නේ කවරක්ද? අපට ඔහු සිඹීමේ හෝ ඔහුගේ මුහුණට පහරක් ගැසීමේ අපේක්ෂාවක් පැවතිය හැක. මේ හා සම්බන්ධ වන අන් බොහෝ සාධකද පවත්නා නමුදු, අප ඔහු දකින විටදී හා ඔහු වෙත ගමන් කරන විටදී පෙරකී සිඹීමේ හෝ පහර දීමේ කාර්යය කරා අප ආකර්ශනය කරන මානසික පෙළැඹීම කර්මයයි. මානසික පෙළැඹීම් පවතිනුයේ හුදෙක් සිඹීම හෝ පහර දීම වැනි භෞතික ක්‍රියාවන් සඳහා පමණක් නොවේ. අපට යමක් සිතීමට පොළඹවාලන්නා වූ මානසික පෙළැඹීමක්ද පැවතිය හැක;එ් වූකලි යමක් භෞතිකව ප්‍රකාශ කිරීම හෝ සිදු කිරීම හෝ සම්බන්ධ වූවක් නොවේ. යමක් සිතන්නේ හෝ පවසන්නේ හෝ සිදු කරන්නේ හෝ වුවද, මේ සියල්ල යම් ආකාරයක මානසික පෙළැඹීමක් සහිත ක්‍රියාවන් වේ.

කර්ම චර්යාවන්හි ඵල

විද්‍යාව මෙන් බුදු දහමේ එන දේශනාද බොහෝ සෙයින් හේතු ඵල සම්බන්ධතාවයට අනුගත වේ. එ් අනුව, කර්මය මගින් සිදුවන පෙළඹීම හේතුකොට අපි දේවල් කිරීම, පැවසීම හා සිතීම සිදුකරන අතර එ් අනුව ප්‍රතිඵල ලැබේ. අපගේ චර්යාවන්හි ඵල අන් අය කෙරෙහිද බලපෑම් ඇති කරන නමුදු කර්ම විෂය තුළ අපගේ ක්‍රියාවන්හි ඵල අන් අය කෙරෙහි බලපාන ආකාරය එතරම් සාකච්ඡා නොකෙරේ. මක් නිසාද, අපගේ ක්‍රියාවක් තුළින් අනෙකා කෙරෙහි ඇති කරන බලපෑම එම පුද්ගලයාගේ පෞරුෂය මත බොහෝ දුරට තීරණය කෙරෙන බැවිනි. අප විසින් අනෙකා වෙත සිදු කරන යම් කාර්යයක ඵලය ඇතැම් විට ශාරීරික වේ : යමෙකුට පහර දුන් කල්හි ඔහුගේ සම සීරී යාම මෙනි. එය හුදෙක් භෞතික හේතු ඵල දහම වේ; එය කර්මය හා සම්බන්ධ කොට සාකච්ඡා කෙරෙන්නක් නොවේ. අප විසින් අනෙකා වෙත පවසන හෝ සිදු කරන දෙය අනෙකා විසින් අත්විඳින ආකාරය හෙවත් අපගේ ක්‍රියාව මගින් අනෙකා වෙත ඇතිකරන බලපෑම එම පුද්ගලයාට අදාල කරුණක් වේ. නිදසුනක් ලෙස අපට යමෙකුට ඉතා කුරිරු වූ යමක් ප්‍රකාශ කළ හැකි අතර එමගින් ඔහුට බලවත් සිත් රිදීමක් ඇතිවිය හැක; ඔහු බොහෝ සෙයින් වියවුලට පත්විය හැක. එනමුදු, අනෙක් අතට අපි සම්පූර්ණයෙන් අඥාන අමනයන් බව සිතමින් අපගේ ප්‍රකාශ විශ්වාස නොකරමින් එ්වා එතරම් තදබල ලෙස නොගැනීමටද හැක. ඇතැම් විට ඔවුනට අප ප්‍රකාශ කරන දේ නිසි පරිදි නොඇසෙන්නට හෝ නිවැරදිව නොඇසෙන්නටද පිළිවන. නිදසුනක් ලෙස ඔහුගේ සිත වෙනත් කල්පනාවක නිමග්නව පැවතියා වන්නට පිළිවන. එ් අනුව, පැහැදිලි ලෙසම කිසිවෙකු හෝ රිදවීමට උත්සාහ නොකළ යුතු බවට බුදු දහම තුළ දේශනා කෙරෙන්නේ වුවද, මෙම පුද්ගලයාගේ සිත රිදවීමේ තදබල අදහසක් අප තුළ පැවතියද එය සැබෑ ලෙසම සිදුවනු ඇත්තේද යන සහතිකයක් නොමැත. එනමුදු, ඉහත කී කරුණ මෙහිලා සාකච්ඡා කෙරෙන කර්ම විෂයයට අයත් නොවේ.

යම් කිසිවක කර්මානුකූල ප්‍රතිඵලය පිළිබඳව කථා කරන විටදී, කථා කෙරෙනුයේ කර්ම බලපෑමෙන් යුතුව මෙසේ බලහත්කාරී ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප විසින්ම අත් විඳින්නාවූ කර්ම ප්‍රතිඵලයයි.

අප තුළ ඇති කෙරෙන ඵලයන් මොනවාද? බටහිර විද්‍යාවන් තුළද ප්‍රකාශ කෙරෙන කරුණුවලට ඉතාමත් සමාන වූ එක් ඵලයක් වනුයේ එතුළ අප විසින් යම්කිසි ආකාරයකට සිතීමට හා කථා කිරීමට අපවම සකස් කරවන බවයි. එමගින් එම හැසිරීම් රටාව නොකඩවා පවත්වාගෙන යාමේ නැඹුරුතාවයක් ගොඩනංවනු ලබයි. එම ක්‍රියාව නැවතද සිදු කිරීමේ නැඹුරුතාවය හා එම ක්‍රියාව නැවත සිදු කිරීමේ විභවය හේතුකොට අපට එම ක්‍රියාව නැවත සිදු කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවේ. පෙරකී විභවයන් හා නැඹුරුතාවයන් අතර වෙනසක් පවත්නා නමුදු එ් පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් මේ අවස්ථාවේදී සිදුකළ යුතු නොවේ. මෙම නැඹුරුව හෝ විභවය මගින් සැබෑ ලෙසම නිපදවනු ලබන්නේ කවරක්ද? නැඹුරුතාවය මගින් යම් හැඟීමක් ඇති කරනු ලබයි. එ් වූකලි ඔබ කරා ගොස් ඔබට හාදුවක් දීමේ හෝ ඔබ කරා ගොස් යම් අමනෝඥ ප්‍රකාශයක් කිරීමේ හැඟීමක් වශයෙනි. එසේ කළ යුතු බවට අපට හැඟෙන විටදී, එය කරන්නේද, නොකරන්නේද යන්න තෝරාගැනීමේ හැකියාව අප සතුවේ. කළ යුතු බවට හැ‌ඟෙන දෙය සැබෑ ලෙසම සිදු කරන්නේද යන්න අපට තෝරාගත හැකි විකල්පයක්ය යන කරුණ අවබෝධ කරගැනීම ඉතා වැදගත් වේ. එසේ නමුදු, හුදෙක් එය සිදු කරන බවට තීරණය කළහොත් හෝ එය සිදු කරන්නේද නැත්තේද ඈ ලෙස සලකා බැලීමක් පවා සිදු නොකරන්නේ නම්, එය නොවලහා සිදු කෙරෙන අතර ඊළඟ අදියර වනුයේ කර්මය ක්‍රියාත්මකවන අදියරයි. කර්මය යනු සැබෑ ක්‍රියාව පසුපස පවත්නා පෙළඹීමයි, ධාවකයයි, බලහත්කාරී තල්ලුවයි.

මෙම නැඹුරුතාවයන් තුළින් පරිණත බවට පත්වන අන් බොහෝ දේද පවතී. එ් අතරින් මූලික දෙයකි අපගේ අත්දැකීමෙහි අන්තර්ගතය. "අන්තර්ගතය" යන්න බරපතල වචනයකි; අපි මෙයට වඩා තරමක් නිශ්චිතාර්ථයෙන් සාකච්ඡා කළ යුතුය යන්න මගේ අදහසයි. එහිදී අර පුද්ගලයා නොව මේ පුද්ගලයා හමුවීමේ අදහසක් පැවතිය යුතුය. එම පුද්ගලයන් අප කෙරෙහි දක්වන ප්‍රතිචාරයද මෙහිදී අදාල වේ. වඩාත් නිවැරදි වනු පිණිස අප විසින් එය පවසන ආකාරය සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් විය යුතුය. අපගේ කර්මය මගින් අනෙක් පුද්ගලයා තුළ අපට බැණ අඬගැසීමේ නැඹුරුවක් ඇති නොකරයි - ඔවුන් එසේ බැණ අඬ ගසන්නේ නම් එසේ සිදු කරන්නේ එම ක්‍රියාව සම්බන්ධයෙන් ඔවුන් තුළ පවත්නා නැඹුරුව හේතුවෙනි. එසේ නමුදු, අන් පුද්ගලයන් අපට බැණ අඬ ගැසීමේ තත්ත්වයන් අත් විඳීමට අපට සිදුවනුයේ අපගේ කර්මය හේතුවෙනි.

මෙය තේරුම් ගැනීමට එතරම් පහසු දෙයක් නොවුවද, එය අවබෝධ කරගැනීමේ එක් විධික්‍රමයක් වනුයේ නිදසුනක් මගින් ගෙනහැර දැක්වීමයි. දරුවෙකු ඉණකඩක් හැඳ සිටින අතර එය කිලිටි කරගන්නේ නම් එම දරුවාට එම කිලිටි සමගම සිටීමට සිදුවේ; දරුවා හට ඔහු තවරාගත් දේ සමගින් කල් ගෙවීමට සිදුවේ. යමෙකු පැමිණ දරුවාගේ ඉණකඩ මාරු කරන්නේද යන කරුණ මුළුමනින්ම නොසලකා හැරියහොත්, මෙහිදී වැදගත්වන කරුණ නම් ඔබ විසින් නිර්මාණය කරගත් අවුලෙහි ඵල ඔබ විසින්ම භුක්ති විඳිය යුතු බවයි. අපි ජීවිතයේ අවුල් ඇතිකර ගන්නා අතර ජීවිතය ඉදිරියට යත්ම එය වඩ වඩාත් අවුල් වේ; එහි ක්‍රියාකාරිත්වය මූලිකව එපරිදිය. වඩාත් නිශ්චිතව සඳහන් කරන්නේ නම්, අපි අන්‍යයන් කෙරෙහි යම්කිසි ආකාරයකට කටයුතු කරන අතර, එ් හා සමාන ආකාරයකින් අන්‍යයන්ද අප කෙරෙහි ක්‍රියා කරන ආකාරය අපට අත් විඳීමට සිදුවේ. කර්මය සම්බන්ධ තවත්  ඉතා වැදගත් මූලධර්මයක් නම්,  මෙය ක්ෂණිකව ක්‍රියාත්මක වන්නක් නොවන බවයි. අපට යමෙකු සමගින් ඉතා කාරුණික හා මෘදු වදනින් කථා කළ හැකි නමුදු, එසේ කථා කරන විටදීද ඔවුහූ කැළඹිල්ලට පත්ව, අමනෝඥ ලෙස අපට කෝපයෙන් බැණ අඬ ගැසිය හැක.

එබැවින්, කර්ම විෂයය නියමාකාරයෙන් අවබෝධ කරගනු පිණිස, ක්‍රියාවක යම් ප්‍රතිඵලයක් ලැබීමට බොහෝ කල් ගතවන අතර ඇතැම් විට මෙම ජීවිත කාලය තුළ එමගින් කිසිදු ප්‍රතිඵලයක් ඇති නොවිය හැකිය යන පුනර්භවය සම්බන්ධ සමස්ත සාකච්ඡාවම මෙහිදී අදාළ කරගත යුතුව පවතී. බොහෝ අවස්ථාවලදී කර්මය මෙලෝ වශයෙන් අත් විඳිය හැක්කක් නොවේ. මෙය බටහිර ජාතීන් වන අපට පිළිගැනීමට කිසිසේත් පහසු දෙයක්ද නොවේ. ඇතැමුන් හට බුදු දහම තුළ වන මෙම දේශනාව " මේ ජීවිතයේ යහපත් වන්න, මතු භවයේදී ඔබ එහි ආනිසංස දිව්‍ය ලෝකයේදී අත් විඳිනු ඇත; මේ ජීවිතයේ අයහපත් වුවහොත්, මතු භවයේදී ඔබ එහි ප්‍රතිවිපාක නරකයේදී අත් විඳිනු ඇත" පන්නයේ එකක්ය යන හැඟීමක් අති කරයි.

අප විසින් මෙය ඉතා සමීපව අධ්‍යයනය කළ යුත්තකි: බුදු දහම තුළ සැබැවින්ම ප්‍රකාශ වනුයේ එයද, වෙනෙකක්ද? එය විග්‍රහ කිරීමට පහසු මාතෘකාවක් නොව ඉතා සංකීර්ණ මාතෘකාවකි. මක් නිසාද, කර්ම හේතු ඵලවාදය සැබෑ ලෙස වටහාගනු පිණිස, අපට පුනර්භවය අවබෝධ කරගැනීමට සිදුවේ - අවබෝධ කළ යුතුවන්නේ පුනර්භවය පිළිබඳ බෞද්ධ සංකල්පය විනා අබෞද්ධ සංකල්පය නොවේ. කර්ම හේතුව ඇති කරන්නේ කවුරුන්ද හා එහි ප්‍රතිඵලය භුක්ති විඳින්නේ කවුරුන්ද? පැසසිය යුතු වූ හෝ දණ්ඩනයට ලක්කළ යුතුවූ "මම" යන්නෙක් ඇත්තේද? 

එසේ නමුදු, පුනරුත්පත්තිය හා එය අත්විඳින්නේ කවුරුන්ද යන ගැටලුව පසෙකින් තැබුවහොත්, මා මුලදී සඳහන් කළ පරිදි, බුදු දහම වූකලි නීතියට ගරු කිරීම පදනම් කොට ගනිමින් ගරු සම්මාන පිරිනමන සහ දණ්ඩනයන් පනවනු ලබන සංස්ථාවක් පිළිබඳ කථා කරන්නක් නොවේ. මෙම ජීවිතය යම් ආකාර පරීක්ෂණයක් වන අතර ඊළඟ ජීවිතයේදී එම පරීක්ෂණයේ ප්‍රතිඵල අප වෙත ලැබෙන බවක් බුදු දහම තුළ නොකියවේ. එතුළ හුදෙක් ප්‍රකාශ කෙරෙනුයේ දේවල්හි ප්‍රතිඵල ලැබෙන්නට දීර්ඝ කාලයක් ගතවන බවයි. අපට එම කරුණ පරිසරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී දැකිය හැක්කකි. අපට යම් ආකාරයකට කටයුතු කළ හැකි අතර එමගින් අපගේ ජීවිත කාලය තුළ එහි ප්‍රතිඵල ඇති කරයි. එනමුදු, එමගින් එයට වඩා බොහෝ බරපතල ප්‍රතිඵල ගණනාවක් අනාගත පරපුරුවල ජීවිත කාලය තුළ ඇති කරනු ඇත. එම කරුණ එවැන්නකි.

සතුට හා අසතුට

මෙම දේශනය ආරම්භයේදී සාකච්ඡා කළ පරිදි කර්මය ඵල දරන වෙනස්ම ආකාරයේ මානයක් සතුට හා අසතුට හෙවත් දුක නම්වූ මෙම මානය තුළ අන්තර්ගත වේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, මෙය වූකලි මෙකී කර්මානුකූල ක්‍රියාවන් තුළින් ප්‍රතිවිපාක අත්වන්නාවූ වෙනත් මානයකි. යම් ක්‍රියාවන් නැවත නැවතත් සිදු කරන විටදී අපට ඇතැම් දේ සිදුවන බව අත්දකින්නට ලැබේ - මිනිසුන් අප කෙරෙහි යම් ආකාරයකින් කටයුතු කරන ස්වභාවයක් හෝ පර්වතයක් මුදුනේ සිට අප හිස මතට පාෂාණයක් රූටා වැටීම ආදී වශයෙනි. අපි මේවා සතුටින් හෝ අසතුටින් අත් දකින්නෙමු. එ් පිළිබඳ සිතා බලන්න. ඇතැමුනට කැරපොත්තෙකු පාගා දැමීමට ලැබීම මහත් සතුටකි - මම මේ දරුණුකම අත්විඳ ඇත්තෙමි. කැරපොත්තෙකු පෑගුණ කල පිළිකුලක් හා නොසතුටක් දැනෙන තවත් අයද වේ. ඇතැමෙකු හට යමෙකු පහර දුනහොත් හෝ බැණ අඬ ගැසුවහොත් මහත් අසතුටක් හා දුකක් ඇතිවන අතර "ඔව්. මං පව්කාරයෙක්; කමකට නෑ; හරිම නරකයි; මට බැණපු එක, ගහපු එක හරි"යි සිතමින් ඉන් සතුටට පත්වන අයද ඇත.

ඔබ මෙම කියමන දන්නවා ඇත. මා සිතන ආකාරයට එය මෙහි, මෙක්සිකෝවේ නිර්මාණය වූවක් විය හැකි අතර, සමහර විට යම් කිසිවෙක් කථාවක් ලෙස මෙය නිර්මාණය කළාද විය හැකියි. එම කථාව මෙසේය: "මගේ ස්වාමි පුරුෂයා මට ගහනවා නම් එ් කියන්නෙ එයා මට ඇත්තටම ආදරෙයි; එයා ගහන්නෙ නැත්නම් එ්කෙ තේරුම එයා මාව ගණන් ගන්නෙ නෑ කියන එකයි".

මෙකී  සතුට හෝ අසතුට මුළුමනින්ම වෙනස්ම ආකාරයේ මානයක් නොවේද? එක් මානයක ආකාරයෙන් අපට සිදුවන දේ වූකලි නැවත නැවතද සිදුවන බලපෑම මත අප විසින් සිදුකරන දෙය වන අතර අපගේ අත්දැකීම් හෙවත් අපට සිදුවන දේ එක් මානයකි ; අනෙක් මානය වනුයේ අප එය සැබෑ ලෙසම සතුටින් හෝ අසතුටින් අත් විඳින්නේද යන්නයි. අප අත් විඳින මේ දේවල් හෙවත් මෙකී මාන දෙක වූකලි විවිධාකාර වූ පෙර කර්මයන්හි බලපෑමෙන් පල දරන එ්වා වේ. හුදෙක් සතුට හා අසතුට යන මානයන් පමණක් විමසා බලන්නේ නම්, මේ වූකලි ඉතා පොදු මානයකි. එය අපගේ ක්‍රියාව පාප ක්‍රියාවක්ද, පුණ්‍ය ක්‍රියාවක්ද යන්න මත තීරණය වේ. පාපකාරී ක්‍රියාවක නියැළුණහොත්, ප්‍රතිවිපාකය ලෙස අසතුට හෙවත් දුක අත් විඳීමට සිදුවේ; පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වුවහොත්, එහි ප්‍රතිඵලය ලෙස සතුට අත් විඳීමට සිදුවේ.

පුණ්‍යවන්ත හා පාපකාරී චර්යාව

බුදු දහම තුළ පුණ්‍යවන්ත හා පාපකාරී යන වචනවලින් අදහස් කෙරෙන්නේ කවරක්ද යන්න විමසා බැලීම ඉතා සිත්ගන්නා සුළු කර්තව්‍යයකි. ස්වභාවිකවම මේ සම්බන්ධවද විග්‍රහයන් ගණනාවක් පවතී. එනමුදු, අප දුටු පරිදි, අත්වන ප්‍රතිවිපාකය කවරක්ද යන්න කිසිවෙකු හෝ නොදන්නා බැවින් වෙනත් අයෙකු මත ඇතිවන ප්‍රතිඵලයට අනුව ක්‍රියාවක ස්වභාවය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක: මෙයට සම්බන්ධවන තවත් බොහෝ සාධකද පවතී. එබැවින්, පුණ්‍ය හා පාප ක්‍රියාවන් අප ක්‍රියා කරන චිත්ත ස්වභාවයට අනුව තීරණය වේ. අපගේ ක්‍රියාව ලෝභය, ඇල්ම, හෝ කෝපය හෝ පූර්ණ මෝහය මත පදනම්ව සිදු කරන්නේ නම් එය පාපකාරී ක්‍රියාවකි. අනෙක් අතින්, අපගේ ක්‍රියාව කෝපය, ලෝභය, ඇල්ම හෝ මෝහය පදනම්ගත නොවූවක් නම්, එය පුණ්‍ය ක්‍රියාවකි. පැහැදිලිවම, එ් මට්ටමද ඉක්මවා එම ක්‍රියාව ආදරය හා කරුණාව, ත්‍යාගශීලිත්වය ආදිය මත පදනම් වූවක් නම් එයද පුණ්‍යවන්ත ක්‍රියාවක් වේ.

වෙනත් සාධකද පවතී. ක්‍රියාවක් පුණ්‍යවන්ත හෝ පාපාකාරී එකක් බවට පත් කරන්නාවූ මෙකී අනෙකුත් සාධක විමසා බැලීම සිත් ගන්නා සුළු එකකි. එක් සාධකයක් වනුයේ ආචාර ධාර්මික ආත්ම ගරුත්වය හෝ පින්-පව් පිළිබඳ ආත්ම ගරුත්වයයි. එය අපගේ ස්වයං ප්‍රතිරූපය හා අපගේ ආත්ම ගරුත්වය හා සම්බන්ධ වූවකි. අපි අපටම ගරු නොකරන්නේ නම්, අපගේ චර්යාවන් මගින් අපට ඇති කෙරෙන ප්‍රතිවිපාක පිළිබඳවද නොතකන්නෙමු. එ් වූකලි "ඕන දෙයක් වුණාවේ" යන ආකල්පයයි. එවන් අඩු ආත්ම ඇගයීමක් ඇත්තේ නම්, අපගේ ක්‍රියා පාපකාරී වේ. වෙනත් වචනවලින් පවසන්නේ නම්, මම මා පිළිබඳවම ධනාත්මකව සිතන්නේ නම්, පුද්ගලයෙකු ලෙස මම මටම ගරු කරන්නේ නම්, මම අමනයෙකු සේ කටයුතු නොකරන්නෙමි. මම මාගේ ක්‍රියාවන් හේතුකොට මාගේ තත්ත්වය පහතට හෙළා ගැනීමට අකමැත්තේ නම්, අමන, කෘෘර ආකාරයෙන් ක්‍රියා නොකරන්නෙමි. මා හට සිදුකළ හැකි දේ පිළිබඳව හෙවත් මා පිළිබඳවම මා තුළ පවත්නේ උසස් මට්ටමේ මතයකි. මෙයයි අපි මෙහිදී සාකච්ඡා කරන සාධකය: එනම් ආචාර ධාර්මික ආත්ම ගරුත්වයක් පැවතීම හෝ ආචාර ධාර්මික ආත්ම ගරුත්වය පිළිබඳ කිසිදු හැඟීමක් නොපැවතීමයි. මේ වූකලි අපි පුණ්‍යවන්ත හෝ පාපකාරී විලාසයකින් කටයුතු කරන්නේද යන්න තීරණය කරන ඉතා තීරණාත්මක සාධකයකි.

තවත් සාධකයක් වනුයේ අපගේ චර්යාව සෙසු අය මත ඇතිකරන බලපෑම කවරක්ද යන්න පිළිබඳ සලකා බැලීමයි. මෙහිදී කථා කෙරෙනුයේ කවරක් පිළිබඳවද? මා යම් අප්‍රසන්න අයුරකින් කටයුතු කරන්නේ නම්, එය මාගේ පවුල මත ඇතිකරන බලපෑම කවරක්ද? මාගේ රට මත ඇතිකරන බලපෑම කවරක්ද? මා අප්‍රසන්න අයුරින් කටයුතු කරන්නේ නම්, මෙක්සිකානුවන් පිළිබඳ මිනිසුන් කවරාකාරයෙන් සිතයිද? අපි බෞද්ධයන් නම්, මා පිටතට ගොස් බීමත්ව පැමිණ රණ්ඩු සරුවල්වල පැටලෙන්නේ නම්, එ් මගින් බුදු දහම හා බෞද්ධයන් මත ඇතිකරන බලපෑම කවරක්ද? අපගේ පවුල පිළිබඳ, නියෝජනය කරන කණ්ඩායම පිළිබඳ, ආගම, රට, නගරය ආදිය පිළිබඳව යම් හැඟීමක් පවත්නේ නම් හා එම කොටස් වෙත අපගේ චර්යාව තුළින් ඇතිකරන බලපෑම පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නම්, අපි පාපකාරී ක්‍රියාවන්ගෙන් වළකින්නෙමු; එවැනි හැඟීමක් නොපවතී නම්, පාපකාරී ක්‍රියාවල යෙදෙන්නෙමු. මේ වූකලි අසාමාන්‍ය ගැඹුරින් යුතු බෞද්ධ අන්තර් ඥානයකි. මෙහි තීරණාත්මක සාධකය කවරක්ද? ආත්මාභිමානය, ආත්ම ගරුත්වය හා අපගේ සමාජය පිළිබඳව පවත්නා අභිමානී හැඟීමකි.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සලකා බැලිය යුතුවන ඇතැම් සාධක කෙරෙහි එමගින් සුවිශාල අන්තර් ඥානයක් ලබාදෙනු ලබයි. යම් පුද්ගලයෙකුගේ සහ ඔහු අයත් සමාජය වෙත සියලු ආත්මාභිමානී හැඟීම් අහිමි කොට, ඔවුන්ගේ ජීවිත අප්‍රසන්න බවටද පත්කොට ඔවුන් පිළිබඳ අප්‍රසන්න හැඟීම් ඇතිකර ගන්නේ නම්, ඔවුන් සිදුකරන දෙය කවරක් වුවද කම් නැති බව ඔවුන් සිතනු ඇත. ස්වයං වටිනාකමක් හෝ සිය සමාජය පිළිබඳ යම් වටිනාකමක් පිළිබඳ හැඟීමක් නොමැත්තේ නම්, විනාශකාරී ක්‍රියාවල යෙදීමෙන් වැළකී සිටින්නේ කුමකටද? අහිමි වීමට කිසිවක් නොමැත්තේය යන්න ඔවුන්ගෙ හැඟීමයි. ලොව ගැටළුකාරී තත්ත්වයන් විශේෂ කොටගෙන අන්‍යයන් සමගින් කටයුතු කිරීමේදී මෙය සිහි තබාගත යුතුවන ප්‍රයෝජනවත් දෙයක්ය යන්න මාගේ හැඟීමයි. කිසිවෙකු හෝ ස්වයං අභිමානය පිළිබඳ හෝ සිය සමාජයේ වටිනාකම පිළිබඳ හැඟීමෙන් කිසිදා වියුක්ත නොකිරීම වැදගත්ය.

මේවා වූකලි යම් ක්‍රියාවක් පාපකාරී හෝ පුණ්‍ය ක්‍රියාවක් බවට පත් කරනුයේ කවරක්ද යන්න හා සම්බන්ධ මානසික සාධක අතරින් සමහරකි. එය අප ක්‍රියා කරන ආකාරය හා අන්‍යයන් කෙරෙහි අපගේ චර්යාව පවත්වාගන්නා ආකාරය තුළ ඔවුන් වෙත ඇති කෙරෙන බලපෑමද හා සම්බන්ධ වූවකි. මෙතුළ යම් සැලකීමක් හෝ සිතා බැලීමක් පැවතිය යුතු බව දක්වයි - මෙය "සලකා බැලීමේ ආකල්පය" ලෙස හඳුන්වමි. එසේ නමුදු, අපි ඇතැම් විට බො‌හෝ අඥාන වන්නෙමු. මා හට ඔබ වෙත ඕනෑම දෙයක් පැවසිය හැකි අතර එසේ සිදු කිරීමේ වරදක් නොමැති බව සිතේ. මම සැබැවින්ම ඔබගේ හැඟීම් බරපතල ලෙස ගණන් නොගනිමි. එවිට අප තුළ පෙරකී සලකා බැලීමේ ආකල්පය භංග වේ.

ලෝභය, කෝපය, ස්වයං වටිනාකම පිළිබඳ හැඟීම් රහිත බව, අපගේ ක්‍රියාවන් තුළින් අන්‍යයන් වෙත ඇති කෙරෙන බලපෑම පිළිබඳ සලකා නොබැලීම, ගණන් නොගැනීම, අප සිදුකිරීමට යන ක්‍රියාව අන්‍යයන්ට මෙන්ම අපටද බලපෑමක් ඇතිකරන්නේය යන කරුණ බරපතල ලෙස නොගැනීම ඈ මෙයාකාර මානසික සාධක සහිතව කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵලය කවරක්ද? අසතුටයි. එසේ වුවද, මෙම අසතුට දඬුවමක් නොවේ.

මේ පිළිබඳ ඉතා ගැඹුරින් සලකා බැලිය යුතු වේ. මෙකී සියලු සෘණාත්මක සාධකද සහිත එකී චිත්ත ස්වභාවය සැබැවින්ම සතුටුදායක චිත්ත ස්වභාවයක් විය හැකිද? එමගින් අප තුළ සතුට පිළිබඳ අත්දැකීමක් නිර්මාණය කළ හැකිද? හෝ එමගින් නිර්මාණය කළ හැක්කේ හුදෙක් අසතුට පමණක්ද? එ් පිළිබඳ වඩ වඩාත් සිතන්නට සිතන්නට, එකී සෘණාත්මක හෙවත් පාපකාරී චිත්ත ස්වභාවය මගින් අසතුට ඇති කරන අතර, ලෝභය හා කෝපය සහ එ් ආශ්‍රිත අන් සියල්ලද රහිතව එහි ප්‍රතිවිරුද්ධ මානසිකත්වය පවත්වාගෙන යන්නේ නම්, එමගින් සතුට ඇති කරනු ඇති බවට අවබෝධ වන්නට පටන් ගනී. එබැවින්, පාපකාරී හා පුණ්‍යවන්ත වශයෙන් මෙකී පොදු චර්යා කාණ්ඩයන් පවත්නා අතර එ්වා මගින් අප අත් විඳින සතුට හා අසතුට තීරණය කරනු ඇත.

මෙයට අමතරව, යමෙකු වෙත කෑමොර දීම, හෝ යමෙකු වෙත කාරුණික වීම ඈ ලෙස අප විසින් සිදුකරන නිශ්චිත ක්‍රියා වර්ග පවතින අතර, මේවා තුළද එම චර්යාවෙහි නැවත නැවතද නියැලීමේ හා අන්‍යයන්ද අප වෙත එයාකාරයෙන් ප්‍රතිචාර දැක්වීමේ නැඹුරුතාවයන් ලෙස එන ප්‍රතිඵල පවතී.

මෙම කරුණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් මෙහිදී නොකරන්නේ වුවද, කර්ම චර්යාවෙහි තවත් ප්‍රතිඵලයක් වනුයේ අප ලබන පුනරුත්පත්තිය කවරාකාර එකක්ද යන්නයි: අපි සුනඛයෙකුගේ, කැරපොත්තෙකුගේ හෝ මනුෂ්‍යයෙකුගේ මූලික සිත හා කය සහිතව පුනරුත්පත්තිය ලබන්නෙමුද? අපට සිදුවන ඇතැම් දේවල් සඳහා සන්දර්භය ලෙස හා අපගේ යම් ආකාර ක්‍රියාකාරිත්වයක් සඳහා කවරාකාර සිතක් හා කයක් අප සතුවනු ඇත්ද? මේ හා සම්බන්ධ අන් බොහෝ විස්තර ඇත්තේ වුවද, මා හට මෙම හඳුන්වාදීමේ දේශනයේදී ආවරණය කිරීමට අවශ්‍ය වන්නේ වඩාත්ම පොදු මූලධර්මයන් පමණි.

නියතිවාදය හෝ නිදහස් කැමැත්ත

එක් අතකින් අපි යම් ආකාර චර්යාවන් නැවත නැවතද ක්‍රියාත්මකවන හා යම් ආකාර දේවල් අප වෙත සිදුවන තත්ත්වයක් අත් දකින්නෙමු; අනෙක් අතින්, මේ සියල්ල අප විසින් අත් දකිනුයේ නිරන්තරයෙන් ඉහළ පහළ ගමන් කරන්නාවූ හෙවත් උස් පහත් වන්නාවූ සතුට හා අසතුට තුළය. එම තත්ත්වය ඇතැම් විට අපගේ චර්යාවට උචිත වන බව හැඟුණද ඇතැම් විටෙකදී කිසි සේත් අපගේ චර්යාවට උචිත බවක් නොහැඟේ. මේ සියල්ල නිරතුරු ඉහළ පහළ ගමන් කරන්නාවූ බැවින් ඊළඟට එළැඹෙනුයේ කවරක්ද යන්න අපි නොදන්නෙමු. සැබැවින්ම මා හට සිදුවන සියලු දේ මා හා මාගේ කර්මය විසින් පමණක් සිදුකරන ලද දේ නොවේ. එයට විශ්වයේ අන් සියල්ලන් සම්බන්ධව සිදුවන දේ හා ඔවුන්ගේ කර්මය, ඔවුන් සිදුකරන දේ, හා භෞතිකව විශ්වය තුළ සිදුවන දේද - කාලගුණය, භූමි කම්පා වැනි දේ- බලපායි. එ් හේතුකොට, ඊළඟ මොහොතේදී අපගේ අත්දැකීම කවරක් වේදැයි කල්තබා පැවසීම ඉතා දුෂ්කර වේ. එයට බලපාන්නාවූ සාධක අතිශයින්ම සංකීර්ණ වන අතර, සත්‍ය වශයෙන්ම බුදුන් වහන්සේ විසින්ද එය අවබෝධ කරගැනීමේදී වඩාත්ම සංකීර්ණ කාරණය වශයෙන් දක්වන ලදී.

කර්මය වූකලි නියතිවාදයක්ද? නොඑසේ නම් එය අපට තීරණය කළ හැක්කක්ද? මෙම කාරණයේදී අපට ඉතාමත් පැහැදිලි ස්ථාවරයක සිටීමට සිදුවනුයේ කර්මය පිළිබඳ මෙම විමසීම බො‌හෝ අය විසින් සිදුකරන බැවිනි. මේ දෙක අතරින් කිසිවකුදු නිවැරදි නොවන අතර එ් දෙකම අන්තයන් වේ. අප සිදුකිරීමට යන හෝ අප අත්විඳීමට යන දෙය වෙනයම් අයෙකු විසින් - යම් බාහිර සත්ත්වයෙකු, උසස් මට්ටමේ තැනැත්තෙකු ආදී වශයෙන්- අප වෙනුවෙන් තීරණය කර ඇති බව නියතිවාදය තුළ සාමාන්‍යයෙන් ඇඟවේ. බුදු දහම තුළ පැවසෙනුයේ සැබෑ තත්ත්වය එය නොවන බවයි; අප විසින් සිදු කිරීමට යන දෙය වෙනයම් අයෙකු විසින් තීරණය කර ඇති අතර අප හුදෙක් රූකඩ සේ වෙනයම් අයෙකු විසින් අප වෙනුවෙන් තිර රචනය කරන ලද දෙයක් රඟපාන්නන් වන්නේය යන්න සත්‍යය නොවේ.

අනිත් අතින් සලකා බලන කල ස්ව කැමැත්ත යන කරුණ යම්තාක් දුරකට ආපන ශාලාවක හිඳ සිටින අයෙකු තමා ඉදිරියේ ඇති ආහාර ලේඛනයකින් ඇණවුම් කරනුයේ කවර ආහාරයක්ද යන්න තීරණය කරන තත්ත්වයකට තරමක් සමාන වේ. ජීවිතය එවැන්නක් නොවේ. ජීවිතය එවැන්නක් සේ සිතීම, බුදු දහමට අනුව, සාවද්‍ය හා ව්‍යාකූල අදහසකි. මක් නිසාද, ජීවිතයෙන් වෙන්වූ, අත්දැකීම් වලින්ද වෙන්වූ, දැනට සිදුවෙමින් පවත්නා සියල්ලෙන් පිටත සිට ජීවිතය දෙස ආහාර ලේඛනයක් දෙස මෙන් බලා එහි ඇති අයිතමයක් තෝරා ගැනීමේ හැකියාව සහිත නිදහස් "මම" යන්නෙක් ඇති බවක් එ් තුළ පෙනෙන හා හැ‌ඟෙන බැවිනි. ජීවිතයෙන් හෝ අත්දැකීම්වලින් වෙන්වූ වෙනමම "මම" යන්නෙක් නොමැති අතර අපට සිදුවන්නට යන දේ දැනටමත් පවත්නා අතර අප විසින් හුදෙක් බොත්තමක් එබූ විට අලෙවි යන්ත්‍රයෙන් මෙන් එළියට එන ස්වභාවයෙන් එය නොපවතී. එය කෙතරම් අඥාණ අදහසක්ද යන්න අවබෝධ කරගැනීමට පෙර දැක්වූ සංකේතය ප්‍රයෝජනවත් යැයි හඟිමි. අලෙවි යන්ත්‍රය තුළ සූකිරි කූරු මෙන් අත්දැකීම් පවත්නා අතර ඔබ ඔබට අවශ්‍ය කූර තෝරා ගන්නාක් මෙන් අත්දැකීම් තෝරාගැනීමක්, එනම්, බොත්තම ඔබා මුදල් ඇතුළු කළ විට අවශ්‍ය දේ පිටතට එ්මක් සිදු නොවේ. ජීවිතය එවැන්නක් නොවේ. එහි "අද මං සතුටින් ඉන්නවා. සියලු දෙනා මට හොඳින් සලකනවා"යි කල්තබා තීරණය කොට ජීවිත යන්ත්‍රය තුළට මුදල් යොදා තෝරාගත් දෙය පිටතට ගැනීමක් සිදු නොවේ.

ඉන්පසු, අපි ජීවන යන්ත්‍රය තුළට මුදල් ඇතුළු කර අපගේ තේරීම ඉවතට ගන්නෙමු. එය නිදහස් කැමැත්තයි. එනම් අපට සිදුවන්නට යනදේ හා අප විසින් කරන්නට යනදේ තීරණය කිරීමේ නිදහස් කැමැත්ත එයයි. අපට සැබෑ ලෙසම සිදුවන දෙය මෙකී නියතිවාදය හා සමස්ත නිදහස් කැමැත්ත නම්වූ අන්ත දෙකට වඩා බොහෝ සියුම් හා සංකීර්ණ වූවකි.

මෝහය හෙවත් ව්‍යාකූලත්වය කර්ම මූලාශ්‍රය වශයෙන් 

නිරන්තරයෙන් සතුට හා අසතුට අත්විඳිමින් සිදුවන මෙකී ඉහළ පහළ යාම් හා අපට සැබෑ ලෙසම සිදු නොවන්නේ හා යහපත් යැයි සිතෙන්නාවූ හා අපගේ පාලනයෙන්ද බැහැර වූ සියලු ආකාර සිදුවීම්වල හේතු සාධක බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය යන කරුණ බුදු දහම තුළ පවත්නා සැබෑ විශිෂ්ටත්වයය යන්න දේශනය තුළ මින් පෙර දක්වන ලදී. හේතුව අපගේ අත්දැකීමේ සෑම මොහොතකම කොටසක් වන අතර මෙම සමස්ත ක්‍රියාවලිය නොකඩවා පවත්වාගෙන යනු ලබයි - එම හේතුව වනුයේ ව්‍යාකූලත්වයයි. එපමණක් නොව, පාපකාරී වේවා පුණ්‍යවන්ත වේවා ව්‍යාකූලත්වයෙන් කටයුතු කරන විටදී එමගින් "නිරන්තර ගති පුරුද්ද" වශයෙන් හැඳින්වෙන, නිරන්තරයෙන් ව්‍යාකූලත්වය සහිතව කටයුතු කරන පුරුද්ද නැවත බලගන්වන අතර එ් අනුව සෑම මොහොතකම නොකඩවා ව්‍යාකූලත්වයෙන් යුතුව කටයුතු කරන්නෙමු.

මෙම ව්‍යාකූලත්වය කවරක්ද? එය වූකලි බුදු දහම තුළ සාකච්ඡාවන ඉතා ගැඹුරු මාතෘකාවකි; එය සරල ආකාරයෙන් විස්තර කරන්නේ නම්, අප සාකච්ඡා කරනුයේ මාගේ පැවැත්ම කවරාකාරද, ඔබගේ පැවැත්ම කවරාකාරද හා සියල්ලන්ගේ පැවැත්ම කවරාකාරද යන ව්‍යාකූලත්වය පිළිබඳවයි. නිදසුනක් ලෙස, මම විශ්වයේ කේන්ද්‍රය වෙමි; මම වැදගත්ම පුද්ගලයා වෙමි; සියල්ල මට අවශ්‍ය පරිදි සිදුවිය යුතුය; මම සැම විටම නිවැරදිය; මිනිසුනට මා වෙනුවෙන් ගත කිරීමට කාලය පැවතිය යුතුය යන සිතිවිල්ලක් අප තුළ පවතී. අපට මෙම ආකල්පය අපගේ සෙලියුලර් දුරකථනවලට අනුව හඳුනාගත හැක: අනෙක් අය මේ අවස්ථාවේ කවර කාර්යයක නිරතව සිටින්නේ වුවද, මා හට පැවසීමට ඇති දෙය අන් සියල්ලටම වඩා වැදගත් වන බැවින් එ් ඕනෑම අයෙකු හට කථා කිරීමට හා ඔවුනගේ කටයුතුවලට බාධා කිරීමට මා හට හැකිවිය යුතු අතර ඔවුන් මා වෙනුවෙන් නිරන්තරයෙන් ඉදිරිපත් විය යුතුය යන හැඟීමක් අප තුළ පවතී. මෙම චිත්ත ව්‍යාකූලත්වය පදනම් කරගනිමින් අපට යම් කිසිවෙකුට බැණ අඬගැසීම හෝ කෲර ලෙස කටයුතු කිරීම ආදී වශයෙන් හානිකර ලෙස කටයුතු කළ හැකි අතර, මා එසේ කරනුයේ ඔවුන් මා කැමති දේ සිදු නොකරන හා මා අකමැති දේ සිදු කරන බැවිනි. ඔවුනට අවශ්‍ය දෙයට වඩා බොහෝ සෙයින් මාගේ අවශ්‍යතාවය පැහැදිලිවම වැදගත්වන බැවින් ඔවුන් මා කැමති දේ කළ යුතුය. නොඑසේ නම්, එම ව්‍යාකූලත්වය හේතුවෙන්ම, අනුන්ගේ කැමැත්ත දිනාගැනීමේ අදහසින් අපි ඔවුනට ප්‍රියමනාප දෙයක් සිදුකිරීම හෝ කාරුණිකව කටයුතු කිරීමද කළ හැක; මක් නිසාද, ඔවුන් මා සමග සතුටින් සිටිය යුතුයැයි මා සිතන බැවිනි. මා අවශ්‍ය අයෙකු යැයි අන්‍යයන් හටද හැඟිය යුතුය යන්න මාගේ අදහස වන බැවින්, අනුන්ට අවශ්‍ය යැයි මා සිතන දෙය ඔවුන් වෙනුවෙන් සිදු කරමි. එ් අනුව, මම දරුවන් ඇති දැඩි කරන ආකාරය හා ගෙදර දොර කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳ මාගේ දියණියට උපදෙස් දෙමි. එය උපකාරයක් නොවේද? දියණියට මාගේ උපදෙස් හා උපකාරය අවශ්‍යද, නැත්ද යන්න අදාල නොවේ. එනමුත් මා සිතන්නේ මම වඩාත්ම වැදගත් පුද්ගලයා වන අතර, අවශ්‍ය අයෙක්ද විය යුතු බවයි. පැහැදිලිවම දියණියගේ දරුවන් හදා වඩාගන්නා ආකාරය පිළිබඳව ඇයට වඩා හොඳින් මම දනිමි. එ් අනුව, පැහැදිලිවම එ් පිළිබඳව ඇය මාගෙන් උපදෙස්ද ගත යුතුය.

මෙම චිත්ත ව්‍යාකූලත්වය පාපකාරී හා පුණ්‍යවන්ත චර්යාවනට හේතු වේ. මෙම චිත්ත ව්‍යාකූලත්වය හේතුවෙනි අප නොකඩවා මෙම සාංසාරික ඉහළ පහළ යාමේ ගමනෙහි නිරතව සිටින්නේ. එ් අනුව, ඉන් මිදීමේ මඟක් පිරික්සා බැලිය යුතුය.

ව්‍යාකූලත්වයෙන් මිදීම

(නැඹුරුතාවයන් විශේෂ කොටගෙන) මෙකී කර්ම නැඹුරුතාවයන් හා පුරුදු වැඩි වර්ධනය වන ආකාරය විමසා බැලීමේදී, එ් සියල්ල අප අත්දකින ඉහළ පහළ යාමේ හෙවත් අඩු වැඩිවන දුක හා සතුට කෙරෙහි අපගේ ආකල්පය හා සම්බන්ධ වන බව පෙනේ. මෙහිදී වැදගත්වන කරුණක් වනුයේ සතුට හා දුක අත්දැකීම හා සමාන්තරව ගමන් ගන්නා මානසික සාධක දෙකක් පවතින්නේය යන්නයි. ඉන් පළමුවැන්න "තණ්හාව" ලෙස හැඳින්වේ.  සතුට අත්දකින විට එයට තණ්හාවක් ඇතිවේ. එනම් ඉන් ඉවත් නොවීමේ දැඩි ආශාවක් පවත්නා බවයි. "ඉවත්ව නොයන්න, සෑම කල්හිම මා සමග සිටින්න. අනේ තව ටික කාලයක් ඉන්න පුළුවන්ද?" ආදී ලෙස යමෙකු සමග කල්ගත කිරීමේදී ලබන සතුටට අදාලව ඇතිවන හැඟීම් තුළින් මෙය පැහැදිලි කළ හැක. වෙනත් අයුරකින් පවසන්නේ නම්, චොක්ලට් කේක් අනුභව කරන විටදී එය සතුටින් භුක්ති විඳින බැවින් එම සතුටින් බැහැර නොවීමට පවත්නා කැමැත්ත මෙනි. එ් හේතුවෙන් අපි වඩ වඩාත් නොකඩවා එ්වා ආහාරයට ගන්නෙමු. එය තණ්හාවයි. දුක අත්දකින විටදීද හැකිතාක් විගස ඉන් ඉවත් වීමේ මහත් ඇල්මක් හෙවත් තණ්හාවක් අප තුළ පවතී. එ් දෙවර්ගයේම තණ්හාවෙහි පදනමේ පවතිනුයේ දෙවන මානසික සාධකයයි -  එනම් අපගේ අත්දැකීම් ආශ්‍රිතව "මම" යන්නෙක් තදබල ලෙස හඳුනා ගැනීමයි. මා හට මෙම සතුට පවත්වාගත යුතු අතර මා වෙත සතුට ලබාදෙන කවරක් වුවද තව තවත් එසේම පවත්වාගැනීමට හා ඉන් වෙන් නොවී සිටීමට අවශ්‍ය වේ. මා හට මා අකමැති දෙයින් වෙන් වීමටද අවශ්‍ය වේ. මා ඔබ පවසන දෙයට අකමැති බැවින් ඔබ නිහඬ නොවේනම් මම ඔබට බැණ අඬගසමි.

ව්‍යාකූලත්වය මත පදනම්ව අපට සිදුවන සියලු දේ සම්බන්ධව මෙකී තණ්හාව හා දැඩිව පවත්නා "මමෙක්" පිළිබඳ හඳුනාගැනීම සහිතව සතුටේ හා අසතුටේ ඉහළ පහළ යාම අත්දකින විටදී මෙකී සියලු කර්ම නැඹුරුතාවයන් එමගින් වඩා වර්ධනය කරවනු ලබයි. එයාකාරයෙන්, සතුට හා අසතුටට අදාල ඉහළ පහළ යාම් නොකඩවා පවත්වාගැනීමක් සිදු කරවන අතර, එම නැඹුරුතාවයන්ගෙන් වැඩි වර්ධනය වන්නාවූ අපගේ පෙර චර්යාවන් එ් අනුව නැවත නැවතද ඉස්මතු කෙරේ. සෑම මොහොතකම අප අත්දකින සතුට හා අසතුට තුළ මෙම ව්‍යාකූලත්වය පවතින්නේය යන කරුණ සැබැවින්ම භයානක තත්ත්වයකි. එමගින් වඩ වඩාත් සතුට හා අසතුටට අදාල අවස්ථාවන් පවත්වාගෙන යන අතර එම අවස්ථාවන්ද ව්‍යාකූලත්වය හා බැඳුණු එ්වා වේ. අප මේ මොහොතේ අත්දකින ව්‍යාකූලත්වය වූකලි පෙරදී සතුට හා අසතුට අත්දුටු අවස්ථා‌වන්හිදී අප තුළ පැවති ව්‍යාකූලත්වයේ ප්‍රතිඵලයයි.

මෙසේ පාලනයකින් තොරව නැවත නැවතත් ඇතිවන චක්‍රය හෙවත් තම ක්‍රියාවලිය තුළින්ම ස්ථිරසාර වන්නාවූ චක්‍රයයි බුදු දහම තුළ "සංසාරය" ලෙස හැඳින්වෙනුයේ. මෙම ව්‍යාකූලත්වයෙන් මිදිය හැක්කේ නම්, සමස්ත කර්ම පද්ධතිය බිඳ වැටෙන අතර අපි සාංසාරික විමුක්තිය ලබන්නෙමු. ව්‍යාකූලත්වය වෙනුවට නිවැරදි වැටහීම යොදන්නේ නම් මෙකී දැඩි "මා" යන අදහසට පදනමක් නොමැති වන අතර එ් අනුව "මට ලැබුණෙ මේකනෙ, එ්ක නෙමෙයිනෙ" යන සංකල්පයන්ද වියැකී යයි. එසේ වුවද, මේ අවස්ථාවේ පෙරකී සංකල්පය දීර්ඝ වශයෙන් විග්‍රහ නොකෙරන අතර, පොදු අදහස ලබාගැනීම ප්‍රමාණවත් වේ. තණ්හාවක් නොමැති තැන මෙම නැඹුරුතාවයන් හා පුරුදු ක්‍රියාත්මක කිරීමේ කිසිදු ප්‍රවණතාවයක්ද නොමැති වේ. මෙම නැඹුරුතාවයන් හා පුරුදු ක්‍රියාත්මක කිරීමේ කිසිදු බලයක් නොමැති තැන ඔබට තවදුරටත් නැඹුරුතාවයන් හා පුරුදු ඇත්තේ යැයි පැවසිය නොහැක.

නිදසුනක් සලකා බලමු. ඩයිනෝසරයන් දැකීමේ නැඹුරුතාවයක් පවත්නේ නම්, ඩයිනෝසරයන් වඳවූ විටදී, වනාන්තරය මැදින් යන විට තවදුරටත් ඩයිනෝසරයන් දැකීමේ නැඹුරුතාවයක් ඇති නොවේ. පෙරදී මෙම නැඹුරුතාවය පැවතිණි: වනාන්තරය මැදින් ගමන් කරන සැම විටකම ඩයිනෝසරයන් දිටිමි. එනමුත් දැන් ඩයිනෝසරයන් නොමැති බැවින්, තවදුරටත් ඩයිනෝසරයන් දැකීමේ නැඹුරුතාවයක් නොපවතී. එ් නිදසුනට අනුව, ඩයිනෝසරයන් දැකීමේ නැඹුරුතාවය වැඩි වර්ධනය කරමින් ඔබ ඉදිරියෙන් ඩයිනෝසරයෙකු ගමන්කිරීම වැනි යම් නැඹුරුතාවයක් වැඩි වර්ධනය කිරීමට හේතු සාධකයක් නොපවත්නා විටදී, හා එම නැඹුරුතාවය සක්‍රීය කිරීමේ හේතු සාධකයක් නොමැති විටදී, නැඹුරුතාවය තවදුරටත් නොපවතී. නැඹුරුතාවයන් තවදුරටත් නොපැවතීම හේතුකොට තවදුරටත් කර්ම නැඹුරුතාවයන් වැඩි වර්ධනය නොවන්නේ නම්, එවිට තවදුරටත් ඉහළ පහළ ගමන් කරන්නාවූ හෙවත් අඩු වැඩි වන්නාවූ සතුට හා දුක අත් නොවිඳින අතර එ් ආශ්‍රිත ව්‍යාකූලත්වයද නිශ්චිතවම තවදුරටත් අත් නොවිඳිමු; එයද එ් සමගින් අතුරුදන් වේ.

මෙයාකාරයෙනි මෙකී සමස්ත සාංසාරික තත්ත්වයෙන් අත් මිදෙනුයේ. තවදුරටත් සතුටට හා දුකට අදාල අනාරක්ෂිත ඉහළ පහළ යාම අත් නොවිඳින නමුත් එ් වෙනුවට එයට අතිශයින් වෙනස් ස්වභාවයේ ගුණයක් වන සතුටක් පිළිබඳ ස්ථාවර අත්දැකීමක් ඇතිවේ. එය වූකලි ව්‍යාකූලත්වය හා මුහුවූ සතුටක් හෝ "මම තරගය ජයග්‍රහණය කළෙමි. එ් අනුව මෙම සම්මානය ලදිමි" යන සිතිවිල්ලෙන් පැන නගින සතුටක්ද නොවේ. එය වූකලි දුෂ්කර අවස්ථාවකින් මිදීමෙන් යමෙකු හට ලැබෙන වර්ගයේ සතුටකි. අප සාකච්ඡා කරන දෙය වෙත ප්‍රවේශයක් ලබාගනු පිණිස නිවැරදිම හා නිශ්චිතම නිදසුනක් නොවුවද සරල නිදසුනකින් ප්‍රකාශ කරන්නේ නම්, දවස අවසානයේදී අපගේ සපත්තු ගලවා දැමීමේදී භුක්ති විඳින නිදහස මුසු සතුට දැක්විය හැක - එය වූකලි අසීරුතාවයෙන්, අමාරු දිනයක සිරවීමෙන් නිදහස් වීමේදී ලැබෙන සහනය පිළිබඳ සතුටකි.

විමුක්තිය ලැබීමත් සමග අප අත්දකින තවත් දෙයක් නම් අප යම් ආකාරයකින් කටයුතු කිරීම සඳහාද යම් ආකාරයක අත්දැකීම් ලැබීම සඳහාද යොමු කරවන්නාවූ බලහත්කාරී කර්ම පෙළඹීම් මගින් තවදුරටත් අපගේ ක්‍රියාවන් සිද්ධ කරවනු නොලබන බවයි. මෙයටද වඩා, අප විමුක්තිය උදාකරගැනීමෙන්ද ඔබ්බට ගොස් බුද්ධත්වය ලැබීමේ අරමුණින් කටයුතු කරන්නේ නම්, අපගේ ක්‍රියාවන් සිදුකරවනු ලබන්නේ කරුණාව නම් හැඟීම හෙවත් අන්‍යයන් ඔවුන්ගේ දුකින් හා දුකට හේතුවලින් මිදේවාය යන පැතුම මගිනි.

සමාප්තිය

මෙය කර්මය හා සම්බන්ධ යම් මූලධර්ම පිළිබඳ මූලික හැඳින්වීමකි. ප්‍රකාශ කළ හැකි හා විස්තර කළ හැකි තවත් බොහෝ, බොහෝ දේ පවතී. මෙයාකාරයේ ක්‍රියාවකින් මෙයාකාරයේ ප්‍රතිඵලයක් ඇතිවන්නේය ලෙසද, මෙම සාධකය පැවතුණහොත් ප්‍රතිඵලය වඩාත් ප්‍රබල වනු ඇති බවටද, එය නොපවත්නේ නම් -සිතා මතා යමක් සිදු කිරීම වෙනුවට හදිසියේ නොදැනුවත්ව යමක් සිදුවන්නේ නම් - ප්‍රතිඵලය වෙනස්වනු ඇති බවටද ඈ වශයෙන් යම් පොදු මූලධර්ම සමගින් එ් ඇතැම්වා විග්‍රහ කරන ලදී. එ් සම්බන්ධ බොහෝ විස්තර පවතී.

තවද, මේ මොහොතේදී සැබෑ ලෙසම වැඩී වර්ධනය වනු ඇත්තේ කවරක්ද යන කෝණයෙන් සලකා බලන්නේ නම්, අප වටා සිදුවන අන් සියල්ලෙහි බලපෑමෙන් එය සිදුවන බැවින් එය මූලධර්ම අනුව පොදු දෙයක් සේ දැක්වීම දුෂ්කරය. මේ මොහොතේ අපට සිදුවන දෙයද සිදුවන අන් සියල්ලෙහි බලපෑමට ලක්වන බැවින් අපට හුදෙක් එය පොදු මූලධර්මයන්ගෙන් සාමාන්‍යකරණය කළ නොහැක. ඔබට මාර්ග අනතුරක් සිදුවූයේ යැයි සිතන්න. එය සිදුකළේ කවුරුන්ද? අන් සියල්ලන් ඔවුන්ගේ පාර්ශ්වයන්ගෙන් මාර්ගයට ගෙන එන ලද්දේද, රථවාහන තත්ත්වයද, කාලගුණයද, මාර්ගයේ තත්ත්වයන්ද ඇති කරන ලද්දේද කර්ම බලවේගය විසිනි. මේ අවස්ථාවේදී වැඩි වර්ධනය වන හදිසි අනතුර බොහෝ දේවල ප්‍රතිඵලයක් ලෙස සිදු වූවකි.

මෙම මාතෘකාව පිළිබඳ ඇල්මක් පවත්නේ නම්, එහි බොහෝ වූද, විවිධාකාර වූද පැතිකඩයන් විමසා බැලීමේ බො‌හෝ අවස්ථාවන් පවතී. කර්මය පිළිබඳ ඉගෙන ගන්නට ගන්නට, අප සාංසාරික දුකින් මිදෙනු පමණක් නොව අන් සියල්ලන් හට උපකාර කිරීමටද හැකි වඩා යහපත් ස්ථානයකට අප පත්වන ආකාරයෙන් කර්මයේ පාලනය මැඩ පැවැත්වීම සඳහා එය වඩ වඩාත් ප්‍රයෝජනවත් වන්නේය යන්න මාගේ අදහසයි.

ඔබට ඇසීමට ප්‍රශ්න තිබේද?

ප්‍රශ්න

මේ වටපිටාව තුළ වැරදිකාරී හැඟීම පිළිබඳ විග්‍රහයක් දක්නට නෑ. මෙහි වරදකාරී හැඟීම යන්න අදාල නොවන්නේද?

නිවැරදියි. කර්මය පිළිබඳ බෞද්ධ විග්‍රහය තුළ වරදකාරී හැඟීම යන්න අදාල වන්නේ නෑ. වරදකාරී හැඟීම යන්න පිං පොං බෝල දෙකක් ලෙස, වෙනම ස්ථිතියක් ලෙස ඉතා දැඩි "මා" යන්නෙකු පිළිබඳ සිතීම හා මා කළ දේ තවත් වෙන්වූ ස්ථිතියක් ලෙස සිතීම මත පදනම් වූ දෙයක් වේ. එවිට "මා" යන ස්ථිතිය අයහපත් වන අතර "මා කළ දේ" නම් වූ ස්ථිතිය ද අයහපත්ය යන විශ්වාසයට ඔබ එළැඹේ. එහිදී මෙකී දැඩි හා බලවත් සේ පෙනෙන ස්ථිතීන් දෙකට අදාල විනිශ්චයක්ද පවත්නා අතර එය අත් නොහැර අල්වාගෙන සිටීමක්ද පවතී - එයයි වරදකාරී හැඟීම යනු. එය වූකලි ඉවත නොදමා නිවස තුළ කැලි කසල තබාගෙන සිටිමින් එය කෙතරම් අමිහිරිද, එය කෙතරම් දුර්ගන්ධද, කිලිටිද ඈ වශයෙන් කෑගැසීම මෙන් වේ.

විස්තරය හරිම පැහැදිලියි, තාර්කිකයි. එ් වගේම මට සම්පූර්ණ ක්‍රමය, ව්‍යාකූලත්වයෙන් මිදෙන ආකාරය, පෙළඹීම, නැඹුරුතාවයන් හා අන් සියල්ලද වැටහෙනවා. එසේ නමුත් මට සිතෙන ආකාරයට බලහත්කාරී සිතිවිලිවල බලපෑමෙන් හෝ අත්දැකීමෙන් මේ අවස්ථාවේදීම මිදීම සඳහා එය වටහා ගැනීම ප්‍රමාණවත් නොවේ.

නිවැරදියි. එනිසයි පළමුවෙන්ම ආචාර ධාර්මික ස්වයං-පාලනයක් පවත්වාගත යුත්තේ. මතක තබාගන්න,"ඔයා ඇඳගෙන ඉන්නෙ කොච්චර කැත ඇඳුමක්ද" යන්න පැවසිය යුතු බවට හැඟෙන අවස්ථාව හා එය සැබෑ ලෙසම පවසන අවස්ථාව අතර යම් කාල පරතරයක් පවත්නේයැයි අප පැවසුවා. අපට එම අවකාශය ග්‍රහණය කරගත හැක්කේ නම්, මෙම පුද්ගලයා හට ඇය අවලස්සන ඇඳුමක් ඇඳ සිටින බව පැවසුවහොත් එහි ප්‍රතිඵලය තීරණය කිරීමේ හැකියාව අප සතුවේ. එය ප්‍රකාශ කළයුතු ධනාත්මක නොවන දෙයක් සේ අපට හැඟෙන්නේ නම්, එය ප්‍රකාශ නොකරන්නෙමු. ආචාර ධාර්මික ස්වයං ශික්ෂණය හා ස්වයං පාලනය සඳහා එතැනිනි ආරම්භය ගන්නේ.

තවද, මා හට යම් කිසිවක් කිරීමේ අවශ්‍යතාවය පවත්නා කල්හි දැනෙන හැඟීමද විමසා බැලිය හැක. යම් කාර්යයක් සිදු කිරීමේ මාගේ අපේක්ෂාව ලෝභය වැනි කැළඹිලිකාරී භාවයක් මත පදනම් වූවක්ද? එය කෝපය මත පදනම් වූවක්ද; නොඑසේ නම් මෝහය මත පදනම් වූවක්ද? ඔබගේ ඇඳුම කැත බව පැවසීමෙන් ඔබට කිසිදු බලපෑමක් ඇති නොවනු ඇත්තේය යන්න මාගේ සිතිවිල්ලද? හෝ යමක් සිදු කිරීම සඳහා වූ මාගේ පැතුම කරුණාව සහ මෙකී වඩාත් ධනාත්මක දේ මත රඳා පවත්නේද? මේ හේතුවෙනි කැළඹිලිකාරී භාවයක් හෝ ආකල්පයක් ඉතා ප්‍රයෝජනවත් වනුයේ: එය වූකලි ඉස්මතුවන විට අපගේ චිත්ත සාමය හා ස්වයං පාලනය අහිමි කරවන්නාවූ චිත්ත ස්වභාවයකි.

ඔබට ඔබ චිත්ත සාමය අහිමි කරගත් අවස්ථාවන් පිළිබඳව ප්‍රකාශ කළ හැකිය: එහිදී හෘදය තරමක් වේගවත්ව ස්පන්දනය වන්නට පටන් ගනී; තරමක අපහසුතාවයක් දැනේ. එ් අනුව, නිදසුනක් ලෙස, මා අහංකාරය හේතුකොට යම් කිසිවක් ප්‍රකාශ කරන්නේද ආදී වශයෙන් එන සියුම් දේවල් හඳුනා ගැනීමට උත්සාහ කරන්නෙමු. නිදසුනක් ලෙස, "මට එ්ක තේරුණේ නෑ"යි යමෙකු පවසන්නේ නම් ඔබ විසින් "එ් වුණාට මට තේරුණා"යි පවසන අවස්ථාවක් ගනිමු. එහිදි ඔබට යම් තරමක අපහසුතාවයක් දැනේ. මේ කියමන, ප්‍රකාශය පිටුපස තරමක ආඩම්බරකාර ස්වභාවයක්, යම් අහංකාරයක් පවතින බැවින් මෙයයි ඔබ විමසා බලන දෙය.

එසේ නමුදු, යථාර්ථය වටහා ගැනීම, එනම් ශූන්‍යතාවය ආදී කරුණු අවබෝධ කරගැනීම, ඉතාමත් අපහසු කාර්යයක් වන අතර, එය අවබෝධ කරගත් විටදී පවා නිරන්තරයෙන් පවත්වාගනු පිණිස එයට හුරුවිය යුතුවේ. එබැවිනි, පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සිටින පිණිස ආචාර ධාර්මික ස්වයං ශික්ෂණයෙන් ආරම්භය ගනු ලබන්නේ.

මට තරමක අපැහැදිලිතාවයක් ඉස්මතු වුණා. මා සිතන අයුරු, මෙම සතුට හා අසතුට නොකඩවා පවත්වාගෙන යනු ලබන හැඟීම් දෙකක් පවතී. ඔබ පැවසූ පරිදි එ් අතරින් එකක් තණ්හාව වන අතර, අනෙක කවරක් ද?

මවිසින් විස්තර කරන ලද්දේ කර්ම නැඹුරුතාවයන් ක්‍රියාත්මක කරන්නාවූ සාධක දෙකයි - මෙය හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදයට අදාල සම්බන්ධතා දහය පිළිබඳ දේශනාවන්ගෙන් ඉස්මතු වේ. එකක් නම් තණ්හාවයි, අනෙක - සරලව ප්‍රකාශ කරන්නේ නම් - "ලබාගැනීමේ ආකල්පය හෝ භාවය" වන අතර එය වූකලි විවිධ හැකියාවන් පහක පමණ ලැයිස්තුවකි. මෙමගිනි ප්‍රතිඵලය ලැබෙන්නේ. එ් අනුව, සුප්‍රකාශිතම කරුණ වනුයේ අප අත්දකින හා සිදුවන දේ හා සම්බන්ධව ප්‍රබල හා දැඩි "මා" යන්නෙක් සමග අනන්‍ය වීමයි.

මෙකී දැඩි "මා" යන්නෙක් සමග අනන්‍ය වීම යම් දෙයක් හා සම්බන්ධව සිදු වන්නක්ද? මෙහි ව්‍යාකූලත්වයක් පවත්නා අතර එ් පිළිබඳව ප්‍රවේශව්මී එම ව්‍යාකූලත්වයෙන් මිදිය යුතු බව පැහැදිලි වේ. එනමුත්, අප ව්‍යාකූලත්වයට පත් කරන්නේ කවරක්ද, හා අප විසින් කවරක් කරණ කොට එම ව්‍යාකූලත්වය ඇති කරන්නේද?

එය වූකලි සරලව පිළිතුරු දිය හැකි පහසු පැනයක් නොවේ. අපි පවත්නා හා සම්මුතිමය "මා" සමගින් නොපවත්නා ව්‍යාජ "මා" යන්නෙකු පටලවා ගන්නෙමු. පවත්නා සැබෑ "මා" යම් සිදුවිය නොහැකි ආකාරයකින් පවත්නේය යන සිතිවිල්ලක් අපි ඇතිකර ගන්නෙමු. එ් වූකලි නොපවත්නා දෙයක් එක් කිරීමකි. නිදසුනක් ලෙස: මම සතුටින් හෝ අසතුටින් සිටින්නෙමි. ඉන් අදහස් වනුයේ මා අසතුටින් සිටින බව විනා ඔබ අසතුටින් සිටින බව නොවේ.  සතුට හෝ අසතුට පිළිබඳ අත්දැකීමක් ඇති විටදී, එය මම සතුටින් සිටින්නේය ඈ වශයෙන් සම්බන්ධ කොට ප්‍රකාශ කරන්නෙමු. එනම්, ඔබ හෝ අන් කිසිවෙකු හෝ නොව මම සතුටින් සිටිමි යන්නයි. එකී "මම" හෝ "මා" යනු පවත්නා සම්මුතික "මා" ය.

මෙකී සම්මුතික "මා" යන්න දක්වනු පිණිස නිදසුනක් ගෙනහැර පාන්නෙමි. අපි යම් චිත්‍රපටයක් නරඹමින් සිටින අතර එම චිත්‍රපටය ඇමරිකානු ප්‍රේම සිනමා පටයක් වන “Gone with the Wind” නම් චිත්‍රපටය යයි සිතමු. එහි සතුටින් ගත කරන ජවනිකාවක්ද ඉන්පසු අසතුටින් කල් ගෙවන ජවනිකාවක්ද ඉනුත් ඉක්බිති නැවත සතුටු ජවනිකාවක්ද වේ. මෙහිදී සිදුවන්නේ කවරක්ද? මෙම සතුටු ජවනිකාව “Gone with the Wind” චිත්‍රපටයේ එක් ජවනිකාවක් වන අතර අසතුටු හෙවත් දුක් ජවනිකාවද එම චිත්‍රපටයේම තවත් ජවනිකාවකි. එ් අනුව මෙම සමස්තයටමය අප සම්මුතික වශයෙන් “Gone with the Wind” චිත්‍රපටය යන නම යොදනුයේ. එනම් සතුටු හා දුක් යන සියලු ජවනිකාවන්හි එ්කාබද්ධයයි. කෙසේ වුවද “Gone with the Wind” යනු හුදෙක් නාමයක් පමණි. එනමුදු, “Gone with the Wind” පිළිබඳව කථා කරන විටදී අපි කථා කරනුයේ හුදෙක් එම චිත්‍රපට නාමය පිළිබඳව පමණක් නොවේ. අපි එහිදී සැබෑ චිත්‍රපටය පිළිබඳවම - හෙවත් එම නාමයෙන් හැඟෙන දෙය පිළිබඳව - කථා කරන්නෙමු. එය සම්මුතික වශයෙන් පවත්නා චිත්‍රපටයයි: එය පවතින්නකි. සිනමා පටය යනු පෙරකී එක් එක් ජවනිකාවෙන් වෙන් වූවක්ද නොවේ - එම ජවනිකාවන්ගෙන් වෙන්වූ, ස්වාධීන සිනමා පටයක් හුදෙක් ව්‍යාජ සිනමා පටයක් වනු ඇත. එය නොපවත්නා එකකි. සම්මුතික වශයෙන් පවත්නා චිත්‍රපටය යනු හුදෙක් ජවනිකා පදනම් කොටගෙන ලේබල්කරණය හෝ නාමකරණය කළ හැක්කකි.

එ් හා සමානවම, අපගේ ජීවිතයේද සතුටුදායක මෙන්ම අසතුටුදායක අවස්ථාවන්ද පවත්නා අතර එ් සියල්ල නම් කරනුයේ කෙසේද. එය නම් කරනුයේ "මා" හෙවත් පැවැත්මක් සහිත සම්මුතික "මා" යන්නෙනි: එ් ඔබ නොව "මා" ය. එ් හා සමානව, එකී “Gone with the Wind” නම් සිනමා පටය එයම විනා “Star Wars” යන සිනමා පටය නොවේ. එසේ වුවද, සතුට හා අසතුටට අදාල අවස්ථාවන් අත් විඳින හා එම අවස්ථාවන්ගෙන් වෙන්වූ "මා" යන්නෙක් නොමැත. එසේ වන්නේ නම්, එය සාවද්‍ය "මා" යන්නෙකි. එනම් නොපවත්නා "මා" කෙනෙකි. "මා" යනු හුදෙක් වදනකි ; එ් අනුව, ජීවිතයක අත්දැකීම්වලට අදාල සියලු අවස්ථාවන් පදනම් කොට හුදෙක් එම වදන තුළින් හැඳින්වෙන්නකි "මා" යනු.

එසේ නම්, ව්‍යාකූලත්වය පැන නගිනුයේ මාගේ සිරුර තුළ, පදිංචිව, යම් ආකාරයෙන් එයට සම්බන්ධව, බොත්තම් ඔබමින් සිටින වෙනමම "මා" යන්නෙක් ඇති අතර එම "මා" විසින් මාගේ පාදයේ වේදනාවක් මේවන විට අත්විඳින අතර මා එ් පිළිබඳ නොසතුටින් හා නොකැමැත්තෙන් සිටින්නේය යන සිතිවිල්ලද සමගිනි. එහිදී සිදුවනුයේ එකී ශරීරය ලෙස හැඳින්වෙන ආගන්තුක දෙය තුළ එම සමස්ත අත්දැකීමෙන් වෙන්වු "මා" යන්නෙක් ඇත්තාක් වැනි තත්ත්වයකි. එවිට, මෙකී වෙන්ව සිටින "මා" - මෙම ව්‍යාජ "මා"- සම්මුතික "මා" සමග පටලවා ගෙන එකී ව්‍යාජ "මා" තමා බව සිතීමෙන් අපි "ශාරීරික වේදනාවද සමගින් අත්දකින මෙම අසතුටින්, මෙම වේදනාවෙන් මා මිදිය යුතුය" යන තණ්හා සහගත හැඟීමක් ඇතිකර ගනිමු. සත්තකින්ම දැඩි "මා" යන්නෙක් පිළිබඳ වූ මෙම සාවද්‍ය සංකල්පනාවන්ගෙන් බැහැර වූ විටෙක හුදෙක් එහි හිඳගෙන සිටිමින් නොකඩවා එම වේදනාව පවත්වාගෙන යන බවක් ඉන් අදහස් නොවේ. අපගේ පය ගින්නට හසුවුවහොත්, එය වහා ඉහතට ගන්නා නමුදු, එ් පසුපස පවත්නා "මා" යන සංකල්පය බොහෝ සෙයින් වෙනස් වූවක් වේ. එහි බියක් නොපවතී.

එසේ නමුදු, මෙම ව්‍යාජ "මා" හා එයට ප්‍රතිවිරුද්ධ සම්මුතික "මා" යන විෂයය ඉතා සංකීර්ණ හා උසස් ගණයේ එකකි. එබැවින් එම කරුණ දැනට පසෙකින් තබමු. එ් වෙනුවට මෙම සන්ධ්‍යා කාලයේදී එක්තරා කැපවීමක් සහිතව මෙම ස්ථානයෙන් පිටව යමු. මෙයින් අත්වූ යම් කිසි වූ හෝ වැටහීමක්, ධනාත්මක බලයක් වේනම්, එය වඩ වඩාත් ගැඹුරට විහිදී  වඩ වඩාත් බලවත් වී සියලු සත්ත්වයන්ගේ ප්‍රයෝජනය පිණිස බුද්ධත්වයට පත්වීමට හේතු සාධකයක් වේවා.

Top