සතුට ශාරීරික හෝ මානසික එකක් විය හැක. දුකෙහිද වර්ග දෙකකි: භෞතික හා මානසික වශයෙනි. සතුට සාක්ෂාත් කරගැනීම අපේක්ෂා කළද අප අතරින් බොහෝ දෙනෙකු මෙය සාක්ෂාත් කරගැනීමේ විධික්‍රම නොදනී. අප භාවිත කරන විධික්‍රම මගින් අප දුක කරාම ගෙන යනු ලබයි.
ජීවිකාව පිණිස ඇතැම්හූ සොරකම්හි හා සත්ත්ව ඝාතනයන්හි නියැළෙති. මෙමගින් ඔවුනට සතුටක් ගෙනදෙනු ඇතැයි ඔවුහූ සිතති. මෙය එසේ නොවේ. නීතියේ රාමුව තුළ වෙළෙන්දෙකු, ගොවියෙකු ආදී වශයෙන් කටයුතු කරමින් එමගින් සතුට සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරන අන් බොහෝ අයද වේ. බොහෝ අය එවන් විධික්‍රම මගින් බොහෝ ධනවතුන් හා ජනප්‍රිය පුද්ගලයන් බවට පත්වෙති. මෙයාකාරයේ සතුටක් යනු සදාකල් පවත්නක් නොවේ; එය අවසන් සතුට නොවේ. කෙතරම් සතුටක් හා භෞතික භාණ්ඩ අප සතුව පැවතියද, අපට දැන් ප්‍රමාණවත්ය යන තෘප්තිමත් හැඟීමක් කිසි විටෙක හෝ ඇති නොවේ. මුළු රටක් සන්තකයට ගත්තද තව තවත් අවශ්‍යය යන හැඟීම පවතී.
සතුට අත්කර ගැනීම සඳහා සිදුකරන කාර්යයන් කිසිදින නිම නොවේ. මෝටර් රථ ආදී වූ වේගවත්ම විධික්‍රම භාවිතයෙන් ඔබ මොබ ගමන් කරන්නෙමු. මෙයාකාර හඹා යාම්හි කෙළවරක් දැකිය නොහැක. එබැවිනි, සාංසාරික පැවැත්මෙහි කෙළවරක් නොමැති අතර එය හුදෙක් වටයක කැරකෙමින් පවත්නා බව පැවසෙන්නේ. අප සියලු දෙනා හට මෙය අවබෝධ කරගත හැක: ලෞකික සතුට පසුපස හඹායාම් කිසිදින අවසන් නොවේ.
මලක් අලුත් නම් එය නැවුම්ය; පැරණි වන්නට වන්නට මැළවී යයි. මේ ජීවිතයේ කවර සාර්ථකත්වයන් ලැබුවද, එහි අවසානයක් එළැඹෙනු ඇත. කාලය ගතවීමත් සමග එය අවසානයකට ළඟා වේ. අපගේ ජීවිත අවසානයේදී මහත් වූ දුකක් ඇතිවනු ඇත. නිදසුනක් ලෙස, මෝටර් රථයක් ගනිමු. පැරණි මෝටර් රථ ඉවත් කොට ඇති අංගනයන් ඔබ යන එන අතරතුර දැක ඇත. මෝටර් රථය හොඳ තත්ත්වයෙන් පවතින විටදීද එ් පිළිබඳ බොහෝ වද වන්නෙමු. එහි කොටස් කැඩී යනු ඇතැයිද, ගෙවිය යුතු බදු හා රක්ෂණ වාරික පිළිබඳව ඈ වශයෙන් සිතමින් තැවෙන්නෙමු. මෙම නිදසුන අප සතු සියලු භෞතික වස්තූනට අදාල කරගත හැක. අප සතු දේ වැඩි වන්නට වන්නට, එ්වා පිළිබඳ පවත්නා දුකද වැඩි වේ.
මානසික සතුට උදා කරගැනීමේ විධික්‍රමය දේශනා කරනුයේ ධර්මය මගිනි. යම් ආකාරයේ මානසික සතුටක් සාක්ෂාත් කරගනු පිණිස ශාරීරිකව කටයුතු නොකරමු: එම කටයුතු සිදු කළ යුත්තේ මනස තුළිනි. අතීත ජීවිත කාලයන්හි සිට අනාගත ජීවිත කාලයන් දක්වා පවා දිවෙන දීර්ඝ අඛන්ඩතාවයක් මනස තුළ පවතී. එක් එක් ජීවිත කාලය තුළදී අප සතුව සිරුරක් පැවති අතර එම සිරුර සඳහා සතුට ලබාගැනීම සිදු කරන්නෙමු. එනමුදු, මරණයේදී සිරුර හැර සිත හෙවත් මනස ඉදිරියට ගමන් කරයි. එ් අනුව, අප පැතිය යුතුවන සතුට වූකලි උසස් හා ස්ථාවර එකක් විය යුතුවා පමණක් නොව, අපගේ සියලු මතු ජීවිත කාලයන් තුළද පවත්නා හා එහි අඛන්ඩතාවය තුළ ඛන්ඩනයකට ලක් නොවන්නක්ද විය යුතුය.
සිදුකරන කාර්යය කවරක් වුවද, එය පුණ්‍යවන්ත හෝ එසේ නොවන්නක් වුවද, එය ධර්මය නොවේ. එසේ වුවද, අපගේ මතු ජීවිත කාලයන් උදෙසා සිදු කරනු ලබන කුසල ක්‍රියා ධර්මය වේ.
සතුට හා අසතුට ඇතිවනුයේ අප විසින් සිදු කරනු ලබන කටයුතු මගිනි. මෙම කර්ම ක්‍රියාවන් සම්බන්ධයෙන් සලකා බලන කල, අකුසල ක්‍රියා මගින් අකුසල කර්ම විපාකද කුසල ක්‍රියාවන් තුළින් කුසල කර්ම ආනිසංසද ලැබේ. කුඹුරු අස්වැද්දීම ආදී වශයෙන් මෙම ජීවිත කාලය තුළ හොඳින් සිදුකළ හැකි කවර කාර්යයක් වුවද, එම කාර්යය සිදු කිරීමේ හැකියාව ලැබෙනුයේ පෙර ජීවිත කාලයන්හි සිදු කරන ලද කුසල ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් වශයෙනි. බොහෝ රෝගීව සිටින්නේ නම්, හෝ අසතුටින් සිටින්නේ නම් හෝ ජීවිත කාලය කෙටි වන්නේ නම්, එ්වා පෙර ජීවිත කාලයන් තුළ සිදුකරන ලද අකුසලයන්හි ප්‍රතිඵල වේ. නිදසුනක් ලෙස වෙළෙන්දන් දෙදෙනෙකු ගනිමු. එක් අයෙකු සාර්ථක ව්‍යාපාරිකයෙකු වන අතර අනෙකා එසේ නොවේ. මෙය සිදුවනුයේ පෙර කර්ම ඵලය අනුවය. ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගනිමු. එක් අයෙකු ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කළද සාර්ථකත්වයක් නොලබයි. අනෙකා එතරම් වෙහෙස වී කටයුතු නොකළද සාර්ථක වේ. තවත් නිදසුනක් ගනිමු. ඔබ සතුන් මරන්නේ නම්, ජීවිත කාලය කෙටි වන අතර ලෙඩ රෝග ඇතිවනු ඇත.
මෙම අකුසල කර්මයන්ගෙන් වැළකී සිටින්නේ නම්, ඔබ පහත් විථියක නොඉපද මනුෂ්‍ය හෝ දේව ආත්ම භවයක උත්පත්තිය ලබනු ඇත. නමුත් මනුෂ්‍යයෙකු හෝ දෙවියකු ලෙස උත්පත්තිය ලැබුවද, මෙමගින් අවසන් සතුටක් උදා නොවේ- එ් සියල්ල පවතිනුයේ දුක නමැති ස්වභාවය තුළමය. මෙය එසේ වනුයේ කෙසේද? ඔබ උසස් නිල තලයකට පැමිණියහොත්, පහළ තත්ත්වයකට ඇද වැටේ; පහළ තත්ත්වයක සිටියහොත් වඩා ඉහළ තත්ත්වයකට උසස් විය හැක. මෙතුළ බොහෝ දුක් පවතී. නිදසුනක් ලෙස, කුසගිනි දැනෙන්නේ නම්, ආහාර ගනී; එසේ වුවද, ආහාර පමණ ඉක්මවා ගතහොත් ගිලන් වේ. අධික සීතලයක් දැනේ නම්, උදුන් දල්වා උණුසුම වැඩිකර ගන්නා අතර එය සීමාවකින් ඔබ්බට ගියහොත් උණුසුම දැවෙන සුළු එකක් වේ; එවිට ඔබට සිසිල් වීමට අවශ්‍ය වේ. මේ සියලු ආකාරයෙන්ම දුක පවතී.
පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පැවැත්ම හෙවත් සංසාරය මෙයාකාරයේ දුකින් සමන්විත වූවකි. එ් වූකලි කර්මයේ හා විවිධාකාරයේ කැළඹිලිකාරී භාවයන්ගේ හා ආකල්පයන්ගේ ප්‍රතිඵලය වේ. ශූන්‍යතාවය හෝ අනන්‍යතාවයක් රහිත තත්ත්වය පිළිබඳ ප්‍රඥාව හෙවත් වෙන්කොට දැකීමේ දැනුවත්භාවය ගොඩනඟාගත යුතුය.
සංසාරයේ අවසානයට පිවිසි අරහතුන් වහන්සේලා දහසය දෙනා හා විවිධාකාරයේ සෙසු ආර්යයන් වහන්සේලා උදාහරණ වශයෙන් ගත හැක. අපට අපගේ සාංසාරික පැවැත්ම අවසන් කළ හැකි නමුදු, එම කාර්යය පමණක් සිදු කිරීම ප්‍රමාණවත් නොවන්නේ සියලු සීමිත සත්ත්වයන් හෙවත් සප්‍රාණික සත්ත්වයන් සේ අන් කවරෙකු හෝ අප වෙත කාරුණික වී නොමැති බැවිනි. සතුන්ගේ කරුණාව හේතුකොටගෙන කිරි නිෂ්පාදන අප වෙත ලැබේ. හොඳ ශරීර සෞඛ්‍යයෙන් කල් ගෙවූ සතුන් මස් පිණිස මැරීමෙනි අප භුක්ති විඳින මස් ලැබෙනුයේ. සීත සෘතුවේදී අප අඳින ලොම් කබා හා වූල් රෙදි ද සතුන්ගෙන් ලබාගත් ද්‍රව්‍යයන්ගෙන් සැදි දේ වේ. මේ සියල්ල අප වෙත සම්පාදනයට තරම් ඔවුහූ කාරුණික වූහ. බුද්ධත්වය සාක්ෂාත් කරගනිමින් සියලු සප්‍රාණික සත්ත්වයන් අප වෙත පෑ කාරුණිකත්වයට කළ ගුණ සැළකිය යුතුය - එවිට සියලු සීමිත සතුන්ගේ අරමුණු අපට ඉටුකළ හැකිය.
ශ්‍රාවකයන් වහන්සේලාට හා අරහතුන් හට සීමිත සත්ත්වයන්ගේ සියලු අරමුණු ඉටුකළ නොහැක. මෙම කාර්යය සිදුකළ හැක්කේ බුදුවරයෙකුට පමණක් වන බැවින් ඔවුනට සැබෑ ලෙසම උපකාර කරනු පිණිස අප විසින් සිදුකළ යුත්තේ මෙයයි. එනම් බුද්ධත්වයට පත්වීමයි.
මෙය සිදු කරන්නේ කෙසේද? ධර්මය අනුගමනය කිරීමෙනි. ඉන්දියාවේ විසූ ඉතා උසස් මට්ටම්වලට පැමිණි මහා සිද්ධවරුන් අසූ දෙනෙකු පිළිබඳ ජීවිත කථා අප සතුවන නමුත් සත්‍ය වශයෙන්ම නොගිණිය හැකි තරම් සංඛ්‍යාවක් එම උත්තමයෝ වාසය කර ඇත. ඔවුහූ සිය ජීවිත කාලය තුළම බුද්ධත්වය සාක්ෂාත් කරගනිති. තිබ්බතයේ මිලරේපා තුමා පිළිබඳ උදාහරණය හා කාග්යු, නිංමා, සාක්‍ය හා ගෙලුග් ගුරුකුලයන්හි අන් බොහෝ මහා ගුරුවරු පිළිබඳ නිදසුන්ද පවතී.
බුද්ධත්වය සාක්ෂාත් කරගන්නා මට්ටමේදී අපගේ ධර්ම ප්‍රයත්නයන් අවසන් වේ. ධර්මය තුළ අප සිදුකරන කටයුතු සිදු කිරීම ආරම්භයේදී ඉතා දුෂ්කර වේ. එසේ නමුදු, පියවරින් පියවර එය වඩ වඩාත් පහසු වන අතර ප්‍රගතිය ලබන්නට ලබන්නට වඩ වඩාත් සතුටට පත් වන්නෙමු. පූර්ණ සතුටුදායක තත්ත්වයක අපි අපගේ ධර්ම කාර්යයන් අවසන් කරන්නෙමු. ලෞකික කටයුතු මගින් ඇති වනුයේ වඩ වඩාත් දුකම පමණි.
නිදසුනක් ලෙස, පුද්ගලයන්ගේ මරණයේදී සිදුවන ජීවිතාවසාන දසුන තුළ අවාසනාව හා දුක පමණි ගෙන එනු ලබන්නේ. එද එම පුද්ගලයනට පමණක් නොව ඔවුන්ගේ අවසන් කටයුතුවලට සහභාගිවන පවුල්වල ඥාතීන්ටද එම දුක අත් වේ. මේ තත්ත්වය පිළිබඳ සිතා බලා යම් ධර්ම කාර්යයක නිරත විය යුතුය. බුද්ධත්වයට පත්වීමෙන් අවසන්වන ධර්ම කාර්යයෙහි අවසානයට එළැඹීම තුළින් ගෙන එනු ලබන්නේ සතුට පමණි. එද අපට පමණක් නොව අන් සියල්ලන්ටම වේ.
එ් අනුව දස පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය යුතුය. පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වුවහොත්, සතුටද, පාප ක්‍රියාවන්හි නිරත වුවහොත් අසතුටද අත් විඳීමට සිදුවේ. අප විසින් අපගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල පරීක්ෂාකර බලා අපගේ ක්‍රියාවන්හි හේතු ලෙස අපගේම සිත් පිළිබඳ පරීක්ෂාකර බැලිය යුතුය. පරීක්ෂාකර බලන විටදී, අප තුළ විෂ සහිත භාවයන් හා ආකල්ප තුනක් පවත්නා බව පෙනේ: රාගය, ද්වේෂය හා මෝහය හෙවත් සීමිත දැක්ම වශයෙනි.
මේවා තුළිනි අපට වර්ග 84,000ක් වූ කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප උපදිනුයේ. මෙම මුලාවන් 84,000 අපගේ ප්‍රධාන සතුරන් වන බැවින්, අපි අපගේ සතුරන් සොයා අප වටා නොව අපගේ ඇතුළාන්තයම විමසා බලන්නෙමු. මෙම 84,000 තුළින් ප්‍රධාන එ්වා වනුයේ මෙම විෂ වර්ග තුන වන අතර, ඉනුදු වඩාත් භයානක වනුයේ අපගේ චිත්ත ධාරාවන් තුළ ක්‍රියාත්මක මෝහයයි.
කෙටියෙන් සඳහන් කරන්නේ නම්, අප තුළම විමසා බලමින් මෙම අභ්‍යන්තර සතුරන් අවසන් කිරීමට උත්සාහ දැරිය යුතුය. නිරන්තරයෙන් මෙසේ ඇතුළාන්තය පිරික්සන්නන් වන බැවිනි බුද්ධ ධර්මය අනුගමනය කරන්නන් "අභ්‍යන්තරිකයන්" වශයෙන් හැඳින්වෙනුයේ. අපගේ චිත්ත සන්තානයන් තුළ පවත්නා මෙකී කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප අවසන් කළහොත්, එ් අනුව අපගේ සියලු දුක් නිමා කළා වේ. මෙම කරුණ සඳහා උත්සාහ දරන අය ධම්මානුසාරී අය සේ සැළකේ.
තමා තුළ පවත්නා කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප මුලිනුපුටා දැමීමේ අදහසින් පමණක් කටයුතු කරන්නාවූ පුද්ගලයෙකුගේ ධර්ම ක්‍රියාවලිය හීනයානය ලෙස හැඳින්වේ. අපගේ දුකින් මිදීමට පමණක් නොව අන් අය තුළ පවත්නා කැළඹිලිකාරී භාවයන් හා ආකල්පයන්ගෙන් ඔවුන්ද මුදවා ගැනීමට උපකාර කිරීමේ හැකියාව ලබාගනු පිණිස අපගේ මෝහය දුරලීම සඳහා කටයුතු කරන්නේ නම්, එවිට අපි මහායාන පිළිවෙත් පුරන්නෝ වෙමු. මෙම සිරුරේ කාර්ය පදනම මත, අප විසින් මහායානිකයන් වීමට උත්සාහ දැරිය යුතුය. ප්‍රතිඵලය වනුයේ අපටද බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට හැකිවීමයි.
මෙහිදී ගත යුතුවන ප්‍රධාන කරුණ නම් අප විසින් සියලු දෙනාගේ යහපත උදෙසා කටයුතු කරන අතර කිසිවෙකුට හෝ හානි නොපැමිණවිය යුතු බවයි. "ඕම් මනි පද්මේ හම්" නමැති පදය ජප කරන්නේ නම්, එ් අනුව "මෙම කාර්යයේ පුණ්‍ය ශක්තිය සියලු සීමිත සත්ත්වයන්ගේ යහපත පිණිස හේතු වේවා" යි පැතිය යුතුය.
අපගේ කාර්ය පදනම වශයෙන් පවත්නා අප දරන මෙම සිරුරු ලබාගැනීම දුෂ්කරය: මනුෂ්‍යයෙකු ලෙස ලබන උත්පත්තිය දුර්ලභ එකකි. නිදසුනක් ලෙස, ලෝකය දෙස බලන්න. ඉන් වැඩි භූමි ප්‍රමාණයක් සාගරයට අයත් වේ. මෙම සියලු සාගරයන්හි කෙතරම් මත්ස්‍ය සංඛ්‍යාවක් සිටීදැයි සිතා බලන්න. සතුන් හා කෘමීන් ලෙස ලබන ජීවිත ආකෘතිය වඩාත් විශාල වේ. සමස්ත ලෝකයේ සිටින සතුන් හා කෘමීන් දෙස විමසා බලන්නේ නම්, මනුෂ්‍යයෙකු ලෙස ඉපදීමේ දුර්ලභත්වය අවබෝධ වනු ඇත.
සාරාංශය
ධර්මය තුළ අවබෝධයන් හා අන්තර් ඥාණයන් ලැබෙනුයේ ඉතා මන්දගාමීවය. මෙය හුදෙක් දින, සති හෝ මාස කිහිපයකින් ලැබිය හැක්කක් නොවේ. ධර්මය අවබෝධ කිරීම පසෙක තිබියේවා, ධර්මය පිළිබඳ සැබෑ ලෙස සිතා බලනුයේ හෝ ඉතා සුළු මනුෂ්‍යයන් සංඛ්‍යාවක් විසින් පමණි. එ් සඳහා දීර්ඝ කාලයක් නොකඩවා කටයුතු කළ යුතුය. ඔබ ඉදිරිපිට දැන් මනා සේ සුදුසුකම් ලත් ගුරුවරයෙකු ඔබගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා පැමිණ සිටී. දීර්ඝ කාලීනව, බුදු දහම නොකඩවා වැඩි වර්ධනය වී ව්‍යාප්ත වනු ඇත. එය මේවන විටත් වර්ධනය වෙමින් ජීවමානව පවතී. බුදුන් වහන්සේ විසින් පළමු ධර්ම දේශනය පවත්වන විටදී එහි සිටියේ ශ්‍රාවකයන් පස් දෙනෙකු පමණි. මෙම පුද්ගලයන් වෙතින් ව්‍යාප්තව එය මෙතරම් විශාල සංඛ්‍යාවක් සඳහා හෙළිදරවු වෙමින් පවතී.
වර්තමානයේ ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ වැනි වූ පරම පූජනීය දලයි ලාමා වහන්සේ ජීවමානව සිටින අතර, උන් වහන්සේ ඔක්තෝබර් මාසයේදී මෙහි පැමිණෙනු ඇත. උන් වහන්සේ විසින් දේශනා කරන කවර දෙයක් වුවද හදවතට ගෙන අවංකව පිළිවෙත් පුරන්න. මෙම දේශනයේ අරමුණ වනුයේ කිසිදු සත්ත්වයෙකු හට හානි කිරීම හෝ හානි කිරීමේ සිතිවිලි හෝ පවත්වාගෙන යාම නොව ඔවුනට සෙත සැලසීමම පමණි. මෙයයි අවධාරණය කළ යුතු කරුණ. ඔබද මෙයාකාරයෙන් කටයුතු කරන්නේ නම්, මතු දින එමගින් ඉමහත් ඵල ලැබෙනු ඇත.