චතුරාර්ය සත්‍යය: දළ විශ්ලේෂණය

17:26
සියල්ලෝ සිය ජීවිත පුරා ගැටළු හා දුක් ගැහැට අත් විඳිති. ඉතිහාසය පුරා දුක හා සටන් කරනු වස් විවිධ විධික්‍රම යෝජනා වී ඇත. වර්තමාන ලෝකය තුළ, අන්තර්ජාලය විසින් බොහෝ දර්ශනවාදයන් වෙත ක්ෂණික ප්‍රවේශය ලබාදෙන අතර, අපගේ ජීවිත තුළ දුක පවත්නේ මන්ද හා සාමය හා සතුට සොයා ගනුයේ කෙසේද යන්න පිළිබඳව වසර 2,500කට පෙර බුදුරජාණන් වහන්සේ විසින් ගන්නා ලද අසහාය ප්‍රවේශය මෙහිලා අපි විමසා බලමු.

හැඳින්වීම

බුදු දහම පිළිබඳ පළමු වරට අධ්‍යයනය කිරීමේදී, චතුරාර්ය සත්‍යය පිළිබඳ විමසා බැලීම යහපත්ය. බුදුරජාණන් වහන්සේ සිය දේශනාවන් ආරම්භ කළ අවස්ථාවේදී උන් වහන්සේ විසින්ද සිය ආරම්භය ලබාගන්නා ලද ආකාරය මෙය වන බැවින්, එය සුදුසු ප්‍රවේශයක්ද වේ. බුදුන් කලද බොහෝ වූ ආගම් හා දාර්ශනික ක්‍රමයන් ගණනාවක් පැවති අතර, වර්තමානයේ එයටද වැඩි සංඛ්‍යාවක් වූ ආධ්‍යාත්මික ඉගැන්වීම් පෙළක් අපට මුණ ගැසේ. එ් අනුව, බුදු දහම පිළිබඳව විමසා බලන කල, බෞද්ධ ප්‍රවේශයෙහි පවත්නා අසාහාය තත්ත්වය කවරක්ද යන්න හඳුනා ගැනීමට උත්සාහ කිරීම වැදගත්ය. ස්වභාවිකවම, බුදු දහම තුළ සෙසු ආගමික ඉගැන්වීම්හි අන්තර්ගත බොහෝ පොදු ඉගැන්වීම් පවතී: එ්වානම්, කාරුණික හා ආදරණීය පුද්ගලයෙකු වීම, කිසිවෙකුට හෝ හිංසා නොකිරීමට උත්සාහ කිරීම ආදී වශයෙනි. මෙම අංග සියලුම ආගම් හා දර්ශනවාදයන්හි පාහේ දක්නට ලැබෙන බැවින්, බුදු දහම කරුණාව, ප්‍රේමය හා දයාව වැනි ගුණාංග වැඩි වර්ධනය කරගැනීමේ විධික්‍රමයන්ගෙන් අනූන වූවක් වුවද, එ්වා පිළිබඳ ඉගෙනීම සඳහා බුදු දහම වෙත ප්‍රවේශ වීමේ අවශ්‍යතාවයක් නොමැත. බෞද්ධ ඉගැන්වීම්හි අන් කිසිවක් හෝ අප නොපිළිගත්තද, මේ ක්‍රමයන් තුළින් අපට ප්‍රයෝජන ගත හැක.

කෙසේ වුවද, “බුදු දහමේ පවත්නා විශේෂත්වය කුමක්ද?” යන පැනය අප විසින් ඉස්මතු කරන්නේ නම්, එවිට අප හට චතුරාර්ය සත්‍යය විමසා බැලීමට සිදුවේ. මේවා පිළිබඳ අපගේ සාකච්ඡාව තුළ පවා සෙසු ක්‍රමයන් හා පොදු වූ බොහෝ කරුණු අපහට හමුවනු ඇත.

 “ආර්ය සත්‍ය” නමැති ප්‍රකාශයෙහි පවත්නා දෙපදය තරමක් දුරට අසාමාන්‍ය ස්වරූපයක් ගනී. “ආර්ය” නමැති වදන තුළ මධ්‍ය කාලීන කුලීන සමාජ ක්‍රමය සිහි ගන්වනු ඇති නමුත්, මෙමගින් හැඳින්වෙනුයේ ඉතා ඉහළින් ධර්මාවබෝධය ලැබූවන්ය. එ් අනුව, චතුරාර්ය සත්‍යය යනු අසංකල්පනාත්මකව යථාර්ථය දැක ඇති අය විසින් සත්‍ය ලෙස දක්නා ලද සැබෑ කරුණු සතරකි. මෙකී කරුණු සතර සත්‍ය නමුත්, බොහෝ අය එ් අවබෝධ නොකරන අතර බහුතරයක් දෙනා එ් පිළිබඳ දැනුවත්ව හෝ නොසිටිති.

Top