කෝපය: කැළඹිලිකාරී භාවයන් සමගින් කටයුතු කිරීම

41:37
කෝපය යනු අප අකමැති හෝ අපට තර්ජනාත්මක බවට හඳුනාගනු ලබන යමෙකු හෝ යමක් කෙරෙහි ඇතිවන විකර්ශනයයි. කැළඹිලිකාරී භාවයක් වශයෙන් එමගින් අපගේ චිත්ත සාමය විනාශ කරන අතර එමගින් අපගේ ස්වයං-පාලනය අහිමි කෙරේ. ඉවසීම ගොඩනගා ගැනීම සඳහා වූ විවිධාකාර පිළිවෙත් මගින් අපට කෝපය වළක්වා ගනිමින් වඩාත් සතුටින් ජීවත් විය හැකිවේ.

ජීවන ගැටලු

අප සියලු දෙනාටම පාහේ ජීවිතයේ යම් ගැටලු ඇති බවක් හැඟේ. අපට සතුටින් සිටීමට අවශ්‍ය වේ. අපට කිසිදු ගැටලුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවුවද, නිරන්තරයෙන්ම බොහෝ විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. ඇතැම් විට අපි මානසික අවපීඩනයට පත් වන්නෙමු; අපි දුෂ්කරතාවයනට මුහුණ දෙමින් අපගේ කටයුතු පිළිබඳ ඉච්ඡා භංගත්වයටද, අපගේ සමාජ තත්ත්වයන්, අපගේ ජීවන තත්ත්වයන් හෝ පවුලේ තත්ත්වයන් පිළිබඳ ඉච්ඡා භංගත්වයටද පත් වන්නෙමු. අපට අවශ්‍ය දේ නොලැබීමේ ගැටලු පවතී. සාර්ථක වීමේ අවශ්‍යතාවයක් ඇත. අපගේ පවුල්වල හා ව්‍යාපාරික කටයුතුවලදීද යහපත් දේ පමණක් සිදුවිය යුත්තේ යැයි අපේක්ෂා කරන නමුත් මෙය නිරතුරුවම එසේ සිදු නොවේ. අපට මෙම ගැටලු පවත්නා විටදී, අසතුටට පත්වෙමු. ඇතැම් විට ලෙඩ වීම හෝ වයස්ගත වීමත් සමගින් ශරීරය දුර්වල වීම හෝ කන් ඇසීම හෝ ඇස් පෙනීම දුර්වල වීම ආදී වශයෙන් නොසිදුවිය යුතු යැයි සිතන දේ අපට සිදුවේ. එවැන්නක් සිදුවිය යුතුයැයි කිසිවෙකු හෝ අපේක්ෂා නොකරන බවට සැකයක් නොමැත. අපගේ සේවාවනට අදාළ ගැටලුද පවතී. ඇතැම් විට දේවල් අයහපත් වන අතර ව්‍යාපාර කටයුතු පහත වැටීම හෝ අසාර්ථක වීම සිදුවේ. එය පැහැදිලිවම සිදු නොවිය යුතු යැයි අප අපේක්ෂා කරන දෙයක් වන නමුත් කෙසේ නමුදු එවැනි දේ සිදුවේ. ඇතැම් විට අපට හානි සිදුවන අතර වේදනාවටද පත් වෙමු; හදිසි අනතුරුවලට මුහුණ දෙන්නෙමු; ලෙඩ වන්නෙමු. මේ සියල්ල අප මුහුණ දෙන ගැටලු වශයෙන් සිදු වෙමින් පවතී.

මේවාට අමතරව, අපි බොහෝ භාවමය හා මානසික ගැටලුවලටද මුහුණ දෙන්නෙමු. මේවා අන් අය සමග සාකච්ඡා නොකළ යුතු බවට හෝ ඔවුනට හෙළි නොකළ යුතු බවට අප විසින් හඟින දේ විය හැක. එසේ වුවද අපගේ අභ්‍යන්තරයෙහි අප බොහෝ දුෂ්කරතාවයන්හි හෙළන්නාවූද අපගේ දරුවන් සම්බන්ධ අපේක්ෂාවන්, අපගේ සිතට වද දෙන කරුණු හෝ අපගේ සාංකාවන් ලෙස අප කැළඹිල්ලට පත් කරන්නාවූ යම් දේ පවත්නා බව අපට පෙනේ. “පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන තත්ත්වයන් හෝ ගැටලු (හෙවත් සංස්කෘත භාෂාවෙන් ‘සංසාර’) ලෙස අප හඳුන්වනු ලබන්නේ මේවාය.

පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන ගැටලු යනු සංසාරයයි

මාගේ පසුබිම හා පුහුණුව භාෂා පරිවර්තකයෙකු ලෙස සිදුවූ අතර භාෂා පරිවර්තකවරයෙකු වශයෙන් මා බුදු දහමට අදාළ ලේඛන පරිවර්තනය කරමින් මෙන්ම දහම් කරුණු දේශනා කරමින්ද ලොව වටා වූ බොහෝ රටවල සංචරය කොට ඇත්තෙමි. බුදු දහම පිළිබඳ බොහෝ අනවබෝධයන් පවත්නා බව සොයා ගත්තෙමි. බොහෝ කොටම බුදු දහම පිළිබඳ අනවබෝධයක් ඇතිවන බව පෙනෙනුයේ එහි මුල් යෙදුම් හා අදහස් පරිවර්තනය කරනු පිණිස තෝරාගත් ඉංග්‍රීසි වචන හේතු කොටගෙනය. මෙකී බොහෝ වචන වික්ටෝරියානු මිෂනාරිවරුන් විසින් තෝරාගත් ඒවා වන අතර ආසියානු භාෂාවන්හි මුල් වචනවල පැවති අදහස් හෝ අර්ථයන් නොවන්නාවූ ප්‍රබල අදහස් ගැබ්වන ඒවා වේ. නිදසුනක් ලෙස, අපි ගැටලු පිළිබඳව කථා කළෙමු. එය සාමාන්‍යයෙන් “දුක” ලෙස පරිවර්තනය කෙරේ. දුක පිළිබඳව කථා කරන්නේ නම්, බුදු දහම තුළ සෑම අයෙකුගේම ජීවිතය දුකින් පිරී ඇති බවක් ප්‍රකාශ වන බැවින් බුදු දහම ඉතා අසුභවාදී ආගමක්ය යන අදහස බොහෝ අය විසින් ගනු ලැබේ. ඉන් ප්‍රකාශ කෙරෙන බව පෙනෙන්නේ අපට සතුටින් සිටීමේ හිමිකමක් නොමැති බවයි. සුව පහසුවෙන්, සැපයෙන් හා ධනයෙන් ආඪ්‍යව සිටින්නෙකු හා කථා කොට ඔහුට “ඔයාගෙ ජීවිතේ දුකින් පිරිච්ච එකක්” යැයි පැවසුවහොත් එම පුද්ගලයා එය තමාට කළ අපහාසයක් සේ සලකනු ඇත. “ඔයා මොනවද මේ කියන්නේ? මට වීඩියෝ පටිගත කරන යන්ත්‍රයක් තිබෙනවා, හොඳ කාර් එකක් තිබෙනවා, හොඳ පවුල් ජීවිතයක් තිබෙනවා. මං දුක් විඳින්නෙ නෑ”යි ඔහු පෙරළා තර්ක කරනු ඇත.

ඉතා බර වචනයක් වන “දුක” නමැති වචනය හේතුවෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය සාධාරණීකරණය කෙරේ. ඒ වෙනුවට එම බෞද්ධ සංකල්පයම “ගැටලු” නමැති වදනින් පරිවර්තනය කොට “ඔයා කවුරු වුණත්, කොච්චර ධනවත් වුණත්, ඔයාට කොච්චර ළමයි හිටියත් හැම කෙනෙකුටම ජීවිතේ යම් ගැටලු තිබෙනවා”යි යමෙකුට පැවසුවහොත්, එය වූකලි සෑම අයෙකුම පිළිගැනීමට සූදානම් වන ප්‍රකාශයක් වනු ඇත. එබැවින්, අප සාමාන්‍යයෙන් භාවිත කරන යෙදුම්වලට වඩා වෙනස් යෙදුම් භාවිත කරමින් තිබ්බතීය සම්ප්‍රදායට අයත් මෙම බෞද්ධ විග්‍රහයන් සාකච්ඡා කරන්නෙමි.

සංසාරය යනු පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන ගැටලු වේ. වඩාත් ලිහිල් අරුතකින් ගතහොත් “සංසාරය” යන්නෙන් අපගේ පාලනයෙන් බැහැර වූද, නිරන්තරයෙන් ඉච්ඡා භංගත්වයට පත් වීම හෝ නිරතුරු වදවීම් හා සාංකාවන් පවත්නා තත්ත්වයන් ඈ ලෙස නැවත නැවතද දිගින් දිගටම සිදුවන තත්ත්වයන් හැඳින්වේ. ඒවාහි සැබෑ හේතු කවරේද? අප මහුණ දෙන සැබෑ ගැටලු පිළිබඳව පමණක් නොව ඒවාහි සැබෑ හේතුද පවත්නා අතර අපට ඒවාද නවතාලිය හැකි ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් සාකච්ඡා කරන ලදී. ඒවාහි සැබෑ නිරෝධයක් අත්පත් කරගැනීමේ හෙවත් ඒවා නවතාලීමේ විධික්‍රමය වනුයේ හේතු මුලිනුපුටා දමන්නාවූ වැටහීම් විධි වන සැබෑ මාර්ග චිත්තයන් ගොඩනැගීම යන්නෙන් අර්ථවත් කෙරෙන සැබෑ මාර්ගය අනුගමනය කිරීමයි. හේතුවලින් මිදුනු කල, ගැටලුවෙන්ද මිදුනා වේ.

ගැටලුවල මූල හේතුව: දැඩි අනන්‍යතාවයක් ග්‍රහණය කරගැනීම

අප විසින් ජීවිතයේ මුහුණ දෙන පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන මෙකී  ගැටලුවල සැබෑ හේතුව වනුයේ යථාර්ථය පිළිබඳ අපගේ නොදැනුවත් භාවයයි. අප සැබෑ වශයෙන්ම කවුරුන්ද, අන් අය සැබෑ ලෙසම කවුරුන්ද, ජීවිතයේ අර්ථය කවරක්ද, ලෝකයේ සැබෑ ලෙසම සිදුවන්නේ කවරක්ද යන කරුණු පිළිබඳව අපි නොදැනුවත්ව සිටින්නෙමු. මෙහිදී “මෝහය” යන වදන වෙනුවට “නොදැනුවත්භාවය” යන වදන යොදන්නෙමි. “මෝහය” යන්නෙන් ඔබ අඥානයෙකු වන අතර කරුණු වටහා නොගන්නෙකිය යන අදහසක් ගම්‍ය වේ. එසේ නොව, සැබෑ තත්ත්වය නම් අපි නොදැනුවත් පුද්ගලයන් වන අතර මෙය මානසික මට්ටමෙහි වූ අනාරක්ෂිත බවක් ලෙස අත් විඳින්නෙමු. මෙම අනාරක්ෂිත බව හේතුකොට, යම් ආකාරයේ දැඩි අනන්‍යතාවයක් හෙවත් යම් ආකාරයක “මමෙක්” ග්‍රහණය කරගැනීමට යොමු වන්නෙමු. මවිසින් මා කවරෙකුද හෝ මා පවතින්නේ කෙසේද යන කරුණු නොදන්නා අතර ඒ අනුව සත්‍ය වේවා, හුදෙක් මනහ්කල්පිත වේවා යම් දෙයක් ග්‍රහණය කොටගෙන මෙය මාය හා මාගේ සැබෑ තත්ත්වය මෙය යයි පවසන්නෙමු.

නිදසුනක් ලෙස පියෙකු ලෙස වූ අනන්‍යතාවයක් ග්‍රහණය කරගත හැක: “මා මෙසේය, මම පියෙකු වෙමි, මා පවුල තුළ ගෞරවයට පත් අයෙකු විය යුතුය. මාගේ දරුවන් තුළ මා කෙරෙහි යම්කිසි ගෞරවාන්විත හා කීකරු ආකල්පයක් පැවතිය යුතුය” ඈ වශයෙනි. අපගේ සමස්ත ජීවන නැඹුරුව මෙසේ පියෙකු වීම වටා රඳන්නේ නම්, පැහැදිලිවම මෙමගින් අප යම් කිසි දුෂ්කරතාවයකට මුහුණ දිය හැක. මක් නිසාද, අපගේ දරුවන් එම සංකල්පයට ගරු නොකරන්නේ නම්, එවිට ගැටළුවක් ඉස්මතු වන බැවිනි. අප කාර්යාලයක සිටින්නෝ නම්, “පියෙකු” හෝ එවන් ගෞරවයකට හිමිකම් ලැබිය යුතු අයෙකු සේ එහි සිටින අය අප නොදකිති. නැවතද එහිදී කැළඹිලිකාරී තත්ත්වයක් ඇතිවේ. මා පවුලේ පාලකයා වන අතර කාර්යාලයට ගිය විටදී එහි අන් අය මා පහත් කොට සලකන්නේ නම් හා මා ඔවුනට ගරු කළ යුතු නම් තත්ත්වය කවරක්ද? පියෙකු වශයෙන් සිට ගෞරවය දිනා ගැනීමේ අනන්‍යතාවය දැඩි සේ ග්‍රහණය කොටගෙන සිටියහොත්, කාර්යාලයේ අන් පුද්ගලයන් එසේ අපට නොසලකන විට අතිශයින් අසතුටට පත් වීමට සිදුවනු ඇත.

සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමේ අනන්‍යතාවයක් පවත්වාගත හැක: ‘මම සාර්ථක ව්‍යාපාරිකයෙකු වෙමි. මා මෙසේය; මා සිටිය යුතු අකාරය මෙසේය” ඈ වශයෙනි. කෙසේ වුවද, ව්‍යාපාරය කඩා වැටුණහොත් හෝ ඉතා අයහපත් තත්ත්වයකට පත් වුවහොත්, අපගේ අනන්‍යතාවය සුණු විසුණු වී යනු ඇත. තමා ග්‍රහණය කොටගෙන සිටින මෙකී දැඩි අනන්‍යතාවයෙන් තොරව ජීවත් විය හැක්කේ කෙසේද යන්න නොවැටහෙන බැවින් සිය ව්‍යාපාර අසාර්ථක වන විටදී ඇතැම්හූ සිය දිවි හානි කරගැනීමට හෝ ඉතා භයානක දේවල් සිදු කිරීමට පවා පෙළඹෙති.

නොඑසේ නම් අපගේ පුරුෂ ශක්තිය මත අපගේ අනන්‍යතාවය රැඳවිය හැක: “මම මෙසේය; පුරුෂ ශක්තිය, පෞරුෂය,ආකර්ශනය ඇත්තෙක්මි” ඈ වශයෙනි. එනමුත් වයස් ගතවෙමින් අපගේ පුරුෂ ශක්තිය හීන වන විටදී අපි උමතු වන්නෙමු. එය ඔවුන්ගේ අනන්‍යතාවය නම් ඇතැම්හූ එමගින් මුළුමනින්ම සුණු විසුණුව කඩා වැටෙනු ඇත. ජීවිතයේ සියල්ල වෙනස් වන අතර මෙම අනන්‍යතාවය ස්ථිර නොවන බව දැකීමට ඔවුහූ අකමැති වෙති.

තමා සම්ප්‍රදායික පුද්ගලයෙකු වන බැවින් සියල්ල සම්ප්‍රදායික විධික්‍රමයනට අනුකූලව සිදුකළ යුතු බවද අපට හැඟිය හැක. සමාජය වෙනස් වෙමින් අපගේ අනන්‍යතාවය රඳා පවත්නා සම්ප්‍රදායන් ඔවුන් විසින් තවදුරටත් අනුගමනය නොකරන විටදී අපට බොහෝ කේන්තියක්, වියවුලක්, වේදනාවක් ඇති විය හැක. අප වඩා වර්ධනය කරන ලද සම්ප්‍රදායික චීන සිරිත් විරිත් අනුගමනය නොකරන්නාවූ ලොවක ජීවත් වන්නේ කෙසේද යන්න අපට සිතාගත නොහැක.

අනෙක් අතින්, තරුණයෙකු වශයෙන් නවීන ලොවට අනුගත පුද්ගලයෙකු ලෙස අනන්‍යතාවයක් ගොඩනගාගත හැක: “මෙය ඉතා තදින් ග්‍රහණය කොටගෙන සිටින අතර අපගේ දෙමව්පියන් විසින් අපට සම්ප්‍රදායික වටිනාකම් අනුගමනය කරමින් නැවතද ඔවුනට සම්ප්‍රදායික ක්‍රමයනට සලකන ලෙස බලකර සිටියහොත්, නැවතද, නව ලොව අදහස් ඇති තරුණයෙකු වශයෙන් අප තුළ විරෝධාකල්ප හා කෝපය පැන නැගිය හැක. එය වදනින් ප්‍රකාශ නොකළද, අපගේ අනන්‍යතාවය නව ලොව පුද්ගලයෙකු ලෙස ගොඩනැගුණක් බැවින් චීන නව අවුරුදු දින මව්පියන් බැලීමට යා යුතු නොවන බවට වූ හැඟීමක් ඇතුළාන්තයෙන් ගොඩ නැගෙනු ඇත; අපට මෙකී සියලු සම්ප්‍රදායික දේවල් අවශ්‍ය නොවන අතර, නැවතද බොහෝ ගැටලුවලට අපට මුහුණ පෑමට සිදුවනු ඇත.

අපට අපගේ වෘත්තිය හා සමගින්ද අනන්‍ය විය හැක. එවිට, ව්‍යාපාර අසාර්ථක වන අතර අපගේ සිතිවිලි මෙකී එකම වෘත්තිය මත පමණක් ගොඩනැගී ඇති විටෙකදී අපි නම්‍යශීලී නොවන්නෙමු. පෙරදී සිදුකළ කාර්යයන් නැවතද සිදුකළ නොහැකි වන විටදී, අපගේ ලෝකය අවසාන වී ඇති බවක් හැඟේ. වෙනත් වෘත්තියකට එළැඹිය හැකි බවත් නිරන්තරයෙන්ම එකම වෘත්තියකම නියැලිය යුතු නොවන බවත් වටහා නොගන්නෙමු.

ආරක්ෂිත බවක් දැනෙනු පිණිස යොදාගන්නාවූ විධික්‍රමයක් වශයෙන් මෙකී විවිධාකාරයේ අනන්‍යතාවයන් ග්‍රහණය කරගෙන සිටින්නෙමු. අප කවුරුන්ද, අප අනුගමනය කරන නියමන් කවරාකාරද, ජීවිතයේ අපට අවශ්‍ය වනුයේ කවරාකාර දේවල්ද යන්න පිළිබඳ යම් අදහස් ග්‍රහණය කොටගෙන සිටින්නෙමු. මෙම තත්ත්වය ස්ථිරය, ශක්තිමත්ය හා මෙය සැබෑ ලෙසම මාය යනුවෙන් සිතීමට යොමු වන්නෙමු. සිදුවන දෙය නම්, අප පිළිබඳවම වූ මෙම සංකල්පය, මෙම ස්වයං-ප්‍රතිරූපය මත පදනම්ව, එකී අනන්‍යතාවයට සහායක ලෙස ඉස්මතුවන විවිධාකාර කැළඹිලිකාරී භාවයන් පැවතීමයි. මක් නිසාද, තවදුරටත් එම අනන්‍යතාවය පිළිබඳ අනාරක්ෂිත බවක් දැනෙන බැවින් එය සනාථ කරමින් අවධාරණය කිරීමට අවශ්‍ය බවක් අපට හැඟෙන බැවිනි.

නිදසුනක් ලෙස, “මම පවුලේ පියා වෙමි” යන හැඟීමක් පවත්නේ නම්, මා පවුලේ පියා වන බවක් හැඟීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින්  එම බලය ප්‍රකාශයට පත් කිරීමටද අවශ්‍ය වේ. පවුල මත වූ අපගේ බලය ප්‍රකාශයට පත් කරමින්, සියල්ලන් වෙත තමා පවුලේ පියා බවට සනාථ කිරීමට අවශ්‍ය වන බැවින් පවුලේ සියලු දෙනා තමාට වන්දනය කරන බවටද සහතික කරගැනීමට අවශ්‍ය වේ. එය දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. මෙම අනන්‍යතාවයට තර්ජනයක් එල්ල වී ඇති බවක් හැඟුණහොත්, අපි ආත්මාරක්ෂක අවි අමෝරා ගැනීම හෝ යමක් සනාථ කරනු පිණිස අප්‍රසන්න හා කළහකාරී තත්ත්වයකටද පත් විය හැක. “මම කවුද කියල පෙන්නන්න ඕන. මට තාම පුරුෂ ශක්තිය හා ආකර්ශනයක් තිබෙන බව ඔප්පු කරන්න ඕන” යන අදහස සහිතව අප මෙයාකාරය හා මාගේ පැවැත්ම මෙයාකාරය යන්නක් සනාථ කරනු පිණිස වෙනත් බිරිඳක් කරකාර බැඳගැනීම හෝ තරුණ කාන්තාවක් සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සිදු කරන්නෙමු.

කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප

ආකර්ශනය හා තණ්හාව

කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප යනු දැඩි අනන්‍යතාවයක් සනාථ කිරීම හෝ පවත්වාගෙන යාම සඳහා යොදා ගැනීමට අප විසින් උත්සාහ කරන්නාවූ, අප තුළ ඉස්මතුවන චිත්ත ස්වභාවයන් වේ. මෙම කැළඹිලිකාරී භාවයන් ආකර්ශනය හා තණ්හාව ඈ ලෙස විවිධාකාර විය හැක. අදාළ අනන්‍යතාවය ආරක්ෂා කරගනු පිණිස අප වෙනුවෙන් යම් කිසිවක් ලබා ගනිමින්, අප වටා යමක් පවත්වා ගැනීමට අවශ්‍ය වන තැන තණ්හාව ඉස්මතු වේ. නිදසුනක් ලෙස, මාගේ අනන්‍යතාවය පවුලේ පියා හෝ පීතෘ පාලකයා වශයෙන් ගොඩ නැගුනක් නම් “ මම ගෞරවය දිනා ගන්න ඕන; ළමයි අලුත් අවුරුද්දට මාව බලන්න එන්න ඕන. ඒ වගේම ඒ ගොල්ලො මම කියන විදිහට වැඩ කරන්නත් ඕන” යන සිතිවිල්ල ඉනික්බිති මා තුළ ඉස්මතු විය හැක. කෙසේ වුවද, මා හට ප්‍රමාණවත් ගෞරවයක් ලබාගත හැක්කේ නම්, එමගින් මා හට ඉතා ආරක්ෂිත හැඟීමක් ලබාදෙනු ඇතැයි යන හැඟීමක් මා තුළ පවතී. පැහැදිලිවම එම ගෞරවය නොලැබෙන විටදී සිත රිදෙන අතර, බොහෝ සෙයින් කෝපයට පත් විය හැක.

තවද, මා ඉතා වාසනාවන්ත පුද්ගලයෙකුය යන අනන්‍යතා මුසු හැඟීමද ඇතිවිය හැක: “මා නිරන්තරයෙන් වාසනාවන්ත අයෙකු විය යුතු අතර, නිරතුරු ජයග්‍රාහකයෙකු විය යුතුය” වශයෙනි. මෙය මාගේ අනන්‍යතාවය නම්, මා නිරතුරු සියල්ලෙන් ජය ගතහොත් හා විවිධාකාර ක්‍රීඩාවන්ගෙන්ද ජයගත හොත් එමගින් මා ආරක්ෂිත වනු ඇත යන හැඟීමක් ඇතිවේ. නොඑසේ නම්, නිරන්තරයෙන්ම අනාවැකි පල කරන්නන් වෙත යාමට හෝ මා සාර්ථක හා හොඳින් සිටින බව නැවතද තහවුරු කරමින් නිවැරදි පිළිතුරු ලැබේවාය යන පැතුම සහිව චීන බෞද්ධ පන්සල වෙත වාසනා කූරු වීසි කිරීමට සිදුවනු ඇත. මා සාර්ථක වනු ඇතැයි යන්න නොදැනෙන තරමට මාගේ ව්‍යාපාරික හැකියාවන් විෂයයෙහි මම අනාරක්ෂිත වෙමි. නිරතුරු දෙවියන්ගෙන් හෝ මා ආරක්ෂිත බවට පත් කරනු ඇතැයි අපේක්ෂිත කවරකු වෙතින් හෝ වඩ වඩාත් ලකුණු ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් නිරන්තරයෙන්ම මා හට මෙම උත්සාහයන් දැරීමට බල කෙරේ.

“මම මාගේ ව්‍යාපාරයේ බලධාරියා වෙමි. මම බලයට ආකර්ශනය වී සිටින අතර බලය විසින් මා වෙත ආරක්ෂිත බවට වූ හැඟීමක් ලබාදෙනු ඇත” යන්නක්ද මා හට හැඟෙනු ඇත. එම ආකල්පය විවිධ මානසික රාමු ගණනාවක් වෙතින් ඉස්මතු විය හැක. මා බලවත් පුද්ගලයෙකුය යන හැඟීම මත හෝ මා සැබැවින්ම බලවත් පුද්ගලයෙකු නොවන නමුත් මා හට සහයෝගය පිණිස එම බලය අවශ්‍යය යන හැඟීම මත පදනම් විය හැක. “කාර්යාලයේ සියල්ලන් මා හට කීකරු වන මා හට අවශ්‍ය පරිදි කටයුතු කරන තත්ත්වයක් ගොඩනගාගත හැකි නම් එමගින් මා හට ආරක්ෂිත හැඟීමක් ඇතිවනු ඇත” යන්නක් එවිට අපට හැඟේ. නොඑසේ නම්, නිවසේ සේවකයන් සිටීනම්, මා බලය හොබවන තත්ත්වයේ සිටින බව සනාථ කරනු පිණිස, ඔවුන් මා හට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවට වන අදහසට මා නිරතුරු ආකර්ශනය වන අතර, පාලනය දරනු ලබන්නේ කවුරුන් විසින්ද යන කරුණ සනාථ කරනු පිණිස පමණක්මද අනවශ්‍ය විධානයන් පවා ඔවුන් වෙත ලබාදීමට මවිසින් පෙළඹෙනු ඇත. 

අවධානය ලබාගැනීම සම්බන්ධ කරුණටද යමෙකු ලොල් විය හැක. තරුණයෙකු ලෙස ඇතැම් විට අපට “මගේ අනන්‍යතාවය අළුත් විදිහට හැඩ ගැසුණු, තරුණ හා විලාසිතාවට බර ඇඳුම් අඳින්නෙකු ලෙස පවතින්නකි. නිරතුරවම නවතම විලාසිතාවන්, නවතම වීඩියෝ, නවතම සංයුක්ත තැටි, සියලු විලාසිතා සඟරාවල පෙන්වන සියලු නවතම දේවල් හා අනුගත වන්නට හැකි වුවහොත් එමගින් මාගේඅනන්‍යතාවය සුරක්ෂා වනු ඇත” යන හැඟීමක් ඇතිවිය හැක.

අපට අපගේ අවධානය යොමුකළ හැකි බොහෝ ආකාරයන්ද විවිධ දේවල්ද බොහෝ සෙයින් පවත්නා අතර, ඒ සියල්ල මා වටා රැස්කරගෙන ප්‍රමාණවත් තරම් මුදල්, ප්‍රමාණවත් තරම් අයිති වස්තූන්, ප්‍රමාණවත් බලයක්, ප්‍රමාණවත් අවධානයක් හෝ ප්‍රමාණවත් ආදරයක් ඈ ලෙස ඒවා ප්‍රමාණවත් ලෙස ගොඩනගා ගත හැකිනම්, එමගින් මා ආරක්ෂිත වනු ඇත යන හැඟීමක් ඇතිවිය හැක. සත්‍ය වශයෙන්ම මෙය යථාර්ථයක් නොවේ. සැබෑ ලොව එවැන්නක් සිදුවී නම්, අපට ප්‍රමාණවත් තරම් සියල්ල ඇති බවත්, පූර්ණ වශයෙන් සෑහීමකට පත්වන බවත් යම් අවස්ථාවකදී හැඟෙනු ඇත. එසේ නමුත් කිසි විටෙකුදු අපට පවත්නා දේ ප්‍රමාණවත් බවක් නොඇඟෙන අතර නිරන්තරයෙන්ම තව තවත් දේ අවශ්‍ය වන අතර, එය නොලැබෙන විටදී කෝප වන්නෙමු. කෝපය යන්න විවිධාකාර ස්වරූපයන්ගෙන් ඉස්මතු වේ.

පිළිකුල හා එදිරිවාදීත්වය

පිළිකුල, එදිරිවාදිත්වය හා කෝපය යනු දැඩි පැවැත්මක් පවත්නා බව පෙනෙන අනන්‍යතාවයක් ආරක්ෂා කරගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ කරන තවත් යාන්ත්‍රණයකි: “මා අකමැති, මාගේ අනන්‍යතාවයට තර්ජනයක්ව පවත්නා යම් යම් දේවලින් ඉවත් විය හැකිනම් එමගින් මා ආරක්ෂිත වනු ඇත” යන සිතිවිල්ල එහි පවතී. ඒ අනුව, මාගේ අනන්‍යතාවම මා දරන දේශපාලන මතයන් හෝ මාගේ ජාතිය හෝ සංස්කෘතිය මත පදනම් කළහොත්, “යම් වෙනස් මතයක් දරන, සමේ වර්ණය වෙනස් වූ, වෙනස් ආගමක අයෙක් ඉවත් කරගන්නට හැකි වුවහොත් එමගින් මා ආරක්ෂා වනු ඇත” යන සිතිවිල්ල ඉස්මතු වේ. නොඑසේව, මාගේ සේවකයන් මා හට අවශ්‍ය ආකාරයට වෙනස් ආකාරයකින් කටයුතු කරන්නේ නම් හෝ මාගේ කාර්යාලයේ සේවකයන් විසින් මා කැමති ආකාරයට වඩා තරමක් වෙනස් ආකාරයකින් කටයුතු කරන්නේ නම්, “මට ඔවුන් නිවැරදි කරන්නට පුළුවන් නම්, ඒක වෙනස් කරන්නට පුළුවන් නම්, එමගින් මා ආරක්ෂිත වනු ඇත” යන හැඟීමක් ඇතිවේ. මාගේ මේසය මත පවත්නා ලිපි ලේඛන යම්කිසි පිළිවෙලකට තිබීම මාගේ සතුටට හේතු වේ. එනමුත් කාර්යාලයේ අනෙක් පුද්ගලයා එම ලේඛන වෙනස් ආකාරයකින් සකස් කරයි. යම් හේතුවක් නිසාවෙන් මෙම කරුණ මගින් අප බියට පත්වන බවක් හැඟේ: ඔවුන් මා හට අවශ්‍ය පරිදි කටයුතු කරන තත්ත්වයකට පත් කරගත හොත්, එමගින් මා හට ආරක්ෂිත හැඟීමක් ඇතිවනු ඇත”. එමගින් ඇති කෙරෙන වෙනස කවරේද? මෙයාකාරයෙන් අපට තර්ජනාත්මකව පවත්නා සියල්ල ඉවත් කිරීමේ උත්සාහයක් දරමින් අන්‍යයන් කෙරෙහි අපගේ එදිරිවාදිත්වය යොමු කරන්නෙමු.

නොඑසේ නම්, නිරන්තරයෙන්ම මා නිවැරදි පුද්ගලයෙකුය යන අනන්‍යතාවයක් ගොඩනගන්නට උත්සාහ කරන විටදී, යමෙකු අප අනුමත නොකළ හොත් හෝ විවේචනය කළ හොත් දැඩි සේ ස්වයං ආරක්ෂක අවි අමෝරා ගනිමින් එදිරිවාදී හා කෝපවූ ආකල්පයක් ගොඩනගා ගන්නෙමු. අපට අපගේ වර්ධනයක් හා වැඩි දියුණුවක් ඇතිකර ගැනීමට හැකිවනු පිණිස මෙම පුද්ගලයාගේ විවේචනය කෘතඥතා පූර්වකව භාර ගන්නවා වෙනුවට නොඑසේ නම්, එම විවේචනය අසාධාරණ වුවද, එම අවස්ථාව අපවම පරීක්ෂා කරගනිමින් අපගේ දෝෂයක් එහි නොමැති බව තහවුරු කරගැනීමටද අවස්ථාවක් කර ගන්නවා වෙනුවට එම පුද්ගලයා වෙත රළු පරළු වදනින් ප්‍රහාර එල්ල කරන්නෙමු. නොඑසේ නම් එම පුද්ගලයා නොසලකා හරිමින් හා ඔහු සමගින් කථා නොකර සිටිමින් එදිරිවාදී ආකාරයකින් කටයුතු කරන්නෙමු. යම් අනාරක්ෂිත බවක් හා තර්ජනයට හසුවූ බවක් හැඟෙන බැවිනි මෙයාකාරයෙන් අප කටයුතු කරනුයේ. නිරන්තරයෙන්ම නිවැරදි වූ “මා” එකී පුද්ගලයා විසින් ප්‍රතික්ෂේප කරන බවක් අපට දැනෙන අතර ඒ අනුව මෙකී දැඩි “මම” ආරක්ෂා කරගනු පිණිස එම පුද්ගලයා ප්‍රතික්ෂේප කරන්නෙමු.

වැසුණු මනසැති අඥානබව

තවත් යාන්ත්‍රණයක් වනුයේ අප වටා අනිවාර්යයෙන් තාප්ප ගොඩ නගන්නාවූ වැසුණු මනසැති අඥාන බවයි. “යම් කිසිවක් මගින් මා හට, මාගේ අනන්‍යතාවයට තර්ජනයක් වේනම් එය නොපවත්නා බවක් අඟවන්නෙමි” වශයෙනි. අපට අපගේ පවුල් ජීවිතයට අදාළ දුෂ්කරතාවයන්ද, සේවා ස්ථානයට අදාළ දුෂ්කරතාවයන්ද පවත්නා එම හැඟීම් පිටතට නොපෙන්වමින් නිවසට පැමිණෙන අතර කිසිවකින් හෝ කරදරයට පත් නොවූ බවක් අඟවන්නෙමු. අපට එම කරුණ සාකච්ඡා කිරීමට අවශය නොවේ; හුදෙක් රූපවාහිනිය ක්‍රියාත්මක කොට එදෙස බලා සිටිමින් එවැනි ගැටලුවක් නොමැති බවක් අඟවන්නෙමු. මෙය වූකලි වැසුණු මනසැති ආකල්පයකි. අපගේ දරුවන් හට තමා සතු ගැටළු සාකච්ඡා කිරීමට අවශ්‍ය වන අතර අපි ඔවුන් වෙනතකට තල්ලු කරමු. “මගේ අනන්‍යතාවයට අනුව අපගේ පවුලේ ගැටලු නොමැත. අපගේ පවුල සර්ව සම්පූර්ණය. එම පවුල සියලු සම්ප්‍රදායික වටිනාකම් අනුගමනය කරන්නකි. එබැවින් නුඹ එහි ප්‍රශ්නයක් පවතින බව කියමින් එහි පවත්නා සමබරතාවය බිඳින්නේ, සමගිය අවුල් කරලන්නේ මන්ද?” යන මානසිකත්වයක් එහිදී ඉස්මතු වේ. ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ එකම මඟ එවැන්නක් නොපවත්නා බවට ඇඟවීම යයි අපට හැඟේ. මෙයාකාරයේ ආකල්පයක් වැසුණු මනසැති අඥාන බව ලෙස හැඳින්වේ.

සිතට නැගෙන හදිසි ආවේගයන් කර්මයේ ප්‍රකාශනයන් වේ

මෙම විවිධාකාරයේ කැළඹිලිකාරී භාවයන් පවත්නා විටදී සිදුවන ඊළඟ දෙය නම් සිතට විවිධාකාර ආවේගයන් නැඟ ඒමයි. කර්මය නමින් හඳුන්වන්නේ මෙයයි. “කර්මය” යන්නෙන් ඉරණම හෝ දෛවය අදහස් නොවේ. අවාසනාවන්ත දෙය නම්, එමගින් එවැන්නක් අදහස් වන්නේය යන අදහසක් බොහෝ පුද්ගලයන් විසින් දරන බවක්ද පෙනී යාමයි. යමෙකුගේ ව්‍යාපාර කටයුතු අසාර්ථක වුවහොත් හෝ යමෙකු රිය අනතුරකට මුහුණ දුනහොත්, “හරිම අවාසනාවන්තයි, ඒක ඒ ගොල්ලන්ගෙ කරුමෙ”යි අප විසින් පැවසිය හැක. මෙය “ඒක දෙවියන් වහන්සේගෙ කැමැත්ත”යි පැවසීමට සමාන දෙයකි.

කර්මය පිළිබඳ මෙම සාකච්ඡාව තුළ දෙවියන් වහන්සේගේ කැමැත්ත හෝ දෛවය වැනි කරුණු පිළිබඳ අදහස් ඉදිරිපත් නොකරන්නෙමු. දේවල් සිදු කිරීම කරා අප යොමු කරන්නාවූ අපගේ සිතට එන විවිධාකාර ආවේගයන් පිළිබඳව මෙහිදී කථා කරන්නෙමු. නිදසුනක් ලෙස, අපගේ ව්‍යාපාරය තුළ යම්කිසි තීරණයක් ගැනීම සඳහා එළැඹි අවේගය අවසන අයහපත් තීරණයකින් අවසන් වුණි. එය නොඑසේව මා වෙත නිසි ගෞරවය දක්වන ලෙස මාගේ දරුවන් වෙතින් ඉල්ලීමක් කිරීමේ ආවේගයක් විය හැක. එය අන් අයුරකින් ඔවුනට අවශ්‍ය පරිදි නොව මා හට අවශ්‍ය පරිදි කටයුතු කරන ලෙස මාගේ කාර්යාල සේවකයන් වෙත කෑමොර දීමේ ආවේගයද විය හැක. කිසිදු වෙනසක් නොපෙන්වන මුහුණක් පෙන්වමින් රූපවාහිනිය ක්‍රියාත්මක කර අන් කිසිවෙකුට හෝ සවන් දීම පවා සිදු නොකිරීමේ තවත් ආවේගයක්ද මාගේ සිතට නැගිය හැක. මෙයාකාරයේ ආවේගයන් හෙවත් කර්මය අපගේ සිතට නැගෙන අතර ඒවා බලහත්කාරී පෙළඹීමකට යටත්ව ක්‍රියාත්මක කරන අතරම එමගින් පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන ගැටලු ඇතිවේ. යාන්ත්‍රණය එයයි.

සේවා ස්ථානයේ අපගේ තත්ත්වය හෝ පවුලේ ගැටලු සම්බන්ධයෙන් නිරන්තරයෙන් සාංකාවෙන් පසුවීමේ හෝ වදවීමෙ ගැටලු අප තුළ පැවතිය හැක. “මා සාර්ථක විය යුතු අතර එසේ සාර්ථක වීමෙන් මාගේ මව්පියන් හෝ සමාජය සතුටු කළ යුතුය” යන දැඩි අනන්‍යතාවය ග්‍රහණය කරගනිමින් සාංකාව නමැති ගැටළුවක් පවත්නා බවට වූ කරුණ ප්‍රතික්ෂේප කරමින් එම අනන්‍යතාවය ආරක්ෂා කිරීමට උත්සාහ කරන්නෙමු. වැසුණු මනස් හා වැසුණු හදවත් ඇති පුද්ගලයන් බවට අපි පත් වන්නෙමු. ඉන් පසු, අපගේ පවුල් පරිසරය හෝ සේවා ස්ථාන පරිසරය තුළ සියලු ආකාරයේ දුෂ්කරතාවයන් පැවතියද, මේවා මතුපිටින් තබා ගනිමින් සියලු දෙනා හුදෙක් සතුටු මුහුණක් විදහා දක්වති. එසේ වුවද, ඔවුන්ගේ අභ්‍යන්තරයෙහි මෙකී සියලු ආකාර කනස්සලු හා ආතතීන් පවතී. එය බොහෝ විට අදාළ ගැටලුවට කිසිදු සම්බන්ධතාවයක් නොමැති පවුලේ හෝ සේවා ස්ථානයේ සිටින්නෙකු වෙත යොමුවන හිංසනයක් ගෙන දෙන අවේගයක් දක්වා පුපුරා යා හැක. ඒ අනුව මෙමගින් සුවිශාල ගැටළු රාශියක් ඇති කරනු ලබයි.

අපගේ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන ගැටලු නිර්මාණය කරන විවිධාකාර යාන්ත්‍රණ මේවාය. මෙය අපගේ විවිධාකාර භාවයන් සමගින් කටයුතු කිරීමක් බව අපට දැකිය හැකි අතර සැබැවින්ම සියලු භාවයන් මගින් කරදර ඇති කරන්නේද යන පැනය ඉස්මතු වේ. සියලු භාවයන් මගින් අපට ගැටලු ඇති කරන්නේද?

ධනාත්මක හෙවත් නිර්මාණාත්මක භාවයන්

ආදරය, උණුසුම, සෙනෙහස, ඉවසීම, හා කාරුණිකත්වය වැනි ඉතා ධනාත්මක හා නිර්මාණාත්මක භාවයන්ද ඇල්ම, එදිරිවාදී බව, වැසුණු මානසිකත්වය, ආඩම්බරය, උඩඟු බව, ඊර්ෂ්‍යාව ආදී සෘණාත්මක හෝ විනාශකාරී භාවයන් අතරද පවත්නා වෙනස සලකා බැලිය යුතුවේ. භාවයන් යන වදන සඳහා පාලි, සංස්කෘත හෝ තිබ්බතීය භාෂාවන්හි වචනයක් නොමැත. අපට ධනාත්මක ඒවා හෝ සෘණාත්මක ඒවා පිළිබඳව කථා කළ හැකි නමුත් ඉංග්‍රීසි භාෂාවේදී මෙන් ඒ දෙකම ආවරණය කරන්නාවූ පොදු වචනයක් නොමැත.

ඇතිවූ කල අප අපහසුතාවයට හෝ නොසන්සුන් බවට පත් කරන ඇතැම් භාවයන් හෝ ආකල්ප පිළිබඳව කථා කරන විටදී, ඒවා කැළඹිලිකාරී භාවයන් හෝ කැළඹිලිකාරී ආකල්පයන් වේ. නිදසුනක් ලෙස, යමෙකු හෝ යමක් කෙරෙහි ආලයක් හෝ ලාලසාවක් පැවතිය හැකි අතර එමගින් අප බොහෝ සෙයින් අපහසුතාවයට පත් කරනු ලබයි. අප තුළ අපගේම වටිනාකම හා අප ආරක්ෂිතය යන හැඟීමක් ඇති කරගනු පිණිස තමා බැඳී සිටින හා අදහස් හා අනුමැතිය අපේක්ෂා කරන පුද්ගලයෙකු වෙතින් ආදරය, අවධානය හෝ අනුමැතිය හෝ ගෞරවය දිනා ගැනීමේ බොහෝ උනන්දුවකින් පසුවිය හැක - මේ සියල්ල ඇල්ම නමැති කැළඹිලිකාරී භාවාකල්පය ප්‍රකාර ඉස්මතුවන දුෂ්කරතාවයන් වේ. එදිරිවාදී මානසිකත්වයකින් පසුවන ඕනෑම අවස්ථාවක අපට බොහෝ අපහසුතාවයක් දැනේ; නොඑසේව, වැසුණු මනසැතිව සිටින්නේ නම් එයද අපහසු හැඟීමක් වේ. මේ සියලු ආකල්ප කරදරකාරයෝ වෙති. එබැවින් ආදරය වැනි ධනාත්මක භාවයන්ගෙන් සෘණාත්මක භාවයන් වෙන්කොට ගත යුතුවේ.

බෞද්ධ සම්ප්‍රදාය තුළ ආදරය යන්න අන් අය තුළ සතුට හා එයට හේතු වූ කරුණු ඉස්මතු වේවාය යන පැතුම පතන්නාවූ ධනාත්මක භාවය ලෙස අර්ථ නිරූපිතය. අප සියලු දෙනා සමානයන් වන අතර කිසිවෙකුට හෝ ගැටලු සහිතව ජීවත් වීමට අවශ්‍ය නොවන්නේය යන හේතු දැක්වීම මත මෙය පදනම් වේ. සියලු දෙනා හට සතුටින් සිටීමේ සම අයිතියක් පවතී. අන්‍යයන් කෙරෙහිද අප කෙරෙහිම මෙන් සලකා සැලකිලිමත් වීම හා පෝෂණය කිරීම ආදරයයි. එය වූකලි අන්‍යයන් විසින් සිදුකරන කාර්යය මත රඳා නොපත්නා වූ අන්‍යයන් සතුටින් සිටීවාය යන සැලකිල්ලකි. එය වූකලි සිය ඇඳුම් කිලිටි කරමින් සිරුරේ වමනය කළ අවස්ථාවකදී පවා සිය දරුවාට ආදරයම පාන්නාවූ මවකගේ ආදරය මෙන් වූවකි. එම අත් වැරැද්ද ඇය නොසලකා හරී. හුදෙක් දරුවා රෝගී බවට පත්ව ඇයගේ ඇඳුම්වලට වමනය කළ බැවින්ම දරුවාට ආදරය කිරීම මව විසින් නවතාලනු නොලබයි. එසේ වුවද, මවගේ සැලකිල්ල, දරුවා සතුටින් සිටීවාය යන පැතුම වෙනස් නොවේ. එසේ වුවද, අපි නිරතුරුවම ආදරය යනුවෙන් හඳන්වනුයේ රඳා පැවැත්ම හෝ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රකාශනයකි. “මම ඔබට ආදරය කරමි” යන්නෙන් අදහස් වනුයේ “මට ඔබ අවශ්‍යයි, මා හැර නොයන්න, ඔබගෙන් තොර ජීවිතයක් මා හට නොමැත, ඔබ මෙය හෝ එය කරනවා නම් හොඳයි, හොඳ බිරිඳක් හෝ සැමියෙකු වන්න, සැම විටම වැලන්ටයින් දින මා හට මල් දෙන්න, මා කැමති දේ පමණක් සිදු කරන්න. එසේ නොකරන්නේ නම් මා කැමති දේ නොකළ බැවින් හෝ මට අවශ්‍ය අවස්ථාවේ ඔබ නොසිටි නිසා ඔබට වෛර කරමි” යන අදහසකි. 

එවන් ආකල්පයක් යනු කැළඹිලිකාරී භාවයක් විනා ආදරය පිළිබඳ බෞද්ධ ආකල්පය නොවේ. යමෙකු විසින් අප වෙත මල් එවුවද නොඑවුවද, ඔවුන් අපට සවන් දුන්නද නොදුන්නද, ඔවුන් අපට කාරුණික හා මිහිරි ලෙස සැලකුවද, නොඑසේව අප කෙරෙහි ඉතා අප්‍රසන්න අයුරින් කටයුතු කරමින් අප ප්‍රතික්ෂේප කිරීමට පවා පෙළඹුනද එය නොසලකා ඔවුන් පිළිබඳ සැලකිලිමත් වීමකි. එය වූකලි ඔවුන් සතුටින් සිටීවාය යන සැලකිලිමත් හැඟීමයි. ආදරය හා ඒ හා සමාන භාවයන් පිළිබඳ කථා කරන විටදී, එහි ධනාත්මක මෙන්ම කැළඹිලිකාරී ස්වරූපයක්ද පවතී.

කෝපය යනු නිරන්තරයෙන් කැළඹිලිකාරී භාවයකි

අවසන් වශයෙන් කෝපය පිළිබඳ සාකච්ඡා කරමු. කෝපය ඇති වීමේදී සිදුවනුයේ කවරක්ද? කෝපය යනු නිරන්තරයෙන් කැළඹිලිකාරී දෙයකි. කිසිවෙකු හෝ කෝපය මගින් සතුටට පත් නොවේ. කෝපය හේතුකොට අපට යහපත් හැඟීමක් ඇති නොවේ. එමගින් අපගේ ආහාරය වඩා රසවත් එකක් බවට පත් නොකරයි. කෝපයෙන් හා වියවුලෙන් පසුවන විටදී, අපට සුව පහසු බවක් නොහැඟෙන අතර නින්ද නොයයි. ඉමහත් කලබලයක් ඇති කරමින්, කෑ කෝ ගසමින්, බැණ අඬ ගැසීමක් සිදු නොවුවද,  ඇතුළතින් කාර්යාලයේ හෝ පවුලේ සිදුවන සිදුවීම් පිළිබඳ කෝපයෙන් පසුවන අතර එමගින් අපගේ ආහාර ජීරණය අඩපණ කිරීම හෝ පිළිකා ඇති කිරීමට හේතු ඇතිකළ හැකි අතර, නොඑසේ නම් අපට රාත්‍රී නින්ද නොයන තත්ත්වයක් හෝ ඇතිවිය හැක. කෝපය සිර කොටගෙන, තෙරපාගෙන සිටීමේ හේතුවෙන් ඉස්මතුවන බොහෝ දුෂ්කරතාවයන් අපට අත් විඳීමට සිදුවන අතර, එකී කෝපය සැබැවින්ම ප්‍රකාශයට පත් කරමින් අන්‍යයන් වෙත එදිරිවාදී බැලුම් හා ගිගුරුම් හෙළන්නට වුවහොත් බළලුන්, සුනඛයන් පවා අප අසල රැඳී සිටීමට අකමැති වනු ඇත. අප අසල සිටීමෙන්, අපගේ කෝපය හේතුවෙන් ඇතිවන අපහසුතාවය හේතුකොට එම සතුන්ද ක්‍රමිකව ඉවතට ඇදී යනු ඇත.

කෝපය යනු සැබෑ ප්‍රයෝජනයක් කිසි සේත් නොසලසන්නාවූ දෙයකි. අපගේ කෝපය අතිශයින් ප්‍රබල හෝ ඉච්ඡා භංගත්වයට පත් කරවන සුළු එකක් බවට පත්වී, කෙසේ හෝ අපට එම කේන්තිය පිට කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී එය පුපුරා ගොස් යමෙකු වෙත සාප කිරීම, ඔවුනට එරෙහිව යම් කොඩිවිනයක් සිදු කිරීමක් මගින් අපගේ තත්ත්වය යහපත් අතට හැරෙන්නේද? වෙනෙකෙකු වේදනාවෙන් හෝ වියවුලෙන් තැවෙනු බලා සිටියහොත් එමගින් අපගේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇත්ද? අපට අසල ඇති තාප්පයට පහර දීමට සිදුවන තරම් කෝපයක් ඇතිවේ. තාප්පයට පහර දීමෙන් අපට සැනසීමක් ඇතිවේද? නැත. පැහැදිලිවම නැත. එමගින් සිදුවනුයේ වේදනාවක් එක්වීම පමණි. සැබැවින්ම කෝපය තුළින් අපට කිසිදු ආකාරයක යහපතක් සිදු නොවේ. මාර්ග තදබදයට හසුවී සිටින අතර එම තදබදය හේතුවෙන් ඇතිවූ කේන්තියෙන් අපගේ වාහනයේ නලාව හඬවන්නට වුවහොත්, හා සියලු දෙනා වෙත කෑමොර දෙමින් සාප කරන්නට වුවහොත් එමගින් ඇතිවන යහපත කවරක්ද? එමගින් අපගේ තත්ත්වය යහපත් වීද? මාර්ගයේ වාහන දැන් වඩාත් වේගයෙන් ධාවනය වන්නේද? නැත. අන් සියල්ලන් විසින් “මේ නළාව හඬවන මෝඩයා කවුද?” යනුවෙන් විමසනු ඇති බැවින් සියලු දෙනා ඉදිරියේ හෑල්ලුවට ලක්වීම පමණි එමගින් සිදු වනුයේ. පැහැදිලිවම මෙමගින් තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.

අපි කේන්තිය අත් විඳිය යුතුද?

කේන්තිය හා ඒ මත පදනම්ව කිසිවෙකු වෙත කෑ මොර දීම, බැණ අඬ ගැසීම හෝ එදිරිවාදිත්වයෙන් යුතුව යමෙකු වෙතින් ඉවත්ව යාම ඈ ලෙස ඒ මත පදනම් වූ හැසිරීම් වර්ග අපගේ ගැටලුවලට හේතුවන අතර ඒවායින් නිරන්තරයෙන් කරදරයට පත් වෙමුද? මෙය අපට නිරන්තරයෙන් අත් විඳීමට සිදුවන දෙයක්ද? නැත. මක් නිසාද කැළඹිලිකාරී භාවයන් චිත්ත ස්වභාවයේ කොටසක් නොවන බැවිනි. ඒවා එසේ වීනම්, අපගේ සිත් නිරන්තරයෙන්ම කැළඹිල්ලට පත්ව තිබිය යුතුය. ඉතාමත් තදබල අවස්ථාවන්හි පවා කෝපයෙන් කැළඹිල්ලට පත් නොවන අවස්ථාවන් පවතී. නිදසුනක් ලෙස, අවසානයේදී නින්දට වැටෙන විටදී අපි කෝපය අත් නොදකින්නෙමු.

ඒ අනුව, කේන්තිය, එදිරිවාදිත්වය හා අමනාපය නොපවත්නා යම් අවස්ථාවන්ද පැවතීමේ හැකියාවක් ඇත. මෙමගින් සනාථ කෙරෙනුයේ මෙම කැළඹිලිකාරී භාවයන් ස්ථිර ඒවා නොවන බවයි. ඒවා අපගේ සිතේ ස්වභාවයට අයත් කොටස් නොවන බැවින් ඒවායින් මිදිය හැකි වේ. අපගේ කෝපයේ හේතුව මතුපිටින් පමණක් නොව ගැඹුරුම මට්ටමින්ද නවතාලුව හොත් අනිවාර්යයෙන්ම නුරුස්නා බවද මැඩ පවත්වමින් සිතේ සාමය පවත්වාගත හැකිවේ.

අප සියලු භාවයන්ගෙන් හා හැඟීම්වලින් මිදී හැඟීම් නොමැති රොබෝවරයෙකු වැනි තත්ත්වයකට පත්විය යුතු බවක් මෙමගින් අදහස් නොවේ. ඒ වෙනුවට, අපට අවශ්‍ය වනුයේ අපගේ කැළඹිලිකාරී භාවයන්ගෙන්, ව්‍යාකූලත්වය මත පදනම් වන අපගේ කැළඹිලිකාරී ආකල්පයන්ගෙන්, හා අප කවුරුන්ද යන කරුණ සම්බන්ධ යථාර්ථය විෂයයෙහි අපගේ පවත්නා නොදැනුවත්භාවයෙන්ද  මිදීමටයි. මෙම කාර්යය සිදු කිරීමේ විධික්‍රම බහුල වශයෙන් බෞද්ධ දේශනාවන් තුළ අඩංගු වේ.

කෝපය මැඩ පැවැත්වීම: ජීවිතයේ ගුණාත්මකභාවය වෙනස් කිරීම

පළමුව අපගේ කෝපය හා සියලු කැළඹිලිකාරී භාවයන්ගෙන් හා ආකල්පයන්ගෙන්ද මිදීම සඳහා අපගේම දියුණුව උදෙසා කටයුතු කිරීමට පොළඹවාලන්නාවූ යම් මෙහෙයවීමක් හෝ පදනමක් පැවතිය යුතුවේ. මෙය සිදු කිරීමට හේතුවක් නොමැත්තේ නම්, එසේ කළ යුත්තේ මන්ද? එබැවින් යම් පෙළඹීමක් පැවතීම වැදගත්ය.

“මා හට සතුටින් සිටීමට හා කිසිදු ගැටලුවකින් තොරව වාසය කිරීමට අවශ්‍යය. මට මාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරගැනීමට අවශ්‍යය. නිරන්තරයෙන් මා තුළ එදිරිවාදිත්වය හා නුරුස්නා බව යන හැඟීම් පවත්නා බැවින් මාගේ ජීවිතය ප්‍රියජනක එකක් නොවේ. මම නිරතුරු කෝපයට පත් වෙමි. පිටතට ප්‍රකාශ නොකළද, එම හැඟීම පවත්නා අතර එමගින් නිරන්තරයෙන්ම මා වෙත ඉතා අභාග්‍ය සම්පන්න හා ඉතා වියවුල් සහගත හැඟීමක් ඇති කරයි. එය ජීවිතයේ එතරම් යහපත් ගුණයක් නොවේ. තවද, එමගින් මාගේ ආහාර දිරවීම අයහපත් අතට හරවන අතර මා හට රොගී ස්වභාවයක් දැනීමට සලස්වයි. ගන්නා ආහාරය පවා රස විඳීමට නොහැකිය” ඈ ලෙස සිතමින් එම පෙළඹීම යහපත් අතට වර්ධනය කරගැනීම ආරම්භ කළ හැක.

කෙසේ වුවද, ජීවිතයේ ගුණාත්මකබව යනු අප විසින් ගොඩනගාගත යුතුවන දෙයකි. එය අප සතු කාර්යයකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බලවත්ම දේශනා අතරින් එකක් වනුයේ අපගේ ජීවිතයේ ගුණාත්මකබව සම්බන්ධයෙන් අපට යමක් කළ හැකි බවයි. නිරතුරු අභාග්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන තත්ත්වයකට අපි සාප ලද්දන් නොවෙමු. අපට ඒ සම්බන්ධව යමක් කළ හැක.

ඉන්පසු “දැන්, මේ මොහොතට, කෙටි කාලීනව පමණක් නොව දීර්ඝ කාලීන පදනමකින් මා හට මාගේ ජීවිතයේ ගුණාත්මක වර්ධනයක් ඇති කරගැනීමට අවශ්‍යයි. දේවල් වඩ වඩාත් නරක අතට හැරෙන තරම් අයහපත් වීමට ඉඩ හරින්නට මම අකමැතියි. මක් නිසාද, මා මේ මොහොතේ මාගේ එදිරිවාදිත්වයෙන් හා නුරුස්නා බවින් නොමිදෙන්නේ නම් හා එය මා තුළම පවත්වාගෙන යන්නේ නම්, එය වඩ වඩාත් නරක අතට හැරෙනු ඇති අතර එමගින් පිළිකාවක් පවා ඇතිවිය හැක. මාගේ හැඟීම් පුපුරා ගොස් යමෙකු මතට යම් සාපයක් හෝ කොඩිවිනයක් යැවීම හා ඔවුන් විනාශ කිරීමට උත්සාහ කිරීම වැනි යම් අමිහිරි දෙයක් මා අතින් සිදුවිය හැක. එමගින් අනිත් පුද්ගලයාද මා හා මාගේ පවුලට කොඩිවින කරන තත්ත්වයකට පත්කළ හැකි අතර, ඒ අනුව ක්ෂණයකින් චිත්‍රපටයක් සඳහා අවශ්‍ය තිර පිටපතක් වැනි කතන්දරයක් එමගින් නිර්මාණය වනු ඇත” යන සිතිවිල්ලක් අප තුළ පැන නැගෙනු ඇත.

මෙය සිදු නොවිය යුතු බවට අප විසින් හඟින්නාවූ දෙයක් යයි සිතන්නේ නම්, තත්ත්වය යහපත් අතට හරවා ගැනීමට කටයුතු කරමින් ගැටළුව වඩාත් අයහපත් අතට නොහැරෙන පරිදි අපගේ කෝපයෙන් මිදීමට උත්සාහ කරනු ඇත. තවද, අපගේ ගැටලු අවම කරගැනීමට අපේක්ෂා කරනු පමණක් නොව සුළු වශයෙන් හෝ එදිරිවාදිත්වයක් හා නුරුස්නා බවක් දැනීම විනෝදයක් නොවන බැවින් එයටද වඩා යහපත් ලෙස මුළුමනින්ම සියලුම ගැටළුවලින් මිදීමටද අපේක්ෂා කරනු ඇත.

නිදහස් වීමේ අදිටන

මවිසින් සාමාන්‍යයෙන් “නිදහස් වීමේ අදිටන” වශයෙන් සඳහන් කරන සංකල්පය පරිවර්තනය කෙරෙන “අත්හැරීම” යන වදන තරමක් නොමඟ යවන සුළු එකකි. එමගින් අප විසින් සියල්ල අත්හැර ගුහාවකට ගොස් ජිවත් විය යුතුය වැනි හැඟීමක් ලබාදෙනු ලබයි. මෙය වූකලි කිසි ලෙසකිනුදු මෙහිදී අදහස් කෙරෙන දෙය නොවේ. සාකච්ඡා කෙරෙන කාරණය වනුයේ අපගේ ගැටළු දෙස නිර්භීතව හා අවංකව බලමින් ඒවා සමගින් ජීවත් වීම කෙතරම් නිග්‍රහ කටයුතු දෙයක්ද යන්න දැකීමයි. එනම්, “මා හට මෙසේ දිගටම පැවතීමේ අවශ්‍යතාවයක් නොමැත. මේ ඇති. මට දැන් ඒවා ඇතිවෙලයි තියෙන්නෙ. මට දැන් වෙහෙසයි. මින් මිදිය යුතුයි” යන තීරණයයි.

මෙහිලා වර්ධනය කරගත යුතුවන ආකල්පය වනුයේ නිදහස් වීමේ අදිටන වන අතර ඒ හා සමගින්ම අපගේ පැරණි, කැළඹිලිකාරී සිතිවිලි, කථා හා හැසිරීම් රටාවන් අත්හැර දැමීමේ කැමැත්තයි. මෙය ඉතාමත් වැදගත් වේ. අප විසින් අපගේ සිත් ඉතාමත් ප්‍රබල ලෙස ගොඩ නගාගෙන ඇත්තේ නම් විනා අපට එතුළට අපගේ සමස්ත ශක්තිය යෙදවිය නොහැක. එතුළට අපගේ සමස්ත ශක්තිය යොදවන තෙක් නිදහස් වීම කරා වූ අපගේ උත්සාහය හුදෙක් දෙගිඩියාවෙන් සිදු කරන්නක් පමණක් වනු ඇති අතර අප කිසි දිනෙක කිසිදු ප්‍රගතියක් අත්පත් කර නොගනු ඇත. අපට සතුට අත්පත් කරගැනීමට අවශ්‍ය වුවද, අපගේ පාපකාරී පුරුදු හා භාවයන් වැනි කිසිවක් හෝ අත් හැරීමටද කටයුතු නොකරනු ඇත. එවැන්නක් කිසිදින සාර්ථක නොවනු ඇත. එබැවින්, තමා විසින් තම ගැටලු අවසන් කොට ඒවා හා ඒවාහි හේතුද අත්හැර දැමීමට කැමති වන බවට සිත හදාගැනීමේ මෙකී ඉතා තදබල අදිටන පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වේ.

ඊළඟ ඉහළ මට්ටමේදී මෙසේ සිතිය යුතුය: “මවිසින් මා උදෙසා සතුට අත්පත් කරගැනීම සඳහා පමණක් නොව මා වටා සිටින සියලු දෙනාද වෙනුවෙන් මාගේ කෝපයෙන් නිදහස් විය යුතුය. මාගේ පවුල, මිතුරන්, සහෝදර සේවකයන් හා සමාජය වෙනුවෙන් කෝපයෙන් මිදිය යුතුය. අන්‍යයන් කෙරෙහි වූ සැලකිලිමත් භාවයෙන් යුතුව මවිසින් මෙම තත්ත්වය මැඩ පැවැත්විය යුතුය. ඔවුනට කරදර ඇති කරමින් ඔවුන් අසතුටට පත් කිරීමට මට අවශ්‍ය නැත. මා මාගේ කෝපය පිට කළහොත් මා හට සමාජයට මුහුණ දෙන්නට නොහැකි වනවා පමණක් නොව මාගේ මුළු පවුලටම ඉන් ලැජ්ජාවට පත් වීමට සිදුවනු ඇත. එමගින් මාගේ සියලු ආශ්‍රිතයන් ආදීන් හට ලැජ්ජාවට පත් වීමට සිදුවනු ඇත. ඒ අනුව, ඔවුන් පිළිබඳ සැලකිලිමත් වෙමින්,  මවිසින් මාගේ ඉවසීම ප්‍රගුණ කොටගෙන එම තත්ත්වයෙන් මිදිය යුතුය” වශයෙනි.

“මෙම කෝපය විසින් අන්‍යයන් වෙත උපකාර කිරීමෙන් මා වළකාලන බැවින් මා ඉන් මිදිය යුතුය. මාගේ දරුවන් හෝ සේවා ස්ථානයේ සගයන් හෝ මව්පියන් වැනි අන් අයට මාගේ උපකාරය අවශ්‍ය නම් හා මා මුළුමනින්ම කෝපය හෝ එදිරිවාදිත්වයෙන් කැළඹිල්ලට පත්ව සිටින්නේ නම්, මා ඔවුනට උපකාර කරන්නේ කෙසේද?” යනුවෙන් සිතීම තුළ වඩාත් බලවත් පෙළඹීමක් ඇති කෙරේ. එය ප්‍රධාන මට්ටමේ බාධකයක් වන අතර, මෙකී විවිධාකාර පෙළඹීම් මට්ටම් ගොඩනගා ගැනීම සඳහා වූ අවංක පුද්ගල වර්ධනයක් ඇතිකර ගැනීම ඉතා වැදගත් වේ.

කෝපය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ විධික්‍රම කෙතරම් සම්භාව්‍ය මට්ටමෙ ඒවා වුවද, එය ක්‍රියාවේ යෙදවීම සඳහා වූ ප්‍රබල පෙළඹීමක් නොපවත්නේ නම් එය සිදුකළ නොහැක. අප උගන්නා විධික්‍රම ක්‍රියාවේ නොයොදවන්නේ නම් ඉන් ඇති ඵලය කුමක්ද? එබැවින්, පළමු පියවර වනුයේ පෙළඹීම් ප්‍රකාරව සිතා බැලීමයි.

කෝපය මැඩ පැවැත්වීමේ විධික්‍රම

කෝපය මැඩ පැවැත්වීම සඳහා භාවිත කළ හැකි සැබෑ විධික්‍රම කවරේද? ජීවමාන හෝ අජීවී හෝ වේවා යම් කිසිවකට එරෙහිව හිංසනය උත්පාදනය කිරීමේ උවමනාවක් ඇති කරන කැළඹිලිකාරී චිත්ත ස්වභාවයක් වශයෙන් කෝපය යන්න අර්ථ නිරූපණය කෙරේ. යම් පුද්ගලයෙකු හෝ සතෙකු හෝ අවස්ථාවක් හෝ යම් ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන කල අප එයට අකමැති වන්නේ නම්, අපට එය කෙරෙහි යම් හිංසනයක් හෝ කැළඹිල්ලක් ප්‍රකාශයට පත් කරමින් එය භීෂණකාරී ලෙස වෙනස් කිරීමට අවශ්‍ය වීම කෝපයයි. එබැවින්, කෝපය යනු අපට ඉවසිය නොහැකි කවරක් හෝ වේවා පවත්නේ නම් ඒ වෙත හානි සිදු කිරීමේ පැතුමක්ද සහිත නොඉවසීමේ ස්වභාවයකි. එහි විරුද්ධාර්ථය එක් අතකින් නොඉවසීමේ විරුද්ධාර්ථයද වන ඉවසීම වන අතර අනෙක් අතින් ආදරයයි. ආදරය යනු අන් සියලු දෙනා සතුටින් සිටීවාය යන පැතුම වන බැවින් ආදරය යනු ඔවුන් වෙත හානි සිදු වේවාය යන සිතිවිල්ලේ විරුද්ධාර්ථයයි.

අප අකමැති දෙයක් අපට සිදුවන විටදී නිරන්තරයෙන්ම කෝපයට පත් වෙමු. පුද්ගලයෝ අපට අවශ්‍ය පරිදි කටයුතු නොකරති. නිදසුනක් ලෙස, ඔවුහූ අපට ගරු නොකරති, සේවා ස්ථානයේ අපගේ නියෝග නොපිළිපදිති. නොඑසේ නම්, ව්‍යාපාරයට අදාළව යම් කාර්යයක් සිදු කිරීමට පොරොන්දු වුවද එය නොකර හරිති. අප අපේක්ෂා කරන පරිදි ඔවුන් විසින් කටයුතු නොකරන බැවින්, අපි ඔවුන් කෙරෙහි බොහෝ සෙයින් කෝපයට පත් වෙමු. තවත් උදාහරණයක් දක්වන්නේ නම්, යමෙකු විසින් අපගේ මාපටැඟිල්ල පාගන අතර, එය අප අකමැති දෙයක් වන බැවින් ඔහු සමගින් කෝප වෙමු. එනමුත් කෝප නොවී එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමෙ විවිධ විධික්‍රම පවතී.

ඉවසීම වගා කරගැනීම සඳහා වූ ශාන්තිදේවයන්ගේ උපදෙස

අටවන සියවසේ විසූ ශ්‍රේෂ්ඨ භාරතීය බෞද්ධ ගුරුවරයෙකු වූ ශාන්තිදේවයන් විසින් උපකාර පිණිස බොහෝ සිතිවිලි ක්‍රම ඉදිරිපත් කරන ලදී. එතුමා විසින් ලේඛනගත කරන ලද දේ නැවත ඉදිරිපත් කරන්නේ නම් ඔහු මෙවැන්නක් ප්‍රකාශ කළේය: “එය වෙනස් කරලීම සඳහා සිදුකළ හැකි යම් දෙයක් වේනම්, වද වෙමින් කෝපයට පත් වන්නේ මන්ද? එය වෙනස් කරන්න. අපට කළ හැකි කිසිවක් හෝ නොපවත්නේ නම්, එවිටද වද වෙමින් කෝපයට පත් වන්නේ මන්ද? එය වෙනස් කළ නොහැක්කක් නම්, කෝප වීමෙන් පලක් නොවනු ඇත”.

නිදසුනක් ලෙස, මා දැන් වසන පෙනෑන්ග්හි සිට සිංගප්පූරුවට පියාසර කිරීමට අවශ්‍ය වේයැයි සිතමු. එනමුදු ගුවන් තොටුපළට පැමිණි විට ගුවන් යානයේ ආසන වෙන්කර අවසන්ව ඇත. මෙහිදී හුදෙක් කෝපයට පත් වීමෙන් පලක් නොමැත. කෝපය මගින් අප ගුවන් යානයට ඇතුලු නොකරනු ඇත. කෙසේ වුවද තත්ත්වය වෙනස් කිරීම සඳහා අපට කළ හැකි යමක් පවතී - අපට ඊළඟ ගුවන් යානයේ ගමන් කළ හැක. කෝප වන්නේ මන්ද? ඊළඟ ගුවන් යානයේ ආසනයක් වෙන් කරවාගෙන, සිංගප්පූරුවේ සිටින මිතුරා වෙත දුරකථන පණිවිඩයක් ලබාදී ගමන මදක් ප්‍රමාද වන බව පැවසීමෙන් කරුණ අවසන් වේ. මෙය අදාළ ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අපට කළ හැකි දෙයකි. අපගේ රූපවාහිනිය ක්‍රියාත්මක නොවේ නම්, කෝප වී, පා පහර දෙමින් සාප කරමින් පසු වනුයේ මන්ද? හුදෙක් ගැටලුව විසඳා ගන්න. මෙය ඉතා පැහැදිලි තත්ත්වයකි. වෙනස් කළ හැකි තත්ත්වයක් පවත්නේ නම්, කෝප වීමේ අවශ්‍යතාවයක් නොමැත. හුදෙක් එය වෙනස් කරන්න.

දැඩි මාර්ග තදබදයක් පවත්නා අවස්ථාවක එම මාර්ග තදබදයට හසුවී සිටීම වැනි තත්ත්වය වෙනස් කිරීම සඳහා කිසිවක් හෝ කළ නොහැකි පසුබිමකදී හුදෙක් එය පිළිගන්න. අපට ඉදිරියේ පවතින වාහන විනිවිද ගමන් කළ හැකි ලේසර් උපකරණයක් අපගේ රථය ඉදිරිපිට සවිකර නොමැති අතර, ඇතැම් ජපන් කාටූන් චිත්‍රපටවලදී මෙන් වාහනවලට ඉහළින් ඉගිලී යාමේ හැකියාවක්ද නොමැත. එබැවින්, “හොඳයි මං දැන් ඉන්නෙ වාහන තදබදයට අසුවෙලා. මං දැන් ගුවන් විදුලිය හෝ කැසට් රෙකෝඩරය ක්‍රියාත්මක කර බෞද්ධ දේශනාවකට හෝ ලස්සන සිංදුවකට සවන් දෙනවා” යනුවෙන් සිතීමෙන් එම තත්ත්වය ගෞරවාන්විතව පිළිගත හැක. බොහෝ විට මාර්ගය කාර්ය බහුල අවස්ථාවන්හි මාර්ග තදබදයට හසුවන අවස්ථාවන් පිළිබඳව අප දන්නා අතර, සවන් දීම සඳහා ටේප් රෙකෝඩරයක්ද රැගෙන යමින් එම තත්ත්වයට පෙර සූදානම් විය හැක. එවන් වාහන තදබදයක් තුළ අපට වාහනය පැදවීමට සිදුවන බව දන්නේ නම්, එම කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැක. එම කාල වේලාව තුළ කාර්යාලයේ හෝ පවුලේ පවත්නා යම් ගැටලුවක් වැනි දෙයක් පිළිබඳව සිතා බලමින් ඒ සඳහා මනා විසඳුමක් ලබාගත හැක. 

දුෂ්කර අවස්ථාවක් වෙනස් කිරීම සඳහා අපට කිසිවක් හෝ කළ නොහැක්කේ නම්, එම අවස්ථාව වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීමට උත්සාහ කරන්න. අඳුරේ ඇවිදින විටදී මාපටැඟිල්ල යමක පැටලී ඉන් වේදනාවක් ඇති වන්නේ නම්, එවිට උඩ පනිමින්, බිම වැටෙමින්, බෙරිහන් දෙමින්, කෑමොර දීමෙන් යම් යහපතක් සිදු වේද? ඇමරිකානු ග්‍රාම්‍ය ව්‍යවහාරයට අනුව එය “වේදනා නර්තනයක යෙදීමක්” වේ. ඔබ කෙතරම් වේදනාවට පත්වී ඇත්තේද යත් ඔබ නොකඩවා උඩ පනිමින් බිම වැටේ. එනමුත් එමගින් වේදනාව තුරන් නොවේ. ඒ පිළිබඳ අපට කළ හැකි දේ ඉතාමත් සීමිතය. කළ හැකි එකම දේ අප විසින් කරමින් සිටින කටයුත්තක් වේනම් එය නොකඩවා සිදු කිරීමයි. වේදනාව අනිත්‍යය. එය ගෙවී යනු ඇත. එය සදාකල් පවතින වේදනාවක් නොවන අතර, කෑමොර දෙමින්, බෙරිහන් දෙමින් උඩ පැන බිම වැටීම මගින් වේදනාව අවසන් නොවනු ඇත. අපට අවශ්‍ය කවරක්ද? සියලු දෙනා පැමිණ “අනේ පව් ඔයා. ඇඟිල්ල රිදෙනව නේද?” යි පැවසිය යුතුද? කුඩා දරුවෙකු වේදනාවට පත් වුවහොත් ඔහුගේ මව පැමිණ වේදනාවට පත් ස්ථානය සිඹ ඔහු සනසනු ඇත. ඒ අනුව, මිනිසුන් පැමිණ අපටද කුඩා දරුවනට මෙන් එසේ සලකනු ඇතැයි අපේක්ෂා කරමුද?

පෝළිමක අපගේ වාරය පැමිණෙන තුරු හෝ බස් රථයක් පැමිණෙන තුරු හෝ බලා සිටින අතර “මා සැම විටම පෝළිමේ අංක 32 හෝ අංක 9 නොවෙයි. අවසානයේ මගේ අවස්ථාව උදාවෙයි” යනුවෙන් සිතීම තුළ අවස්ථාව ඉවසා ගත කිරීමේ හැකියාව අප වෙත ලබාදෙනු ඇති අතර එම කාලය වෙනස් ආකාරයකින් අපට යොදාගත හැක. “ඉවසා බලා සිටීම තුළද අන්තර්ගත සතුටක් ඇත” යන කිමයනක් ඉන්දියාවේ භාවිත වේ. මෙය සත්‍යයකි. මක් නිසාද, පෝළිමක අපගේ වාරය එනතුරු හෝ බස් රියක් එන තුරු බලා සිටීමට සිදුව තිබේ නම්, එම පෝළිමේ හෝ බස් රථය එන තුරු හෝ රැඳී සිටින අන් අය පිළිබඳව, කාර්යාලයේ සිදුවෙමින් පවත්නා දේ පිළිබඳව ආදී කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා එම කාලය යොදාගත හැක. අන්‍යයන් පිළිබඳව යම් සැලකිලිමත්භාවයක් හෝ කරුණාව ගොඩනගා ගැනීම සඳහා එය උපකාරී වේ. අප එවන් තත්ත්වයක සිටී නම්, අපටද එම කාලය සාප කරමින් සිටීමට වඩා ධනාත්මක ලෙස යොදාගත හැක.

ශාන්තිදේවයන්ගේ උපදේශයකට අදාළ වෙනත් වැකියකින් පැවසෙන අයුරු “යමෙකු විසින් අපට කෝටුවකින් පහර දුනහොත්, කෝප ගනුයේ කවුරුන් සමගද? එම පුද්ගලයා සමගද, නොඑසේ නම් කෝටුව සමගද?”. එම කරුණ තර්කානුකූලව සලකා බැලුවහොත්, අපට රිදවනුයේ කෝටුව විසින් වන බැවින් කේන්ති ගත යුත්තේද එම කෝටුව සමගමය. එනමුත් එම කේන්තිය අඥාන එකකි. කෝටුවක් සමගින් කිසිවෙකු හෝ කෝප නොවන අතර පුද්ගලයා සමගින් කෝප වේ. පුද්ගලයා පිළිබඳ කෝප වනුයේ මන්ද? එසේ වනුයේ කෝටුව හසුරුවන ලද්දේ එම පුද්ගලයා විසින් වීම හේතුවෙනි. එමෙන්ම, තවදුරටත් සිතා බැලුවහොත්, එම පුද්ගලයාද ඔහුගේ කැළඹිලිකාරී භාවයන් විසින් මෙහෙයවනු ලැබීය. ඒ අනුව, කෝප වන්නේ නම් එම පුද්ගලයා අපට කෝටුවෙන් තැලීමට හේතු වූ හෙවත් යොමුකළ එම පුද්ගලයාගේ කැළඹිලිකාරී භාවයන් කෙරෙහි කෝප විය යුතුය.

ඉන්පසු මෙසේ සිතමු: “මෙම කැළඹිලිකාරී භාවය ඉස්මතු වූයේ කවර ස්ථානයකින්ද? එය හුදෙක් ආකස්මිකව පහළ වූවක් නොවේ. එය ඉස්මතු වීමට අවශ්‍ය යම් කිසිවක් මා විසින් සිදුකළා විය යුතුය. අනෙක් පුද්ගලයා මා සමග කෝපව මා හට කෝටුවකින් තැලීමට හේතු වූ යම් කිසිවක් මා විසින් සිදුකර තිබිය යුතුය. එමෙන්ම, මවිසින් මා වෙත යම් උපකාරයක් සිදු කරන මෙන් යම් කිසිවෙකුගෙන් ඉල්ලා සිටි අතර, ඔහු හෝ ඇය විසින් එය ප්‍රතික්ෂේප කළ විටදී කෝප වෙමි. ඒ හේතුවෙන් මා හට වේදනාවක් ඇතිවිය. ඒ පිළිබඳව සිතා බලන්නේ නම්, එය සැබැවින්ම මාගේ දෝෂයයි. කුසීතයෙකු ලෙස මා කළ යුතු කාර්යය අනෙකෙකු වෙත පැවරුවෙමි. ඒ වෙනුවට මෙකී අනෙක් පුද්ගලයා වෙත මා වෙනුවෙන් එම උපකාරය සිදු කරන ලෙස පවරා, ඔහු එය නොකළ විට කෝප වීමි. මා එතරම් කම්මැලියෙකු නොවී නම්, කිසි දින එම උපකාරය අනෙකෙකු වෙතින් අපේක්ෂා නොකරන අතර, ඒ අනුව සමස්ත ගැටලුවම ඉස්මතු නොවන්නට තිබිණි. මා කෝප වන්නට යන්නේ නම්, මෙකී අනෙක් පුද්ගලයා වෙතින් උපකාරයක් අපේක්ෂා කිරීමට තරම් කම්මැලි වීම පිළිබඳව කෝප විය යුත්තේ මා කෙරෙහිමය.”

එය යම් දුරකට අපගේ දෝෂයක් නොවන අවස්ථාවන්හිදී පවා, ආත්මාර්ථය වැනි අනෙක් පුද්ගලයා මෙහෙයවන්නාවූ මෙම කැළඹිලිකාරී භාවයෙන් අප නිදහස්ව සිටින්නේද යන කරුණ විමසා බැලිය යුතුය: “ඔහු මා හට උපකාර කිරීම ප්‍රතික්ෂේප කළේය. හොඳයි, මා නිතරම අන් අයට උපකාර කරන්නේද? මා නිතරම අන්‍යයන් හට උපකාර කිරීමට ඉදිරිපත් වෙමින් එය වහා සිදු කරන්නෙක්ද? මා එසේ නොවන්නේ නම්, අන් අය විසින් තමන්ගේ කාර්යයන් පසෙක ලා මා වෙනුවෙන් එවැන්නක් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිද?” මෙය කෝපය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තවත් විධියකි. ඒ අනුව, එය අප තුළම තබා ගනිමින් කිසි දින ප්‍රකාශ නොකළද, කෝපය යන්න ඉතා හානිකර ලෙස අප ඇතුළාන්තයෙහි ක්‍රියාත්මක වෙමින් අප බොහෝ සෙයින් වියවුලට පත් කරනු ඇත. එය පසු කාලීනව ඉතා හානිකර ස්වරූපයන්ගෙන් එළි දකිනු ඇත. ප්‍රකාශයට පත් නොකරමින් අප තුළ තබාගෙන සිටින කෝපය සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට හැකිවනු පිණිස මා දැන් විස්තර කළ විධි ක්‍රමයම යොදාගත යුතුය. අපගේ ආකල්පය වෙනස් කළ යුතුය. ඉවසීම වැඩි වර්ධනය කළ යුතුය.

ඉවසීමේ විවිධ වර්ග

ඉලක්ක වර්ගයේ ඉවසීම

බොහෝ විවිධාකාර වර්ගයේ ඉවසීම් ඇත. පළමුවැන්න වනුයේ ඉලක්ක වර්ගයේ ඉවසීමයි. මෙහි අදහස නම්, ඔබ ඉලක්කයක් පිහිටුවා නොගතහොත්, කිසිවෙකුට හෝ ඒ වෙත වෙඩි තැබිය නොහැක යන්නයි. ඇමරිකාවේ ළමුන් යෙදෙන පුංචි ක්‍රීඩාවක් ඇත. ඔවුහූ සිය මිතුරෙකුගේ කලිසමේ පිටුපසට වන්නට “මට පා පහර දෙන්න” යන්න සඳහන් කොල කැබැල්ලක් ඇමිණීම හෝ ඇලවීම සිදු කරති. මෙම කොළ කැබැල්ලේ එම වචන “පා පහර දෙනු” යන සංඥාව ලෙස හැඳින්වේ. ඉන්පසු මෙම කුඩා දරුවාගේ පිටුපස පෙදෙසේ ඇති “පා පහර දෙනු” යන විධානය දකින ඕනෑම අයෙක් දරුවාට පා පහර දෙනු ඇත.  එමෙන්ම, මෙයාකාරයේ ඉවසීමක් ඇති විටදී, පෙරදී අප විසින්ම සිදු කරන ලද නිශේධනීය හා පාපකාරී ක්‍රියාවන් මගින් අපගේ පසුපස එවැනිම “පා පහර දෙනු” වර්ගයේ ලේබලයක් අපද අලවා ගෙන ඇති අතර ඒ හේතුකො දැන් අප අත් විඳින සියලු ගැටලු ඉස්මතුවී ඇති බව සිතන්නෙමු. 

නිදසුනක් ලෙස, වීදියේදී අප මං පැහැරීමකට ලක් වූයේ යැයි සිතමු. එහිදී අපගේ සිතිවිල්ල මෙපරිදි විය යුතුය: “පෙරදී හෝ පෙර භවයන්හිදී සෘණාත්මක හා පාපකාරී ලෙස කටයුතු කරමින් මවිසින්ම මෙම ඉලක්කය නොපිහිටවූයේ නම්, මාගේ මුදල් පැහැරගෙන මා හට තලා පීඩි කරන්නට මඟ බලා සිටින මං පහරන්නෙකු සිටි එම අඳුරු වීදියේ එම මොහොතේදීම ගමන් කිරීම සඳහා වූ පෙළඹවීමක් මා සිත තුළ ඉස්මතු නොවන්නට තිබිණි. මා සාමාන්‍යයෙන් එහි නොයන නමුදු එම රාත්‍රියේදී මා හට එම අඳුරු විථියේ ගමන් කිරීමේ අදහසක් පහළ විය. සාමාන්‍යයෙන් මම බොහෝ වේලාසන නිවසට යන නමුත් එදින රාත්‍රියේ මාගේ මිතුරන් සමගින් තරමක් පමා වනතුරු රැඳී සිටීමේ පෙළඹීමක් මා තුළ ඇතිවිය. මෙයට අමතරව, යම් කිසිවෙකු එනතුරු සොරෙකු රැඳී සිටි එම අවස්ථාවේදීම එම විථියේ මම ගමන් කළෙමි. මසිතට එම පෙළඹීම ඇති වූයේ මන්ද? එයට හේතුව මෙම පුද්ගලයා වේදනාවට පත්කළ යම් කිසි ක්‍රියාවක් මවිසින් පෙරදී සිදු කරන ලද අතර දැන් එය හේතු ඵලවාදයට අනුව පැසෙමින් පැවතීම විය හැක.”

කර්මයේ ප්‍රකාශනයක් වශයෙන් අපගේ සිත තුළට පෙළඹීම් අතුළු වේ. ඒ අනුව අපට මෙසේ සිතිය හැක: “මම මාගේ අතීත පාප කර්ම ගෙවා දමමින්, හිස් කරමින් සිටිමි. එම කර්මය එතරම් සුළු ලෙස ගෙවා දැමීමට සිදු වීම පිළිබඳ ඉතාමත් සතුටු වෙමි. නොඑසේ නම් එය මෙයට වඩා බොහෝ බරපතල වන්නට තිබිණි. මේ පුද්ගලයා මාගේ මුදල් පැහැරගත් නමුත්, මා හට වෙඩි තියන්නටද ඔහුට අවශ්‍ය නම් හැකිව තිබිණි. එබැවින්, එම පාපකාරිත්වය එතරම් සුළුවෙන් ඵල දරා ඇති අතර ඉන් මා මිදුණු බවට වූ සහනශීලී හැඟීමක් මා වෙත පහළ විය යුතුය. එය එතරම් අයහපත් දෙයක් නොවුණු අතර ඉන් මිදීමට හැකිවීම ඉතා යහපත් දෙයකි. දැන් මම මෙම කර්ම ණය ගෙවා දැමූවෙක්මි.”

මෙයාකාරයෙන් සිතීම ඉතා ප්‍රයෝජනවත්ය. මම වරෙක නිවාඩු සමයක මිතුරෙකුද සමග මුහුදු වෙරළට යමින් සිටියෙමි. වෙරළ නගරයෙන් ඉතා දුර බැහැර පිහිටි බැවින් පැය ගණනාවක් රිය ධාවනය කිරීමට සිදුවිය. පැය එකහමාරක් පමණ ධාවනය කිරීමෙන් අනතුරුව මෝටර් රථයෙන් හාස්‍ය උපදවන යම් හඬක් නිකුත් වන්නට විය. මාර්ගය පසෙකින් වූ නැවතුම් ස්ථානයක යාන්ත්‍රික ශිල්පියෙකු වෙත රිය යොමු කළෙමු. යාන්ත්‍රික ශිල්පියා රිය දෙස බලා පැවසූයේ ඇක්සලය පුපුරා ගොස් ඇති බැවින් තව දුරටත් එම රියෙහි ගමන් කළ නොහැකි බවයි. නගරයට නැවත රිය ඇදගෙන යනු පිණිස ඇදගෙන යාමේ රියක් ගෙන්වීමට සිදුවිය. සති අග නිවාඩුවක් ගත කිරීම සඳහා එම සුන්දර වෙරළබද අවන්හල වෙත යාමට අපට අවශ්‍ය වූ බැවින් එම සිදුවීමෙන් මා හා මා මිතුරා බොහෝ සෙයින් කෝප විය හැකිව තිබිණි. එනමුත් මෙයට වෙනස් ආකල්පයක් සහිතව එය දෙස වෙනස් කෝණයකින් බලන්නට වීමු: “මේක නම් අපූරුයි! මෙහෙම වුණෙ එක කොච්චර හොඳද. අපි දිගටම ගියා නම් ගමන අතර මග ඇක්සලය කැඩිල යන්න තිබුණා. බරපතල රිය අනතුරක් සිදුවී අපි දෙන්නම මිය යන්නටත් තිබුණා. ඒ නිසා මේක මේ විදිහට ගොඩ යන්න හැකි වීම කොච්චර අපූරුද. හරිම පහසුවෙන් ඒකෙන් ගැළවුණා.”  ඒ අනුව, සිත පහසුවෙන් හා සැහැල්ලුවෙන් තබාගෙන ඇදගෙන යන රියකින් වාහනය නැවත නගරයට රැගෙන ආ අතර, නගරයට පැමිණි පසු වෙනත් රියක් ගෙන වෙනස් වූ සැලැස්මක් ක්‍රියාවට නැඟුවෙමු.

එයාකාරයේ තත්ත්වයක් අත් විඳිය හැකි බොහෝ ආකාරයන් පවත්නා බව ඔබට වටහාගත හැක. කෝපයෙන් සිත අවුල් කරගැනීමෙන් කිසිදු යහපතක් සිදු නොවේ. “මෙයින් මාගේ අතීත පාප කර්ම ගෙවී, හිස්වී යනවා. මේ කර්ම ණය දැන් කල් පිරිලා. අපූරුයි, දැන් ඒක ඉවරයි. නැත්නම් ඒක මීට වඩා භයානක වෙන්න තිබුණා.” ලෙස  සිතිවිලි පෙළ ගස්වා ගැනීම එම අවස්ථාව වඩාත් සිහි බුද්ධියෙන් කළමනාකරණය කරගැනීමේ විධියකි.

ආදරය හා කරුණාව වර්ගයේ ඉවසීම

“ආදරය හා කරුණාව වර්ගයේ ඉවසීම” නම් වූ ඉවසීම් වර්ගයක්ද ඇත. මෙම ඉවසීමේදී, අප කෙරෙහි කෝපව කෑමොර දෙන, බැණ අඬ ගසන අයෙකු දෙස අඥාන හා මානසික කැළඹිල්ලට ලක් වූවෙකු ලෙස සලකා බලන්නෙමු. අප හෑල්ලුවට ලක්වන පරිදි හා ඔවුන් කෙරෙහි අප තුළද කෝපයක් ඇතිවන පරිදි අන්‍යයන් ඉදිරිපිට අප වික්ෂිප්ත භාවයට පත් කරන හෝ විවේචනය කරන අයෙකු විෂයයෙහිද මෙයාකාරයේ ඉවසීමක් යෙදිය හැක. නිදසුනක් ලෙස, අන් අය ඉදිරිපිට ගිරවෙකු අපට විවිධ නම් කියා අඬ ගසන්නට වුවහොත් එමගින් අප හෑල්ලුවට පත් වන්නේද? කුරුල්ලා සමගින් කෝපයට පත්වීමට හේතුවක් නොමැත. එය අමන ප්‍රතිචාරයක් විය හැක. ඒ හා සමානවම, සිහි විකල්වූ පුද්ගලයෙකු අප වෙත කෑමොර දීමට හෝ බැණ අඬ ගැසීමට වුවහොත් එමගින් අපි වික්ෂිප්ත තත්ත්වයට පත් නොවෙමු. දරුවන් වරින් වර හදිසි කෝපයට පත්වන බව සෑම දෙනෙකුම දන්නා කරුණකි. සිය රෝගියා කෝපයට පත්වූ විට මනෝ වෛද්‍යවරයාද කෝපයට පත් නොවන අතර, ඒ වෙනුවට රෝගියා කෙරෙහි කාරුණික හැඟීමක් ඇතිකර ගනී.

එමෙන්ම, අප වියවුලට පත් කරන, අප සමග කෝප වන හෝ අප වික්ෂිප්තභාවයට පත් කරන අය කෙරෙහි කාරුණික හැඟීමක් අප තුළ ඇතිවිය යුතුය. අප විසින් එය අවබෝධ කරගත යුතුය. සත්‍ය වශයෙන්ම වික්ෂිප්ත භාවයට පත් වෙමින් සිටින්නේ අප නොව ඔවුන් නොවේද? මෙම පුද්ගලයා තමාගේ අඥාන බව පෙන්වමින් සිටින බව සෑම දෙනාටම පෙනේ. ඒ අනුව තරහවට වඩා එම පුද්ගලයා පිළිබඳව අප වෙත පහළ විය යුත්තේ කරුණාවකි.

යමෙකු විසින් අපට පහර දීමට උත්සාහ කරන්නේ නම් ඔහු වැළකීමට උත්සාහ නොකරන බවක් ඉන් අදහස් නොවේ. දරුවා කෑමොර දී හඬන්නේ නම්, එම දරුවා සන්සුන් කිරීමට උත්සාහ කරන්නෙමු. ඔහු විසින් අපට හෝ අන්‍යයන්ට හෝ තමාටම හානි කරගැනීම වළකන්නට අපට අවශ්‍ය වේ. මෙහිදී වැදගත් වන කරුණ නම් එම ක්‍රියාව කෝපයෙන් තොරව සිදුකළ යුතු බවයි. දරුවා දඟ කරන්නේ නම්, අප ඔහු හික්මවන්නේ කෝපයෙන් නොව දරුවාගේ යහපත උදෙසාමය. දරුවා වික්ෂිප්ත නොවීම හා දරුවා පිළිබඳ අයහපත් සිතිවිලි අන් අය විසින් ඇතිකර නොගැනීම සඳහා ඔහුට උපකාරී වීමටද අවශ්‍ය වේ. අපට දරුවා ශික්ෂණය කිරීමට අවශ්‍ය වනුයේ ඔහු පිළිබඳ සැලකිලිමත්භාවය හේතුවෙන් විනා කෝපයෙන් නොවේ.

ගුරු-සිසු වර්ගයේ ඉවසීම

ඉන්පසු “ගුරු-සිසු වර්ගයේ ඉවසීම” සැලකිය හැක. ගුරුවරයෙකු නොමැතිව සිසුවෙකු හට ඉගෙන ගත නොහැකි බැවින් කිසිවෙකු විසින් හෝ අප පරීක්ෂාවට ලක් නොකරන්නේ නම් අපට ඉවසීම ගොඩනගාගත නොහැකි වන්නේය යන කරුණ මත මෙය පදනම් වේ. දසවන සියවසේදී තිබ්බතයේ බුදු දහමේ පුනරුදය සඳහා උපකාර කරනු පිණිස මහා ඉන්දියානු ගුරු අතීෂයන් හට තිබ්බතයට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී. මෙම ඉන්දියානු ගුරුවරයා විසින් ඉන්දියානු කෝකියෙකුද කැටුව එන ලදී. එම ඉන්දියානු කෝකියා කිසි දිනෙක කිසිදු කටයුත්තක් නිවැරදිව හෝ ගෞරවාන්විතව සිදු නොකළෙකි. ඔහු පූර්ණ අමනෝඥ හා අප්‍රසන්න පුද්ගලයෙකි. අතීෂයන් වෙත ඉමහත් ගෞරවාදරයක් දැක්වූ තිබ්බතීය ජනයා “ගුරුතුමනි, ඇයි ඔබතුමා ඉන්දියාවෙ ඉඳලම මේ අමනෝඥ කෝකියත් අරගෙන ආවෙ? එයාව ආපහු පිටත් කරල යවන්නෙ නැත්තෙ ඇයි? අපි ඔබතුමා වෙනුවෙන් කෑම පිළියෙල කරන්නම්. අපිට බොහෝම හොඳින් උයන්න පුළුවන්නෙ?”යි  විමසූහ. ඔවුන් වෙත අතීෂයන්ගේ පිළිතුර වූයේ “එයා මගේ කෝකියා විතරක් නෙවෙයි. මං එයා එක්ක ආවෙ එයා ඉවසීම පිළිබඳ මාගේ ගුරුවරයාත් වන නිසයි” යන්නයි.

එමෙන්ම, නිරන්තරයෙන් අප කෝප ගන්වන්නාවූ දේ ප්‍රකාශ කරන, අමනෝඥ ලෙස කටයුතු කරන්නෙකු අපගේ කාර්යාලයේ සිටින්නේ නම්,  ඉවසීම පිළිබඳ අපගේ ගුරුවරයා ලෙස සලකා මෙම පුද්ගලයා දෙස බැලිය හැක. නිරන්තරයෙන් සිය ඇඟිලිවලින් තට්ටු දමමින් ශබ්ද කිරීම වැනි බොහෝ සෙයින් කෝප ගන්වන සුළු පුරුදු සහිත යම් පුද්ගලයෝ වෙති. කිසිවෙකු හෝ විසින් අප පරීක්ෂා නොකළේ නම් අපගේ අභ්‍යන්තර ප්‍රගතියක් ලබා ගන්නේ කෙසේද? ගුවන් තොටුපළ හෝ බස් නැවතුම්පළ වැනි ස්ථානවල යම් දුෂ්කරතාවනට මුහුණ දෙන්නට වන විටදී, එය ඉවසීම පුහුණු කිරීම සඳහා ලද ස්වර්ණමය අවස්ථාවක් ලෙස සලකා ප්‍රයෝජනයට ගත යුතුය: “ෂා! මම මේ දේ කරන්න තමයි පුහුණු වෙමින් සිටියෙ. මම ඉවසීම ප්‍රගුණ කරගන්න තමයි පුහුණු වෙමින් සිටියෙ. දැන් මට ඒක ඇත්තටම කරන්න පුළුවන්ද කියල බලන්න අවස්ථාවක් ලැබිල තියෙනවා” වශයෙනි. කාර්යාලයකින් යම් කාර්යාලමය ආකෘති පත්‍ර කිහිපයක් ලබාගැනීමේ දුෂ්කරතාවයක් පවත්නේ නම්, මෙය අපගේ අභියෝගයක් ලෙස භාරගත යුතුය. “කාලයක් පුරා සටන් ක්‍රම පුහුණු වෙමින් සිට අපගේ කුසලතාවයන් භාවිත කිරීමට අවසානයේ අවස්ථාවක් ලැබුණා වගේ අවස්ථාවක් මේක. මට බොහෝම සතුටුයි” වශයෙනි. එමෙන්ම, අප ඉවසීම පුහුණු කරමින් සිට ඇත්තේ නම්, හා ඉන්පසු මෙයාකාරයේ අමනෝඥ තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වුවහොත්, ඒ දෙස ඉමහත් සතුටකින් බලන්නෙමු: “ෂා! මෙන්න නියම අභියෝගයක්. ස්වරූපය වෙනස් කර නොගෙන, කෝප නොවී, ඇතුළතින් හිත නරක් කරගන්නෙත් නැතිවම මට ඒකට මුහුණ දෙන්න පුළුවන්ද කියල බලමු.” ලෙසය.

ඉවසීම පවත්වාගෙන යාම වූකලි සටන් ශිල්ප ප්‍රගුණ කිරීමේදී ප්‍රතිවාදියා සම්බන්ධ අභියෝගයටද වඩා අභියෝගයකි. මක් නිසාද, මෙහිදී හුදෙක් අපගේ සිරුරින් හා ශාරීරික පාලනය තුළින් පමණක් නොව සිත තුළින් හා හැඟීම් තුළින්ද අභියෝගයට මුහුණ දීමට සිදු වීමයි. අන් අය අප විවේචනය කරයි නම්, එහිදී කෝපයට පත් වනු වෙනුවට අපගේ චිත්ත සංවර්ධනයේ අප දැනට කොතරම් ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේද යන්න විමසා බැලීම සඳහා ලද අවස්ථාවක් වශයෙන් මෙම විවේචනය දෙස බැලීමට උත්සාහ කළ යුතුය. “මා විවේචනය කරන මේ පුද්ගලයා ඇතැම් විට මා හටද උගත හැකි, මා පිළිබඳ යම් දෝෂයන් පෙන්වා දෙනවා විය හැකියි” වශයෙනි. මෙම අදහසින් ගත් කල, විවේචන ඉවසමින් අපගේ ආකල්ප වෙනස් කරගනිමින් ඒවාට මුහුණ දෙන ආකාරය ඉගෙනීමට උත්සාහ කළ යුතුය. අප බොහෝ සෙයින් වියවුලට පත් වන්නේ නම් එමගින් හුදෙක් යම් අමන පුද්ගලයෙකු විසින් අප විවේචනය කරමින් අප වෙත බැණ අඬ ගැසීමට වැඩි අපහසුතාවයකට අප පත් කරවනු ඇත.

දේවල්හි ස්වභාවය සම්බන්ධ ඉවසීම

කෝපය සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉවසීම ගොඩනගා ගැනීමේ තවත් විධියක් වනුයේ “දේවල්හි ස්වභාවය සම්බන්ධ ඉවසීමයි”. නොපැසුණු මනස් සහිත පුද්ගලයන් අයහපත් හා රළු ලෙස කටයුතු කිරීම ස්වභාවයයි. යම් තැනෙක ගින්නක් පවතී නම්, උණුසුම් බව හා පිළිස්සෙන සුළු බව එහි ස්වභාවයයි. අපගේ අත එම ගින්නට දිගු කළ විටෙක අත පිච්චුණහොත් අප අපේක්ෂා කරන්නේ කවරක්ද? ගින්න තාපශීලී වන අතර එමගින් පිළිස්සීම සිදු කරයි. දිවා ආහාර පැය අතරතුර නගරය හරහා වාහනය පදවන්නේ නම් අපේක්ෂා කළ හැක්කේ කවරක්ද? එය දිවා ආහාර වේලාව වන අතර, දැඩි වාහන තදබදයක් පවතිනු ඇත - එය දේවල්හි ස්වභාවයයි. කුඩා දරුවෙකුට තේ බන්දේසියක් හෝ උණුසුම් තේ පිරවූ කෝප්පයක් ගෙන යන්නට දුනහොත් ඔහු එය ඉහිරවයි. අපි කුමක් අපේක්ෂා කරමුද? ඔහු දරුවෙකු වන අතර කිසිදු තේ බිඳුවක් නොඉහිරවීමේ තත්ත්වයක් ඔහුගෙන් අපේක්ෂා කළ නොහැක. එමෙන්ම,  අපට යම් උපකාරයක් සිදු කරන ලෙස හෝ අපගේ ව්‍යාපාරයට සම්බන්ධ යම් කාර්යයක් සිදු කරන ලෙස වෙනත් පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියහොත්, අප විසින් යම් එකඟතාවයකට එළැඹෙන අතර ඔවුහූ අප අපහසුතාවයට පත් කරති. අප කුමක් අපේක්ෂා කරමුද? පුද්ගලයෝ බොළඳයෝ වෙති: අපට අන්‍යයන් මත අපේක්ෂා රැඳවිය නොහැක. මහා ඉන්දියානු ගුරු ශාන්තිදේවයනට අනුව “යම් ධනාත්මක හා නිර්මාණාත්මක දෙයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඔබම එම කාර්යය සිදු කරන්න. අන් කිසිවෙකු මත හෝ බලාපොරොත්තු නොරඳවන්න. මක් නිසාද, වෙනත් අයෙකු මත බලාපොරොත්තු රැඳවුවහොත්, ඔහු හෝ ඇය විසින් ඔබ අපහසුතාවයට හා කළකිරීමට පත් නොකරනු ඇතැයි සහතිකයක් නොමැති බැවිනි.” එවන් අවස්ථාවන් සැළකිය යුතු වන්නේ මෙලෙසිනි: “හොඳයි,  මා අදහස් කළේ කවරක්ද? වෙනත් පුද්ගලයන් අපහසුතාවයට පත් කිරීම මිනිසුන්ගේ ස්වභාවය නම්, කෝප වීමට තරම් හේතුවක් නොමැත.”

යථාර්ථ විෂය සම්බන්ධ ඉවසීම

කෝපයට එරෙහිව යොදාගත හැකි අවසන් විධික්‍රමය සැබෑ ලෙසම සිදුවන දෙය විමසා බලමින් සිදුකරන “යථාර්ථ විෂය සම්බන්ධ ඉවසීම” ලෙස හැඳින්වේ. යම් දැඩි අනන්‍යතාවයක් මගින් අප, අන්‍යයන් හා වස්තූන් ලේබල්ගත කිරීමට පෙළඹෙන්නෙමු. අප පිළිබඳවම යම් පැතිකඩක් වටා ගණ රවුමක් සිතින් අඳිමින් එය අපගේ දැඩි අනන්‍යතාවයය යන්න ප්‍රක්ෂේපණය කිරීම මෙනි: “මේ මාය; මා නිරන්තරයෙන් පැවතිය යුතු ආකාරය මෙපරිදිය” ඈ වශයෙනි. නිදසුනක් ලෙස, “මම ලෝකයට පහළ වූ දෙවියන් වහන්සේගේ දායාදයක් වෙමි” හෝ “මම පරාජිතයෙක්, අසාර්ථක පුද්ගලයෙක් වෙමි” ආදී වශයෙනි. නොඑසේ නම් අපි වෙනයම් අයෙකු වටා විශාල ගණ රවුමක් ඇඳ මෙසේ පැවසිය හැක: “ඔහු අමනෝඥයෙක්. ගන්න දෙයක් නෑ, හරිම කරදරකාරයෙක්” වශයෙනි. කෙසේ වුවද, එය මෙම පුද්ගලයාගේ සත්‍ය, දැඩි අනන්‍යතාවය වී නම්, ඔහු නිරන්තරයෙන්ම මෙයාකාරයෙන් සිටිය යුතුය. ඔහු කුඩා දරුවෙකුව සිටියදී පවා මෙලෙස පැවතිය යුතුව තිබිණි. තවද, ඔහු සත්‍ය වශයෙන්ම අමනෝඥයෙකු වන බැවින් ඔහුගේ බිරිඳ, බල්ලා, පූසා හා මව්පියන්ද ඇතුළත් සියල්ලන් වෙත එකසේම අමනෝඥයෙකු විය යුතුය.

පුද්ගලයෝ සිය පැහැදිලි, සත්‍ය අනන්‍යතාවය හෝ ස්වභාවය දක්වන පරිදි තමා වටා ගණ රේඛාවක් පිහිටුවා ගනිමින් ඒ මැද නොසිටින බව වටහාගත හැකි නම් එමගින් නැවතද අපට පහසුවක් දැනෙන අතර අප ඔවුන් සමගින් එතරම් කෝපයට පත් නොවනු ඇත. මෙම පුද්ගලයාගේ අමනෝඥභාවය - එය නිතර නිතර ඉස්මතු වුවද-  හුදෙක් ගෙවී යන තාවකාලික සිදුවීමක් පමණක් වන අතර ඔහුගේ නිරන්තර පැවැත්ම තුළ අන්තර්ගත දෙයක් නොවන බව වටහාගත හැක.

ප්‍රයෝජනවත් පුරුදු ගොඩනගා ගැනීම

දුෂ්කර අවස්ථාවන්හි මෙම සියලු දේ ක්‍රියාවෙහි යෙදවීම එතරම් පහසු කටයුත්තක් නොවිය හැක. සාධාරණීකරණය කිරීමේ මෙකී විවිධ විධික්‍රම සියල්ල “වැළකුම් ක්‍රියාමාර්ග” ලෙස හැඳින්වේ. මෙලෙසිනි මා “ධර්මය” යන වදන පරිවර්තනය කරනුයේ. “ධර්මය” යනු ගැටලු වළකාලීම සඳහා අප විසින් ගනු ලබන ක්‍රියා මාර්ගයකි. ප්‍රයෝජනවත් පුරුදු වශයෙන් මෙකී විවිධ වර්ගයේ ඉවසීම් ගොඩනැගීමට උත්සාහ කිරීමට එරෙහිව ආරක්ෂාවක් අපට අවශ්‍ය වේ. එයයි “භාවනාව” යනු. “යමක් පුරුද්දක් බවට පත්කර ගැනීම” හෙවත් යම් ප්‍රයෝජනවත් දෙයකට අපවම හුරුකර ගැනීම යන අරුතක් භාවනාව හඳුන්වන තිබ්බතීය වදනෙහි වේ.

පළමුව ඉවසීමේ විවිධ වර්ගයන් පිළිබඳ මෙකී විවිධාකාර විග්‍රහයන් ශ්‍රවණය කළ යුතුය. ඉන්පසු ඒවා වටහා ගනිමින් ඒවාහි යම් අරුතක් ගැබ්වේද යන්න විමසනු පිණිස ඒවා පිළිබඳව සිතා බැලිය යුතුය. ඒවාහි යම් අර්ථයක් ගැබ්වේ නම් හා අපට ඒවා වටහාගත හැකි නම්, ඒවා ක්‍රියාවෙහි යෙදීමේ පෙළඹීමක්ද අප තුළ වේනම්, එවිට ඒවා පුහුණු වෙමින් හා නැවත නැවතද සිදු කරමින් ප්‍රයෝජනවත් පුරුද්දක් ලෙස ඒවා ගොඩනගා ගැනීමට උත්සාහ කරන්නෙමු.

මෙය පළමුව මෙම කරුණු සමාලෝචනය කිරීම මගින් සිදු කරනු ලැබේ. මෙම කරුණු සමාලෝචනය කිරීමෙන් අනතුරුව, දේවල් එයාකාරයෙන් දැකීමට හා දැනීමටද උත්සාහ කළ යුතුය. අපට අපගේ පරිකල්පනය යොදා ගනිමින් සිත් තුළ අවස්ථාවන් පිළිබඳ රූ මවා ගැනීමට සිදුවේ. පළමුව මෙම පුද්ගලයා සතුටින් සිටීමට කැමති හා දුක් විඳීමට අකමැති මනුෂ්‍යයෙකු ලෙස, ඔහුගේ/ඇයගේ සැබෑ ස්වරූපයෙන්, දැකීමට උත්සාහ කරන්න. ඔහු තම උපරිමයෙන් උත්සාහ කරන නමුදු ඔහු තවදුරටත් දරුවෙකු මෙන් වන අතර තමා කරන දේ පිළිබඳ අවබෝධයක් නොමැත. ඔහු පිළිබඳව මෙයාකාරයේ වටහා ගැනීමක් ලබාගැනීමට උත්සාහ කරන්නේ නම් හා නිවසේ නිහඬව සිටින අතරතුර එම සිතිවිල්ල අප සිත තුළ වඩ වඩාත් පුහුණු කරන්නේ නම්, මෙය සිදු කරන්නට කරන්නට, අප කාර්යාලයේ සිටිනා අතරතුර ඔහු විසින් අමනෝඥ චර්යාවක නියැළෙන විටදී වඩාත් පහසුවෙන් ධනාත්මක අයුරකින් ප්‍රතිචාර දැක්වීමට අපට හැකිවනු ඇත. ඔහු සමගින් කෝප වීමේ ආවේගය වෙනුවට, අපගේ සිතට නව පෙළඹීමක් -වඩාත් ඉවසිලිවන්ත වීමේ පෙළඹීමක්- එනු ඇත.

ඔහුගේ දඟකාර චර්යාව සම්බන්ධයෙන් ඉවසීම ගොඩනගා ගැනීම පිණිස ඔහු පිළිබඳ දරුවෙකු මෙන් දැකීම පුහුණු කිරීමෙන් පසු අපට තවත් පියවරක් ඉදිරියට තැබිය හැක. ඔහු මෙම අමනෝඥ අකාරයෙන් කටයුතු කරන විටදී, අපහසුතාවයට පත්වනුයේද ඔහුය යන සත්‍යය අපට දැකිය හැක. මෙයාකාරයෙන් ඔහු වෙනුවෙන් වූ කරුණාවක් ගොඩනගා ගන්නෙමු. භාවනාව තුළින් මෙයාකාරයෙන් දැනීමේ හා හැඟීමේ පුරුද්ද ගොඩනගා ගත හැක. ඉවසිලිවන්තව දැකීම හා හැඟීම ප්‍රයෝජනවත් පුරුද්දක් බවට පත්වන විටදී, එය වඩ වඩාත් අපගේ කොටසක් බවට පත්වේ. අපට මුහුණ දීමට සිදුවන දුෂ්කර අවස්ථාවනට ප්‍රතිචාර දැක්වීමේ අපගේ ස්වභාවික ක්‍රමය බවට එය පත්වේ. කෝපයට පත්වීම සඳහා වූ පෙළමීමක් සිත් තුළ ජනනය වන විටදී, යම් අවකාශයක් පවතිනු ඇත. එනම්, එය වහා ක්‍රියාවට නොනංවන අතර, වඩාත් ප්‍රයෝජනවත් අයුරකින් කටයුතු කිරීම සඳහා වූ වඩාත් ධනාත්මක පෙළඹීම් හෙවත් ආවේගයන් ඉස්මතු වනු ඇත.

බුදු දහම පිළිබඳ දේශනාවන් තුළ, සාමාන්‍යයෙන් හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ සංවේදනාව මත අපගේ අවධානය යොමු කරවමින් එක් එක් කථාව ආරම්භයේදී විසි එක් වාරයක් දක්වා අපගේ හුස්ම ගණන් කරන්නෙමු. අප කෝපයට පත් වන්නට යන බවට පළමු වරට හඳුනා ගන්නා විටදීද මෙම පිළිවෙත බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ. යම් රළු වදනක් ප්‍රකාශ කිරීම සඳහා ආදී ලෙස ඉස්මතුවන පළමු ආවේගය වහා ක්‍රියාවට නොනඟන පරිදි වූ අවකාශයක් එමගින් නිර්මාණය කරනු ලබන අතර එමගින් අප කෝපයට පත්ව, වියවුලට පත්විය යුත්තේද යන කරුණ නැවත සලකා බැලීම සඳහා යම් අවකාශයක් සපයා දෙනු ලබයි. “මම කලබලයක් ඇති කරන්නේද, නැත්නම් මෙම අවස්ථාවට සම්බන්ධව කටයුතු කිරීමේ වඩාත් යහපත් ආකාරයක් පවතීද?” යි කල්පනා කළ යුතුය. භාවනාවේ හා වඩාත් ප්‍රයෝජනවත් පුරුදු ගොඩනගා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අවස්ථාවන් වඩාත් ඉවසිලිවන්තව දැකීමට හා ඒවා කෙරෙහි වඩාත් ඉවසිලිවන්ත වීමටද අපට හැකිවනු ඇත. අපගේ සිතට වඩාත් ධනාත්මක විකල්ප එනු ඇති අතර, අපට සතුටින් සිටීමට අවශ්‍ය වන අතර මෙම විකල්ප විධි මගින් එම ප්‍රතිඵලය ඇති කරන බව දන්නා බැවින් ස්වභාවිකවම ඒවා තෝරාගනු ඇත.

මෙම කාර්යය සිදු කරනු පිණිස, අපට සිතේ එකඟබව හෙවත් සමාධිය අවශ්‍ය කෙරේ. එබැවිනි සිතේ එකඟතාවය ගොඩනගා ගනු පිණිස බුදු දහම තුළ බොහෝ වූ විවිධ භාවනා ක්‍රම පවතිනුයේ. මෙම ක්‍රම හුදෙක් අපගෙන් වියුක්ත අභ්‍යාසයක් ලෙස පමණක් ඉගෙන ගන්නා දේ නොවේ; ඒවා භාවිත කිරීම හා යොදා ගැනීම පිණිස සිදු කරනු ලබයි. ඒවා යොදාගනු ලබන්නේ කවර අවස්ථාවන්හිදීද? අමනෝඥ පුද්ගලයන් හෝ අප්‍රසන්න තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කරන විටදී ඒවා යොදා ගන්නෙමු. අපගේ සිත් ඉවසිලිවන්තව පවත්වා ගැනීම සම්බන්ධයෙන් සිත එකඟ කරගැනීම සඳහා ඒවා උපකාරී වේ.

සාරාංශය

අපි හුදෙක් ස්වයං පාලනය හා ශික්ෂණය භාවිතයෙන් පමණක් සෘණාත්මක, හානිකර චර්යාවන්ගෙන් වළකින්නේ නොවේ. මේවා හුදෙක් ස්වයං පාලනය හා විනය සහිතව පමණක් සිදු කරන්නේ නම්, එවිට කෝපය යන්න අප තුළ පවතී. අපි හුදෙක් පිටතින් ඉතා තදබල මුහුණුවරක් මවා පාමින් සිටින නමුදු ඇතුළාන්තයෙන් කෝපයෙන් දැවෙන අතර එමගින් අප තුළ පිළිකා ඇතිවේ. එනමුදු මෙයට ප්‍රති විරුද්ධව, මෙම විධික්‍රම නිවැරදිව යොදාගන්නා විටදී, කෝපයක් ඉස්මතු වීම පවා නොසිදුවේ. එය හුදෙක් කෝපය පාලනය කරගනිමින් ඒ සියල්ල අපගේ ඇතුළත රඳවා ගැනීම සම්බන්ධ කරුණක් නොවේ; එය වූකලි අපගේ සිතට නැගෙන ආවේගයන් වෙන් කිරීම සම්බන්ධ කරුණකි. සියල්ල සිත ඇතුළත තබා ගනිමින් කටයුතු කිරීමට සිදුවන පරිදි ඉස්මතුවන සෘණාත්මක ආවේගයන් පවත්වාගෙන යනු වෙනුවට එහිදී ධනාත්මක ආවේගයන් හෙවත් පෙළඹීම් ඉස්මතු වනු ඇත.

මෙය සිදු කිරීමට හැකිවන විටදී, අපගේ පෙළඹීම මත පදනම්ව, අපට අපගේ ගැටළුවලින් මිදීමට හැකිවන අතර ඉන් මතු දේවල් වඩාත් අයහපත් බවට පත් නොවනු ඇත. නොඑසේ නම්, අප තුළ කිසිදු ගැටලුවක් නොමැතිව හෝ වඩාත් ප්‍රබල හා උසස් තත්ත්වයේ පෙළඹීමක් සහිතව අපි අපගේ පවුලේ සාමාජිකයන්, අපගේ මිතුරන්, අප වටා සිටින සමාජයට ගැටලු නිර්මාණය නොකරන අතර පූර්ණ වශයෙන් අන්‍යයන් හට උපකාර කිරීමට අපට හැකිවනු ඇත. අපගේ කැළඹිලිකාරී භාවයන් හා ගැටලුවලින් සීමා වී නොමැති බැවින් අපට එසේ කිරීමට හැකිවනු ඇත. එයාකාරයෙන් අපට අපගේ සියලු විභවයන් යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකිවනු ඇත.

Top