ආරම්භක මට්ටමේ පෙළැඹුම

Initial level motivation

සැබෑ ධර්මය වෙනුවෙන් පවත්නා පෙළැඹුමේ මට්ටම් තුන

ලම්-රිම් හෙවත් ශ්‍රේණිගත මාර්ගය තුළ පෙළැඹීම් මට්ටම් තුනක් ඉදිරිපත් කෙරේ:

  • ආරම්භක මට්ටම– හුදෙක් අපගේ ඊළඟ ජීවිත කාලය තුළ පමණක් නොව සියළු මතු භවයන්හිදී වඩා යහපත් පුනරුත්පත්තීන් අපට ලැබෙන බවට වගබලාගැනීම සඳහා වන සිතිවිල්ල.
  • අන්තර්මධ්‍ය මට්ටම – අපගේ පෙළඹීම පවත්නේ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තියෙන් පූර්ණ විමුක්තිය ලැබීම කෙරෙහිය; අපට මිදීම හෙවත් විමුක්තිය ලැබීම අවශ්‍ය වේ.
  • උසස් මට්ටම – පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තියෙන් මිදෙනු සඳහා අන් සියල්ලන් වෙත උපකාර කරනු පිණිස සම්මා සම්බුදුවරයෙකුගේ තත්ත්වයට පත්වීම අපගේ ඉලක්කයයි.

මෙම මට්ටම් එකිනෙකක් පුනරුත්පත්තියක් පවත්නේය යන උපකල්පනය මත පදනම් වන්නේය යන්න පැහැදිලි කරුණකි. එසේ නමුදු, පෙරදී සාකච්ඡා කළ පරිදි, මෙම මට්ටම් තුන සඳහා වූ අඩු වැඩිය තුළ ඉදිරිපත් කර ඇති විධික්‍රම එකිනෙකක් මෙලොව යහපත සඳහා ධර්මය යොදාගැනීමේ මට්ටම තුළද යොදාගත හැක. මෙම පෙළඹීම් අවංකව වැඩි වර්ධනය කරගත හැක්කේ නම් ඉතා යහපත් වන බැවින් එ්වා සුළුකොට තැකිය යුතු දේ නොවේ.

අපගේ වටිනා මනුෂ්‍ය ජීවිතය අගය කරමින් අප කෙරෙහිම කණගාටු වීමේ මානසිකත්වය මැඩ පැවැත්වීම

ආරම්භක මට්ටමේ වු පෙළඹීමකින් අපට අවබෝධ කරගැනීමට අවශ්‍ය වන්නාවූ පළමු දෙය නම් අප සතු "අගනා මනුෂ්‍ය ජීවිතය" සම්බන්ධ වටිනාකමයි. මෙලොව සුවසෙත පිණිස පමණක් ධර්මය යොදාගැනීමේ මට්ටමකදී පවා, "අනේ අසරණ මා" යන හැඟීම හා ඉන් ඉස්මතුවන අව පීඩිත තත්ත්වය මැඩ පැවැත්වීම ඉතා ප්‍රයෝජනවත් වේ. අප ඇද වැටිය හැකි සියලු ආකාර අයහපත් තත්ත්වයන් පිළිබඳ සිතා බලමින් එම තත්ත්වයනට අප ඇදවැටී නොමැති වීම කෙතරම් භාග්‍යයක්දැයි සිතමින් එය ඇගයීමට උත්සාහ කරමු.

ප්‍රමිතිගත කරුණු ඉදිරිපත් කිරීම් තුළ අප ඇද වැටිය හැකි අවාසනාවන්ත තත්ත්ව ලැයිස්තුවක්ම පවත්නා නමුදු අපට එම කරුණ පොදුවේ සලකා බැලිය හැකි බැවින් එම ලැයිස්තුව විස්තර කිරීම අවශ්‍ය නොවේ. නිදසුනක් ලෙස, යුද කලාපයක ජීවත්වීමට සිදු නොවීම, මියයන තෙක් නිරාහාරව සිටිමින් දරුවන්ගේ කුසගිනි නිවාලීමට නොහැකිවන අසරණ තත්ත්වයකට ඇද වැටෙන්නාවූ සාගතයකට මැදිහත්ව සිටීමට සිදු නොවීම කෙතරම් වාසනාවක්දැයි සිතන්නෙමු. විනාශකාරී සමාජයක දැඩි ආඥාදායක පාලනයකට යටත්ව ජීවත් වීමට සිදු නොවීම කෙතරම් වාසනාවන්ත තත්ත්වයක්දැයි සිතන්නෙමු. මා මේ පවසන දෙය රුමේනියාවේ වාසය කරන මහළු ජනතාවට පහසුවෙන් සිතාගත හැකි තත්ත්වයකි. අපි මානසිකව, කායිකව හෝ භාවමය වශයෙන් තදබල ආබාධිත තත්ත්වයකට පත් නොවීම කෙතරම් නම් වාසනාවක්ද. පැහැදිලිවම බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, සෑම අයෙකුම පාගා මරා දැමීමේ කැමැත්තෙන් පසුවන කැරපොත්තෙකු ලෙස නොඉපදීම කෙතරම් වාසනාවක්ද යන කරුණද අපට සලකා බැලිය හැක.

මෙයාකාර සිතිවිලි තවත් බොහෝ දුර ව්‍යාප්ත කළ හැකි අතර, අප පිළිබඳවම අපක්ෂපාතීව සලකා බලන විටදී, මෙකී නිදහස් තත්ත්වයන් භුක්ති විඳීමට හැකිවීම අසිරිමත් වාසනාවකි. අපට මේ සඳහා වූ නිදහස පවතිනවා පමණක් නොව, ඇල්සයිමර් රෝගය වැනි රෝගයක් වැළඳීමෙන් ඕනෑම අවස්ථාවක එය අහිමි විය හැකි බවද වටහාගත යුතුය. වර්තමානයේ බරපතල ආර්ථික අර්බුදයක් පවත්නා අතර දැනට පවත්නා තත්ත්වය තව දුරටත් අයහපත් තත්ත්වයට පෙරළිය හැක. අප දැනට සිටින තත්ත්වය විස්තර කරනු පිණිස යොදාගත හැකි සැබෑ වචනය සැබෑ අයහපත් තත්ත්වයන් අතර විවේක කාලයක් යන අදහස දෙන "නිස්කලංකය" යන වදනයි. මෙම නිස්කලංකය ඕනෑම අවස්ථාවක අවසන් විය හැක.

මෙම නිදහස් තත්ත්වයන්ගෙන් පරිබාහිරව, අප විසින් අපගේ ජීවිතය පොහොසත් කරන්නාවූ විවිධ සාධකයන්ද විමසා බැලිය යුතුවේ. නිදසුනක් ලෙස, අප අතරින් බහුතරයක් දෙනා සාපේක්ෂ වශයෙන් සෞඛ්‍ය සම්පන්නය. සත්‍ය වශයෙන්ම අප අතරින් බහුතරයක් දෙනා රෝගී තත්ත්වයට පත්විය හැකි නමුත් මේ මොහොතේදී අවශ්‍ය කටයුතු කරගත හැකි සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නෙමු. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාවන් පරපුරින් පරපුරට දායාද වෙමින් අද දක්වාද සුරැකිව ඇත. අපට එ්වා උගත හැකි බොහෝ ගුරුවරුන් මෙන්ම පොත් පත්ද ඇත. පැහැදිලිවම බොහෝ අවස්ථාවන් විවරව පවතී. මෙම තත්ත්වය තුළ අප සතුව පවත්නා නිදහස හා පොහොසත්කම් හඳුනාගෙන අප කොතරම් නම් වාසනාවන්තයන් වන්නෙමුද යන කරුණ එහි සැබෑ ගැඹුරින් ඇගයිය යුතුය.

අපගේ වටිනා අවස්ථාවන් අහිමි කර නොගනු පිණිස මරණය හා අනිත්‍යය පිළිබඳ සිතා බැලීම

ආරම්භක විෂය පථය තුළට වැටෙන්නාවූ ඊළඟ කරුණ වනුයේ අප සතු වටිනා ජීවිතය සදාකල් නොපවතින බවයි. මෙය පවත්නා තත්ත්වයන් අපගේ ජීවිත කාලය තුළ වෙනස් වන්නේය යන කරුණට සීමා නොවන අතර අප සැබැවින්ම මරණයට පත්වන්නේය යන කරුණටද අදාල වේ. එබැවින්, මරණය පිළිබඳ වූ බොහෝ භාවනාවන් පවතී. බොහෝ සමාජයන්හි බොහෝ පුද්ගලයෝ මරණය යන සංකල්පය මඟ හැර යාමට උත්සාහ කරති. මක් නිසාද එය වාරණය කරන ලද මාතෘකාවක් වන බැවිනි. යම් අවස්ථාවක අප සියල්ලන් හට මරණය කරා යාමට සිදුවන්නේය යන යථාර්ථය අපි සැබැවින්ම පිළි නොගන්නෙමු. මෙම තත්ත්වය තුළට අපගේ ආදරණීයයන්, අප දන්නා සියල්ලන් හා අපමද ඇතුළත් වේ. මෙයයි යථාර්ථය.

අපගේ මරණය අනිවාර්ය වූවක්ය යන කරුණට පක්ෂව බොහෝ හේතු සාධක පවතී. මෙලොව ජීවත්වූ යමෙක් වේද එ් සියල්ලෝද මිය ගියහ. එබැවින්, අප ඔවුනට වඩා විශේෂ හෝ වෙනස් වනුයේ මන්ද? මරණයට අදාල අවසන් හේතුව නම් උපතයි. එ් අනුව උපත ලද්දෙමු නම් මියෙන්නෙමු. සිරුර දුර්වල එකක් වන අතර වයසට යන්නට යන්නට අවලංගු වන්නට පටන් ගනී. එය අප නිරතුරු සිතන තරම් බලවත් නොවන අතර ඉතා පහසුවෙන් හානියට හා ආබාධයනට ලක්විය හැක. ක්‍රමිකව භාවමය මට්ටමකට කාන්දුවන ආකාරයට මෙම කරුණ පිළිබඳ තර්කානුකූලව අප වෙතම එ්ත්තු ගන්වාගත යුතුය.

අපි නිරනුමානවම මිය යන්නේය යන කරුණට අමතරව, දෙවන කරුණ වනුයේ එය කවදා සිදුවන්නේදැයි දත නොහැකි වීමයි. මරණයට පත්වීම සඳහා වයෝවෘද්ධ හෝ රෝගී වීම අවශ්‍ය නොවේ; වයෝවෘද්ධ හෝ රෝගී අයට පෙර බොහෝ තරුණ හා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෝ මිය යති. මෑතකදී මහා ගුවන්යානා අනතුරක් සිදුවූ අතර, ගුවන් යානයට ගොඩ වැදුණු අවස්ථාවේ කිසිවෙක් හෝ සිය ගුවන් යානය කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා නොකළහ. වයස අවුරුදු 54ක් වූ පූර්ණ සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක සිටි මාගේ සමීපතම මිතුරා දෙසතියකට පෙර හෘදයාබාධයකින් මිය ගියේය.

මරණය ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බව සනාථ කළ හැකි හේතු සාධක ඕනෑ තරම් දැක්විය හැක. මරණය අපි අපගේ කටයුතු හෝ ආහාර ගැනීම හෝ කරමින් සිටින කාර්යයන් හෝ අහවර වන තෙක් ඉවසා නොසිටිනු ඇත. "පොඩ්ඩක් ඉන්න මං මේ වැඩේ විතරක් කරල එන්නම්" යනුවෙන් අපට මරණය අමතා පැවසිය නොහැක. මරණයට නිසි අවස්ථාවේදී එය පැමිණෙන අතර එවිට අපගේ ජීවිතය අවසන් වනු ඇත. අප ගෙන ආ කාලය අවසන් වූ විට, එය දීර්ඝ කරගැනීමට කළ හැකි දෙයක් නොමැත. ඔබට මරණයට අල්ලස් ලබාදිය නොහැක. ජීවන ආධාරක යන්ත්‍රයක උපකාරයෙන් සිරුර පවත්වාගෙන යාහැකි නමුත් එවන් තත්ත්වයක වුව ජීවිතය යම් තැනෙකදී අවසන් වන බැවින්, එළවළුවක් මෙන් හුදෙක් සිරුර පවත්වාගෙන යාමේ අරමුණ කුමක්ද?

මරණය සම්බන්ධ තෙවන කරුණ වනුයේ මරණාසන්න අවස්ථාවේදී අපට උපකාරී වනුයේ කවරක්ද යන කරුණ විමසා බැලීමයි. අපට එහි මුදල්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් රැගෙන යා නොහැක. මරණය අවස්ථාවේදී පිරමිඩයක් ගොඩනගා එ් සියල්ලන් අප සමග එතුළ පිහිටවුවද, ඔවුන් සැබෑ ලෙසම අප සමග නොපැමිණෙනු ඇත. බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, මරණාසන්න අවස්ථාවේදී අපට සත්‍ය වශයෙන්ම පිහිට වනුයේ අපගේ චිත්ත සන්තතිය තුළ ගොඩනගාගත් පුණ්‍යවන්ත පුරුදු පමණි.

ඇතැම් විට අප විසින් බොහෝ පුණ්‍ය ක්‍රියා හා අන්‍යයන් හට පිහිට වීම් සිදු කර ඇති හෝ ඇතැම් විට අපගේ කෝපය, ආත්මාර්ථය ආදී නුහුගුගණයන් අවම කරගනිමින් අපගේ ආධ්‍යාත්මික මාර්ගයෙහි සුවිශාල ප්‍රගතියක් අත්කරගෙන ඇතිවා විය හැක. මෙමගින් අපගේ චිත්ත සන්තතිය තුළ ගැඹුරු කාවැද්දීමක් හෙවත් හැඟීමක් ඇති කරවනු ඇත. ධර්මය මෙලොව සුවසෙත සඳහා යොදාගැනීමේ දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, එවිට අපට පසුතැවීමකින් තොරව මියයා හැකි අතර විශේෂයෙන් අපගේ ආදරණීයයන් රැකබලාගෙන හෝ එයටද වැඩියෙන් සමාජයට යම් කිසි දායකත්වයක් ලබාදී ඇත්තේ නම්, අගනා, පුණ්‍යවන්ත දිවියක් ගතකළේය යන හැඟීම ඇතිකරගත හැක. "මම යහපත්, අගනා දිවියක් ගෙවූයෙමි" යන හැඟීමෙන් හා සිතිවිල්ලෙන් යුතුව චිත්ත සාමය පවත්වාගත හැක.

සැබෑ ධර්මය පාර්ශ්වයෙන් සලකා බලන්නේ නම්, අපගේ චිත්ත සන්තතිය මත වූ මෙකී පුණ්‍යවන්ත පුරුදු, නැඹුරුතාවයන් හා සහජ ගුණයන් අපගේ මතු ජීවිත දක්වාද ගලා එනු ඇති බවට වූ යම් විශ්වාසයක් සහිතව මියයා හැක. "මතු භවයන්හිදීද නොකඩවා අගනා මනුෂ්‍ය දිවියක පුනර්භවය ලබමි. බොහෝ පුණ්‍යවන්ත සහජ ගුණයන්ගෙන් පිරි දරුවෙකු ලෙස නැවත ඉපදෙන්නෙමි" යන හැඟීමෙන් යුතුව මියයනු ඇත. අපට මෙය දරුවන් ආශ්‍රයෙන් දැකගත හැකි  තත්ත්වයකි. ඇතැම් දරුවෝ, ඉතා ලාබාල වියේදීම, නිරතුරු හඬමින් හා කෝපයෙන් ගත කරන අතර  තවත් දරුවෝ අන්‍යයන් වෙත ශාන්ත හා කාරුණික ගති විදහා පාති. මේවා වූකලි ඔවුන් පෙර භවයන්හිදී ගොඩනගාගත් පුණ්‍යවන්ත ගති පුරුදු වේ. මරණය සිදුවන අවස්ථාවේදී සාමකාමී චිත්ත ස්වභාවයක් පැවතියහොත්, එය මහත්සේ ප්‍රයෝජනවත් වනු ඇත. බැංකුවේ තැන්පත්ව ඇති මුදල් ප්‍රමාණය අපට කිසිදු සැනසුමට කරුණක් නොවනු ඇත්තේ මරණයේදී එ්වා හුදෙක් පරිගණක තිරයක් මත දිස්වන ඉලක්කම් පමණක් වනු ඇති බැවිනි.

මරණානුස්මෘති භාවනාව

ඉහත හේතුව මත අපි මරණනුස්මෘතිය වඩන්නෙමු; එහිදී අපට අද දිනය ජීවිතයේ අවසන් දිනය ලෙස සිතාගත හැක. ඕනෑම අවස්ථාවක මිය යාමට සූදානම්ද යන පැනය අපි අපගෙන්ම අසන්නෙමු. අද දින මිය යන්නේ නම්, මම මාගේ දිවිය ගෙවූ ආකාරය පිළිබඳ පසුතැවීම් ඇත්තේද? මෙහි අදහස නම් හුදෙක් පසුතැවීමක් ඇතිකර ගැනීම නොව මෙම අගනා මනුෂ්‍ය දිවියෙන් හා මේ අවස්ථාවේ පවත්නා සියලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම සඳහා දිරි දීමයි. එයයි මෙම භාවනාවේ එකම අරමුණ. මම දිනෙන් දින වයසට යනවා පමණක් නොව, නිතිපතා මරණයට වඩ වඩාත් සමීප වෙමින් සිටිමි. සෑම දිනයක්ම ගෙවී යන විටදී ඉන් අදහස් කෙරෙනුයේ ජීවත්වීමට පැවති තවත් එක් දිනයක් අවසන් වූ බවයි. කාලය ගෙවෙමින් පවත්නා අතර, ඉතිරිව ඇති කාලය කෙතරම්ද යන අදහසක් අපට නොමැත. එබැවින්, ජීවිතවලින් උපරිම ප්‍රයෝජන ගත යුතු අතර හුදෙක් කාලය අපතේ හැරීම නොකළ යුතුය. අප විසින් සැබෑ ලෙසම අපගේ ජීවිත අපතේ යවා ඇති අතර මෙයට වඩා බොහෝ සාර්ථකත්වයන් අත්කරගත හැකිව තිබූ බවට අවබෝධ වන චිත්ත ස්වභාවය වූකලි මරණයට පත්වීම සඳහා කිසිසේත් නුසුදුසු භයානකම චිත්ත ස්වභාවයකි.

අපට සමතුලිත අයුරින් "මා ලද අවස්ථාවන් අපතේ නොහරින්නෙමි" යන චිත්ත ස්වභාවය ස්ථාපනය කරගැනීමට සිදුවේ. කාර්යයන්හි නියැලීම හෝ භාවනාව කිසි විටෙකත් නතර කරලීමට බියෙන් පසුවන හා නිරතුරු බියෙන් තැතිගත් චිත්ත ස්තභාවයකින් පසුවන අන්තගාමී සිතිවිලි සහිත එ්වා නොවිය යුතුය. නිස්කලංකව ඉහිල් වී පසුව නැවතද අදාල කාර්යය නොකඩවා සිදුකරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබාගනු පිණිස අවශ්‍ය වන්නේ නම් විවේකයක් ද ගත යුතුවේ. මාගේ ප්‍රියතම සෙන් කතාවකට අනුව: "මරණය ඕනෑම අවස්ථාවක එළැඹිය හැකි බැවින්, සන්සුන් වන්න". මේ පිළිබඳව සිතා බලන්නේ නම්, එතුළ ගැඹුරු අර්ථයක් ගැබ්වේ. සැබෑ ලෙසම ඕනෑම අවස්ථාවක මියයා හැකි නමුදු, එ් පිළිබඳ බියවී ආතතියක් ඇතිකර ගැනීම ආත්ම පරාජිත තත්ත්වයකි. 

ගතයුතු ප්‍රධාන පණිවිඩය වනුයේ අප ලත් මේ අගනා, ආශ්චර්යමත් මනුෂ්‍ය දිවියෙන් ප්‍රයෝජන ගන්නා නමුත් එය සමබර ආකාරයකින් සිදු කරගත යුතු බවයි. අවශ්‍ය අවස්ථාවන්හි විවේක ගත හැකි අතර සැබෑ ලෙසම වෙහෙසක් නොදැනෙන්නේ නම් එසේ විවේක ගැනීමද හුදෙක් කුසීත බව වන අතර එ් පිළිබඳවද අපටම අවංක විය යුතුය. අපගේ පෙළඹීම හෙවත් අභිප්‍රේරණය සිත්හි තබාගැනීමට උත්සාහ කළ යුතුය.

පැහැදිලිවම මරණනුස්මෘති භාවනාවන් මෙලොව සුවසෙත පිණිස ධර්මය යොදාගැනීමේ ක්‍රමය තුළට මෙන්ම සැබෑ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමේ අරමුණ උදෙසාද යොදාගත හැක. නිදසුනක් ලෙස, යමෙකුට ඔබ ආදරය කරන බව පැවසීම හා ඔවුන් විසින් සිදුකර ඇති කාර්යයන් අගය කිරීම හෝ සමාව අයැදිමින් සිදුවූ වරද නිවැරදි කරගැනීම වැනි අප විසින් සම්පූර්ණ නොකළ කාර්යයන් පවත්නා විටදී, නැවතී නොසිටින්න. එම පුද්ගලයා හෝ මා හෙටදින නොසිටිනු ඇත. මෙයයි මෙලොව සුවසෙත පිණිස ධර්මය යොදාගැනීමේදී මරණානුස්මෘතිය තුළින් අපට උගත හැකි පාඩම. එය ඕනෑම මට්ටමකදී ඉතා ප්‍රයෝජනවත් හා උපකාරී විය හැක්කකි; මරණය සිදුවන්නේය යන කරුණ ප්‍රතික්ෂේප නොකර එයට සූදානම් වන්න. අපට මරණය හා අපගේ අවසන් කටයුතු පිළිබඳ චිත්ත රූප මවාගනිමින් එම තත්ත්වය අප කෙරෙහි යම්තාක් යථාර්ථවාදී බවට පත්කරගැනීමද සිදුකළ හැක. එසේ වුවද, එවන් සිතිවිල්ලක සිරවී චිත්ත පීඩාවක් හෝ අසුභවාදී චිත්ත ස්වරූපයක් ඇතිකර නොගන්න.

මරණින් මතු ඇතිවිය හැකි වඩාත් අයහපත් පුනර්භවයන් පිළිබඳ බියක් ඇතිකර ගැනීම

මරණින් මතු සිදුවන්නේ කවරක්ද යන්න විමසමින් සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. මෙහිදී, අපට අත්විඳීමට සිදුවිය හැකි අවාසනාවන්තම පුනරුත්පත්තීන් සහ මෙය බරපතල ලෙස සලකා බැලිය යුතුවන අයුරු පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කරන්නෙමු. නැවතද ප්‍රකාශ කළ යුත්තේ, බුදු දහම තුළ කරුණු ඉදිරිපත් කිරීමේදී සත්ත්ව ලෝකය තුළ සිදුවන පුනරුත්පත්තීන් පමණක් නොව අපට සැබෑ ලෙසම දැකිය නොහැකිවන ස්වරූපයන්හි පුනරුත්පත්තිය පිළිබඳවද කරුණු ඇතුළත් වන බැවින් මෙය කිසිසේත් පහසු කටයුත්තක් නොවන බවයි.

සත්ත්ව පුනරුත්පත්තිය සලකා බලන විටදී, එතුළ ලොව පවත්නා සියලු කෘමීන් හා මාළු සහ අන් සියලු සත්ත්ව වර්ගයන්ද ඇතුළත් වන බව සිහි තබාගත යුතුය. සතුන් හට අත් විඳීමට සිදුවන සියලු ආකාර බිය හා දුකද සහිතව සත්ත්ව ලෝකය තුළ පුනරුත්පත්තියක් ලැබීම කෙතරම් භයානක කටයුත්තක්ද යන්න පිළිබඳ නිදසුන් බොහෝය. සත්ත්ව ලෝකය තුළ සිදුවන පුනරුත්පත්තීන් පිළිබඳව සිතා බලන විටදී, මහා මන්දිරයක නියපොතු පාට කරගෙන සිටින අලංකාර සුනඛයෙකුගේ ජීවිතයට වඩා අප විසින් සලකා බලනුයේ බොහෝ මිනිසුන්ගේ පිළිකුලට ලක්වන කැරපොත්තන් හා මීයන්ද, වඩා විශාල සතුන් විසින් පණ පිටින් ගිල දමන කුඩා කෘමීන් හා මාළුන් පිළිබඳව හා මනුෂ්‍යයන් විසින් මස් පිණිස ඇතිකොට මරා දමනු ලබන සතුන් පිළිබඳවයි.

අනාගතයේදී ඇතිවිය හැකි එවන් තත්ත්වයන් පිළිබඳව ඇතිවන හැඟීම හෙවත් භාවය නිරතුරුවම පරිවර්තනය කෙරෙනුයේ "බිය" නමැති වදනින් වන නමුත්, එතුළ අපට එය වෙනස් කිරීමට කළ හැකි කිසිවක් හෝ නොමැති සෙයක් දනවමින් බලාපොරොත්තු රහිත ස්වභාවයක් අඟවන බැවින් එම වදන වඩාත්ම සුදුසු වදනද යන්න පිළිබඳ මා තුළ ඇත්තේ දෙගිඩියාවකි. කෙසේ වුවද, එම වදන භාවිතයට නොගනිමින් එ් වෙනුවට "තැති ගැනීම" යන වදන ආදේශ කිරීමට මම කැමැත්තෙමි. ඉන් අදහස් කෙරෙනුයේ අපට සැබෑ ලෙසම හා ඉතා දැඩි ලෙස එය නොසිදුවීමට හෙවත් ඉන් වැළකීමට අවශ්‍ය වන බවයි. 

නිදසුනක් ලෙස, අප සහභාගි විය යුතුව පවත්නා ඉතා  අප්‍රසන්න ව්‍යාපාරික හමුවක් ඇත්තේ යැයි සිතමු. අපි එයට යාමට තැති ගන්නෙමු. එය අප්‍රසන්න හා නීරස වනු ඇති නමුත් එහි යාමට බියක් නොපවතී. මෙයයි අප විසින් උත්පාදනය කරගත යුතුවන භාවය. අපට ඕනෑම අවස්ථාවක අහිමි විය හැකි මෙම අගනා දිවිය ලැබී ඇති බැවින්, ඊළඟ භවයේදී කැරපොත්තෙකු ලෙස පුනරුත්පත්තියක් නොලබන බවට වගබලාගනු පිණිස ඉන් ප්‍රයෝජන ගැනීමට අපට අවශ්‍ය වේ. කැරපොත්තෙකු බවට පත්වීම සැබෑ ලෙසම බිය උපදවන සුළු බැවින් එය කිසිසේත් සිදුවිය යුතුයැයි අපේක්ෂා නොකරන නිසාවෙන් එය වළකාලීම සඳහා යමක් සිදුකළ යුතුව පවතී.

සැබෑ ධර්මය තුළ, අපි සත්ත්ව හා කෘමි පුනරුත්පත්තීන් පිළිබඳව පමණක් නොව ප්‍රේත හා නරක තලයන්හි සිදුවන පුනරුත්පත්තීන් පිළිබඳවද කථා කරන්නෙමු. මේවා ඇතුළත් කිරීමට මැලි විය යුතු නැත; මෙම විග්‍රහයන් සඟවා තැබීම බුදු දහමට කරන සාධාරණයක් නොවේ. එ් වෙනුවට, අපට විවෘත මනසකින් යුතුව "මට එ්ක හරියටම තේරෙන්නේ නැහැ" යයි පැවසිය හැක.

අමනුෂ්‍ය පුනරුත්පත්ති තලයන් අවබෝධ කරගන්නා ආකාරය

චිත්ත ක්‍රියාකාරිත්වය හෝ යමක් අත්විඳීමේ එක් එක් අවස්ථාවට අනුව අපට මේ පිළිබඳ සාකච්ඡා කළ හැක. සෑම මොහොතකදීම සිත විසින් දැකීමට, දැනගැනීමට හෝ සිතීමට අදහස් කරන දෙයට අදාලව මනෝ රූපයක් දකින්නෙමු. සෑම මොහොතකම සිදුවන අත්දැකීමත් සමගින් යම් ආකාර දුකක් හෝ සතුටක්ද දැනේ. මෙයයි අප පරිගණකයන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි ලක්ෂණය. පරිගණකය තුළ එ් විසින් කටයුතු කරන හා යම්කිසි ආකාරයකට හඳුනාගන්නාවූ තොරතුරු පවතී. එසේ නමුදු, පරිගණකයට සතුටක් හෝ අසතුටක් නොදැනෙන අතර එය විසින් සැබෑ ලෙසම තොරතුරු අත්විඳීමක්ද සිදු නොවේ. අප තුළ සතුටට හා අසතුටට අදාල හැඟීම් පවත්නේය යන කරුණ මගිනි අපගේ අත්දැකීම් අර්ථ නිරූපණය කෙරෙනුයේ. තවද, එම සතුටට හා අසතුටට අදාළ පරාසය අතිශයින් සුවිශාල එකක් වේ. අපට අත්දැකීමට හැකිවන එම පරාසයේ විශාලත්වය අපගේ දෘඪාංගය මත, වෙනත් වචනවලින් පවසන්නේ නම් අප දරා සිටින ශරීරය මත, තීරණය වේ.

හුදෙක් අසතුට පමණක් නොව අපගේ විවිධ ඉන්ද්‍රියයන් තුළින් මෙම කරුණ වටහාගත හැක. ඇතැම් පුද්ගලයන් හට අන් අයට වැඩි දුරක් දැකිය හැකි අතර, ඇතැමුනට සෙස්සනට වඩා වැඩි ශ්‍රවණ ශක්තියක් පවතින අතරම, තවත් ඇතැම්හූ සෙස්සනට වඩා වැඩියෙන් උණුසුම හා ශීතල දරා සිටීමේ හැකියාවෙන් යුක්ත වෙති. සතුන් සම්බන්ධයෙන් සලකා බලන කල, සුනඛයෙකු හට වෙනස්ම වූ සිරුරක් හෙවත් වෙනස් වූ දෘඪාංගයක් පවත්නා බැවින්, ඌට මනුෂ්‍යයෙකුට වඩා ඉහළ සංඛ්‍යාතයන්හි ශ්‍රවණ හැකියාවක් පවතී. අපට මිනිස් ඇසින් දකින්නට හැකි දුරට වඩා වැඩි දුරක් උකුස්සාට උකුසු ඇසින් දැකිය හැක. මෙය විවිධ ඉන්ද්‍රියයන් සම්බන්ධයෙන් සත්‍ය වන්නේ නම්, එය එසේම සතුට හා අසතුට දැනීමේ පරාසය සම්බන්ධයෙන්ද සත්‍ය විය නොහැක්කේ මන්ද?

ප්‍රීතිය හා වේදනාව යන්නද මුළුමනින්ම පෙර සාකච්ඡා කළ කරුණට සමාන නොවුවද, එ්වාද මෙතුළට ඇතුළත් කළ හැක. සතුට හා අසතුට මනසින් අත්දකින අතර ප්‍රීතිය හා වේදනාව බොහෝ කොට ශාරීරිකව දැනෙන එ්වා වේ. අපගේ මිනිස් දෘඨාංගය සම්බන්ධයෙන් සලකා බලන කල, ශාරීරික දුක පමණ ඉක්මවා ප්‍රබල වූ විටදී, අපි සිහි විසඥ වන්නෙමු. භාවමය වේදනාව සම්බන්ධයෙන්ද අපි කම්පනයන් අත්දකින අතර අපගේ සිරුර ක්‍රියා විරහිත විය හැක.

අනෙක් අතින් ප්‍රීතිය යන්න සිත් ගන්නා සුළු දෙයකි. යම් කැසිල්ලක් පිළිබඳව විග්‍රහ කොට බැලුවහොත්, එය සැබෑ ලෙසම අභ්‍යන්තර ප්‍රීතියකි. එය කිසිසේත් වේදනාකාරී වූවක් නොවන නමුත් පමණ ඉක්මවා ප්‍රීතිදායක වන බැවින් නොදැනුවත්වම කැසීමෙන් අපි එය අහිමි කරගන්නෙමු. කැසිල්ල ප්‍රීතියක් සේ ගත් කල්හි, තියුණු කැසීමේ ස්වභාවයක් සහිත නිදන්ගත සමේ ආබාධ සම්බන්ධයෙන් සලකා බැලීමේ එක් ආකාරයකි එය. විශේෂයෙන් කැසිල්ල මගින් යම් හානියක් සිදු වන්නට යන්නේ නම්, හුදෙක් උත්සාහයෙන් සැහැල්ලු වී එය භුක්ති විඳීම ඉතා උසස් හා දුෂ්කර වූවක් වේ. එසේ වුවද එය කළ හැක්කකි. කෙසේ වුවද, ලිංගික සතුට සම්බන්ධයෙන් සලකා බලන්නේ නම්, එය තීව්‍ර වන්නට වන්නට, එය අවසන් කරගැනීමේ සුරතාන්තය කරා වහ වහා යාමට අපට අවශ්‍ය වේ.

එ් අනුව, අප සතු මෙම මිනිස් දෘඪාංගය මගින් සතුටේ හා අසතුටේද ප්‍රීතියේ හා වේදනාවේද පරාසයට අයත් යම් කොටසක් පමණක් අත් විඳිය හැකි බව අපට පෙනී යයි. පෙනීම හා ශ්‍රවණය වැනි විවිධ ඉන්ද්‍රිය පරාසයන් තුළ සතුන්ට අපට වඩා වැඩි අත්දැකීම් ලැබිය හැකි බව තහවුරු කරගත්තෙමු. එ් අනුව, වේදනාව, ප්‍රීතිය, සතුට හා අසතුට යන පරාසයන්හි වැඩි අත්දැකීම් ලැබීමේ හැකියාව සහිත වෙනත් දෘඪාංග වර්ග පැවතිය හැක්කේය යන්න තාර්කික වූ විය හැකියාවකි.

ජීවිතයෙන් ජීවිතයට අඛන්ඩව ඇදී යන ගමනක් සේ අප කථා කරනුයේ මෙම මානසික ක්‍රියාකාරිත්වය පිළිබඳවයි. තදබල දුක හා වේදනාවේ සිට අති සියුම් ප්‍රීතිය හා සතුට දක්වා විහිදෙන සමස්ත පරාසයේ අත්දැකීම් එයට ලබාගත නොහැක්කේ යැයි පැවසිය හැකි හේතුවක් නොමැත. එය එක් එක් ජීවිත කාලය තුළ අප සතුවන දෘඪාංගය සම්බන්ධ කරුණකි. මෙය වූකලි අපට දැකිය හැක්කාවූද, බුදු දහම තුළ විස්තර කෙරෙන්නාවූද, මෙකී සෙසු ජීවන ආකෘතීන් සලකා බැලීමට උත්සාහ කිරීමට හෝ අවම වශයෙන් එම කරුණ පිළිබඳ විවෘත මනසකින් විමසා බැලීම සඳහා වූ තාර්කික මඟකි. අපට ඇමීබාවන් දැකිය නොහැකි වුවද, අන්වීක්ෂය දක්වා වැඩි දියුණු වූ විද්‍යාත්මක දියුණුවත් සමගින් එ්වා දැකිය හැකි අතර එ්වාද ජීවන ආකෘතීන් බව පිළිගත හැක. එ් හා සමානවම, අපට ප්‍රේතයන් දැකිය නොහැකි විය හැකි නමුදු, සිතේ දියුණුවත් සමගින් එය සිදුකළ හැක්කක් විය හැක.

මෙලොව සුවසෙත උදෙසා පමණක් ධර්මය යොදාගැනීමේ සංස්කරණය මගින් අන් සියලු සත්ත්ව තලයන් මනුෂ්‍ය අත්දැකීම තුළට ගොනු කරයි. නිදසුනක් ලෙස, ඇතැම්හූ නිරයේ ජීවත් වන්නවුන් සේ මානසිකව ව්‍යාකූලව සිටිය හැක. මෙමගින් අප තුළ ඔවුන් සඳහා අනුකම්පාවක් සහ මතු එවැනි තත්ත්වයකට පත් නොවේවාය යන පැතුමක්ද ඇතිවේ. මෙය මෙලොව සුවසෙත පිණිස ධර්මය යොදා ගැනීමේ මට්ටමක් තුළ යහපත් කාර්යයක් වේ. කෙසේ වුවද, සැබෑ ධර්මය තුළ හුදෙක් මනුෂ්‍ය අත්දැකීම් පිළිබඳව පමණක් නොව මනෝ සන්තතියක් පවත්නේය යන පදනම මත අප සියල්ලන් හට ඇතිවිය හැකි අත්දැකීම් පිළිබඳ කථා කරනු ලබයි. මෙම චිත්ත ක්‍රියාකාරිත්වය තුළට සතුටේ සිට අසතුට දක්වාද, ප්‍රීතියේ සිට වේදනාව දක්වාද වූ පරාසයේ ඕනෑම තත්ත්වයක් ඇතුළත් විය හැක. අපට සැබෑ ලෙසම සීමිත වූද අනාගතයේදී අමිහිරි හා වේදනාකාරී අත්දැකීම් සඳහා පමණක් හේතුවන පදනමක් අවශ්‍ය නොවේ. මෙය පැහැදිලි කරුණකි. 

එය වළක්වාගත හැකි මඟක් වේද? මෙයයි වැදගත් පැණය. පළමුව, මෙකී වඩා අයහපත් තලයන්හි සිදුවන පුනර්භවයන් වළක්වාගැනීමේ හැකියාව ලබාදෙන්නාවූ යම් ධනාත්මක ජීවන දිශානතියක් සකසාගත යුතුය. සැබැවින්ම එමගින් මෙපමණක් නොව අප විමුක්තිය හා බුද්ධත්වය කරාද යොමු කරවනු ඇත.

අපගේ ජීවිතයට ආරක්ෂිත දිශානතියක් පිහිටුවා ගැනීම: සරණ යාම

"අනේ බුදු රජාණනි, මා බේරා ගන්න"යි පවසමින් අපි බුදුන් වහන්සේ කරා දිව යන්නාක් වැනි, පමණට වඩා අක්‍රිය ස්වභාවයක් ගැනීම හේතුකොට යම්තාක් නොමඟ යවන සුළු අර්ථ නිරූපණයක් සේද පෙනෙන "සරණ" යන වදන පාවිච්චි කිරීමට මම එතරම් උනන්දු නොවෙමි. මක් නිසාද, අපි වනාන්තරයක සත්ත්ව අනාථාගාරයක් වෙත ගෙන යනු ලබන සතුන්ද නොවන බැවිනි. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ ඉතා සක්‍රීය වූ කර්තව්‍යයක් කෙරෙහි විනා කිසිසේත් අක්‍රීය වූවක් වෙත නොවේ. මම මෙය අපගේ ජීවිත තුළට "ආරක්ෂිත දිශානතියක්" යෙදීම වශයෙන් විස්තර කරමි; මෙම මඟ යන්නේ නම්, අපි වඩා අයහපත් වූද, පාලනයකින් තොරව නැවත නැවතත් සිදුවන්නාවූද  පුනරුත්පත්තීන්ගෙන් මෙන්ම හැකිතාක් ඵලදායී ලෙස අන්‍යයන් වෙත උපකාර කිරීමේ නොහැකියාවෙන්ද අපවම සුරකින්නෙමු.

බුදුරජාණන් වහන්සේගේ දේශනා ලෙස සාමාන්‍යයෙන් පරිවර්තනය කෙරෙන්නාවූ "ධර්මය" යන වදන තුළ සැබෑ ලෙසම අර්ථවත් වනුයේ වැළකී සිටීමේ ක්‍රියා මාර්ගයකි. එ් වූකලි මතු ඉස්මතුවන ගැටළුවලින් හා දුකින් වැළකී සිටීමට හෝ එ්වා වළක්වාලීමට හැකිවනු පිණිස අප තුළටම ඇතුළු කරගන්නාවූ දෙයකි. වඩා අයහපත් පුනරුත්පත්තීන්, කවර වූ හෝ පුනරුත්පත්තියක්  සහ අන්‍යයන් වෙත උපකාර කිරීමේ නොහැකියාවද යන ගැටළු ත්‍රිත්වය සම්පූර්ණයෙන්ම වළක්වාලනු පිණිස මෙම ක්‍රියාමාර්ග අපගේ ජීවිත තුළට යොදාගන්නෙමු.

බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මෙම දිශානතිය කවරක්ද? මෙම දිශානතිය නම් සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ විසින්මද සාක්ෂාත් කරගන්නා ලද සියලු බාධකයන්, දුර්වලතා, ව්‍යාකූලත්වයන් හා ව්‍යාකූල හැඟීම්ද මුළුමනින්ම වළක්වාලීමේ දිශානතියයි. එ් සමගින්ම බුදුරජාණන් වහන්සේ විසින් මනස සතු සියලු ධනාත්මක විභවයන්ද අවබෝධ කරගන්නා ලදී. මෙයයි අප සාකච්ඡා කරන දිශානතිය. වටිනා සහ දුර්ලභ බුද්ධ, ධර්ම හා සංඝ යන ත්‍රවිධ රත්නයේ ආරක්ෂිත දිශානතිය පිළිබඳ කථා කිරීමේදී අප විසින් සැබෑ ලෙසම අරුත් ගන්වනුයේ මෙයයි. ධර්මය යනු බුදුරජාණන් වහන්සේ විසින් සැබෑ ලෙසම සාක්ෂාත් කරගත් දෙය හා අප සියලු දෙනාටද එම තත්ත්වය සාක්ෂාත් කරගත හැකි ආකාරය පිළිබඳ උන් වහන්සේගේ දේශනාය. බුදුරජාණන් වහන්සේ තුළින් පෙන්නුම් කෙරෙනු‌යේ එම තත්ත්වය පූර්ණ වශයෙන් සාක්ෂාත් කරගත් අයෙකි. සංඝ යනු හුදෙක් ආරාමයන්හි හෝ අපගේ බෞද්ධ මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයන් පමණක් නොව සමස්ත සංඝ සමාජයයි. සත්‍ය වශයෙන්ම, මෙය අපගේ ආරක්ෂිත දිශානතිය නොවේ. ත්‍රිවිධ රත්නයේ කොටසක් වන සංඝයා වහන්සේ මගින් අර්ථවත් වනුයේ බුදුරජාණන් වහන්සේ විසින් පූර්ණ වශයෙන් සාක්ෂාත් කරන ලද දෙය යම්තාක් දුරකට සාක්ෂාත් කරගත් උතුමන්ය.

එ් අනුව, අප විසින් පළමුව සිදුකළ යුත්තේ මෙයයි. අප විසින් අවංකවම අපගේ ජීවිත තුළට ආරක්ෂිත දිශානතියක් පිහිටුවිය යුතු වේ; එ් සඳහායි අප කටයුතු කරන්නේ. අපි බුදුරජාණන් වහන්සේ විසින් සාක්ෂාත් කරගත් දේ, බුදුරජාණන් වහන්සේ විසින් පූර්ණ වශයෙන්ද සංඝයා වහන්සේ විසින් යම්තාක් දුරකටද සාක්ෂාත් කරගත් පරිදි සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන්නෙමු. මෙම දිශානතිය අපගේ ජීවිත තුළට පිහිටුවා ගත් පසු ජීවිතයට අර්ථයක් හා දිශානතියක්ද ඇති බැවින් සෑම මට්ටමකින්ම නොඇදහිය හැකි තරම් සුවිශාල වෙනසක් සිදුවේ. දුර්වලතාවයන්ගෙන් මිදී අපගේ විභවයන් අවබෝධ කරගනු පිණිස අපි කටයුතු කරන්නෙමු. එසේ කරන්නේ නම්, "ජීවිතය මොකක්ද කියන එක මං දන්නෙ නෑ. මං මෙතන මොනව කරනවද දන්නෙත නෑ: මගේ ජීවිතේ තේරුමක් නෑ" යන සිතිවිල්ල අප තුළ ඇති නොවන බැවින් පොදුවේ අපි භාවමය වශයෙන් වඩාත් සතුටින් සිටින්නෝ වෙමු. ජීවිතයේ අර්ථයක් නොමැත්තේය යන පෙරකී සිතිවිල්ල වූකලි බොහෝ අමිහිරි චිත්ත තත්ත්වයක් වන අතර එම මානසිකත්වයෙන් පසුවන අයගේ ජීවිත මුදල් වටා භ්‍රමණය වේ. මේ හා සම්බන්ධ කියමනක් මෙන්ම සත්‍යයද වනුයේ "සතුට මුදලට ගත නොහැක" යන්නයි.

හානිකර හෙවත් පාපකාරී චර්යාවන්ගෙන් වැළකී සිටීම

දැන් අපි මෙකී ආරක්ෂිත දිශානතිය අපගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන සිටිමු.  මෙම පදනමින් ගත්කල, වඩාත් අයහපත් පුනරුත්පත්තීන් වළක්වාලීමේ මාර්ගය කවරක්ද? එම විධික්‍රමය නම්, කයින්, වචනයෙන් හෝ මනසින් හානිකර හෙවත් පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමයි. ඉන් අදහසේ කෙරෙනුයේ කෝපය, ලෝභය, ඇල්ම, අඥානකම, ඊර්ෂ්‍යාව, අහංකාරය වැනි බොහෝ අංගයන්ගෙන් සැදි කැළඹිලිකාරී භාවයන්ගේ බලපෑමට යටත්ව මෙම තෙයාකාරයෙන් සිදුවන ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමයි. ආරම්භක මට්ටමේදී මේ අවස්ථාවේදීම මෙම අගනා මිනිස් දිවියෙන් ප්‍රයෝජන ගැනීමේ යහපත්ම මාර්ගය වනුයේ පාපකාරී ක්‍රියාවන්ගෙන්, කථාවන්ගෙන් හා සිතිවිලිවලින් වෙන්ව සිටීමයි.

කෙසේ වුවද, බෞද්ධ රාමුවක් තුළ මෙය සිදුකළ යුතුය. පොදුවේ ගත්කල, පරපණ නැසීම හා සොරකම වැනි පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සිටින ලෙස සියලු ආගම්හි දේශනා කෙරෙන නමුදු, සුපැහැදිලි බෞද්ධ පදනම වනුයේ එය යම් නීතියක් නොවීමයි. යම් දිව්‍යමය සත්ත්වයෙකු හෝ ව්‍යවස්ථාදායකයක් හෝ රජයක් විසින් පනවන ලද කිසිදු නීතියක් නොමැත. "නීතියට යටත් වන්න, නොඒසේ නම් ඔබට දඬුවම කෙරෙනු ඇත" පන්නයේ නීතියට අවනත වීමක් මත බෞද්ධ ආචාර ධර්ම පදනම් නොවේ. සිවිල් නීතිය සම්බන්ධයෙන් ගත්කල, අපට අල්ලස් දීමෙන් හෝ දක්ෂ නීතිඥයෙකු ලබාගැනීමෙන් දඬුවමින් මිදිය හැක. එ් අනුව, නීතියට අවනත වන්නේ නම් අපි යහපත් අය බවක් හෝ අවනත නොවේ නම් අපි අයහත් අය හෝ අපරාධකරුවන් බවක් අදහස් නොවේ. අවනතභාවය බෞද්ධ ආචාර ධර්මයන්හි පදනම නොවේ.

ධනාත්මක හෙවත් පුණ්‍යවන්ත චර්යාවන්හි නියැලීම

බුදු දහම තුළ ධනාත්මක හෙවත් පුණ්‍යවන්ත චර්යාව යන්නෙන් අදහස් කෙරෙනුයේ කවරක්ද යන්න දැන සිටීම වැදගත් වේ. අපට පාපකාරී චර්යාවන් ප්‍රකාර එය විමසීමෙන් මෙය සිදුකළ හැක. නිදසුනක් ලෙස, දඩයම යනු එක් ආකාරයක පරපණ නැසීමක් හෙවත් ජීවිතය ගැනීමකි. එසේ නමුදු, අප කිසිදින දඩයම් කර හෝ එයට කැමැත්තක් දක්වා හෝ නොමැති නම්, දඩයම් නොකිරීම යහපත් වුවද, අප දඩයම් නොකරන්නේය යන කරුණ එහිලා පුණ්‍යවන්ත චර්යාවක් ලෙස නොගැනේ. පුණ්‍යවන්ත චර්යාව යන්නෙන් ඇඟවෙනුයේ මදුරුවෙකු තැලීමට අදහසක් ඇතිවන අවස්ථාවකදීම එම හැඟීමට අනුව කටයුතු නොකර සිටීමයි. එය ක්‍රියාවේ යෙදුවහොත්, එය කෝපයෙන් හා මමායනයෙන් යුතුව කටයුතු කිරීමක් වශයෙන් වටහා ගනී. එයට අමතරව, මදුරුවා මැරුවහොත්, අකමැති කවර දෙයකදී වුවද මරා දැමීම පුරුද්දක් බවට පත්වන බරපතල තත්ත්වයක් ඇතිවනු ඇති බව අප දැන ගන්නෙමු. එ් අනුව, මදුරුවා මරා දැමීම වෙනුවට, ඌ කෝප්පයකට අල්ලාගෙන ගොස් ඉවත හෙළීම වැනි අවස්ථාවට අනුව කටයුතු කිරීමේ සාමකාමී විධික්‍රමයක් සොයා ගන්නෙමු. ධනාත්මක ක්‍රියාව වනුයේ සැබෑ ලෙසම තවත් සත්ත්වයෙකු මරා දැමීමට අවශ්‍යව සිටින කල්හි එම පරපණ නැසීමෙන් වැළකී සිටීමයි. හේතු ඵල පිළිබඳ වැටහීමක් පවත්නා බැවින් එම ක්‍රියාවෙන් වැළකී සිටින්නෙමු. මෙයාකාරයේ ධනාත්මක ක්‍රියාවන් මගින් අපගේ සිත් තුළ ධනාත්මක විභවයන් ප්‍රබල ලෙස ගොඩ නංවනු ලබයි.

මදුරුවා නොමරා සිටීමට පමණක් නොව ඌට ආහාර ලබාදීම දක්වාද විහිදෙන වඩාත් ප්‍රබල ධනාත්මක ක්‍රියා මට්ටම්ද පවතී. සිරුරේ බොහෝ රුධිරය පවත්නා බැවින් අපට අපගේ ලේ බිඳක් උරා බීමට ඌට ඉඩදිය හැක. එවන් කාර්යයක් සිදු කළ හැකි පුද්ගලයන් කිහිප දෙනෙකු මා හට මුණ ගැසී ඇත. හුදෙක් දඩයම් නොකරන්නේය යන කරුණ අප සිතන තරම් ප්‍රබල වූ ධනාත්මක ක්‍රියාවක් නොවේ.

බෞද්ධ ආචාර ධර්මයන්හි පදනම වනුයේ චර්යාත්මක හේතු ඵල න්‍යාය වටහා ගැනීමයි

එ් අනුව, බුදු දහමේ සමස්ත ආචාර ධාර්මික පදනම වනුයේ යම් ආකාරයන්ගෙන් කටයුතු කිරීම තුළ යම් ආකාරයේ ප්‍රතිඵල ඇති කෙරෙන බව අවබෝධ කරගනිමින් හානිකර දේ හා උපකාරී වන දෙය අතර වෙනස හඳුනා ගැනීමයි. නිදසුනක් ලෙස, හානිකර චර්යාවන්හි නියැලෙන්නේ නම්, එමගින් අප කෙරෙහිම අසතුටුදායක හෝ කැළඹිලිකාරී චිත්ත ස්වභාවයක් නිර්මාණය කෙරෙනු ඇත. අපගේ මූලික ව්‍යාකූලත්වය හේතුවෙනි මෙයාකාරයෙන් කටයුතු කරන්නේ. පළමුව, මත්ද්‍රව්‍යයකට හෝ මද්‍යසාරවලට ඇබ්බැහි වන විටදී මෙන් විනාශකාරී ලෙස කටයුතු කිරීම සැබෑ ලෙසම ස්වයං-විනාශකාරී වූවක්ය යන්න අප දැන සිටිය හැක. මෙයට අතිරේකව, මෙයට ප්‍රතිවිරුද්ධ ආකාරයකට සිතන්නේ නම් නිරන්තරයෙන් මනෝ ව්‍යාකූලත්වයෙන් හෝ බීමතින් සිටියහොත් අපගේ ගැටළු වළක්වාගත හැකි බවද සිතිය හැක.

එ් අනුව, ආචාර ධාර්මික චර්යාවේ පදනම පිළිබඳ වැටහීමක් සහිතව, හානිකර චර්යාවන්හි නියැලෙන විටදී එසේ සිදු කරන්නේ අපගේ චිත්ත ව්‍යාකූලත්වය හේතුවෙන් විනා අප තුළ පවත්නා සහජ අයහපත් ගුණය හේතුවෙන් නොවන්නේය යන කරුණ අවබෝධ කරගන්නෙමු. අන්‍යයන් හානිකර ලෙස කටයුතු කරන විටදී, ඔවුන්ද අයහපත් අය ලෙස සහ එ් අනුව දඬුවම් ලැබිය යුත්තන් ලෙස සිතිය යුතු නොවන අතර, ඔවුන්ද එසේ කටයුතු කරනුයේ චිත්ත ව්‍යාකූලත්වය හා කැළඹිලිකාරිත්වය හේතුවෙනි. එ් අනුව ඔවුන් අපගේ අනුකම්පාවට භාජනය විය යුතු අතර අප තුළ ඔවුන් හට ඔවුන්ගේ ව්‍යාකූලත්වයෙන් මිදීමට අවශ්‍ය සහාය දීමේ අවශ්‍යතාවයක් පැවතිය යුතුය. ඔවුන් නොකඩවා අන් අයට හානි සිදුකිරීම පවත්වාගෙන යාමේ හැකියාව හේතුකොට ඔවුන් සිරගත කළ යුතුව පවත්නා නමුත් එය සිදුකළ යුතු වන්නේ වෙනස් වූ මානසිකත්වයකිනි. අප විසින් ඔවුනට දඬුවම් පැමිණවීම හෝ රිදවීම සිදුකළ යුතු නොවන අතර කළ යුත්තේ එක්තරා අයුරකින් උපකාර කිරීමකි. ඔවුන් තුළ නිරන්තරයෙන් පවත්නා චිත්ත සන්තතියක් පවත්නා අතර ඔවුන් මේ අවස්ථාවේ පුනරුත්ථාපනය කිරීමේ උත්සාහයක් නොගතහොත්, අනාගතයේදී වඩාත් හානිකර අයුරින් සිය කටයුතු  ඉදිරියට ගෙනයා හැක.

කෙසේ වුවද, මෙම ආරම්භක මට්ටමේදී, අපගේ යහපත සලසා ගැනීමේ අරමුණින් මෙලොව සුවසෙත පිණිස ධර්මය යොදාගැනීමේ ස්වරූපයෙන් හෝ සැබෑ ධර්ම මාර්ගය පිළිපදිමින් මතු භවයන්හි සුවසෙත පාදාගැනීමේ ස්වරූපයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි භයානක තත්ත්වයන් වළක්වාලීමට අදහස් කරන්නෙමු. මෙම මට්ටමේදී ආරක්ෂිත දිශානතියක් සොයා ගනිමින් මෙම අගනා මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගනුයේ මේ ආකාරයෙනි.මෙම ජීවිතය අපට යම් දිනෙක අහිමි වන අතර, ඉදිරියේදීද අගනා මනුෂ්‍ය ජීවිතයන් නොකඩවා ලබාගැනීමට හැකිවන බවට වගබලා ගැනීමේ අවශ්‍යතාවයක් පවත්නා බැවින් අපි මෙම ජීවිතය අගය කරන්නට පටන් ගන්නෙමු. විමුක්තිය හා බුද්ධත්වය යන අරමුණුවලට ළඟා වීමට දිගු කලක් ගතවන බැවින් මෙකී මනුෂ්‍යාත්මයන් අපට අවශ්‍ය වේ. මෙලොව සුවසෙත පිණිස ධර්මය යොදාගැනීමේ ප්‍රවේශය සැබෑ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමේ ප්‍රවේශය සඳහා වූ පදනමක් වනවාක් මෙන්ම, අප විසින් සාකච්ඡා කරන ලද මෙම මූලික මට්ටම වූකලි අන්තර්මධ්‍ය හා උසස් මට්ටම් සඳහා වූ පිය ගැටයකි.

සාරාංශය

අප සතු මේ නොඇදහිය හැකි තරම් වටිනා මනුෂ්‍ය ජීවිතය අගය කිරීමෙනි ආරම්භක පෙළඹීම ආරම්භ වෙන්නේ. අප සතුව මෙම සිරුරද, අවස්ථාවන්ද, එ් සියල්ලටම ඉහළින් මනුෂ්‍ය බුද්ධියද පවතී; මනස යොමු කරන්නේ නම් අපට සාක්ෂාත් කරගත නොහැකි කිසිවකුදු නොමැති තරම්ය.

අප දැන් සිටින මෙම ආශ්චර්යමත් තත්ත්වය සදාකල් පවතින්නක් නොවේ. මක් නිසාද, කිසිවක් හෝ සදාකල් නොපවත්නා බැවිනි. අප කෙතරම් පොහොසත් වුවද, ජනප්‍රිය වුවද, අපට කෙතරම් මිතුරන් සංඛ්‍යාවක් සිටියද, කෙතරම් ශරීර ශක්තියකින් යුක්ත වුවද, මරණය සිදුවනු ඇත. මෙය වැළැක්විය හැකි කිසිවක් නොපවතිනවා පමණක් නොව, අපගේ ජීවිතය අවසන් වනුයේ කවර අවස්ථාවේදීද යන කරුණ කවරාකාරයෙන් හෝ දත හැක්කක්ද නොවේ. මරණය පිළිබඳ සැබෑ අවබෝධයක් ලබන්නේ නම්, අපට සාමාන්‍ය ජීවිතයක් ගතකළ නොහැකි වනු ඇත්තේය යන කියමනක්ද ඇත.

මෙම ජීවිතය වහා බිඳෙන සුළු වන අතර ඕනෑම අවස්ථාවක අවසන් විය හැකි බව වැටහෙන විටදී, මරණින් මතු කවර තත්ත්වයක් පවත්නේද යන කරුණ කෙරෙහි සිත යොමු කිරීමට පටන් ගනු ඇත. අපගේ පුනරුත්පත්තිය සිදුවිය හැකි බොහෝ භයානක තත්ත්වයන් පවත්නා බැවින්, අපගේ ජීවිත ආරක්ෂිත දිශානතියක් කරා යොමු කරගත යුතුය.

මතු දුක් ඇතිවීමට හේතුවන පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී මතු සැප ඇති කරන්නාවූ පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීමට මෙම ආරක්ෂිත දිශානතිය මගින් අප පොළඹවනු ලබයි. මෙයාකාරයෙන්, අපි අපගේ මතු භවයන් වඩාත් යහපත් තත්ත්වයනට පත්වන බවට වගබලා ගන්නෙමු.

Top