පිහිට හෙවත් සරණ: ජීවිතයට ආරක්ෂිත හා අර්ථාන්විත දිශානතියක්

34:31
සරණ යාම සියලු බෞද්ධ ඉගැන්වීම් හා අභ්‍යාස තුළ පදනම වේ. එය “බොදු මගට පිවිසීමේ දොරටුව” වශයෙන් හැඳින්වේ. සරණ යාම යනු අප උදෙසාම සිදුකරන කටයුත්තක්ය යන්න අප විසින් අවබෝධ කරගත් පසු එය අපගේ ජීවිත ආරක්ෂිත හා අර්ථාන්විත දිශානතියක් කරා යොමු කරවීමේ සක්‍රීය ක්‍රියාවලියක්ය යන්න පෙනී යයි. මානසික ව්‍යාකූලතාවයෙන්, කැළඹිලි සහගත හැඟීම් හා පාලනය කළ නොහැකි චර්යාවන්ගෙන් මිදීම සඳහා සහ සියලු යහ ගුණ වැඩි වර්ධනය කරගනු පිණිස බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ක්‍රම අනුගමනය කරමින් අපි අප වෙනුවෙන්ම වූ කාර්යයක නියැලෙන්නෙමු. සියලු බුදුවරුන් විසින් සිදුකරන ලද, මනා අවබෝධයක් ලද ගුරුවරුන් විසින් සිදු කරමින් පවත්නා හා ඔවුන්ගේ පියමග පිය මනිමින් අප විසින් සිදු කිරීමට උත්සාහ කරනු ලබන්නේද මෙයයි.

අපගේ ජීවිත තුළ බෞද්ධ චර්යාවෙහි අරමුණ සම්බන්ධ ව්‍යාකූලත්වය දුරලීම

එදිනෙදා ජීවිතයේදී 'සරණ’ යන්නෙහි අදාළත්වය පිළිබඳව කථා කරන ලෙස මා වෙතින් ඉල්ලීම් කෙරී ඇත. මෙහිදී මා හට සිහි වූයේ දසවන සියවස අවසානයේදී තිබ්බතය බලා ගිය භාරත මහාගුරු අතීෂයන් පිළිබඳ නිදසුනයි. එතුමා ඉන්දියාවෙන් මුල් වරට බුදු දහම ලැබීමෙන් අනතුරුව තිබ්බතය තුළ පසුබෑමකට ලක්වූ පසුව එරට තුළ එහි පුනර්ජීවනය සඳහා උපකාර කළ මහා ගරුවරුන් අතරින් අයෙකි. තන්ත්‍ර විශේෂ කොටගෙන වඩා සංකීර්ණ දේශනා සමහරක් පිළිබඳව බොහෝ අනවබෝධයන් එසමයෙහි තිබ්බතයෙහි පැවතිණි. සැබැවින්ම එතුමාට වඩා සුපැහැදිලි ලෙස කරුණු පැහැදිලි කළ හැකි අන් කිසිදු ගුරුවරයෙකු එකල නොවීය. පරිවර්තනය කරන ලද පාඨ ග්‍රන්ථ ගණනාවක් පැවතියද, පැහැදිලි ලෙසම බොහෝ පිරිස් කියවීමේ හැකියාවෙන් තොර වූ අතර එම පොත්වලද පැවතියේ සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණි. කියවීමේ හැකියාව පැවතියද, ඔවුන් කියවන පොත්වල අන්තර්ගතය පිළිබඳ කරුණු පැහැදිලි කරගැනීම ඉතා දුෂ්කර කාර්යයක් විය.

මෙම තත්ත්වය තුළ අවශ්‍ය උපකාරයන් සිදුකරනු පිණිස බටහිර තිබ්බතයේ එක් රජ දරුවෙකු විසින් ඉන්දියාවෙන් තිබ්බතය වෙත මහා ගුරුවරයෙකු කැඳවාගෙන එනු පිණිස ඉතා නිර්භීත සිසුන් පිරිසක් පිටත් කොට හරින ලදී. ඔවුනට පා ගමනින් ගමන් කිරීමටද, භාෂාවන් ඉගෙනීමටද දේශගුණික තත්ත්වයනට හැඩ ගැසීමටද සිදුවිය. ගමන අතරතුර හෝ ඉන්දියාවට පැමිණි පසු ඔවුන් අතරින් බොහෝ දෙනෙක් මිය ගියහ. කෙසේ වුවද, තිබ්බතය වෙත ආපසු ඔවුන් සමග පැමිණෙන ලෙස මෙම මහාගුරු අතීෂයනට ආරාධනා කිරීමට ඔවුනට හැකිවිය. එරටෙහි ගතකළ වර්ෂ ගණනාව පුරාම එතුමා විසින් සරණ යාම හා කර්මය පිළිබඳව මූලික වශයෙන් උගන්වන ලදී. සැබැවින්ම, එතුමා “සරණ හා කර්ම ලාමාතුමා” ලෙස හැඳින්විණි. ටිබෙට් ජාතිකයන් එතුමා නම් කළේ එනමිනි.

අතීෂයන්ගේ උදාහරණය වර්තමානයටද ඉතාමත් අදාළ වේ. වර්තමානයේද බුදු දහම හා දෛනිකව එය අනුගමනය කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව බොහෝ සෙයින් පවත්නේ ව්‍යාකූලත්වයකි. නැවතද ප්‍රකාශ කරන්නේ නම්, තන්ත්‍ර හා සෙසු වඩා උසස් මට්ටමේ දේශනා පිළිබඳව බොහෝ අනවබෝධයන් පවතී. ජනතාව මූලික බෞද්ධ දේශනා පිළිබඳ සුළු පදනමක් සහිතව හෝ කිසිදු පදනමකින් තොරවද මෙම අභ්‍යාසයන් සිදු කිරීමට පෙළැඹෙති. බුදු දහම අභ්‍යාස කිරිම යන්නෙන් අදහස් කෙරෙනුයේ තරමක මායාකාරී චාරිත්‍ර විධියක් ක්‍රියාවට නැංවීමය යන්න ඔවුන්ගේ මතය වේ. සරණ යාම යන්නෙහි අදාලත්වය හා වැදගත්කම හා එදිනෙදා ජීවිතය තුළ එමගින් සිදුකරන වෙනස සුළුකොට තැකීමෙන් ඔවුහූ මෙහි මූලික අර්ථය මගහැර ගනිති.

අපගේ ජීවන තත්ත්වය කවරක් වුවද, වඩාත් යහපත් පුද්ගලයෙකු බවට වැඩී වර්ධනය වීමට ප්‍රයත්න දරමින් අප වෙනුවෙන්ම කටයුතු කිරීම බෞද්ධ චර්යාව තුළ අපේක්ෂා කෙරේ. එය හුදෙක් දිනකට පැය භාගයක් හෝ සතියකට වරක් කටයුතු අවසානයේ බොහෝ වෙහෙස මහන්සි වූ විට කෙටි සැසියක් පරිදි සිදු කරන දෙයක් නොවේ. එ් වෙනුවට එය වූකලි නිරන්තරයෙන් අප වෙනුවෙන්ම කටයුතු කරමින් නොකඩවා සිදු කිරීමට උත්සාහ කරන්නාවූ ප්‍රායෝගික දෙයකි. මෙයින් අදහස් කෙරෙනුයේ අපගේ දුර්වලතා මෙන්ම යහපත් ගුණාංගද හඳුනා ගනිමින් ඉන්පසු පළමු කී දුර්වලතාවනට අදාල බලයන් දුර්වල කොට යහපත් ගුණාංගයනට අදාල ගුණයන් බල ගැන්වීමේ විධික්‍රම ඉගෙනීමයි. මෙහි අභිමතාර්ථය වනුයේ අවසානයේ සියලු දුර්වලතාවයන්ගෙන් මිදී සියලු යහපත් ගුණාංග පරිපූර්ණ වශයෙන් යථාර්ථයක් බවට පත්කර ගැනීමයි. නිසැක වශයෙන්ම මෙමගින් වඩාත් ප්‍රීතිමත් දිවියක් ගතකරමින් එමගින් පෞද්ගලිකව ප්‍රතිලාභයක් ලබන්නේ වුව, මෙය අපගේ පෞද්ගලික යහපත උදෙසා පමණක් සිදුකරන කටයුත්තක් නොවේ. මෙය අන්‍යයන්ට වඩාත් ඵලදායක ලෙස උපකාර කරමින් ඔවුන්ගේ සුබසෙත සැලසීම සඳහාද වේ. මෙයයි බෞද්ධ චර්යාවෙන් අදහස් කෙරෙනුයේ. එය විශේෂයෙන් බෞද්ධ චර්යාවක් බවට පත් කෙරෙනුයේ මෙම අරමුණු ඉටු කරගැනීම සඳහා යොදාගනු ලබන ක්‍රමයන්ගෙනි. සරණ යනු අප එම ක්‍රමයන් වෙත හැරී එ්වා අප ජීවිත තුළ පවත්වාගෙන යාමයි.

සරණ අකර්මණ්‍ය, නිෂ්ක්‍රීය දෙයක් නොවේ

ත්‍රිවිධ රත්නය හෙවත් බුද්ධ, ධම්ම හා සංඝ සරණ යාම සියලු බෞද්ධ දේශනාවන් තුළ ප්‍රධාන වේ. සත්‍ය වශයෙන්ම, සරණ යාම බෞද්ධයෙකු වීම හෝ නොවීම අතර බෙදුම් රේඛාව වශයෙන් වෙන්කොට දක්වා ඇත. ලුහුඬින් ප්‍රකාශ කරන්නේ නම්, ධර්මය මගින් අප අප සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරයන් පිළිබඳව දැක්වේ; බුදුන් වහන්සේලා මෙම ක්‍රම දේශනා කරන ලද හා එහි අභිමතාර්ථයන් මුළුමනින්ම සාක්ෂාත් කරගත් උතුමන්ය; සංඝයා වහන්සේ යනු එම තත්ත්වය යම්තාක් දුරට සාක්ෂාත් කරගත් උතුමන්ලාය. සැබැවින්ම “ධර්ම” යන වචනයෙන් අදහස් කෙරෙන්නේ “වැළකුම් ක්‍රියාමාර්ග” හෙවත් අප වෙනුවෙන්ම හා බොහෝ විට අන්‍යයන් කෙරෙහිද ගැටලු ඇති කිරීමෙන් වැලකීම සඳහා අප විසින් ගනු ලබන පියවරයන්ය. එ්වා අප විසින් අපම ආරක්ෂා කරගනු පිණිස ගනු ලබන පියවරයන් වේ.

සාමාන්‍යයෙන් ශරණ යන මුල් සංස්කෘත වදන “සරණ” ලෙස පරිවර්තනය වුවද, එමගින් “ආරක්ෂාව” යන අදහසද අර්ථවත් වන අතර එය “ආවරණය” යන අදහස සඳහාද යෙදිය හැක. අප විසින් එය නිවැරදිව අවබෝධ කරගත යුතුය. එහි අරුත “ධර්ම” යන තේරුම හා ගැලපේ. එහි අරුත අප ආරක්ෂා කරන්නාවු බාහිර මූලාශ්‍රයකට අප විසින් අක්‍රිය ලෙස යටත් වීමක් නොවේ. බෞද්ධ සන්දර්භය තුළ “සරණ යාම” යනු ඉතා සක්‍රීය කර්තව්‍යයකි. අප විසින් අප ආරක්ෂා කරගනු වස් යම් කිසිවක් සිදුකළ යුතු වේ.

මාගේ ගුරුවරුන් විසින් නිතර භාවිත කරන ලද පහත සඳහන් නිදසුන සලකා බලන්න. වැසි වසිනා අවස්ථාවක ආසන්නයේ ගුහාවක් ඇතැයි සිතන්න. “මම මේ ගුහාවේ පිහිට පතනවා; මං වැස්සෙන් බේරෙන්න ගුහාවට යනවා” ආදිය පවසමින් හුදෙක් ඉන් පිටත වැස්සෙන් තෙමෙමින් සිටියහොත් ඉන් කිසිදු පලක් සිදු නොවේ. අපට සැබෑ ලෙසම ගුහාව තුළට යාමට සිදුවේ. එමෙන්ම, හුදෙක් “මම බුදුන්, දහම් හා සඟුන් සරණ යමි. එ් පිහිට පතමි.” යනුවෙන් පවසමින් සැබෑ ලෙසම එ් මඟ නොයමින් එ්වා අපගේ ජීවිත තුළට යොදා නොගතහොත්, ඉන්ද පලක් සිදු නොවේ. ගැටලුවලින් ආවරණය වනු පිණිස අප විසින් එ්වා තුළ නියෝජනය කෙරෙන අරුත ක්‍රියාවට නැංවිය යුතු වේ. මවිසින් “ආරක්ෂිත දිශාව” හා “අපගේ ජීවිත ආරක්ෂිත දිශාවකට යොමු කිරීම” යන යෙදුම් යොදනු ලබන්නේ එබැවිනි.

ගුහාව පිළිබඳ සංකේතය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම්, හුදෙක් ගුහාව තුළට ගොස් එම ක්‍රියාව තුළින් අප තෙමීමෙන් වැළැක්වීමෙන්ද ඔබ්බට ගොස් ජීවිතයේ සියලු ගැටලුවලින් අප මුදාගනු ඇතැයි සිතමින් එතුළට වී සිටීමද ප්‍රමාණවත් නොවේ. මෙහි අරුත නම්, බුද්ධ, ධර්ම හා සංඝ යන තිසරණය විසින් අඟවනු ලබන හෙවත් සංකේතවත් කරනු ලබන පරමාදර්ශී තත්ත්වය කරා පිවිසීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොකඩවා ගත යුතු බවයි. බුදුන්, දහම් හා සඟුන් සරණ යාම ප්‍රමාණවත්ය යන අදහස දරන්නේ නම්, එම අදහස පුද්ගල ගැලවුම්කරුවෙකු පිළිබඳ කිතු දහමෙහි එන අදහස හා පහසුවෙන් ගැලපිය හැකි අතර, ඉන් අදහස් කෙරෙනුයේ බුදුන් වහන්සේ විසින් කෙසේ හෝ අප ගලවාගනු ඇති බවයි. එවිට, බුදුන් වහන්සේ දෙවියන් වහන්සේටද සංඝයා වහන්සේ ශාන්තුවරයන්ටද සමාන වේ. කෙසේ වුවද, බොහෝ බටහිර රටවල පදනමෙහි ක්‍රිස්තියානියේ බලපෑම දක්නට ලැබේ. එවන් චින්තනයක් සහිතව, යම් අධි බලැති බලවේගයක් විසින් ආශ්චර්යමත් ලෙස කෙසේ හෝ අප ආරක්ෂා කරනු ඇතැයි සිතමින් යාඥා කරන්නෙමු. බෞද්ධ යෙදුම් භාවිත කරන්නේ නම්, එහි අදහස වනුයේ අප අපගේ සියලු ගැටලු හා දුකින් අසිරිමත් ලෙස විමුක්තිය හෙවත් ගැලවීම ලබාගැනීමයි.

තත්ත්වය මෙයනම්, අප කළයුතු එකම දෙය වන්නේ තිබ්බත භාෂාවෙන් එන බෞද්ධ නමක් ආරෝපණය කරගනිමින්, රතු නූලක් පැළඳ, මන්ත්‍ර බලයක් සහිත මායා වචන කිහිපයක් ජප කරමින් බලවත් සේ යාඥා කිරීමෙන් කෙසේ හෝ ගැලවීම ලබා ගැනීමයි. විශේෂයෙන් අප විසින්, කිසිදු වදනක අර්ථයක් නොදන්නා, තිබ්බත භාෂාවෙන් යාඥාවන් හා පුහුණු වදන් ජප කරන්නේ නම් එහි වඩා ප්‍රබල ගුප්ත බලයක් ද ඇති බව අපට සිතිය හැක. ඉතා උසස් ලාමාවරයෙකු වූ සොන්සා කයන්ට්සේ රින්පොකි (Dzongsar Khyentse Rinpoche) මෑතකදී මා ජීවත්වන බර්ලින් නුවරට පැමිණියේය. උන් වහන්සේ කළ ප්‍රකාශය ඉතා ගැඹුරු අරුත් සහිත වූවකි. උන් වහන්සේ ප්‍රකාශ කළේ තිබ්බත වැසියන්ට තම සියලු චාරිත්‍රයන් ටිබෙට් අකුරුවලින් නැවත ලියා ජර්මන් බසින් ජප කිරීමට යෙදුනේ නම් හා ඔවුනට තමා විසින් ජප කරන දේ කුමක්ද යන්න පිළිබඳ කිසිදු අදහසක් පවා නොතිබියේ නම්, සිතාගැනීමටවත් නොහැකි තරම් විශාල තිබ්බතවාසීන් සංඛ්‍යාවක් සැබෑ ලෙසම බුදු දහම අභ්‍යාස කරනු ඇති බවයි. සත්‍ය වශයෙන්ම, මෙම ප්‍රකාශය සියල්ලන් සිනහ ගැන්වීමට සමත් විය. නමුත්, එ් පිළිබඳ සැලකිල්ල යොමු කරන්නේ නම්, එහි සැබෑ ගැඹුරු අදහසක් ගැබ්ව නොමැත්තේද? අපගේ සියලු ගැටලුවලට යම් ආකාරයක මායාකාරී, ගුප්ත විසඳුම් ලබා දෙන අතර, අප විසින් සිදුකළ යුතු එකම කාර්යය මහා බලයකට යටත් වීම හා නමස්කාර කිරීම පමණක් වන ආකාරයේ සරණ යාමක් හෙවත් පිහිට පැතීමක් සඳහා වූ අපගේ නැමියාවක් පවතී නම් එම තත්ත්වය මැඩ පැවැත්වීම, ඉන් මිදීම ඉතා වැදගත් වේ.

මෙහිදී අදාළ වන සැබෑ ගැටලුව නම්, “මා මේ ජීවිතයෙන් ගන්නා ප්‍රයෝජනය කුමක්ද?” “මාගේ ජීවිතය ගමන් කරනුයේ කවර දිශාවකටද?” යන්නයි. අපගේ ජීවිතය කිසිදු දිශාවකට ගමන් නොකරන්නේය යන්න අප අතරින් බොහෝ දෙනෙකුට අවබෝධ වී ඇතිවා විය හැක. එය හුදෙක් චක්‍රයක රවුම් ගසමින් සිටී. සංසාරයේ නැවත ඉපදෙමින් ගමන් කරන්නාවූ වඩා ගැඹුරු චක්‍රයක් ආදිය පිළිබඳ කල්පනා නොකළද අපගේ එදිනෙදා ජීවිතයද කිසිදු දිශාවකට ගමන් නොකරන අරමුණක් රහිත එකක් බව පෙනේ. අප සැබෑ ලෙසම ජීවත් වන්නේ මක් නිසාද? එවන් හැඟීමක් ඉතා දුක්බර එකක් නොවන්නේද? එය එතරම් ප්‍රීතිමත් එකක් නොවේ. එබැවින් අප විසින් දිවිය සඳහා යම් අර්ථාන්විත දිශානතියක්, යම් ආකාරයක අරමුණක් හෝ ඉලක්කයක්, පවත්වාගත යුතුය. එය අප විසින්ම අපගේ ජීවිතය මත තැබිය යුත්තකි. එය සක්‍රීය ක්‍රියාවලියකි. ජීවිතයේ යම් අර්ථාන්විත අරමුණක් හෝ ඉලක්කයක් සහිතව, ඉනික්බිති අප කුමක් කරන්නේද යන්න හෝ අවබෝධ කරගත හැකිවනු ඇත. එමගින් අප හට වැඩි ආරක්ෂිත බවක් ඇති වේ.

ජීවිතයේ අර්ථාන්විත ඉලක්කයක් පවත්වා ගැනීම

අපට අපගේ ජීවිතයට කවරාකාර ඉලක්කයක් පනවාගත හැකිද? සාමාන්‍යයෙන් අප දැනට සිටින අසතුටුදායක තත්ත්වයට සාපේක්ෂව එම ඉලක්කය අර්ථ නිරූපණය කරන අතර, මෙම ඉලක්කය අපගේ ජීවිතය තුළට ඇතුලු කරගනිමින් කෙසේ හෝ ඉන් ඉවත් වීමට අපේක්ෂා කරන්නෙමු. වඩාත් මූලික මට්ටමකදී සියලු සත්ත්වයෝ නිදුක් වීමට කැමැති අතර දුක් විඳීමට කිසිවෙකු හෝ කැමති නොවන බව අප හට පැවසිය හැක. එ් වූකලි බුදු දහම තුළපැනවෙන සිද්ධාන්තයක් වන අතර එහි එක්තරා ජීව විද්‍යාත්මක සත්‍යයක් ගැබ්වේ. අපට දුකින් මිදීමට අවශ්‍ය වේ. අපට වේදනාවෙන් මිදීමට අවශ්‍ය වේ. අපට දුෂ්කරතාවයන්ගෙන් මිදීමට අවශ්‍ය වේ. කෘමීන්ට හා පණුවන්ට පවා එය අවශ්‍ය නොවන්නේද? එයයි අපගේ අරමුණ.

ප්‍රශ්නය වනුයේ අප විසින් විමසා බලනුයේ කවර ප්‍රමාණයේ දුකක් හෝ අතෘප්තිකර තත්ත්වයක්ද? අප විසින් ඉලක්කගතකරන අරමුණ එම ගැටලුව පිළිබඳව පමණක් නොව, අප කෙරෙහි පවත්නා අන් සියලු ගැටලු පිළිබඳවද වගබලාගනු ඇත්තේද? නිදසුනක් ලෙස, අපගේ ගැටලුව අප දුප්පත් හා ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන්නන් වීම වන අතර, එ් අනුව අපගේ අරමුණ හොඳ රැකියාවක් ලබාගෙන බොහෝ මුදල් ඉපැයීම වේ. හොඳ රැකියාවක් නොමැති නම්, ඇතැම් විට හොඳ අපරාධකරුවෙකු හෝ වී ඉක්මනින් පොහොසත් වීම විය හැක. කවරාකාරයෙන් කෙසේ හෝ බොහෝ මුදල් ඉපැයීම එම අරමුණයි. එසේ නමුදු අප විසින් බොහෝ මුදල් ඇති අය පිළිබඳ විමර්ශනයක් සිදු කළහොත් හා ඔවුන් සිය ජීවිත පිළිබඳව නිර්ව්‍යාජව අදහස් දක්වන පරිදි ඔවුන් සමගින් අවංකව කථා කළහොත් මෙම පුද්ගලයන් අවශ්‍යයෙන්ම කිසිසේත් සතුටින් කල් නොගෙවන බව අපට වැටහෙනු ඇත. කොපමණ මිලියන ගණනින් මුදල් සතු වුවද ඔවුනට මුදල් පිළිබඳ කිසි විටෙක සෑහීමක් නොමැත. ඔවුහූ නිරතුරු මුදල් පිපාසාවෙන් පෙළෙති. කිසිදින තෘප්තිමත් නොවෙති.

මෙය සිත් ගන්නා සුළු තත්ත්වයකි. ඩොලර් බිලියනයක් ඇති අයෙකු පිළිබඳව සිතා බලන්න. ලොව පවත්නා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහු සතුව මේවනවිට ඇත්තේ ඩොලර් බිලියන භාගයක් පමණි. මේවන විට තමා සතුව පවත්නේ ඩොලර් බිලියන භාගයක් පමණක් බැවින් ඔහු කිසිදු පරිත්‍යාගයක් සිදු නොකරන අතර කිසිදු මානව හිතවාදී කර්තව්‍යයකටද සහභාගි නොවේ. මක්නිසාද, තමා සතුව දැන් පවත්නේ ඩොලර් බිලියන භාගයක් පමණක් බැවින් ඔහු පෙළෙන අනාරක්ෂිත මානසිකත්වය හේතුවෙනි. තම ධනය බෙදාහදා ගැනීමට පෙර පවත්නා ධනය ඉතිරි කොට කෙසේ හෝ පෙර සිටි බිලියනපති තත්ත්වයට පැමිණිය යුතුය යන්න ඔහුගේ හැඟීමයි. එබැවින් නිරතුරු කොටස් වෙළඳපල වාර්තා නිරීක්ෂණය කරමින්, ඇතැම් විට දැනට තමා සතු මුදලින්ද කොටසක් අහිමි වෙතියි නිරතුරු බියකින් පෙළේ. කවුරුන් හෝ පැමිණ සිය නිවසින් ධනය සොරාගනු ඇතැයි හෝ දරුවන් පැහැරගෙන යනු ඇතැයි බියෙන් ඔවුනට පුද්ගලික ආරක්ෂක නිලධාරීන් සේවයෙහි යෙදවීම සහ සෙසු එවන් ආරක්ෂක විධික්‍රමද අනුගමනය කිරීමට සිදුවිය හැක. මෙය ලතින් ඇමරිකාවේ ධනවතුන් සතු පොදු ලක්ෂණයකි. මෙයට අමතරව, සිය මුදලට විනා අන් කවරාකාරයෙන් හෝ මිනිසුන් තමා හා මිතුරු බවක් නොපවත්වන්නේය යන්න ඔවුන්ගේ නිරන්තර හැඟීම වේ. තමා හා හොඳින්, මිත්‍රශීලීව කටයුතු කරන කවරෙකු හෝ තම මුදල් පසුපස පැමිණෙන්නෙක්ය යන සැකයෙන්ද ඔවුහූ නිරතුරු පෙළෙත්. පැහැදිලි ලෙසම ඔවුන් දුප්පත්කම නමැති ගැටලුවෙන් නොපෙළුණද, නිසැක වශයෙන්ම බොහෝ මුදල් පැවතීම හේතුවෙන් ඉස්මතුවන සෙසු ගැටලු පවතී.

ලෞකික අරමුණුවල පදනම අස්ථාවරය

බොහෝ මුදල් ඉපැයීම හැරුණු කොට බුදු දහම තුළ සඳහන් ඊනියා “ලෞකික අරමුණු” ගණනාවක්ද වේ. “ඊනියා” යන පදයෙහි සෘණාත්මක අර්ථ නිරූපණයක් ඇඟවෙන අතර, සිය පාර්ශ්වයෙන් දක්වන මතයක ස්වරූපයක් ගනී. මෙහි අර්ථය එය නොවේ. සර්කොං රින්පොෂේ (Serkong Rinpoche) නම් වූ මාගේ ගුරුතුමා විසින් “ලෞකික” ලෙස පරිවර්තනය කෙරෙන ටිබෙට් භාෂාවේ ජිග්-ටෙන් (jig-ten) නම් දෙපදය තුළ සැබෑ අර්ථය ගැබ්ව ඇති බව පැහැදිලි කරන ලදී. එමගින් ඉදිරී වැටීමට (ජිග්) ආසන්නව පවත්නා පදනමක් සහිත යම් කිසිවක් (ටෙන්) ඇඟවේ. බිඳ වැටෙන්නාවූ අරමුණක් අප විසින් පවත්වාගෙන යන්නේ නම්, පැහැදිලිවම එමගින් අප හට කල් පවත්නා සතුටක් නොලැබේ. එතුළ ශක්තිමත් පදනමක් නොමැති බැවින් එමගින් හුදෙක් අප වෙත තව තවත් ගැටලු නිර්මාණය කිරීම පමණි සිදුවන්නේ. නිදසුනක් ලෙස, අපගේ ජීවිතයේ අරමුණ ඉතා යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් වයෝවෘද්ධ අවධියේදී ඔවුන් විසින් අප රැක බලාගනු ඇතැයිද, එ් අනුව අපට බොහෝ සතුටුදායක හා ආරක්ෂිත දිවියක් ගතකළ හැකිවනු ඇතැයිද සිතා දරුවන් බොහෝ ගණනක් ඇති දැඩි කිරීම යයි සිතමු.  නමුත් එ් සියල්ල එතරම් පරමාදර්ශීව නිරන්තරයෙන් සිදු නොවේ. තවත් නිදසුනක් නම් ප්‍රසිද්ධියට පත්වීම සඳහා උත්සාහ කිරීමයි. ප්‍රසිද්ධියට පත් වන්නට වන්නට, වඩ වඩාත් පුද්ගලයෝ අපට කරදර කරමින් ඔවුන් වෙනුවෙන් අපගේ කාලය වැය කරවති. ජනතාව පොදි කමින් තම ඇඳුම් පැළඳුම් වැනි දේ පවා ඉරා මතක සටහන් ලෙස රැගෙන යන බැවින් වෙස්වලා ගැනීමකින් තොරව බැහැර යාමට පවා නොහැකි සිනමා තරු පිළිබඳ විමසා බැලිය හැක. සැබැවින්ම සුපිරි තරුවක් වීමම අපාගත වීමකට සමානය.

අප අපගේ ජීවිතය පිළිබඳව බැරෑරුම්ව කල්පනා කරන්නේ නම්, හුදෙක් යම් ආකාරයක සුව පහසු භෞතික තත්ත්වයක් හෝ අප වටා සිටින්නන්ද සමගින් භාවමය සුව පහසු සැකැස්මක් පැවතීම යනු අපට අපගේ සියලු ජීවන ගැටලු නිරාකරණය සඳහා එතරම් ගැඹුරින් උපකාරී නොවේ. ඊනියා “ලෞකික” මට්ටමින් අප කෙතරම් සාර්ථක වුවද, අප තුළ තවමත් කෝපය, රාගය, ලෝභය, ඊර්ෂ්‍යාව, අහංකාරය, මෝහය ආදිය පවත්නේ නම් නොකඩවා ගැටලුවලින් අප පීඩාවට පත්වනු ඇත.

කෙලෙස් හෙවත් ක්ලේශ ධර්ම

බුදු දහම තුළ මතු භවයන් පිළිබඳව ප්‍රකාශ කෙරෙන අතර අප තුළ පවත්නා “කෙලෙස්” බලපෑම හේතුවෙන් එ් අනුව කටයුතු කරමින් සෘණාත්මක හෙවත් හානිකර විභවයන් අප තුළ ගොඩනගා ගන්නා තත්ත්වයක් පවත්නා කල මතු භවයන්හිදී අපට මුහුණ දීමට සිදුවිය හැකි සියලු දුක් හා භයානක ප්‍රතිවිපාකයන් පිළිබඳවද සාකච්ඡා කරනු ලබයි. සෘණාත්මක විභවයන් හෙවත් පාපකාරී අදහස් මගින් ගැටලු හා දුක් ඇතිකරන බැවින්, මෙය භයංකර තත්ත්වයක් බවත් අප අපගේම යහපත තකන්නේ නම් එ්වා වළක්වාගත යුතු බවත් බෞද්ධ දේශනා තුළ පැහැදිලි කර දෙනු ලබයි.

බොහෝ බටහිර ජාතීන් මතු භවයන් විශ්වාස නොකරන බැවින් හා ඔවුනට එ් පිළිබඳ එ්ත්තු ගැන්වී නොමැති බැවින්, අපට මෙම කරුණ මේ ජීවිත කාලය හා සම්බන්ධව පවා සාකච්ඡා කළ හැක. අපගේ වර්තමාන ජීවිත දෙස බලා ගැඹුරින් විමර්ශනය කරන්නේ නම්, අපගේ චිත්තවේගීය ගැටලුවල සැබෑ මූලයන් අභ්‍යන්තරයෙන් ඉස්මතුවන බව හඳුනාගත හැක. එ්වා සැබැවින්ම අප වෙතින් චිත්ත සාමය හා සතුට සොරාගෙන යන්නාවූ කෝපය, ලෝභය, රාගය ආදී අපගේ කෙලෙස් වේ. එ්වා මගිනි අප සතු යම් යහ ගුණයක් වේනම් එ්වා ක්‍රියාවෙහි යෙදවීමෙන් අප වළක්වනු ලබන්නේ. අප විසින් යමෙකුට උපකාර කිරීමට උත්සාහ කිරීමේ අවස්ථාවක් සලකා බලමු. එම උත්සාහය යහපත් ගුණාංගයක් වන නමුත්, එවිටම අප තුළ ඔවුන් කෙරෙහි කෝපයක් හටගනී. අප විසින් ඔවුනට යහපත් අවවාදයක් ලබාදීමට උත්සාහ කරන නමුත් ඔවුන් එය භාර නොගනිමින් අප හා වාද කරන විට අපගේ ඉවසීමේ සීමාව ඉක්ම යයි. මෙම කෙලෙස් විසින් සැබෑ ලෙසම කිසිවෙකුට හෝ උපකාර කිරීමෙන් අප වළක්වනු ලබයි.

අපගේ දරුවන් සඳහා වඩාත් සුදුසු දේ කවරේදැයි අප දන්නා බව අප සිතන අතර ඔවුන් අපගේ උපදෙස් නොතකා කටයුතු කරන විටදී අප කෝපයට පත්ව ඔවුන් හා තරහා වන අවස්ථාවන් ඇති අතර, එ් අනුව මෙම අභ්‍යාසය දරුවන් සම්බන්ධයෙන් වඩාත් දුෂ්කර වේ. මෙමගින් අප දරුවන් සමගින් පවත්වන සම්බන්ධතාවය වඩාත් දුෂ්කර කරයි. මේ සම්බන්ධයෙන් අප විසින් යම් ප්‍රතිකර්මයක් සිදු නොකරන්නේ නම්, තත්ත්වය වඩ වඩාත් දරුණු විය හැක්කේය යන්න අවබෝධ කරගැනීමයි මෙහිදී අවශ්‍ය වන්නේ. මහළු වියට පැමිණීමත් සමග ශරීර ශක්තියෙන් දුර්වල වන විටදී අප වඩාත් මෘදු පැවතුම් ඇත්තන් විය හැකි නමුදු, එහිදීද අපගේ කෝපය හා එ් සමාන කෙලෙස් ස්වයංක්‍රීයව ඉවත්වන බවක් ඉන් අදහස් නොවේ. එ්වා ආකස්මිකව ගෙවී නොයයි.

මෙම විය හැකියාවන් සම්බන්ධයෙන් අප විසින් ගොඩනගාගත යුතු ගුණාංගය බුදු දහම තුළ හැඳින්වෙනුයේ “බිය” හෙවත් “භය” යන පදයෙනි. එනමුත් “බිය” යනු අපගේ භාෂා බොහොමයකම අර්ථ දැක්වීමට දුෂ්කර පදයක් වේ. එය යහ ගුණයක් දක්වන පදයක් ලෙස ප්‍රකටව නොමැත. ඇතැම් විට “සැක සහිත නුරුස්නාබව” යන අරුතැති “dread” යන පදය මා හට වඩාත් ප්‍රිය වේ. එසේ නමුත් එම පදය සෙසු භාෂාවනට පරිවර්තනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. “සැක සහිත නුරුස්නා බව” යන්නෙහි “ඇත්තටම මට මේ දේ සිද්ධ වෙනවා දකින්න අවශ්‍ය නැහැ” යන අරුත වඩාත් ගැබ්වේ. නිදසුනක් ලෙස, අපහට වැඩපලේ ඉතා නීරස රැස්වීමකට සහභාගි වීමට සිදුව ඇතැයි සිතමු. එහි අදහස අප එම රැස්වීමට බියව සිටින බව නොවේ. එනමුත් අපි එහි යාමේ මහත් නොකැමැත්තකින් පෙළෙන්නෙමු. සැබෑ ලෙසම එයට සහභාගිවීමට අපි අකමැත්තෙමු.

එසේ නමුත් වඩාත් ලුහුඬින් හා පැහැදිලි ලෙස දක්වන්නේ නම්, භයානක පුනරුත්පත්තියක් පිළිබඳව හෝ අසරණ මහළු වියක් හෝ වෙනයම් කරුණක් සම්බන්ධයෙන් හෝ වූ බිය පිළිබඳව කථා කරන්නේ නම් අප විසින් බියෙහි දෙවර්ගයක් වෙන්කොට හඳුනාගත යුතුව පවතී. අපට කිසිදු ගැලවීමක්, මිදීමක් නොමැති බැවින් අසරණ හෝ බලාපොරොත්තු රහිත හැඟීමක් ඇතිවන බිය වර්ගයක් ඇත. එමගින් අප බොහෝ සෙයින් අකර්මණ්‍ය කරවයි. මාගේ අදහස නම්, අප නිරතුරු එය අත්දකින නමුත් එ් වූකලි අයහපත් වර්ගයේ බියක් බවයි. එනමුදු, ගැටලු වළක්වාලීමේ මගක්ද පවත්නා බව අපට අවබෝධවන බැවින්, සරණ හෙවත් පිහිට යන සන්දර්භය තුළ සාකච්ඡා කෙරෙන බිය වර්ගය මෙයට බොහෝ සෙයින් වෙනස් එකක් වේ. එබැවින් එය නිරර්ථක වූවක් නොවන අතර එහිදී අපි කිසිසේත් අසරණද නොවන්නෙමු. එනමුත්, මා පෙරකී පරිදිම, අප අපගේ බිය ජනක තත්ත්වයෙන් මුදවා ගනු ඇත්තාවූ  කිසිදු පරම උත්කෘෂ්ට බලවේගයක් හෝ සත්ත්වයෙක් ඇත්තේය හෝ එබැවින් අප විසින් කළ යුත්තේ හැකි තරම් ප්‍රබල ලෙස යාඥා කිරීම වන අතර එ් අනුව අප බියෙන් මුදවා ගැලවීම ලබාදෙනු ඇත යන්නක් මෙහි නොමැත.

මෙහි අදහස නම්, එක් අතකින් අපට අපගේ ආරක්ෂාව සලසාගත හැකි බවයි. අපට අපගේ දිවියේ මුහුණ පෑමට සිදුවන සියලු ගැටලුවලින් වැළකී සිටීමට හැකියාව ලබාදෙන බලවේගය කුමක්ද? එම හැකියාව කෙසේ ලැබෙන්නේද? වඩාත් පුළුල් සන්දර්භයක සලකා බලන කල, අපගේ ගැටලු ඇති කරන කෝපය, ලෝභය, ඇලීම ආදී මෙකී සියලු කෙලෙස් යථාර්ථය පිළිබඳ ව්‍යාකූලත්වය හෙවත් සිතෙහි අවුල් සහගතභාවය හේතුවෙන් පැන නගී. මෙකී සියලු කෙලෙස් සැබැවින්ම සිතෙහි නිසග ලක්ෂණයක් නොවේ. එ්වා නැවත කිසි දින ඉස්මතු නොවන පරිදි මුළුමනින්ම ඉවත් කළ හැක. ධම්ම රත්නය මගින් දැක්වෙනුයේ එ්වා “සැබැවින්ම නවතාලිය” හැකි බවයි.

සිත හා සිතෙහි ක්‍රියාකාරකම්

සවිස්තරාත්මකව විග්‍රහ කිරීමකින් තොරව බුදු දහම තුළ සිත පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපි සිතෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව කථා කරන්නෙමු. එ් වූකලි නිදිගත් මොහොතේ පවා මොහොතින් මොහොත පුද්ගලයෙකු තුළ සිදුවන චිත්ත ක්‍රියාකාරිත්වයයි. මොළය පිළිබඳ විද්‍යාව විසින් එහි මනෝ විද්‍යාත්මක පදනම විස්තර කරන අතර, සිත යන්නෙන් හඳුන්වනු ලබන්නේ චිත්ත ක්‍රියාකාරිත්වයෙහි මනෝමූල අත්දැකීම් පිළිබඳ පැතිකඩයි. සිතෙහි ක්‍රියාකාරිත්වයෙහි මූලික ස්වභාවය සිත අවශ්‍යයෙන්ම අවුල් කරන්නක්, කෝප ගන්වන්නක් හෝ එවන් අන් කිසිවක් හෝ නොවේ. මූලිකව එ් එ් අවස්ථාවෙහි සිදුවන්නේ මානසික ත්‍රිමාණ රූපයක් ලෙස හැඳින්විය හැකි දෙයක් තුළින් යමක් ඉස්මතු වීමයි. නිදසුනක් ලෙස, භෞතිකව දක්වන්නේ නම්, ෆෝටෝන ඇසට හසුවී එය යම් විදුලිමය ජවන ශක්තියක් බවට හැරවෙන අතර එම ශක්තිය නියුරෝට්‍රාන්මීටරයන් මගින් මොළයට ඇතුලු වේ. මොළය විසින් කෙසේ හෝ එ් තුළින් අභ්‍යන්තර ත්‍රිමාණ රූපයක් නිර්මාණය කරයි. එයට අප යමක් “දැකීම” යයි පවසමු. සැබැවින්ම මකුළුවෙකුගේ හෝ මැස්සෙකුගේ ඇසේ සෛල මගින් සිදුවනවාට වඩා මෙය මිනිස් ඇසක සෛල මගින් සිදුවන විටදී ඉතා වෙනස් සංසිද්ධියක් වේ. එමෙන්ම, “ශබ්ද තරංග” ලෙස හඳුන්වන කම්පනයන් ඇතුළත් එ් හා සමාන ක්‍රියාවලියක් මගින් අපි ඇසීම අත් දකින්නෙමු. මනෝ ත්‍රිමාණ රූප ඕනෑම ඉන්ද්‍රියක් මගින් හෝ සිතිවිලි මගින් පවා නිර්මාණය විය හැක.

ඇසින් රූපයක් දැකීමේදී සිදුවන ක්‍රියාවලිය කැමරාවකට ඇතුලුවන ෆෝටෝන යම් විදුලි ශක්තියක් බවට හැරවී රූපයක් නිර්මාණය කිරීම මෙන් වූවක් නොවේ. එය එසේ නොවන්නේ යමක මනෝ ත්‍රිමාණ රූපයක් ඉස්මතුවීම තුළ යම් “ඥාණමය සම්බන්ධයක්” පවත්නා බැවිනි. ඔබ යමක් පිළිබඳ සිහියෙන් හෝ සිහියෙන් තොරව සිටියද, දැනුවත්ව හෝ නොදැනුවත්ව සිටියද, එහි යම් ඥාණමය අංගයක් පවතී.

මානසික ක්‍රියාකාරිත්වයද පරිගණකයක ක්‍රියාකාරිත්වය මෙන් වූවක් නොවේ. අප මෙම යතුරු ඔබන විටදී යම් විදුලි සංවේදනයක් යන්ත්‍රය තුළට ගමන් කරන අතර යන්ත්‍රය විසින් එය රූපයක් බවට පරිවර්තනය කරන අතරම එය තිරයක් මත දිස්වීම හා ස්පීකරයක හඬක් බවට පරිවර්තනය වීම සිදු වේ. එක් අතකින් පරිගණයක විසින් තොරතුරු පිරිසැකසුම් කරන කෘත්‍රිම ඥාණය හේතුකොට එයට යම්කිසි ඥාණමය දැනුමක් පවත්නා බව අපට ප්‍රකාශ කළ හැකිය. එසේ වුවද, පරිගණකයක් යනු මුළුමනින්ම ජීවී සත්ත්වයෙකු හා සමාන වූවක් නොවේ. මෙයට අමතරව, අපගේ මානසික ක්‍රියාකාරකම් ආශ්‍රිතව අප විසින් යම් මට්ටමක සතුටක් හෝ අසතුටක් අත්දකින අතර පරිගණකයක් එසේ නොවන බැවින්, එනයින්ද අප පරිගණකයකින් වෙනස් වේ. පරිගණකයකට කිසිවක් පිළිබඳ සතුටක් හෝ දුකක් ඇති නොවේ. “අයියෝ, මගේ ඇඟ ඇතුලෙ දෝෂ තත්ත්වයක් ඇති වුණානෙ. රීබූට් වෙච්ච ගමන් මම වැඩ කර කර හිටපු ෆයිල් එක මකල දැම්මනෙ,” ලෙස සිතමින් එ් පිළිබඳ පසුතැවීමක් හෝ දුක් වීමක් එම යන්ත්‍රය විසින් සිදු නොකරයි. එනමුත් පුද්ගලයන් වශයෙන් අපට එවැන්නක් සිදු වුවහොත් බොහෝ දුක් වේදනා දැනිය හැක.

මොහොතින් මොහොත සිදුවන මෙකී මානසික ක්‍රියාකාරිත්වය අපගේ ජීවිත තුළ සෑම මොහොතකම සිදුවන ක්‍රියාවලිය වේ. යම් ආකාරයේ මානසික ත්‍රිමාණ රුවක් ඉස්මතුව එම රූපය සමගින් යම් ආකාර මානසික ගනුදෙනුවක නිරත වන අතර එය යම් මට්ටමක දුකක් හෝ සතුටක් වේ. නිදන අතරේද, එම මානසික ත්‍රිමාණ රුව අඳුර හා සම්බන්ධව පැවතිය හැකි අතර එය හා පවත්නා සම්බන්ධතාවය පිළිබඳ අප එම අවස්ථාවේ නොදැන සිටී. එසේ නමුදු, එම අවස්ථාවේද යම් ප්‍රමාණයක දැනුවත්භාවයක්ද පවතී. නොඑසේ නම් අපට කිසිදින ඔරලෝසු සංඥා හඬ නොඇසෙනු ඇත. මනෝ ත්‍රිමාණ රුව මුළුමනින්ම අක්‍රියව නොමැත. අප නින්දෙහි සිහින නොදකිමින් සිටිනා අතරද යම් ආකාර හැඟීමක්, අවම වශයෙන් සතුට හෝ දුකද නොවන මධ්‍යස්ථ හැඟීමක් හෝ පවතී. අප සිහින දකිමින් සිටින්නේ නම්, එවිට සැබෑ ලෙසම ද්වේෂය, රාගය වැනි සියලු දේ සමගින් යම් ආකාර සතුටුදායක හෝ දුක් සහගත හැඟීමක් පැහැදිලි ලෙසම පැවතිය හැක. එසේ නමුදු මෙකී කෙලෙස් මොහොතින් මොහොතට ක්‍රියාත්මකව ඉදිරියට ගලා යන්නාවූ මෙම සමස්ත ක්‍රියාවලියෙහි ආවශ්‍යක කොටසක් නොවේ.පැහැදිලි ලෙසම අපගේ මානසික ක්‍රියාකාරිත්වයෙහි මූලික පාරිශුද්ධත්වය පිළිබඳ වඩ වඩාත් එ්ත්තු ගැනීම හෙවත් තහවුරු කරගැනීම පිණිස අපට යොමුවිය හැකි ඉතා සංකීර්ණ දිශානතීන් ගණනාවක් වේ. මෙය එ් පිළිබඳ විස්තර කිරීමට අවස්ථාව නොවේ. එනමුදු, එ් පිළිබඳ වඩ වඩාත් සිතන්නට සිතන්නට, අපගේ මානසික ක්‍රියාකාරිත්වයේ අවුල් සහගත හා කැළඹිලිකාරී අන්තර්ගතයන් සියල්ලෙන් මිදිය හැකි බව අපට වඩ වඩාත් තහවුරු වනු ඇත.

අප සිත තුළ ඉස්මතුවූ පසු අපගේ චිත්ත සාමය හා අපගේ ස්වයං පාලනය අහිමි කරන්නාවූ දෙයක් ලෙස කැළඹිලිකාරී හැඟීමක් යන්න අර්ථ නිරූපණය කළ හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප ද්වේෂය, රාගය ආදිය මත පදනම්ව සියලු ආකාරයේ කැළඹිලිකාරී ස්වරූපයන්ගේ බලපෑමට යටත්ව ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස ස්වයං පාලනය අහිමි තත්ත්වයකට පත්ව සිතා බැලීමකින් තොරව අන් අයෙකු හට බැණ අඬ ගැසිය හැක. පසුව අපට අපගේ එම ක්‍රියාව පිළිබඳ පසුතැවීමක් ඇති වේ. කෙසේ වුවද, එමගින් පසුව දුක් වීමට අවශ්‍ය “සෘණාත්මක විභවය” ලෙස හැඳින්වෙන ශක්තිය ගොඩ නංවනු ලබයි.

අපට සැබෑ ලෙසම ගැඹුරින් සලකා බලා අනාගත ගැටලු වළක්වාලීමට අවශ්‍ය වන්නේ නම්, මෙකී සියලු කෙලෙස් හා අවුල් සහගතභාවයන්ගෙන් මිදිය යුතු වේ. එ්වා සිතේ සහජ ස්වභාවයේ හෙවත් මානසික ක්‍රියාකාරිත්වයේ කොටසක් නොවන බැවින් සැබෑ ලෙසම එ්වායින් මිදිය හැකිවේ. මෙයට අමතරව, සෑම අවස්ථාවකම අපතුළ පවත්නා මෙයාකාර මානසික ක්‍රියාකාරිත්වයන් පිළිබඳ වඩ වඩාත් සිතන්නට වුවහොත් මතුවන අපූර්ව ලක්ෂණයක් වනුයේ මානසික ක්‍රියාකාරිත්වයට දේවල් අවබෝධ කරගැනීමට හැකි වීමයි. අපට යමක් වටහාගත හැක. අපට ආදරය, කරුණාව ආදී වෙනත් සාධනීය ගුණාංගද පවත්වාගත හැක. සාධනීය ගුණාංග යනු වඩ වඩාත් සංවර්ධනය කළ හැකි දේවල් වේ.

එසේනම් පවත්නා වෙනස කුමක්ද? ව්‍යාකූල හා කැළඹිලි සහගත පැතිකඩ පදනම් වනුයේ සිතෙහි අවුල් සහගතබව හා සමගය. අවබෝධය වැනි ධනාත්මක පැතිකඩ යථාර්ථය මත පදනම් වේ. ඉතා සරල උදාහරණයක් ගෙනහැර දක්වන්නේ නම්: අවුල් සහගත සිතිවිලි පවත්නා විටදී “මම විශ්වයේ කේන්ද්‍රය වෙමි. වඩාත් වැදගත් තැනැත්තාද මම වෙමි. මම නිරතුරු මට අවශ්‍ය ලෙස කටයුතු කරමි. මම නිතරම අවධානයේ කේන්ද්‍රස්ථානය වෙමි.” ආදී සිතිවිලි ඉස්මතු වේ. එ් අනුව, අප සියල්ලන්ගේ අවධානය දිනා ගන්නා අවධානයේ කේන්ද්‍රස්ථානය නොවන විටදී හා අපට අවශ්‍ය පරිදි සියල්ල සිදු නොවන විටදී අපි කෝප වන්නෙමු. සුනඛයෙකු මෙන් එහිදී අපි “ඔයා එ්ක මට ඕන විදිහට කළේ නෑනෙ” යයි පවසමින් යමෙකු හට බිරීම හෝ ගෙරවීම සිදු කරන්නෙමු. එ් සියල්ල ව්‍යාකූලත්වය මත පදනම්ව සිදු වේ. යථාර්ථය වනුයේ මෙහි අප සියලු දෙනා සමානයන් වශයෙන් සිටිනා බවයි. සියල්ලන් හටම තමාට අවශ්‍ය පරිදි කටයුතු සිදුවීම අවශ්‍ය වුව එය සිදු නොවන්නකි. යථාර්ථය වනුයේ අප විසින් කෙසේ හෝ සියල්ලන් සමගින් ජීවත් වීමට උගත යුතු බවයි. 

සැබෑ නැවතුම්

විමර්ශනය කරන්නට කරන්නට, අපගේ වියවුල් බව නොනවතින්නේය යන්න අප හට වඩ වඩාත් පැහැදිලි වේ. එය ව්‍යාජයකි. අනෙක් අතින්, නිවැරදි අවබෝධය යනු සනාථ කළ හැක්කකි. එය සත්‍යයකි. එබැවින්, අවබෝධය වඩාත් බලවත් වන අතර එයට ව්‍යාකූලත්වය ඉක්මවිය හැක. සමාධිය හා විනය මගින් සියලු අවස්ථාවන්හි නිවැරදි යථාර්ථාවබෝධය පවත්වාගත හැක්කේ නම්, ව්‍යාකූලත්වයට ඉන් පසු කිසිදින නැගී සිටීමේ අවස්ථාව නොලැබෙනු ඇත. එය අවසන් වනු ඇත.

මෙය පිහිට හෙවත් සරණ සම්බන්ධ ප්‍රධාන කාරණයයි. අප අපගේ ජීවිතය යොමු කරනුයේ කවර දිශාවකටද? එහි ගැබ්ව ඇති අර්ථය කුමක්ද? අප ළඟා කරගැනීමට උත්සාහ කරන අරමුණ කුමක්ද? එම අරමුණ නම් මෙකී සමස්ත ව්‍යාකූලත්වය “සැබෑ ලෙසම නතර කරලීමයි”, එය මින්මතු කිසිදින නැවත ඉස්මතු නොවන ලෙස ඉන් නිදහස් වීමයි. අප අපගේ වර්තමාන ජීවිතය පිළිබඳව හෝ මතු ජීවිත පිළිබඳ සලකා බැලුවද අපගේ ගැටලුවල සැබෑ හේතුව මෙම ව්‍යාකූලත්වයයි.  එය අපගේ මානසික ක්‍රියාකාරිත්වයෙහි සහජ ලක්ෂණයක් නොවන බැවින් ඉන් මුළුමනින්ම, සදාකාලිකව නිදහස් වීමේ හැකියාව පවතී. නිවැරදි අවබෝධයට එ් තැන ලබාදීම මගින් ඉන් නිදහස් විය හැක. මෙම ව්‍යාකූලත්වයෙන් මිදුනු පසු අප තුළ තවදුරටත් කෙලෙස් නොපවතිනු ඇති අතර, ඉන්පසු අප කෙරෙහිම තවදුරටත් ගැටලු හා දුක් ඇති නොකරනු ඇත.

මේ හා සම්බන්ධ පැතිකඩයන් දෙකකි. එක් පැතිකඩයක් නම් අපහට සදාකාලිකව මෙකී කැළඹිලිකාරී අංශයෙන් නිදහස් විය හැකිවීම වන අතර, අනෙක් පාර්ශ්වය නම් අපට ධනාත්මක හෙවත් සුභවාදී අංශය වර්ධනය කොට ගොඩනැංවිය හැකි බවයි. සුභවාදී අංශය නිවැරදි අවබෝධයයි. සාමාන්‍යයෙන් “චතුරාර්ය සත්‍යය” හෝ බුදුන් වහන්සේ දේශනා කළ ප්‍රධාන තේමාව හෝ ව්‍යුහය ලෙස පරිවර්තනය කෙරෙන සංකල්ප සන්දර්භය තුළ අපට මෙය බහාලිය හැක. පළමු සත්‍යය වනුයේ අප මුහුණ දී සිටින විවිධාකාර වූ ගැටලු හා සම්බන්ධව පවත්නා සැබෑ දුක් සහගත භාවයයි. ඊළඟ කරුණ නම් එහි සැබෑ හේතු හෙවත් අපගේ ව්‍යාකූලත්වයයි. තෙවැන්න නම් මේ සියල්ල නැවත ඉස්මතු නොවන ලෙස නවතාලීමේ ඉම සාක්ෂාත් කරගත හැකි බවයි. අවසන් වශයෙන් අප “සත්‍ය මාර්ගයක්” ලෙස හැඳින්වෙන මාර්ගය අනුගමනය කිරීම තුළ එම සැබෑ නතර කරලීම සාක්ෂාත් කරගන්නා බවයි. එනමුදු “මාර්ගය” නමැති මෙම වදන භාවිතය මගින් අප විසින් අවබෝධ කරගත යුත්තේ එය “ක්‍රියාවන් මාර්ගයක් ලෙස අවබෝධ කරගැනීමේ විධික්‍රමයක්” ලෙසයි. සියලු කැළඹිලිකාරී අංගයන්ගෙන් නිදහස්වීමෙන් ඇතිවන අවබෝධය හෙවත් මෙම සැබෑ නවතාලීම ඇති වනුයේ එම අවබෝධය තුළිනි.

පැහැදිලිවම අප විසින් සැබෑ නැවතුම් හා සැබෑ මාර්ගගත චිත්තයන් සහිත දිශාව වූ මෙම දිශානතියට අපගේ දිවිය හරවාලිය යුතුය. මෙයයි ධර්මයේ සරණ. අප විසින් අප උදෙසා කටයුතු කරන්නේය යන්න තුළින් අදහස් කෙරෙනුයේ මෙයයි.

අපි මෙම කැළඹිලිකාරී පාර්ශ්වයෙන් නිදහස් වීමටද, මෙම සුභවාදී පාර්ශ්වය කරා ප්‍රවේශ වීමේ හැකියාවන් අවබෝධ කරගැනීමටද වඩ වඩාත් උත්සාහ කරන්නෙමු. අප මෙසේ කටයුතු කරන්නේ අප දැනට සිටින ආකාරයෙන් නොකඩවා කටයුතු කරන්නට වුවහොත්, වඩ වඩාත් මුදල් රැස් කරන්නට වුවහොත් හා වඩ වඩාත් මිතුරු සංගම් ඇතිකරගන්නට වුවහොත් සහ එතුළින් වඩ වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නට වුවහොත්, එමගින්ද ගැටලු ඇතිවන්නේය යන අවබෝධාත්මක බිය හේතුවෙනි. මෙය එසේ වනුයේ අපි තවදුරටත් ලෝභී හා අනාරක්ෂිත පුද්ගලයන් වන බැවිනි. නොකඩවා ද්වේෂ ගිනි ආදියෙන් පෙළෙන්නන් වන බැවිනි. අපි එයට බිය වන නමුදු, දැන් එය වැළැක්විය හැකි මාර්ගයක් පවතී. එය ගින්නට හසුවන්නට ගොස් බියවී සිටින මොහොතක ප්‍රවේශම්කාරීව කටයුතු කිරීම මගින් ඉන් මිදීමේ මගක් දැකීම හා සමාන තත්ත්වයකි. බියක් පවත්නා නමුදු මෙහිදී පවත්නේ පැවතිය යුතු හා ඔබගේ සුවසෙත සලසන්නාවූ බියකි. එය හුදු මතිභ්‍රමයක් නොවේ.

විශේෂයෙන් අපගේ ඥාතීන්, මිතුරන් කෙරෙහි කෝපව කෑ ගසමින් නිරතුරු කෝප සිතින් පසුවුවහොත් වයෝවෘද්ධ අවධියේදී අපට කුමක් සිදුවේද? මහා කරදරකාරයෙකුය යන හැඟීමෙන් කිසිවෙකු හෝ ළං නොවන මහල්ලෙකු හෝ මැහැලියක ලෙස හුදෙකලා දිවියක් ගෙවීමට අපට සිදුවනු ඇත. මක් නිසාද, අප සමග ගැවසීම මහත් හිසරදයක් වන බැවින් කිසිවෙකු හෝ අප රැකබලා ගැනීමට ඉදිරිපත් නොවන බැවිනි. නිරන්තරයෙන් අනුන්ට බැණ වදිමින් නිරතුරු මැසිවිලි නගමින් සිටින්නේ නම් කිසිවෙකුට හෝ අප ප්‍රිය නොවනු ඇත. හුදෙක් අප රැකබලා ගැනීමේ වගකීම කරට ගන්නාවූ බොහෝ දූ දරුවන් ඇතිකර ගැනීම හෝ සුව පහසු සාත්තු සේවා නිවස්නයක රැඳීමට හැකිවන පරිදි ප්‍රමාණවත් පරිදි මුදල් තැන්පත් කොට තබාගැනීමද මේ සඳහා වූ විසඳුම නොවන්නේ එසේ වුවද අප තවදුරටත් දුක්ඛිත තත්ත්වයෙන් නොමිදෙන බැවිනි. ඉතා පැහැදිලි භාෂාවෙන් පවසන්නේ නම්, අප විසින් සැබෑ ලෙසම කළ යුත්තේ අපගේ පෞරුෂයන් ගොඩනංවා ගැනීමයි.

සැමට වෙනස්විය හැක

අපගේ පෞරුෂයන් ස්ථාවරව පවත්නා අතර මෙය අපගේ ස්වභාවයය යන්න නිතර අප විසින් සිහි කරන්නකි. “මට හරියට කේන්ති යනවා. ඔයා එ්කට හැඩ ගැහෙනව නම් හොඳයි” ආදී ලෙස ඉල්ලීම් කළද එය එසේ සිදු වන්නේද? මෙම සමස්ත කැළඹිලිකාරී පාර්ශ්වයෙන් මිදී අපගේ සියලු යහපත් ගුණාංග අවබෝධ කරගැනීම යහපත්ය. අප අපගේ යහපත උදෙසා කටයුතු නොකරන්නේ නම් කවරක් සිදුවනු ඇත්ද යන සුභවාදී බිය ද සමගින් මේ සියලු කැළඹිලිකාරී පැතිකඩයන්ගෙන් නිදහස් විය හැකි අතර ධනාත්මක ලක්ෂණ වර්ධනය කොට ශක්තිමත් කරගත හැක්කේය යන ආත්ම විශ්වාසයද සහිතව අපි අපගේ ජීවිතය මෙම ආරක්ෂිත දිශානතියට යොමු කරන්නෙමු.

මෙය “මහායාන” සම්ප්‍රදායට අනුකූලව සිදු කිරීමට අදහස් කරන්නේ නම්, අපට මේ සඳහා කරුණාව එක්කළ හැක. මූලිකව මහායාන අදහස වනුයේ අප කිසිවෙකු සමග හෝ ද්වේෂයෙන් පසුවන්නේ නම් ඔවුනට උපකාර කරන්නේ කෙසේද යන්නයි. අපට සැබෑ ලෙසම සෙස්සනට උපකාරී වීමට අවශ්‍ය වන අතර සැබැවින්ම ඔවුන් සමග ද්වේෂ, ලෝභ හෝ ඊර්ෂ්‍යා සහගත සහ එවන් අන් සියලු සිත්ද ඇතිකර ගැනීමෙන් සම්පූර්ණ අරමුණ අවුල් කරගනු ඇතැයි බියක් පවතී. අන්‍යයන් වෙත වඩාත් හොඳින් උපකාර කරනු පිණිස මේ සියලු කෙලෙස් සිතිවිලිවලින් මිදිය යුතු වෙමු. මෙහි පවත්නේ අන්‍යයන් හට උපකාරී වීමට සැබෑ කැමැත්තක් පවතින නමුත් අපට සැලකිය යුතු යම් කිසිවක් කළ නොහැකි වනු ඇතැයි යන බියයි. අපගේ ඉවසීම හෝ අවබෝධය ප්‍රමාණවත් නොවනු ඇතැයි යන බියයි. යහපතට වඩා හානියක් අප අතින් සිදුවනු ඇතැයි පවත්නා බියයි. අපගේම දරුවන් රැකබලා ගැනීම අතින්ද අප අසාර්ථක වනු ඇතැයි යන බියකින් පවා ඇතැම් විට අපි පෙළෙන්නෙමු. එය ඉතා භයංකර දෙයකි. එම බිය මගිනි අපගේම සුවසෙත උදෙසා කටයුතු කිරීමේ ආරක්ෂාකාරී දිශාව කරා අප මෙහෙයවනු ලබන්නේ.

සත්‍ය වශයෙන්ම මෙම ධර්ම කටයුතු අපගේ එදිනෙදා ජීවිතයට ඉතාමත් අදාළ වේ. සරණ සම්බන්ධයෙන් සලකා බලන කල, ඉන් අදහස් වන්නේ අපගේ තත්ත්වය හා ගැටලු පිළිබඳව ඉතා අවංක වීමයි. එ් සියල්ල අප සතු වේ. අප සියල්ලන් සතුව මේ කෙලෙස් පවතී. එය කිසිසේත් විශේෂ වූවක් නොවේ. ඇතැම් විට සියලු විවිධත්වයන්ද සහිතව ඇතැම්වා සෙසු එ්වාට වඩා බලවත් වන නමුත් අප සියල්ලන් සතුව මෙකී භාවමය දුෂ්කරතා පවතී. මෙහිදී සලකා බැලෙන්නේ තදබල මානසික කැළඹීමකට පත් පුද්ගලයෙකු පිළිබඳව නොව, බොහෝ අය විසින් සාමාන්‍ය තත්ත්වයේ අය ලෙස සලකන්නන් පිළිබඳවය. මෙහි පවත්නා අනතුර වනුයේ ඇතැම් අවස්ථාවන්හි අප කෝපවන අතර, ඇතැම් අවස්ථාවල ලෝභ හා ආත්මාර්ථකාමීද, ඊර්ෂ්‍යා සහගතද ආදී වූ හැඟීම්වලින් පෙළෙන තත්ත්වයද සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකීමයි. එනමුත් සැබෑ ලෙසම එය සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මක්නිසාද, එමගින් අප වෙත මෙන්ම අප විසින් උපකාර කිරීමට අදහස් කරන අය වෙතද ගැටලු නිර්මාණය කරන බැවිනි.

අපගේ අරමුණ හුදෙක් අභ්‍යන්තරයෙන් පැසවමින් පවත්නා අපගේ ද්වේෂ සිතිවිලි සමගින් ජීවත්වන ආකාරය හෝ එය පාලනය කරගන්නා ආකාරය ඉගෙනීම නොවේ. අපගේ අරමුණ වනුයේ හුදෙක් එය දුර්වල කිරීමද නොව, මෙම කැළඹිලිකාරී දේවලින් මුළුමනින්ම නිදහස් වීමයි. අපට හුදෙක් ඇතැම් අවස්ථාවන්හි සුළු අවබෝධයක් ඇතිකර ගැනීමේ තත්ත්වයක් නොව අවශ්‍ය වන්නේ යථාර්ථය පිළිබඳ පූර්ණ අවබෝධයකි: අපගේ පැවැත්ම කවරාකාරද, සියල්ලන්ගේ පැවැත්ම කවරාකාරද, ලෝකයේ පැවැත්ම කවරාකාරද  ආදී වශයෙන් වූ සියලු අවබෝධයන් සැම කල්හිම පවත්වාගෙන යාමටය. මානසික ක්‍රියාකාරිත්වයේ ස්වභාවය මූලික වශයෙන් පවිත්‍ර වන අතර සියලු යහපත් ගුණාංග ගොඩ නැංවීමේ හැකියාවද පවත්නා බැවින් එය එකහෙලා සිදුකළ හැක්කකි.

බුදුවරයෙකුගේ මට්ටමට අදාල පැහැදිලි යහපත් ගුණාංග

ආරක්ෂිත දිශානතිය හෙවත් සරණ දක්වන ද්‍රව්‍ය පිළිබඳ කථා කරන විටදී අප කථා කරනුයේ බුද්ධ, ධම්ම හා සංඝ යන තිසරණය පිළිබඳවය. මෙම තිසරණය අවබෝධ කරගැනීමේ මට්ටම් ගණනාවක් පවතී: එ් එක එකක පැහැදිලි මට්ටමක්, ගැඹුරුම මට්ටමක් හා එ්වා නියෝජනය කරන යම් කිසිවක්ද පවතී. එ් එක එකක පැහැදිලි මට්ටමෙහි පවත්නා යහ ගුණ පළමුව සලකා බලමු.

බුදුන්ගේ ශරීරය සුවිශේෂී ශාරීරික ගුණාංගයන්ගෙන් හා සුවිශේෂී ලක්ෂණයන්ගෙන් සමන්විත වේ. නිදසුනක් ලෙස බුදුවරුන් හට ක්ෂණිකව ඕනෑම ස්ථානයකට ගමන් කිරීමේ, අනන්ත ස්වරූපයන්ගෙන් පෙනී සිටීමේ, එකම අවස්ථාවේ සෑම තැන්හිම පෙනී සිටීමේ ආදී හැකියාවන් පවතී. එ් සියල්ල මනහ්කල්පිත හා විශ්වාස කිරීමට අපහසු එ්වා වේ. මෙයට අමතරව, බුදුවරයෙකු කථා කරන විටදී, සෑම අයෙකු හටම එය සිය භාෂාවෙන් අවබෝධවන අතර, අසන්නා සිටින දුර ප්‍රමාණය නොසලකා එක ලෙස පැහැදිලිව එම දේශනා ශ්‍රවණය වේ. එයටද වඩා, බුදුවරයෙකු යනු සියල්ලන් වෙත සමසේ ප්‍රේම කරන්නාවූ සියල්ල දත් හා අවබෝධ කරගත් අයෙකි.

නැවතද ප්‍රකාශ කළ යුත්තේ මේ සියල්ල මනහ්කල්පිතයන් ලෙස හැ‌ඟෙන අතර විශ්වාස කිරීම අපහසු බවයි. බුදුවරයෙකු පිළිබඳව මෙම මානසික මට්ටමේ නැවතී සිටීමට සිදුවුවහොත් වැරදි අදහසක් සිත්තුළ පැලපදියම් වීමේ ප්‍රබල අවදානමක්ද පවතී. මින් දෙවි කෙනෙකු මෙන් මනහ්කල්පිත හා සියල්ල ඉක්මවූ අති ශ්‍රේෂ්ඨ බලවේගයක් කරා යාමේ දිශානතියක් ගන්නේද යන සැකයක් ඇතිවේ. නමුත් මෙහිදී සියල්ල දත් යන්නෙහි අදහස ,නිදසුනක් ලෙස, බුදුන් වහන්සේ ලොව සියල්ලන්ගේ දුරකථන අංක දන්නා බව නොව උන් වහන්සේ සෑම පුද්ගලයෙකුගේම පවත්නා තත්ත්වයට හේතු භූතවූ කරුණු අතීතයට ගොස් ඉස්මතු කිරීමේ හා එයට බලපාන්නාවූ සියලු කරුණු අනාවරණය කිරීමේ හැකියාවෙන් සමන්විත වන්නේය යන්නයි. බුදුන් වහන්සේ යමක් යම් පුද්ගලයෙකු හට දේශනා කරන විටදී, එසේ දේශනා කරනුයේ එහි පල විපාකය පිළිබඳව දැනුවත්භාවයකින් යුක්තවය. එය හුදෙක් දේශනය ශ්‍රවණය කරන නිශ්චිත පුද්ගලයා මත එමගින් ඇතිකරන බලපෑම පමණක් නොව, එම පුද්ගලයා හා ගනුදෙනු කරනු ඇත්තාවූ සියලු පුද්ගලයන් මතද ඇති කෙරෙන බලපෑමද පිළිබඳ දැනුවත්භාවයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බුදුවරයෙකු නිශ්චිතවම සෑම අයෙකු හටම දේශනා කිරීමේ වඩාත් යහපත් ක්‍රමය දැන සිටී. එය ඉතා යහපත් නොවන්නේද? එසේ සිදු කළ හැක්කේ නම් එය සැබැවින්ම යහපත් තත්ත්වයකි.

අපට උපකාර කිරීම සඳහා සිදුකළ යුතු වඩාත්ම යහපත් දෙය කවරක්ද යන්න බුදුවරයෙකු විසින් අවබෝධ කරගෙන ඇත්තේය යන විශ්වාසය අප සතුය. බුදුන් වහන්සේ මාගේ භාෂාව කථා කරන අතර මා හට අවශ්‍යවන ඕනෑම අවස්ථාවක මා වෙත වහා පැමිණිය හැක්කෙකි. බුදුන් වහන්සේ දෙවි කෙනෙකු ලෙස සිතීමේ දිශාවට ගමන් කරන්නේ නම්, එය යම් තරමක් දුරට පුද්ගලික සංකල්පනාවක් වේ. එය “උන් වහන්සේ මට පුද්ගලිකව උපකාර කරාවි. උන් වහන්සේ මාව තේරුම් ගනීමි. කාටවත් මාව අවබෝධ වෙන්නෙ නෑ. එ්ත් බුදුරජාණන් වහන්සේ තේරුම් ගනීවි” ලෙස වූ සංකල්පනාවකි. එනමුදු බුදුවරයෙකු සියල්ලන් වෙත සම මෙතින් කටයුතු කරන බව අපි දන්නෙමු. “හොඳයි. උන් වහන්සේ අනික් අයට වඩා මට ආදරය කරනවා නම් වඩාත් හොඳයි. එ් වුණත් කමක් නෑ ඉතිං”. බුදුවරයෙකුගේ ප්‍රේමය සියල්ලන් වෙත සමසිත් ඇත්තක් වන නමුදු එහි ඇති සුවිශේෂත්වය වනුයේ එම සම මෙත් සිත අපගේ ක්‍රියාව මත වෙනස් නොවන්නක් වීමයි. බුදුන් වහන්සේ වෙත අයැදීම හෝ පුද පූජා පැවැත්වීම සිදු නොවුවද බුදුන් වහන්සේ ඔබ වෙත පිහිට වනු ඇත. එබැවින් මෙය පහසුවෙන් ලබාගත හැක්කකි. මිලක් නියම නොකෙරෙන්නකි. එසේ නම් එය කෙතරම් වාසි සහගතද? මෙයටද අමතරව, බුදුන්ගේ ඉවසීම සීමා රහිත බැවින්, වෙනත් සම්ප්‍රදායක වෙනත් ගුරුවරයෙකු වෙත ගියද බුදුන් වහන්සේ අප කෙරෙහි කිසිදින ඊර්ෂ්‍යා සහගතව නොසිතන අතර, කෝපව අකුණු සැර වැනි යමකින් ප්‍රහාර එල්ල කිරීමක් සිදු නොකරනු ඇත. එබැවින් මෙහි ආරක්ෂිත බවක්ද පවතී.

මෙය දැනුවත්ව හෝ නොදැනුවත්ව අප විසින් සිදුකරනු ලබන පොදු අත් වැරැද්දකි. අපි දේව ආදේශකයෙකු ලෙස බුදුන් සලකමින් මෙසේ වඩාත් ආරක්ෂිත බැවින් උන් වහන්සේ තෝරා ගන්නෙමු. මක්නිසාද දේශනා තුළ බුදුන් වහන්සේ කිසිදින ඔබ කළකිරවන ආකාරයෙන් කටයුතු නොකරන්නේය වැනි හැඟීම් හේතුවෙනි. එයද යහපත් බව පෙනේ. එසේ නමුදු, බුදුවරයෙකු හට සැබැවින්ම අපගේ පාදයේ ඇනුනු කටුවක් ඇද ඉවත් කරන්නාක් මෙන් අපගේ දුක උදුරා ඉවත් කළ නොහැකි බවද කියවා තිබෙන්නට පුළුවන. බුදුවරු සර්ව බලධාරීහූ නොවෙති. එනමුදු එයද අප විසින් එතරම් බරපතලව ගණන් නොගනී. එය බුදුවරයෙකුගේ පැහැදිලි මට්ටමයි; එනම් බුදුවරයෙකු පිළිබඳව පොදුවේ කල්පනා කරන ආකාරයයි. වඩා ගැඹුරු අවබෝධයකින් තොරව එම කරුණ එම මට්ටමේ පවත්වාගැනීම තුළ බුදුන් වහන්සේ අප මුදවාගනු ඇත්තාවූ පුද්ගලික දේව ආදේශකයෙකු ලෙස සැලකීමේ අවදානමද පවතී.

පිළිම හා සිතුවම් මගිනි බුදුවරුන් පිළිබඳ අදහස පෙන්නුම් කරනුයේ. උන් වහන්සේලා සිත් ගන්නාසුළු පෙනුමෙන් යුතු වුවද, එමගින් අපි එය සම්මත ක්‍රිස්තියානි සංකේතයක් හා මුහු කරන්නෙමුද? එ් කවරක්ද? මුස්ලිම් භක්තියකන් චෝදනා කරන පරිදි අපිද පිළිම වන්දනාවේ යෙදෙන්නෙමුද? මෙහි සැබෑ ලෙසම සිදුවන්නේ කවරක්ද? අපි සත්‍ය වශයෙන්ම ප්‍රතිමාවක් ඉදිරියේ නමස්කාර කළ යුතුද? බුදුවරයෙකු පිළිබඳ අපගේ අවබෝධය මෙම මට්ටමෙහි නතර කරන්නේ නම් එ් මගින් ගැටලු ඇති කරන්නේය යන්න මාගේ අදහසයි. මෙහි අනවබෝධයන් ඇතිවීමේ අවස්ථා පවතී. එනමුදු ඇතැමුන් හට මේ ලෙස බුදුවරයෙකු පිළිබඳ කල්පනා කිරීම පැහැදිලිවම ප්‍රයෝජනවත් විය හැකි නමුදු එය ගැඹුරුම අවබෝධය නොවේ. මේ මට්ටමේදී සිදුවනුයේ ප්‍රතිමා සිතුවම් මගින් නියෝජනය කෙරෙන දෙවියෙකු මෙන් වූ රූපයක් පවත්නා අතර අප විසින් එ්වා වන්දනය කිරීමයි.

 ධර්මයේ පැහැදිලි මට්ටමෙහි පවත්නා යහගුණ

සියලු දේශනා ධර්මයෙහි පැහැදිලි මට්ටම වේ. බුදුන් වහන්සේ තමා තුළම අවබෝධ කොටගත්තේද උන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේද මෙයයි. අපට අපගේ පෞද්ගලික දෙවියන් වූ බුදුරජාණන් වහන්සේ සිටින අතර ධර්ම ග්‍රන්ථද පවත්නේය යන්න මෙය අවබෝධ කරගැනීමේ පොදු සාමාන්‍ය මට්ටමයි. බයිබලය හෝ කුරානය වෙනුවට දැන් මා සතුව බෞද්ධ ග්‍රන්ථ පවතී. එය මාගේ බෞද්ධ බයිබලය මෙන් වන අතර එහි සෑම වචනයක්ම පූජනීය එ්වා සේ සලකමු. සැබැවින්ම අප තුළ එ් පිළිබඳ ගෞරවයක් පැවතිය යුතු වුවද, බුදුන් වහන්සේගේම දේශනා තුළ උන් වහන්සේගේ වදනින් ගෙනහැර දක්වන්නේ නම්: “මා දේශනා කළ හෙයින්ම හෝ ගෞරවය හේතුවෙන්ම හෝ මා දේශනා කළ කිසිවක් විශ්වාස නොකරන්න. රත්‍රන් මිලදී ගන්නා සේ එය ඔබ විසින්ම පරීක්ෂාකර බලන්න”. බුදුන් වහන්සේ විසින් නිරතුරු තමන් වහන්සේගේ දේශනාවන් පිළිබඳ විමසා බලන ලෙස සිය අනුගාමිකයන් දිරිමත් කරන ලදී. එනමුදු කම්මැලි, කුසීත බවින් පසුවන විටදී අපට සියල්ල විමසා බැලීමට හෝ විග්‍රහ කර බැලීමට අවශ්‍ය නොවේ. එදිනෙදා ජීවිතය දෙස හැරී බලන්නේ නම්, මේ මට්ටමේදී අපගේ ජීවිතයට මෙය අදාළ වනුයේ බුදුන් වහන්සේ අපට ප්‍රේම කරන බව, උන් වහන්සේ අප පිළිබඳ අවබෝධයෙන් පසුවන බව හා ශුද්ධ වූ පුස්තකයෙහි පවත්නා සියලු නියමයන් අප විසින් හුදෙක් අනුගමනය කරන බව ආදී ලෙස පමණි. සත්‍ය වශයෙන්ම දෛනික ජීවිතයේදී එහිද යම් වැදගත්කමක් පැවතියද, මෙය සැබෑ බුදු දහම නොවේ. එය ඇතැමුන් කෙරෙහි සාර්ථක වුවද, සැබෑ අපේක්ෂාව විය යුත්තේ බුදු දහම කිතු දහමේ තවත් සංස්කරණයක් බවට පත් කිරීම නොවේ.

සංඝයා වහන්සේගේ පැහැදිලිව පවත්නා යහගුණ

එසේ නම් සංඝයා වහන්සේ සම්බන්ධ තත්ත්වය කුමක්ද? අවාසනාවකට මෙන් බටහිර රටවල ජීවත්වන අපි පුරුද්දක් ලෙස අප යන එන ධර්ම මධ්‍යස්ථානයන්හි සියලු සාමාජිකයන් අපගේ “සංඝයා වහන්සේ” ලෙස හඳුන්වන්නෙමු. සංස්කෘත හෝ තිබ්බත භාෂාවෙන් යෙදෙන මෙම වචනයෙන් සැබැවින්ම අර්ථවත් කෙරෙනුයේ එය නොවේ. එසේ නමුදු බොහෝ අය හට “සංඝයා වහන්සේ” යන්නෙන් හුදෙක් අදහස් වනුයේ අපගේ බැතිමතුන් පිරිසේ හෙවත් අපගේ බෞද්ධ පල්ලියේ සාමාජිකයන් වේ. මෙම සාමාජිකයන්ගෙන් ඇතැමෙක් ඉතාමත් චිත්ත කැළඹිලි සහිත අය වන විටදී අපි සැබැවින්ම ඔවුන් සරණ යන්නෙමුද? මෙහිදී අපට යම් සහායක් යම් ප්‍රතිපෝෂකයන් ආදිය ලබාදිය හැකි, එකම අරමුණක ගමන් ගන්නාවූ සමාන අදහස් සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ආධ්‍යාත්මික සමාජයක් පවත්වාගෙන යාමේ වැදගත්කම සැහැල්ලු කිරීමට අදහස් නොකරමි. මෙය ඉතාමත් වැදගත් නමුත් එය සරණ හෝ පිහිට සම්බන්ධ විෂයයක් නොවේ.

සංඝයා වහන්සේ සම්බන්ධ තවත් මට්ටමකදී එය අපට බෞද්ධ භික්ෂු භික්ෂුණීන්ගෙන් සැදුම්ලත් යෝගී සමාජයක් වශයෙන්ද අවබෝධ කරගත හැක. එසේ නමුදු, නැවතද, අප හට සර්ව සම්පූර්ණ භික්ෂූන් හෝ භික්ෂුණීන් පිළිබඳ උදාහරණ හමු නොවේ. චීවරධාරී නමුදු බොහෝ සෙයින් චිත්ත කැළඹිලි සහිත අය වෙති. එසේ වුවද, යෝගීන් වශයෙන් කටයුතු කරමින් තමා තුළ යම් ප්‍රගතියක් ඇතිකර ගැනීමේ අවංක අදහසින් ඔවුන් කටයුතු කරන්නේ නම් ඔවුනට ගෞරවාන්විතව හා සහයෝගීව කටයුතු කිරීමද ඉතා වැදගත් වේ. එසේ වුවද, ඇතැම් භික්ෂු භික්ෂුණීන් ජීවිතයේ දුෂ්කරතාවයන්ගෙන් පලා යාමට හෙවත්, මාගේ එක් මිතුරකු විසින් ප්‍රකාශ කරන ලද පරිදි, රැකියාවක් නොකර ආහාර සපයා ගැනීම පිණිස සිවුරු දරති.

සංඝයාගේ තවත් මට්ටමක්ද පවතී. චෙන්රෂිග්, තාරා, මංජුශ්‍රි ආදී වශයෙන් අප අසා ඇති “තන්ත්‍ර දේවතාවන්” ලෙස හැඳින්වෙන අය සැබෑ ලෙසම සංඝයා වහන්සේ වන බව මෙම තන්ත්‍ර ගුරුවරුන් වෙතින් අපට අසාගත හැක. එ් අනුව අප විසින් අප මුදාගන්නා ලෙස ශුද්ධවූ මව්තුමිය හෝ ශාන්ත තාරාතුමිය වෙත යාඥා කළ හැක. සැබැවින්ම මවිසින් හඳුනාගන්නා පරිදි මෙම බෞද්ධ චරිත හෙවත් මෙකී ඊනියා දේවතාවන් කිසි විටෙක හෝ අතරමැදියන් වී බුදුන් නමැති දෙවියන් වෙත අප සමීප කරවන්නාවූ ශාන්තුවරයන් නොවේ.

බුද්ධ, ධර්ම හා සංඝ යන්නෙහි ගැඹුරුම අර්ථය

බුද්ධ, ධර්ම හා සංඝ යන ත්‍රිත්වයෙහි ගැඹුරුම අර්ථය විමසා බලන්නේ නම්, ධර්මයෙහි ගැඹුරුම අර්ථය මේ සියලු ව්‍යාකූලත්වයන් සැබෑ ලෙස නවතාලමින් මානසික සන්තතියක පවත්නා මනෝ මාර්ග සැබෑ ලෙස අවබෝධ කරගැනීමයි. එයයි සැබෑ දහම. එයයි අපගේම මානසික අඛන්ඩතාව හෙවත් සන්තතිය තුළ එම අවබෝධය සාක්ෂාත් කරගතහොත් අප දුකින් ආරක්ෂා කරනු ඇත්තේ. සියලු ආකාර ව්‍යාකූලත්වයන්, කෙලෙස්, ආකල්ප හා ගැටලු ඉවත්ව සියලු ආකාර අවබෝධයන් මුළුමනින්ම සාක්ෂාත් කරගනිමින් අපට මෙම සාර්ථකත්වය අත්පත් කරගත හැක. බුදුවරු යනු මෙම තත්ත්වය මුළුමනින්ම අවබෝධ කොටගෙන අපටද එය සාක්ෂාත් කරගත හැකි ආකාරය ඉගැන්වූ උතුමෝ වෙති. සංඝ යන්නෙන් සැබෑ ලෙසම අදහස් වනුයේ  මෙකී සැබෑ නවතාලීම් හා සැබෑ අවබෝධයන් මුළුමනින්ම නොවුවද යම් මට්ටමකින් සාක්ෂාත් කරගත් ඉතා ඉහළ අවබෝධයක් සහිත උසස් මට්ටමින් මාර්ගය පිළිපදින්නාවූ “ආර්ය සංඝ රත්නයයි”. මෙහිදී සැබෑ ලෙසම අප විසින් මිදිය යුතු ව්‍යාකූලත්වයේ බොහෝ මට්ටම් හා තත්ත්වයන්ද, එ්වාට ප්‍රතිවිරුද්ධ වු අවබෝධයේ ක්‍රමිකව වර්ධනය වන වඩා බලවත් මට්ටම් බොහෝමයක්ද පවත්නා බව ඔබට වැටහෙනු ඇත. එ්වායින් මිදීමේ ක්‍රියාවලිය අදියරෙන් අදියර ඉදිරියට ගමන් කරන්නකි. ආර්ය සංඝ රත්නය යනු එ් සියල්ලෙන් යම් මට්ටමකට විනා මුළුමනින්ම මිදීමේ මට්ටම මේ දක්වාද සාක්ෂාත් කර නොගත් පිරිසක් වන අතර, එම පිරිසද එම මාර්ගයෙහි ගමන් කරන්නෝ වෙති.

බුදුවරුන් හා අතීත‌යේ විසූ මෙන්ම දැනුදු ඇතැම් විට වාසය කරන්නාවූ මහා ඉන්දියානු හා තිබ්බතීය ගුරුවරුන් අතර එන ආර්ය සංඝ රත්නය ඉතා චිත්තාකර්ශනීය වේ. මෙමගින් අප තුළ බොහෝ අපේක්ෂා දන්වනු ලබයි. අති පූජනීය දලයි ලාමා වහන්සේ වැනි අප සිත් ප්‍රබෝධ කරන්නාවූ අයෙකු අපට දකින්නට ලැබෙයි. උන් වහන්සේ මෙම තත්ත්වයට පත්වූයේ කෙසේද? එය සිදුකරන ලද්දේ ධර්මය මගිනි. උන් වහන්සේ බුද්ධත්වයට හෙවත් අර්හත්වයට පත්ව ඇත්තේද, නොමැත්තේද යන්න මෙහිලා අදාල නොවේ. අපටද උන් වහන්සේගේ තත්ත්වයට පත්වන්නට හැකිනම්, එය ආශ්චර්යමත් කරුණක් වනු ඇත. ධර්ම ක්ෂේත්‍රයෙහි ඕනෑම දෙයක් දේශනා කිරීමේ උන් වහන්සේගේ හැකියාව හෝ ඕනෑම ගුරුවර පිරිසක් අතරින් උන් වහන්සේ වඩාත්ම ප්‍රවීනත්වය ලබා ඇති, වඩාත් උගත් හා ගැඹුරුම අවබෝධයක් සහිත උතුමන්ය යන කරුණු පිළිබඳව මම මෙහිදී කථා නොකරමි. උන් වහන්සේගේ දින චරියාව, අන්‍යයන් වෙත ධර්මය දේශනා කරමින් ලොව වටා නිරන්තරයෙන් සිදු කරන සාංචාරයන් ආදියද මෙහිදී අදාළ නොවේ. එ් සියල්ලටම ඉහළින් උන් වහන්සේ චීනයේ අංක එකේ සතුරා බවට පත්වීම සලකා බලන්න. බිලියනයකට වැඩි ජනතාවක් ඔබ පිළිබඳව යක්ෂයෙකු ලෙස සිතමින් ඔබගේ ජනතාව වෙත කළ හැකි සියලු ආකාර හානි සිදුකරන විටදීත් ඔවුන් වෙත ප්‍රේමය හා කරුණාව පැතිරවීමේ හැකියාව පිළිබඳව සිතාගත හැකිද? උන් වහන්සේ කිසිදු සිත් අවුලකින් තොරව තමාගේ සියලු කටයුතු නිදුක් හා සාමකාමී මනසක් සහිතව සිදුකරති. එය විශ්වාස නොකළ හැකි තත්ත්වයක් නොවන්නේද? මෙකී කෙලෙස්වලින් මිදී අවබෝධය ලබා නොමැත්තේ නම් මෙම කවර තත්ත්වයක් හෝ අප විසින් කෙසේ නම් සාක්ෂාත් කරගන්නද? එය නොකළ හැක්කකි. උන් වහන්සේ පූර්ණ අවබෝධයට පත්ව ඇත්තේද , එසේ නොමැත්තේද යන කරුණු මෙහිලා අදාල නොවේ.

අපට බුදුන් වහන්සේගේ සියලු ගුණාංග සලකා බැලිය නොහැකි වුවත් අවම වශයෙන් පරම පූජනීය දලයි ලාමා වහන්සේ වැනි උත්තමයෙකුගේ ගුණාංග අපට සලකා බැලිය හැක. ඉන් මහත් ආභාසයක් ලද හැක. උන් වහන්සේ වැන්නෙකු හට මෙම තත්ත්වය සාක්ෂාත් කරගත හැක්කේ නම්, මනසේ ස්වභාවය පාරිශුද්ධ වන අතර මෙකී විභවයන් සියල්ල එහි පවත්නේය යන කරුණ සලකා බලන කල, අපටද, ඕනෑම අයෙකු හටද, එම තත්ත්වය උදාකරගත නොහැකි වීමට කිසිදු හේතුවක් නොමැත. පැහැදිලිවම එ් සඳහා බොහෝ කටයුතු ඉටුකළ යුතුව පැවතියද එ් සියල්ල කළ හැකි අතර, එ් දිශානතිය කරා ගමන් කිරීමට උත්සාහ දැරීම වටනේය. දලයි ලාමා වහන්සේ බුදුනට සමාන වන්නේ නම්, දලයි ලාමා වහන්සේගේ සියලු ගුණාංග නොමැත්තේ වුවද දැනට සිටින මහා ලාමාවරුන් සංඝ රත්නයට සමාන වේ.  මක්නිසාද, ඔවුනට මෙම ගුණාංගයන්ගෙන් සමහරක් පවත්නා බැවිනි. ඉන්ද මහත් ආභාසයක් ලද හැක.

දලයි ලාමා වහන්සේ හා මෙකී සෙසු මහා ගුරුවරුන් අතර පවත්නා පොදු තත්ත්වය කුමක්ද? ඔවුහූ යම්තාක් දුරට, විවිධ මට්ටම්වලින්, ද්වේෂය, රාගය, වෛරය, ඊර්ෂ්‍යාව වැනි මෙකී නොකී අයහ ගුණයන්ගෙන් මිදී ඇත. අවබෝධය, කරුණාව, ඉවසීම ඈ මහා යහ ගුණ ඔවුන් විසින් සාක්ෂාත් කරගෙන ඇත. මෙම විවිධ ලාමාවරුන් ප්‍රකාර සාක්ෂාත් කරගත හැකි මෙම තත්ත්වයෙහි විවිධ ශ්‍රේණිගත මට්ටම් අපි දකින්නෙමු. මා පවසන පරිදි, මෙම තත්ත්වය හුදෙක් එම තත්ත්වයට පැමිණීම බොහෝ සෙයින් දුෂ්කර වූ  බුදුන් වහන්සේ හෝ මිලරේපාවරුන් හා සෙසු ‌ඓතිහාසික  නිදසුන් පිළිබඳ කල්පනා කරනවාට  වඩා බොහෝ සෙයින් ජීවමාන නිදසුනකි. එ්වා හොඳ කථාන්තර සේ අපට හැ‌ඟෙනු ඇති නමුදු එවැන්නෙකු ජීවත්ව සිටියේය යන්න අපි සැබෑවටම විශ්වාස කරන්නෙමුද? රින්පෝෂේ ගුරුතුමා නෙළුම් මලකින් උපත ලැබූ බව අප පතපොතේ කියවා ඇති නමුදු අපට එය සැබෑ ලෙසම විශ්වාස කළ හැකිද? එය විශ්වාස කිරීම දුෂ්කර විය හැක. එසේ නමුදු, එ් වෙනුවට මෙහි මේ අවස්ථාවේ ජීවමානව සිටින බුදුන් වහන්සේ හා සංඝයාට සමාන වූ දලයි ලාමා වහන්සේ හා මහා ගුරුවරුන් විසින් උදාහරණ සපයන මෙකී සෘණාත්මක ගුණාංගයන්ගෙන් තොර, ධනාත්මක ගුණාංග පවත්නා තත්ත්වය මත අපට අපගේ අවධානය යොමුකළ හැක. එහිදී අපටද එසේ කළ හැක්කේය යන්න අවබෝධ වන අතර මෙයයි ධර්මය. මෙකී සැබෑ නැවතුම් හා සැබෑ මාර්ග සිත් යනු සාක්ෂාත් කරගත හැකි අරමුණු වෙති. අපට මෙය කළ හැක්කේය යන්න විය හැකියාවක් වන අතර, මෙමගින් අපට අපගේ ජීවිත හරවාගත හැකි ආරක්ෂිත හා ස්ථාවර මෙන්ම අර්ථාන්විත දිශානතියක්ද සපයනු ලබයි.

අපගේ එදිනෙදා ජීවිතයේ සරණ හෝ ආරක්ෂිත දිශානතිය

ප්‍රායෝගික මට්ටමකදී අපගේ ජීවිත තුළට බුද්ධ, ධම්ම හා සංඝ ආශ්‍රිත දිශානතිගත කිරීම යනු කුමක්ද? ඉන් අදහස් කෙරෙනුයේ අප නිරතුරු අපවම වැඩිදියුණු කරගනු පිණිස කටයුතු කරන බවයි. එසේ කිරීමේදී, නිදසුනක් ලෙස, වියවුලකට පත් වුවවහොත්, කෝප ගැන්වුණහොත් හෝ ආත්මාර්ථකාමීව කටයුතු කළහොත්, අප එ් පිළිබඳ වඩ වඩාත් සිහියෙන් පසුවන තත්ත්වයක් ඇතිවේ. අප විසින් එය හඳුනාගනු ලැබේ. “මං හරිම නරකයි හෝ මගෙ ගන්න කාරියක් නෑ මොකද මට තාම තරහා යනවා” ආදී ලෙස සිතමින් දැඩි ස්ථාවරයක් ගනිමින් අපටම දඬුවම් කරගැනීමක් මින් අදහස් නොවේ. සත්තකින්ම කළ යුත්ත එය නොවේ. අනෙක් අතට, එය සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතමින් එහි අනෙක් අන්තය කරා විතැන් වීමද නොවේ. එසේ වුවහොත් අප විසින් එය හඳුනා ගනිමින් හුදෙක් “ඉතිං මොකද? මං දිගටම එ් විදිහට ඉඳියි” ලෙස වූ සිතිවිල්ලක් ඇතිකර ගනු ඇත. විය යුත්ත එයද නොවේ. හුදෙක් අපගේ කෙලෙස් පිළිබඳ සිහියෙන් සිටිමින් එ්වා අප නිදහස් විය යුතු, ඉවත් කළ යුතු දේ ලෙස සැලකීම මගින් එ්වාහි බලය දුර්වල වේ.

මෙහිදී ගතයුතු අදහස වනුයේ, අපගේ එදිනෙදා ජීවිතයේදී මෙම සිත් අවුල් කරන්නාවූ සෘණාත්මක හැඟීම් ඉස්මතුවන විට හා අප විසින් එ්වා හඳුනා ගන්නා විටදී, කළයුතු වඩාත්ම නිවැරදි කාර්යය වනුයේ යම් ක්‍රමයක් උගෙන එ් තුළින් එ්වා මැඩ පැවැත්වීමට උත්සාහ දැරීමයි. අප කෝපව සිටින්නේ නම් ඉවසීම ප්‍රගුණ කළ යුතු බව අවබෝධ කරගත යුතුය. යමෙකු මා හට නපුරු ආකාරයෙන් සලකන්නේ නම්, ඉන් අදහස් වන්නේ ඔවුන් ඉතා අසතුටින් ජීවත්වන බවයි. ඔවුන්ගේ සිත් කළඹාලන්නාවූ යමක් පවතී. කෝප ගැනීමට වඩා, ඔවුන් කෙරෙහි කාරුණික වන්න.

මෙය පැහැදිලි කරන්නේ නම්, එක් අතෙකින් අප කෝප වීම හෝ අපට තරහ යාම පිළිබඳ අප කෙරෙහිම තරහින් හෝ කෝපයෙන් පසුවීමද, අනෙක් අතින් අපටම ළදරුවෙකුට මෙන් සලකමින් එය එසේ සිදුවුණාවේ හෝ එය ගණන් ගත යුතු නැතැයි සිතීමද නොකළ යුතු වේ. අපගේ කෝපය මැඩ පැවැත්වීම කළ හැකි බව අවබෝධ කරගනිමින් එය මැඩ පැවැත්වීමට උපරිම උත්සාහ කරන්නෙමු. අනිවාර්යයෙන්ම එය එතරම් ඉක්මනින් නිදහස් විය හැකි තත්ත්වයක් නොවේ. එනමුදු අප විසින් අපගේ දිවිය පුරා ගත යුතුවන දිශානතිය මෙයයි. මෙකී සෘණාත්මක හැගීම්වලින් නිදහස් වීම කළ හැක්කක්ය යන්න දන්නා බැවින් අපි මෙම කාර්යය සිදු කරන්නෙමු. මේ දිශානතිය කරා ගමන් කිරීම පරමාදර්ශී චින්තනයක තවත් එක් නිරර්ථක වෑයමක් නොවේ.

යම් දුෂ්කර තත්ත්වයකට මුහුණ පා ඇති අවස්ථාවක අප තුළ යම් ඉවසීමක් හෝ යම්තාක් දුරකට අවබෝධයක් හෝ සුළු හෝ මානව දයාවක් ඇත්නම්, මෙම තත්ත්වය වර්ධනය විය හැක්කේය යන්න අප විසින් අවබෝධ කරගත යුතු වේ. අපට මෙය වඩ වඩාත් බලසම්පන්න කළ හැක. එය කළ හැක්කකි. එය කළ අය ඇති බැවින් අපටද එය කළ හැක. අන්‍යයන් කෙරෙහි විශේෂත්වයක් නැත්තා සේම අප කෙරෙහිද විශේෂත්වයක් නොමැත. මෙයයි අපගේ සරණ. මෙයයි අපගේ ජීවිතයේ ආරක්ෂාකාරී දිශානතිය. මක්නිසාද, මෙම දිශානතිය කරා යන්නට යන්නට, වඩ වඩාත් අප විසින් අපවම දුෂ්කරතාවයන්ගෙන් හා ගැටලුවලින් මුදවා ගන්නා බැවිනි.

සාරාංශය

සරණ යනු කුමක්ද, මෙම ආරක්ෂිත දිශානතිය යනු කුමක්ද හා එය අපගේ ජීවිතවලට සම්බන්ධ කරගැනීමේ හේතු කවරේද යන්න අප විසින් අවබෝධ කරගත යුතු වේ. එය බෞද්ධ පිළිවෙතෙහි වඩාත් වැදගත් හා වඩාත් මූලික කාර්යය සේ සැලකේ. බොහෝ අය විසින් එය සුළුකොට තැකීම ලජ්ජාවට කරුණකි. අපගේ ජීවිත තුළට මෙම දිශානතිය අදාළ කොටගෙන ඇත්තේද නොමැත්තේද යන්න තුළ අපගේ ජීවිතයන්හි වඩාත් වැදගත් වෙනස හෙවත් විපර්යාසය තීරණය කෙරෙන අතර, එය අපගේ ජීවිතයේ මහා වෙනස සිදු කරන කාරකය වේ. සරණ යන්නෙන් හුදෙක් අප යම් උත්සවයකට සහභාගි වී, අපගේ කොණ්ඩය යම්තාක් කප්පවාගෙන, තිබ්බතීය නාමයක් පටබැඳ ගනිමින්, රතු පැහැති නුලක් ගෙල ලාගනිමින් එම සමාජයෙහි සාමාජිකත්වය ගැනීම අදහස් නොවේ. මෙමගින් සිදුවනුයේ හුදෙක් සමස්ත කාරණය සුළුකොට ගනිමින් එය මුළුමනින්ම අර්ථ ශූන්‍ය වූවක් බවට පත් කිරීමයි.

අප සියලු දෙනා විසින් අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න වනුයේ: “බුදුන් සරණ ගොස් සිටින බෞද්ධයෙකු වශයෙන් මවිසින් සැබෑ ලෙසම මාගේ දිවිය මේ දිශානතියට හරවාගෙන ඇත්තේද? හුදෙක් සමාජයකට බැඳීම හැරුණුකොට එමගින් මාගේ ජීවිතයේ යම් වැදගත් ඉමක් සලකුණු කොට ඇත්තේද?” යන එ්වායි. සරණ යාම තුළින් අපගේ ජීවිතයේ වැදගත් වෙනසක්, විපර්යාසයක් සිදුකොට නොමැත්තේ නම්, අප විසින් සැබෑ ලෙසම කටයුතු කළ යුත්තේ එම වෙනස සිදුකරගනු පිණිසය. මෙම පදනම රහිතව සිදුකරන මින් ඔබ්බට වූ කිසිදු උසස් මට්ටමේ පිළිවෙතකින් කිසිදු සාර්ථකත්වයක් අත්වීමේ ඉඩකඩ ඉතාමත් සීමිතය.

Top