බිය: කැළඹිලිකාරී භාවයන් සමගින් කටයුතු කිරීම

11:45
බිය වූකලි ජීවිතයේ කවර වූ හෝ ධනාත්මක දෙයක් සාක්ෂාත් කරගැනීමට එරෙහිව ක්‍රියාත්මකවන ප්‍රබලතම බාධකයකි. ව්‍යාකූල චිත්ත ස්වභාවයක් වශයෙන් එය වූකලි ආරක්ෂිත හැඟීමක් දැනීම යනු කවරක්ද යන්න සම්බන්ධයෙන් පවත්නා නොදැනුවත්භාවය විශේෂ කොටගෙන පොදුවේ නොදැනුවත්භාවය මත පදනම් වූවකි. කෙසේ වුවද, හදිසි හා තාවකාලික විධික්‍රම ගණනාවක් මගින් බිය යන්නෙහි අප්‍රාණික කරවන සුළුවූ ග්‍රහණයෙන් අපට මිදිය හැක.

බිය හා සම්බන්ධයෙන් කටයුතු කිරී‌මේ හදිසි විධික්‍රම

තිබ්බත බුදු දහම තුළ, කාන්තා බුද්ධ ස්වරූපය වන තාරා විසින් අප බියෙන් ආරක්ෂා කරවන්නාවූ බුදුරජාණන් වහන්සේගේ පැතිකඩ නිරූපණය කරනු ලබයි. තාරා විසින් සැබැවින්ම ශක්තිය හෙවත් සිරුරේ පවත්නා සුළඟ නියෝජනය කරනු ලබයි. ඇය විසින් අප ශුද්ධ වූකල අපට අපගේ අරමුණු සාක්ෂාත් කරගැනීමේ හැකියාවද නියෝජනය කරන්නීය. මෙම සංකේතකරණය තුළ හුස්ම සම්බන්ධයෙන් කටයුතු කිරීම හා බිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සියුම් ශක්තීන් හැසිරවීම පිළිබඳවද වූ හදිසි විධික්‍රම ගණනාවක් යෝජනා කෙරේ.

මෙම හදිසි විධික්‍රම අප විසින් භාවනා කිරීම, අධ්‍යයන කටයුතුවල නිරත වීම, හෝ දේශනාවනට සවන් දීමට පෙර සිදුකරන සූදානම්කාරී පිළිවෙත් (පූර්ව අංග) තුළින් ප්‍රභවය ලබයි. අප අතිශයින්ම බියට පත්ව බියෙන් සැලෙන්නට වන අවස්ථාවන් ඇතුළත් හදිසි අවස්ථාවන්හිදී සන්සුන් වීටම මෙම පිළිවෙත් උපකාරී වේ. වඩාත් ගැඹුරු විධික්‍රම යොදාගැනීමට පෙර ගත යුතුවන පළමු පියවරයන් ලෙසද මේවා ක්‍රියාත්මක වේ. පහත අනුපිළිවෙලට අපට ඒවා අතරින් එකක් පමණක් හෝ සියල්ලම යොදාගත හැක:

  1. දෑස් වසාගෙන ආශ්වාස ප්‍රශ්වාස චක්‍ර ගණනය කරන්න. මෙහිදී හුස්ම ඉහළට ගැනීම හා පහතට හෙලීම චක්‍රය වශයෙන් ගණන් ගන්න. හුස්ම ඇතුළට පැමිණීම, පහළට යාම, පහළ යටිබඩ ප්‍රදේශය ඉස්සීම, පහත්වීම හා හුස්ම ඉවතට යාම ලෙසිනි.
  2. ඇස් අඩවන් කොටගෙන ආශ්වාස ප්‍රශ්වාස චක්‍ර ගණනය කරන්න. මෙහිදී අවධානය ලිහිල්ව තබාගනිමින්, පහත බිම දෙස බලාගෙන, ප්‍රශ්වාස චක්‍රය අවසන් වූ පසු මද නැවතුමද සටහන් කරගෙන ඉන්පසු ආශ්වාසයද ඉහත පරිදිම අවධානය යොමුකරගෙන සිදු කරන්න. මදකට පසු අපගේ පසුපස කොටස බිම හෝ පුටුව ස්පර්ශ කරන සංවේදනය පිළිබඳ අවධානයද එයට එක් කරන්න.  
  3. වඩාත් සන්සුන් වෙමින් අප විසින් සාක්ෂාත් කරගන්නට අපේක්ෂා කරන දෙය හා එසේ අපේක්ෂා කරන්නේ මන්ද යන කරුණට අදාළ පෙළඹීම හෝ අරමුණද නැවත තහවුරු කරගන්න.
  4. සිත හා ශක්තිය කැමරා කාචයක් මෙන් නාභිගත කෙරෙන ආකාරය සිතින් සිතා ගන්න.
  5. හුස්ම ගණන් කිරීමකින් තොරව, හුස්ම ගනිමින් සිරුරේ සියලු ශක්තීන් සාමුහිකව ගලා යන ආකාරය දනිමින් යටි බඩේ පහළ කොටස පිම්බීම හා හැකිලීම කෙරෙහි අවධානය යොමු කරවන්න.

බිය යනු කවරක්ද?

බිය යනු අපට පාලනය කිරීමේ, කළමනාකරණය කිරීමේ හෝ අපට අවශ්‍ය වන ප්‍රතිඵලය ලබාගැනීමේ හැකියාවක් නොපවත්නේයැයි අප විසින් බියවන ශාරීරික හා භාවමය අපහසුතාවයකි. අපට අප බියවන දෙයින් මිදීමට අවශ්‍ය වන අතර, එ් අනුව එහි ප්‍රබල විකර්ශනයක් හෙවත් ජුගුප්සාවක් පවතී. බිය යනු අප විසින් බියවන නිශ්චිත වස්තුවකින් තොරව ඇතිවන පොදු සාංකා තත්ත්වයක් වන නමුත්, එහි නිශ්චිතව අර්ථ කථනය නොවූ "යමක්" වෙතින් මිදීමේ දැඩි අපේක්ෂාවක් පවතී.

බිය යනු හුදු කෝපයම නොවේ. එනමුදු, කෝපයට සමානවම, එහිද අප බියට පත්වන වස්තුවේ සෘණාත්මක ගුණයන් පුම්බාලීමක් හා "මා" පුම්බාලීමක්ද සිදුවේ. අපට තත්ත්වය පාලනය කිරීමේ ‌හෝ කළමනාකරණය කිරීමේ හැකියාවක් නොමැත්තේය යන කරුණ වෙන්‌කොට දැකීමේ හෙවත් හඳුනා ගැනීමේ මානසික සාධකයද බිය විසින් කෝපය තුළට ඇතුළත් කරනු ලැබේ. එ් අනුව අපි අප බියවන දෙය හා අප කෙරෙහිමද එයාකාරයේ වෙන්‌කොට දැකීමක් තුළින් අවධානය යොමු කරවන්නෙමු. වෙන්කොට දැකීමේ ‌හෝ අවධානය ‌යොමු කිරීමේ එම ආකාරය නිරවද්‍ය හෝ සාවද්‍ය විය හැක.

බිය නොදැනුවත්භාවය හා සමගින් එක්ව ගමන් කරයි 

යම් කිසිවක් පිළිබඳ නොදැන සිටීම වේවා, යථාර්ථයට ප්‍රතිරෝධී ආකාරයකින් එ් පිළිබඳ දැනුවත්ව සිටීම වේවා එ් ලෙස යථාර්ථයේ යම් සාධකයක් හෝ සාධක පිළිබඳ නොදැනුවත්භාවය (අඥානබව, ව්‍යාකූලත්වය) සමගිනි නිරන්තරයෙන්ම බිය ගමන් ගනුයේ. මෙහි පැවතිය හැකි විවිධාකාර පැතිකඩයන් හයක් සලකා බලමු.

 (1) අපට යම් තත්ත්වයක් පාලනය කිරීමට හෝ කළමනාකරණය කිරීමට නොහැකි බවට වූ බියක් පවත්නා විටදී, අපගේ බිය හේතු ඵලවාදය සහ දේවල් පවත්නා ආකාරය පිළිබඳ නොදැනුවත්භාවයක් සමගින් පැවතිය හැක. අප කෙරෙහිම හා අප බියවන දේ කෙරෙහි අවධානය යොමු කිරීමේ අපගේ බියවූ ස්වභාවයට අදාළ සංකල්පීය වස්තූන් වනුයේ:

  • දැඩි පැවැත්මක් සහිත "මමෙකු" - සිය දරුවා තුවාල සිදුකර නොගැනීම වැනි ලෙස සියලු දේ සිය බලයෙන්ම පාලනය කරගැනීමේ හැකියාවක් සහිත අයෙකු 
  • දැඩි පැමැත්මක් සහිත "දෙයක්" - අපට අපගේ උත්සාහයෙන් පමණක් පාලනය කළ හැකිවිය යුතු නමුත් අපගේ යම් පෞද්ගලික අප්‍රමාණවත් බවක් හේතුවෙන් එසේ කළ නොහැකිවන, ස්වායත්ථ පැවැත්මක් සහිතව අන් කිසිවක හෝ බලපෑමෙන් තොරව පවත්නා දෙයක්.

මේවා වූකලි නොසිදුවිය හැකි පැවතුම් ස්වභාවයන් වන අතර හේතුඵල න්‍යාය ක්‍රියාත්මක නොවිය හැකි ආකාරයන් වේ.

 (2) අපට යම් අවස්ථාවක් කළමනාකරණය කරගත නොහැකිය යන බියක් පවත්නා විටදී, එ් හා බද්ධවන නොදැනුවත්භාවය අනිත්‍ය ස්වභාවයට අයත් විය හැක. අපට අපගේ භාවයන් හෝ අපගේ ආදරණීයයෙකුගේ මරණය සම්බන්ධ දුක, වේදනාව කළමනාකරණය කරගත නොහැකි වනු ඇතැයි බියක් ඇත. වේදනාව හා දුකට අදාළ අපගේ අත්දැකීම් හුදෙක් දිස්වීම් ඉස්මතුවීමක් හා හඳුනා ගැනීමක් පමණක් වන්නේය යන කරුණ පිළිබඳව අප තුළ පවත්නේ නොදැනුවත්භාවයකි. දන්ත වෛද්‍යවරයෙකු දතක් ගලවන්නාක් මෙන් එ්වාද අනිත්‍ය වන අතර, එම තත්ත්වයන්ද ඉක්ම යනු ඇත.

 (3) යම් තත්ත්වයක් කළමනාකරණය කරගැනීමට නොහැකි වනු ඇතැයි අප තුළ පවත්නා බිය එය අපටම පෞද්ගලිකව කළමනාකරණය කරගත නොහැක්කේය යන බියක් විය හැක. එය තනිකම හා හුදෙකලාව හා සම්බන්ධ බියක්ද අන්තර්ගත කරුණක් විය හැක. මෙම තත්ත්වය සමනය කළ හැකි අයෙකු අපට සොයාගත හැකි වෙතැයි සිතමු. මෙහි සංකල්පීයකරණය කළ වස්තූන් වනුයේ:

  • දැඩි පැවැත්මක් සහිත "මමෙකු" - අදක්ෂ, අප්‍රමාණවත්, එතරම් යහපත් නොවන, හා කිසිදින උගත නොහැකි අයෙකු 
  • දැඩි පැවැත්මක් සහිත "වෙනෙකෙකු" - මට වඩා යහපත් වන හා මා මුදවාගත හැකි අයෙකු.

මෙය වූකලි අන්‍යයන් හා අප පවත්නා ආකාරය පිළිබඳ නොදැනුවත්භාවයේ හා හේතුඵල න්‍යාය පිළිබඳ නොදැනුවත්භාවයේද තවත් ආකෘතියක් වේ. අපගේ මෝටර් රථය ආපදාවට ලක්වීම වැනි දෙයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප්‍රමාණවත් දැනුමක් අප සතු නොවන අතර එම දැනුම සහිත වෙනයම් අයෙකුට අපට උපකාර කළ හැකියවනු ඇතැයි යන්න නිරවද්‍ය විය හැක. කෙසේ වුවද, හේතුඵල සැකැස්ම තුළින් අපටද ඉදිරියට එය උගත නොහැක්කේ යැයි එමගින් අදහස් නොකෙරේ.

 (4) නිදසුනක් ලෙස අපගේ සේවා ස්ථාන ප්‍රධානීන් ආදීන් කෙරෙහි යම් බියක් අපතුළ පවත්නා විටදී, අපි ඔවුන්ගේ සම්ප්‍රදායික ස්වභාවයන් පිළිබඳ නොදැනුවත්ව සිටිමු. අපගේ හාම්පුතුන්ද අප මෙන්ම හැඟීම් සහිත පුද්ගලයෝ වෙති. ඔවුන්ටද සතුටින් විනා අසතුටින් සිටීමට අවශ්‍ය නැති අතර, අන්‍යයන්ගේ කැමැත්ත දිනා ගැනීමට විනා අකමැත්තක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැත. ඔවුනටද කාර්යාලයෙන් පිටත ජීවිතයක් ඇති අතර මේවා ඔවුන්ගේ ගති ස්වභාවයනට බලපායි. අපට අපගේ සේවායෝජකයන් පිළිබඳවද මනුෂ්‍යයන් සේ සළකා බැලිය හැකි නම්, අප එකිනෙකා දරන තත්ත්වයන් හා තනතුරු පිළිබඳව සිහියේ තබාගෙනම, අඩු බියකින් කල්ගත කළ හැකිවනු ඇත.

 (5) මෙයට සමානව, සර්පයන් හෝ කෘමීන් කෙරෙහි බියෙන් පසුවන විටදී, ඔවුන්ද අප මෙන්ම හැඟීම් දැනීම් සහිත සත්ත්වයන් වන අතර සතුටින් සිටීමට විනා අසතුටින් සිටීමට අකමැති පිරිසක්ය යන්න නොදැනුවත්ව සිටිමු. බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සළකා බලන කල, ඔවුන්ද නෛසර්ගික පැවැත්මක් සහිත එක් සත්ත්ව වර්ගයක් හෝ වෙනෙකක් වශයෙන් නොපවත්නා හුදු තනි තනි චිත්ත සන්තතීන්හි වර්තමාන ස්වරූපය පමණක්ම වන්නේය  යන කරුණද නොදැනුවත්ව සිටිමු. ඔවුන් පෙර භවයන්හි අපගේ මව්වරුන්ව පවා සිට ඇත්තේය යන කරුණද නොදැනුවත්ව සිටිමු.

 (6) අසාර්ථකත්වයන් හෝ ලෙඩවීම් පිළිබඳ බියට පත්වන විටදී, සීමිත සාංසාරික සත්ත්වයන් වශයෙන් වූ අපගේ සම්මුතික ස්වභාවයන් පිළිබඳවද නොදැනුවත්ව සිටින්නෙමු. අපි සර්ව සම්පූර්ණ නොවන අතර, සැබැවින්ම අපටද වැරදීම් සිදුවිය හැක. ඇතැම් විට රෝගී තත්ත්වයන්ටද පත්විය හැක. "සංසාරයෙන් අන් කවරක් නම් අපේක්ෂා කරන්නද?"

ආරක්ෂිත හැඟීම

බෞද්ධ දෘෂ්ටි කෝණයකින් බලන කල, ආරක්ෂිත හැඟීමක් ඇතිවීම යන්නට පහත කරුණු ඇතුළත් නොවේ:

  • සර්ව බලධාරිත්වය යන්න පැවතිය නොහැකි තත්ත්වයක් වන බැවින් අප ආරක්ෂා කරන සර්ව බලධාරියෙකු කරා යොමුවීම.
  • ශක්තිමත් සත්ත්වයෙකු හට යම් ආකාරයකින් අපට උපකාර කළ හැකි නමුදු, ආරක්ෂාව හෝ උපකාරය ලබාගනු පිණිස එම සත්ත්වයා සතුටු කරවීමට හෝ යම් පූජාවක් හෝ බිල්ලක් ලබාදීමට සිදුවීම.
  • පෞද්ගලිකවම සර්ව බලධාරීත්වයට පත්වීම.

ආරක්ෂිත හැඟීමක් ඇතිවනු පිණිස අප විසින් පහත අනුපිළිවෙලට කටයුතු කළ යුතුවේ:

  1. අප බියට පත්වන දෙය කවරක්ද යන්න දැන එහි පදනම්ගත ව්‍යාකූලත්වය හා නොදැනුවත්භාවය හඳුනා ගැනීම.
  2. බිය පදනම්ගත ව්‍යාකූලත්වයෙන් මිදීම විශේෂ කොටගෙන අප බියවන දෙය කළමනාකරණය කරගැනීම යන්නෙන් අදහස් කරන දෙය පිළිබඳ යථාර්ථවාදී අදහසක් ඇතිකර ගැනීම.
  3. අපවම අධි තක්සේරු හෝ අවතක්සේරු කිරීමකින් තොරව හා අප දැනට කෙතරම් වූ දියුණුවක් ලබා ඇත්තේද යන කරුණු පිළිගනිමින් අදාළ අවස්ථාවේදී මෙන්ම දිගු කාලීනවද අප බියවන දෙය හා සම්බන්ධයෙන් කටයුතු කිරීම යන්නෙන් අදහස් කරන දෙය කළමනාකරණය කරගැනීම සඳහා වූ අපගේ හැකියාවන් තක්සේරු කිරීම.
  4. අපට මේ අවස්ථාවේදී කළ හැකි දෙය ක්‍රියාත්මක කිරීම - අප විසින් එය සිදු කරන්නේ නම් එ් පිළිබඳ සතුටු වන්න; එය සිදු නොකරන්නේ නම්, අප තුළ මේ අවස්ථාවේදී පවත්නා උපරිම හැකියාවෙන් එය සිදු කිරීමට අදිටන් කරගනිමින් ඉන්පසු එය සැබෑ ලෙසම කිරීමට උත්සාහ කරන්න.
  5. එය මේ අවස්ථාවේ මුළුමනින්ම සිදුකළ නොහැක්කේ නම්, එය මුළුමනින්ම සිදුකළ හැකි තත්ත්වයක් දක්වා ප්‍රගතියක් ලැබීමේ විධික්‍රමය දැනගැනීම.
  6. එම සංවර්ධන මට්ටම සාක්ෂාත් කරගැනීම අරමුණු කරමින් එ් සඳහා කටයුතු කිරීම.
  7. අප විසින් ආරක්ෂිත මාර්ගයක ගමන් කරන්නේය යන හැඟීම ඇතිකර ගැනීම.

ඉහත පියවර හත තුළ බුදු දහමේ "ආරක්ෂිත දිශානතියක් ගැනීම" (සරණ යාම) යන්න විස්තර කෙරේ. එය අකර්මණ්‍ය ස්වභාවයක් නොවන අතර අපගේ ජීවිතවල ආරක්ෂිත දිශානතියක් පිහිටුවීම සඳහා වූ සක්‍රීය ස්වභාවයකි. අප අපගේ බියෙන් මුදවා ගැනීම සම්බන්ධයෙන් යථාර්ථවාදීව කටයුතු කිරීමේ දිශානතියයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසන අප සියලු ගැටලු හා දුෂ්කරතාවයන්ගෙන් මුදවාලන හැකියාව ලබාදෙන පරිදි ජීවිතයේ ධනාත්මක හා නිවැරදි දිශානතිය කරා ගමන් කරන බව දන්නා බැවින් අපට ආරක්ෂිත බවක් හැඟේ.

බියකරු අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යථාර්ථවාදී දෘෂ්ටිය

පහත කරුණු සිහි තබාගත යුතු වේ:

  • සුවිශාල වශයෙන් පෞද්ගලික කර්ම බලවේග ඵල දැරීම තුළ මෙන්ම ඉතිහාසගත, සමාජමය හා ආර්ථික බලවේග හේතුකොට අපගේ ආදරණීයයන්ට හෝ අපට සිදුවන කවර වූ හෝ දෙයක්. එනම්, හදිසි අනතුරු හෝ වෙනත් අනපේක්ෂිත දේ සිදුවිය හැකි අතර, අප කෙතරම් ප්‍රවේශම් සහගත වුවද, ඔවුන්ට තෙතරම් ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙස අප විසින් උපදෙස් ලබා දුන්නද, අපට එ්වායින් අපගේ ආදරණීයයන් ආරක්ෂා කරගත නොහැකි වේ. අපට කළ හැකි එකම දෙය නම් ඔවුන් වෙත යහපත් උපදෙස් ලබාදී ඔවුනට යහපතක්ම වේවාය යනුවෙන් පැතීම පමණි.
  • හදිසි අනතුරු හා බිය මැඩ පවත්වනු පිණිස, ශූන්‍යතාවය පිළිබඳ අසංකල්පීය වැටහීමක් ලබාගත යුතුය. කෙසේ වුවද, පූර්ණ වශයෙන් ශූන්‍යතාවය තුළ ගිලී සිටීම අපගේ හිස බිම පිහිටි සිදුරක් තුළ ඔබාගෙන සිටීමක් වැනි දෙයක් නොවේ. එය බියෙන් පළා යාමක් නොව, අපගේ කර්මය අනපේක්ෂිත දේවල් දක්වා පරිණත වී අපට බිය ඇති කරන නොදැනුවත්භාවය හා ව්‍යාකූලත්වය මුළිනුපුටා දැමීම සඳහා වූ විධික්‍රමයකි.
  • අප අපගේ කර්ම ශක්තියෙන් විශුද්ධිකරණය කරගනු පිණිස ශූන්‍යතාවය පිළිබඳ අසංකල්පීය වැටහීමක් ඇතිකරගැනීම සඳහා කටයුතු කිරීමේදී, සංසාර විමුක්තිය හෙවත් අර්හත්වය ලබන තෙක් තවදුරටත් එම මාර්ගය තුළ හදිසි අනතුරු හා බිය අත් විඳීමට අපට සිදුවනු ඇත. මක් නිසාද මෙවන් ඉහළ පහළ යාම් වූකලි සංසාරයේ ස්වභාවයම වන බැවිනි. ප්‍රගතිය යන්න සරල රේකීය වූවක් නොවන අතර ඇතැම් විට දේවල් යහපත්ව සිදුවන අතරම ඇතැම් විට එ්වා එසේ සිදු නොවේ.
  • රහතන් වහන්සේ කෙනෙකු ලෙස සංසාර විමුක්තිය සාක්ෂාත් කරගත් විට පවා අපට සිදුවිය යුතු නැති බව හඟින්නාවූ හදිසි අනතුරු හා දේවල් අත් විඳීමට සිදුවනු ඇත. කෙසේ වුවද, එහිදී අප විසින් එ්වා කිසිදු වේදනාවක් හෝ දුකකින් තොරවද, සියලු කැළඹිලිකාරී භාවයන්ගෙන් හා ආකල්පයන්ගෙන් මිදී ඇති බැවින් බියකින්ද තොරව අත් විඳිනු ඇත. ගැඹුරුම ස්වභාවයෙන් අපගේ සියලු බිය සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් කටයුතු කළ හැකි වනුයේ අර්හත් ඵලය ලද පසු පමණි.
  • හදිසි අනතුරු හෝ අනපේක්ෂිත දේවල් සිදු නොවන තත්ත්වයක් ඇති වනුයේ බුද්ධත්වයට පත් වූ විට පමණි. පහත සඳහන් කරුණු ප්‍රකාශයට පත් කිරීමට තරම් වූ නිර්භීතභාවයක් ඇති වන්නේ බුදුවරයෙකු හට පමණි: 
  • සියලු යහපත් ගුණාංග හා කුසලතාවයන් සම්බන්ධ උන් වහන්සේගේ අවබෝධය
  • විමුක්තිය හා බුද්ධත්වය වළකාලූ සියලු වසා දැමීම් තමා විසින් සැබෑ ලෙස නවතාලූ බව.
  • අර්හත්වය හා බුද්ධත්වය සාක්ෂාත් කරගනු පිණිස අන්‍යයන් විසින් මිදිය යුතුවන සත්‍ය වසා දමා ඇති තත්ත්වයන්.
  • අන්‍යයන් විසින් සිය මිදීම පිණිස විශ්වාස කළ යුතුවන, රඳා පැවතිය යුතුවන එදිරිවාදී, අඳුරට එරෙහි බලවේග.

බිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තාවකාලික විධික්‍රම

  1. ඉහත දක්වන ලද පියවර සත මගින් ජීවිතයේ ආරක්ෂිත මාර්ගයක ගමන් ගන්නා බව නැවත තහවුරු කරගැනීම.
  2. පිළිකා පරීක්ෂණයක් වැනි බිය ගෙනදෙන සුළු තත්ත්වයකට මුහුණ පෑ කල, සිදුවන අයහපත්ම තත්ත්වය සිතින් මවා ගනිමින් එවන් තත්ත්වයක කවරක් සිදුවනු ඇත්තේද යන්න හා එය කළමනාකරණය කරගන්නා ආකාරය සිතා ගන්න. මෙමගින් තමා නොදන්නා තත්ත්වයකට අදාළ බිය පළවා හැරීමට උපකාරයක් ලැබේ.
  3. ගුවන් යානයක් අල්ලාගනු පිණිස ගුවන් තොටපළට යාම වැනි කටයුත්තක් භාර ගැනීමට පෙර, විසඳුම් කිහිපයක් සූදානම් කර තබාගන්න. මක් නිසාද, එවිට යම් අනපේක්ෂිත තත්ත්වයකදී අපගේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ කිසිදු මගක් නොමැති බියගත් මට්ටමකට අප නොවැටෙනු ඇති බැවිනි.
  4. ශාන්තිදේවයන් විසින් දේශනා කරන ලද පරිදි, යම් බියජනක අවස්ථාවක් අප ඉදිරිපිට ඇති අතර, අපට එ් පිළිබඳ යම් කිසිවක් සිදුකළ හැක්කේ නම්, වද වෙමින් නොසිට එය සිදු කරන්න. කළ හැකි කිසිවක් හෝ නොමැත්තේ නම්, එ් ගැන වදවීමෙන් ඇති ඵලය කුමක්ද?
  5. සංසාර විමුක්තිය දක්වාම අප විසින් බිය හා අසතුට අත් විඳිනු ඇති බැවින්, අපගේ සිත මහා සාගරය තරම් ගැඹුරු එකක් සේ සලකා එ් පිළිබඳ අවධානය යොමුකළ යුතුය. බිය හෝ අසතුට ඉස්මතුවන විටදී, එය සාගරයේ තරංගයක් සේ ගෙවී, නිවී යන්නට ඉඩ හරින්න. තරංගය මගින් සාගරයේ නිහඬ හා නිශ්චල ගැඹුරට කිසිදු බලපෑමක් ඇති නොවනු ඇත.
  6. අප විසින් අපගේ ධනාත්මක ක්‍රියාවන් හෙවත් පුණ්‍ය ක්‍රියාවන් මගින් ධනාත්මක කර්ම බලයක් (පුණ්‍ය කර්ම) ප්‍රමාණවත් පරිදි ගොඩනගාගෙන ඇත්තේ නම්, මතු ජීවිතයන්හිද අගනා මිනිස් සිරුරක් සහිතව සාංසාරික ගමනෙහි යෙදිය හැකි බවට විශ්වාසයක් ගොඩනගා ගත හැක. සංසාරයේ ස්වභාවය වනුයේ එය ඉහළ පහළ ගමන් කිරීමය යන්න සිත්හි තබාගත යුතුවන නමුදු බිය සඳහා පවත්නා හොඳම ආරක්ෂකයා අපගේ පුණ්‍ය කර්ම වේ.
  7. බය ගන්වන සුළු තත්ත්වයක්, අවස්ථාවක් උදාවූ කල, අපට ධර්ම ආරක්ෂකයෙකුගේ හෝ තාරා හෝ ඔසු බුදුන් වැනි බුදුවරයෙකුගේ ස්වරූපයක උපකාර ඉල්ලමින් යම් වත් පිළිවෙත් සිදුකළ හැක. එම පුද්ගලයෝ අප මුදවාගත හැකි සර්ව බලධාරීහූ නොවෙති. අන් අයුරකින් ඵල නොදැරිය හැක්කාවූ, අප විසින් පෙර සිදුකරන ලද පුණ්‍ය ක්‍රියාවන්හි කර්ම බලය ඵල දරන අවස්ථාවක් ලෙස ක්‍රියාත්මක වනු පිණිස උන් වහන්සේලාගේ බුද්ධත්ව බලය අප කරා යොමු කරවන ලෙස ඉල්ලා සිටිමු. සාර්ථකත්වය වළකාලමින් බරපතල බාධාවන් ලෙස ඉස්මතුව ඵල දැරිය හැකි අප විසින් පෙර භවයන්හිදී සිදුකරන ලද පාප ක්‍රියාවන් මගින් ඇතිවිය හැකි අපහසුතාවයන් සුළුවෙන් ගෙවී යන පරිදි එම පාපයන් ගෙවී යන ලෙස උන් වහන්සේලාගේ බුද්ධත්ව බලය යොමු කරවාගැනීම වඩාත් ආරක්ෂිත ප්‍රතිඵල අත්කර දෙන්නකි. මේ අනුව, දුෂ්කරතාවයන් පිළිබඳ බියවනු වෙනුවට, එ්වා අපගේ පාප කර්ම බලයන් "ගෙවා දැමීමක්" සේ සලකමු.
  8. අපගේ බුද්ධ ස්වභාවයන් නැවත තහවුරු කරගන්න. දුෂ්කර හා බිය ගන්වන සුළු අවස්ථාවන් වටහා ගනු පිණිස (දර්පණාකාර ගැඹුරු දැනුවත්භාවය), රටාවන් වටහාගනු පිණිස (ගැඹුරු දැනුවත්භාවය සමාන කිරීම), අවස්ථාවේ පෞද්ගලිකත්වය තක්සේරු කිරීම පිණිස (ගැඹුරු දැනුවත්භාවය පුද්ගලීකරණය), හා (කළ හැකි කිසිවක් නොමැති බව අවබෝධ කරගැනීමද ඇතුළත් විය හැකි) කටයුතු කළ යුතුවන ආකාරය දැනගැනීමේ ගැඹුරු දැනුවත්භාවයකට අදාළ පදනම්ගත මට්ටම් අප සතුවේ. සැබැවින්ම කටයුතු කිරීමේ ශක්තියට අදාළ පදනම්ගත මට්ටමද අප සතුවේ.
  9. බුදුවරයෙකුගේ ස්වභාවයක් පැවතීම යන්නෙන් අප තුළ සියලු යහගුණයන්හි පදනම පවත්නේය යන්නක් අදහස් කෙරෙන බව නැවතද අවධාරණය කරගන්න. බටහිර මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයට අනුව, මෙම ගුණාංග උඩු සිතෙහි හෝ යටි සිතෙහි හෙවත් අප දැනුවත්ව හෝ නොදැනුවත්ව පැවතිය හැක. ( අප විසින් එ්වා පවත්නා බව දැනුවත්ව හෝ නොදැනුවත්ව සිටිය හැකි අතර, එ්වා විවිධ මට්ටම් දක්වා වර්ධනය කළ හැකි විය හැක). අපි නිරතුරු අප නොදන්නා ගුණයන් ප්‍රක්ෂේපණය කරනුයේ "සෙවණල්ලක" හෙවත් "සොල්මනක" ආකාරයෙනි. නොදැනුවත්ව පවත්නේය යන්නෙන් නොදන්නා බවක් අඟවන බැවින්, යම් කරුණක් පිළිබඳ නොදන්නේය යන ආතතිය නොදන්නා දෙයක් පිළිබඳ බියක ස්වරූපය ගන්නා අතර, එ් අනුව, අපගේම නොදන්නා, නොදැනුවත් ගුණයන් පිළිබඳ බියක් සේ එය සැලකිය හැක. එ් අනුව, අපගේ දැනුවත්, පැහැදිලි බුද්ධිමය පාර්ශ්වය සමගින් අනන්‍ය වෙමින් අප නොදන්නා, නොහැඟෙන, භාවමය හැඟීම් පාර්ශ්වය නොසළකා හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකළ හැක. අප විසින් අපගේ භාවමය හැඟීම් පාර්ශ්වය සෙවණැල්ලක් සේ ප්‍රක්ෂේපණය කරමින් බොහෝ සෙයින් හැඟීම්වලට අනුව කටයුතු කරන සෙස්සන් පිළිබඳ බියට පත්විය හැක. අප අපගේම භාවමය පැතිකඩ කෙරෙහි බියට පත්ව අපගේ හැඟීම් හඳුනාගගත නොහැකි වීමේ සාංකාවකින් පෙළිය හැක. අපි අපගේම සවිඥාණික භාවමය හැඟිම් පාර්ශ්වය අනන්‍ය කරගනිමින් අපගේ අවිඥාණික බුද්ධිමය පැතිකඩ ප්‍රතික්ෂේප කළහොත්, එකී බුද්ධිමය පාර්ශ්වය සෙවනැල්ලක් හෙවත් සොල්මනක් සේ දැක බුද්ධිමය මට්ටමක් සාක්ෂාත් කරගත් හා එම පාර්ශ්වය පිළිගන්නා පුද්ගලයන් වෙතින් බියට පත්වනු, බියගැන්වීම්වලට ලක්වනු, ඇත. කිසිවක් හෝ වටහා ගැනීමට උත්සාහ කිරීමටද බිය වෙමින් බුද්ධිමය වශයෙන් අඳුරේ සිටීම පිළිබඳ සාංකාවකින් පෙළිය හැක. මේ අනුව, අපගේ බුද්ධ ස්වභාවයේ පැතිකඩයන් වශයෙන් මෙම දෙපාර්ශ්වයම අප තුළ සම්පූර්ණයෙන්ම නැවත තහවුරු කරගත යුතුය. තන්ත්‍ර මැවීම්වල මෙන් මෙම දෙපාර්ශ්වය එකිනෙකා වැළඳ ගනිමින් යුවලක් සෙයින් සිටින ආකාරයක් සිතින් මවා ගනිමින් තමා යනු එම යුගළයේ එක් අයෙකු නොව, යුගලයම වන බව දැනිය යුතුය.
  10. සිතේ ස්වභාවය නම් සියලු බියෙන් නිදහස් ස්වභාවයක් වන අතර එ් අනුව බියක් දැනීම යනු ක්ෂණිකව දැනී නොදැනී යන මතුපිට සිදුවීමක් පමණක්ය යන අපගේ බුද්ධ ස්වභාවයේ තවත් පැතිකඩක් නැවත තහවුරු කරගන්න.
  11. බිය ගන්වන සුළු තත්ත්වයන්ට මුහුණ දීම සඳහා වූ දිරියක් ඇති කරගනු පිණිස අන්‍යයන් වෙතින් ආභාසය ලැබිය හැක්කේය යන බුද්ධ ස්වභාවයට අයත් තවත් පැතිකඩක්ද නැවත තහවුරු කරගන්න.

සාරාංශය 

බියෙන් සැළුණු විටදී, එම තත්ත්වය කළමනාකරණය කරගැනීමේ මෙකී විධික්‍රම සිහි තබාගත හැක්කේ නම්, බිය ගන්වන සුළු ලෙස පෙනෙන කවර අවස්ථාවක වුව නිහඬව, නිශ්චලව සිට යථාර්ථවාදී ලෙස එම තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කළ හැකියනු ඇත.

Top