කවිය 1: සියලු සත්ත්වයෝ චින්තා මාණික්‍යයනට වඩා උසස්ය
සර්වෝත්තම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා භාවිත චින්තා මාණික්‍යවලට වඩා උසස් වන සියලු සීමිත සත්ත්වයන් සැමවිටම අගය කිරීමට මා හට හැකිවේවා.
අපට සහ අනෙකුත් සියලු සත්ත්වයන්ටද සතුටින් සිටීමට හා පීඩාවෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමට අවශ්‍ය වේ. මෙහිදී, අපි සියල්ලෝම සම්පූර්ණයෙන්ම සමාන වේ. කෙසේ වෙතත්, අප අතරින් සෑම කෙනෙක්ම එක් පුද්ගලයෙක් පමණක් වන අතර, අනෙකුත් සත්ත්වයන් ගණන අනන්ත වේ.
දැන්, සැලකිල්ලට ගත යුතු ආකල්ප දෙකක් ඇත: ස්වාර්ථකාමීව අප පමණක් අගය කිරීමේ ආකල්පය සහ අන් අය අගය කිරීමේ ආකල්පය වශයෙනි. ස්වයං-අගය කිරීමේ ආකල්පය විසින් අප ඉතා සංවෘත කරවනු ලබයි. අප විසින් අප ඉතා වැදගත් යැයි සිතන අතර අපේ මූලික ආශාව අප සතුටින් සිටීම සහ අප වෙනුවෙන් දේවල් හොඳින් සිදු වීම වේ. එහෙත් අපි මෙය ඇති කර ගන්නේ කෙසේද යන්න නොදනිමු. ඇත්ත වශයෙන්ම, ස්වයං-අගය කිරීම හරහා ක්‍රියා කිරීමෙන් අපට කිසි විටෙකත් සතුටු විය නොහැකිය. අනෙක් අතට, අන් අය අගය කරන ආකල්පයක් ඇති අය විසින් අනෙකුත් සියලු සත්ත්වයන් තමන්ට වඩා වැදගත් පුද්ගලයන් ලෙස සලකන අතර, අන් අයට උපකාර කිරීම වෙනත් සියල්ලටම වඩා අගය කරයි. මෙසේ ක්‍රියා කිරීමෙන් ඔවුන්ම සතුටට පත් වෙති.
උදාහරණයක් ලෙස, අනෙකුත් මිනිසුන්ට උපකාර කිරීම හෝ සේවය කිරීම පිළිබඳව අවංකවම උනන්දුවක් දක්වන දේශපාලනඥයින් ඉතිහාසයේ ගෞරවයෙන් සටහන් වන අතර, නිරන්තරයෙන් අන් අය සූරාකමින් අන් අයට අයහපත සිදු කරන්නවුන් භයානක පුද්ගලයන් පිළිබඳ උදාහරණ ලෙස සැලකේ. දැනට, ආගම, මතු ජීවිත සහ නිර්වාණය යන කරුණු පසෙක තබා මෙම ජීවිතය පිළිබඳව පමණක් සලකා බැලුවද ස්වාර්ථකාමී පුද්ගලයන් විසින් සිය ආත්ම කේන්ද්‍රීය ක්‍රියා මගින් තමා වෙතම සෘණාත්මක ප්‍රතිවිපාක ගෙන එන්නෝ වෙති. අනෙක් අතට, තෙරේසා මව්තුමිය වැනි පුද්ගලයන්, අවංකවම සිය සමස්ත ජීවිතය හා ශක්තිය නිස්ස්වාර්ථකාමීව දුප්පත්, අවශ්‍යතා ඇති සහ අසරණ ජනතාවට සේවය කිරීම සඳහා කැප කරන අය, සැමවිටම ඔවුන්ගේ උතුම් කාර්යයන් හේතුකොට ගෞරවයෙන් සිහිපත් කරනු ලැබේ. අන් අයටද ඔවුන් පිළිබඳ කිසිදු සෘණාත්මක අදහසක් පළ කිරීමේ හැකියාවක් නොමැත.
එබැවින්, මෙය අන් අය අගය කිරීමේ ප්‍රතිඵලයයි: අප කැමති වුවද නොවුවද එහිදී අපේ ඥාතීන් නොවන අය පවා සැමවිටම අපට කැමති වී අප සමඟ සතුටින් සිටිමින් අප කෙරෙහි උණුසුම් හැඟීම් දරති. අපි සැමවිටම අන් අය ඉදිරිපිට පමණක් හොඳින් කතා කරන නමුත් ඔවුන්ගේ පිටුපසින් හෙවත් නැති තැනදී ඔවුනට අපහාස කරන පුද්ගලයන් නම් නිසැකවම අප කිසිවෙකුගේ හෝ හොඳ හිත දිනාගත්තවුන් නොවනු ඇත. එබැවින්, මෙම ජීවිතයේදී පවා හැකි තාක් අන් අයට උපකාර කිරීමට උත්සාහ දරමින් ස්වාර්ථකාමී සිතුවිලි හැකි තරම් අඩුවෙන් තබා ගතහොත් අපට බොහෝ සේ සතුටු විය හැකිවේ.
අපගේ ජීවිත කාලය එතරම් දිගු නොවේ; එය උපරිම වශයෙන් වසර 100කි. එම කාලය පුරා අපි කරුණාවන්තව උණුසුම් හැඟීම් සහිතව අන් අයගේ සුබසාධනය පිළිබඳ සැලකිලිමත් වෙමින් අවම ස්වාර්ථකාමිත්වයක් සහිතව කෝපයෙන් තොර වන්නට උත්සාහ කරන්නේ නම්, එය අපූරු විශිෂ්ටත්වයක්ම වනු ඇත. එය සැබැවින්ම සතුටට හේතුවක් වේ. අපි ස්වාර්ථකාමී වන්නෝ නම් හා නිරතුරු අප පළමුව තබමින් අන් අය පිළිබඳ දෙවනුව සලකන්නේ නම් සැබෑ ප්‍රතිඵලය ලෙස අපම අවසන පසුපසට ඇද වැටෙනු ඇත. මානසිකව අප පසුපසින් තබා අන් අයට පළමු ස්ථානය ලබාදීම වූකලි ඉදිරියට යාමේ මාර්ගයයි. එබැවින් මතු ජීවිතය හෝ නිර්වාණය පිළිබඳ කනස්සල්ලට පත් නොවන්න; එම තත්ත්වයන් ක්‍රමයෙන් ළඟාවනු ඇත. මෙම ජීවිතය තුළ අපි යහපත්, උණුසුම්, නිස්ස්වාර්ථකාමී පුද්ගලයන් ලෙස ගත කරන්නේ නම්, අපි ලෝකයේ යහපත් පුරවැසියන් බවට පත්වනු ඇත.
අප බෞද්ධයන්, ක්‍රිස්තියානින් හෝ කොමියුනිස්ට්වාදීන් ද යන්න අදාළ නොවේ; වැදගත් වනුයේ අපි මනුෂ්‍යයන් වන තාක්, අපට යහපත් මනුෂ්‍යයන් වීමට අවශ්‍ය වීමයි. එය බුදු දහමේ ඉගැන්වීමයි; එය ලෝකයේ සියලු ආගම් විසින් ඉදිරියට ගෙන යනු ලබන පණිවිඩයයි. කෙසේ වෙතත්, බුදු දහමේ දේශනා තුළ ස්වාර්ථකාමීත්වය මුලිනුපුටා දමමින් අනෙකා අගය කිරීමේ ආකල්පයක් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සියලු ක්‍රම අඩංගු වේ. උදාහරණයක් ලෙස, ශාන්තිදේවගේ අපූරු ග්‍රන්ථය වන "බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම" (සංස්කෘත: බෝධිචර්යාවතාර) මේ සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. මාද පෞද්ගලිකව එම කෘතිය අනුගමනය කරන්නෙක්මි; එය අතිශයින් ප්‍රයෝජනවත් කෘතියකි.
අපගේ මනස ඉතා කපටි, පාලනය කිරීමට ඉතා අපහසු එකකි. නමුත්, අපි නිරන්තර උත්සාහයක් දරමින් තාර්කික හේතු සාධක සහ සැලකිලිමත් විශ්ලේෂණයක්ද සමඟින් නොවළහා කටයුතු කරන්නේ නම්, අපට අපගේ මනස පාලනය කර එය වඩා යහපත් අතට වෙනස් කිරීමට හැකි වනු ඇත.
ඇතැම් බටහිර මනෝවිද්‍යාඥයන් විසින් සඳහන් කරනු ලබන පරිදි අප විසින් අපේ කෝපය යටපත් නොකළ යුතු අතර එය ප්‍රකාශ කළ යුතු. ඇත්ත වශයෙන්ම ඔවුන් එහිලා ප්‍රකාශ කරනුයේ අපි කෝපය පුහුණු කළ යුතු බවයි! කෙසේ වෙතත්, අපි මෙහිදී ප්‍රකාශ කළ යුතු මානසික ගැටලු සහ ප්‍රකාශ නොකිරීම වඩාත් උචිත වන ගැටලු අතර වෙනස වටහාගත යුතුය. සමහර විට, අපට ඇත්තටම වැරදි සිදු වී තිබිය හැකි අතර, එය අප තුළ කුණු වීමට හෙවත් කැකෑරෙමින් පල් වීමට ඉඩ හැරීම වෙනුවට අපගේ දුක්ගැනවිල්ල ප්‍රකාශ කිරීම නිවැරදිය. එනමුත්, එය කෝපයෙන් ප්‍රකාශ කිරීම කිසි විටෙකත් ප්‍රයෝජනවත් නොවේ. කෝපය වැනි කරදරකාරී සෘණාත්මක හැඟීම් වර්ධනය කරන්නේ නම්, ඒවා අපගේ පෞරුෂත්වයේ කොටස් බවට පත් වනු ඇත. කෝපය ප්‍රකාශ කරන සෑම විටම, එය නැවත ප්‍රකාශ කිරීම වඩාත් පහසු කටයුත්තක් බවට පත්වේ. එහිදී එම කර්තව්‍යය වඩ වඩාත් සිදු කරන අතර අවසානයේ හුදෙක් දැඩි කෝපයට පත් හා එම මනෝභාවය පාලනයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වූ පුද්ගලයන් බවට පත් වෙමු. එසේම, මානසික ගැටලු පිළිබඳව සලකා බලන කල සැබවින්ම නිසි ලෙස ප්‍රකාශ කළ යුතු ඇතැම් ගැටලු පවත්නා නමුත් එසේ නොවන වෙනත් ගැටලුද පවතී.
පළමු කොට කරදරකාරී හැඟීම් පාලනය කිරීමට උත්සාහ කරන විටදී එය අපහසු කටයුත්තක් වේ. පළමු දිනය, පළමු සතිය, පළමු මාසය තුළ අපට ඒවා හොඳින් පාලනය කළ නොහැක. එනමුත්, නිරන්තර උත්සාහයද සමඟින් අපගේ සෘණාත්මකතා ක්‍රමයෙන් අවම වනු ඇත. මානසික සංවර්ධනය තුළ ප්‍රගතිය ඖෂධ හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන්නක් නොවේ; එය මනස පාලනය කිරීම මත රඳා පවතින්නකි. එබැවින්, අපට අපගේ පැතුම් ඉටු කර ගැනීමට අවශ්‍ය නම්, ඒවා තාවකාලික හෝ අවසානාත්මක හෝ වේවා, අපට ස්වයං-අගය කිරීමක් හෙවත් ආත්ම ඇගයුමක් නොමැති තත්ත්වයක් දක්වා අපගේ මනස පාලනය කිරීම අවශ්‍ය බව අපට වටහාගත හැකිය. මේ සඳහා, චින්තා මාණික්‍යයනට වඩා වැඩි වටිනාකමක් ලබා දෙමින් අනෙකුත් සත්ත්වයන් මත රඳා පැවැත්මක් අවශ්‍ය වේ. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් අපි සැමවිටම අන් සත්ත්වයන් සියල්ලටම ඉහළින් අගය කළ යුතුය. මක්නිසාද යත්, අන් අය අගය කිරීමේ ආකල්පය වූකලි අපගේ සියලු පැතුම් සැබවින්ම සපුරාලන දෙයක්ද වන බැවිනි.
අපගේ මනස වැඩි දියුණු කිරීම සහ අන් අයට උපකාර කිරීම පිණිස සැබැවින්ම යමක් සිදුකිරීම යන දෙකරුණම වැදගත් වේ. පළමුව, අප තුළ පිරිසිදු අභිප්‍රේරණයක් නොමැති නම්, කරන කවර කටයුත්තක් වුව සතුටුදායක නොවිය හැකිය. එබැවින් කළ යුතු පළමු දෙය නම් පිරිසිදු අභිප්‍රේරණයක් ප්‍රවර්ධනය කොට ගැනීමයි. එනමුත් අන් අයට උපකාර කිරීම උදෙසා සැබැවින්ම යමක් සිදු කිරීමට පෙර එම අභිප්‍රේරණය සම්පූර්ණයෙන්ම සංවර්ධනය වනතුරු බලා සිටිය යුතු නැත. ඇත්ත වශයෙන්ම, අන් අයට වඩාත්ම ඵලදායී ලෙස උපකාර කිරීමට නම් අපට සම්මා සම්බුද්ධත්වයම සාක්ෂාත් කරගැනීමට සිදුවේ. අන් අයට විශාල හා පුළුල් ආකාරයෙන් උපකාර කිරීමට පවා අපට ආර්ය බෝධිසත්ත්වයෙකුගේ භූමි මට්ටම්වලට අදාළ චිත්ත මට්ටම් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වේ. එනම් ශුන්‍යතාවය හෙවත් හිස්බව පිළිබඳ නිර්-සංකල්පමය අවබෝධයක් ලබා අතීන්ද්‍රිය ඥාණයක් ලබා ගැනීමට සිදු වේ. කෙසේ වෙතත්, අප විසින් ලබා දිය හැකි උපකාරවල බොහෝ මට්ටම් පවතී. මෙම සුදුසුකම් ලබා ගැනීමට පෙරද අපට බෝධිසත්ත්වයන් මෙන් කටයුතු කිරීමට උත්සාහ කළ හැකිය. එනමුත් ස්වාභාවිකවම අපගේ ක්‍රියා ඔවුන්ගේ ක්‍රියාවන්ට වඩා අඩු ඵලදායී එ්වා වනු ඇත.
එබැවින් සම්පූර්ණයෙන් සුදුසුකම් ලබන තෙක් බලා නොසිට යහපත් අභිප්‍රේරණයක් ජනනය කර ගනිමින් ඒ තුළින් අන් අයට හැකි තාක් හොඳින් උපකාර කිරීමට උත්සාහ කළ හැකිය. මෙය වඩාත් සමතුලිත ප්‍රවේශයක් වන අතර හුදෙක් හුදකලා තැනක රැඳී සිටිමින් යම් භාවනාවක් හා ජප කිරීමක් කිරීමට වඩා යහපත් කෘත්‍යයකි. ඇත්ත වශයෙන්ම, මෙය බොහෝ දුරට පුද්ගලයා මත රඳා පවතී. දුෂ්කර ස්ථානයක රැඳී සිටීමෙන් නිශ්චිත කාලයක් තුළ නිශ්චිත අවබෝධයන් ලබා ගත හැකි බවට අපට විශ්වාසයක් පවත්නේ නම්, එය වෙනම සලකා බැලිය යුතු තත්ත්වයකි. ඇතැම් විට අපගේ කාලයෙන් අඩක් ක්‍රියාකාරී කටයුතු සඳහාද අනෙක් අඩ භාවනාව පුහුණු කිරීම සඳහාද වැය කිරීම වඩාත් යහපත් විය හැකිය.
කවිය 2: අනෙකාට වඩා තමා පහළින් තබමින් තමාට වඩා අන් අය ඉහළින් අගය කිරීම
කවරකුගේ හෝ සමාගමයට පාත්‍රවන විටදී මා අන් සියල්ලනට වඩා අඩු මට්ටමින් තක්සේරු කරමින් හද පත්ලෙන්ම අන් අය මට වඩා ඉහළින් තබා අගය කිරීමට මා හට හැකිවේවා.
කවුරු සමඟින් සිටියද අපි නිතර "මම ඔහුට වඩා ශක්තිමත්ය", "මම ඇයට වඩා සුන්දරය", "මම වඩා බුද්ධිමත්ය", "මම වඩා පොහොසත්ය", "මම වඩා සුදුසුකම් ලද්දෙක්ය" යනාදී දේ සිතමින් බොහෝ අහංකාරකම් ජනනය කරමු. මෙය යහපත් නොවේ. ඒ වෙනුවට අපි නිරතුරු යටහත් පහත්ව සිටීම අවශ්‍යය. අන් අයට උපකාර කරන විට සහ පුණ්‍යකර්මවල නිරතවන විටදී පවා, දුර්වලයන්ට ප්‍රතිලාභ ලබා දෙන මහා ආරක්ෂකයන් ලෙස අහංකාර ලෙස අප පිළිබඳ නොසැලකිය යුතුය. මෙයද අහංකාරකමකි. ඒ වෙනුවට, ඉතා යටහත් පහත්ව අප එවැනි ක්‍රියාකාරකම්වල නිරත විය යුතු අතර ජනතාවට අපගේ සේවාවන් පිරිනමන බව සිතිය යුතුය.
උදාහරණයක් ලෙස සතුන් සමඟ සංසන්දනය කරන විටදී "මට මිනිස් සිරුරක් ඇත" හෝ "මම භික්ෂුවකි" හෝ "මම භික්ෂුණියකි" යනුවෙන් සිතා ඔවුන්ට වඩා ඉහළින් සිටින බව අපට හැඟෙන්නට පුළුවන. එක් දෘෂ්ටි කෝණයකින් කරුණු සලකා බලන කල අපට මිනිස් සිරුරු ඇති බවද, බුදුන්ගේ ඉගැන්වීම් භාවිතා කරමින් සිටින බවද, එසේම කෘමීන්ට වඩා බොහෝ යහපත් තත්ත්වයක සිටින බවද අපට කිව හැකිය. එනමුත් තවත් අතකින් සලකා බලන කල අපි අපේ අරමුණු සාක්ෂාත් කරගනු පිණිස හෝ තමා වඩා යහපත් තත්වයකට පත් කර ගැනීම සඳහා ව්‍යාජයෙන් අනෙකා රවටන්නවුන් වන තත්ත්වයක කෘමීන් බොහෝ සෙයින් අවංක බවත්, කපටිකමින් තොර බවත් අපට කිව හැකිය. මේ දෘෂ්ටිකෝණයෙන් බලන කල අප කිව යුතුව පවත්නේ යම් මවාපෑමකින් තොරව තම කටයුතු වල නිරතවන කෘමීන්ට වඩා අපි බොහෝ දුර්වල බවයි. මෙය නිර්ව්‍යාජත්වය පුහුණු වීමේ එක් ක්‍රමයකි.
කවිය 3: බලවත් විධික්‍රමයන් යොදා ගනිමින් කැළඹිලිකාරී භාවයනට මුහුණ දෙමින් එ්වා වළකාලීම
මම කුමක් කරමින් සිටියත් මාගේ චිත්ත ධාරාව පරීක්ෂා කරමින් සංකල්ප හෝ කරදරකාරී හැඟීම් මතුවන මොහොතේදීම, ඒවා මගින් මා මෙන්ම අන් අයද දුර්වල කරන බැවින්, ශක්තිමත් ක්‍රම මගින් ඒවාට මුහුණ දී ශක්ති සම්පන්නව ඉන් වැළකී සිටීමට මා හට හැකිවේවා.
අපි ඉතා ස්වාර්ථකාමී හා අන් අය නොතකා අප ගැනම සිතමින් සිටින අවස්ථාවල අපේ සිත් විමර්ශනය කරන විට, කරදරකාරී හැඟීම් හා සෘණාත්මක ආකල්ප මේ හැසිරීමේ මුල් බව අපට සොයා ගත හැකිවේ. ඒවා අපේ සිත් දැඩි ලෙස කලබලයට පත් කරන බැවින්, ඒවායේ බලපෑමට නතුවන බව දැන ගන්නා මොහොතේ, අපි ඒවාට එරෙහිව යම් ප්‍රතිමල්ලවයකු යොදා ගත යුතුය.
සියලු කරදරකාරී හැඟීම් හා ආකල්ප සඳහා සාමාන්‍ය ප්‍රතිමල්ලවයා හෙවත් විෂබීජ නාශකය ශුන්‍යතාවය (හිස්බව) පිළිබඳ භාවනාවයි; නමුත්, අප වැනි ආරම්භකයන්ට යෙදිය හැකි නිශ්චිත තත්ත්වයනට අදාළ ප්‍රතිමල්ලවයෝ ද වෙති. මෙහිදී ඇලීම හෙවත් රාගය සඳහා අපි අසුන්දරත්වය පිළිබඳ පිළිකුල් භාවනා කරමු; කෝපය හෙවත් ද්වේෂය සඳහා, ආදරය හෙවත් මෛත්‍රියද; නිවට බව සඳහා, පටිච්ච සමුප්පාදය ද; බොහෝ කරදරකාරී සිතුවිලි සඳහා, හුස්ම හා ශක්ති-සුළං පිළිබඳ භාවනා කරමු.
දේවල් ඉතා ආකර්ෂණීය ලෙස දකින අපි ඒවාට ඇලී සිටිමු. ඒවා අනාකර්ෂණීය හෝ අසුන්දර ලෙස දැකීමට උත්සාහ කිරීම එයට ප්‍රතිවිරුද්ධ වේ. උදාහරණයක් ලෙස, අපි තවත් පුද්ගලයෙකුගේ සිරුරට ඇලුම් කළ හැකි අතර, ඔහුගේ හෝ ඇයගේ රූපය ඉතා ආකර්ෂණීය දෙයක් ලෙස දකිමු. මෙම ඇලීම විශ්ලේෂණය කිරීමට පටන් ගන්නා විට, එය හුදෙක් සම මතුපිට දැකීම මත පදනම් වී ඇති බව සොයා ගනිමු. කෙසේ වෙතත්, අපට සුන්දර ලෙස පෙනෙන මෙම සිරුරේ සැබෑ ස්වභාවය නම් එය මස්, ලේ, ඇටකටු, සම, යනාදිය එකතු වී සෑදුණක්ය යන්නයි.
දැන් අපි මිනිස් සම විශ්ලේෂණය කරමු: උදාහරණයක් ලෙස අපේම සම ගනිමු. එහි කොටසක් ගැලවී ගිය අවස්ථාවක එය අපේ රාක්කයක දින කිහිපයක් තැබුවහොත්, එය සැබැවින්ම පිළිකුල් සහගත වේ. මෙය සමේ ස්වභාවයයි. සිරුරේ සියලුම කොටස් එක සමානය. මිනිස් මස් කොටසක කිසිදු සුන්දරත්වයක් නොපවතී. අපගේ රුධිරය දකින විට ඇලීමකට වඩා බියක් පවා දැනෙන්නට පුළුවන. සුන්දර මුහුණක් පවා සහමුළින් සීරී ගියහොත්, එහි කිසිදු යහපත් පෙනුමක් නොපවතිනු ඇත. ඇත්ත වශයෙන්ම, අසුන්දරත්වය භෞතික සිරුරේ ස්වභාවයයි. මිනිස් ඇටකටුද, හිස්කබල ද පිළිකුල් සහගතය. යමක් මත හිස්කබලක් හා හරස් ඇටකටු සලකුණක් සටහන්ව ඇති විට එය ඉතා සෘණාත්මක අරුතක් ගෙන දෙන බැව් නොදන්නේද?
එබැවින් අපි ඇලුම් කරන, හෝ ආදරය කරන යමක් පිළිබඳ මෙම ආදරය යන වචනය ආශාව හා ඇලීම යන සෘණාත්මක අර්ථයෙන් භාවිතා කරමින් විශ්ලේෂණය කළ යුතු ක්‍රමය එයයි. වස්තුවේ අසුන්දර පැතිකඩ පිළිබඳ වැඩිපුර සිතන්න; ඒ දෘෂ්ටිකෝණයෙන් පුද්ගලයා හෝ ද්‍රව්‍යයට අදාළ ස්වභාවය විශ්ලේෂණය කරන්න. මෙමගින් අපේ ඇලීම සම්පූර්ණයෙන්ම පාලනය නොකළද, අවම වශයෙන් එය යම් තරමකින් යටපත් කිරීමට උපකාර වනු ඇත. දේවල්වල අසුන්දර පැත්ත දෙස බැලීමේ පුරුද්ද පිළිබඳ භාවනා කිරීමේ හෝ එම පුරුද්ද ගොඩනගා ගැනීමේ අරමුණ මෙයයි.
අනෙක් වර්ගයේ ආදරය, හෝ කරුණාව, "අසවල් පුද්ගලයා සුන්දරයි, ඒ නිසා මම ප්‍රශංසා කරමි සහ දයාව පෙන්වමි" යන තර්කය මත පදනම් වී නැත. පිරිසිදු ආදරය සඳහා පදනම වන්නේ, "මෙහි සිටින අය සතුට අවශ්‍ය, දුක් නොපතන, සහ සතුටු වීමට අයිතියක් ඇති ජීව සත්ත්වයෙකි. ඒ මත පදනම්ව, මම ආදරය සහ කරුණාව දක්වමි." යන්නයි. මේ වර්ගයේ ආදරය නිවට බව හා නොදැනුවත්කම හෙවත් මෝහය මත පදනම් වූ හා එම නිසා සම්පූර්ණයෙන්ම අඥානවන්ත වන පළමු කී ස්වරූපයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය.
මෛත්‍රිය සඳහා හේතු සාධාරණය. හුදෙක් ඇලීමක් වන ආදරය සමඟ, ආකල්පයේ කුඩා වෙනසක් වැනි වස්තුවේ සුළුම වෙනසක් පවා වහාම අප තුළද වෙනස් වීමකට හේතු වේ. මෙය අපේ හැඟීම ඉතා මතුපිට හෙවත් බාහිර දෙයක් මත පදනම් වී ඇති බැවිනි. උදාහරණයක් ලෙස, අලුත් විවාහයක් සලකා බලමු. සති, මාස, හෝ වසර කිහිපයකට පසු නිතර සතුරන් බවට පත්වන එම යුවළ අවසානයේ දික්කසාද වේ. ඔවුන් ගැඹුරු ප්‍රේමයක් හරහා විවාහ වූහ - කිසිවෙක් වෛරයෙන් විවාහ වීමට තෝරා නොගනී - නමුත්, කෙටි කලකින්, සියල්ල වෙනස් විය. එ් මන්ද? එ් සම්බන්ධතාවයේ මතුපිට හෙවත් බාහිර ආටෝපකාරී පදනම හේතුවෙනි; එක් පුද්ගලයෙකුගේ කුඩා වෙනසක් අනෙක් තැනැත්තාගේ සම්පූර්ණ ආකල්ප වෙනසක් ඇති කළේය.
අපි සිතිය යුත්තේ, "අනෙක් පුද්ගලයාද මා මෙන්ම මිනිසෙකි. සැබවින්ම මට සතුට අවශ්‍යයි; එබැවින්, ඔහුට හෝ ඇයටද සතුට අවශ්‍ය විය යුතුය. ජීවත්වන සත්ත්වයෙක් ලෙස, මට සතුටට අයිතියක් ඇත; එම හේතුව නිසාම මේ පුද්ගලයාටද සතුටට අයිතියක් ඇත." මෙවැනි සාධාරණ තර්කයක් මගින් පිරිසිදු ආදරය හා කරුණාව ජනනය කරයි. හොඳ සිට නරක දක්වා හා අසුන්දර තත්ත්වයක් දක්වා පවා එවිට අප එම පුද්ගලයා දකින ආකාරය කෙසේ වෙනස් වුවද ඔහු හෝ ඇය මූලික වශයෙන් එකම ජීවත්වන සත්ත්වයෙකු ලෙස සැලකේ. මෙසේ, මෛත්‍රිය විදහා දැක්වීමට ප්‍රධාන හේතුව සැමවිටම එහි පවතින බැවින්, අනෙකා කෙරෙහි අපේ හැඟීම් සම්පූර්ණයෙන්ම ස්ථාවර වේ.
සැබැවින්ම, අප ඇලුම් කරන පුද්ගලයින් සමඟ සිටීමේදී හෝ අප ඇලුම් කරන දේවල් භුක්ති විඳීමේදී යම් සතුටක් අත්විඳින බව පැහැදිලිය. එනමුත්, නාගර්ජුන වටිනා මාලය (සංස්කෘත: රත්නාවලි) හි පවසා ඇති පරිදි,
(169) වණයක් කැසීම සතුටක් ගෙන දෙයි, නමුත් ඊටත් වඩා සතුටුදායක වන්නේ වණයක් නොපැවතීමයි. එසේම, ලෞකික ආශාවන් සපුරාලීම සතුටුදායක වුවත්, ඊටත් වඩා සතුටුදායක වන්නේ ආශාවක් නොපැවතීමයි.
අනෙක් අතට, කෝපයට ප්‍රතිකර්මය ආදරය පිළිබඳ භාවනාවයි. කරුණු එසේ වන්නේ කෝපය ඉතා රළු හා දරුණු මානසික තත්ත්වයක් වන බැවින් ආදරයෙන් මෘදු කිරීමට අවශ්‍ය වන බැවිනි.
අඥානත්වය සම්බන්ධයෙන් ගත්කල අප නොදැනුවත්කම හෝ අවිද්‍යාවෙන් ආරම්භ කර වයස්ගතවීම හා මරණය දක්වා පවතින පටිච්ච සමුප්පාදයේ දොළොස් වැදෑරුම් සබැඳියාව පිළිබඳ භාවනා කරමු. වඩාත් සියුම් මට්ටමෙන් ගත්කල, සියලු සංස්කාර ධර්ම තුළ සත්‍ය වශයෙන් ස්ථාපිත පැවැත්මකින් නොමැති බව සිත් තුළ තහවුරු වීමට හේතුව ලෙස පටිච්ච සමුප්පාදය යොදාගත හැකිය.
කවිය 4: කෘෘර පුද්ගලයන් මාණික්‍ය නිධානයක් සේ සලකා කටයුතු කරන්න
සහජයෙන්ම කෲර, සෘණාත්මක හා බරපතල ගැටලුවලින් යටපත් වූ සත්ත්වයන් දකින විටදී මැණික් නිධානයක් සොයා ගැනීම මෙන් දුර්ලභ සොයාගැනීමක් ලෙස සලකා ඔවුන් අගය කිරීමට මා හට හැකිවේවා.
ස්වභාවයෙන්ම කෲර, රළු, අප්‍රිය හා අමනාප පුද්ගලයෙකු හමු වූ විට, අපගේ සාමාන්‍ය ප්‍රතිචාරය වන්නේ ඔහු හෝ ඇය මග හැරීමයි. මෙවැනි අවස්ථාවලදී, අන් අය කෙරෙහි අපගේ ආදරණීය සැලකිල්ල අඩු වීමට අවකාශ පවතී. ඔහු හෝ ඇය කෙතරම් භයානක පුද්ගලයෙක්දැයි සිතා අන්‍යයන් කෙරෙහි අපගේ ආදරය දුර්වල වීමට ඉඩ දීම වෙනුවට, අපි එම පුද්ගලයා ආදරය හා කරුණාවට අදාළ විශේෂ අරමුණක් ලෙස දැකිය යුතු අතරම සොයා ගැනීමට අපහසු වටිනා නිධානයක් හමුවූවාක් සෙයින් ඔහු හෝ ඇය ඇගයිය යුතුය.
කවිය 5: පරාජය පෞද්ගලිකව භාර ගනිමින් අනෙකා වෙත ජයග්‍රහණය පිරිනමන්න
අන් අය, ඊර්ෂ්‍යාවෙන්, මට අසාධාරණ ලෙස බැණ වැදීම, අවමන් කිරීම හා තවත් එවන් දේ සිදුකරන විට, මා වෙතම පරාජය බාර ගනිමින් ජයග්‍රහණය අන් අයට ලබා දීමට මා හට හැකිවේවා.
යමෙක් අපට අපහාස කර, අවමන් කර, හෝ විවේචනය කර අප අදක්ෂයන් බවට හා කිසිවක් කිරීමට නොහැකි පුද්ගලයන් යයි පවසන විට, අප බොහෝ විට කෝපයට පත්ව එම පුද්ගලයා කී දේ ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත. මෙසේ ප්‍රතිචාර දැක්වීමට උත්සාහ නොකළ යුතුය. ඒ වෙනුවට, යටහත් පහත්කම හා ඉවසීම සහිතව, මෙම රඵ වචන භාර ගත යුතුය.
රළු වචන පිළිගැනීමට යටහත් පහත් විය යුතු වුවද, එ් හා සමගින්ම අප සතු යහපත් ගුණාංග පිළිබඳ යථාර්ථවාදී විය යුතුය. එනමුත් අපේ හැකියාවන් පිළිබඳ ආත්ම විශ්වාසය හා අහංකාරය අතර වෙනස හඳුනා ගත යුතුය. අප සතු යහපත් ගුණාංග හා කුසලතා ශූරව භාවිත කරමින් පවත්වාගෙන යනු ලබන ආත්ම විශ්වාසයක් පැවතිය යුත්තේ නමුදු ඒවා පිළිබඳ උඩඟුව ආඩම්බර නොවිය යුතුය. යටහත් පහත්කම යනු සම්පූර්ණයෙන්ම අසමත් හා අසරණ බව පිළිබඳ හැඟීමක් නොවේ. යටහත් පහත්කම වර්ධනය කරනු ලබන්නේ අහංකාරකමේ විරුද්ධ පාර්ශ්වය ලෙස වන නමුත්, අප සතු සියලු යහපත් ගුණාංග පූර්ණ ලෙස භාවිතා කළ යුතුය.
අප තුළ විශාල ධෛර්යයක් හා ශක්තියක් තිබීම පරමාදර්ශි තත්ත්වයක් වන නමුත්, ඒවා පිළිබඳ පුරසාරම් දෙඩීමක් හෝ විශාල ලෙස උලුප්පා පෙන්වීමක් නොකළ යුතුය. එනම්, අවශ්‍යතාවයේදී අප ඒ අදාළ අවස්ථාවට මුහුණ දී නිවැරදි දේ වෙනුවෙන් ශූරව සටන් කරමු. මෙය පරිපූර්ණය. තමා තුළ මේ කිසිදු යහපත් ගුණාංගයක් නොමැති නමුත්, තමා කොතරම් උදාරද යන්න පිළිබඳ පුරසාරම් දොඩවමින් සිටින නමුත් අවශ්‍යතාවය එළැඹි අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම පසුබසින්නා මුළුමනින්ම එහි ප්‍රතිවිරුද්ධාර්ථයයි. පළමු පුද්ගලයා ඉතා ධෛර්යවන්ත වන නමුත් අහංකාර නැත; අනෙකා ඉතා අහංකාර නමුත් ධෛර්ය සම්පන්න නැත.
පරාජය අප වෙත භාරගෙන ජයග්‍රහණය අන් අයට ලබා දීමට දෙන උපදෙස සම්බන්ධයෙන් ගත්කල එයට අදාළ තත්ත්වයන් දෙකක් වෙන් කොට හඳුනා ගත යුතුය. එක් අතකින් අපගේම සුබසාධනය පිළිබඳ උමතුවට පත්ව ඉතා ස්වාර්ථයෙන් පෙළඹී සිටින්නේ නම් අපගේ ජීවිත අවදානමේ පවතින විටදී පවා පරාජය භාරගෙන ජයග්‍රහණය අනෙකාට පිරිනැමිය යුතුය. එනමුත් අනෙක් අතට, අන් අයගේ සුබසාධනය අනතුරේ පවතින අවස්ථාවක් නම් අප ඉතා වෙහෙස මහන්සි වී අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතු අතර කිසිසේත්ම පරාජය භාර නොගත යුතුය. ඇත්ත වශයෙන්ම බෝධිසත්ත්ව ප්‍රඥප්ති 46 අතුරින් එකක් වන්නේ යමෙක් ඉතා හානිකර දෙයක් සිදුකරන අවස්ථාවකදී එය වළකාලීම සඳහා යොදාගනු ලබන සියලු සාමකාමී ක්‍රම අසාර්ථක වන්නේ නම් එම පුද්ගලයාගේ ක්‍රියා වහාම නැවැත්වීමට බලහත්කාරී ක්‍රම හෝ වෙනත් අවශ්‍ය ඕනෑම දෙයක් භාවිතා කිරීමෙන් වැළකී නොසිටිය යුතු බවයි. වෙනත් වචනවලින් කිවහොත් අපට හැකියාව තිබියදීත් අප තදින් ක්‍රියා නොකරන්නේ නම් එහිදී අපගේ බැඳීම උල්ලංඝනය වේ.
මෙම බෝධිසත්ත්ව ප්‍රඥප්තිය සහ පරාජය පිළිගෙන ජයග්‍රහණය අන් අයට ලබාදිය යුතු යැයි ප්‍රකාශ කෙරෙන පස්වන පද්‍යය එකිනෙකට පරස්පර විරෝධී බවක් පෙනී යා හැකි නමුත්, ඒවා එසේ නොවේ. බෝධිසත්ත්ව පනතේ සඳහන් වන්නේ අපගේ ප්‍රධාන සැලකිල්ල අන් අයගේ සුබසාධනය පිළිබඳ වන අවස්ථාවක් පිළිබඳවයි: යමෙක් අත්‍යන්තයෙන්ම හානිකර හා අනතුරුදායක දෙයක් සිදු කරන්නේ නම්, අවශ්‍ය නම් එය නැවැත්වීමට දැඩි පියවර නොගැනීම වැරැද්දකි.
වර්තමානයේ ඉතා තරඟකාරී සමාජයන්හි ශක්තිමත් ආරක්ෂක හෝ ඒ හා සමාන ක්‍රියාමාර්ග නිතර අවශ්‍ය වේ. මේවා සඳහා පෙළඹීම ස්වාර්ථ සැලකිල්ල නොවිය යුතු අතර, එයට පාදක හේතුව අන් අය කෙරෙහි පුළුල් කාරුණිකත්වය හා කරුණාව පිළිබඳ හැඟීම් විය යුතුය. අන් අය අකුසල් රැස් කර ගැනීමෙන් වැළැක්වීමට මෙවැනි හැඟීම් මත පදනම්ව ක්‍රියා කරන්නේ නම්, එය සම්පූර්ණයෙන්ම නිවැරදිය.
දැඩි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය අවස්ථාව තීරණය කරන්නේ කෙසේද යන්න සංකීර්ණ ගැටලුවකි. අප අප මතම පරාජය බාර ගන්නා විට, අන් අයට ජයග්‍රහණය ලබා දීමෙන් අවසානයේ හෝ තාවකාලිකව ඔවුන්ට ප්‍රයෝජනයක් අත් වන්නේද යන්න සොයා බැලිය යුතුය. තවද, අප වෙත පරාජය බාර ගැනීමෙන් අනාගතයේදී අන් අයට උපකාර කිරීමේ අපගේ බලයට හෝ හැකියාවට ඇති වන බලපෑමද සලකා බැලිය යුතුය. මේ අවස්ථාවේදී අන් අයට හානිකර දෙයක් සිදු කිරීමෙන් දිගුකාලීනව අන් අයට අතිශයින්ම ප්‍රයෝජනවත් දේවල් කිරීමට හැකි වන පරිදි විශාල ප්‍රමාණයක ධනාත්මක බලයක් හෝ පිනක් නිර්මාණය කිරීමත් සිදු විය හැකිය. මෙය අප සැලකිල්ලට ගත යුතු තවත් සාධකයකි.
ශාන්තිදේවයන් විසින් සිය බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නම් කෘතියෙහි පවසන පරිදි:
(V.83) "මම දානය ආදි වඩාත් උත්කෘෂ්ට වූ කල් පවත්නා ප්‍රතිඵල ගෙනදෙන ආකල්ප එකින් එක පුහුණු වන්නෙමි. කුඩා දෙයක් සඳහා වඩාත් විශාල දෙයක් කිසි විටෙකත් අත නොහරින්නෙමි: මම වඩාත්ම වැදගත් ලෙස සලකන්නේ අන් අයගේ ප්‍රයෝජනයයි.
(V.84) එය එලෙස බව අවබෝධ කරගෙන, මම නිරතුරුවම අන් අයගේ යහපත සඳහා වෙහෙස වන්නෙමි. දුරදක්නා මහා කාරුණිකයාණන් වහන්සේ විසින් (අන් අයට) තහනම් දේ කිරීමට එවැනි (බෝධිසත්ත්වයෙකු) වෙත අවසර දී ඇත."
වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම්, සාමාන්‍යයෙන් තහනම් කරන ලද ක්‍රියාවක් සිදු කිරීමේ ප්‍රතිලාභ එහි අඩුපාඩු අභිබවා යන්නේද යන්න පිළිබඳ මතුපිටින් සහ ගැඹුරින් යන අංශ දෙකින්ම පරීක්ෂා කළ යුතුය. තීරණය කිරීමට අපහසු අවස්ථාවලදී, අපගේ පෙළඹීම හෙවත් අභිප්‍රේරණය පරීක්ෂා කළ යුතුය.
ශීක්ෂාසමුක්චය (සංස්කෘත: ශික්ෂාසමුච්චය) නම් පුහුණුවීම් සංග්‍රහයේදී, ශාන්තිදේව ඒ හා සමානව යමින් ප්‍රකාශ කරන පරිදි බෝධිචිත්තයෙන් සිදුකරනු ලබන සාමාන්‍යයෙන් තහනම් කරන ලද ක්‍රියාවක ප්‍රතිලාභ, එවැනි අභිප්‍රායකින් තොරව එය සිදුකිරීමේ අකුසල් අභිබවා යන්නක් වේ.
මෙකරුණ ඉතා වැදගත් වුවද, කළ යුතු දේ හා නොකළ යුතු දේ වෙන්කරන රේඛාව දැකීම සමහර විට ඉතා අපහසු විය හැක. එබැවින්, අපි මෙවැනි දේ පැහැදිලි කරන ග්‍රන්ථයන් අධ්‍යයනය කළ යුතුය. පහළ මට්ටමේ ග්‍රන්ථවල යම් යම් ක්‍රියාවන් තහනම් බව සඳහන් වන අතර; ඉහළ ඒවායේ එම ක්‍රියාවන් සඳහාම අවසර ලබාදී ඇති බව සඳහන් වේ. මේ සියල්ල පිළිබඳ වැඩි දැනුමක් ලබන තරමට ඕනෑම අවස්ථාවක කුමක් කළ යුතුද යන්න තීරණය කිරීම පහසු වනු ඇත.
කවිය 6: අකෘතඥයින් ශුද්ධ වූ ගුරුවරුන් සේ සලකන්න
මවිසින් උපකාර කරන ලද හා එබැවින්ම මවිසින් ප්‍රත්‍යුපකාර විෂයයෙහි විශාල අපේක්ෂා තබා ගත් යමෙක් මා හට සම්පූර්ණයෙන්ම අසාධාරණ ලෙස හානි සිදු කළද, ඔහු හෝ ඇය පූජනීය ගුරුවරයෙකු ලෙස සැලකීමට මා හට හැකිවේවා.
සාමාන්‍යයෙන් අප විශාල වශයෙන් උපකාර කරන ලද පුද්ගලයින් ඉතා කෘතඥ වනු ඇතැයි අපේක්ෂා කරන අප ඔවුන් අපට කෘතඥතාවයකින් තොරව ප්‍රතිචාර දක්වන්නේ නම්, ඔවුන් සමඟ කෝප වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී කලබල නොවී ඉවසීම පුරුදු කළ යුතුය. තවද, අපගේ ඉවසීම පරීක්ෂා කරන ගුරුවරුන් ලෙස එවැනි පුද්ගලයින් දැකීමට හා එබැවින් ඔවුන්ට ගෞරවයෙන් සැලකීම අවශ්‍යය. මෙම පද්‍යය ශාන්තිදේවගේ බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම හි ඉවසීම පිළිබඳ සියලු ඉගැන්වීම් සාරාංශගත කරයි.
ඉවසීම ප්‍රවර්ධනය සඳහා බොහෝ ක්‍රම ඇත. කර්මයේ නීතිය පිළිබඳ දැනුම හා විශ්වාසයමද ඉවසීම ඇති කරන්නකි. අප වටහා ගත යුත්තේ මෙසේය: "මා අත්විඳින මේ දුක සම්පූර්ණයෙන්ම මාගේම වරදෙහි හෙවත් අතීතයේ මා විසින්ම කරන ලද ක්‍රියාවල ප්‍රතිඵලයකි. දැනටමත් විපාක දෙන දේ අත්විඳීමෙන් මට පලා යා නොහැකි බැවින්, මම එය ඉවසිය යුතුය. කෙසේ වෙතත්, අනාගතයේ දුක් විඳීමෙන් වැළකීමට මට අවශ්‍ය නම්, ඉවසීම වැනි යහපත් ආකල්ප තුළින් එය සාක්ෂාත් කරගත හැකිය. මෙම දුක පිළිබඳ චිත්ත පීඩාවට හෝ කෝපයට පත්වීමෙන් අනාගත අභාග්‍යයට හේතුවන අකුසල් රැස්වීම පමණක් සිදු වේ." මෙය ඉවසීම පුහුණු කිරීමේ එක් ක්‍රමයකි.
අපට කළ හැකි තවත් දෙයක් නම් ශරීරයේ දුක්ඛ ස්වභාවය පිළිබඳ භාවනා කිරීමයි: "මෙම සිත හා කය සියලු ආකාරයේ දුක්වලට පදනම වේ. ඒවායින් දුක ඇති වීම ස්වාභාවික වන අතර කිසිසේත්ම අනපේක්ෂිත නොවේ." මෙවැනි අවබෝධයක් ඉවසීම වර්ධනය කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ.
තවද, අපට ශාන්තිදේවයන් විසින් බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම හි පවසන දේ සිහිපත් කළ හැකිය:
(VI. 10) "යමක් පිළියම් කළ හැකි දෙයක් වේනම්, එ් පිළිබඳ සිත් විස්සෝපයට පත්කර ගනුයේ මන්ද? තවද එයට පිළියම් කළ නොහැකි නම්, ඒ පිළිබඳ විස්සෝපයට පත්විමෙන් ඇති ඵලය කවරක්ද?"
එබැවින්, අපගේ දුක ජය ගැනීමට ක්‍රමයක් හෝ අවස්ථාවක් තිබේ නම්, අපට කනස්සල්ලට හෝ සිත් තැවුලට පත් වීමට අවශ්‍යතාවයක් නොමැත. අපට ඒ පිළිබඳ කළ හැකි කිසිවක් නොමැත්තේ නම්, කනස්සල්ලට හා පීඩාවට පත් වීමෙන් කිසිසේත්ම ඵලක් නොවේ. මෙය ඉතා සරල හා ඉතා පැහැදිලි කරුණකි.
අප කළ හැකි තවත් දෙයක් නම් කෝප වීමේ අවාසි හා ඉවසීම පුහුණු කිරීමේ වාසි පිළිබඳ සිතා බැලීමයි. අප මිනිස් ප්‍රාණීන් වන අතර ඒ අනුව අපගේ යහපත්ම ගුණාංග අතරින් එකක් වන්නේ සිතීමට හා විනිශ්චය කිරීමට ඇති හැකියාවයි. ඉවසීම අහිමි වීමෙන් කෝපයට පත් වූ විටදී අපට නිසි තීරණ ගැනීමේ හැකියාව අහිමි වන අතර එමගින් අපගේ මානව ප්‍රඥාව ලෙස එන ගැටලු විසඳීම සඳහා අප සතු ශක්තිමත්ම උපකරණවලින් එකක් අහිමි වේ. මෙය සතුන්ට නොමැති දෙයකි. ඉවසීම අහිමි කරගනිමින් චිත්ත පීඩාවට පත් වූ විට අපි මෙම වටිනා උපකරණයට හානි කරන්නවුන් වෙමු. එබැවින් අප මතක තබා ගත යුතු කරුණ නම්, ධෛර්යය හා අධිෂ්ඨානය ඇති කරගනිමින්, ඉවසීමෙන් දුකට මුහුණ දීම බොහෝ සෙයින් යහපත් වන බවයි.
කවිය 7: අනෙකාගේ දුක භාරගනිමින් ඔවුන් වෙත සතුට ප්‍රදානය කරන්න
කෙටියෙන් කිවහොත් මාගේ සියලුම මාතාවන්ට, සත්‍ය වශයෙන් හා වක්‍ර ලෙස, ප්‍රයෝජනවත් හා සතුට ගෙන දෙන සියල්ල පිරිනමමින් මාගේ සියලුම මාතාවන්ගේ කරදර හා දුක් රහසින් හා පෞද්ගලිකව ඔවුන් වෙනුවෙන් විඳ දරා ගැනීමට මා හට හැකිවේවා.
මෙය ශක්තිමත් කරුණාව හා ආදරය මගින් ඇතිකරන අභිප්‍රේරණය තුළ අන් සියලු දෙනාගේ දුක් අප විසින් බාර ගනිමින් අපගේ සියලු සතුට ඔවුන්ට පරිත්‍යාග කිරීමේ පිළිවෙතට (තොන්ලෙන්) අදාළ වේ.
පෞද්ගලිකවම අපට සතුට අවශ්‍ය වන අතර දුක අවශ්‍ය නොවේ. අන් සියලු සත්ත්වයන්ද එසේම හැඟීම් පවත්නා බව අපට වටහාගත හැක. අන් සත්ත්වයන් දුකින් යටපත් වී සිටින නමුත් ඒවායින් මිදෙන ආකාරය නොදන්නා බවද අපට වටහාගත හැක. මේ මත පදනම්ව අප ඔවුන්ගේ සියලු දුක් හා අකුසල් කර්ම බාර ගැනීමේ අභිප්‍රාය ඇති කරගෙන වහාම එම අකුසල් හා දුක් අප මත විපාක දෙන ලෙස ප්‍රාර්ථනා කරමු. එසේම අන් සත්ත්වයන් ඔවුන් සොයන සතුටින් තොරවම ජීවත්වන අතර එය සොයා ගන්නා ආකාරයද නොදන්නා බව පැහැදිලිය. මෙහෙයින් මසුරුකමේ සලකුණක්වත් නොමැතිව අපගේ ශරීරය, ධනය හා කුසල් කර්ම බලයද ඇතුළත් අපගේ සියලු සතුට ඔවුන්ට පුදමින් එය වහාම ඔවුන් මත විපාක දෙන ලෙසද ප්‍රාර්ථනා කරමු.
නියත වශයෙන්ම, අප සැබැවින්ම අන් අයගේ දුක් බාර ගෙන ඔවුන්ට අපගේ සතුට ලබා දීමට හැකි වීම ඉතා අසම්භාවී හෙවත් විය නොහැකි ආකාරයේ කරුණක් වේ. සත්ත්වයන් අතර එවැනි හුවමාරුවක් සිදු වන්නේ අතීතයේ සිට පැවත එන යම් ඉතා ශක්තිමත් නොබිඳුණු කර්ම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් වශයෙනි. කෙසේ වෙතත්, මෙම භාවනාව අපගේ මනස තුළ ධෛර්යය ගොඩනැගීමේ ඉතා ශක්තිමත් මාධ්‍යයක් වන අතර, එබැවින්ම ඉතා ප්‍රයෝජනවත් භාවනාවකි.
සප්තවිධ චිත්ත පුහුණුව නම් කෘතියෙහි ගෙෂේ චෙකාවා මෙසේ පවසයි: "ලබාදීම සහ ලබාගැනීම යන දෙකරුණ සිය හුස්ම මත ස්ථාපනය කරමින් එතුළ මාරුවෙන් මාරුවට පුහුණු වන්න." මෙහිදී, ලන්ග්‍රි තන්ග්පා පවසන්නේ මෙය සැඟවුණු ආකාරයෙන්, රහසිගතව කළ යුතු බවයි. ශාන්තිදේවයන් විසින් සිය බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම හිද එයම පවසයි:
(VIII. 120) මේ අනුව, තමන්ට හා අන් අයට ආරක්ෂිත මාර්ගයක් වේගයෙන් ලබා දීමට අවශ්‍ය ඕනෑම අයෙකු අන් අය සමඟ තමා හුවමාරු කරගැනීමේ පූජනීය රහස අභ්‍යාස කළ යුතුය.
මෙම භාවනාව "රහස්" හෝ "ගුප්ත" ලෙස හඳුන්වන්නේ එය ආරම්භක බෝධිසත්ත්වයින්ගේ මනසට නොගැලපෙන බැවිනි; එය තෝරාගත් පිළිවෙත් පුරන්නන් කිහිප දෙනෙකු සඳහා පමණක් යෝග්‍ය වන්නකි. ශාන්තිදේවයන්ගේ "බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම" (VIII 126cd) තුළ මෙසේ සඳහන් වේ: "අන් අයගේ අරමුණු සඳහා මා විසින් මාවම වෙහෙසට පත් කරගනිමින්, සියලු මහිමයන් ලබා ගනිමි." නමුත් නාගාර්ජුනයන්ගේ "රත්නාවලී" (11) තුළ මෙසේ සඳහන් වේ: "ශරීරය පමණක් වෙහෙසවීමෙන් ධර්මය (අභ්‍යාසය) සාක්ෂාත් කර ගත නොහැක."
මේවා පරස්පර විරෝධී නොවේ. ශාන්තිදේවට අනුව අපි තමන්වම වෙහෙසට පත් කරගත යුතුය යන්නෙන් හිසට ගසාගැනීම වැනි දෙයක් අදහස් නොවේ. බලවත් ස්වයං-ප්‍රේමී චින්තනයන් ඇති වූ විට, අපි එ් සම්බන්ධයෙන් ඇතුළාන්ත තර්කනයක යෙදෙමින් ඒවා දමනය කිරීමට බලපෑම්කාරී ක්‍රම භාවිතා කළ යුතුය. එනම්, අපගේ ස්වයං-ප්‍රේමී හෙවත් ආත්මාභිලාශී මනසට හානි කළ යුතුය.
"මම" යනුවෙන් සම්පූර්ණයෙන්ම ආත්ම යහපත පමණක් සොයන්නන් සහ "මම" යනුවෙන් බුද්ධත්වයට පත්වන අය අතර පවත්නා පැහැදිලි වෙනස හඳුනා ගත යුතුය. එපමණක් නොව, ශාන්තිදේවගේ මෙම පද්‍යය එයට පෙර සහ පසුව එන පද්‍ය සමඟ සම්බන්ධ කොට සලකා බැලිය යුතුය.
"මම" ගැන සාකච්ඡා කරන ආකාර බහුලය: සත්‍ය වශයෙන් සිටින "මම" යන්නෙකු ග්‍රහණය කිරීම;"මම" යනුවෙන් පවත්වාගෙන යන ආත්මාර්ථකාමී චින්තනය; අන් අයගේ දෘෂ්ටිකෝණයෙන් දේවල් බැලීමේදී අප භාවිතා කරන "මම",
ආදී වශයෙනි. අපි තමා හෙවත් "මම" යන සාකච්ඡාව මෙම විවිධ සන්දර්භ තුළ සලකා බැලිය යුතුය.
ඉන් අන් අයට සැබැවින්ම ප්‍රයෝජනයක් අත්පත් වේ නම්, හෙවත් එක් සීමිත ප්‍රාණියෙකුට පවා යහපතක් වේ නම්, සංසාරයේ තල තුන තුළ දුක් විඳීම හෝ නිරයකට යාම යන දෙකම පවා අපට භාර ගත හැකිය. එසේ කිරීමට අප තුළ ධෛර්යය වර්ධනය කරගත යුතුය. සියලු සීමිත ප්‍රාණීන්ගේ යහපත උදෙසා බුද්ධත්වයට පත්වීම පිණිස අපි අවීචි නරකය වැනි පහළම ලෝකයන්හි අසංඛ්‍ය කල්ප ගණනක් ගත කිරීමට පවා සතුටු විය යුතුය. අන් අයට පීඩා ගෙනදෙන හානි අප විසින් භාර ගැනීම යන්නේ අර්ථය මෙයයි.
මෙහිලා සැලකෙන විෂය කරුණ වන්නේ නරකයට යාමේ තත්ත්වයක් භාර ගැනීමට අවශ්‍ය ධෛර්යය වර්ධනය කිරීමයි; එහි යාමේ අවශ්‍යතාවයක් නැත. කදම්පා ගෙෂේ චෙකවා මිය යන විට, ඔහු ඔහුගේ ශිෂ්‍යයන් ඇමතූ අතර, ඔහුගේ භාවනාව අසාර්ථක වූ බැවින් විශේෂ පූජා, චාරිත්‍ර සහ ප්‍රාර්ථනා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. යම් බියකරු දෙයක් සිදුවන්නට යන්නේ යැයි සිසුවෝ බියපත් වූහ. කෙසේ වෙතත්, ගෙෂේ විසින් පැහැදිලි කරන ලද්දේ ඔහුගේ සම්පූර්ණ ජීවිත කාලය පුරා අන් අයගේ යහපත උදෙසා නරකයන්හි උපතක් ප්‍රාර්ථනා කළ නමුත්, දැන් ඔහුට පිරිසිදු දර්ශනයක් ලැබෙමින් පවත්නා බවයි. ඔහු නරකයෙහි වෙනුවට ශුද්ධ භූමියක උපත ලැබීමට නියමිතව පැවතීම ඔහුගේ පසුතැවිල්ලට හේතුව විය.
එලෙසම, අපි අන් අයගේ යහපත සඳහා නරක භවයන්හි උපතක් පතන බලවත්, අක්ලේශකාමී ආශාවක් වර්ධනය කළහොත්, එතුළින් අපි විශාල ධනාත්මක බලයක් ගොඩනඟමු. එමඟින් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ඇති කරයි. ඒ නිසා මා නිතර සඳහන් කරන පරිදි අප ආත්මාර්ථකාමී වන්නේ නම්, එය ඥානවන්තව කළ යුතුය. පටු මනසින් යුත් ආත්මාර්ථ චින්තනය අපව පහළට ඇද දමන්නකි; ඥානවන්ත ආත්මාර්ථ චින්තනය අපව බුද්ධත්වය කරා ගෙන යන්නකි. එය සැබැවින්ම ඥානවන්ත ක්‍රියාවකි!
අවාසනාවකට, අපි සාමාන්‍යයෙන් ආරම්භයේදීම සිදුකරන දෙය නම් බුද්ධත්වයට ඇලීමයි. ධර්ම ග්‍රන්ථවලින් අපට තේරුම් ගත හැකිවන පරිදි බුද්ධත්වය සාක්ෂාත් කිරීම සඳහා අපට බෝධිචිත්තය අවශ්‍ය වන අතර, එසේ නොමැතිව අපට අවබෝධය ලබා ගත නොහැක. එබැවින්, අපි කෝප සිතින් යුතුව "මට බුද්ධත්වය අවශ්‍යයි; ඒ නිසා මා බෝධිචිත්තය අභ්‍යාස කළ යුතුයි." යනුවෙන් සිතන්නෙමු. ඇත්ත වශයෙන්ම, අපි බුද්ධත්වය පිළිබඳ පමණ බෝධිචිත්තය පිළිබඳ සැලකිලිමත් නොවෙමු. මෙය මුළුමනින්ම වැරදි සහගත තත්ත්වයකි. කළ යුත්තේ මෙහි ප්‍රතිවිරුද්ධ දෙයයි; ආත්මාර්ථ අභිප්‍රේරණය අමතක කර, අන් අයට සැබැවින්ම උපකාර කරන්නේ කෙසේදැයි සිතන්න.
අපි ඇත්ත වශයෙන්ම නරකයට ගියහොත්, අපට අන් අයට හෝ අපටමද උපකාර කළ නොහැකිය. අපි කිසි ලෙසකිනුදු අන් අයට උපකාර කරන්නේ කෙසේද? එය කළ හැක්කේ ද්‍රව්‍යමය වස්තු දීමෙන් හෝ ආශ්චර්‍ය්‍ය ක්‍රියා කිරීමෙන් නොව, ඔවුන්ට ධර්මය ඉගැන්වීමෙනි. කෙසේ වෙතත්, පළමුව අපි ඉගැන්වීමට සුදුසුකම් ලබා ගත යුතුය. දැනට අපට පළමු අදියරේ සිට අවසානය දක්වා, එනම් අවබෝධය දක්වා, එක් පුද්ගලයෙකු ගමන් කළ යුතු සියලුම අභ්‍යාස සහ අත්දැකීම් සම්පූර්ණ වූ මාර්ගය පැහැදිලි කළ නොහැකිය. සමහර විට අපට මුල් අදියර කිහිපයක් අපගේම අත්දැකීම් හරහා පැහැදිලි කළ හැකිය. නමුත් ඊට වඩා බොහෝ දුරට එය සිදුකළ නොහැක. අන් අයට අවබෝධය දක්වා සම්පූර්ණ මාර්ගය ඔස්සේ මෙහෙයවීමෙන් උපකාර කිරීම සඳහා පළමුව අප විසින් අවබෝධය ලබා ගත යුතුය. බෝධිචිත්තය අභ්‍යාස කළ යුතු යැයි හැඟීමට නිසි හේතුව මෙයයි. මෙය සාමාන්‍ය ආත්මාර්ථ ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම වෙනස් වූවකි. එහිදී, අපගේම අවබෝධය පිළිබඳ ආත්මාර්ථ අභිලාශය හේතුකොට අපි අන් අය පිළිබඳ සිතමින් බෝධිචිත්තය තුළින් අපගේ හදවත් ඔවුන් වෙත යොමු කරන්නේ එය කළ යුතු යැයි හැඟෙන නිසා පමණි. මෙම ක්‍රමය සම්පූර්ණයෙන්ම අසත්‍ය, එක්තරා මුසාවකි.
කවිය 8: සියලු සංස්කාර ධර්මයෝ මායාවක් වැනි බවට වටහා ගනිමින් අටලෝ දහමින් කම්පා නොවන තත්ත්වයක් වගා කරගන්න
අටලෝ දහම පිළිබඳ සංකල්පවලින් කැළැල් නොවූ මනසකින් මේ සියල්ල තුළ සියලු සංසිද්ධි මායාවක් ලෙස දකිමින් කිසිදු ඇලීමකින් තොරව සියලු බැඳීම්වලින් නිදහස් වීමට මා හට හැකිවේවා.
මෙම පද්‍යය විවේචනාත්මක ඥානය හෝ ප්‍රඥාව පිළිබඳ සාකච්ඡා කරන්නකි. මින් පෙර සාකච්ඡා කළ සියලුම අභ්‍යාස අෂ්ට ලෝක ධර්ම ලෙස හඳුන්වන අට වැදෑරුම් ක්ෂණික දේවල් පිළිබඳ කල්පනාවලින් තොරව පැවතිය යුතුය – ප්‍රශංසා හෝ චෝදනා, හොඳ හෝ නරක ප්‍රවෘත්ති ඇසීම, ලාභ හෝ අලාභ, සහ දේවල් යහපත් ලෙස හෝ අයහපත් ලෙස පැවතීම වශයෙනි.
මෙම අෂ්ටය (ලෞකික ධර්ම) සුදු, කළු හෝ මිශ්‍ර ලෙස වර්ග කළ හැකිය. එනම්, කළු: මෙම ජීවිතයේ සැපයට ඇල්ම, ස්වයං-ප්‍රේමී චින්තනය සහ සත්‍යවශයෙන් පවතින "මම" ග්‍රහණය සමඟ යුගලයේ පළමු දේ (ප්‍රශංසා, ලාභ, යහපත) ලැබෙන විට අතිශයින් උද්යෝගිමත් වීම හෝ දෙවැන්න (නින්දා, අලාභ, අයහපත) ලැබෙන විට මහත් විශාදයට පත්වීම. මිශ්‍ර: මෙජීවිතයේ සැපයට ඇල්ම නැතිව, නමුත් ස්වයං-ප්‍රේමී චින්තනය සහ "මම" ග්‍රහණය සමඟ ඇතිවන ප්‍රතික්‍රියා. සුදු: මෙජීවිත සැපයට හෝ ස්වයං-ප්‍රේමී චින්තනයට ඇල්මක් නැතිව, සත්‍යවශයෙන් පවතින "මම" ග්‍රහණය පමණක් මත ඇතිවන ප්‍රතික්‍රියා, වශයෙනි.
නමුත්, මෙම පද්‍යය සරලව පැහැදිලි කිරීමට උත්සාහ කරමු: පළමු පද්‍ය හතේ විස්තර කර ඇති අභ්‍යාස ප්‍රශංසා, නින්දා වැනි අෂ්ට ලෞකික ධර්ම හමුවේ සත්‍ය වශයෙන් පවතින "මම" ග්‍රහණයෙන් තොරව කළ යුතුයි.
මෙලෙස අපගේ භාවනාව කලුසෙවණින් ආරක්ෂා කරගන්නේ කෙසේද? සියලු ප්‍රත්‍යයන් මායාවක් ලෙස හඳුනාගෙන, ඒවා සත්‍ය වශයෙන් පවතින ලෙස ග්‍රහණය නොකිරීමෙනි. මේ ආකාරයෙන්, අපි මෙවැනි ග්‍රහණයන්ගේ සහ ඇල්මේ බැඳීම්වලින් මිදෙමු.
මෙහි "මායාව" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සත්‍ය වශයෙන් පවතින බව (ස්වභාවික අස්ථිර අර්ථයක්) අපගේ මනසට විවිධ වස්තූන්ගේ ආකාරයෙන් පෙනෙන නමුත්, ඇත්ත වශයෙන්ම එවැනි සත්‍ය අර්ථයක් නොමැත. එනම්, සත්‍ය අර්ථයක් නැති වුවද සත්‍ය ලෙස පෙනෙන බැවින්ම එය මායාවකි. මෙයින් අදහස් කරන්නේ සියලු ප්‍රත්‍යයන් පෙනෙන ආකාරයට සත්‍ය වශයෙන් පවතින්නේ නැති බවයි. ඒවා පවතින්නේ පරාධීන උත්පත්තිය (අනිත්‍යතාව) මත පමණි.
මෙය තේරුම් ගැනීමට ශූන්‍යතාව (සියලු දේ අර්ථ රහිත බව) පිළිබඳ නිවැරදි අවබෝධයක් අවශ්‍යයි. පළමුව, සියලු ප්‍රත්‍යයන් සත්‍ය වශයෙන් හමුවන අර්ථයකින් තොර බව තහවුරු කර ගන්න. පසුව, යමක් සත්‍ය අර්ථයක් සහිතව පෙනෙන විට, එම අසීමිත අර්ථය ප්‍රතික්ෂේප කරන්න (මක්නිසාද එය පෙර තහවුරු කරගත් ශූන්‍යතාවට විරුද්ධ බැවිනි). මෙම දෙක – සත්‍ය අර්ථයක් පෙනීම සහ එහි ශූන්‍යතාව – එකට ගත් විට අපි සියලු ප්‍රත්‍යයන්ගේ මායා ස්වභාවය අවබෝධ කර ගනිමු. මේ අනුව සැබෑ ලෙස ස්ථාපිත හා සොයාගත හැකි පැවැත්මක් යනු මායාවක් වන අතර සැබෑ ලෙස පවත්නා බැව් පෙනෙන සංසිද්ධි හුදෙක් මායාවක් වනුයේ එ්වා සැබෑ ලෙස නොපවතින නමුදු එසේ පවත්නා බවක්ම පෙන්වන බැවිනි. ඒවා හුදෙක් පටිච්ච සමුප්පන්න වේ.
සොයා ගත නොහැකි සහ එහි පැවැත්ම හුදෙක් එහි අන්‍යෝන්‍ය පරායත්ත හෙවත් පටිච්ච සමුප්පන්න හටගැනීම මත පදනම්ව පිහිටා ඇති දෙයක් ක්‍රියාත්මක වීම තේරුම් ගැනීම ඉතා අපහසුය. ක්‍රියාකරු සහ ක්‍රියාව යන දෙකෙහිම පැවැත්ම හුදෙක් එකිනෙකා මත අන්‍යෝන්‍ය වශයෙන් පරායත්තව හටගන්නා ප්‍රපංච වීමේ හේතුවෙන් ස්ථාපිත වන බව සහ ඔවුන්ට ස්වයං-ස්ථාපිතව ක්‍රියාත්මක විය නොහැකි බව අපට වටහාගත හැකි නම්, එවිට ශුන්‍යතාව පටිච්ච සම්ප්පන්න ධර්ම තුළින් දර්ශනය වනු ඇත. මෙය තේරුම් ගැනීමට ඉතාමත් අපහසු කරුණයි. සොයාගත හැකි ස්වභාවයක් මගින් ස්ථාපිත නොවූ හෝ පැහැදිලි නොකරන ලද පැවැත්ම - වෙනත් වචන වලින් සඳහන් කරන්නේ නම්, අභ්‍යන්තරිකව සොයාගත නොහැකි පැවැත්ම - අපි නිවැරදිව වටහාගෙන ඇත්නම්, පවතින වස්තූන්ගේ අත්දැකීම පැහැදිලි වේ. එ්වාහි පැවැත්ම සොයාගත හැකි ස්වභාවයක් මගින් ස්ථාපිත හෝ පැහැදිලි කරනු ලැබේ යන්න තර්ක ශාස්ත්‍රානුකූලව ප්‍රතික්ෂේප කෙරේ. ප්‍රපංචයන්ට ඔවුන්ගේ පැවැත්ම ස්ථාපිත කරන හෝ පැහැදිලි කරන සොයාගත හැකි ස්වභාවයක් තිබිය හැකි කිසිදු ක්‍රමයක් නැති බව තර්කය අපට ඒත්තු ගන්වයි. එසේ වුවද, ප්‍රපංචයන් නිශ්චිතවම පවතී, මක්නිසාද යත් අපි ඒවා වලංගු ලෙස අත්විඳින බැවිනි.
එසේනම්, ඒවා පවතින්නේ කෙසේද? වෙනත් වචන වලින් කිවහොත්, ඒවායේ පැවැත්ම සනාථ කරනු හෝ විස්තර කරනු ලබන්නේ කුමක් මගින් ද?
එ්වායේ පැවැත්ම හුදෙක් නාම (නම්) වල බලය මත පමණක් රඳා පැවතීමෙන් සනාථ වේ. මෙයින් කියවෙන්නේ ප්‍රත්‍යයන් හෙවත් සංසිද්ධීන් සම්පූර්ණයෙන්ම නොපවතින බව නොවේ; කිසි විටෙකත් දේවල් නොපවතින බව නොකියනු ලැබේ. කියවෙන්නේ දේවල්හි පැවැත්ම නාම මත රඳා පැවැත්ම මත පමණක් සනාථ කළ හැකි බවයි. මෙය සංකීර්ණ හා පැහැදිලි කිරීම හා අවබෝධ කරගැනීම අපහසු කරුණකි; අත්දැකීම් හරහා සෙමින් සෙමින් අවබෝධ කර ගත හැකි දෙයකි.
පළමුව: සත්‍ය වශයෙන් පවතින බව විශ්ලේෂණය කිරීමේදී දේවල් සත්‍ය වශයෙන් පවතිනවාදැයි විමසිය යුතුයි. එනම්, ඒවායේ පැවැත්ම ඒවායේම පැත්තෙන් (ස්වාධීනව) හමුවන යමක් මගින් සනාථ වේදැයි පරීක්ෂා කිරීමයි. ඇත්ත වශයෙන්ම, අපට දේවල්වල පැත්තෙන් ඒවායේ පැවැත්ම සනාථ කරන කිසිදු දෙයක් හමුවන්නේ නැත. කිසිවක් හමු නොවේ! නමුත්, අපි දේවල් අත්විඳින බැවින් "ප්‍රත්‍යයන් සම්පූර්ණයෙන්ම නොපවතී" යැයි කීමද වැරදිය. එබැවින්, තර්කයෙන් සත්‍ය අර්ථයක් සනාථ කළ නොහැකි වුවද, අත්දැකීම් මගින් ඒවා පවතින බව අපි දනිමු. එබැවින් අපට නියත වශයෙන්ම දේවල් පවත්නා බවට නිගමනය කළ හැක.
දේවල් පවතී නම්, ඒවායේ පැවැත්ම සනාථ වන්නේ ආකාර දෙකකින් පමණි: එනම්, ස්වාධීනව: ඒවායේම බලයෙන් (ස්වභාවයෙන්) හෝ පැවැත්ම හෝ පරාධීනව: වෙනත් සාධක මත රඳා පැවතීමෙන් වශයෙනි.
දේවල් පැවතීම ස්ථාපිත කිරීමට හෝ පැහැදිලි කිරීමට ඒවා යැපෙන්නේ කුමක් මතද? ඒවා යැපෙන්නේ නම් කිරීමට පදනමක් සහ එය නම් කරන හෝ හඳුන්වන සංකල්පයක් හෝ නාමයක් මතය. ප්‍රපංචයන් සොයා බැලීමේදී සොයාගත හැකි නම්, ඒවායේ පැවැත්ම ඒවායේම ස්වභාවයන් විසින් ස්ථාපිත කරනු ලබන බව විය යුතුය. එවැනි අවස්ථාවක, දේවල් පැවැත්ම ඒවායේම ස්වභාවයන් විසින් ස්ථාපිත නොකරන බව පවසන මාධ්‍යමික ලේඛන වැරදි වනු ඇත. කෙසේ වෙතත්, අපට සෙවීමේදී දේවල් සොයා ගත නොහැක: එ්වායේ පැවැත්ම ස්ථාපිත කරන කිසිවක් එ්වායේ පැත්තෙන් අපට සොයා ගත නොහැක. එවිට අපි සොයා ගන්නේ ප්‍රපංචයන්ගේ පැවැත්ම හුදෙක් වෙනත් සාධකවල බලය හරහා, එනම් හුදෙක් නාමයන්ගේ බලය හරහා පමණක් ස්ථාපිත වන බවයි.
මෙහි "හුදෙක්" යන වචනය යමක් කපා හරින බව පෙන්නුම් කරයි. නමුත්, කපා හරිනු ලබන්නේ නම ම නොවේ, එමෙන්ම නම හඟවන, අදහස් කරන, හෝ යොමු කරන සහ වලංගු අවබෝධයක විෂය වන දේද නොවේ. නම් කිසිවක් නොහඟවන හෝ යොමු නොකරන බව, හෝ නම් වල යොමුවන වස්තූන් වලංගු අවබෝධයක විෂයන් නොවන බව මෙහිලා ප්‍රකාශ නොකරමු. "හුදෙක්" යන වචනය මගින් කපා හරින්නේ ප්‍රපංචයන්ගේ පැවැත්ම නාමයන්ගේ බලය හැර වෙනත් යමකින් ස්ථාපිත වන්නේය යන්නයි. ප්‍රපංචයන්ගේ පැවැත්ම ස්ථාපිත වන්නේ හෝ පැහැදිලි කරනු ලබන්නේ හුදෙක් නාමයන්ගේ බලයෙනි; නමුත්, නාමයන් යමකට යොමු වන අතර ඒවා යොමු වන්නේ වලංගු අවබෝධයක හෙවත් සංජානනයක විෂයයන්ටය.
එබැවින්, දේවල්වල සැබෑ ස්වභාවය නම් ඒවායේ පැවැත්ම ස්ථාපිත වන්නේ හෝ පැහැදිලි කරනු ලබන්නේ හුදෙක් නාමයන්ගේ බලයෙන් පමණක්ය යන්නයි. වෙනත් විකල්පයක් නැත, හුදෙක් නාමයන්ගේ බලයෙන් පමණි. නමුත් එයින් අදහස් වන්නේ නාමයන්ට අමතරව කිසිවක් නැති බව නොවේ. ප්‍රපංච තිබේ: නාමයන්ට යොමුවන වස්තූන් තිබෙන අතර නාමයන්ද තිබේ. නාමයන්ට යොමුවන වස්තූන්ගේ පැවැත්ම ස්ථාපිත කරන්නේ කුමක්ද? ඒවායේ පැවැත්මද ස්ථාපිත වන්නේ හුදෙක් නාමයන්ගේ බලයෙන් පමණි.
උසස්ම, වඩාත්ම නිවැරදි දැක්ම වන ප්‍රාසාංගික මාධ්‍යමික මතයට අනුව බාහිර වස්තුවක් හෝ එම වස්තුව අවබෝධ කරගන්නා අභ්‍යන්තර සිත හෝ විඥානය වේවා එම තත්ත්වය එකමය. දෙකෙහිම පැවැත්ම ස්ථාපිත වන්නේ හුදෙක් නාමයන්ගේ බලයෙනි; කිසිවක් සත්‍ය වශයෙන් සොයාගත හැකි ස්ථාපිත පැවැත්මක් නැත. සිතුවිලි හා සංකල්පවල පැවැත්මද ස්ථාපිත වන්නේ හුදෙක් නාමයන්ගේ බලයෙන් පමණය, ශුන්‍යතාව, බුදුරජාණන් වහන්සේ, යහපත, අයහපත හා උදාසීන දේ සම්බන්ධයෙන්ද එසේමය. සියලු ප්‍රපංචයන්ගේ, සෑම දෙයකම පැවැත්ම ස්ථාපිත වන්නේ හුදෙක් නාමයන්ගේ බලයෙන් පමණය.
අපි "නාමය පමණක්" යැයි සඳහන් කරන විට, එහිදී එ්වාට අදාළ නාමයන්ගේ බලයෙන් පමණක් නොව වෙනත් ආකාරයකින් සිය පැවැත්ම ස්ථාපිත වී ඇති නාමයන්ට යොමුවන වස්තූන් කපා හරියි. "නාමය පමණක්" යන්නෙහි අර්ථය තේරුම් ගැනීමට වෙනත් ක්‍රමයක් නැත. නමුත් කෙසේ වෙතත්, සැබෑ පුද්ගලයෙකු හා මායා පුද්ගලයෙකු හෙවත් අවතාරයක් සලකා බලන්න. දෙදෙනාම සිය පැවැත්ම ස්ථාපිත කිරීම හෝ පැහැදිලි කිරීම කළ හැක්කේ හුදෙක් ඔවුන් සඳහා වන නාමයන්ගේ බලයෙන් පමණක්ය යන කරුණෙහි ලා සමානයෝය. නමුත් දෙදෙනා අතර වෙනසක් ඇත. පවතින හෝ නොපවතින ඕනෑම දෙයක් මානසිකව නම් කළ හැකි අතර එය එපමණය. අපට "සැබෑ පුද්ගලයා" සහ "මායා පුද්ගලයා හෙවත් අවතාරය" යනුවෙන් මානසිකව නම් කිරිම් සිදුකළ හැකිය. නමුත් නාමයන් සම්බන්ධයෙන් ගත් කල, ඇතැම් නාමයන් යොමු වන්නේ පවතින දේවල්වලට වන අතර සමහර ඒවා එසේ නොවේ. "සැබෑ පුද්ගලයා" යන නාමය යොමු වන්නේ සැබවින්ම පවතින යමකට වන අතර, "මායා පුද්ගලයා හෙවත් අවතාරය" යන නාමය යොමු නොවන්නේ පවතින කිසිවකටය - එනම්, එය යොමු වන්නේ නොපවතින යමකටය.
සාරාංශය
චිත්තවේගීව අභියෝගාත්මක පුද්ගලයන් සහ ඔවුන් අප වෙත යොමු කරන දරුණු වචන හා අසාධාරණ හැසිරීම් මායාවක් වැනි බව වටහා ගන්නා විට, අපි සැබවින්ම සහ සොයාගත හැකි ලෙස අභ්‍යන්තරිකව දරුණු පුද්ගලයන්, වචන හෝ හැසිරීම් ලෙස පවතින බවක් ඔවුන් කෙරෙහි ප්‍රක්ෂේපණය නොකරමු. ඔවුන් එම අසම්භාව්‍ය ආකාරයෙන් පැවතීමෙන් හිස් වේ. එවිට, එම පුද්ගලයන් ලේබල් කරන හා නම් කරන සංකල්ප හා වචන හෝ නාමයන් අපි ඔවුන් දෙස බලන ආකාරයට බලපාන ආකාරය දැක, අපට ඔවුන් චින්තා මාණික්‍යයන් ලෙස නම් කිරීමෙන් ඔවුන් කෙරෙහි අපගේ ආකල්ප පරිවර්තනය කිරීමට හැකි වේ. ඔවුන් එසේ දකිමින්, අපි ඔවුන් මුණ ගැසීම වූකලි ඉවසීම හා නිහතමානීත්වය වැනි යහපත් ගුණාංග වර්ධනය කර ගැනීමට උදා වූ වටිනා අවස්ථාවක් ලෙස සලකමු.
ලැංග්‍රි ටැංපා විසින් රචිත "Eight Verses of Mind Training" නම් වූ මුල් කෘතිය කියවා ශ්‍රවණය කරන්න.