ලම්-රිම් ශ්‍රේණිගත මාර්ගය පිළිබඳ සමාලෝචනය

වටිනා මනුෂ්‍යාත්ම භාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම

හැකි ඉහළම ආධ්‍යාත්මික ප්‍රගතිය ලැබීමට අවකාශ සලසන අගනා මිනිස් සිරුරක්ද සහිතව අප සියලු දෙනා වටිනා මනුෂ්‍යාත්ම භාවයක පුනරුත්පත්තිය ලබා ඇත්තෙමු. දේව මණ්ඩලයේ ප්‍රධානියා වන ඉන්ද්‍ර දෙවිව පුනරුත්පත්තියක් ලැබුවද අප දැන් මනුෂ්‍යයන් වශයෙන් ලබා ඇති උත්පත්තිය තරම් බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ අවස්ථාවක් අපට නොලැබෙනු ඇත.

අප සතුව මේ අවස්ථාවේ පවත්නා කාර්ය පදනම ඉක්මවූ අන් කිසිදු පදනමක් නොමැති බැවින්, ඉන් ප්‍රශස්ත පල ලැබීමේ සියලු ක්‍රියා පරිපාටීන් දැන සිටීම වැදගත් වේ. ආධ්‍යාත්මික ප්‍රගතිය ලැබීමේ විශිෂ්ටතම විධික්‍රමය වනුයේ අප තුළම වඩ වඩාත් කාරුණික හා උණුසුම් හදවතක් ගොඩනගා ගැනීමයි. උණුසුම් පදනම නමැති පදනම මත, ඉනික්බිති බෝධිචිත්ත ඉලක්කය සඳහා කැපවූ හදවතක් ගොඩනගා ගන්නෙමු. මෙය වූකලි බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ පැතුමයි. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, හැකිතාක් දුරට සියල්ලන්ගේ යහපත පිණිස කටයුතු කිරීමට හැකිවනු පිණිස අපගේ පූර්ණ හැකියාව සාක්ෂාත් කරගැනීම හා අපගේ සියලු දුර්වලතා මුලිනුපුටා දැමීම සඳහා වූ පැතුමයි. අන්‍යයන් උදෙසා සහ බුද්ධත්වය සාක්ෂාත් කරගනු පිණිස අපගේ හදවත් කැප කරන්නේ නම් එය මෙම වටිනා මනුෂ්‍යාත්මභාවයෙන් ලද හැකි උපරිම ප්‍රයෝජනය වේ.

පෙර භවයන්හි ගොඩනගාගත් ධනාත්මක විභවයන් මෙම ජීවිත කාලයේ සාර්ථකත්වයේ හේතුව වශයෙන් සැලකීම

බොහෝ වූ විවිධ වර්ගවල මනුෂ්‍යයන් ඇති අතර එ් සියල්ලන් අතරින්, බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම පසෙක තැබුවද, සිය මතු ජීවිතයන්හි ප්‍රයෝජනය සඳහා කටයුතු කිරීමේ ඇල්මක් සහිත අය සොයාගැනීම ඉතා අසීරු කරුණකි. බොහෝ අය මෙම ජීවිත කාලය තුළ පමණක් සිය සතුට වෙනුවෙන් කටයුතු කිරීමට කැපවී සිටිති. කෙසේ වුවද, අප සියලු දෙනා සතුටින් සිටීමට කැමතිවන අතර කිසිවෙකුට හෝ දුක් විඳීමට හෝ ගැටළුවලට මුහුණ දෙමින් ජීවත් වීමට අවශ්‍ය නොවන්නේය යන කාරණයේදී සමාන වෙමු.

මෙම ජීවිත කාලය තුළ සතුට අත්පත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන්නාවූ අය සඳහා සතුටේ වර්ග දෙකක් පවතී: භෞතික සතුට හා මානසික සතුට වශයෙනි. බොහෝ අය සිය අවධානය මුළුමනින්ම යම් ආකාර භෞතික සතුටක් සඳහා පමණක් සීමා කරති. එනමුත් ශාරීරික සතුට පිළිබඳ සැලකිලිමත් වීමේදී පවා අපගේ ජීවිතවලට යම් ආකාර ශාරීරික සතුටක් ගෙන එ්ම පිණිස අප සියලුදෙනා විසින් කටයුතු කරන්නේ වී නමුදු, අප අතරින් බොහෝ දෙනෙකු එම කාර්යය සිදුකරන ආකාරය නොදනී. නිදසුනක් ලෙස ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස හා සමාජ තත්ත්වයන් හඹා යන්නෝ එ් වෙනුවෙන් අහිංසක සතුන් මරා දැමීම සිදු කරති. තවත් සමහරු සතුට හඹායාමේදී සොරකම, රැවටීම, මංකොල්ල කෑම ආදිය සිදුකරමින් යම් ආකාර භෞතික යහපතක් අපේක්ෂා කරති. කෙතරම් උත්සාහ ගත්තද එකී යහපත ගෙන එ්මේ සැබෑ මඟ ඔවුහූ නොදනිති. සතුට වෙනුවට ඔවුහූ තවත තවත් ගැටළුම එ්කරාශී කරගනිති.

අනෙක් අතින්, ව්‍යාපාර, වෙළඳාම, කෘෂිකර්මය, අධ්‍යාපනය, කලාවන් ආදී අංශවලින් අවංක ජීවිකාවක නියැළීම සඳහා සිය උපරිම උත්සාහයක් දරන්නාවූ අය කණ්ඩායම් දෙකකට වෙන්කළ හැක. එනම් සාර්ථක වී ධනය හා බොහෝ සතුට අත්කරගන්නා අය හා අසාර්ථක වී මුළුමනින්ම කඩා වැටෙන අය වශයෙනි. ඇතැමුන් සාර්ථක වන අතර අන් අය අසාර්ථක වීම‌ට හේතුව විමසා බලන්නේ නම්, එය ඔවුන් සිය පෙර භවයන්හි ගොඩනගාගත් බීජ හා විභවයන් හේතුකොට ඇතිවන බව පෙනී යයි. පෙර භවයන්හිදී පාපකාරී ක්‍රියාවන්හි නිරතව සිටි අය විසින් බොහෝ වූ නිශේධනාත්මක විභවයන් ගොඩනගාගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ජීවිතයේදී අසාර්ථක වෙති. පෙර භවයන්හිදී පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වූ අය විසින් ධනාත්මක විභවයන් ගොඩනගාගෙන ඇති අතර මෙම භවයේදී ඔවුන්ගේ සාර්ථකත්වයට හා සතුටට හේතුව එයයි.

ඇතැමුන් සාර්ථක වන අතර සෙසු අය අසාර්ථක වීමට හේතුව සම්බන්ධ මෙකී විග්‍රහය ඔබ නොපිළිගන්නේ නම් එවන් වෙනසක් පැවතීමේ කිසිදු හේතුවක් නොමැත්තේය යන කරුණ සැලකිල්ලට ගන්න. සම උත්සාහයකින් හා හැකියාවකින් යුතුව කටයුතු කරන අය සම සාර්ථකත්වයක්ද ලැබිය යුතුය. මෙම ජීවිත කාලය තුළ ජීවිකාව සලසාගනු පිණිස සිදු කරන කාර්ය වර්ගය හේතුකොට සාර්ථකත්වය උදාවන්නේ යැයි ඇතැම්හූ සිතති. එනමුත් සම්පූර්ණ හේතුව එය නොවේ. පෙර භවයන්හිදී සිදුකරන ලද ධනාත්මක ක්‍රියාවන් තුළින් ගොඩනගාගත් විභවයන් සාර්ථකත්වහේ සැබෑ හේතූන් ලෙස ක්‍රියාත්මක වන අතර, මෙම භවයේදී නිරතවන කටයුතු හා ක්‍රියාකාරකම් එකී හේතු ඵල දැරීමට අවශ්‍ය සාධක හා වටපිටාව නිර්මාණය කරයි.

එ් අනුව සාර්ථකත්වය එක් විට ඉස්මතුවන හේතු ප්‍රත්‍ය මත රඳා පවතී. හේතු පෙර භවයන්හි ගොඩනගා ගත් විභවයන් මත රඳා පවතී. සෙසු හේතු සාධක මෙම ජීවිත කාලය තුළ එ් වෙනුවෙන් වෙන් කරන කාලය හා දරන උත්සාහය මත පදනම් වේ. මෙම දෙවර්ගය එකට ඉස්මතු විය යුතුය.

මතු භවයන් පිළිබඳ සැලකිල්ල

මෙම ජීවිත කාලය තුළ ධනවත් පුද්ගලයන් ජීවත්වන ආකාරය හා ඔවුන් භුක්ති විඳින ‌අසිරිමත් බව කවරක් වුවද කිසිවෙකු විසින් හෝ තමා රැස්කරගත් දේ පිළිබඳ සෑහීමකට පත්වීමක් දක්නට නොලැබේ. "දැන් මට ඇති; තවත් නම් ඕන නෑ" යනුවෙන් කිසිවෙක් හෝ නොපවසයි. කිසි විටෙකුදු තමා ලද දෙයින් සතුටු වීමක් දක්නට නොලැබේ.  තව තවත් දේ අවශ්‍ය බව හැඟේ. එ් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කාර්ය නියුක්තව ගත කරති. එසේ වුවද, ඔවුන්ගේ කාර්යයන් කිසි විටෙකුදු අවසන් නොවේ.

ගොවියෙකු වසරේ සෑම කන්නයක් පුරාම වෙහෙස මහන්සියෙන් පැල සිටුවීම, කුඹුරේ වැඩ කටයුතුවල නිරත වීම, අස්වනු නෙළීම ආදිය සිදු කරන්නාක් මෙන් එයද නැවත නැවතද සිදුවන චක්‍රයක විලාසය ගනී. වසන්ත සමයේදී ගොවියා පැළ සිටුවමින් නැවතද එම චක්‍රය ක්‍රියාත්මක කරයි. එ් වූකලි අප හුදෙක් නොකඩවා කාර්ය නියුක්තව පමණක් සිටීම පිළිබඳ උදාහරණයකි.

මෙම ජීවිත කාලයට අදාල කටයුතු අවසානයකට එළැඹෙන බව අපි කිසිදින හෝ නොසිතන නමුත් එ් සියල්ල අවසන් වන අවස්ථාවක් පැමිණේ. එනම් අපගේ මරණය සිදුවන අවස්ථාවයි. එම අවස්ථාවේදී එම කටයුතු සියල්ල අවසන් වනුයේ සතුටුදායක මට්ටමකට වඩා දුක හා ශෝකය මුසු තත්ත්වයකිනි.

එ් අනුව මෙම ජීවිත කාලය තුළ ආහාර, ඇඳුම් පැළඳුම්, හා සමාජ පිළිගැනීම ලබාගැනීම සඳහා පමණක් කටයුතු කරන අය තමාවම රවටා ගැනීමක් සිදුකරති. මක් නිසාද, ඔවුනට භෞතිකව සුවයක් ලැබිය හැකි වුවද, ඉන් මානසික සුවයක් අත් නොවන බැවිනි. මානසික සුවයෙන් තොරව ඔවුන්ගේ ජීවිතය අතෘප්තිමත් එකක් වන අතර අසතුටුදායක මට්ටමකින් ඔවුන්ගේ මරණය සිදුවේ.

එබැවින්, වඩා වැඩි කලක් පවත්නා, මනස පදනම්ගත සතුටක් සඳහා කටයුතු කිරීමට උත්සාහ ගැනීම වැදගත් වේ. මෙම ජීවිත කාලය තුළ අප විසින් අත්පත් කරගත හැකි භෞතික සුවය කල් පවතින්නක් නොවේ. අපට සැබැවින්ම කල් පවත්නා සතුටක් අවශ්‍ය වන්නේ නම්, අපගේ මතු ජීවිත පිළිබඳ සලකා බැලිය යුතුය. මක් නිසාද, එම කරුණ සැලකිල්ලට ගැනීමේදී, අපට සැබැවින්ම දිගු කල් පවත්නා සතුටක් වෙනුවෙන් කටයුතු කළ හැකිවන බැවිනි. 

මතු භවයන්හිදී සතුට සාක්ෂාත්කරගනු පිණිස කටයුතු කරන්නේ නම්, එමගින් ආධ්‍යාත්මික ධර්ම පිළිවෙත් පිරීම ඇතුළත් ආධ්‍යාත්මික පුද්ගලයෙකු වීම පිළිබඳ අර්ථ නිරූපණය සම්පූර්ණ වේ. විනාශ වන සුළු දේවල් ඇතුළත් මෙම ජීවිත කාලයට පමණක් අදාල වන දේ පිළිබඳ සිතන්නේ නම්, අපි හුදෙක් ලෞකික හා භෞතික පුද්ගලයන් පමණක් වන්නෙමු. මතු භවයන් පිළිබඳවද සිතා බලන්නට පටන් ගතහොත් ආධ්‍යාත්මික පුද්ගලයන් වන්නෙමු. 

මතු භවයන්හි සතුට ගෙන එ්මේ මඟක් වශයෙන් පාප චර්යාවෙන් වැළකීම

මතු භවයන්හි සතුටින් ජීවත්වීමට හැකිවනු ඇති බවට වගබලා ගැනීමේ මාර්ගය තුළට ධර්මයේ ඇතැම් "ධනාත්මක ක්‍රියාමාර්ග" ගැනීම් ඇතුළත් වේ. නිශ්චිතවම, එමගින් අදහස් කෙරෙනුයේ, හානිකර හෙවත් පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමයි. කයින් තුනක්ද, වචනයෙන් සතරක්ද මනසින් තුනක්ද වශයෙන් සිදුවන පාප ක්‍රියා දහයක් වේ. මෙම කවරාකාරයේ හෝ පාප ක්‍රියාවන්ගෙන් වැළකී ආරක්ෂාකාරීව පසුවීමෙන් අපි අපගේ මතු භවයන් වෙත සතුට කැන්දන්නෙමු. 

ධනාත්මක අයුරින් කටයුතු කළහොත්, මෙම භවයේ හා මතු භවයන්හි කටයුතු හොඳින් සිදුවන ආධ්‍යාත්මික පිළිවෙත් පිරීමක ආරම්භය ගන්නෙමු. මෙයාකාරයේ ධනාත්මක ක්‍රියාවන්වලට සිතා මතාම සතෙකු හෝ කෘමියෙකු මරා දැමීම හෝ සිතා මතා සොරකම් කිරීම ආදිය දැක ඉන්පසු ඇතිවන සියලු ආකාර පසුබෑම් හා නිශේධනීය ප්‍රතිඵල දැකීම ඇතුළත් වේ. එයට එම කරුණ හඳුනා ගැනීම හා එසේ සතුන් මැරීමෙන් හෝ සොරකම් කිරීමෙන් වැළකීමේ තදබල තීරණයක් ගැනීම ඇතුළත් වේ. එවන් තීරණයක් ගත් කල්හි, එ් අනුව නිසි පරිදි ධනාත්මකව කටයුතු කරන බවට වගබලාගනු පිණිස ඔහු වටා යුද හමුදා හෝ පොලිස් බලකායක් යෙදවීම අවශ්‍ය නොවේ. ඔවුන්ගේම පව් පින් පිළිබඳ හැඟීම හා ආචාර ධාර්මික හැඟීම් මගින් එම ක්‍රියාවන්ගෙන් වළක්වනු ලබයි. එ් අනුව, තදබල ලෙස ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කිරීම වූකලි අපට සතුටුදායක චිත්ත ස්වභාවයක් සහිතව මිය යාමට හැකියාව ලබා දෙන්නාවූ වැළකුම් ක්‍රියා මාර්ගයකි. නොඑසේ නම්, අප බොහෝ විට මහත් දුකකින් හා සාංකාවකින් මිය යනු ඇත. තමා තුළ වූ පව්, පින් පිළිබඳ හැඟීම හා ආචාර ධාර්මික ස්වභාවය විසින් තමා පාපකාරී ක්‍රියාවන්ගෙන් වළක්වනු ලබයි.

එ් අනුව තදින් ආචාර ධර්ම මත පිහිටා සිටීම වූකලි සතුටුදායක චිත්ත ස්වභාවයකින් මිය යාමේ අවකාශ සලසන්නාවූ වැළකුම් ක්‍රියා මාර්ගයක් වේ. නොඑසේ නම්, අප බොහෝ දුරට මහත් කණගාටුදායක හා සාංකා සහගත චිත්ත ස්වභාවයකින් මිය යා හැක. කෙසේ වුවද, අචාර ධාර්මික පුද්ගලයෙකු බවට පත්වීමේ මෙකී වැළකුම් ක්‍රියාමාර්ග පිළිපදින්නේ නම්, මරණය සිදුවන අවස්ථාවේදී අපට කණගාටු වීමට කිසිවක් හෝ ඉතිරිව නොපවතිනු ඇත. අපගේ පුනරුත්පත්තිය මනුෂ්‍යාත්මභාවයක හෝ යම් දිව්‍ය ලෝකයක ඉන්ද්‍ර වැනි දෙවියෙකු ලෙසද සිදුවන බව අපට සහතික කරගත හැක.

සියලු ජීවිතයන්හි පාලනයකින් තොරව නැවත නැවතද ඇතිවන ගැටළු

මනුෂ්‍යාත්ම භාවයක හෝ දේව රාජයෙකු ලෙස පවා පුනරුත්පත්තිය සිදු වුවද, අපගේ ජීවන ගැටළු එහිද පවතිනු ඇත. අපගේ උත්පත්තිය කවරාකාරයෙන් කවර ස්ථානයක සිදු වුවද, පාලනයකින් තොරව නැවත නැවතද ඇතිවන ගැටළු පවතිනු ඇත. එ් අනුව, යම් ආචාර ධර්ම අනුගමනය කිරීමෙන් හා පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමෙන් අප විසින් සිදු කරනුයේ හුදෙක් වඩාත් අයහපත් පුනරුත්පත්තියක් ලැබීමෙන් අපවම වළක්වාලීම පමණි. මක් නිසාද, අප උපදිනුයේ කවර තැනෙක කවරාකාරයෙන් වුවද, එහි අනිවාර්යයෙන් ගැටලු පවතින බැවිනි.

මෙමගින් පෙන්නුම් කරනුයේ මෙයට වඩා පුළුල් වූ විෂය පථයක් ආවරණය කළ යුතුව පවත්නා බවයි. නිදසුනක් ලෙස,  සංස්කෘත භාෂාවෙන් "ශමථ" ලෙසද තිබ්බතීය භාෂාවෙන් "ශිනේ" ලෙසද හැඳින්වෙන සන්සුන් හා තැන්පත් චිත්ත ස්වභාවයක් ගොඩනගා ගතහොත් එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට වඩා ඉහළ දේව තල හෙවත් බ්‍රහ්ම ලෝකයෙහි රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්මයෙකුව ඉපදිය හැක. එවිට එම පුනරුත්පත්ති ස්වභාවයට අයත් සමස්ත අසිරියද අත්පත් කරගත හැකිවනු ඇත. එසේ වුවද, මෙකී උසස්ම බ්‍රහ්ම තලයන්හි පුනරුත්පත්තිය ලැබුවද එහිද කිසිදු විශේෂත්වයක් නොමැත. එය ඉතා උස ගොඩනැගිල්ලක ඉහළම මාලයට නැගීම හා සමාන තත්ත්වයකි. එම ඉහළම මහලට නැගගත් පසු, නැවත පහළට බැසීම හැර අපට කළ හැකි අන් කිසිවක් නොමැත.

බුදුන් වහන්සේගේ වචන පිළිබඳ විශ්වාසයක් ඇතිකර ගැනීම

එ් අනුව, අප කවර ස්ථානයක පුනරුත්පත්තිය ලැබුවද අපගේ ගැටළු මුලිනුපුටා දැමීමට හා තවත් ඉදිරියට යාම සඳහා උත්සාහ ගැනීම අවශ්‍යය. එසේ සිදු කරනු පිණිස, යථාර්ථය හා මනඃකල්පිතය අතර පැහැදිලිව වෙනස දැකිය හැකිවන වෙන්කොට දැකීමේ දැනුවත්භාවය තුළින් අපගේ ගැටළු හා දුකෙහි මූල හේතුව දැකිය යුතු වේ. මෙයාකාරයෙන් අවසන අප ශූන්‍යත්වය හෙවත් සිදුවිය නොහැකි පැවතුම් ආකාරයන් මුළුමනින්ම ඉවත් වූ තත්ත්වය අවබෝධ කරගන්නෙමු. යථාර්ථය පිළිබඳ මෙකී පැහැදිලි වැටහීම මගින් අපගේ ව්‍යාජ ප්‍රක්ෂේපණයන් මුලිනුපුටා දමන අතර එසේ කිරීමේදී ඕනෑම ජීවිත කාලයක් තුළ අපට අත්විඳීමට සිදුවිය හැකි සියලු ගැටලු හා දුක් සදාකාලිකව මුලිනුපුටා දමනු ලබයි. එමගින් සදාකල් පවත්නා සතුටක් ගෙන එන අතර එ් වූකලි අපට සාක්ෂාත් කරගත හැකි තත්ත්වයකි.

අපට බුදුරජාණන් වහන්සේගේ වචන සුරැකිව පවත්නා සම්භාවනීය පාඨ ග්‍රන්ථයන් තුළින් ශූන්‍යතාවය පිළිබඳ දේශනා උගත හැකිය. එසේ වුවද, ශූන්‍යත්වය පිළිබඳව පමණක් නොව, බුදුන් වහන්සේ විසින් දේශනා කළේ යැයි එම ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් සමස්තය පිළිබඳවම විශ්වාසය ගොඩනගා ගන්නේ කෙසේද? එ්වාහි වලංගුභාවය පිළිබඳ විශ්වාසය ඇතිකර ගත යුත්තේ තර්කනය හා විග්‍රහය මගිනි. නිදසුනක් ලෙස ශූන්‍යත්වය සලකමු. තාර්කික හේතු දැක්වීම මගින් ශූන්‍යත්වයේ වලංගුභාවය අපට තහවුරු කරගත හැක. එයට අමතරව, අදාල භාවනා සමාධි මට්ටම් සාක්ෂාත් කරගැනීම පිණිස ඉදිරිපත් කර ඇති උපදෙස් පිළිපදිමින් හා එම භාවනා සමාධි මට්ටම් සැබැවින්ම සාක්ෂාත් කරගනිමින් පූර්ණ සමාධිය හා ශාන්ත හා නිශ්චල, තැන්පත් චිත්ත ස්වභාවය සාක්ෂාත් කරගන්නා ආකාරය පිළිබඳ දේශනාවන්හි වලංගුභාවය තහවුරු කරගත හැක. මෙම පිළිවෙත් මගින්, එවන් සමාධියක අතුරු ඵල වශයෙන්  විස්තර කෙරෙන අතීන්ද්‍රීය වැටහීම් වර්ගද මෙම පිළිවෙත් හරහා අපට සැබෑ ලෙසම සාක්ෂාත් කරගත හැකි බව අත්දැකීමෙන් වටහාගත හැක. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම විවිධ කරුණු පිළිබඳව අපගේම අත්දැකීමෙන් සැබෑ ලෙස තහවුරු කරගත හැක. මෙයාකාරයෙන්, අපට තර්කන ඥාණයෙන් හා පුද්ගලික අත්දැකීමෙන් සනාථ කරගත හැක්කාවූ මාතෘකා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනාවන් අවබෝධ කරගැනීමේ වෙහෙස හා උත්සාහය මත පදනම්ව, පොදුවේ බුද්ධ වචනයේ වලංගුභාවය පිළිබඳව විශ්වාසය හා ඇදහිල්ල ඇතිකර ගන්නෙමු. එම විශ්වසනීය ඇදහිල්ලෙන් ලබාගත් ආරක්ෂාව තුළින් බුදුන් වහන්සේ දේශනා කරන ලද සෙසු වඩාත් ගුප්ත දේහි වලංගුභාවය පිළිබඳවද ගැඹුරු විශ්වාසයක් ගොඩනගා ගන්නෙමු.

නිදසුනක් ලෙස, ධනාත්මක ආකාරයකින් කටයුතු කරන්නේ නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන් මනුෂ්‍ය හෝ දේව ආත්ම ලෙස වූ වඩාත් යහපත් පුනරුත්පත්ති තලයක නැවත උත්පත්තියක් අපට ලැබෙනු ඇත. අනෙක් අතින්, පාපකාරී හා නිශේධනීය ලෙස කටයුතු කරන්නේ නම්, පිසාචයන් හෝ සතුන් ලෙස සතර අපාගත සත්ත්වයන්ගේ ස්වරූපයෙන් එන පුනරුත්පත්තියක් ලැබෙනු ඇත. මේවා වූකලි චර්යාත්මක හේතු ඵලවාදය පිළිබඳ ප්‍රකාශයන් වන අතර හුදෙක් අපගේ අත්දැකීමෙන් හෝ තර්කන ඥානයෙන් පමණක් හේතු සොයාගැනීම හෝ සනාථ කිරීම කළ නොහැකි කරුණු වේ. එසේ වුවද, ධර්ම ග්‍රන්ථයන්හි ලියැවුණු පමණින් අන්ධ විශ්වාසයක් ඇතිකොටගෙන එ්වා පිළිගත යුතුද නොවේ. ධ්‍යාන සහිත සමාධි තත්ත්වයන් හා ශූන්‍යතාවය අවබෝධ කරගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කරුණුවල වලංගුභාවය තර්කන ඥාණයෙන් හා අත්දැකීමෙන් පැහැදිලි වන්නේ නම්, එනයින්ම චර්යාව හා එහි ප්‍රතිවිපාකය පිළිබඳවද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කරුණු පිළිගැනීම යුක්ති යුක්ත වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, ශූන්‍යත්වය, යථාර්ථය, නොසිදුවිය හැකි පැවතුම් ආකාරයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් සිදුකර ඇති ප්‍රකාශයන් පිළිබඳව ඉතා ප්‍රවේශමෙන් සිතා බැලිය යුතුය. මේවා නිවැරදි බව අවබෝධ කරගැනීමෙන් අනතුරුව, බුදුරජාණන් වහන්සේ තවදුරටත් සිදුකර ඇති ප්‍රකාශනයන්ද සලකා බැලිය යුතු වේ: එනම්, පුණ්‍ය ක්‍රියාවන්හි ආනිසංස ලෙස සතුට ඇතිවන බවත්; පාපකාරී හෙවත් නිශේධනීය ක්‍රියාවන්හි ප්‍රතිවිපාකය ලෙස දුක ඇතිවන බවත් ආදී වශයෙනි. එවිට අපට මෙම ප්‍රකාශනයන්ද නිවැරදිය යන විශ්වසනීය ඇදහීමක් ඇතිවන අතර එ් මත පදනම්ව එ් අනුව අපගේ චර්යාවන් සකසා ගැනීම සඳහා දැඩි තීරණයක් ගැනීමටද හැකිවේ. අපට සතුට අවශ්‍ය නම්, එය ළඟාකර දෙන්නාවූ ආකාරයෙන් කටයුතු කළ යුතුවේ. එනම්, පුණ්‍යවන්ත හා ධනාත්මක ක්‍රියාකාරකම්හි නිරත විය යුතු බවයි.

අත්හැර දැමීම: සියලු ගැටලුවලින් නිදහස් වීමේ අදිටන

අප විසින් මේ අවස්ථාවේ භුක්ති විඳින අති විශිෂ්ට මනුෂ්‍යාත්මභාවය හා එ් හා බැඳුණු ආධ්‍යාත්මික ප්‍රගතිය අත්කර ගැනීමේ සියලු අවස්ථාවන්ද  නම් වූ ක්‍රියාකාරී පදනම හුදෙක් ආකස්මිකව පහල නොවූවක්ය යන්න සැලකිල්ලට ගැනීම යහපත්ය. එය වූකලි පෙර භවයන්හිදී සුවිශාල පුණ්‍ය විභවයන් ගොඩනගා ගැනීමේ ප්‍රතිඵලයයි. අප විසින් ඉතා පුණ්‍යවන්ත හා ධනාත්මක ක්‍රියාවන්හි නිරතව සිටියා විය යුතු අතර එමගින් අප දැන් භුක්ති විඳින පුනරුත්පත්තිය හා අවස්ථාවන් අත්වූවා විය හැක. එබැවින් මෙම අවස්ථාව අපතේ යාමට ඉඩ හල යුතු නැත. ආහාර හා ඇඳුම් පැලඳුම්, කීර්තිය, ප්‍රශංසාව රැස් කිරීම වැනි මෙම ජීවිත කාලයට අදාල කටයුතුවල පමණක්ම නිරතව සිටින්නේ නම්, එම ලැදියාව හේතුකොට ගෙනම මෙම ජීවිත කාලය පිළිබඳ පමණක් වූ ඇලී සිටීමෙන් නිදහස් විය නොහැකි වනු ඇත.

අනෙක් අතින්, ඉන්ද්‍ර වැනි දෙවියෙකු වශයෙන් පුනරුත්පත්තිය ලැබීමෙන් ඇතිවන ප්‍රීතිය ලබාගැනීමට අපගේ මුළු වැර යොදා කටයුතු කරන්නේ නම්, මෙතුළද ගැටළු ඇත. එවන් දෙවියෙකු සතු ජීවිතය පිළිබඳව සලකා බලන්න. මෙම දෙවියා හට අති මහත් සතුටක් ඇති අතර මතුපිටින් පෙනෙන ගැටළු නොමැත. එසේ වුවද, මරණය සිදුවන අවස්ථාවේදී, එවන් දෙවියෙකු හට අති මහත් වු කණගාටුවක් හා ශෝකයක් ඇති වේ. මක් නිසාද, ප්‍රීතියෙන් පිරි මුළු ජීවිත කාලයක් ගෙවූයේය යන කරුණ දැන් සිහිනයක් සේ පෙනී යන අතර, එ් හේතුකොට මරණාසන්න අවස්ථාවේ අතිශය දුකක් හා කණගාටුවක් ඇති වේ. එ් අනුව, එවන් පුනරුත්පත්තියක් අපගේ අරමුණ වශයෙන් තබාගැනීම තුළද අපගේ සියලු ගැටලුවලට විසඳුම් නොලැබේ..

තවද, මෙම අගනා මනුෂ්‍ය ශරීරයද අහිමි වීමට නියමිත දෙයක් බැවින් ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. උපන් පසු මරණයෙන් මිදී පලාගිය කිසිවෙකු හෝ නොමැත. මරණය යනු අනිවාර්යයෙන් අප සියල්ලන් වෙත යම් දිනෙක පැමිණෙන දෙයක් වන අතර එය කාලය පිළිබඳ කාරණයක් පමණි. සිය වාරය කවර අවස්ථාවකදී එළැඹෙනු ඇත්තේද යන්න කිසිවෙකුට හෝ විශ්වාසයෙන් කිව නොහැක. මෙම යථාර්ථයන් පිළිබඳ සිතා බැලීමේදී සෞඛ්‍ය සම්පන්නව ජීවත්ව සිටින්නාවූ මේ අවස්ථාවේදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමේ තත්ත්වයකට අපගේ සිහි එළවනු ලබයි.

එබැවින් මෙම ජීවිත කාලය සඳහා පමණක් දේවල් ලබාගැනීම කෙරෙහි වූ අපගේ ඇබ්බැහියෙන් මිදිය යුතු වේ. මෙම ජීවිත කාලය තුළ අප ලද විවිධාකාර වූ දිරාපත්වන දේවල සදාකල් පවත්නා සාරයක් කිසිසේත් නොමැත්තේය යන කරුණ මෙනෙහි කරමිනි මෙම කාර්යය සිදුකළ යුත්තේ. මෙයාකාරයෙන් මෙම ජීවිත කාලයට අදාල දෙයට වූ ඇලීමෙන් ඉවත්ව එයාකාරයේ ඇබ්බැහියක් පදනම්ගතව ඇතිවන ගැටළුවලින් මිදීමේ අදිටනක් ඇතිකර ගන්නෙමු. නිදහස් වීමේ මෙකී අධිෂ්ඨානය "අත්හැර දැමීම" යනුවෙන් හඳුන්වනු ලැබේ.

එ් අයුරින්, මතු භවයන් හා අපගේ පුනරුත්පත්තිය සිදුවිය හැකි විවිධාකාර තත්ත්වයන් සියල්ල පිළිබඳවද විමසා බැලිය යුතුවේ. මනුෂ්‍යයෙකු හෝ දෙවියෙකු ලෙස ලබන මතු භවයන්හිදී අත් කරගත හැකි අසිරිය හා සතුට පිළිබඳ සිතා බැලීමේදී මේවා තුළද ගැටලු ඇති බව සිහිපත් කළ යුතුවේ. අප කෙතරම් ධනවත් වුවද, පාලනයකින් තොරව ගැටළු නැවත නැවතද ඉස්මතු වේ. එබැවින් මතු භවයන් සඳහා වූ මෙවන් දේවල් කෙරෙහි ඇල්මක් ඇතිකර ගැනීමද අප විසින් අත්හල යුතු දෙයක් වේ. මෙය තවත් ආකාරයක අධිෂ්ඨානයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් සිදු කරන්නෙමු. එය වූකලි මතු භවයන්හි මෙම ඇලීම් සමගින්ම ඉස්මතුවන ගැටළුවලින්ද මිදීමේ අදිටනයි.

එ් අනුව, නිදහස් වීම සඳහා වූ අධිෂ්ඨානයේ වර්ග දෙකකි. මේ භවයේ ගැටළුවලින් මිදීමේ අදිටන හා සියලු මතු භවයන්හි ගැටළුවලින් මිදීමේ අදිටන වශයෙනි.

අනිත්‍යය

ආධ්‍යාත්මික මාර්ගය පුරන්නාවූ අයෙකු යනු ජීවිතයේ කිසිදු අවස්ථාවක් ස්ථිරව නොපවත්නේය යන කරුණ පිළිබඳ සිහිය පවත්වාගන්නා, අනිත්‍යය හා මරණය පිළිබඳ සිහිය පවත්වාගන්නා, ඔහුගේ හෝ ඇයගේ ගැටළු හා ජීවිතයේ ඇති සියළු ගැටළු පිළිබඳවද සිහිය පවත්වාගන්නා අයෙකි. මෙමගිනි මෙම ගැටළු සියල්ල වළකාලීම සඳහා වු විවිධාකාර වැළකුම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා එවන් පිළිවෙත් පුරන්නෙකු පොළඹවනු ලබන්නේ. හුදෙක් අනිත්‍යය හා ගැටළුද මරණය පිළිබඳවද අමතක කිරීම තුළින් එම කරුණු ඉවත් කළ හැක්කේ නම්, එය ඉතා යහපත්, විශිෂ්ට තත්ත්වයක් වනු ඇත. එසේ වුවද යථාර්ථය නම්, අපට එය කළ නොහැක්කේය යන්නයි. අප මිය යන්නේය හා අපගේ ජීවිතවල ගැටළු පවත්නේය යන යථර්ථය නොසලකා හැරීම මගින් එම සාධක අතුරුදන් නොවනු ඇත. එබැවින් අපගේ ගැටළු පිළිබඳ දැනුවත්ව, එ්වාට යථාර්ථවාදීව මුහුණ දෙමින් එ් අනුව එ්වා මුලිනුපුටා දැමීම සඳහා වූ විවිධාකාර කටයුතුවල නියැලීම එයට වඩා බොහෝ සෙයින් යහපත් වේ. මෙයයි ආධ්‍යාත්මික පිළිවෙත් පිරීමෙහි අන්තර්ගතය.

බුදුරජාණන් වහන්සේ විසින් පළමුව මෙම ක්‍රියාමාර්ග සම්ප්‍රේෂණය කිරීමේ කටයුතුවල නියැලි විටදී, එම කාර්යය ඉටු කරන ලද්දේ අනිත්‍යය පිළිබඳ හා කිසිවක් හෝ නොවෙනස්ව, ස්ථිතිකව නොපවත්නේය යන දේශනාව තුළිනි. උන් වහන්සේගේ සමස්ත ආධ්‍යාත්මික ගවේෂණය ආරම්භ වූයේ අනිත්‍යය අවබෝධ කරගැනීමත් සමගය. එමෙන්ම, උන් වහන්සේගේ ජීවිතය අවසන් ව පිරිණිවන් පෑ කල්හි, එයද සිදු කරන ලද්දේ සියලු දෙනා හට අනිත්‍ය දහම පෙන්වා දෙමිනි.

චතුරාර්ය සත්‍යය

තවද, ගැටළු හුදෙක් ආකස්මිකව පහල නොවේ. එ්වා හේතු විරහිතව සිදු නොවේ. එ් වෙනුවට අපගේ සියලු සැබෑ ගැටලු හා අසතුට සැබෑ හේතු - එනම් අපගේ බලහත්කාරී පෙළඹීම් මත සිදුවන චර්යාව හා අපගේ කැළඹිලිකාරී හැඟීම් හා ආකල්ප- අනුව ඉස්මතු වේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, එම හේතු අපගේ කර්මය හා මෝහයයි.

දැන් අපගේ සියලු ගැටලුවලට අදාළ මෙකී සැබෑ හේතු දෙක අතරින් බලහත්කාරී පෙළඹීම් සහිත චර්යාවේ මූල හේතුව කැළඹිලිකාරී භාවයන් හා ආකල්පයන් වන බව අපට දැකිය හැක. බෞද්ධ පාඨ ග්‍රන්ථයන්හි විස්තර කර ඇති 84000ක් වූ විවිධ වර්ගයේ කැළඹිලිකාරී භාවයන් හා ආකල්පයන් විමසා බලන්නේ නම්, එ් සියල්ල සත්‍ය වශයෙන් ස්ථාපනය කරගත් පැවැත්මක් හා සත්‍ය වශයෙන් ස්ථාපනය කරගත් අනන්‍යතාවයන් ග්‍රහණය කරගැනීම සඳහා අප යොමු කරවන මෝහය හෝ නොදැනුවත්භාවය යන තනි හේතු සාධකය තුළින් ඉස්මතුවන බව අපට වැටහේ.

අප කෙරෙහි හෝ අන් කිසිවක් කෙරෙහි හෝ එයාකාරයේ සත්‍ය වශයෙන් ස්ථාපනය වූ අනන්‍යතාවයක් නොමැති නමුදු, දේවල්හි සත්‍ය වශයෙන් ස්ථාපනය වූ අනන්‍යතාවයක් හෝ පැවැත්මක් පවත්නේ යැයි සිතමින් අපි එ්වා අල්ලා ගැනීම හෙවත් ග්‍රහණය කරගැනීම සිදු කරන්නෙමු. එ් අනුව, සත්‍ය වශනේ ස්ථාපිත අනන්‍යතාවයක් පැවතිය නොහැක්කේය යන්න අවබෝධ කරගෙන එය වෙන්කොට දැකීමට අපට හැකි වුවහොත්, එවන් අනන්‍යතාවයක් පවත්නේය යන අදහසින් දේවල් ග්‍රහණය කරගැනීමේ නැඹුරුව මුලිනුපුටා දැමීමේ විෂබීජ නාශකයක් ලෙස එය ක්‍රියාත්මක වනු ඇත.

සත්‍ය වශයෙන් ස්ථාපිත පැවැත්මක් නොමැත්තේය හෙවත් කිසිවක් තුළ හෝ සත්‍ය වශයෙන් ස්ථාපිත අනන්‍යතාවයක් නොපවත්නේය යන වැටහීම ලදහොත් එම අවබෝධය "සිතේ සැබෑ මාර්ගය" හෙවත් "සත්‍ය මාර්ගය" ලෙස හැඳින්වෙන චතුරාර්ය සත්‍යයේ එක් සත්‍යයක් වේ. එය වූකලි විමුක්තිය හෙවත් අර්හත්වය කරා ගෙන යන්නාවූ සත්‍ය වූද නිවැරදි වූද දෙය වශයෙන් දකිමින් ආර්යයන් වහන්සේලා හෙවත් උසස් අවබෝධයක් ලද උත්තමයන් වහන්සේලාගේ චිත්ත ක්‍රියාකාරිත්වය යොමු කෙරෙන මාර්ගය වේ. 

සැබෑ මාර්ග සත්‍යය ඇති විටදී, එනම් කිසිවක් තුළ හෝ සත්‍ය වශයෙන් ස්ථාපිත අනන්‍යතාවයක් යනුවෙන් හැඳින්විය හැකි දෙයක් නොමැත්තේය යන වෙන්කොට දැක්මේ හැකියාව ඇති විටදී, අප තුළ තවදුරටත් කිසිදු කැළඹිලිකාරී භාවයක් හෝ ආකල්පයක් නොපවතිනු ඇත. මක් නිසාද, එවන් මෝහ සිතිවිලි වූකලි නොපැවතිය හැකි ආකාරයේ පැවැත්මක් පිළිබඳව පවත්නා ප්‍රක්ෂේපණයන් හා ඇදහීම් මත පදනම් වන බැවිනි. අප තුළ තවදුරටත් කිසිදු කැළඹිලිකාරී භාවයක් හෝ ආකල්පයක් නොමැති විටදී, චිත්ත බලපෑම මත කටයුතු නොකරනු ඇත. එසේ චිත්ත බලපෑමට බටත්ව කටයුතු නොකරන විටදී, අප අපටම ගැටළු ඇතිකරන අයුරින් ක්‍රියා නොකරනු ඇත. අපගේ අත්දැකීම තුළ තව දුරටත් ගැටළු ඉස්මතු නොවන තත්ත්වය "සැබෑ නැවතීම" හෙවත් "සැබෑ නිරෝධය" ලෙස හැඳින්වේ.

ආර්යයන් වහන්සේලා හෙවත් ඉතා උසස් අවබෝධයක් සහිත උත්තමයන් වහන්සේලා විසින් දකිනු ලබන සත්‍ය සතර පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම මෙයයි. මේවා චතුරාර්ය සත්‍යයයි. පළමු සත්‍ය දෙක මගින් කැළඹිලිකාරී වනුයේ මොනවාද යන්න හෙවත් සැබෑ ගැටළු හා එ්වාහි හේතු පෙන්වා දෙනු ලබයි. එ්වා නම් චිත්ත බලපෑමෙන් සිදුවන චර්යාවන් හා කැළඹිලිකාරී භාවයන් සහ ආකල්ප වේ. විමුක්තිය ලබාදෙන කරුණු පිළිබඳ සාකච්ඡා කෙරෙන අවසන් සත්‍ය දෙක කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමේදී, ගැටළුවල හේතු සදාකාලිකව මුලිනුපුටා දැමීම මගින් සියලු ගැටළු සත්‍ය ලෙසම නවතාලීමට කටයුතු කරන්නෙමු. එය සිදු කිරීමේ ක්‍රමය වනුයේ සැබෑ චිත්ත මාර්ග ගොඩනගා ගැනීමයි. මෙයාකාරයෙනි විශිෂ්ට අවබෝධයක් සහිත උත්තමයන් වහන්සේලා විසින් දුටු මෙකී සත්‍යයන් සතර හඳුනා ගනිමින් වටහා ගනු ලබන්නේ.

අප ලද අගනා මනුෂ්‍යාත්මභාවය තුළ පවත්නා අති විශිෂ්ට කාර්ය පදනම මත පිහිටමින් දැන් මෙකී චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම සඳහා අපගේ සම්පූර්ණ උත්සාහය යොමු කළ යුතුය. එසේ කළ කල්හි, මෙම උත්පත්තියෙන් ලද අවස්ථාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගත්තා වේ. සත්‍ය වශයෙන් ස්ථාපිත පැවැත්මක් සහිත කිසිවක් නොමැත්තේය යන ස්ථිර, ස්ථාවර දැනුවත්භාවයක් ප්‍රයෝජනවත් මානසික පුරුද්දක් වශයෙන් ගොඩනගා ගන්නා විටදී, අප විසින් අපගේ සියලු ගැටළු සදාකාලිකව හා මුළුමනින්ම මුලිනුපුටා දැම්මා වේ.  

කරුණාව ගොඩනගා ගැනීම

අපගේ ගැටළුවලින් ස්වයං මිදීමක් ලබැගැනීමමද ඉතා යහපත් කාර්යයක් වුවද, එය ප්‍රමාණවත් නොවේ. මක් නිසාද, මා යනු හුදෙක් එක් පුද්ගලයෙකු වන අතර අන්‍යයන් යනු නොගිණිය හැකි තරම් සංඛ්‍යාවක් සත්ත්වයන් වන බැවිනි. අන් සත්ත්වයන් කොපමණ සංඛ්‍යාවක් සිටීද යන්න අපට කිසිදින ගැන නිමකළ හැක්කක් නොවන අතර එ් සියල්ලන් හට ගැටළුද පවතී. එ් සියල්ලෝ එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් දුක් විඳිති. එබැවින්, අපගේ යහපත උදෙසා පමණක් කටයුතු කිරීම සාධාරණ නොවේ: සියලු දෙනා වෙනුවෙන් වූ විසඳුමක් සෙවිය යුතු වේ.

කල්පනා කොට බැලීමේදී, සීමිත මනස් සහිත අන් සියලු සත්ත්වයෝද අප වෙත අතිශයින්ම කාරුණිකව සිට ඇති අතර, සැබැවින්ම සෙසු සත්ත්වයෝ තරම් අපට කාරුණික වූ අන් කිසිවෙකු හෝ නොමැති තරම්ය. බුදුවරයන්ගේ හා සීමිත සත්ත්වයන්ගේ කරුණාව සලකා බලන කල, ඔවුන් සමානයන් බව අපට අවබෝධ වේ. නිදසුනක් ලෙස, අප මීපැණිවලට කැමති වන්නේ නම්, එම මීපැණි ලැබෙනුයේ කවර ස්ථානයකින්ද යන කාරණය පිළිබඳ සිතා බැලීමට සිදුවේ. එම පැණි බොහෝ මීමැස්සන්ගේ ශ්‍රමයෙන් හා අප වෙනුවෙන් සිදුකරන ලද මහා කාර්ය සම්භාරයක ප්‍රතිඵල ලෙස අප වෙත ලැබේ. ඔවුනට බොහෝ මල් වෙත පියඹා ගොස්, රොන් රැස්කොට මීපැණි උරා මී වදයක් තුළට එ්වා රැස් කිරීමට සිදුවිය. මීපැණි රස විඳීමට හැකිවීමට යම් අපේක්ෂාවක් පවත්නේ නම්, මෙම කුඩා කෘමීන්ගේ කාර්යයන් හා කරුණාව මත රඳා පැවැත්මට අපට සිදුවේ. එමෙන්ම, අප රස විඳින ආහාරය පිළිබඳ සිතා බලන විටදීද, නිදසුනක් ලෙස රෝගී වූ විටදී වඩා ශක්තිය අපගේ සිරුරට ලබාදෙන යම් ආහාරයක් ගැනීමට අවශ්‍ය වූ විටදී, එම ආහාර ලැබෙනුයේ කවර දිශාවකින්ද? එය අපගේ ශක්තිය හා පෝෂණය උදෙසා ආහාර සම්පාදනය කරනු පිණිස සිය ජීවිත පූජා කරන්නාවූ සතුන් වෙතින් ලැබෙන්නකි.

එබැවින්, අපගේ සියලු ගැටලුවලින් නිදහස් වීම සඳහා වූ දැඩි අදිටනක් ඇතිකරගත් විටදී, එම ආකල්පය සෙස්සන් කෙරෙහිද යොමුකළ යුතු වේ. අපට අපගේ ගැටළුවලින් නිදහස් වීමට අවශ්‍ය වන්නාක් මෙන්ම, අන් සියල්ලන්ද ඔවුන්ගේ ගැටළුවලින් නිදහස් වේවාය යන පැතුමක් පවත්වාගෙන යා යුතුය. එවන් ආකල්පයක් "කරුණාව" යනුවෙන් හැඳින්වේ.

අපි අපගේ ගැටළු පිළිබඳව හා අප‌ට එම ගැටළු අවශ්‍ය නොවන්නේය යන කරුණ පිළිබඳව බරපතල ලෙස කල්පනා නොකළේ නම් සහ එ්වායින් මිදීමේ අදිටන ගොඩනගා නොගත්තේ නම්, අන් අයගේ ගැටලු පිළිබඳව බරපතල ලෙස කල්පනා කිරීම ඉතා දුෂ්කර වනු ඇත. අන්‍යයන් හට ඔවුන්ගේ ගැටළුවලින් මිදීමට හැකි වේවාය යන පැතුම ඇතිකර ගැනීමේ අවංක කරුණා සහගත සිතක් ගොඩනගා ගැනීමට නොහැකි වනු ඇත. නිදසුනක් ලෙස, සිය රැකියාව අතරතුර බොහෝ සෙයින් දුක් විඳීමට සිදුවූ යම් නිලධාරියෙකු ඉනික්බිති උසස් තනතුරකට උසස්වීමක් ලබන්නේ නම්, එම පුද්ගලයා තුළ අන්‍යයන්ගේ ගැටලු පිළිබඳ අනුකම්පාවක් හා කරුණාවක් ඇතිවනු ඇත. එවන් පුද්ගලයෙකු මුළු ජීවිත කාලය පුරාවටම සුව පහසු ජීවිතයක් ගතකරන ලද හා දුක් විඳීම යනු කවරක්ද යන්න පවා නොදන්නා අයෙකුට වඩා අන් අයට උපකාර කිරීමේ නැමියාවක් සහිත අයෙකු වනු ඇත.

බෝධිචිත්තය

අන් අය ඔවුන්ගේ දුකින් මිදේවාය යන පැතුම ඇතිකර ගන්නාවූ ආකල්පය "කරුණාව" යනුවෙන් හැඳින්වේ. "ප්‍රේමයේ" අර්ථ නිරූපණය වූකලි සියලු දෙනා සතුටින් ජීවත් වේවාය යන පැතුම ඇතිකරගැනීමට පාදක වන ආකල්පයයි. සියලු දෙනා හට සතුටින් ජීවත් වීමට හැකිවේවාය යන පැතුම සලකා බලමින්, අන් සියලු දෙනා අප වෙත බොහෝ කාරුණික වූ බැවින් හුදෙක් මතුපිටින් පමණක් නොව එ් සියලු දෙනාට සිය ගැටළුවලින් මිදීමට හැකිවනු පිණිස උපකාරී වීම සඳහා සැබැවින්ම යමක් කළ යුතු බවට තීරණය කරන්නේ නම්, මෙසේ වගකීම ගැනීම "සුවිශේෂී අදිටනක්" ලෙස හැඳින්වේ.

අප හුදෙක් අපගේ ආත්මාර්ථකාමී අපේක්ෂාවන් තුළ පමණක් ගිලී සිටින්නේ නම්, අපට බුදුරජාණන් වහන්සේගේ යහපත් ගුණාංග වැඩි වර්ධනය කරගැනීමේ හෝ යම් අවබෝධයක් ලැබීමේ කිසිදු හැකියාවක් නොමැත. අනෙක් අතට, ආත්මාර්ථයෙන් මිදී සෙස්සන් විසින් මුහුණ දී සිටින දුක් කරදර කෙරෙහි සැලකිලිමත් වන්නේ නම්, එය තමාම බුද්ධත්වයට පත්වීමේ පදනම වනු ඇත. මනුෂ්‍ය ඝාතනයන්, සොරකම වැනි දේහි නිරත වනුයේ අප වෙනුවෙන් සම්පත් රැස්කරගනු පිණිස වූ ආත්මර්ථකාමී හැඟීම හේතුවෙනි. එවන් අකුසල විධික්‍රමයන් තුළින් වඩ වඩාත් ගැටළු ඉස්මතුවීම පමණි සිදුවන්නේ. එ් සියල්ලෙහි මූල හේතුව අපගේ ආත්මාර්ථයයි.

මුළුමනින්ම සෙස්සන්ගේ සුවසෙත පිළිබඳ පමණක් සැලකිලිමත් වීම හේතුකොට ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට, සම්පූර්ණයෙන්ම පිරිසිදු සිතැත්තෙකු බවට පත්වීමට හා පූර්ණ පරිණාමයකට පත්වීමට හැකිවිය. සත්‍ය වශයෙන්ම සියලු කල්හි වැඩ වාසය කළ සියලු බුදුවරයෝද අන්‍යයන් කෙරෙහි වූ සැලකිල්ල නමැති පදනම මත සිටම සිය පූර්ණ විභවයන් අවබෝධ කරගැනීමේ මෙකී තත්ත්වයට පත්වූහ. එබැවින්, අපි යථාර්ථවාදී වන්නෝ නම්, "සියල්ලන් කෙරෙහි සතුට ගෙන එමින් එ් සියලු දෙනා ඔවුන්ගේ ගැටළුවලින් නිදහස් කරලීම" සඳහා වූ මෙකී සුවිශේෂී අදිටන අප තුළ පැවතියා විය හැකි නමුදු, අපගේ පැතුම කෙතරම් විශාල වුවද එම කාර්යය සිදු කිරීමේ හැකියාව අප සතු නොවන බව අපට වැටහේ. සියලු දෙනා හට ඔවුන්ගේ ගැටළු මැඩ පවත්වා සතුට අත්කර දීමට උපකාර කිරීමේ හැකියාව පවත්නේ බුදුවරයෙකු තුළ පමණි.

එබැවින්, එම කාර්යය හැකි ඉහළම  මට්ටමින් ඉටු කරනු පිණිස අන්‍යයන්ගේ යහපත පිණිස කටයුතු කරමින් බුදුවරයෙකුගේ සර්වඥතා මට්ටම සාක්ෂාත් කරගැනීම සඳහා අපගේ හදවත් කැප කිරීම අවශ්‍ය වේ. එය "බෝධිචිත්ත ඉලක්කය" ලෙස හැඳින්වේ.

බෝධිචිත්ත අරමුණක් සහිත එවන් කැපවූ හදවතක් සමගින් මලක් පූජා කිරීම වැනි සුළු කටයුත්තක නියැලෙන්නේ යැයි සිතමු. එම පූජාවේ අරමුණ සියලු දෙනාගේ ප්‍රයෝජනය පිණිස කටයුතු කරමින් එම කාර්යය හැකිතාක් යහපත් ලෙස ඉටු කරනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම වන්නේ නම්, එම සරල කාර්යයෙන් ගොඩ නැගෙන්නාවූ ධනාත්මක විභවය සුවිශාල වේ. සත්‍ය වශයෙන්ම අපගේ අරමුණ සියලු දෙනා වෙත පල ප්‍රයෝජන සැලසීම වන විටදී එම ප්‍රයෝජනය එකී ඉලක්කය හා සමානුපාතික වේ. එය සත්ත්ව සංඛ්‍යාව තරමටම සුවිශාල වූවක් වේ. මෙයාකාරයෙන් අපගේ හදවත් සුපිරිසිදු ලෙස කැප කිරීමේ ප්‍රයෝජනය බුදුරජාණන් වහන්සේ වෙත රන් මාණික්‍යයන්ගෙන් පිරි ලොවක් පූජා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයට වඩා බොහෝ සෙයින් මහත් වූවක් වේ. විශ්වයේ සමස්ත සත්ත්ව සමූහයා වෙතම ආහාර සැපයුවද, බෝධිචිත්ත ඉලක්කයක් සමගින් කැපවූ එවන් හදවතක් සහිතව කල් ගෙවන එක් මොහොතක් තුළින් ලැබෙන ඵලය එයට වඩා මහත් ඵල මහානිසංස වේ. 

විශ්වයේ සමස්ත සත්ත්ව සමූහයා වෙත ලබාදෙන ආහාර වේලක් තුළින් හුදෙක් එක් වරක් පමණක් ඔවුන්ගේ කුසගින්න නිවී යනු ඇත්තේය යන කරුණ සලකා බලන්නේ නම් ඉහත කී සඳහනෙහි වූ තර්කනය සනාථ කරගත හැක. ඔවුන් වෙත ඉතා ඉක්මනින් නැවතද කුසගින්න දැනෙනු ඇති අතර කුසගින්න නමැති ගැටලුව නොකඩවා පවතිනු ඇත. එසේ වුවද, බෝධිචිත්ත අරමුණක් සහිතව සියලු දෙනාගේ සියලු ගැටලු සදාකාලිකව සමනය කිරීමට ප්‍රාර්ථනා කළහොත් හා එම කාර්යය හැකි උපරිමයෙන් ඉටු කරනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ අරමුණින් අපගේ ජීවිත කැප කළහොත්,  එමගින් සියලු දෙනාගේ කුසගින්න සමනය වනවා පමණක් නොව, ඔවුන්ගේ ගැටළු මුළුමනින්ම අවසන් කිරීමේ හැකියාවද ලබාදෙනු ඇත.

සමාප්තිය

බෝධිචිත්ත ඉලක්කයක් කරා පිය මනින පිය ගැටයක් වශයෙන්, කිසිදු සත්ත්වයෙකු හට හානි නොකරන්නේය යන පොරොන්දුව දැඩිසේ රැකිය යුතුය. කවරාකාරයේ අයෙකු හෝ වේවා ඔහු වෙත රිදවීමෙන් ඇතිවන අවාසි හා ගැටළු නිරීක්ෂණය කිරීමේදී හා එසේ සිදු නොකිරීමට පොරොන්දුවක් ඇතිකර ගන්නා විටදී, එමගින් ඉමහත් ප්‍රයෝජන අත්වේ. එය වූකලි අනතුරුව බොහෝ සෙයින් ප්‍රශංසාවට ලක්විය යුතුවූ හැසිරීමක් වේ. කිසිවෙකුට හානි හෝ වේදනා ගෙන නොදෙන්නේය යන තදබල පොරොන්දුව වූකලි අප සියලු දෙනා හට මේ අවස්ථාවේදීම ආරම්භ කළ හැකි ආධ්‍යාත්මික ක්‍රියා මාර්ගයකි. ආධ්‍යාත්මික පිළිවෙත් පූරණය මහත් බහුමානනීය හා දුරස්ථ වූවක් ලෙස නොසැලකිය යුතුය.

කෙටියෙන් පවසන්නේ නම්, ආධ්‍යාත්මික මාර්ගයෙහි පිළිවෙත් පුරන්නෙකු බවට පත්වීම යන්නෙන් යම් අසාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සිදු වීමක් අදහස් නොවේ. උසස් ආධ්‍යාත්මික පිළිවෙත් පුරන්නන් වූ ගෘහපතීන්/පතිනියන් පිළිබඳ බොහෝ ඉතිහාසගත වාර්තා පවතී. පුරාණ ඉන්දියා‌වේ කුසලතා පූර්ණ මහාසිද්ධවරුන් අසූ හතරදෙනා සම්බන්ධ ජීවන චරිතාපදානයන් සැලකීමේදී, එ් අතර ගෘහ ජීවිත ගතකළ බොහෝ දෙනෙකු විය.

අප වයෝවෘද්ධයන්ය යන කරුණ මතද බලාපොරොත්තු සුන්කර ගත යුතු නොවේ. වයස්ගත පුද්ගලයන් හට ආධ්‍යාත්මික පිළිවෙත් පුරන්නන් විය නොහැකියයි සිතිය යුතුද නොවේ. අතීත පුරාණයන් විමසා බලන්නේ නම්, ආධ්‍යාත්මික පිළිවෙත් පිරීම ආරම්භ කරන විට 80 වියට පැමිණ සිටි ශ්‍රිජාති නම් ගෘහපතියා නිදසුනට ගත හැක. ඔහු හට සිය ජීවිත කාලය තුළම විමුක්තිය සාක්ෂාත් කරගැනීමට හෙවත් අරහත්වයට පත්වීමට හැකිවිය. එබැවින් අප කිසිදින වයස ඉක්මවූවන්යැයි සිතිය යුතු නොවේ. 

අනෙක් අතින්, අපි තරුණ වයසේ පසුවන්නේ නම්, සෙල්ලක්කාර නොවී අපගේ ආධ්‍යාත්මික පිළිවෙත් පූරණයෙහි ලා තීරණ ගැනීමට අප සතු ශක්තීන්ගෙන් ඵල ලැබිය යුතුය. වයස්ගත වනතුරු මෙකී වැළකුම්කාරී ආධ්‍යාත්මික ක්‍රියාමාර්ග කල් දැමිය හැකියයි නොසිතිය යුතු වන්නේ මරණය කවර අවස්ථාවකදී සිදුවනු ඇත්තේද යන්න දැනගත හැකි මඟක් නොමැති බැවිනි. තවද, මහළු වියද නොදැනුවත්වම අප කරා එන්නක් බව පෙනේ. එය සිදුවන විටදී, හෙවත් මහළු විය එළැඹි කල්හි, ජීවිතය අප කෙරෙන් ලිස්සා ගොස් ඇති බවක් හැඟේ.

අපට සිදුකළ හැකි බොහෝ සරල ධනාත්මක කාර්යයන් පවතී. කුරුල්ලන් වෙත ආහාර ලබාදීම සඳහා ඉමහත් වෙහෙසක් හා බොහෝ මුදල් වැය කරන වෙනත් රටවල වෙසෙන ඇතැමුන් පිළිබඳ දනිමි. ඔවුහූ සිය නිවෙස් පිටත ආහාර දීම සඳහා සතුන් ඇති කරන අතර සෑම දිනකම එම ආහාර ලබාදීම සඳහා දහස් ගණනින් මුදල් වැය කරති. සිය පක්ෂීන් වෙත ආහාර නොලැබේය යන බිය හේතුකොට ඔවුහූ සිය නිවාඩු කාලයන්ද අත් හැර මෙම කාර්යයෙහි නිරත වෙති. මෙය වූකලි අති විශිෂ්ට පිළිවෙතකි; මෙය වූකලි සැබෑ ලෙසම බෝධිචිත්ත වර්ගයේ පිළිවත් පූරණයක් වන බැවින් මා හට එය දැකීමද සතුට දනවන සුළු එකක් වේ. පරෙවියන්ට පාන්ද විවිධ වර්ගයේ පක්ෂීන්ට බත්ද සපයන තිබ්බතීයයන් මෙන්ම වන්දනාකරුවන් වශයෙන් ඉන්දියාව බලා ගිය අය පිළිබඳවද බොහෝ උදාහරණ පවතී. මෙය වූකලි දීර්ඝායුෂ ලැබීම සඳහා වූ අති විශිෂ්ට පිළිවෙතකි.

සාරාංශය

අපගේ සාකච්ඡාව සාරාංශගත කරන්නේ නම්, එහි ප්‍රධාන කරුණු වනුයේ:

  • සියල්ලන්ගේ යහපත උදෙසා නිරන්තරයෙන් කටයුතු කරනු පිණිස කාරුණික හා උණුසුම් හදවතක් ගොඩනගා ගන්න.
  • කිසිවෙකුට හෝ කිසිවකට කිසි දින නොරිදවන්න; කිසි විටෙකුදු හානි හෝ ගැටළු ඇති නොකරන්න.

මේවා අති විශිෂ්ට ආධ්‍යාත්මික පිළිවෙතක් සඳහා වූ ප්‍රධාන කරුණු වේ. අන්‍යයන් උදෙසා හා බුද්ධත්වය සාක්ෂාත් කරගනු පිණිස බෝධිචිත්ත අරමුණකින් අපගේ හදවත් පවිත්‍ර ලෙස කැප කරමින් අප ලද අති විශිෂ්ට මනුෂ්‍ය ජීවිතය තුළ පවත්නා කාර්ය පදනමින් සම්පූර්ණ ප්‍රයෝජනය ගත යුතුය. මෙයාකාරයෙන් අපට සම්පූර්ණයෙන් පැහැදිලි මනසක් සහිත හා පූර්ණ පරිණාමයකට ලක්වූ අර්හත් ඵල ලාභියෙකු වීමේ මට්ටම සාක්ෂාත් කරගැනීමට හැකිවනු ඇත.

Top