ස්වයං-කරුණාවේ වැදගත්කම

Image%201%20%283%29

ස්වයං-කරුණාව බෞද්ධ භාවිතයේ මූලික කොටසක් වුවද, එය අපගේ දෛනික ජීවිතයේදී නිතර වැරදි ලෙස තේරුම් ගැනීමට හෝ නොසලකා හැරීමට ලක් වේ. අප බොහෝ දෙනා වෙත අනෙක් අයට කරුණාවන්ත හා සානුකම්පිත වීමට උගන්වනු ලැබුවද, අප අපටම එම කරුණාව ලබා දීමට අපහසු බවක් දක්වයි. බුදු දහමේ, ස්වයං-කරුණාව යනු හුදෙක් කරුණාවක් පමණක් නොව, ආධ්‍යාත්මික වර්ධනය හා යහපැවැත්ම සඳහා අවශ්‍ය පදනමකි.

"යමෙක් ජල මට්ටම ඉහළට එසැවෙමින් වේගයෙන් ගලා යන ගඟකට පැන ගලා යන ජල ධාරාවට හසුව ගසාගෙන යන්නේ නම්, ඔහුට හෝ ඇයට අන් අය එතෙර කිරීමට උපකාර කළ හැක්කේ කෙසේද?" - බුදුන් වහන්සේ

ස්වයං-කරුණාව යනු කවරක්ද?

එහි මූලික සාරය අනුව ගත්කල ස්වයං-කරුණාව යනු අපි හිතවත් මිතුරෙකුට පිරිනමන සැලකිල්ල, උනන්දුව සහ අවබෝධයම අප වෙතමද ලබා දීමයි. මිතුරන්ට සහ ඔවුන්ගේ ගැටලුවලට විනිශ්චය නොකර ඇහුම්කන් දීම සාපේක්ෂව පහසු වන නමුත්, අප සම්බන්ධයෙන් ගත්කල අප පෞද්ගලිකව එම සැලකිල්ලම ලැබීමට සුදුසුකම් නොලබන බව අපි නිතර සිතමු. ස්වයං-කරුණාව යනු අපගේ අපූර්ණත්වයන්, අසාර්ථකත්වයන් සහ අරගලයන් දැඩි විනිශ්චයකින් තොරව පිළිගැනීමයි. අපගේ අඩුපාඩුකම් පිළිබඳ අපව විවේචනය කරනවා වෙනුවට එහිලා අපි අපටම පිළිගැනීම හා අවබෝධය පිරිනමමු. මෙම කරුණාවන්ත ප්‍රවේශය හිතු මනාපයේ සිතැඟි පරිදි කටයුතු කිරීම හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳ වූවක් නොව, අප ඇතුළුව සෑම කෙනෙකුටම මුහුණ දීමට සිදුවන අනිවාර්ය අභියෝග හඳුනා ගැනීම පිළිබඳ කථාවකි.

බුදු දහම තුළ ස්වයං-කරුණාව වැදගත් වනුයේ මන්ද?

කරුණාව අප තුළින් ආරම්භ වන්නකි

සාමාන්‍යයෙන්, අන් අය වෙත පළ කෙරෙන සැබෑ කරුණාව තමා කෙරෙහි කරුණාවෙන් ආරම්භ වන බව අපට කිව හැකිය. අප අප කෙරෙහි රළු පරළු හා විවේචනාත්මක වන්නේ නම්, අන් අයට සැබෑ කරුණාව දැක්වීම කෙතරම් අභියෝගාත්මක වන්නේදැයි සිතන්න. ස්වයං-කරුණාව පුහුණු කිරීමෙන්, අපි කාරුණික හා මෘදු ආකල්පයක් වගා කරගන්නෙමු. එය ස්වභාවිකවම පිටතට විහිදී යන අතර, අන් අය සමඟ වඩ වඩාත් සහානුභූතියෙන් සම්බන්ධ වීමට එය අපට උපකාරී වේ.

එමගින් චිත්තවේගීය සුවය ප්‍රවර්ධනය කෙරේ

ජීවිතය උච්චාවචනයන්ගෙන් පිරී ඇති අතර, අපගේ දුක් වේදනාවලට අප ප්‍රතිචාර දක්වන ආකාරය අපගේ යහපැවැත්ම විෂයයෙහි සැලකිය යුතු වෙනසක් ඇති කරයි. ස්වයං-කරුණාව මගින් දුෂ්කර කාලවලදී සන්සුන්බව ලබාදෙන්නාවූ සහනාලේපනයක් ලබා දෙනු ලබයි. එය පීඩාවට පත් නොවී අපගේ වේදනාවට විවෘත වීමට අපට ඉඩ සලසන අතර, වැඩි අපහසුවකින් තොරව බාධකවලින් මිදීමට උපකාර කරයි.

එමගින් සෘණාත්මක ස්වයං-කතිකාවන් අවම කරවනු ලබයි

අප බොහෝ දෙනෙකු තුළ අප විනිශ්චය කරන හා පහත් කොට සලකන අභ්‍යන්තර විවේචකයෙක් සිටී. ඇතැමුන් සම්බන්ධයෙන් ගත්කල මෙම අභ්‍යන්තර විවේචකයා කිසිදින නිහඬ නොවේ! එය එතරම් බරපතල දෙයක් සේ නොපෙනිය හැකි නමුත් මෙම සෘණාත්මක ස්වයං-කතිකාව අසමත්කම් හා අඩු ස්වයං-ගරුත්වය පිළිබඳ හැඟීම්වලට තුඩු දෙමින් ඉතා හානිකර ප්‍රතිඵල ළඟා කරවිය හැකිය. උදාහරණයක් ලෙස අපගේ "බුද්ධ-ස්වභාවය," අප සැමට බුදුන් වීමේ හැකියාව ඇති බව හඳුනා ගැනීම ඈ ලෙස ස්වයං-කරුණාව පුහුණු කිරීමෙන් අපට මෙම අභ්‍යන්තර විවේචකයා නිහඬ කර දැඩි විනිශ්චයන් වෙනුවට සහයෝගීතාව හා ධෛර්යමත් කරන සිතුවිලි ආදේශ කළ හැකිය. මෙම විතැන්කරණය මගින් අපගේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කරනු පමණක් නොව, අපගේ මනස තුළ වඩාත් ධනාත්මක ස්වයං-ප්‍රතිරූපයක් ද ගොඩනඟනු ලබයි.

එමගින් පෞරුෂ වර්ධනය ප්‍රවර්ධනය කරනු ලබයි

ඇතැමුන්ගේ අදහසට අනුව ස්වයං-කරුණාව යනු හිතු මනාපයේ කටයුතු කිරීමක් වන අතර එහිදී සිය වැරදිවලට වගකීම් භාර නොගෙන හෝ අපේ දුර්වලතා නොසලකා හරිමින් අප ගැනම සැලකිලිමත් වීම පමණක් සිදුවේ. එනමුත් සැබෑ තත්ත්වය නම්, එයට ප්‍රතිරෝධී ලෙස එමගින් සැබෑ ලෙසම අපේ වැරදි හා අඩුපාඩු පිළිගැනීමට හැකි ආරක්ෂිත අවකාශයක් සපයනු ලබයි. එවිට පමණි අපට ඒවායින් සැබෑ ලෙසම පාඩම් උගෙන පෞරුෂ වර්ධනය සිදුකර ගත හැකි වනුයේ. ඇතැමුන් විෂයයෙහි දරුණු ස්වයං-විවේචනය ඵලදායී විය හැකි නමුදු අප බොහෝ දෙනෙකු විෂයයෙහි කරුණාව හා අවබෝධය මත පදනම් වූ ප්‍රවේශයක් ස්වයං-දියුණුවට වඩාත් හේතු වේ.

ස්වයං-කරුණාව පුහුණු කරන ආකාරය

ඔබගේ දුක් පිළිගන්න

ස්වයං-කරුණාව පුහුණු කිරීමේදී අප කළ යුතු පළමු දෙය නම් හුදෙක් අප දුක් විඳින්නන් වන බව පිළිගැනීමයි. මෙය සරල ලෙස පෙනෙන්නට හැකි නමුත් විශේෂයෙන් අප ශක්තිමත් විය යුතු බව හෝ සැමවිටම පාලනයක් තිබිය යුතු බව හැඟෙන විටදී අප අරගල කරන බව පිළිගැනීම අභියෝගාත්මක විය හැකිය. එනිසා, පළමුව, විනිශ්චයකින් තොරව ඔබේ මානසික හා ශාරීරික වේදනාව හඳුනා ගැනීමට ඔබට ඉඩ ලබා දෙන්න.

තමාටම කාරුණික වන්න

දුෂ්කර කාලයක් ගත කරන සමීප මිතුරෙකුට ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය සිතා බලන්න. ඔබ කුමන වචන භාවිතා කරන්නේද? ඔබ කෙසේ සහය දක්වන්නේද? දැන්, එම කරුණාව හා අවබෝධය ඔබටම ලබා දීමට උත්සාහ කරන්න. මෘදු, සහායක භාෂාවකින් ඔබ ආමන්ත්‍රණය කර ගනිමින් ඔබට අවශ්‍ය සැනසිල්ල ලබා දෙන්න.

ඔබගේ පොදු මානව බව හඳුනා ගන්න

සෑම කෙනෙක්ම දුක් විඳින බව සිහි තබාගන්න; කිසිදින වැරදි නොකළ කිසිවෙක් හෝ නොමැත. එය මනුසත් බවේම කොටසකි. ඔබ ඔබේ අරගල තුළ හුදෙකලා වූවෙකු නොවන බව හඳුනා ගැනීමෙන් ඔබට අන් අය සමඟ වඩාත් හොඳින් සම්බන්ධ විය හැකි අතර, ඔබේ අත්දැකීම් ආශ්‍රිත හුදකලා බව අවම වනු ඇත.

සිහි බුද්ධිමත් දැනුවත්භාවය පුහුණු කරන්න

ඔබේ චිත්තාවේග නමැති සැඩපහරකට හසු නොවී ඒවා සමඟ පවතින්න. ඔබේ හැඟීම් හා සිතුවිලි කුතුහලයෙන් හා විවෘතභාවයෙන් නිරීක්ෂණය කරන්න, ඒවා වෙනස් කිරීමට හෝ යටපත් කිරීමට උත්සාහ නොකර ඒවාට එසේ පැවතීමට ඉඩ හරින්න. මෙම සිහිබුද්ධිමත් ප්‍රවේශය ඔබට පොළොවේ පය ගසා සිටීමට හා අභ්‍යන්තර සාමය වර්ධනය කිරීමට උපකාරී වේ.

නිගමනය

ස්වයං-කරුණාව බෞද්ධ භාවිතයේ හුදෙක් විලාසිතාවක් හෝ පසු සිතුවිල්ලක් නොවේ; එය කරුණාවන්ත ජීවිතයක අත්‍යවශ්‍ය අංගයකි. ස්වයං-කරුණාව වගා කිරීමෙන්, අපි අපගේම යහපැවැත්ම හා අන් අය උදෙසා පෙනී සිටීමේ හැකියාව සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් නිර්මාණය කරමු. ඔබටම කරුණාවන්ත වීම ස්වාර්ථකාමී කටයුත්තක් නොවන්නේය යන කරුණ සිහි තබාගන්න; එය වඩාත් කරුණාවන්ත, සිහිබුද්ධිමත් හා පරිපූර්ණ ජීවිතයක් කරා එසැවෙන අත්‍යවශ්‍ය පියවරකි. එබැවින්, ඉහත සඳහන් කරුණු විමසා බලමින් ඔබට අවශ්‍ය කරුණාව ඔබ වෙතටම ලබා දීම සඳහා දැන් මොහොතක කාලයක් ලබාගන්න.

Top