
කරුණාව - අන් අය දුකින් හා එහි හේතුවලින් නිදහස් වේවාය යන පැතුම - මනුෂ්‍යත්වයේ පවත්නා අලංකාරම ගුණාංගවලින් එකකි. කෙසේ වෙතත්, කරුණාව සිතුවිල්ලක් ලෙස පුද්ගලයා ඔසවා තබන සුළු ගුණාංගයක් වුවද, එය සැබවින්ම බලවත් වන්නේ අපි එය ක්‍රියාවට නංවන විටය. කරුණාව ක්‍රියාවේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක, බෞද්ධ පිළිවෙත් පුරන්නන් ලෙස අපගේ ගැඹුරුම වටිනාකම්වල ප්‍රකාශනයයි. එය සියලු සත්ත්වයන්ගේ යහපත සඳහා වූ අපගේ කැපවීමේ සංයුක්ත ප්‍රකාශනයකි. අපි අපගේ කරුණාවන්ත අභිප්‍රායන් සැබෑ, අර්ථවත් ක්‍රියා බවට පරිවර්තනය කරන විට, අපට අප වටා ඇති ලෝකය වෙත සහනය ගෙන ආ හැකිවේ. මෙයට වඩා අර්ථවත් දෙයක් තවත් නම් පැවතිය හැකිද?
කරුණාව ක්‍රියාවෙන් ප්‍රකට කළ යුතු වන්නේ මන්ද?
දුක සහනය බවට පරිවර්තනය කිරීම
චතුරාර්ය සත්‍යයන්හි පළමුවැන්න මඟින් අප වෙත උගන්වන පරිදි උපතේ සිට මරණය දක්වා ජීවිතය දුකින් හා අසහනයෙන් පිරී ඇත. ප්‍රඥාව සමඟින් යෙදෙන කරුණාව මේ දුකට ප්‍රතිකර්මයකි. කෙසේ වෙතත්, කරුණාව එහි පූර්ණ අර්ථයෙන් හුදෙක් අවබෝධය හෝ සහානුභූතිය නමැති ඉම මත නතර නොවේ - එහිදී ක්‍රියාත්මක වීමක් අපේක්ෂා කෙරේ. කරුණාව ක්‍රියාවට නැංවීමෙන්, අපට සෘජුවම අන් අයගේ දුක් සමනය කළ හැකිය. අවශ්‍යතා ඇති මිතුරෙකුට උදව් කිරීම, යම් සද්-ව්‍යාපාරයකට සහාය දැක්වීම, හෝ හුදෙක් දුක් විඳින අයෙකු සමඟ කාලය ගතකිරීම හරහා, අපගේ කරුණාවන්ත ක්‍රියාවන්ට අන් අයගේ ජීවිතවල විශාල වෙනසක් ඇති කළ හැකිය. ක්‍රියාත්මක කරුණාව අප තුළද පරිවර්තනයක් සිදු කරයි. කාරුණික ක්‍රියාවන්හි යෙදෙන විටදී අපි සෙමින් ත්‍යාගශීලී වූද, ලෝකයට විවෘත වූද හදවතක් සුපෝෂණය කරමු.
ධනාත්මක කර්ම විභවයන් නිර්මාණය කිරීම
බුදු දහම තුළ, අපගේ ක්‍රියාවන්හි අභිප්‍රායන් තීරණාත්මක වේ. සැබෑ කරුණාවෙන් පොළඹවනු ලබන ක්‍රියා ධනාත්මක විභවයක් උත්පාදනය කරන අතර, එමගින් බුදු වදනට අනුව අනාගත සතුටට මග පාදයි. කරුණාවෙන් ක්‍රියා කරන විට අපි අපගේම ජීවිතවල සහ අන් අයගේ ජීවිතවලද ඵල ගෙන දෙන කරුණාවේ බීජ වපුරමු. කරුණාව ක්‍රියාත්මක කිරීම තුළ විනාශකාරී විභවතාවයන්ගේ චක්‍රය ද බිඳ දැමේ. කෝපයෙන් හෝ ස්වාර්ථකාමිත්වයෙන්ද නොව, කරුණාවෙන් හා අවබෝධයෙන් අවස්ථාවලට නැවත නැවත ප්‍රතිචාර දැක්වීමෙන්, අපි අපගේ මනස හා හදවත නිර්මාණශීලී ක්‍රියාවන්ට හුරු කරවමින්, ඒවා අපගේ ගති ස්වභාවය බවට පත් වන තෙක්ම පුරුදු කරමු. මෙමගින් වඩාත් ගැඹුරු ආධ්‍යාත්මික සාමයක් සහ බුද්ධත්වය කරා වූ පැහැදිලි මාර්ගයකට මග පාදනු ලැබේ.
අන්තර් සම්බන්ධතාවය අවබෝධ කර ගැනීම
ක්‍රියාත්මක මට්ටමේ කරුණාව සියලු සත්ත්වයන්ගේ අන්තර් සම්බන්ධතාවය හඳුනා ගැනීමට අපට උපකාරී වේ. විශ්වයේ කිසිදු සත්ත්වයෙකු දුකම පතමින් උදෑසන අවදි වන්නෙකු නොවේ; අප සියලු දෙනාම සමානව සතුට පතමු. අපි කරුණාවෙන් ක්‍රියා කරන විට, අප සියල්ලන් මේ විශාල පරිපූර්ණත්වයේ කොටසක් බවත්, අන් අයගේ සතුට හා දුක අපගේම සතුටට හා දුකට සමීපව සම්බන්ධ වී ඇති බවත් පිළිගන්නෙමු. මේ දැනුවත්බව අප තුළ ඒකත්ව හැඟීමක් සුපෝෂණය කරයි. එමගින් නිරන්තර දුක් ගෙන දෙන්නාවූ බෙදා වෙන්කිරීමේ සහ හුදෙකලාවීමේ බාධක බිඳ දැමේ. බෙදා වෙන් කරනු ලැබ ඇති සෙයක් නිරන්තරයෙන් දැනෙන ලෝකයක, ක්‍රියාව තුළ ප්‍රකට කරනු ලබන කරුණාව යනු අප සියල්ලන්ම මෙතුළට ගැනෙන අතර එකිනෙකාට සහාය දීමෙන්, අපට වඩාත් සුසංවාදී ලෝකයක් නිර්මාණය කළ හැකි බවත් අපට සිහිපත් කරන්නාවූ ශක්ති සම්පන්න බලවේගයකි.

කරුණාව ක්‍රියාවට නැංවීමේ ක්‍රම
ත්‍යාගශීලිත්වය
පෘථුල ආකල්පවල පළමුවැන්න වන ත්‍යාගශීලිත්වය යනු ක්‍රියාවේදී කරුණාව පුහුණු කිරීම සඳහා පවත්නා හොඳම ක්‍රමවලින් එකකි. මෙය අපට හැකි නම් අවශ්‍යතා ඇති අයට ද්‍රව්‍යමය සහාය ලබා දීම වැනි විවිධ ආකාර ගත හැකිය. අපට අපගේ කාලය සහ ශක්තිය විවිධ ආකාරවලින් බෙදා ගත හැකිය. බුදු දහමට අනුව දීම යනු ලබන්නා ප්‍රතිලාභ ලබන්නාවූ කර්තව්‍යයක් පමණක් නොවේ; එය ලබාදෙන්නා හටද එයාකාරයේම ප්‍රතිලාභ සැලසෙන්නකි. පිරිසිදු හා සතුටු හදවතින් යමක් පිරිනමන විට, විශේෂයෙන් අපට ප්‍රතිඵලයක් ලැබීමේ බලාපොරොත්තුවකින් තොරව දිය හැකි නම් එහිදී අපි අපගේ පෞද්ගලික ආශාවන් අත්හැර නිර්මාමකත්වයේ සතුටට විවෘත වන්නෙමු.
චිත්තවේගීය සහාය සහ සුව පහසුව ලබාදීම
යමෙක් යම් අපහසු කාලයක් ගතකරන විටදී, ඔවුන්ට අවශ්‍ය වනුයේ උපදෙස් නොව තමා අසල සිටින්නෙකුය යන කරුණ ඔබට වැටහී ඇත්තේද? එහිදී ඇතැම් විට, අපට කළ හැකි වඩාත්ම කරුණාවන්ත දෙය නම් හුදෙක් එවැන්නෙකු අසලට වී සිටීමයි. චිත්තවේගීය සහය ලබා දීම - කාරුණික වචන, වැළඳ ගැනීමක්, හෝ හුදෙක් විනිශ්චයකින් තොරව සවන් දීම මගින් විශාල සැනසීමක් සහ සහනයක් සැපයිය හැකිය. මෙයාකාරයේ කරුණාවන්ත ක්‍රියා සඳහා විශාල ඉරියව් අවශ්‍ය නොවේ; නිරතුරු, මේ කුඩා කරුණාවන්ත ක්‍රියාවන් හරහා විශාලතම වෙනසක් ඇති කෙරේ. අන් අය වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතා තිබෙන කාලයේදී ඔවුන් අසල සිටීමෙන්, අපි ඔවුන් කෙරෙහි වූ අපගේ තැකීම විදහා දක්වමින් ඔවුන් හුදෙකලා වී නොමැති බවද පෙන්වනු ලබයි.
සමාජය තුළ ස්වේච්ඡා සේවය
ස්වේච්ඡා සේවය යනු කරුණාව ක්‍රියාවට නැංවිය හැකි තවත් ක්‍රමයකි. බොහෝ ස්ථානවල බොහෝ අවස්ථාවන් පවතී: උදාහරණයක් ලෙස, ආහාර බැංකුවකට සහාය ලබාදීම හෝ ප්‍රජා පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී වීම දැක්විය හැක. ස්වේච්ඡා සේවය අපට සෘජුවම අන් අයගේ යහපතට දායක වීමට ඉඩ සලසන අතර ජීවිතයේ ශක්තිමත් අභිප්‍රායගත හැඟීමක් ද ලබා දෙනු ලබයි. අන් අයට උදව් කිරීමට අපගේ කාලය හා උත්සාහය කැප කිරීමෙන් අපට ඉවසීම සහ කරුණාව වගා කළ හැකිය. අපි යටහත් පහත්කම ද වගා කරමු, අපි විශ්වයේ මධ්‍යය නොවන බවත්, සෑම කෙනෙකුටම අරගල ඇති බවත් තේරුම් ගැනීම තුළ එ් හරහා අපගේ කරුණාවන්ත මනස ශක්තිමත්ව ප්‍රතිබල ගන්වනු ලබයි.
සමාජ යුක්තිය උදෙසා පෙනී සිටීම
කරුණාව ක්‍රියාවෙන් ප්‍රායෝගිකව යෙදීම යන්න සමාජ යුක්තිය සඳහා පෙනී සිටීමේ ස්වරූපයද ගත හැකිය. මෙයට සියලු සත්ත්වයන්ගේ අයිතිවාසිකම් හා ගරුත්වය සඳහා පෙනී සිටීම, අසාධාරණයට අභියෝග කිරීම, සහ වඩාත් සාධාරණ හා කරුණාවන්ත සමාජයක් සඳහා කටයුතු කිරීම ඇතුළත් වේ. දැනුවත් කිරීම, ප්‍රතිපත්ති වෙනස්කම් සඳහා සහාය දීම, හෝ සාමකාමී ක්‍රියාකාරීත්වයට සහභාගී වීම, හෝ මෙම කර්තව්‍යයන්හි නිරත සංවිධානවලට පරිත්‍යාග කිරීම හරහාද එසේ කටයුතු කළ හැකිය. මෙසේ පෙනී සිටීම අභියෝගාත්මක වන නමුත් එය කරුණාව ක්‍රියාවට නැංවීමේ ශක්තිමත් ක්‍රමයකි. මන්ද යත්, එතුළ නිතර සමාජයේ වඩාත්ම ආන්තිකකරණය වූ අය කෙරෙහි අවධානය යොමු කරවන බැවිනි. එතුළ අපි දුක් විඳින අයට උදව් කිරීම සඳහා අපගේ ශක්තිය භාවිතා කිරීමට කැමති බැව් විදහා දක්වනු ලබයි..
කරුණාව ක්‍රියාවට නැංවීමේ ප්‍රතිලාභ
කරුණා පෙරදැරිව කටයුතු කිරීම යනු හුදෙක් තවත් පුද්ගලයෙකුට උදව් කිරීමේ ක්‍රියාවක් පමණක් නොවේ; එය අප උදෙසා යොමුවූ සතුටේ හා අර්ථයේද මූලාශ්‍රයක් බවට පත්වේ. ඔබ යමෙකුගේ බර සුළු වශයෙන් හෝ සැබවින්ම සැහැල්ලු කර ඇති බව දැන ගැනීමෙන් ඇති වන සතුට පිළිබඳ සිතා බලන්න. මෙම සතුට ලෞකික ද්‍රව්‍යමය ලාභවල තෘප්තිය මෙන් ක්ෂණික හා කෙටි කාලීන එකක් නොවේ - එය ගැඹුරු හා ස්ථාවර වූද, දිගු කල් පවතින්නාවූද සතුටකි. තවද, එ් සඳහා කිසිදු මුදලක්ද අවශ්‍ය නොවේ; අප සියලු දෙනාටම එයට සහභාගී විය හැකිය. තවද, සෑම කරුණාවන්ත ක්‍රියාවක් තුළින්ම අපගේ මනස තුළ කරුණාවේ පුරුද්ද ශක්තිමත් කරනු ලබයි. වැඩි කල් නොයවාම, අප තුළ එය හමුවන ඕනෑම පුද්ගලයෙකු හෝ තත්ත්වයක් සමඟ කරුණාවෙන් යුක්තව ක්‍රියා කිරීමේ ගති ස්වභාවයක් බවට පත් වනු ඇත.
බෞද්ධ ආගම පුහුණු කිරීමට අපේක්ෂා කරන අප විෂයයෙහි කරුණාව යනු වටිනාම සොයුරා යැයි ප්‍රකාශ කළ හැක.. කරුණාව පවත්නා තැනෙක අපට අනෙක් සත්වයන් සමඟ සම්බන්ධ වීමට බාධා කරන බාධක දිය කර හැරිය හැකිය. තවද, පරම පූජනීය දලයි ලාමා වහන්සේ නිරන්තරයෙන් අප වෙත සිහිපත් කරන පරිදි, අපි සමාජ සතුන් වන අතර, අන් අය සමඟ අප තුළ පවත්නා සම්බන්ධතාවය විසින් සැබවින්ම සතුටුදායක හා අර්ථවත් ජීවිතයක් නිර්මාණය කරනු ලබයි.
නිගමනය
ප්‍රායෝගික කරුණාව බෞද්ධ භාවනාවේ හදවතයි; තවද, මේවන විට ලෝකයට එය ඉතා අවශ්‍ය වේ. එමගින් අපගේ මනස තුළ පවත්නා අලංකාර කරුණාවන්ත අභිප්‍රායන් දුක පිටුදැකීමට සහ වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට සැබෑ, සංයුක්ත උත්සාහයන් බවට පරිවර්තනය කෙරේ. ඉහත සඳහන් ඕනෑම ක්‍රමයකින් සහ තවත් අසංඛ්‍යාත ක්‍රමවලින්ද කරුණාවන්ත ක්‍රියාවේ යෙදීමෙන් අවශ්‍යතා ඇති අයට උදව් කරනු පමණක් නොව, බුද්ධත්වය කරා විහිදුනු මාර්ගයේ අපගේ ගමනද ඉදිරියටම තල්ලු කරවනු ලබයි.