
බෞද්ධ දර්ශනයේ කරුණාව යනු හුදෙක් උදාර ආදර්ශයක් පමණක් නොව, අපගේ ආධ්‍යාත්මික භාවිතාවේ මූලික කොටස වන පරිවර්තනීය බලවේගයකි. කරුණාව වර්ධනය කිරීම අපගේ පෞද්ගලික වර්ධනය සඳහා පමණක් නොව, අප බොහෝ දෙනෙකු අපේක්ෂා කරන වඩාත් සාමකාමී හා සුසංවාදී ලෝකයක් නිර්මාණය කිරීම සඳහාද අත්‍යවශ්‍ය වේ. අප සිත් සතන් තුළ පුළුල් කරුණාවක් වර්ධනය කිරීමෙන්, අපට අන්ධකාරය පවතින තැන්වලට ආලෝකය ගෙන ඒමට සහ දුක් වේදනා පවත්නා තැන්වලට සැනසිල්ල ලබා දීමට හැකි වන පරිදි, අන් අයගේ ජීවිත විශිෂ්ට ලෙස ස්පර්ශ කළ හැකිය. මෙය කරුණාවේ බලයයි.
කරුණාව වර්ධනය කරගත යුතු වන්නේ මන්ද?
සමහර විට ඇතැමෙකු "මම කරුණාව වර්ධනය කළ යුත්තේ මන්ද?" යන්නක් විමසා සිටින්නට පිළිවන. අපගේ ජීවිතය සතුටින් හා සාර්ථකව ගතකරනවාය යන හැඟීම තුළ අපට ප්‍රයෝජනයක් නොමැති යැයි පෙනෙන දෙයක් වර්ධනය කිරීමට අවශ්‍යතාවයක් නොදැනෙන්නට පුළුවන. එනමුත් අපි සතුටින් හා සාර්ථකව සිටින්නේ නම්, අප අනුභව කරන ආහාර වගා කරන්නන් සහ අප භාවිතා කරන මාර්ග නඩත්තු කරන්නන් වැනි අන් අයගේ කාර්ය භාරය පරීක්ෂා කර බැලිය හැකිය. අන් අය නොමැති වීනම් අපගේ තත්ත්වය කවරක් වන්නට තිබිණිද?
සැබැවින්ම, අප වටා ඇති ලෝකයට අප බොහෝ සෙයින් ණයගැති වන බව තේරුම් ගත් විට කරුණාව වර්ධනය කිරීම ළඟ හා දුර සිටින අන් අය සමඟ වඩ වඩාත් ගැඹුරු සම්බන්ධතාවයක් විවෘත කරන යතුරක් බව පෙනෙනු ඇත. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සියලු සත්ත්වයන් අන්තර් සම්බන්ධිත වන බැවින් අන් අයගේ සතුට හා දුක අපගේම සතුට හා දුක සමඟින් සංකීර්ණව සම්බන්ධ වේ.
කරුණාව වර්ධනය කරන විට වැදගත් දෙයක් සිදු වේ: එහිදී අපි අප ගැනම හා අපගේ පෞද්ගලික අවශ්‍යතා, කැමැත්ත හා කරදර පිළිබඳ පමණක් සිතීමෙන් ඔබ්බට ගොස් විමසා බැලීමට පටන් ගනිමු. එහිදී අන් අයගේ සතුට හා යහපැවැත්ම අපගේ පෞද්ගලික සතුට හා යහපැවැත්ම තරම්ම වැදගත් බව අපි හඳුනා ගැනීමට පටන් ගනිමු. ටිබෙට් ගුරුවරුන් විසින් උගන්වන ලද එක් අලංකාර අභ්‍යාසයකට අනුව අප එක් පැත්තක අපගේ අවශ්‍යතා හා ආශාවන් සමඟ තනිවම සිටින අතර, අනෙක් පැත්තේ අන් සියලු දෙනා - සියලුම සත්ත්වයන්, එක් එක් අයගේ බලාපොරොත්තු හා අරගල සමඟ සිටින ආකාරය මැනවින් දකින්නට උත්සාහ කරනු ලබයි. ඉන්පසු වඩාත් විශාල වනුයේ මාගේ පමණක්ද අපේක්ෂාවන්ද නැතහොත් අන් සියලු දෙනාගේ අනන්ත අවශ්‍යතා ද යන පැනය අපගෙන්ම විමසන්නෙමු. මෙම දෘෂ්ටිකෝණයේ වෙනස වනුයේ හුදෙක් අන් අයට උදව් කිරීමෙන් ඔබ්බට ගොස් අප පිළිබඳ පමණක් සිතමින් අපගේම ස්වයං-කේන්ද්‍රීයභාවයේ සිරවීමෙන් අප නිදහස් කිරීමටද උපකාරී වීමයි.
"ඔබ අන් අය සතුටින් සිටිනවාට කැමති නම්, කරුණාව පුහුණු කරන්න. ඔබ සතුටින් සිටීමට කැමති නම්, කරුණාව පුහුණු කරන්න." — පරම පූජනීය 14 වන දලයි ලාමා වහන්සේ
තවද, බුදුන් වහන්සේට අනුව, කරුණාව සැබෑ සතුටේ මූලාශ්‍රයකි. තාවකාලික තෘප්තියක් පමණක් ලබා දෙන භෞතික දේවල් හෝ අපගේ වෘත්තීය ජීවිතයේ ජයග්‍රහණ ලුහුබැඳීම වෙනුවට, කරුණාව චිරස්ථායී තෘප්තියක් ගෙන දෙයි. එය අපට කිසිවක් අපේක්ෂා නොකර දේවල් ලබාදීම හෝ හුදෙක් නොහඳුනන කෙනෙකුට සිනහවක් පෑම වැනි කුඩා, දෛනික අවස්ථාවන්හි සතුට සොයා ගැනීමට ඉඩ සලසයි . මෙම සතුට බාහිර තත්ත්වයන් මත රඳා පවතින්නක් නොවේ; එය අන් අය ගැන සැලකිලිමත් වීමෙන් සහ අප මෙන්ම සතුටින් සිටීමට අපේක්ෂා කරන මිනිසුන් ලෙස ඔවුන් සමඟ සම්බන්ධ වීමෙන් ස්වාභාවිකවම ඇති වන්නක් වේ.
කරුණාව ගොඩනගා ගැනීමේ ප්‍රතිලාභ
අන් අයගේ දුක් කරදර කෙරෙහි අවධානය යොමු කිරීම සහ ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට අවශ්‍ය වීම අපව චිත්තවේගීව පහතට ඇද දමනු ඇති බව මුළදී පෙනී යා හැකිය. නමුත්, එයට ප්‍රතිවිරුද්ධව, වඩ වඩාත් කරුණාව වර්ධනය කරන තරමට අපි වඩාත් අප ඔසවා තබා ගනිමින්, අපගේම ජීවිතවලට වඩ වඩා ශාන්තිය හා අරමුණක්ද සොයා ගන්නෙමු. සරලව ප්‍රකාශ කරන්නේ නනම්, කරුණාව වර්ධනය කිරීම මගින් අපටද අප වටා ඇති ලෝකයටද අප්‍රමාණ ප්‍රතිලාභ ගෙන දෙනු ලබයි.
පෞද්ගලික මට්ටමින් ගත්කල කරුණාව මගින් ආතතිය, කණස්සල්ල සහ අවපාතය අඩු කරන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. එය අපට චිත්තවේගීය ශක්තිය ගොඩනගා ගැනීමට උපකාරී වන අතර, එමගින් ජීවිතයේ සියලුම අභියෝගවලට මුහුණ දීම වඩාත් පහසු කරයි. කරුණාව අපගේ පෞද්ගලික සම්බන්ධතාද පොහොසත් කරවමින් අප අවට සිටින අය ගැන වඩාත් අවබෝධයක් ඇති, ඉවසිලිවන්ත හා සහාය දක්වන අය බවට පත් කරවයි.
පුළුල් තලයක විග්‍රහ කොට බැලූ විට, කරුණාව නමැති ගුණාංගයට සමාජය වෙනස් කිරීමේ හැකියාව ඇත. කරුණා සහගතව කටයුතු කරන විට, අපි කරුණාවේ හා සහානුභූතියේ සංස්කෘතියකට දායක වෙමු. මෙමගින් වඩාත් සමාජ සුසංවාදීතාවයක් හා සමඟියක්ද ඇති කිරීමට මග පාදමින් මිනිසුන් අගය කරනු ලබන සහ එකිනෙකා වෙත සහාය දක්වන ධනාත්මක පරිසරයක් නිර්මාණය කෙරේ.
ඇතැම් විට කරුණාවේ විශාලතම ප්‍රතිලාභය වන්නේ එය අපව අපගේ සැබෑ ස්වභාවයට සම්බන්ධ කරන ආකාරයයි. කරුණාව මගින් එකිනෙකා වෙන්කොට දැක්වීමේ මායාකාරී දැක්ම ඉවත් කරවමින් සියලු ජීවිතවල අන්තර් සම්බන්ධතාවය හෙළි කරනු ලබයි. මෙම අවබෝධය තුළ, අපි අරමුණක් පමණක් නොව, දිගුකාලීන සාමය හා සම්පූර්ණත්වය කරා මාර්ගයක්ද සොයා ගනිමු.

කරුණාව වර්ධනය කරන ක්‍රම
බුදුන් වහන්සේ කරුණාව වර්ධනය කිරීමට බොහෝ ක්‍රම උගන්වා ඇත. බොහෝ ක්‍රම අතරින් හැකි තරම් ක්‍රම පුහුණු කරගැනීම තුළ අපගේ කරුණාව සෙමින් අන් අයට ස්වයංක්‍රීය ප්‍රතිචාරයක් බවට පත් වන අතර එමගින් ස්වාභාවිකවම දයාවේ ක්‍රියාවන් කරා අප යොමු කරනු ලබයි.
අනෙකාගේ දුක් වේදනාවන් මෙනෙහි කිරීම
අපි ජීවත් වන්නේ වැඩි වැඩියෙන් මිනිසුන් "කරුණා වෙහෙස" මගින් පෙළෙන බව වාර්තා කරන ලෝකයකය. අපි නිරන්තරයෙන්, නොනවත්වාම, යුද්ධ, සාගතයන් සහ අපගේ පුවත් හා සමාජ මාධ්‍ය ආක්‍රමණය කරන වෙනත් ව්‍යසනයන්හි රූප පුවත් මගින් දැඩි ප්‍රහාරයකට ලක් වී සිටින අතර අපගෙන් බොහෝ දෙනෙකු අධික ලෙස, බරපතල ලෙස, පීඩාවට පත් වී තවත් දුක් ඇතිකර ගැනීමට අකමැති තත්ත්වයක පසුවේ.
එසේ වුවද, කරුණාව වර්ධනය කිරීමට ඇති වඩාත්ම ඵලදායී ක්‍රමවලින් එකක් නම් අන් අයගේ දුක් වේදනා පිළිබඳ සක්‍රියව සිහි කිරීමයි. එනිසා, අපි පුවතක ව්‍යසනයක් දකින විට හුදෙක් "අහෝ, කොතරම් භයානකද" යි සිතා ඉක්මනින්ම එම රූප රාමුවෙන් ඊළඟ දසුන දක්වා ඉදිරියට ගමන් නොකරමු. සරණාගතයින් පිළිබඳ කතාවක් උදාහරණයක් ලෙස ගනිමු. සිය මාතෘ භූමිය සහ සමස්ත ජීවිතයම අනාථ වීමෙන් පසු එම මුල් බිම් හැර යාමට සිදුවන තත්ත්වය කොතරම් භයානකද යන්න පිළිබඳ අපට මොහොතක් සිහි කළ හැකිය. ඔවුන් නිරතුරු ආරක්ෂාව සෙවීමේ ව්‍යායාමයට අදාළ අනතුරුදායක ගමන්වලදී සිය ජීවිත අවදානමට ලක් කරගනු පමණක් නොව අවසානයේ යම් බිමක් කරා පැමිණි විට, සැකයෙන්, බියෙන් හෝ නොසැලකිල්ලෙන් සලකනු ලැබීමටද භාජනය වේ. අප හෝ අපගේ ආදරණීයයන් එම තත්ත්වයේ සිටියේ නම් එය කොතරම් භයානක වන්නේද යන්න පිළිබඳ සිතන්න. එහිදී ස්වාභාවිකවම “කිසිවෙකුට එවැනි දුක් විඳීමට සිදු නොවේවා" යන කාරුණික හැඟීමක් ඇති වනු ඇත:"
මෙහිදී, දුක් වේදනා ගැන සිහි කිරීම යනු වේදනාව හෝ දුක ගැන සිතමින් එය මගින් අධික ලෙස සිත් කරදරයකට ලක්වීම නොව, දුක විඳීම සර්වත්‍ර වූ, විශ්වීය අත්දැකීමක් බව හඳුනා ගැනීමයි. අප අවට සිටින අය සහ දුරබැහැර රටවල සිටින අය ඇතුළත් අන් අය මුහුණ දෙන අභියෝග පිළිගැනීමෙන්, අපට ඔවුන්ගේ දුක දුරු කිරීමට අවංක ආශාවක් වර්ධනය කර ගත හැකිය.
යහපත් ක්‍රියාවන්හි නිරත වීම
පෙර සඳහන් කළ පරිදි, කරුණාව යනු අපට දැනෙන දෙයක් පමණක් නොව අප කරන දෙයකි. උපකාර කිරීම, කවුරුන්ට හෝ කතා කිරීමට අවශ්‍ය විට ඔහුට සවන් දීම, හෝ හුදෙක් නොහඳුනන කෙනෙකුට සිනහවක් පෑම වැනි කුඩා යහපත් ක්‍රියා පවා අපගේ කරුණාව ක්‍රියාවේ යෙදවීමට ඉඩ සලසයි.
මෙම කුඩා යහපත් ක්‍රියා වැදගත් නොවන ලෙස පෙනුනද අප සිතනවාට වඩා වැඩි ජීවිත ප්‍රමාණයක් ස්පර්ශ කරමින් ඒවාට විශාල බලපෑමක් ඇති කළ හැකිය. යහපත මාංශ පේශියක් වැනිය. එමගින් කොතරම් කුඩා වුවත් අප කරන සෑම යහපත් ක්‍රියාවක් හරහාම අපගේම කරුණාව ශක්තිමත් කරනු ලබන අතරම අනාගතයේදී සහානුභූතියෙන් හා සැලකිල්ලෙන් ප්‍රතිචාර දැක්වීම වඩාත් පහසු කරයි. බෙදී ගොස් ඇති බවක් පෙනෙන ලෝකයක මෙම කුඩා යහපත් ක්‍රියා අපව අනෙකුත් සත්ත්වයන්ට වඩාත් සමීප කරමින් ලෝකය දැනට පවත්නා මට්ටමට වඩා තරමක් දීප්තිමත් කිරීමට සැබවින්ම උපකාරී විය හැකිය.
පරාර්ථකාමී ප්‍රේමය පුහුණු කිරීම
අන් අය සතුටින් සිටිනු දැකීමේ අවංක ප්‍රාර්ථනාව හෙවත් පරාර්ථකාමී ආදරය, කරුණාව සමඟ සමීපව සම්බන්ධ එකක් වේ. එය ශක්තිමත් භාවිතාවක් වන අතර එමගින් ස්වයං-කේන්ද්‍රීය කරුණුවලින් ඔබ්බට ගොස් සියලු සත්ත්වයන් ඇතුළත් පුළුල් ආදරයක් කරා අපගේ අවධානය යොමු කිරීමට අප පුහුණු කරගන්නෙමු. එසේ කටයුතු කිරීමෙන්, අපි සම්පූර්ණයෙන්ම අප තුළම පවත්නා සාමය හා සම්පූර්ණත්වය පිළිබඳ මූලාශ්‍රයක් කරා ළඟා වීම අරඹන්නෙමු.
"ලෝකයේ සතුටුම මිනිසා" ලෙස නිරතුරු හඳුන්වනු ලබන බෞද්ධ භික්ෂුවක් වන මැතියු රිකාඩ් පවසන පරිදි, "පරාර්ථකාමිත්වය වඩාත්ම ඉහළින් වර්ධනය කළ යුතු මානසික තත්ත්වයයි, මන්ද එය අප කෙරෙහි මෙන්ම අනෙකා කෙරෙහිද විශාලතම ප්‍රතිලාභ සලසන බැවිනි." දෛනිකව පරාර්ථකාමී ආදරය පුහුණු කිරීමට උත්සාහ කරන විට, අපි ස්වාභාවිකවම වඩාත් කරුණාවන්ත හා විවෘත හදවතක් වර්ධනය කර ගනිමු.
මෙම පුහුණුව සඳහා මහා ඉරියව් අවශ්‍ය නොවේ; එය දිනය පුරා අපට මුණගැසෙන පුද්ගලයින් උදෙසා අවංකවම සතුට ප්‍රාර්ථනා කිරීම වැනි සරල දෙයකින් පටන් ගත හැකිය. වීදියේ නොහඳුනන කෙනෙකුට නිහඬව සුභ පැතුම් පිරිනැමීම වේවා, මිතුරෙකු සාමය හමුවේවා යන අපේක්ෂාව වේවා ලෝකය පුරා දුක් විඳින්නන් වෙත ප්‍රේමය විදහා දැක්වීම වේවා, මෙම කුඩා, අභිප්‍රේත යහපත් ක්‍රියා අපගේ ආදරය හා කරුණාව සඳහා ඇති හැකියාව පුළුල් කිරීමට උපකාරී වේ.
සමහර විට, පිටතින් බැලූ විට දුක් විඳින බව පෙනෙන අය සඳහා පරාර්ථකාමී ආදරයක් දැනීම අපට පහසුය. අපට වීදියේ යාචකයෙකු දැක ක්ෂණිකව "ඔවුන් වෙත සතුට සහ ඔවුන්ගේ අරගලවලින් සහනය ලැබේවා" වැනි යම් හැඟීමක් ඇති විය හැකිය. නමුත්, පොහොසත් බව සහ සියලු සම්පත් ඇති බව පෙනෙන කෙනෙකු දකින විට අප තුළ "මම ඇයි ඔවුන් සතුටින් සිටීම ප්‍රාර්ථනා කළ යුත්තේ? ඔවුන්ට දැනටමත් සියල්ල තිබෙනවා!" යන සිතිවිල්ලක් ඇතිවේ. කෙසේ වෙතත්, පරාර්ථකාමී ආදරය බාහිර අත්දැකීම් ඉක්මවා යන්නකි. පුද්ගලයෙකු ජීවන අරගලයක නිරත බව හෝ සාර්ථක බව පෙනුනද, සෑම කෙනෙකුම සතුට ලැබීමට සුදුසු බව සිහිපත් කළ යුතුය.
මේ සඳහා, බුදුන්වහන්සේ විසින් මෛත්‍රී භාවනාව දේශනා කොට ඇත. මෙම භාවිතාවේදී, අපි අප තුළ ආදරය හා කරුණාවේ හැඟීම් ජනනය කිරීමෙන් ආරම්භය ගෙන, ඉන්පසු එම හැඟීම් අන් අයට පතුරුවා හරිමු: පළමුව ආදරණීයයන්ට, පසුව මධ්‍යස්ථ පුද්ගලයින්ට, සහ අවසානයේ අපට අපහසු හෝ අභියෝගාත්මක විය හැකි අයට ආදී වශයෙනි. මෙහි අරමුණ වන්නේ අපගේ ආදරය හා කරුණාවේ වට්ටය ක්‍රමයෙන් පුළුල් කරමින් එය කිසිදු වෙනසක් නොමැතිව සියලු සත්ත්වයන් ඇතුළත් වන තෙක් විහිදුවා ලීමයි. කාලය ගත වෙද්දී, මුණගැසෙන සෑම අයෙකු වෙතම ස්වභාවිකවම සතුට පතන තත්ත්වයකට පත් වන්නෙමු..
සිහි නුවණ හෙවත් සතිමත්බව සහ භාවනාව
සිහිනුවණ හෙවත් සතිමත් බව යනු විනිශ්චයකින් තොරව අපගේ සිතුවිලි, හැඟීම් සහ වටපිටාව පිළිබඳව පූර්ණ වශයෙන් පවත්නා ආකාරය පිළිබඳ දැනුවත්ව සිටීමේ භාවිතාවයි. අප සියලු දෙනාටම කළ හැකි දෙයක් වන මෙම කුසලතාවය වර්ධනය කරන විට අපට අපගේ පෞද්ගලික දුක් වේදනා සහ අන් අයගේ දුක් වේදනා පිළිබඳවද වඩාත් පැහැදිලි අවබෝධයක් ලැබේ. අපගේ දැනුවත්භාවය වර්ධනය වන විට, ස්වභාවිකවම අපගේ කරුණාවද වර්ධනය වේ, මන්ද එහිදී දුක යනු අප සියලු දෙනා අත්විඳින මිනිස් ස්වභාවයේ මූලික කොටසක් ලෙස දැකීම ආරම්භ වන බැවිනි.
මහා බෞද්ධ භික්ෂුවක් සහ ගුරුවරයෙකු වන තිච් නට් හන් මනාව පවසා ඇති පරිදි, "සිහිනුවණ කරුණාව උත්පාදනය කරවයි." වඩාත් සිහි නුවණින් යුක්ත වන විට, අප සහ අන් අය වේදනාව, බිය සහ ඉච්ඡා භංගත්වය අත්විඳින පැහැදිලි ආකාර පමණක් නොව, සියුම් ආකාරද නිරීක්ෂණය කිරීමට පටන් ගනිමු. මෙම අවබෝධය අපගේ හදවත් මෘදු කරන අතර, එ් හේතුකොට කෝපයෙන් හෝ අසහනයෙන් ප්‍රතිචාර දැක්වීම වෙනුවට, කරුණාවෙන් හා දයාවෙන් ප්‍රතිචාර දැක්විය හැකි වේ.
සතිමත් බව හා භාවනාව තුළින් කවර තරාතිරමක වුව සෑම කෙනෙකුම සිය අරගල හා අභියෝගවලට මුහුණ දෙන බව අපට හඳුනා ගත හැකිය. මෙය අප පහසුවෙන් බැස ගැනීමේ හැකියාව සහිත ක්ෂණික විනිශ්චය හා නිගමනවලින් ඔබ්බට යාමට උපකාරී වේ. සියලු සත්ත්වයන් වෙත අපගේ කරුණාව සෙමින් පතුරුවා හැරීමට පුහුණු වන විටදී අප බොහෝ විට අන් අය සමඟ ගැඹුරින් සම්බන්ධ වීම වළක්වන සුළු වූ වෙන්වීමේ සහ බොහෝ විට උසස්කමේ තාප්ප බිඳ දැමීම ආරම්භ කරමු. මේ සමඟින්, අපි සමාජ සත්ත්වයන් ලෙස අපගේ පෞද්ගලික සතුටට සහ අප අවට සිටින සියලු දෙනාගේ සතුටටද දායක වෙමු.
නිගමනය: සැබෑ කරුණාව කරා වූ මාර්ගය
තිච් නට් හන් පැවසූ පරිදි, "කරුණාව යනු ක්‍රියාපදයකි." එය පැහැදිලිව අරගල කරන අය සඳහා පමණක් නොව, අපට මුණගැසෙන සෑම කෙනෙකු සඳහාම සක්‍රියව වර්ධනය කළ යුතු දෙයක් වේ. කුඩා යහපත් ක්‍රියා හරහා වේවා, අන් අයගේ දුක් වේදනා ගැන සිහි කිරීම හරහා වේවා, හෝ මෛත්‍රී භාවනාව හරහා වේවා, අප තුළ ඇති කරුණාවේ බීජය සියලු සත්ත්වයන් සඳහා අවංක සැලකිල්ලක් බවට විකසිත විය හැකිය.
මිනිසුන් ලෙස, අපගේ පෞද්ගලික අවශ්‍යතා හා කරදරවලින් පීඩාවට පත්ව යටපත් වීම ඉතා පහසු වන නමුත් කා හට වුවද තමා කොහෙන් පැමිණියද , කෙසේ පෙනුනද සතුට හා දුකින් සහනය ලැබීමට අවශ්‍යය. අපට වෙනසක් කිරීමට අවශ්‍ය පියවර ගත හැකි ස්ථානය මෙයයි. අපට අප වැදගත් නොවන බවක් පෙනී යා හැකි නමුත් බුදුන් වහන්සේ අපට දේශනා කොට ඇති පරිදි සෑම සියලු අයෙකුම අන්තර් සම්බන්ධිත වේ. මේ අනුව, අපි නොහඳුනන අයට පිරිනමන සෑම සිනහවක්ම සහ මෛත්‍රී භාවනාව කරමින් ගත කරන සෑම මිනිත්තුවක්ම යන සියල්ල තුළම අප සහ අප අවට සිටින අය කෙරෙහි ධනාත්මක බලපෑමක් පවතී.