කරුණාව වඩන අයුරු

දුකින් මිදෙත්වා, දුක් ඇතිකරවන දේවලින් මිදෙත්වා යනුවෙන් අන් අය ගැන අපි පතමු නම් එබඳු කරුණාවන්ත වීමේ හැකියාවෙන් යුතුව අපි සියලු දෙනා ඉපදී ඇත. අදහාගත නොහැකි යහපත් ප්‍රතිඵල අප වෙතත් අන් අය වෙතත් උදාකරවන එම හැකියාව අපට වර්ධනය කර ගත හැකිය.

කරුණාව වැඩීම ආරම්භ කිරීමට හැකි හොඳම ක්‍රමය නම්, සැබෑ ජීවිතයේ දී සහ අන්තර්ජාලයේදී අපට හමුවන මිනිසුන් සඳහා අපේ පරාසය සීමා කර ගැනීමය. අනතුරුව ටිකෙන් ටික, සෑම අයෙකුම ඇතුළත් වන පරිදි අපේ කරුණාව දිගු කිරීමට අපි පුහුණු වෙමු. අප කැමති අය, අමුත්තන් සහ අප කිසිසේත්ම කැමති නැති අයත් ඇතුළත් වන පරිදි මෙය කරමු. කැරපොත්තන් වැනි සතුන්ද ඇතුළත් වන පරිදි සමස්ත ලෝකයම ඇතුළත් වන තෙක් අපේ කරුණාව දිගටම පුරුදු කරමු.

කරුණාව යන්නෙහි මනෝභාවාත්මක සහ බුද්ධිමය යන කොටස් දෙකම තිබේ. මනෝභාවාත්මකව මේ පෘථිවි තලයේ වසන සෑම ජීවිතයකම ඔවුනොවුන් මත යැපීම අප අගය කිරීම අවශ්‍යය. ගෝලීය ආර්ථිකය සහ අප භුක්ති විඳින සෑම දෙයක්ම - එනම් කෑමබීම, ඇඳුම්, උපකරණ, නිවාස, යානවාහන වැනි දේ - නිෂ්පාදනය වන්නේ අන් අයගේ අසීරු වැඩකටයුතු මඟිනි. ඔවුන් නොමැතිව, පාරවල්, විදුලිය, ඉන්දන, වතුර සහ කෑම අපට අහිමි වේ. “කරුණා බරිත ප්‍රේමය” ය’යි කියනු ලබන දෙයට අපව යොමු කරවන ස්තුති පූර්වක මානසික සතුට මෙමඟින් අපට ඇති කරයි. මෙම කෘතඥතා හැඟීම ආවර්ජනය කරත්ම කරත්ම අන් අය වෙත අපේ නැඹුරුව වඩාත් තර වේ. එය, තමුන්ගේ එකම දරුවාට යම් නරකක් සිදු වන විට මවකට බියමුසු හැඟීමක් ඇති වීම වැනිය. අනුන්ගේ අවාසනාවකදී අපි ශෝක වෙමු. එහෙත් ඔවුන් කෙරෙහි අනුකම්පාවක්, කණගාටුවක් ඇති කර නොගමු. ඔවුන්ගේ ගැටලු අපේම ඒවා සේ සලකා අපි ඒවාට සංවේදී වෙමු.

කරුණාව සැම දෙනා වෙතම සමානව ව්‍යාප්ත කර ලීමේ බුද්ධිමය පදනමද ඉතා පැහැදිලිය. එහෙත් එය ඇතැමෙකු විසින් නොසලකා හරින දෙයකි: එනම්, සෑම අයෙකුම සතුට අත්විඳීමට ඇති උවමනාවෙන් සමානය, නොසතුටින් සහ දුකින් මිදීමට ඇති උවමනාවෙන්ද සමානය. යම් අයෙකු අපට කෙතරම් සමීපද දූරස්ථද යන්න නොතකා, ඒ අය කුමක් කරන්නේද යන්න නොතකා මේ කරුණු දෙක සත්‍ය වශයෙන් පවතී. යම් අයෙකු බරපතල ලෙස හානිදායක දෙයකට හේතු වනවා විය හැකි නමුත් ඔවුන් එසේ කරන්නේ එමඟින් තමුන්ට හෝ සමාජයට හෝ යහපතක් අත්වේය’යි යන අවිද්‍යාව, මුළාව සහ රැවටීම නිසාය. ඒ නැතිව ඔවුන් සහජයෙන්ම නරක නිසා එසේ කරන්නේ නොවේ. කිසිවෙකුත් සහජයෙන්ම “නරක” නැත. මේ නිසා, ඔවුන්ටද කරුණාව දැක්වීම හේතු සහගතය, සුදුසුමය. ඇයිද යත්, අපට දුක්විඳීමට අවශ්‍ය නැති සේ ඔවුන්ටද එය අවශ්‍ය නැත.

කරුණා භාවනාව

කරුණාව වර්ධනය කරගැනීම සඳහා පුහුණු වීම යනු එය පියවරින් පියවර වැඩි කරවීමකි. පළමුව අප වැනිම දුක් විඳින අය ගැන අවධානය යොමු කරමු. අනතුරුව මධ්‍යස්ථ අය කෙරෙහිද, ඊටත් පසුව අප නොකැමති අය කෙරෙහිද අවධානය යොමු කරමු. අවසානයේදී සෑම තැනකම සිටින සෑම පුද්ගලයෙකුගේ දුක්පීඩා ගැන සමසිතින් අපි අවධානය යොමු කරමු.

සෑම පියවරකදීම අපි හැඟීම් තුනක් ජනනය කරමු:

  • ඔවුන් තම දුකින් සහ දුක් ඇතිකරවන හේතූන්ගෙන් අතමිදීම කෙතරම් නම් ආශ්චර්යජනකද.
  • ඒ අය විමුක්තිය ලබත්වා: ඒ අය විමුක්ත වේත්වා’යි මම පතමි.
  • ඒ අයට විමුක්තිය ලැබීමට මට උපකාර කළ හැකි වේවා.

මේ අනුව, කරුණාව තුළ අන් අයට ඒ අයගේ ගැටලුවලින් නිදහස් වීම පිණිස සහ ඒ අයගේ නොසතුට අවසන් කිරීම පිණිස උදවු කිරීමට ඇති කැමැත්තද අන්තර්ගතය. එනම්, කිසිම අවස්ථාවක බලාපොරොත්තු සුන්කර නොගැනීම යන තේරුමින් යුතුව ගැටලු යථාර්ථවාදී ක්‍රම අනුගමනයෙන් විසඳා ගත හැකි බවට ඇති වන ආත්මවිශ්වාසය. මේ අනුව, බුදුදහම තුළ කරුණාව යනු ඕනෑම මොහොතක අනෙකාගේ යහපත උදෙසා ක්‍රියාත්මක වීමට නැඟී සිටීමේ සූදානමක් ඇති සක්‍රීය මානසික තත්ත්වයකි.

Top