How to develop love derek thomson unsplash

විශ්වීය මෛත්‍රිය - එනම් සෑම අයෙකුටම සතුටත් සතුටට හේතුවන දේත් ලැබේවා’යි පැතීම - මතු වන්නේ අපේ ජීවිත අනෙකුත් සෑම අයෙකුගේම ජීවිත සමග මුළුමනින්ම එකිනෙකට සම්බන්ධ බව වටහාගැනීමෙන්ය. අප සෑම අයෙකුම මානව වර්ගයාගේ කොටසකි, අපගේ යහපැවැත්ම සමස්ත ගෝලීය ප්‍රජාවගේම යහපැවැත්ම සමග එකට බැඳී පවතී. කිසිවෙකුටවත් ආර්ථික පසුබෑම්වල හෝ කාලගුණ වෙනස්වීම්වල හෝ ඵලවිපාක මඟ හැරිය නොහැකිය. අප මානව වර්ගයා සමග එකිනෙකාට බැඳී පවතින නිසා අපේ මෛත්‍රිය සෑම අයෙකු වෙතම පතුරුවා හැරීම සම්පූර්ණයෙන්ම යෝග්‍යය.

අනෙකා වෙනුවෙන් මෙත්සිත වගා කිරීමෙන් නිරායාසයෙන්ම මනස සැහැල්ලු වෙයි. ජීවිතය තුළ සාර්ථක වීමේ පරම මූලාශ්‍රය මෙයය. 14 වන දලයි ලාමා වහන්සේ

මෛත්‍රිය වඩන්නට නම් අපගේ අන්තර්සම්බන්ධතාව ඇගයීමට ලක්කිරීම අවශ්‍යය. අප අනුභව කරන, පරිහරණය කරන සහ භුක්ති විඳින සෑම දේම එන්නේ අන් අයගේ අසීරු කාර්යයන් මඟිනි. ලෝකයේ විවිධ අහුමුළුවල සිටින, ඔබ මේ දැන් මෙය කියවන උපකරණය වැනි විද්‍යුත් උපකරණ නිර්මාණය කරන දහස් ගණනක් මිනිසුන් ගැන හිතා බලන්න. මේ පිළිබඳව ආවර්ජනය කිරීම, අප තුළම ගැඹුරු සතුට දනවන හැඟීමක් වෙත යොමු කරමින්, අපව සෑම පුද්ගලයෙකු වෙතම සම්බන්ධ කරන අතර ඔවුන් වෙත කෘතඥතා හැඟීමක්ද ඇති කරයි. එවිට අප ස්වභාවිකවම අන් අයගේ සතුට ගැන සොයා බලන්නෙමු. මේ හැඟීම් විශ්වීය මෛත්‍රියක පදනම වේ.

මෛත්‍රිය වැඩීමේ කෙටි භාවනාවක්

අප පළමුව අප කෙරෙහිම මෛත්‍රිය වඩන්නට අවශ්‍යය. අප අපටම සතුට අත්වේවා’යි පතන්නේ නැතිනම් අප තවත් අයෙකුට එසේ සතුට ළඟා වේවා’යි පතන්නේ කුමකටද?

අපි ගැඹුරු හැඟීමකින් පටන් ගමු:

  • සතුටත් සතුට ඇති කරවන හේතුත් මා සතු වේ නම් එය කෙතරම් ආශ්චර්යජනකද.
  • මා සතුටින් සිටීවා’යි මම පතමි.
  • මා වෙත සතුට ගෙන ඒමට මට හැකි වේවා.

අප තුළම සතුට අත්විඳීමට ප්‍රබල ආශාවක් අත්දකින විට අපට එම ආකල්පයම අපේ පරාසය පුළුල් කරමින් අන් අයවත් ඇතුළත් වන ඉතා පුළුල් වක්‍රයක් වෙත යෙදවීමට හැකිය:

  1. පළමුව අපේ මෛත්‍රිය අපේ ප්‍රියතමයන් සහ මිතුරන් වෙත ඉලක්ක කරමු.
  2. අනතුරුව අපට දිනපතා මුණ ගැසෙන සාමාන්‍ය මිනිසුන් සියලු දෙනා වෙත අප එය පුළුල් කරමු.
  3. ඊටත් පසුව, අප කිසිසේත්ම නොකැමති පුද්ගලයන් වෙතද මෛත්‍රිය වැඩීමට උත්සාහවත් වෙමු.
  4. අවසානයේදී සමස්ත ලෝකයමත් එහි වසන සියලු සත්ත්වයනුත් වෙත අපේ මෛත්‍රිය යොමු කරමු.

මේ ආකාරයෙන්, අප සහ අප වටා සිටින අය පමණක් නොව සියලුම සත්ත්වයන් ඇතුළත් වන පරිදි අපේ මෛත්‍රි සහගත හැඟීම වැඩිය හැකිය.

අපට ඇත්තටම අන් අයගේ සතුට වෙනුවෙන් යමක් කළ හැකි නම් අප එය කළ යුතුය. අපට එසේ කළ නොහැකි නම්, එවිට, ඔවුන්ගේ කෙටි කාලීන සතුටට පමණක් නොව ඔවුන්ට දිගු කාලීන යහපැවැත්මට පවා හේතු වන මොනයම් හෝ දෙයක් ඔවුන්ට ලබා දීම ගැන සිතා බැලිය හැකිය. මෙය කෑමබීම හෝ නිවසක් අහිමි අයෙකුට නිවහනක් සැපයීම හෝ වැනි දෙයක් නොවේය - හොඳින් බැලුවහොත්, බොහෝ ධනවත් සහ සාර්ථක පුද්ගලයන් කණස්සල්ලෙන් පසුවන අතර ඔවුන් අපගේ ප්‍රාර්ථනා තුළට පවා ඇතුළත් කර ගැනීම අවශ්‍යය. හෙමි හිමීට, අපේ පවුල, අපේ මිතුරන් සහ අපට මුණ ගැහෙන සෑම අයෙකුම උදෙසා වඩන අවංක මෛත්‍රිය ස්වභාවිකවම අපටත් අන් අයටත් සතුට ගෙන දෙමින් නැඟී සිටින්නේමය.

Top