භාවනාව වඩන අයුරු

භාවනාව යනු අපේ මනස සංසුන් කරවීමට, ආතතිය දුරුකරවීමට සහ යහගුණ වර්ධනය කරගැනීමට උපකාර කර ගත හැකි උපකරණයකි. බෝහෝ ආධුනිකයෝ බුදුදහම පිළිබඳ වැඩි යමක් ඉගෙන ගැනීමකින් තොරව හැකි ඉක්මනින් ආරම්භ කිරීමට උනන්දු වෙති. කෙසේ වෙතත්, පියවරෙන් පියවර ඉදිරියට යාම හොඳ අදහසකි. බුදුන්වහන්සේ දේශනා කරන ලද දේ ගැන වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා විට අපේ භාවනාව ක්‍රමයෙන් ගැඹුරට යන්නේය.

මෙහිදී භාවනා පුහුණුව පිළිබඳ සාමාන්‍ය කරුණු කීපයක් අපි බලමු. පළපුරුදු භාවනානුයෝගියෙකුට ඕනෑම වේලාවක, ඕනෑම තැනක භාවනා කිරීමේ හැකියාව ඇත. අපේ අවට පරිසරය අපට ප්‍රබල ලෙස බලපෑමක් එල්ල කරන නිසා, ආධුනිකයෙකුට නම් නිසංසල තැනක් සොයා ගැනීම උපකාරයක් වනු ඇත.

භාවනාවට තැනක්

ඉටිපන්දම්, බුදුපිළිම සහ හඳුන්කූරු සහිත කාමරයක් භාවනාව සඳහා අවශ්‍යය’යි අපට සිතෙන්නට හැකිය. ඒවා අපට අවශ්‍ය නම් එයින් කමක් නැත. වාසනාවකට, එවැනි සැලසුම් කරන ලද වටපිටාවක් අවශ්‍ය නැත. එහෙත් වැදගත්ම කරුණ නම් එම කාමරය පිරිසිදුව සහ පිළිවෙළට තිබීමය.

අප අවට ඇති පරිසරය පිළිවෙළට තිබේ නම් එය මනස පිළිවෙළකට ගැනීමට උපකාරී වේ. අවුල් සහගත පරිසරයක් මනසට ඍණාත්මකව බලපෑ හැකිය.

ආරම්භයේදී පරිසරය නිහඬ වීම ඉතාම උපකාරීය. ඝෝෂාකාරී නගරයක අප ජීවත් වේ නම් මෙය අසීරු විය හැකිය. එම නිසා, බොහෝ මිනිස්සු උදේ පාන්දර හෝ මහරෑ භාවනා කිරීමට උත්සාහ කරති. අවසාන අදියරේදී ඝෝෂාකාරිත්වය අපට බාධා කරන්නේ නැති වුවත් ආරම්භයේදී එය බොහෝ විපිළිසර බවක් ඇති කළ හැකිය.

සංගීතය සහ භාවනාව

බුදුදහමේදී සංගීතය සමග භාවනා කිරීමට උපදෙස් දෙන්නේ නැත. ඇයිද යත්, එමඟින් බාහිර මූලාශ්‍රයක් මත යැපෙමින් සිත තැන්පත් කෙරෙන නිසාය. ඒ වෙනුවට, අපට ආධ්‍යාත්මිකව සැනසීම ජනනය කර ගැනීමේ හැකියාව අවශ්‍යය.

භාවනාව සඳහා ඉරියව්ව

ඉතාම වැදගත් දේ නම්, කොන්ද කෙළින් තබා ගෙන පහසු අයුරකින් හිඳ ගැනීම සහ අපේ උරහිස්, බෙල්ල සහ මුහුණේ මස්පිඩු සැහැල්ලුවෙන් තබා ගැනීමය. පුටුවක හිඳ ගැනීම වඩාත් සුවපහසුය. එය හොඳටම හොඳය. එය වදවේදනාවක් මෙන් නොදැනිය යුතුය! ඇතැම් සෙන් භාවනා ක්‍රමවලදී අපට හෙල්ලෙන්නවත් බැරිය. වෙනත් භාවනා ක්‍රමවලදී, ඔබට ඔබේ පාද චලනය කිරීම අවශ්‍ය නම් ඒවා එහෙ මෙහෙ කළ හැකිය. එහි ලොකු දෙයක් නැත.

භාවනා කරන කාලය

අප ආරම්භ කරන විට, බොහෝ කෙටි කාලයක් භාවනා කිරීමට උපදෙස් දෙනු ලැබේ. මිනිත්තු තුනක් පහක් අතර ප්‍රමාණවත්ය. එයට වඩා බොහෝ කාලයක් අවධානය රඳවා තබා ගැනීම අසීරු බව අපි දනිමු. අපේ මනස ඉවතට පැන දුවන, දහවල් සිහින පෙනෙන, නැතිනම් නින්දට පවා වැටෙන දිගු කාලයක් ගත කරනවාට වඩා බොහෝ සෙයින් අවධානය රඳවා ගත් කෙටි කාලයක් භාවනා කිරීම හොඳය.

මතක තබා ගත යුතු වැදගත්ම මූලධර්මවලින් එකක් නම් සෑම දේම ඉහළ පහළ යන බවය. ඇතැම් දිනවලදී ඔබේ භාවනාව හොඳින් කෙරීගෙන යන නමුත් ඇතැම් දිනවලදී එසේ නොවේ.

අපේ සිරුරත් මනසත් සැහැල්ලුවෙන් තිබීම වැදගත්ය. අපි අපව බලකරමින් තල්ලු කරන්නේ නොවෙමු. ඇතැම් දිනවලදී අපට භාවනා කරන්න සිතෙන නමුත් ඇතැම් දිනවලදී එසේ නොවේ. ප්‍රගතිය කිසිකලෙකත් රේඛීයව සිදු නොවේ. මේ නිසා, එක් දිනකදී අපට නියමට කළා’යි දැනිය හැකි අතර අනෙක් දිනයේදී එතරම් සතුටක් නොදැනේවි. වසර කීපයක් එක දිගට පුහුණු කිරීමෙන් පසුව අපේ භාවනා පුහුණුව දියුණු වන සාමාන්‍ය නැඹුරුව අපි දකිමු.

භාවනා කරන වාරගණන

මෙය ප්‍රධානම කාරණයකි. එක් වරකදී මිනිත්තු කීපයක් ලෙස ආරම්භ කර දිනපතාම භාවනා කළ හැකි නම් එය හොඳම ක්‍රමයය. පළමු මිනිත්තු කීපයට පසුව කෙටි විවේකයක් ලබා ගෙන නැවතත් භාවනාවට යන්න. පැයක් පමණ ශරීරයට වද දෙමින් හිඳගෙන සිටිනවාට වඩා මේ විධියට පුහුණු කිරීම වඩා හොඳය.

ආනාපානසති භාවනාව

බොහෝ මිනිසුන් ආරම්භ කරන පළමු භාවනාව නම් සංසුන්ව තැන්පත්ව හුස්ම වැටීම ගැන අවධානය යොමු කිරීමය. අප ආතතියෙන් සිටින විටකදී සංසුන් වීමට මෙය ඉතාම උපකාරීය.

  • නාසයෙන් සාමන්‍ය පරිදි හුස්ම ගන්න - හුඟාක් වේගයෙනුත් නොවේ, හුඟාක් සෙමිනුත් නොවේ, හුඟාක් ගැඹුරිනුත් නොවේ, හුඟාක් කෙටියෙනුත් නොවේ.
  • ස්ථාන දෙකින් එකකදී හුස්ම ගැන අවධානය රඳවා ගන්න - අපට නිදිමත ගතියක් දැනෙන්නේ නම්, හුස්ම නාසයෙන් ඉහළට පහළට යාම අපේ ශක්තිය වැඩි කරවීමට උදවු වේ. එසේ නැතිව, අපේ මනස එහෙ මෙහෙ සැරිසරත් නම්, උදරය ඉහළ පහළ යාම පිළිබඳ හැඟීම අපව රඳවා තබා ගැනීමට උදවු වේ.
  • හුස්ම ඉහළ පහළ යාම දහය දක්වා ගණන් කරමින් සිහියෙන් යුතුව හුස්ම ගන්න - සිත වෙනතකට ඇදී ගිය විට නැවතත් එහි අවධානය හිමීට හුස්ම වෙත ගෙන එන්න.

මෙහිදී අපි අපේ මනස වෙනතකට හරවන්නේ නොවෙමු. සැබෑ කාර්යය නම් අපේ අවධානය වෙනතකට ඇදී ගොස් ඇති බව දැන ගත් වහාම එය ආපසු ගෙන ඒමය; නැතිනම්, අපට කම්මැලි හෝ නිදිමත ගතියක් දැනේ නම් අපවම අවදි කරවා ගැනීමය. මෙය පහසු නොවේ! විශේෂයෙන්ම අපට කේන්තියක් ඇති අයෙකු ගැන සිතන විට මෙන් කරදරකාරී මනෝභාවයන් නැඟී සිටින විට, අපේ කම්මැලිකම හෝ මනසේ විසුරුණු බව නොදැක සිටීමට අපි නැඹුරු වෙමු. ඒත් හුස්ම වැටීම හැම විටම සිදුවේ. අපට ඕනෑම මොහොතක අපේ අවධානය ආපසු රැගෙන ආ හැකි ස්ථිර දෙයකි එය.

ආනාපානසති භාවනාවේ වාසි

ආතතිය සමග සටන් කරන්න උදවු කරනවාට අමතරව ආනාපානසති භාවනාවේ තවත් වාසි ඇත. අප නිතරම ඔළුව “අවුල් ජාලයක්” වගේ ඇති අයෙකු නම් ආනාපානසතිය අපට එක්තැන් වීමට උදවු කරයි. ඇතැම් රෝහල්වල, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ, වේදනාව කළමනාකරණය කිරීම සඳහාද ආනාපානසතිය යොදා ගැනේ. එය කායික වේදනාව පමණක් නොව මනෝභාවාත්මක වේදනාව පවා දුරුකරයි.

අන් අය කෙරෙහි මෛත්‍රිය උපදවා ගැනීම

ආනාපානසතියෙන් අපේ මනස සංසුන් කරගත් විටෙක, අපගේ විවෘත සහ විමසීමෙන් සිටින මානසික තත්ත්වය අන් අය කෙරෙහි වැඩි වැඩියෙන් මෛත්‍රිය ජනනය කිරීම සඳහා යොදා ගත හැකිය. ආරම්භයේදී, “මා දැන් හැමදෙනාටම මෛත්‍රී කරනවා” යනුවෙන් සිතීමට සහ එය ඇත්තටම දැනීමට අපට නොහැකිය. ඒ සිතුවිල්ල පසුපස කිසිදු බලයක් නැත. මෛත්‍රිය පිළිබඳ දැනගැනීමට අප බුද්ධිමය චින්තන ක්‍රියාවලියක් යොදා ගනිමු:

  • සියලු සත්ත්වයෝ එකිනෙකාට බැඳී සිටිති. අපි එකට එක්ව මෙහි සිටිමු.
  • සතුට අවශ්‍යයි, නොසතුට අවශ්‍ය නැහැ යන කරුණෙන් සියලු දෙනා සමානය.
  • සෑම අයෙකුටම තමාව ප්‍රියමනාප වීම අවශ්‍යය, තමාව අප්‍රිය වීම හෝ නොතකා හැරීම හෝ අවශ්‍ය නොවේ.
  • මා ඇතුළු සියලු සත්ත්වයෝම සමානය.

අප සියලු දෙනා එකිනෙකාට සම්බන්ධ බැවින් අපට:

  • සියලු දෙනාම සතුටට පත් වේවා, ඔවුන්ට සතුට ඇති කරවන හේතු ඇති වේවා යනුවෙන් දැනේවි. සෑම අයෙකුම සතුටින් සිටී නම් සහ ගැටලු නැතිව සිටී නම් එය කෙතරම් ආශ්චර්යද’යි දැනේවි.

අප මෙය ගැන මෙනෙහි කරමින් භාවනා කරමු, එසේම සෑම කෙනෙකු වෙතම මෛත්‍රියෙන් යුතුව අපේ හදවතින් උණුසුම්, හිරු මෙන් කහපාට දිලිසීමක් සෑම දිශාවකටම යන බව සිතමු. ඉදින් අපේ අවධානය ඉවතට ඇදී යයි නම් අපි එය නැවත “සියලු සත්ත්වයෝ සතුටින් සිටිත්වා” යන හැඟීම වෙත ගෙන එමු.

දෛනික ජීවිතයට භාවනාව

අපි මෙවැනි භාවනා පුහුණු කරන්නෙමු නම්, එමඟින් අපි දෛනික ජීවිතයේදී භාවිත කළ හැකි උපකරණ වැඩිදියුණු කරගමු. අපේ අවසාන අරමුණ මුළු දවස පුරාම අපේ හුස්ම ගැන අවධානය රඳවා තබා ගැනීමට හැකි වීම නොව, අවධානය රඳවා තබා ගැනීමෙන් අප ලබා ගත් හැකියාව පොදුවේ අපට අවශ්‍ය වන තැනකදී භාවිත කිරීමය. අප යම් අයෙකු සමග සංවාදයක නිරත වන විට අප කාටත් හිතෙන දේ නම්, “කොයි වෙලේද මේ තැනැත්තා කටවහගන්නේ?!” යන්නය. අපේ භාවනා පුහුණුව මඟින්, “මේ ඉන්නේ මා වැනිම වූ මිනිසෙකි, තමුන් ප්‍රියමනාප වීමට අවශ්‍ය කරන, තමුන්ට ඇහුම්කන් දීම අවශ්‍ය කරන මිනිසෙකි” යනුවෙන් සිතීමට හැකියාව ලබා දේ. මේ ආකාරයෙන්, භාවනාවට අපේ පෞද්ගලික ජීවිතයේදී සහ අන් අය සමග එක්ව කටයුතු කිරීමේදී උපකාර කිරීමට හැකිය.

Top