කාංසාව දුරුකරන අයුරු

How to deal with anxiety

ලෝකය බොහෝ විට විකාර තැනක් මෙන් පෙනී යා හැකිය. නිකමට ප්‍රවෘත්ති විකාසය බලන්න: ත්‍රස්තවාදීහු පහරදීමට සැරසෙති! විශාල ආර්ථික ව්‍යසනයක්! සොබාදහම විමසා බලන්නේවත් නැත! සතියේ ඉතිරි දවස් කීපය ඇඳ උඩටම වී සිටීමට මේ දේවල් ඔබට ප්‍රමාණවත් වනු ඇත.

ඒ බාහිර ලෝකයය. අපට අපේ ජීවිත සමගත් කටයුතු කරන්නට සිදුවේ. ඊළඟ නිවාඩුවට යන්නේ කොහාටද? සෑහෙන කාලයක් උවමනාවෙන් බලාසිටි උසස්වීම එකට වැඩ කරන සගයාට හිමි වුණාම ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ඇත්තටම අපේ ජීවිතත් සමග මොනවාද කරන්නේ?

පුංචි කාලේ අපට කීවේ අපට කැමති ඕනෑම කෙනෙකු වෙන්න පුළුවන් බවය. “ඔබේ සිහින හඹා යන්න”යි ඔවුහු අපට කීහ. එහෙත් අපගෙන් කී දෙනෙකු නම් ඒ සිහිනවලට පණ දෙයිද? ඇත්තටම ඒ සිහිනවලට පණ දෙන අය ගැන ඊර්ෂ්‍යාවෙන් අපගෙන් කී දෙනෙකු නම් සමාජ මාධ්‍යවල එහෙ මෙහෙ සැරිසරයිද? ඔවුන් මුහුදු වෙරළේ ගත කළ ඒ සියලු නිවාඩු, ඔවුන්ගේ මුතුවන් දත්පෙළ - අපි මේ එපා කරපු කාර්යාලයක සිරවී සිටින අතරතුර ඒ අය ජීවිතයේ පලය අත්විඳිති.

මේ “සතුට” යන අදහස සුරංගනා කතාවක්, නැතිනම් වෙළෙඳ ප්‍රචාරක පාඨයක් වැනි’යි හැඟී යා හැකිය - එනම් අනාගතයේ යම් අවිනිශ්චිත දවසක වින්දනය කිරීම පිණිස අප දැන් වැඩ කළ යුතු දෙයකි. එහෙත්, අප කෙතරම් වෙහෙස වී වැඩ කළත් සතුට ළඟා වීම පිළිබඳ කිසිදු සහතික වීමක් නැත. ඇතැම්හු ආචාර්ය උපාධිය ලබා ගෙන අවසානයේ මැක්ඩොනලඩ්හි  සේවය කරති. තවත් අය අදහා ගත නොහැකි තරම් ධනවත් වී ප්‍රසිද්ධියට පත්ව අවසානයේදී මානසික අවපීඩනයෙන් පීඩා විඳ සියදිවි නසා ගනිති. මේ සියල්ල අපව ජීවිතය පිළිබඳ කාංසාවට (anxiety) පත් කරන අතර අනතුරුව අප අපවම අනෙක් අය සමග සසඳා බලන සමාජ කාංසාව වෙතද යොමු කෙරේ. තවත් පුද්ගලයෙකු අපේ ඇස් හමුවට පැමිණෙද්දී අපට අපහසුතාවක් සහ අනාරක්ෂිත බවක් දැනෙන හැම විටම අපි ඒ බව ස්මාර්ට් දූරකථනයේ තිරයට මුවා වී වසන් කරන්නට උත්සාහ කරමු. 

මෙය අපේ කාලයේ වසංගතයකි. ඒඩ්ස්, පිළිකා හෝ මානසික අවපීඩනය තරම් එය දරුණු බව නොපෙනෙන නමුත් කාංසාව අපේ ශක්තිය හීන කරන අතර අසහනකාරී හැඟීමක් නිරන්තරයෙන් අපේ පසුබිමින් නිර්මාණය කරයි. නව ටෙලිකතා මාලාවක් වෙත අපේ අවධානය වෙනස් කරන්නත් මූණුපොතේ පළවීම් පිළිබඳව එහෙ මෙහෙ කරමින් බලන්නත් අපව යොදවන්නේ මේයය. මේ සියල්ලට හේතුව අපේ සිතුවිලි සමග හුදකලා වීම දරා ගැනීමට නොහැකි බව හඳුනා ගැනීමයි. මේ දේවල් දරා ගැනීමට අපට කන්බණු (earphones) සහ එක දිගට යන සංගීතයක් අවශ්‍යය.

මෙය මෙසේ විය යුතු නැත. ජීවිතයේ අප ලබා තිබෙන දේ ගැන අප සතුටු විය යුතු බවත් අපව කිසිකලෙකත් අනෙක් අය සමග සංසන්දනය නොකළ යුතු බවත් අපි දනිමු. ඒත් ඇත්තටම මෙයින් අදහස් කරන්නේ කුමක්ද? අපි කාංසාව මැඬලන්නේ කොහොමද?

පියවරක් පසුපසට යමු

අපි පියවරක් පසුපසට ගොස් අපේ ජීවිත විශ්ලේෂණය කිරීමට අවශ්‍යය. එය කම්මැලි වැඩක් නමුත් අපට සරලවම එය මඟහැරිය නොහැකිය. අපට ජීවිතයෙන් අවශ්‍ය වන්නේ මොනවාද? සෑම කෙනෙකුටම හරියන ක්‍රමයක් නැති නමුත් අප ඉදිරියේ එකම මඟක ගමන්කරන මිනිස්සු වෙති. අපට ඇතැම්විට රොක් තරුවක් වීමට අවශ්‍ය වෙයි. එහෙත් හැමදාම පැය විසිහතරේම පැපරාසිලා අපව හඹා එනවාට අපි ඇත්තෙන්ම සතුටු වෙමුද? වසර ගණන් ගත වන විට රොක් තරු වුණු අය වඩාත් සතුටට පත් වෙනවාද? කී දෙනෙකු නම් මත්වතුරට සහ මත්ද්‍රව්‍යවලට නැඹුරු වුණාද? මේ නිසා, අපේ කාලය සහ ශක්තිය යොදවමින් අප මෙවැනි තත්ත්වයක් උදා කරගන්නට කැමති වේද යන්න අපට සිතන්නට සිදුවේ.

ආදර්ශවත් චරිතයක් සොයා ගන්න

ජීවිතය වඩාත් සතුටට සහ වඩාත් අර්ථාන්විත බවට පමුණුවන ජීවන ක්‍රමයක් අප සොයා ගත් විට ඊළඟ පියවර නම් එය අනුගමනය කරන යම් වෙනත් අයෙකුව සොයා ගැනීමය. ශ්‍රේෂ්ඨ සංගීතඥයෙකු වීමට නම් අපට පුහුණුවීම් අවශ්‍යය. පාපන්දු ක්‍රීඩකයෙකු වීමට අපට පුහුණුවීම් අවශ්‍යය. අපට දැන් අමතකව ගොස් ඇතත් ඇවිදීමට පවා අපට පුහුණුවක් අවශ්‍ය විය. මෙතැන ඇති පනිවුඩය නම් හේතුවක් නැතිව ඵලයක් ඇති නොවන බවයි. ජීවිතයේ යම් තැනකට යන්නට කැපවීම අවශ්‍යයි. ආදර්ශවත් චරිතයකින් අපට ඉඟි ලබා ගත හැකි අතර උද්‍යෝගිමත් කරවීමේ හොඳ මූලාශ්‍රයයක් බවටද එය පත් විය හැකිය.

අන් අයට උදවු කරන්න

අපේම සිතුවිලි සහ ආශාවන් අවශෝෂණය කරගැනීම පහසුය. අපි ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය දේ සහ ජීවිතයට අවශ්‍ය කරන දේ ගැන සිතමු. යම් කිසිවෙකු අපේ මඟ හරස් කරන හැම විටම අපි ඒ තැනැත්තාගේ ඇඟට කඩා පනිමු. කාංසාවෙන් වැඩිම කොටසක් ඇත්තේ හුදෙකලාව පිළිබඳ හැඟීමකි. එබැවින් අන් අය සමග සම්බන්ධ වීමට අපට ඇති හොඳම ක්‍රමය වන්නේ ඔවුන් ගැන පිරිසිදු සිතින් සොයා බැලීමය. අපි අප ගැන පමණක් සිතන්නෙමු නම්, අපි අවාසනාවන්ත තත්ත්වයකට අනිවාර්යයෙන් වැටෙමු. එනමුත් මුළු හදින්ම අන් අයට උදවු කරන්නෙමු නම් එමඟින් කාංසාව මුදාහැර අපේ සතුට වැඩි කරන බව විද්‍යාත්මකව සනාථ කර ඇත.

එය මහ ලොකු දෙයක් වීමට අවශ්‍ය නැත. ශෝකාකූල දිනයකදී යමෙකුට සිනහවකින් සංග්‍රහ කිරීම, එසේ නැතිනම් යමෙකුට අවංකව ස්තුති කිරීම දෙපාර්ශ්වයේම චිත්තප්‍රමෝදය වැඩි කරවන්න තරම් ප්‍රමාණයත් විය හැකිය. යුතුකමක් වැනි හැඟීමකින් එය සිදු නොකරන්න. නිකැළැල් ආශාවකින් අනෙකාගේ දිනය ලස්සන කිරීම උදෙසා එය කරන්න. අනතුරුව, ඔබේම මානසික තත්ත්වයට කුමක් වේද කියා බලන්න.

තමුන් කවුද’යි අවබෝධ කරගන්න

තමා සුවිශේෂී බව සිතන්න අපි සැවොම කැමැත්තෙමු. එහෙත් මෙයින් සනාථ වන්නේ අප සැවොම එක සමාන බවය. “තමුන් කවුද’යි අවබෝධ කරගන්න” යනුවෙන් අප පවසන විට එයින් කියැවෙන්නේ අප කවුද’යි වටහා ගැනීමය. අප සියලු දෙනාටම ගැටලු ඇත. සරලවම සර්ව සම්පූර්ණ ජීවිතයක් විද්‍යමාන වන්නේ නැත. ඔබ සිතන සෑම දේම ඒ අයුරින් වෙති’යි විශ්වාස නොකරන්න!

අපව කැතට පේනවා’යි සිතෙන ඡායාරූප අප කිසිදිනෙක අන් අයට නොපෙන්වන්නා සේ අන් අයද සිදුකරති. අප ප්‍රසිද්ධියේ හාස්‍යයට ලක්වීමට බිය වෙමු. පොඩිත්තක් සිතා බලන්න, අන් අයද ඒසේමය. බැලූ බැල්මටම සර්ව සම්පූර්ණ ජීවිත’යි සිතෙන තැනකට අපව ඇද දමන අවධියක අප ජීවත් වන නමුත් අපි එම උගුල්වලට හසු නොවිය යුත්තෙමු. අප මෙබඳු කරුණු ගැන සිහිබුද්ධියෙන් යුතුව සිටින්නේ නම්, මුළු හදවතින්ම අන් අයට සතුට උදාකර දීම පිණිස උත්සාහ කරන්නේ නම්, අපේ ජීවිත අර්ථාන්විත කරගැනීමට කටයුතු කරන්නේ නම්, අපේ කාංසාව ක්‍රමක්‍රමයෙන් පහවී යනු ඇත.

Top