කෝපය පාලනය කිරීමේ බෞද්ධ ඉඟි 8

​අපේ කෝපය ප්‍රකාශ කළ යුතුය’යි කියන අවධියක අපි ජීවිත් වෙමු. එහෙත් බුදුන්වහන්සේ ඒ සමග එකඟ නොවනු ඇත. දැන් කෝපයෙන් යුතුව ක්‍රියා කිරීම, මතුවට එසේ කිරීම වඩා පහසු කරවන අතර එය අනවරත චක්‍රයක් බවට පත්වේ. බුදුන්වහන්සේ අපේ හැඟීම් හිරකරගෙන ඉන්නවත් ඒවා නිදහසේ මුදාහැරීමටවත් උපදෙස් නොදෙන අතර ඒවා විශ්ලේෂණය කරමින් කෝපයට පිටුපසින් ඇති වැරදි චින්තනය වටහාගන්නට උපදෙස් දෙති.
Study buddhism 8 buddhist tips dealing with anger

බෞද්ධයන් මෛත්‍රිය, කරුණාව සහ ඉවසීම ගැන බොහෝ සෙයින් කතා කරන්නේ නමුදු දලයි ලාමා වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ ආචාර්යවරුන් පවා ඇතැම් විට කෝප ගන්නා බව පිළිගනිද්දී අවශේෂ අප ගැන යම් බලාපොරොත්තුවක් ඇතිද? කේන්තියෙන් යුතු හැඟීම අතිශයින් සාමාන්‍ය බව විද්‍යාව කියයි. අපගේ කෝපය ප්‍රකාශ කරන්න’යි මනෝවෛද්‍යවරු අපට උපදෙස් දෙති. ඇතැම් ආගම්වල ධර්මානුකූල කෝපයක්ද ඇත. අනෙක් අතට, බුදුදහම සැම විටම කෝපය නරක දෙයක් බව කියයි.

8 වන සියවසේ සිටි බෞද්ධ විද්වතෙකු වූ ශාන්තිදේවපාදයෝ, කෝපය යනු අප ඉතා වෙහෙස වී වැඩ කොට නිර්මාණය කරගත් හොඳ නැත්තටම නැති කර දමන හැකියාවෙන් යුතු ඉතා දරුණුම ඍණාත්මක බලවේගය ලෙස විස්තර කරති. ඒ ගැන හිතන්න. තුවක්කුවක් අතට ගැනීම යන කාරණත් එක් මොහොතක ඇති වන කෝපයත් එකතු වූ විට යම් අයෙකුගේ අනාගතය, නිදහස් ජීවිතයක සිට යකඩකූරු පිටුපස සිරවෙන ජීවිතයක් දක්වා මුළුමනින්ම වෙනස් විය හැකිය. දශක ගණනක් තිස්සේ ගොඩනඟා ගත් මිත්‍රත්වය, විශ්වාසය කෝපයට විනාශ කළ හැකි අයුරු ගැන එදිනෙදා ජීවිතයේ බොහෝ උදාහරණ ඇත. අවසානයේදී ලෝකයේ ඇති සියලු බෝම්බ, තුවක්කු සහ පිහි එක තැනක තැබුවත් එයට වඩා කෝපය භයානකය.

කෝපය යනු මනසේ සතුටුදනවන තත්ත්වයක් නොවන බව අපි දන්නා නමුත් අපි ඒ සම්බන්ධයෙන් කුමක් කරමුද? අපේ මනස වෙනතකට හරවා ගැනීමට අපට උපකාරී වන සරල ක්‍රමෝපායන් ගණනාවක් බුදුදහම අපට තිලිණ කරයි. අවධානයෙන් ඉන්න - මායා පෙති නොමැත! කෝපය පාලනය කිරීම පිණිස අපේ හොඳම බෞද්ධ ඉඟි අට මෙහි දැක්වේ.

1. එය තමයි ජීවිතය: සංසාරය

වසර 2,500කට ඉහතදී බුදුන්වහන්සේගේ ප්‍රථම දේශනය අදාළ කරුණට ඍජුව සම්බන්ධය: එනම්, ජීවිතය අතෘප්තිමත්ය. එහි තෙරුම කුමක්ද? අපේ ජීවිත කෙදිනකවත් තෘප්ත වන්නේ නැත.

අපි ඉපදෙමු, මැරෙමු. මේ දෙක අතරතුර හොඳ කාලයන් මෙන්ම නරක කාලයන්ද ඇත. එසේම ඇතැම් කාලයන් තිබුණාද’යි අපට එතරම් දැනීමක් නැත. මේ අනවරත චක්‍රය බුදුදහම විසින් “සංසාරය” යනුවෙන් හඳුන්වන දේය. අප මේ ලෝකයට එන විට, ජීවිතය නියමයි, පහසුයි, නොනවතින විනෝදයෙන් පිරුණු සහ අපට අවශ්‍ය දේ හැමවිටම ඒ අයුරින්ම සිදුවන තැනක’යි කිසිවෙකුත් අපට කීවේ නැත. සංසාරය තුළ අපේ තත්ත්වය අප වටහාගන්නේ නම් එමඟින් සෙසු සියලු දෙනාගේ තත්ත්වයත් වටහාගැනීමට අපට හැකි වේ.

අපි සියලු දෙනාම මෙහි එක්ව සිටිමු. ඇතැම් අවස්ථාවලදී, ඇතැම් පුද්ගලයන් කෙරෙහි හෝ අප කෙරෙහිම හෝ කෝප ගැනීම කිසිදෙයක් වඩා හොඳ බවට පත් කරන්නේ නැත. අනෙක් මිනිස්සු අප නොකැමති විප්‍රකාර දේවල් කියති, කරති. කුමක් නිසාද යත්, - ඔව් - ඒ අයගේ ජීවිතත් අවුල් සහගත නිසාය.

මෙවැනි චින්තනයක් මඟින් අපගේ දෘෂ්ටිය සහමුලින්ම වෙනතකට හැරවිය හැකි වේ. අපගේ විශ්වය තුළ කේන්ද්‍රය වන්නේ අප ය’යි අප සෑම කෙනෙකුට හැඟී යා හැකි වුවත් එමඟින් සෑම දේම දැන් - හෝ මතු හෝ - අපට උවමනා අයුරින්ම සිදු නොවේ.

2. වීරයෙක් වන්න: ඉවසීම

කරදරකාරී මනෝභාවයන් ඒවායේ ප්‍රතිවිරුද්ධ මනෝභාවයන්ගෙන් හොඳින්ම යටපත්වේ. ගින්නට විරුද්ධව ගින්නම යොදා ගැනීමෙන් වැඩක් වෙන්නේ නැත. ඇයි?  අපේ මනස තුළ එකිනෙකට විරුද්ධ මනෝභාවයන් දෙකක් එකවිට තබා ගැනීම සිදු නොවිය හැක්කකි. කිසියම් අයෙකු වෙත යටිගිරියෙන් කෑගැසීමද ඔවුන් කෙරෙහි ඉවසිලිවන්ත වීමද ඔබට එකවිට කළ නොහැකිය - එය ක්‍රියා කරන්නේ නැත. බොහෝ දෙනෙකු ඉවසීම දකින්නේ දුර්වලකමේ සලකුණක් ලෙසටය. එනම්, පහසුවෙන් ඔබට තලා පෙළා ඔවුන්ට උවමනා ඕනෑම දෙයක් ඔබෙන් පැහැරගෙන යන්න ඉඩ දෙන තත්ත්වයක් ලෙසටය. ඇත්ත තත්ත්වය, කෙසේ වෙතත්, මෙයට බොහෝ වෙනස්ය. අප බලාපොරොත්තු කඩ වී සිටින විට, බෙරිහන් දීම හෝ කෑගැසීම කෙතරම් පහසුද? එසේම, සංසුන් වී අපේ මනෝභාවයන් පාලනය කර ගැනීම කොතරම් දුෂ්කරද? අපේ හැඟීම් අනුව යමින් ඒවා අපව රැගෙන යන තැනකට ඇදී යාමෙන් අප වීරයන් වන්නේ නැත - එමඟින් අප දුර්වල වේ. ඊළඟ වතාවේදී ඔබ හිස පුපුරන්න තරම් කෑමොර දීමට ආසන්නව සිටියදී, ඒ වෙනුවට ඔබේ ඉවසීමේ කඩුව ඇද ඔබේම කෝපයේ හිස ගසා දමන්න.

කෙසේද? අපේ මානසික පීඩාකාරිත්වය අප හඳුනා ගත් විට අපට ගැඹුරින් හුස්ම ගැනීමට උත්සාහ කළ හැකිය - අප කෝපයෙන් සිටින විට සිදු කරන කෙටි, තියුණු හුස්ම ගැනීම්වලට ඍජු ප්‍රතිනාශකය එයය. පසු තැවෙන්නට සිදුවන දෙයක් කීමෙන් අපවම වළක්වා ගැනීමට අපට 100 දක්වා හිමීට ගණන් කළ හැකිය. නැතහොත්, අපට කිසියම් අවස්ථාවක් මුහුණට මුණලා හමු වේ නම්, එම අවස්ථාව නිසා විය හැකි සියලු අකරතැබ්බ සිදුවන්නට පෙර ඒ අවස්ථාවෙන් ඉවත්වී යාම අවශ්‍යය. සෑම අවස්ථාවක්ම වෙනස්ය. එම නිසා, කුමන අවස්ථාව ඔබට යෝග්‍ය වේද’යි දැකීමට ඔබේ මොළය භාවිත කිරීම අවශ්‍යය.

3. ඇත්ත දකින්න: අවස්ථාව විශ්ලේෂණය කරන්න

අප කේන්තියෙන් සිටින විට, එක්තරා ආකාරයක මිතුරෙකුගේ පැමිණීමක් මෙන් අපට එය පෙනී යාමට ඉඩ ඇත. එය අපේ ශුභසිද්ධිය සොයා බලන යුධභූමියේදී උපකාර කරන අපේ හොඳම මිතුරෙකු වැනිය.  මෙම මායාමය දැකීම නිසා කෝප ගැනීම සාධාරණ බව සිතන්න අප පෙලඹේ. එහෙත් අප සැලකිලිමත්ව බැලුවහොත්, කෝපය අපේ මිතුරෙකු නොව අපේ සතුරෙකි.

කෝපය අපට ආතතිය, සංතාපය, නින්ද නොයාම සහ ආහාර අරුචිය ඇති වීමට හේතු වේ.  යම් අයෙකු කෙරෙහි අප දිගින් දිගටම කෝපයෙන් පසුවේ නම් එම ක්‍රියාව අන් අයගේ සිත්මත අප ගැන දිගු කාලීන සටහනක් නිර්මාණය කරයි. අපි එයට මුහුණු දෙමු: කාටද අවශ්‍ය කෝපාවිෂ්ට පුද්ගලයෙකු සමග කාලය ගෙවන්න?

අප යම් දෙයක් සම්බන්ධයෙන් චෝදනා ලබන විට, අපේ ඇඟ වෙව්ලමින් යටිබඩ හිර කරමින් කේන්තිය එන බව දැනෙන විට, අපි එය නතර කොට බුද්ධිමත්ව සිතිය යුත්තෙමු. තෝරා ගැනීම් ඇත්තේ දෙකකි: මේ චෝදනාව සත්‍යය, නැතිනම් අසත්‍යය. එය සත්‍යය නම්, අප කෝප ගත යුත්තේ ඇයි? අප පරිණත වැඩිහිටියන් වීම අවශ්‍යය. අප එම චෝදනාව පිළිගත යුතුය. එමඟින් යමක් ඉගෙන ගෙන ජීවිතය ඉදිරියට ගෙන යා යුතුය. එය අසත්‍යය නම්, ඒත් අප කෝප ගත යුත්තේ ඇයි? ඒ පුද්ගලයාට වැරදීමක් සිදු වී ඇත - අප අපේ ජීවිතයේදී එය කිසිදාක සිදුකර නැහැ නේද?

4. ඔබේ හිත දකින්න: භාවනාව

කෝපය සමග සටන් කිරීමේදී භාවනාව සහ සිහිය පිහිටුවා ගැනීමේ පුහුණුවීම් අතිශයින් ඵලදායී වේ. බෝහෝ මිනිසුන් භාවනාව යනු කාලය කා දැමීමක් සේ දකින්නට ඉඩ ඇත - දවසේ වැඩ කටයුතු බොහෝමයක් කර ගැනීමට අපට හැකියාව තියෙද්දී මිනිත්තු 20ක් කුසිමක් මත හිඳගෙන සිටින්නේ ඇයි නේද? තවත් පිරිසක් භාවනාව යනු ළමයි / ඊමේල් / සැමියා / බිරිඳ යන අයගෙන් ඉවත්වී අපට කාලය ගත කළ හැකි, සැබෑ ජීවිතයෙන් පලා යා හැකි නියම දෙයක් ලෙස සිතති.

එහෙත් භාවනාව යනු ඊට වඩා වැඩි යමකි - එය සැබෑ ජීවිතයට සූදානම් වීමකි. සෑම උදාසනකම කරුණාව පිළිබඳව භාවනා කොට, වැඩ කටයුතු ආරම්භ කළ වහාම අපි අපේ සේවකයන්ට කෑ ගසමු නම්, අප සමග එක්ව වැඩ කරන මිතුරන් ගැන පැමිණිලි කරමු නම් එම භාවනාවෙන් යහපතක් නැත.

භාවනාව අපේ හිතට - ඉවසීම, මෛත්‍රිය, කරුණාව වැනි - යහපත් සිතුවිලි හුරු කරවන අතර එය අපට හැකි ඕනෑම තැනක, ඕනෑම වේලාවක කළ හැකි දෙයකි. අපේ ප්‍රියතම ගීතවලට ඇහුම්කන් දෙමින් උදාසන රාජකාරි සඳහා යන ගමනට පැය එකහමාරක් පමණ අප ගත කරන්නේ නම්, අඩුම තරමේ එයින් මිනිත්තු දහයක් පමණ වැය කොට අන් අය පිළිබඳ මෛත්‍රි සහගත සිතුවිල්ලක් අපට උපදවා ගත හැකිය. එය අපේ කෝපය අඩු කිරීමට සාර්ථකව බලපාන අතරම එමඟින් අනෙක් අයට ඇසුරු කිරීමට අවශ්‍ය කරන පුද්ගලයෙකු බවට අපව පත් කිරීමද කරයි.

5. වැඳ වැටෙන්න: ඔබේ සතුරාගෙන් ඉගෙන ගන්න

අප සාමාන්‍යයෙන් කරන දේට පැහැදිලි ප්‍රතිවිරුද්ධ දේ කරන්න’යි බුදුදහම නිතරම අපට උගන්වයි. අප යම් කෙනෙකු කෙරෙහි කේන්තියෙන් පසුවන විට, අපේ උනන්දුව ඇත්තේ පලිගන්නටය. ප්‍රතිඵලය? පෙර සිටියාටත් වඩා, නැතිනම් පෙර සිටිය පරිදිම, කණස්සල්ලෙන් අපි පසුවෙමු. එය සාමාන්‍යයෙන් සිදුවෙති’යි සිතූ දෙයට පටහැනිය. එහෙත් විරුද්ධ දේ කිරීමෙන් මෙයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ලැබේ; එනම් සතුටු වීමේ මඟය.

විකාර අදහසක් වගේ පෙනුනත් ඔබේ කෝපයට ලක් වන වස්තුව (හෝ පුද්ගලයා) ඔබේ ගුරුවරයෙකු බව සිතන්න. අපට වඩාත් හොඳ වීමට - එනම් වඩා ඉවසිලිවත්, වඩා මෛත්‍රි සහගත, වඩා කරුණාවන්ත, වඩාත් සතුටින් සිටින පුද්ගලයන් වීමට - අවශ්‍ය නම් අප පුහුණුවීම් කිරීම අවශ්‍යය. ලොව පිළිගත් පාපන්දු ක්‍රීඩකයෙකු හෝ වයලීන ශිල්පියෙකු හෝ වීමට කාලය සහ පරිශ්‍රමය අවශ්‍ය බව අපි සැවොම දනිමු. ඉතිං, එය මානසික අභ්‍යාසවලදී වෙනස් විය යුත්තේ ඇයි? සැමවිටම අපට අවශ්‍ය සැමදේම කරන සහ ඒවාට එකඟ වන උදවිය නම් අප වටා එක් රැස් වී සිටින්නේ අපට කිසිදිනෙක අභියෝග ලැබෙන්නේ නැත.

මේ ආකාරයට, අප කෝපයෙන් පසුවන පුද්ගලයා අතිශයින් වටිනා අයෙකි. අපට ඇත්තටම ඉවසීම පුහුණු කිරීමට අවස්ථාවක් සලසා දෙන්නෙකි. ඉහළට නැඟී එන කෝපාවිෂ්ට හැඟීම්වලින් මෙය වහාම මතුවේ. ඇයිද යත්, මෙමඟින් ඔවුන් අපට කළ දේ, දැනුත් කරන දේ ගැන අපේ දැකීම වෙනස් කරවන නිසාය.

6. මරණය සිහිකරන්න: අනිත්‍යතාව

ඔබ මිය යන අයෙකි. මමද මිය යන අයෙක්මි. අපි සැවොම මිය යන්නෙමු. අප නුරුස්සන තැනැත්තා අපට ඇත්තටම කේන්ති යන දෙයක් කරන්නේ නම්, නවතින්න, හිතන්න, “මා සිටින්නේ මරණමඤ්චකයේ නම්, මම මෙය තැකිය යුත්තෙම්ද?”  එකී පුද්ගලයා ලෝකය යටත් කරගැනීමට හෝ ලෝකය විනාශ කරදැමීමට හෝ දැඩි අධිෂ්ඨානයෙන් පසුවන අයෙකු බව අප දන්නේ නම් හැර, “නැහැ” යන පිළිතුර ප්‍රතිරාව දෙනු ඇත. මේ කුඩා ඉඟිය ඉතාම සරලය, එහෙත් ජීවිතයේ පොඩි පොඩි කේන්ති ගැනීම් බොහෝමයක් සනසාලන්න උදවු වේ.

අප මිය යන බව අප සැවොම දන්නේ නමුදු එය අප ඇත්තටම දන්න පැහැදිලි දෙයක් නොවේ. මරණය යනු අමූර්ත, හුඟාක් ඈතට ඇදී ගිය වෙනත් මිනිසුන් පිරිසකට සිදුවන දෙයකි - එනම් වයසක, රෝගී, හදිසි විපත්වලට ලක්වූ පුද්ගලයන්ට සිදුවන දෙයකි. එහෙත් යථාර්ථය මෙය නොවේ. සෑම දිනකම වයසක අයට පෙර තරුණ අය මැරෙති, රෝගී පුද්ගලයන්ට පෙර නිරෝගී පුද්ගලයෝ මැරෙති.

අප (හෙට?, තව වසරකින්?, වසර පනහකින්?) සිදුවන අපේ නියත අනාගත මරණය ගැන අවධානය යොමු කරන්නේ නම්, සාමාන්‍යයෙන් අපව කෝප ගන්වන බොහෝ දේවල් ඇත්ත වශයෙන්ම පලක් නැති දේ බවට පත්වෙයි. ඔවුන් අපව තවදුරටත් කේනති අවුස්සන්නේ නැති බවක් එයින් නොකියැවේ. එහෙත් අපේ වටිනා කාලය, හුස්ම හෝ ශක්තිය ඔවුන් වෙනුවෙන් විනාශ කිරීමේ කිසිම තේරුමක් නැත’යි අපි අවබෝධ කරගමු.

7. මේ වෙන දේවල්: කර්මය

මිනිසුන් නෙලා ගන්නේ තමුන් වැපිරූ දේ බව හඟවමින් “වෙන්න තියෙන දේ තමා වෙලා තියෙන්නේ,” නැතිනම්, “එය ඔහුගේ කරුමය, ඔහුට සිදු වෙන්නේ සුදුසුම දේ තමා” යනුවෙන් මිනිස්සු කියති. මෙය කිසිසේත්ම කර්මය පිළිබඳ බෞද්ධ වැටහීම නොවේ. එය ඉතා සංකීර්ණ සහ සියුම් දෙයකි. ඒ කෙසේ වෙතත්, තවත් අයෙකුගේ දුක්පීඩාවක් ඔවුන්ගේ කර්මය නිසා සිදුවන බව පෙන්වා දීමට බොහෝ කැමැත්තක් දක්වන වන මිනිස්සු බොහෝමයක් තමුන්ම රෝගාතුරව සිටින විට එය තමුන්ගේ කර්මය නිසා හටගත් බව දකින්නට නොකැමති වෙති.

අප අත්විඳින සෑම දේම - අදහාගත නොහැකි තරමේ ප්‍රීතියක් ගෙනදුන් අවස්ථාවල පටන් අපේක්ෂා බිඳ වැටුණ ගැඹුරුම මොහොත දක්වා සියල්ලම - හටගන්නේ හේතූන්ගෙනි. මේ හේතු වෙන කොහේ හෝ සිට නිකම්ම අපේ උකුල මතට ඇද වැටෙන ඒව නොව, අප විසින්ම නිර්මාණය කරගන්නා ඒවාය. මේ නිසා, අප යම් අප්‍රසන්න අවස්ථාවක් අත්විඳින විට, කෝපයට යට වෙනවා වෙනුවට, අපට නතර වී සිතිය හැකිය: මේ අවස්ථාව කොතැනින් පැමිණියේද, එය තවත් නරක අතට හරවා ගන්න මට අවශ්‍යද?

කර්මය යනු අපගේ චිත්තාවේගවලට අනුව ක්‍රියා කරන අයුරුය. අප හැමදාම සිදු කරන පරණ ක්‍රමයටම ප්‍රතිචාර දැක්වීමය. කර්මය ක්‍රියාත්මක වන අයුරු අප වටහා ගන්නේ නම්, අප දැන් මෙතැන සිදුකරන දේත් සමග, එනම්, කෝපය සපා කන විට ඉවසීම පුරුදු කිරීම, අපේ අනාගත අත්දැකීම් වෙනස් කරගැනීමේ හැකියාව අප සතු බව අපි දැක ගනිමු.

8. එය යථාතත්ත්වය නොවේ: ශූන්‍යතාව

ඉවසීම ඍජු ප්‍රතිනාශකය වන විට, ශූන්‍යතාව යනු ප්‍රබලතම ප්‍රතිනාශකය වේ. හුදෙක් අපේ කෝපයට පමණක් නොව ජීවිතයේ සියලුම ගැටලු සහ දුෂ්කරතාවලට එය එසේමය. ඇත්ත වශයෙන්ම, අප කෙතරම් ඉවසිලිවන්ත වුවත් ශූන්‍යතාව වටහාගන්නේ නැති නම් ඉන්දියානු මෝසම මෙන් අප මතට නොනවත්වාම ප්‍රශ්න වැස්සක් වසිනු ඇත.

කෝපාවිෂ්ට වන විට අපේ මනස විශ්ලේෂණය කර බැලීමට අප මොහොතක් වැය කරන්නේ නම්, අපි යම් දෙයක් දකිමු. එනම් “මම” හෝ “මට” යන ප්‍රබල හැඟීමය. ඔබ මට කී දේ නිසා මම කෝපයෙන් සිටිමි.  ඔහු මගේ මිතුරාට කළ දේ මට විශ්වාස කරන්නත් අමාරුයි! මම මේ ගැන අනිවාර්යයෙන් නිවැරදි වෙමි, ඇය අනිවාර්යයෙන් වැරදිය. මම, මම, මම.

කෝපයෙන් සිටින විට, මෙම “මම” යන්න ඕළාරික ලෙස පෙනී සිටින බැවින් එය විශ්ලේෂණය කිරීමට හොඳම අවස්ථාවක් අපට හිමිවේ. එය පවතින්නේ නැත! අප පවතින්නේ නැති බව හෝ මෙහි ගණන් ගත යුතු දෙයක් නැත’යි අපි නොකියමු. එහෙත් මේ “මම” යන්න - එය ඇත්තේ අපේ මනසේද? අපේ සිරුරේද? එහෙම නැත්නම් දෙකේමද? යනුවෙන් – සොයන්න උත්සාහ කරන විට, “ඔවු, එහෙම දෙයක් තිබේ” යනුවෙන් කීමට අපට මඟක් නැත.

මෙය සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු දෙයක් වුවත් යථා තත්ත්වය නම් අප යථාර්ථය විශ්ලේෂණය කරන්න ආරම්භ කරන විට එමඟින් අපේ දැක්ම සහමුලින්ම වෙනස් වන බවය. කෝප ගැනීමට තරම් වන, පෙන්වා දිය හැකි යමක් කෙදිනකවත් නොතිබුණු බව අපි කල්තියාම දකිමු.

සාරාංශය

“මා කේන්ති ගන්නේ නැත” යනුවෙන් කොපමණ වාර ගණනක් අප කීවදු එයින් පලක් වන්නේ නැත; සැබෑ පරිශ්‍රමයකින් තොරව අප බලාපොරොත්තු වන සිතේ සැනසීම අපි කෙදිනකවත් නොලබමු.

ඉහත දක්වා ඇති කරුණු හුදෙක් මනහර ලැයිස්තුවක් නොවේ - ඒවා, බලාපොරොත්තු කඩ වීම, කෝපය සහ කණගාටුව තුළින් අපවම මුදවා ගැනීම පිණිස යොදා ගත හැකි සැබෑ උපකරණය. පුහුණුවත් සමග අප කාටත් ඒවා කළ හැකිය.

Top