හිතවත්කම් පැවැත්වීමේදී ඉරිසියාව මැඬලන අයුරු

How to jealousy ben blennerhassett unsplash

අපේ මිතුරන්, සගයන් අපව අත්හැර යන, අපේ හිතවත්කම් පළුදු කරවන සහ මානසික සැනසීම සම්පූර්ණයෙන් නැතිකර දමන පීඩෝන්මාදිතයන් බවට ඉරිසියාව අපව පත්කරයි. අප වැඩි වැඩියෙන් ඉරිසියාවෙන් බර වෙත්ම අල්ලාගෙන සිටිත්ම අන් අය වැඩි වැඩියෙන් අප කෙරෙන් ඉවත් වී යති. අප්‍රමාණ මිනිසුන් පිරිසකට සහ අනෙකුත් දේවලට මෛත්‍රී කිරීමේ හැකියාව අප සතුව ඇති බව අවබෝධ කර ගැනීම, ඉරිසියාව මැඬලීමට අපට උපකාර කරයි. අපේ මිතුරන්ට, වෘත්තීයන්ට සහ ක්‍රීඩා ආදියට මෛත්‍රී කිරීම, අපගේ ජීවන සහකරුවන් අප වෙත දක්වන ආදරය හෝ ඔවුන් වෙත අපගේ ආදරය හෝ අවප්‍රමාණ කිරීමක් නොවන අතර එය සරු කරවන්නක්ද වෙයි.

ඉරිසියාව සහ ඉසිදිරිසියාව

ඉරිසියාවට විවිධ හැඩතල ගත හැකිය. අප තනිකඩ නම්, යම් යුවලක් ගැන ඉරිසියාවක් ඇත්නම් හෝ දැනටමත් කිසියම් සම්බන්ධතාවක් පවත්වන අයෙකු ගැන ආකර්ෂණයක් ඇත්නම් හෝ එය ඇත්තටම ඉසිදිරිසියාවකි. එකී පුද්ගලයාගේ සෙනෙහස නැතිනම් අවධානය අපට ලබා ගත හැකි වේවි, එසේත් නැතිනම් එබඳු ප්‍රේමාන්විත සම්බන්ධයක් ඇති කරගන්නට හැකි වේවි යනුවෙන් අපි පතමු. මේ අවස්ථා දෙකේදීම අපට අහිමි දෙයක් ගැන අප ඉසිදිරිසියාවෙන් පසුවෙමු. මෙමඟින් හිඟකම පිළිබඳ හැඟීම් සහ ආත්මමානී ගැටලු මතු විය හැකිය.

සම්බන්ධතාවකදී ඉරිසියා කිරීම

අප යම් සම්බන්ධතාවක් පවත්වා ගැනීමේදී ඉරිසියාව බොහෝ කරදරකාරී විය හැකිය. වෙනත් පුද්ගලයෙකු සතුව ඇත්තේ කුමක්ද කියා අවධානය යොමු කරනවාට වඩා අපේ සහකරුවා නැතිනම් මිතුරා සහ තුන්වන තැනැත්තා ගැන එමඟින් අවධානය රඳවයි. මේ තුන්වන තැනැත්තා නිසා අපේ විශේෂ සම්බන්ධය නැති වේය’යි අපි සාමාන්‍යයෙන් බිය වෙමු. යම් තරඟකාරී බවක් හෝ විශ්වාසය කඩවීමකට ඇති ඉඩකඩ හෝ දරාගන්නට නොහැකි තත්ත්වයට අපි පත්වෙමු. උදාහරණයක් ලෙස, අපේ සහකරු තමුන්ගේ මිතුරන් සමග බොහෝ කාලය ගත කරත් නම් හෝ අප නැතිව විවිධ උත්සව අවස්ථා සඳහා සහභාගි වෙත් නම් හෝ අපට ඉරිසියාවක් හටගනී. නිවසට අලුත ඉපදුණු දරුවෙකු රැගෙන ආ විට නිවසේ සිටි සුනඛයාට පවා මෙවැනි ඉරිසියාවක් දැනේ. අනාරක්ෂිත බව සහ සැකය වැනි ප්‍රබල කරුණුවලට අමතරව නොරුස්සන බව සහ සතුරුකම වැනි කරුණුද මෙවැනි ඉරිසියාවක අන්තර්ගත වේ.

අප අස්ථිර තත්ත්වයක නම් සිටින්නේ, අපේ සහකරු හෝ මිතුරා හෝ අනෙක් අය සමග ගැවසෙන සෑම විටම අපට ඉරිසියාවක් දැනෙන්නට පටන් ගනී. මෙසේ වන්නේ අපේම වටිනාකම පිළිබඳව අපට විශ්වාසයක් නැති වීම සහ අපේ සහකරු විශ්වාස නොකිරීමෙන් අප කෙරෙහි ඒ තැනැත්තාගේ ආදරය ස්ථිර නැති වීම නිසාය. අපව අත්හරීවි යන බිය අපට දැනේ. අපේ සහකරු හෝ මිතුරා හෝ යම් අයෙකු සමග කාලය ගත නොකරන අවස්ථාවකදී වුවද මේ බිය ඇති වීමේ ඉඩකඩක් ඇත. දැඩිව අල්ලාගෙන සිටීමෙන් අප පීඩෝන්මාදීන් වන අතර ඔවුන් ඕනෑම මොහොතක අපව අත්හැර යාමට ඉඩ ඇත.

ඉරිසියාව මැඬලීම

ඉරිසියාව සමග ගනුදෙනු කිරීමේදී සෑම පුද්ගලයෙකුටම මෛත්‍රී කිරීමට හදවත සතු හැකියාව කෙබඳුද’යි අප මෙනෙහි කොට බැලීම අවශ්‍යය. මෙය අපේ බුද්ධස්වභාවයේ එක් පැතිකඩකි. මේ සාධකය නැවත නැවත තහවුරු කරන විට, එක් අයෙකුට ආදරය කිරීම තවත් පිරිසකට ආදරය නොකර සිටීමක් නොවන බව දැක ගැනීමෙන් අපගේ ඉරිසියාව මැඬලීමට උදව්වක් සපයයි. බොහෝ මිනිසුන් සහ දේවල් වෙත අපේම හදවත් විවර කරන්නේ කොහොමද’යි අප ගැනම සිතා බලන්න. අපේ සහකරු, මිතුරන්, දරුවන්, සුරතලුන්, රට, සොබාදහම, දෙවියන්, විනෝදාස්වාද වැනි දේ වෙත විවෘත හදවතක් තිබීමෙන් අපට මෛත්‍රියක් ඇති වේ. මෛත්‍රිට පාත්‍ර වන නිශ්චිත පිරිසක් නැති නිසා මේ සෑම දෙනා වෙනුවෙන්ම අපේ හදවතේ ඉඩ ඇත. කාගේත් සිත් සතුටු කරවන විලාසයෙන් අපේ හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් අපේ සෑම ආදරණීය වස්තුවක් සමගම කටයුතු කිරීමේ පූර්ණ හැකියාව අපි සතුවෙමු. ඇත්ත, අපේ බිරිඳට, සැමියාට හෝ දෙමාපියන්ට පවසන අයුරින්ම අප අපේ ආදරය හෝ සෙනෙහස අපේ සුනඛයාට පවසන්නේ නැත!

අපට අප තුළම හදවත් විවෘත කළ හැකි නම්, අපේ සහකරුට නැතිනම් මිතුරාටද එසේම කළ හැකිය. සෑම පුද්ගලයෙකුගේම හදවතේ අතිමහත් මිනිසුන් පිරිසක් සහ දේවල් උදෙසා මෛත්‍රිය පැතිරවීමට තරම් සමාන හැකියාවක් ඇත. සමස්ත ලෝකයටම පවා එසේ කළ හැකිය. අපට පමණක් ඔවුන් තුළ ආදරය තිබීම, කිසිලෙසකවත් වෙනත් මෛත්‍රී සහගත මිත්‍රත්වයන් හෝ බාහිර රුචිඅරුචිකම් නොතිබීම යන්න අපේක්ෂා කිරීම, ඉල්ලා සිටීම පවා අසාධාරණය, අතාත්විකය. අප දෙදෙනාට සහ සෙසු මිනිසුන්ට ඔවුන්ගේ හදවතේ ඉඩ නැත’යි අපට දැනෙන පරිදි අපි ඔවුන් ගැන අවප්‍රමාණයෙන් සිතමුද? අපට ඇත්තටම අවශ්‍යද ඔවුන් මෛත්‍රී කිරීමේ හැකියාවෙන් යුත් තමුන්ගේ බුද්ධස්වභාවය අවබෝධ කරගත නොහැකිවී අනතුරුව එන ජීවිතයේ ශ්‍රේෂ්ඨතම ප්‍රීතිය මඟහැර ගැනීම?

මෙහිදී අපි කාමමිථාචාරය ගැන කතා නොකරමු. එක් සහකරුවෙකු සමග පමණක් සිටීම සහ ලිංගික ව්‍යභිචාරයට අදාළ අර්බුද අතිශයින් සංකීර්ණ වන අතර එමඟින් තවත් අර්බුද රාශියක්ද ගෙන එයි. තවත් කුමක් වුවද, අපගේ ලිංගික සහකරු, විශේෂයෙන්ම විවාහක සහකරු, අවිශ්වාස කටයුතු නම්, අන් අය සමග බොහෝ කාලයක් ගත කරන්නේ නම්, විශේෂයෙන්ම කුඩා දරුවනුත් සිටින අවස්ථාවකදී, ඉරිසියාව, අමනාපය හෝ දැඩිව අල්ලාගෙන සිටීම කිසිසේත්ම උපකාරී මනෝභාවාත්මක ප්‍රතිචාර වන්නේ නැත. අප ඇති වී ඇති තත්ත්වය මැදිහත් ආකාරයකින් විසඳා ගැනීම අවශ්‍ය වේ. ඇයිද යත්, අපේ සහකරු වෙත කෑගසමින් කඩා වැදීම මඟින් හෝ ඔවුන් වැරදිකරු කිරීමට වෙර දැරීම මඟින් හෝ ඔවුන්ගේ ආදරය නැවතත් අප වෙත දිනා ගැනීම සාර්ථක නොවන තරම්ය.

අපේ හදවත් මෛත්‍රිය වෙත විවර කිරීම

සමීප, මෛත්‍රී සහගත මිතුදමක් පවත්වා ගත හැකි වන්නේ එක් පුද්ගලයෙකු සමග පමණක් බව අප සිතන්නේ නම්, එකම පුද්ගලයෙක් - එනම් අපේ සහකරු හෝ මිත්‍රයා - දක්වන සෙනෙහස ගැන පමණක් අපට හැඟීමක් ඇතිවේ. අපට ආදරය කරන අය තව බොහෝ සිටියත් එම සාධකය අප නොසලකා හරින්න පෙලඹෙන අතර “එය වැඩක් නැහැ” යනුවෙන්ද අපි සිතමු. දිගින් දිගටම අපේ හදවත් හැකිතාක් බොහෝ පිරිසක් වෙත විවර කර ගැනීම සහ අන් අය - එනම් මිතුරන්, නෑදෑයන්, සුරතලුන් වැනි - දැනුත් අතීතයේදීත් මතුවටත් අප වෙත දක්වන ආදරය (මෛත්‍රිය) පිළිගැනීම මනෝභාවාත්මකව වඩා සුරක්ෂිත බවක් දැනීමට උපකාරී වේ. තවද, කිසියම් අයෙකු, ආදරය හිමිකරගත් විශේෂ අයෙකු යනුවෙන් අප තුළ හිරකරගත් හැඟීමක් මැඬලන්නද මෙය උපකාරී වේ.

සර්වඥතාව සහ සියලු සත්වග කෙරෙහි පතළ මෛත්‍රිය යන දෙකම සියලු සත්ත්වයන් අපේ මනසේ, හදවතේ සිටින බව හඟවයි. කෙසේ වෙතත්, බුදුන්වහන්සේව හෝ වෙනත් කිසියම් පුද්ගලයෙකු හෝ අවධානයට ලක් කළ විට ඔහු හෝ ඇය පමණක් 100% එකී පුද්ගලයාගේ ඒකාග්‍රතාවට බඳුන් වේ. මේ නිසා, සියලු දෙනා කෙරෙහි මෛත්‍රී සහගත වීම යන්නෙන් එක් එක් පුද්ගලයාට දක්වන සෙනෙහස අඩුවන බවක් අදහස් නොකෙරේ. බොහෝ මිනිසුන් පිරිසකට අප අපේ හදවත් විවර කිරීමෙන් අපේ පෞද්ගලික සම්බන්ධතා  අඩු වැදගත්කමක් ගනී හෝ අඩු පිරිපුන් බවක් ගනී හෝ’යි අප බිය වීම අවශ්‍ය නැත. කිසියම් එක් සම්බන්ධතාවක් කෙරෙහි අප අඩුවෙන් ඇලීම සහ සියලු තෘප්තිමත්වීම් සඳහා ඒ මත අඩුවෙන් යැපීම සිදුවිය හැකිය. එසේම, එක් එක් පුද්ගලයෙකු සමග අප අඩුවෙන් කාලය ගත කිරීමට ඉඩ ඇත. එහෙත් ඒ සෑම අයෙකුම සමගම පූර්ණ සබැඳියාවක් ඇත. අප කෙරෙහි අන් අය තුළ ඇති ආදරය සම්බන්ධයෙන්ද මෙයම සත්‍යය. ඔවුනුත් අන් අය සමග මෛත්‍රී සහගත (ආදරණීය) මිත්‍රත්වයන් පවත්වන නිසා අප ඉරිසියා කරන විට අප කෙරෙහි ඔවුන්ගේ ආදරය අඩු වේවි.

අපව පරිපූර්ණ කරන, අපේ ජීවිතයේ සෑම පැතිකඩක්ම හැම ආකාරයකින්ම බෙදා හදාගත හැකි, අපේ “අනෙක් කොටස” ලෙස සැලකෙන්නේත්, අපට හරියටම ගැළපෙන්නේත් එකම එක් අයෙකු බව සිතීම අතාත්විකය.  එබඳු අදහස් ප්ලේටෝ විසින් ප්‍රකාශ කරන ලද, මුලදී අප සියලු දෙනා පරිපූර්ණව සිට පසුව දෙකට වෙන් වී ඇත යන පුරාණ ග්‍රීක මිථ්‍යා කථාව මත පදනම් වී ඇත. අපේ අනෙක් කොටස “මේ කොහේ හෝ” ඇත. සැබෑ ආදරය යනු අපේ අනෙක් කොටස හමු වී එකට එකතු වූ විට මතු වන දේය. මෙම මිථ්‍යාව බටහිර රෝමාන්තිකවාදයේ පදනම බවට පත් වුවද එයින් යථාර්ථය ගැන කියැවෙන්නේ නැත. එය විශ්වාස කිරීම, කඩවසම් කුමාරයෙකු සුදු අශ්වයෙකු පිට පැමිණ දිවි ගලවා ගැනීම ගැන විශ්වාස කිරීමක් බඳුය. අපට අපේ රුචිඅරුචිකම් සහ අවශ්‍යතා බෙදා හදා ගැනීමට බොහෝ මිනිසුන් සමග ඇති කරගත් මෛත්‍රී සහගත මිතුදම් අවශ්‍යය. ඉදින් මෙය අප සම්බන්ධයෙන් සත්‍යයක් නම් එය අපේ සහකරු හෝ මිතුරා සම්බන්ධයෙන්ද සත්‍යයකි. අපට ඔවුන්ගේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කිරීම කළ නොහැකි දෙයකි. මේ නිසා ඔවුන්ට වෙනත් මිත්‍ර සම්බන්ධතාද අවශ්‍ය වේ.

සාරාංශය

අලුත් කෙනෙකු අපේ ජීවිතවලට පැමිණි විට, ලස්සන වන කුරුල්ලෙකු අපේ ජනේලය ළඟට පැමිණ ඇත යනුවෙන් ඒ දෙස බැලීම උපකාරයක් වේ.  මේ කුරුල්ලා අනෙක් මිනිසුන්ගේ ජනේලවලටත් යති’යි ඉරිසියාවෙන් ඌව අල්ලා කූඩුවක සිරකර ගත්තෝතින් උගේ ප්‍රභාව නැති වී ගොස් ඌ අතිශය කණස්සල්ලට පත් ව, ඇතැම් විට මිය යන්නටත් ඉඩ ඇත. අල්ලා ගැනීමකින් තොරව, අප කුරුල්ලාට නිදහසේ පියාඹන්නට ඉඩ හැරියේ නම්, ඌ අප සමග සිටි සුන්දර කාලය අපට රස විඳිය හැකිය. කුරුල්ලා ඉවතට ඇදී ගියත්, ඒ උගේ හැටි නිසා, ඌට අප සමග ආරක්ෂිත බවක් දැනේ නම් නැවත අප වෙත ඒමට ඌ තීරණය කරන්න බොහෝ සේ ඉඩ ඇත. අප පිළිගන්නේ නම් සහ ගෞරව කරන්නේ නම් සෑම අයෙකුටම අපගේ මිත්‍රත්වයද ඇතුළුව බොහෝ සමීප මිත්‍රත්වයන් පවත්වාගෙන යාමේ අයිතියක් ඇති බව, අපේ හිතවත්කම් වඩා ගුණදායී මෙන්ම බොහෝ කලක් පවතින ඒවාද වේ.

Top