ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට උදවු කරන බෞද්ධ මූලධර්ම 5

How to 5 tips business

බුදුදහම බොහෝ විට භාවනාව සමග සම්බන්ධ වේ. එනමුදු ඕනෑම ක්ෂේත්‍රයකට යොදා ගතහැකි චින්තන ක්‍රම පිළිබඳව බොහෝ තියුණු දැකීම්ද එමඟින් සැපයේ. ඕනෑම ආකාරයක ව්‍යාපරයක් හෝ ව්‍යාපෘතියක් හෝ පවත්වා ගෙන යාමට උදවු කරගත හැකි බෞද්ධ මූලධර්ම කීපයක් අපි දැන් බලමු.

ඉලක්කය අර්ථකථනය කරන්න

බෞද්ධ ප්‍රතිපදාවට පිවිසීමට පෙර ඉලක්කය සහ දිශානතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබීමේ වැදගත්කම බුදුදහම අවධාරණය කරයි. ඉලක්කය නම් කරදරකාරී මනෝභාවයන්ගෙන් අපව සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීම සහ අපේ සිතේ, හදවතේ පූර්ණ ශක්‍යතාව අවබෝධ කරගැනීමය. මෙම ආවසානික තත්ත්වය “සම්බෝධිය” ලෙස හැඳින්වේ.

ඒ අයුරින්ම, යම් ව්‍යාපෘතියක් හෝ ව්‍යාපාරයක් හෝ ආරම්භ කරන විට ඉලක්කය අර්ථකථනය කරගැනීම තීරණාත්මකය. එය ලාභ ඉපයීමද? එය පාරිභෝගිකයන් උදෙසා යම් යම් වටිනාකම් නිර්මාණය කිරීමද නැතිනම් ඔවුන් සතුව ඇති ඇතැම් අසීරු ගැටලු නිරාකරණයද? ඉලක්කය වඩ වඩාත් නිවැරදිව අර්ථකථනය කරගන්නේද එපමණටම ඒ සඳහා ළඟා විය හැකි මාර්ගය පැහැදිලි කරගත හැකි අතර එම ඉලක්කයට ළඟා  වීමේ සම්භාවිතාවද ඉහළ යයි.

හේතුඵල පිළිබඳ මූලධර්මය අනුගමනය කරන්න

ඉලක්කය කුමක්ද’යි අර්ථකථනය කරගත් පසුව එම ඉලක්කය වෙත යොමු කරවන හේතූන් මොනවාද’යි අප පැහැදිලි කරගැනීම අවශ්‍යය. සම්බෝධිය ලැබීමට නම් හේතු වන්නේ අපේ විනාශකාරී චර්යාවන් නැවැත්වීම සහ අපේ හිතේ ඇති යහපත් ගුණධර්ම පුහුණු කිරීමද, ලෝකය වටහා ගැනීමේ සාධනීය මෙන්ම යථාර්ථවාදී ක්‍රම අපටම හුරුපුරුදු කරගැනීමත් ඒ සමග ක්‍රියා කිරීමත් ය.

ව්‍යාපාරික ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ගත් විට, අපගේ ආවසානික අරමුණ වෙත ළඟා කරවන හේතූන් මොනවාද’යි පැහැදිලි කරගැනීමට තර්කය භාවිත කිරීම අවශ්‍යය. මෙම ක්‍රියාවලිය පුනරාවර්තී යාන්ත්‍රිකශිල්පය මෙනි. අර්ථකථනය කොට ගත් ඉලක්කය වෙත යොමු කරවන ක්‍රියාවන්ගේ තාර්කික සම්බන්ධය අපි ආපස්සට මැන බලන්න ආරම්භ කරමු. මෙම ක්‍රියාවලිය ඉලක්කය ළඟා කරගැනීමට අවශ්‍ය පියරව විග්‍රහ කරගැනීමට උපකාර වන අතර ව්‍යාපෘතියට අවශ්‍ය මාර්ග සිතියම සකස් කරගැනීමට හොඳ පදනමක්ද සකස් කර දේ.

කරුණාව: පාරිභෝගික ගැටලුව නිරාකරණය කරන්න

කරුණාව යනු ඉතාම වැදගත් බෞද්ධ මූලධර්මවලින් එකකි. බුදුන්වහන්සේගේ ඉගැන්වීමට අනුව:

අනුන්ව ඔවුන්ගේ දුකින් මුදවන්න බුද්ධිමත් දේ නම් කරුණාවය.

ව්‍යාපාරයක් සමග මෙහි ඇති අදාළ බව කුමක්ද? ව්‍යාපාරයක් පාරිභෝගික ගැටලුවකට විසඳුමක් සපයයි. ව්‍යාපාරය විසින් සපයන විසඳුම දැනට පවතින අනෙකුත් විසඳුම්වලට වඩා හොඳ නම්, එය තරඟකාරී ධාවනය දිනනු ඇත. මේ නිසා, අපේ ව්‍යාපාරයට අදාළ පාරිභෝගිකයා මුහුණ දෙන ගැටලුව වටහා ගැනීම සහ ඒ ගැටලුව දෙස සංවේදී ආකල්පයක් ඇති කරගැනීම අතිශය වැදගත් වේ. අප අපේක්ෂා කරන පාරිභෝගික පිරිස ඔවුන්ගේ ජීවිතවලදී පීඩා විඳින සැබෑ ගැටලු හඳුනා ගැනීමද මනසේ රඳවා ගැනීමද එම වටහාගැනීම මත පදනම්ව එකී ගැටලුවලට හොඳම ආකාරයෙන් විසඳුම් සැපයීමට උත්සාහ කිරීමද අවශ්‍යය. ව්‍යාපාරයක් වෙත පළමුව-පාරිභෝගිකයා ලෙස හෝ පරිශීලක කේන්ද්‍රීය ලෙස හෝ එළඹුමක් ලබා ගැනීමට අත්තිවාරම වන්නේ කරුණාවය.

අනිත්‍යය: වෙනස් වන ලෝකයට අනුගත වන්න

බෞද්ධ විශ්ලේෂණය යථාර්ථය පිළිබඳ තවත් වටිනා තියුණු දැක්මක් අප වෙත ගෙන එයි: එනම්, සෑම දෙයක්ම අනවරත වෙනස් වීමකට ලක් වන බවයි - අපද, පරිසරයද අප වටා සිටින සියලු මිනිසුන්ද මෙසේ වෙනස් වේ. යමක් දැඩිව පැහැදිලිව ඇත’යි යන අදහස වටහා ගැනීම පහසුය. එහෙත් ඉතා ඉක්මනින් වෙනස් වන යථාර්ථයක් තුළ, එම අදහස පටුමනසකින් එන කල්පනාවක්, හිතුවක්කාර සහ දරදඬු සිතුවිල්ලකට නිතරම හේතුවක් වේ.

උදාහරණයක් ලෙස නෙට්ෆිලික්ස් මාධ්‍යජාලය හැරගමු. අන්තර්ජාලය විසින් මාධ්‍ය භාවිත කරන රටාව වෙනස් කළ බව ඔවුහු වටහා ගත්හ. වීඩියෝ අන්තර්ගත පරිහණය සඳහා පැරණි ගුරුකුල චින්තනය තුළ තිබුණේ එක් විසඳුමක් පමණි: එනම් DVD කුළියට දීම. එහෙත් නෙට්ෆිලික්ස් මෙය සිදුකිරීමට වඩා පහසු මාර්ගයක් ඇති බව අවධානයට ගත්තේය - එනම් වීඩියෝ ස්‍රවණය (streaming). සමස්ත මාධ්‍ය පරිභෝජන කාර්මාන්තයම වෙළෙඳපොළේ සහ පරිශීලක චර්යාවේ අනිත්‍යතාව වටහා නොගත්තේය. එහෙත් නෙට්ෆිලික්ස් එය පළමුව වටහා ගත් අතර සමස්ත කර්මාන්තයම සදහටම වෙනස් කළේය.

සදාචාරය: ඔබටත්, ඔබේ කණ්ඩායමටත් පාරිභෝගිකයාටත් ගෞරව කරන්න

බෞද්ධ සදාචාරය අහිංසා මූලධර්මය මත පදනම් වී ඇත. සෑම අයෙකුටම සතුටින් සිටීමට අවශ්‍ය බවත් දුක් විඳීමට අවශ්‍ය නැති බවත් අපි අවබෝධ කරගමු. අප අපේ ක්‍රියාවන් මේ අවබෝධය මත පදනම් කරගන්නේ නම් සහ අන්‍යන්ට හිංසා කිරීමෙන් වළකින්නේ නම්, ඔවුන්ගේ ගෞරවය සහ විශ්වාසය අපි ලබා ගනිමු.

අපේ සහකරුවන්ට අප ගෞරව කරන්නේ නම්, එමඟින් කණ්ඩායම තුළ විශ්වාසය සහ අවබෝධය ගොඩනැඟේ. මිනිසුන් නැති තැන හෝ ඔවුන්ගේ මූණටම හෝ අප ආරෝවක් කීමෙන් වැළකී සිටීමටද, විනිවිද බවින් කටයුතු කිරීමටද උත්සාහ කරමු. තවද, අපේ පාරිභෝගිකයාට අප වඩ වඩාත් ගෞරව කරත්ම ඔවුන්ගේ විශ්වාසය සහ පක්ෂපාතීකම අපට ලැබේ. සැප්පෝස් වැනි මහාපරිමාණ සමාගම් තමුන්ගේ ව්‍යාපාර ආදර්ශය පදනම් කර තිබෙන්නේ පාරිභෝගික අවශ්‍යතාවන්ට මෙන්ම සේවකයන් අතර සමානාත්මතාව සහ විනිවිද බවටද ගරුකිරීම මතය.

සාරාංශය

අපට මෙම බෞද්ධ මූලධර්ම 5 අපේ ව්‍යාපාරය වඩා ශක්තිමත් කිරීමට යොදා ගත හැකිය. එම මූලධර්ම නම්,

  • ඉලක්කය අර්ථකථනය කිරීම
  • හේතුඵල සම්බන්ධතාව මත යැපීම
  • පාරිභෝගිකයා කෙරෙහි සංවේදී බව සහ කරුණාව වැඩීම
  • අනිත්‍යතාව ගැන සිහියෙන් යුතුව සිටීම, නම්‍යශීලි බව සහ නවෝත්පාදනශීලි බව තිබීම
  • සදාචාර මූලධර්ම අනුගමනය කිරීම සහ සහකරුවන්ටත් පාරිභෝගිකයන්ටත් ගෞරව කිරීම
Top