භෞතික දේවල් සපයන්නේ කායික සුවපහසුව පමණයි. මානසික සුවපහසුව නෙවේ. භෞතිකවාදී පුද්ගලයෙකුගේ මොළයත් අපේ මොළයත් දෙකම එක වගේ. මේ නිසා, අප දෙදෙනාම මානසික පීඩාව, හුදෙකලා බව, බිය, සැකය සහ ඉරිසියාව අත්විඳිනවා. ඒවායින් ඕනෑම අයෙකුගේ මනස කැළඹෙනවා. සල්ලිවලින් මේක අයින් කරන්න - කොහෙත්ම බැහැ. කැළඹිලි සහගත හිතක් තියෙන, හුඟාක් ආතතියෙන් පෙළෙන සමහර මිනිසුන් යම් යම් බෙහෙත් වර්ගත් ගන්නවා. ඒ බෙහෙත් තාවකාලිකව ආතතිය අඩුකරනවා. ඒත් අතුරුපල බොහෝමයක් ගෙන එනවා. ඔබට බැහැ නේ මානසික සැනසීම මිලදී ගන්න. කවුරුවත් ඒක විකුණන්නේ නැහැ. ඒත් හැමෝටම මානසික සැනසීම ඕනේ. ඉතිං ගොඩාක් මිනිසුන් ප්‍රශාන්තිජනක බෙහෙත් ගන්නවා. ඒත් ආතතියෙන් පිරි මනසකට තියෙන සැබෑම බෙහෙත කරුණාව. මේ නිසා, භෞතිකවාදී මිනිසුන්ටත් කරුණාව අවශ්‍යයි.
මානසික සැනසීම තමා යහපත් සෞඛ්‍යයක් සඳහා හොඳම බෙහෙත. එමඟින් භෞතික කාරණාවලට බොහෝ සමබරතාවක් ලැබෙනවා. ප්‍රමාණවත් නින්දක් ලැබීම සම්බන්ධයෙනුත් ඒ දේම සත්‍යයක්. අප හිතේ සැනසීමෙන් යුතුව නිදා ගන්නවා නම්, නින්දට කිසිම බාධාවකුත් නැහැ, අපට නිදිපෙති ගන්න ඕනේ වෙන්නේත් නැහැ. ගොඩක් මිනිසුන් ලස්සන මුහුණක් හිමි කරගන්න කටයුතු කරනවා. ඒත් ඔබ ඉන්නේ කෝපයෙන් නම්, මූණේ කොච්චර පාට ආලේප කළත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔබ කැතම තමයි. ඒත් ඔබට කෝපයක් නැතිනම්, ඒ වෙනුවට පොඩි හිනාවක් තියේ නම්, ඔබේ මුහුණට ආකර්ෂණීය, වඩා හොඳ පෙනුමක් ලැබෙනවා.
අප කරුණාව බිහි කරගන්න ඉමහත් පරිශ්‍රමයක් දරනවා නම්, කේන්තියක් ආවත්, ඒක තියෙන්නේ ටික වෙලාවක් විතරයි. ඒක හරියට ප්‍රබල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් තියෙනවා වගේ දෙයක්. වෛරසයක් ඇතුළු වුවත් ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මේ සඳහා, අපට සාකල්‍ය දැක්මක් සහ කරුණාව අවශ්‍ය වෙනවා. සෑම කෙනෙකුගේම ඔවුනොවුන් මත යැපෙන බව නුවණට හුරුකර ගැනීම සහ විශ්ලේෂණය කිරීම මඟින් අපට විශාල ශක්තියක් ලැබෙනවා.
යහපත සඳහා අප හමෝටම එක සමාන හැකියාවක් තියෙනවා. ඒ නිසා, තමා ගැනම බලන්න. සියලු ධනාත්මක හැකියාවන් දකින්න. ඍණාත්මක දේවලුත් තියෙනවා. ඒත් යහපත් දේ සඳහා අවශ්‍ය හැකියාවත් එතැනම තියෙනවා නේ. මූලික මිනිස් ස්වභාවය ඍණාත්මක වනවාට වඩා ධනාත්මකයි. අපේ ජීවිතය පටන් ගන්නේ කරුණාවත් සමග. මේ නිසා, කරුණාවේ බීජ, කෝපයේ බීජවලට වඩා ප්‍රබලයි. මේ නිසා, තමුන් ගැන වඩාත් ධනාත්මකව බලන්න. එහෙම කළාම හුඟාක් සංසිඳුණු චිත්තස්වභාවයක් ඇති වෙනවා. එතකොට ගැටලු ආවත් ඒවා හරිම පහසු ඒවා.
ශ්‍රේෂ්ඨ ඉන්දීය බෞද්ධ ආචාර්යවරයෙකු වූ ශාන්තිදේව හාමුදුරුවන් ලියනවා, අප ගැටලුවකට මුහුණ දෙන විට, ඒ ගැටලුව මැඬපවත්වා එයින් ඉවත් වීමට මඟක් විශ්ලේෂණාත්මකව දකිනවා නම්, එතැන වද වෙන්න තරම් දෙයක් නැහැ කියා. ඉතිං අපට ඒක මැඬලන්න බැරි නම්, ඒ ගැන වද වුණා කියා ඇති වැඩක් නැහැ.