සෑම අයෙකු හටම බුද්ධත්වයට පත්විය හැක

05:27
අප සියලු දෙනා හට දිගු කාලීන සතුට අත්පත් කරගැනීම අවශ්‍ය වන බැවින් කළ හැකි වඩාත් අර්ථාන්විත හා තර්කානුකූල කාර්යය වනුයේ එම අරමුණ ඉටුකර ගැනීම සඳහා තාත්විකව කටයුතු කිරීමයි. භෞතික දේ මගින් අප වෙත යම් සතුටක් ලබාදිය හැකි නමුදු සතුටේ සැබෑ මූලාශ්‍රය අපගේම සිත වේ. අපගේ සියලු ධාරිතාවයන් පූර්ණ වශයෙන් වර්ධනය වී අපගේ සියලු දුර්වලතා මැඩ පැවැත්වූ විටදී අප ‍බුද්ධත්වයට පත්වන අතර එය අප කෙරෙහි පමණක් නොව අන් සියල්ලන් කෙරෙහිද අදාල සතුටේ මූලාශ්‍රයක් වේ. බුද්ධත්වයට පත්වීම නමැති අරමුණ ඉටුකර ගැනීම සඳහා හැකියාව ලබාදෙන්නාවූ පූර්ණ කාර්ය සාධක අප සියලු දෙනා සතුවන බැවින් අප සියල්ලන් හට බුද්ධත්වයට පත්විය හැක. අප සියලු දෙනා සතුව බුද්ධ ස්වභාවය පවතී.‍

අප සියලු දෙනා හට බුද්ධත්වයට පත්විය හැකි බව බුදුන් වහන්සේගේ දේශනා තුළ අවධාරණය කෙරී ඇති නමුත් ඉන් සැබෑ ලෙසම අදහස් වන්නේ කුමක්ද? බුද්ධත්වයට පත්වූ උතුමෙකු යනු සිය සියලු වැරදි බැහැර කොට සිය ඌණතා හෙවත් අඩුපාඩු සියල්ල නිවැරදි කරගත් හා සිය සියලු හැකියාවන් අවබෝධ කරගත් අයෙකි.සෑම බුදුවරයෙකුම යථාර්ථය පළිබඳව පවත්නා අවුල් සහගතභාවය හා අතාත්වික චිත්ත නිමිති හේතුකොට නැවත නැවතද ඇතිවන ජීවන දුෂ්කරතා අත්විඳින, සාමාන්‍ය සත්ත්වයන් වන අප මෙන්ම සිය ආරම්භය ලබාගන්නා ලද අයෙකු වේ. සිය හිතුවක්කාරී දැඩි චිත්ත නිමිති සැබෑ ලෙසම යථාර්ථය හා නොගැලපෙන බව ඔවුන් විසින් අවබෝධ කරගන්නා ලද අතර දුකින් මිදීමේ දැඩි අධිෂ්ඨානයක් තුළින් ඔවුහූ අවසානයේ සිය සිත් තුළින් ප්‍රක්ෂේපණය කරන ලද හිතලු ආකස්මිකව විශ්වාස කිරීම නැවතූහ. ඔවුහූ සියලු දුකින් මිදෙමින් සිත අවුල් කරන්නාවූ හැඟීම් අත්දැකීමෙන් හා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ තත්ත්වයෙන් අත් මිදුනහ.

මේ සියල්ල අතරතුරදී, ආදරය හා කරුණාව වැනි ධනාත්මක හැ‍ඟීම් වඩාත් ශක්තිමත් කරගැනීමට කටයුතු කරමින් ඔවුහූ තමාට හැකි පමණ අන්‍යයන් වෙත උපකාර කළහ. ඔවුහූ සියල්ලන් කෙරෙහි මවක සිය එකම දරුවා වෙත දක්වන සෙනෙහස බඳු සෙනෙහසක් ඇතිකර ගත්හ. සියල්ලන් කෙරෙහි වූ මෙකී තියුණු ප්‍රේමය හා කරුණාව හා ඔවුන් සියලු දෙනා වෙත උපකාර කිරීම සඳහා වූ දැඩි අධිෂ්ඨානයෙන් බල ගැන්වී යථාර්ථය පිළිබඳ ඔවුනගේ සුවිශේෂී අවබෝධය වඩ වඩාත් ශක්තිමත් විය. සියල්ලක් හා සියල්ලන් තුළ අන් සියල්ලෙන් මිදුණු ස්වායත්ථ පැවැත්මක් ඇති බවට වූ මුලාවූ දැක්ම පෙරට ගෙන ඒමද අවසානයේ නතර වන තරමට එය ශක්තිමත් විය. කිසිදු බාධාවකින් තොරව, පවත්නා සියල්ලෙහි අන්තර් සම්බන්ධතාවය හා අන්තර් රඳා පැවැත්ම ඔවුහූ පැහැදිලිව දුටහ.

මෙම සාර්ථකත්වයද සමගින්, ඔවුහූ පූර්ණ අවබෝධයට පත්වූහ: ඔවුහූ බුද්ධත්වය ලදහ. ඔවුන්ගේ සිරුරු, සන්නිවේදනය කිරීමේ ඔවුන්ගේ හැකියාවන් හා ඔවුන්ගේ සිත් සියලු සීමාවන්ගෙන් මිදුනි. තමා විසින් උගන්වනු ලබන යම් කරුණක් ඒ ඒ පුද්ගලයා මත ඇතිකරන බලපෑම දනිමින් යථාර්ථවාදීව හැකි පමණ සියලු සත්ත්වයන් වෙත උපකාර කිරීමට එවිට ඔවුනට හැකි විය. කෙසේ වුවද, බුදුන් වහන්සේ වුව සර්ව බලධාරී නොවේ. බුදුවරයෙකු හට ධනාත්මක බලපෑමක් සිදුකළ හැක්කේ සිය උපදෙස් කෙරෙහි විවෘතව ඒවා ලබාගැනීමේ උවමනාව සහිත හා ඒවා නිවැරදි ලෙස අනුගමනය කරන අය වෙත පමණි.

තමා සාක්ෂාත් කරගත් බුද්ධත්වය සෑම අයෙකු හටම සාක්ෂාත් කරගත හැක්කක් බව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙයට හේතුව නම් අප සියලු දෙනා තුළ “බුද්ධ-ස්වභාවය” හෙවත් ‍බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ හැකියාව ලබාදෙන මූලික ක්‍රියාකාරී ද්‍රව්‍ය පවත්නා බැවිනි.

ස්නායු විද්‍යාව විසින් නියුරෝප්ලාස්ටිසිටි හෙවත් අපගේ ජීවිතය පුරා නව ස්නායු ගමන් මාර්ග ගොඩ නැගීම හා වෙනස් කිරීම සඳහා මොළය සතු හැකියාව පිළිබඳ කථා කරනු ලබයි. නිදසුනක් ලෙස, අපගේ දකුණු අත පාලනය කිරීම හා සම්බන්ධ මොළයේ කොටස අක්‍රිය වූ විට, භෞත චිකිත්සක පුහුණුව මගින් අපගේ වම් අත භාවිත කිරීමේ හැකියාව අප හට ලබාදෙමින් මොළය හරහා නව ස්නායු ගමන් මාර්ග ගොඩනැගිය හැකිය. වඩා වැඩි සතුටක් හා චිත්ත සාමයක් ඇති කරමින් කරුණානුස්සතිය වැනි භාවනා ක්‍රම මගින් නව ස්නායු ගමන් මාර්ග නිර්මාණය කිරීමද සිදුකළ හැකි බව මෑත කාලීන අධ්‍යයනයන් මගින් පෙන්නුම් කර ඇත. ඉහත කී පරිදි මොළයේ නියුරොප්ලාස්ටිසිටි ක්‍රියාකාරිත්වය පිළිබඳව කථා කරන අතරම සිතේ ඒ හා සමාන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳවද අපට කථා කළ හැක. අපගේ සිත් හා ඒ අනුව අපගේ පෞරුෂ ගති ලක්ෂණ ස්ථාවරව හෝ නොවෙනස්ව නොපවත්නා අතර නව ධනාත්මක ගමන් මාර්ග ගොඩනැගීම කෙරෙහි උත්තේජනය කළ හැක්කේය යන කරුණ වූකලි අප සියලු දෙනා හට පූර්ණ අවබෝධය සහිත බුද්ධත්වයට පත්වීමේ හැකියාව ලබාදෙන අති මූලික සාධකය වේ.

භෞතවේදී මට්ටමකින් සලකා බැලීමේදී, අප විසින් ඕනෑම ධනාත්මක කරුණක් සිදුකරන, කථා කරන හෝ සිතන ඕනෑම අවස්ථාවකදී, එම කරුණ නැවත නැවතද සිදු කිරීම වඩාත් පහසු කරන හා සිදුකිරීමේ හැකියාව වැඩි වර්ධනය කරන ධනාත්මක ස්නායු ගමන් මාර්ගයක් බල ගන්වනු ලබයි. බුදු දහම තුළ ප්‍රකාශ කෙරෙන පරිදි මානසික මට්ටමකදී මෙමගින් ධනාත්මක බලයක් හා විභවයක් ගොඩනංවනු ලබයි. එවන් ධනාත්මක බලයන් ජාලයක් අප විසින් නැවත නැවතද බලගන්වන්නට බලගන්වන්නට එය වඩ වඩාත් බල සම්පන්න වේ. බුදුවරයෙකු වශයෙන් පරිපූර්ණ ලෙස සියලු සත්ත්වයන් හට උපකාර කිරීමේ හැකියාව කෙරෙහි යොමු කෙරෙන ධනාත්මක බලය විසිනි විශ්වීය උපකාරකයෙකු වීමේ අභිමතාර්ථය සාක්ෂාත් කරගැනීම සඳහා අප වෙත හැකියාව ලබාදෙනු ලබන්නේ.

ඒ හා සමානවම, යථාර්ථය පිළිබඳ වූ අපගේ සාවද්‍ය ප්‍රක්ෂේපණයනට අදාළව සැබෑවූ කිසිවක් නොමැති තත්ත්වය පිළිබඳ අප විසින් අවධානය යොමු කරන්නට කරන්නට, පළමුව මෙම මානසික විකාර සහගත තත්ත්වය විශ්වාස කිරීමෙන් හා ඉන් පසු එය ප්‍රක්ෂේපණය කිරීමෙන්, වඩ වඩාත් අප විසින් ස්නායු ගමන් මාර්ග දුර්වල කිරීම සිදු කරනු ලබයි. අවසානයේ අපගේ මනස මෙකී මායාකාරී ස්නායුමය හා මානසික ගමන් මාර්ගවලින් නිදහස් වන අතර ඒ මත රඳා පවත්නා කැළඹිලිකාරී හැඟීම් හා අත්හල නොහැකි හැසිරීම් රටාවනට අදාල ගමන් මාර්ගයන්ගෙන්ද නිදහස් වේ. අපි ඒ වෙනුවට යථාර්ථය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිත ප්‍රබල ගමන් මාර්ග ගොඩ නගන්නෙමු. සීමාසහිතකම් සහිත සෑම සියලු අයෙකු වෙතම කෙතරම් යහපත් පරිදි උපකාර කළ හැක්කේද යන සියල්ල දන්නා වූ බුද්ධ මනස ඉලක්ක කරගත් බලය මගින් මෙකී ගමන් මාර්ග බලගැන්වෙන විටදී, මෙම ගැඹුරු දැනුම් ජාලය විසින් අප හට බුද්ධ මානසිකත්වය ලබාගැනීමේ හැකියාව ලබාදෙනු ලබයි.

අප සියලු දෙනා සිරුරක්  හෙවත් මූලික වශයෙන් කථාව මගින් අන්‍යයන් හා සන්නිවේදනය කිරීමේ පහසුකම් හා මනසක්ද දරා සිටින බැවින්, අප සියල්ලන් හට බුදුවරයෙකුගේ කය, වචනය හා සිත අත්පත් කරගැනීමේ සියලු කාර්ය ද්‍රව්‍ය සතු වේ. මෙකී අංග තුන එමෙන්ම බුද්ධ ස්වභාවයට අයත් සාධකද වේ. අප සියලු දෙනා හට ස්වයං ආරක්ෂාව, වර්ගයා ආරක්ෂා කිරීම සඳහා වූ සහජ දැනීම් හා අපගේ මවු හා පිය සහජ දැනීම් වැනි යම් මට්ටමක යහපත් ගුණාංග මෙන්ම ක්‍රියා කිරීමේ හා අන්‍යයන්ට බලපෑම් කිරීමේ හැකියාවක්ද පවතී. මේවාද බුද්ධ ස්වභාවයට අයත් සාධක වේ: සීමා රහිත ප්‍රේමය හා සැලකිල්ල හා බුදුවරයෙකුගේ බුද්ධි ආලෝකන ක්‍රියාවන්ද බඳු යහපත් ගුණාංග වගා කරගැනී‍ම සඳහා වූ කාර්ය ද්‍රව්‍ය ඒවා වේ.

අපගේ සිත ක්‍රියාත්මකවන ආකාරය පරීක්ෂා කිරීමේදී තවදුරටත් බුද්ධ ස්වභාව සාධක හඳුනාගත හැකි වේ. අප සියල්ලන් හට තොරතුරු ලබාගැනීම, යම් ගුණයක් පොදුවේ දක්නට ලැබෙන දේවල් කාණ්ඩගත කිරීම, අප දකින දේට ප්‍රතිචාර දැක්වීම හා දේවල් කවරාකාරද යන්න දැකීම සිදුකළ හැකි වේ. අපගේ මානසික ක්‍රියාකාරිත්වය සිදුවන මෙකී ආකාරයන් දැනට සීමිත නමුදු, ඒවාද ඒවාහි ඉහළම ක්‍රියාත්මක හැකියාවෙන් ක්‍රියාකාරී වන ස්වභාවය වූ බුද්ධ මානසිකත්වයක් සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය කාර්ය ද්‍රව්‍ය වේ.

සාරාංශය

අප සියලු දෙනා හට බුදු බවට පත්වීම සඳහා අවශ්‍ය කාර්ය ද්‍රව්‍ය පවත්නා බැවින් බුද්ධත්වයට පත්වීම සඳහා අපට අවශ්‍ය වනුයේ අභිප්‍රේරණය හෙවත් පෙළඹීම හා තිරසර ලෙස වෙහෙසී කටයුතු කිරීම පමණි. ප්‍රගතිය කිසි විටෙක සරල රේඛීයව සිදු නොවේ: ඇතැම් දින වඩා යහපත් වන අතර ඇතැම්වා වඩා අයහපත් වේ; බුද්ධත්වයට පත්වීම සඳහා වූ මාර්ගය දිගු හා එතරම් පහසු නොවූ එකක් වේ. එසේ නමුදු, අප විසින් බුද්ධ ස්වභාව සාධක අප කෙරෙහිම සිහිපත් කරන්නට කරන්නට, වඩ වඩාත් අපි අධෛර්ය වීමෙන් වළකින්නෙමු. අවශ්‍ය තරම් බලසම්පන්න පෙළඹීමක් මගින් හා කුසලතා පූර්ණ ලෙස කරුණාව හා ප්‍රඥාව ඒකාබද්ධ කරන්නාවූ තාත්වික ක්‍රම අනුගමනය කිරීමෙන් අප හට සියලු බාධක මැඩ පැවැත්විය හැක.

Top