නවීන ලෝකය තුළ දලයි ලාමා වහන්සේගේ අදාළත්වය

නවීන ලෝකය තුළ දලයි ලාමා වහන්සේගේ අදාළත්වය පිළිබඳව විමසා බලමු. ඔහු සුපිරි තරුවක් මෙන් වූ සංසිද්ධියක් වන බැවින් ඔහු විසින් ඉටුකළ යුතුවන යම්කිසි කාර්ය භාරයක් වේනම්, එය හුදෙක් විනෝදාස්වාදය හෝ කුතුහලයට අනුව අදාළ වන්නක් නොව හැකිතාක් වැඩි සංඛ්‍යාවක් වූ ජන පිරිසකට ප්‍රයෝජනවත් වන්නාවූ හා අර්ථවත් වන්නාවූ දෙයක් විය යුතුය. දලයි ලාමා යන්නෙන් අදහස් වනුයේ මෙපමණක් නොවේ. ඔහුගේ ජීවන අරමුණ වනුයේ සෙසු අයට ප්‍රයෝජනවත් වීමයි.

අන්‍යයන් වෙත ලබාදෙන සේවය

අන්‍යයන්ගේ සුභ සාධනය සඳහා මුළුමනින්ම කැපවූයේ යැයි කියන සෙසු පුද්ගලයන්ද ලෝකයේ ඇති නමුත්, දලයි ලාමා වහන්සේ සම්බන්ධව සැබෑ අසිරිමත් දෙය වනුයේ ඔහු මුළුමනින්ම හා නිර්ව්‍යාජවම අවංක අයෙකු වීමයි. මෙය වූකලි අන් අය එතුමාගේ ඉදිරිපිට සිටින විටදී, ඔවුන් ඔහුට ඇහුම්කන් දෙන විටදී හා ඔහු සැබැවින්ම සිදුකරන දෙය අවබෝධ කරගන්නා විටදී ඔවුන් වෙත අනිවාර්යයෙන්ම සන්නිවේදනය කෙරෙන දෙයකි. ඔහු විසින් නිරතුරුවම සිය ජීවිතයේ ප්‍රධාන අරමුණු තුනක් පවත්නා බව ප්‍රකාශ කරන අතර, එවා ජීවිතය තුළ වඩ වඩාත් වැඩිදියුණු කරගැනීමටද උත්සාහ කරයි. පළමුවැන්න ලෞකික ආචාර ධර්මද, දෙවැන්න ආගමික එකමුතුභාවයද, තෙවැන්න තිබ්බතය හා තිබ්බතීයයන්ගේ සුභ සාධනය සොයා බැලීමද වනුයේ එය වූකලි ඔහු මත පවරා ඇති කාර්ය භාරය වන බැවිනි.

ආචාර ධර්ම

දලයි ලාමා වහන්සේ නිරතුරු ලෞකික ආචාර ධර්ම හා ආගමික සාමුහිකත්වය පිළිබඳ කථා කරන අතර මෙයට හේතුව වනුයේ ලෝකය ඉමහත් වූ ආචාර ධර්ම අවශ්‍යතාවයකින් පෙළීමයි. බොහෝ දූෂණද, බොහෝ වූ වංකත්වයක්ද, ජනතාව අතර සාමුහිකත්වයේ ඉමහත් දුගී බවක්ද දක්නට ලැබෙනුයේ ආචාර ධර්ම නොමැති වීම හේතුවෙනි.

දලයි ලාමා වහන්සේ වෙත ඉතා විශ්වමය වූ විවෘත මනසක් ඇති අතර නිරතුරු මෙම ග්‍රහලෝකයේ ජීවත්වන බිලියන හතක් ඉක්මවූ ජනතාවගේ ප්‍රයෝජනය සැලසෙන කරුණු පිළිබඳ කථා කිරීම හා සිතීම සිදු කරයි. මෙම ජනගහණය ඇතුළත යම් ආකාර ආගමක් අදහන්නන් හා ආගම් නොඅදහන්නන්ද වේ. අවශ්‍ය දෙය වනුයේ සියලු දෙනා හට පිළිගත හැකි යම් ආකාර ආචාර ධර්ම පද්ධතියක් හෙවත් ආචාර ධාර්මික පදනමකි. දලයි ලාමා වහන්සේ විසින් මෙය "ලෞකික ආචාර ධර්ම" ලෙස හඳුන්වනු ලබයි. ඉන් එය කිසිදු ආගමකට හෝ ක්‍රමයකට එරෙහිව යන්නක් බව අදහස් නොවන අතර එය සියලු ඇදහිලි ක්‍රමයන්ට මෙන්ම ආගම් නොඅදහන්නන්ගේ අවශ්‍යතාවනටද ගරු කරන බවක් අදහස් වේ. ඔහු විසින් මෙය "මූලික මනුෂ්‍ය වටිනාකම්" ලෙස ඔහු හඳුන්වන සංකල්පය මත පදනම් කරන අතර, එ් අනුව සිය තේමාව වනුයේ ලෞකික ආචාර ධර්මය යන කරුණ ප්‍රකාශ කිරීම වෙනුවට ඔහු ප්‍රකාශ කරන්නේ ජීව විද්‍යාව මත පදනම් වූ මූලික මනුෂ්‍ය වටිනාකම් ප්‍රවර්ධනය සඳහා මෙය සුදුසු කාලය බවයි.  සිය අලුත උපන් ළදරුවා කෙරෙහි මවක් දක්වන සෙනෙහස හා රැකවරණය වූකලි මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව සතුන් හටද ඉතා මූලික වූද, ප්‍රාථමික වූද විෂයයක් වන අතර එම විෂයය වනුයේ අන්‍යයන් රැකබලා ගැනීමයි. දලයි ලාමා වහන්සේගේ ජීවිතය තුළින්ම අප විසින් මෙය දකිනා අතර එබැවිනි ඔහුගේ පණිවිඩය එතරම් ළයාන්විත වනුයේ.

වැඩසටහන

හුදෙක් මුළුමනින්ම නොඇදහිය හැකි තරම් වූ වැඩසටහනක් සහිතව දලයි ලාමා වහන්සේ ලොව වටා සංචාරය කරන අතර, විශේෂයෙන් මෙම ලිපිය ලියන 2013 වසර වන විට වසර 78ක් වූ ඔහුගේ වයස හා සාපේක්ෂව එය සැබැවින්ම නොඇදහිය හැකි තත්ත්වයකි. නිරතුරු එක් ස්ථානයක දිනක් පමණක් නැවතී සිටිමින් ඔහු ඉතා දිගු ලෝක චාරිකාවන්හි නිරත විය. ඔහුගේ වැඩසටහන් සාහසික වේ. මම දලයි ලාමා වහන්සේගේ සම්බන්ධීකරණ නිලධාරියා, භාෂා පරිවර්තකවරයා ආදී සම්බන්ධතා සහිතව ලෝකයේ සංචාරය කර ඇති බැවින් ඔහුගේ වැඩසටහන කවරාකාරදැයි දනිමි. සෑම දිනකම දේශනා කිහිපයක් පවතින අතර, ඉනික්බිති පුවත්පත් සාකච්ඡා හා පුද්ගලික හමුවීම් වේ. ඔහුට ආහාර ගැනීම සඳහා කාලයක් නොමැති තරම්ය. කාල කලාප වෙනස්කම් හෝ එවැනි අන් කිසිදු සාධකයක් හෝ නොතකමින් ඔහු සෑම උදෑසනකම 3.30ට අවදිවන අතර, පැය හතරක පමණ ගැඹුරු භාවනා පිළිවෙතක නිරත වේ. ඔහුගේ ශක්තිය කෙතරම් බලසම්පන්න වේද යත්, නිරතුරු හාස්‍යය පිරි හදවතින් යුතුව හමුවන සියලු දෙනා කෙරෙහි වූ සැලකිල්ලෙන් කල් ගත කරයි. තමාට හමුවනුයේ කවරෙකු වුවද, එම පුද්ගලයා හමුවීමෙන් "කෙතරම් අපූරුද, තවත් මනුෂ්‍යයෙක්" ලෙස සිතා ඔහු සර්ව සම්පූර්ණ සතුටක් ලබන ආකාරය දැකීම හා විමසා බැලීම අසිරිමත් දෙයකි.

ආදරය

බුදු දහම තුළ ඔබට යමෙකු හමුවන විටදී එම හමුව තුළින් ඔබගේ හදවත උණුසුමින් පිරී යන අතර, එම හමුවීමෙන් ඔබ සතුටට පත්වන අතරම, ඔවුන්ගේ සුවසෙත පිළිබඳ ඔබ සැබැවින්ම සැලකිලිමත්වන ආකාරයේ හෘදයාංගම ආදරයක් පිළිබඳ කථා කරන්නෙමු. හුදෙක් පිරිසක් මැදින් ගමන් කරන අවස්ථාවන් ආදියෙහිදී දලයි ලාමා යම් කිසිවෙකු සමගින් අන්තර් ක්‍රියාවන් සිදුකරන ආකාරය, ඔහු පුද්ගලයන් දෙස බලන ආකාරය හා තමා දකින සෑම පුද්ගලයෙකු වෙතම සිය සම්පූර්ණ අවධානය යොමු කරන ආකාරය ආදී වශයෙන් මෙම ගුණය දලයි ලාමා වහන්සේ තුළ දැකිය හැක. එමගින් සැබැවින්ම ඔහු වෙනත් පුද්ගලයන්ගේ සුභසාධනය හා සියලු දෙනාගේ සුභසාධනය සහ සමානාත්මතාවය කෙරෙහි ඇල්මක් දක්වන බව සන්නිවේදනය කෙරෙයි. එබැවින්, මනුෂ්‍ය වටිනාකම්, ලෞකික ආචාර ධර්ම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ මෙකි සමස්ත අදහසම සියලු දෙනාගේ වැඩි ප්‍රයෝජනය පිණිස වූ දෙය ලෙස ඔහු වටහාගත් දෙයයි. ඔහු හුදෙක් පටු "බෞද්ධ පමණයි" ආකාරයකින් සිතන්නෙකු නොවේ. අවංක හා කාරුණික වීමේ ප්‍රයෝජන හා ලෝකයට ඉමහත් සේ ප්‍රයෝජනවත් වන අන් සියලු මූලික මිනිස් වටිනාකම්ද ළමුන් වෙත උගන්වනු ලබන, ලොව වටා ක්‍රියාත්මකවන අධ්‍යාපන ක්‍රමය තුළට ලෞකික මට්ටමක යම් දේශනාවන් හඳුන්වාදෙන ආකාරය පිළිබඳ ඔහු මහත් සේ සැලකිලිමත් වේ.

ආගමික සමගිය

ආගමික කණ්ඩායම් අතර පවත්නා ආරවුල් හේතුකොට ලොව ඉමහත් දුෂ්කරතා ඉස්මතු වේ. ලොව පවත්නා අවිශ්වාසය, බිය ආදී සියල්ල මගින් ගැටලු ඇති කරයි. ආගමික සමගිය හා සම්බන්ධව දලයි ලාමා වහන්සේ විසින් ප්‍රකාශ කරනුයේ අපට දැන් සැබැවින්ම අවශ්‍ය වනුයේ ලෞකික ආචාර ධර්ම සම්බන්ධයෙන් පමණක් නොව, එකිනෙකා පිළිබඳවද අධ්‍යාපනයක් බවයි.

අප සැබැවින්ම බිය වනුයේ නොදන්නා දෙයට වන අතර මෙම නොදන්නා කණ්ඩායම් හා ආගම් මතට එ් අනුව අපි යම් ආකාරයේ මනඃකල්පිතයක් ප්‍රක්ෂේපණය කරන්නෙමු. ඔහු ප්‍රකාශ කරන පරිදි, ඔහු සහභාගි වූ බොහෝ අන්තර් ලබ්ධිමය සංවාදයන් තුළ මිනිසුන් එ්කරාශි වී එකිනෙකා සමග සිනහමුසුව හා ප්‍රියමනාප ලෙස ඇසුරු කරන අතර, ඉන්පසු යම් යැදුමක හෝ නිහඬ භාවනාවක නිරත වෙති. එය ඉතා යහපත් හා මිහිරි දෙයක් වුවද, එතරම් ධනාත්මක දෙයක් නොවේ. හුදෙක් "හොඳයි, අප සියලු දෙනා එකම දෙයක් පිළිබඳව කථා කරමින් එක සිතින් සිටින්නෙමු"යි පවසා නිරතුරු සමානකම් පමණක් පෙන්වා දීම තුළ එකිනෙකා සැබැවින්ම ‍වටහා ගැනීමෙහි ලා එතරම් ප්‍රයෝජනයක් අත් නොවේ.

මෙම වසරේ ජුනි මාසයේදී, දලයි ලාමා වහන්සේ සුෆි ගුරුවරුන් සමගින් රැස්වීමක් පැවැත්වූ අතර, ඔහු ඔවුන් වෙත ප්‍රකාශ කළේ තමාට හුදෙක් සමානකම් පිළිබඳව පමණක් නොව වෙනස්කම් පිළිබඳවද ඉගෙන ගන්නට අවශ්‍ය බවයි. අප අපගේ වෙනස්කම් පිළිබඳ ලජ්ජාවට පත් නොවිය යුතු බවත් එ් වෙනුවට අපගේම ප්‍රගතිය වෙනුවෙන් දරන උත්සාහයන්හිදී ප්‍රයෝජනවත් විය හැකි ආකාරයන්ගෙන් එ්වා තුළින් අපට යම් කිසිවක් උගත හැකි බවද පවසන ලදී. සියලු ආගම් තුළ එම ආගම අදහන්නන් සඳහා වඩාත් යහපත් දිවියක් ලබාදීමේ එකම අරමුණක් ඇති බව දලයි ලාමා වහන්සේ විසින් පවස‍න ලදී. එනමුත්, මෙකරුණ සාක්ෂාත් කරගනු පිණිස, බොහෝ එකිනෙකට වෙනස් විධික්‍රම පවත්නා අතර, පුද්ගලයන් එකිනෙකා අතර බොහෝ වෙනස්කම් පවත්නා බැවින් මෙය අවශ්‍ය දෙයක් වේ.

ඔහු  පවසන්නේ "අප සියලු දෙනා විසින් අපගේ අනුගාමිකයන් හට ආදරය, කරුණාව ආදිය දියුණු කරන ලෙස දේශනා කරන්නේ නම්, එ් සඳහා ඔබ යොදාගන්නා ක්‍රමය කවරක්ද? එ් සඳහා අප යොදාගන්නා ක්‍රමය කවරක්ද? මෙය අපට ඔබගෙන් උගත හැකි කරුණකි, එනම් වෙනස්කම් දැක අලුත් දෙයක් ඉගෙන ගැනීමේ අවස්ථාවක් ලෙස ගෙන එයට ගරු කිරීමයි. අප සියලු දෙනා හට බරපතල හා සැබෑ පිළිවෙත් පුරන්නන්ගේ මට්ටමේ සිට සංවාදයක නිරත විය හැකිවනු පිණිස එක් එක් ආගමෙහි ඉතා බරපතල ලෙස පිළිවෙත් පුරන්නන් එක්රැස්ව විශාල ශ්‍රාවක පිරිසක් අතර නොව, එකිනෙකා අතර සිය අත්දැකීම් බෙදා හදා ගන්නා ආකාරයේ රැස්වීම් පැවැත්වීම යහපත් වනු ඇත. මෙය ඉතා ප්‍රයෝජනවත් එකක් වනු ඇත" යන්නයි.

විද්‍යාව

දලයි ලාමා වහන්සේ මූලිකවම කැපවී සිටින්නේ, තිබ්බතීය ජනතාව උදෙසා විශේෂ වගකීමක්ද දරමින් හා බුදු දහමේ තිබ්බතීය සම්ප්‍රදායන් පිළිබඳවද විශේෂ වගකීමක් දරමින්, සියලු දෙනා වෙත සෙත සැලසීම සඳහා වන අතර, ඔහු සැලකිලිමත්වන එකම පාර්ශ්වය මෙය නොවේ. කුඩා අවදියේ සිටම උන් වහන්සේ විද්‍යාව, යාන්ත්‍රික විද්‍යාව හා දේවල් ක්‍රියාත්මකවන ආකාරය යන කරුණු කෙරෙහි දැඩි ඇල්මක් දක්වා ඇත. ඔහු විසින් 1980 ගණන්වල සිටම විද්‍යාඥයන් සමගින් රැස්වීම් පවත්වා ඇති අතර සැබැවින්ම ඔවුන් වෙතින් ඉගෙනීමේ කැමැත්තක් දක්වයි.

අපට බෞද්ධ දේශනාවන්හි හමුවන විශ්වය පිළිබඳ, එය ආරම්භ වූ ආකාරය පිළිබඳ විග්‍රහය ආදී යම්කිසි කරුණකට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් වලංගු සාධක සහිතව විද්‍යාඥයන් හට පෙන්වා දිය හැක්කේ නම්, එය බෞද්ධ දේශනාවන් තුළින් ඉවත් කිරීම ඉතා නිවැරදි දෙය වන බව ඔහු පැවසීය. මොළයේ ක්‍රියාකාරිත්වය සහ විවිධ රසායනික ද්‍රව්‍ය ආදිය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ බටහිර විද්‍යාත්මක වැටහීම බෞද්ධ වැටහීමට ඉමහත් පිටිවහලක් වන අනුපූරකයක් විය හැක.

එමෙන්ම, බෞද්ධ විද්‍යාව, බෞද්ධ දැනුම හා බෞද්ධ දර්ශනය තුළින් එන හා විද්‍යාඥයන් සමගින් හුවමාරු කරගත හැකි සුවිශාල දැනුම් සම්භාරයක් බුදු දහම සතුවේ. නිදසුනක් ලෙස, භාවයන් පිළිබඳ සමස්ත අභ්‍යන්තර ලෝකය ක්‍රියාත්මකවන ආකාරය, මෙම භාවයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතුවන ආකාරය ඈ වශයෙන් ඉතා සවිස්තරාත්මක භාව සිතියමක් බුදු දහම මගින් ඉදිරිපත් කරනු ලබයි. බෞද්ධ විග්‍රහය තුළ ඉතා විද්‍යාත්මකව සංවිධිත සමාලෝචනයක් ඉදිරිපත් කරනු ලබයි. මෙය බටහිර විද්‍යාඥයන් හටද ඉමහත් සේ ප්‍රයෝජනවත් විය හැක. ආරාම තුළ, විද්‍යා අධ්‍යාපනය ආයතනගත කර ඇති අතර භික්ෂු, භික්ෂුණීන්ගේ විෂය මාලාවට එ් අනුව එක්කර ඇත. විද්‍යාව පිළිබඳ විවිධ පාඨ ග්‍රන්ථ ඉංග්‍රීසියෙන් තිබ්බත බසට පරිවර්තනය කර ඇත. මෙයාකාරයෙන් ප්‍රධාන ලෝක ආගමක නායකයා වශයෙන් ඔහු නොඇදහිය හැකි තරම් විවෘත මනසකින් යුත් අයෙකු වේ.

වෙනත් ආගම් කරා විහිදීම

දලයි ලාමා වහන්සේට ඉස්ලාම් ලෝකය කරා විහිදීමේ හෙවත් ප්‍රවේශයක් ලබාගැනීමේ උවමනාවක් ඇති අතර, එ් අනුව මාගේ බෞද්ධ ලේඛනාරක්ෂණයන් තුළ මූලික බෞද්ධ දේශනාවන් හා මූලික මනුෂ්‍ය වටිනාකම්, ආචාර ධර්ම ආදිය පිළිබඳ පොදු පණිවිඩයද අරාබි හා සෙසු ප්‍රධාන ඉස්ලාම් භාෂාවනට පරිවර්තනය කර තබන ලෙස මා උනන්දු කරවයි. එ් අනුව මෙම කාර්යය මේවන විට සිදු කෙරෙමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ, ඉස්ලාම් දහම බොහෝ සෙයින් යක්ෂාරෝපිත ස්වරූපයෙන් පෙන්වා දී ඇති අතර, එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එය තර්ජනයක් සේ සලකා ඉවත් කිරීමට වඩා ලෝකය තුළට ඇතුළත් කිරීම ඉතා වැදගත් වේ. ඔවුන් අපගේ ආගමට හැරවීම හෝ වෙනයම් එවැනි අදහසක් සහිතව නොව, හුදෙක් ඔවුනටද අප සමගින් සිදුකළ හැකි පරිදි මූලික තොරතුරු බෙදා හදා ගැනීමේ අදහසින් බෞද්ධ ඇදහිලි විශ්වාසයන් පිළිබඳ පැහැදිලි විශ්ලේෂණයන් ඔවුන් වෙත ලබාදීමද අප විසින් සිදුකළ යුතුවේ. නැවතද ප්‍රකාශ කළ යුත්තේ වැටහීම හා මිත්‍රත්වය ගොඩනැගීමේ මාර්ගය අධ්‍යාපනය වන බවයි.

බුදු දහම තුළමද තිබ්බතය, චීනය, ජපානය ආදී රටවල පිළිවෙත ලෙස මහායාන සම්ප්‍රදායද, ගිණිකොනදිග ආසියාවේ පිළිවෙත ලෙස ථේරවාද සම්ප්‍රදායද පවතී. අවාසනාවකට, මෙන්ම බොහෝ දෙනාගේ විමතියටද කරුණක් වන ලෙස, මෙම දෙපාර්ශ්වය අතර පවා එකිනෙක සම්ප්‍රදාය පිළිබඳ පවත්නේ සුළු දැනුවත්භාවයකි. මේ පිළිබඳ ඉතා දීර්ඝ සන්සන්දනයක් සිදු කරන ලෙස ඔහු විසින් ඇමරිකානු බෞද්ධ භික්ෂුණියක මෙහෙවරෙහි යොදවා අවශ්‍ය අනුග්‍රහය ලබාදී ඇත. මෙම පිළිවෙත් දෙක සම්බන්ධයෙන් ගත්කල, මහායාන සංස්කරණය හා ථේරවාද සංස්කරණය යනු කවරක්ද? මෙම වැදගත් දැනුම බෙදාහදා ගනු පිණිස මෙකරුණ ගිණිකොනදිග ආසියානු භාෂාවනට පරිවර්තනය කෙරෙනු ඇත.

කාන්තාවන් සසුන්ගත කිරීම හා උපසම්පදාව

තිබ්බතයේ පූර්ණ උපසම්පදාව ලත් භික්ෂූන් ඇති අතර, භික්ෂුණීන් වහන්සේලා සඳහා වූ භික්ෂුත්ව පෙළපත ඉන්දියාවේ හිමාලයෙන් මෙපිටට පැමිණීමට අසමත් විය. මෙය භූගෝලීය සාධක ප්‍රධාන කොටගත් විවිධ හේතු කාරණා මත සිදුවූවකි. පුරාණ කාලයේ ඉන්දියානු භික්ෂුණීන් කණ්ඩායමක් පා ගමණින් තිබ්බතය කරා ගමන් කිරීම අති දුෂ්කර කාර්යයක් විය. මේ අනුව මෙම පෙළපත මෙරටට ගෙන එ්ම සඳහා පූර්ණ උපසම්පදාව ලත් භික්ෂුණීන් දස දෙනෙකුගේ කණ්ඩායමක් අවශ්‍ය වූ බැවින් එය ඛන්ඩනය විය.

තිබ්බතීය සම්ප්‍රදාය තුළ පූර්ණ උපසම්පදාව ලැබීමට කැමැත්තක් දක්වන කාන්තාවන් හට එය කළ හැකිවන පරිදි මෙම පෙළපත නැවත ඇරඹිය හැකි ආකාරයන් විමසා බැලීමේ අධ්‍යයන හා ව්‍යාපෘති වෙනුවෙන් දලයි ලාමා වහන්සේ විසින් අනුග්‍රහය දක්වනු ලබයි.

මම හුදෙක් සරල භික්ෂුවක් පමණක් වෙමි

දලයි ලාමා වහන්සේගේ වඩාත් සිත් ගන්නා සුළු ගුණයක් වනුයේ කිසිදු මවාපෑමකින් හෝ ගර්වයකින් තොරව මුළුමනින්ම පොළවේ පයගසා සිටින්නෙකු වීමයි. තමා හුදෙක් සරල භික්ෂුවක හා අන් සියලු දෙනා මෙන්ම හුදෙක් සාමාන්‍ය මනුෂ්‍යයෙකු පමණක් වන බව ඔහු නිතරම පවසයි. ඔහු ප්‍රකාශ කරනුයේ "මා හට යමෙකු මුණ ගැසෙන ඕනෑම අවස්ථාවක, ඔහු තවත් මනුෂ්‍යයෙකු ලෙස පමණක් සලකමි. අප අතර සිදුවන සන්නිවේදනය මනුෂ්‍යයන් දෙදෙනෙකු අතර සිදුවන සන්නිවේදනයක් විනා දලයි ලාමා සහ සාමාන්‍ය පුද්ගලයෙකු අතර සිදුවන සන්නිවේදනයක් නොවේ. තිබ්බතීයයෙකු හා විදේශිකයෙකු අතර සිදුවන සන්නිවේදනයක්ද නොවේ. මෙකී ද්විතීයික වෙනස්කම් පවත්වාගත යුතු නොවන අතර, මූලික මට්ටමේදී අපි සියලු දෙනා මනුෂ්‍යයෝ වෙමු" යනුවෙනි.

ඔහු යම් ආකාරයක දෙවියෙකු, රජෙකු හෝ විශේෂ බලයන් සහිත අයෙකු ලෙස ජනතාව තුළ පැවතිය හැකි යම් මනඃකල්පිතයන් වේනම් එ්වා වහා බැහැර කරලීමට ඔහුට අවශ්‍ය වේ. මිනිසුන් දස දහස් ගණනින් රැස්වන අති විශාල ශ්‍රාවක පිරිසක් ඉදිරිපිටට පැමිණෙන විටදී, ඔහු මුළුමනින්ම ඉහිල් හා හුරු පුරුදු ස්වභාවයෙන් පසු වේ. සිරුර කසන්නේ නම් හුදෙක් ඕනෑම සාමාන්‍ය මනුෂ්‍යයෙකු විසින් සිදු කරන්නාක් මෙන් ඔහු සිය සිරුර කසයි. ඔහු කිසි ලෙසකිනුදු ආත්මාභිමානයකින් පසු නොවන අතර කිසිවෙකු ඉදිරිපිට හෝ රංගනයක නිරත වීමටද අදහස් නොකරන්නෙකි. යම් රටක ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය වන්නේ නම් හා එ් මොහොතේදී පයලා සිටින්නේ හුදෙක් රබර් සෙරෙප්පු දෙකක් නම්, එම අවස්ථාවට ඔහු පළඳින පාවහන් වනුයේද එ්වාමය. ඔහුට කිසිවෙකු හෝ ඉදිරියේ මවාපෑමක් හෝ තමාගේ වැදගත්කම පෙන්වීමක් සිදුකිරීමට අවශ්‍යතාවයක් නොමැති අතර, එවැනි උත්සාහයකද නොනියැළේ.

හාස්‍යය

අන්‍යයන් ඇද බැඳ ගන්නා පරිදි යම් කරුණක් හාස්‍ය රසය මුසුවන ලෙස පැවසීමට දලයි ලාමා වහන්සේ තුළ පවත්නේ විශ්මයජනක හැකියාවකි. වරෙක ඔහු දේශනාවක් පැවැත්වූ අතර, ඔහු හිඳ සිටි අසුන ඉඳගැනීමට ඉතා අපහසු ඇඳි පුටුවක් විය. අවසානයේදී, ඔහු සංවිධායක මණ්ඩලයට මෙන්ම ශ්‍රාවක පිරිසටද පැවසූයේ, සියලු වැඩ කටයුතු අති විශිෂ්ට ලෙස සංවිධානය කර තිබුණද, ආසනය ඉඳගැනීමට ඉතා අපහසු එකක් බැවින් ඊළඟ අවස්ථාවේදී කරුණාකර වඩා හොඳ තත්ත්වයේ අසුනක් පනවන ලෙසයි. ඔහු එකරුණ කෙතරම් සැහැල්ලු හා ආදරණීය ආකාරයකින් පැවසූයේද යත්, කිසිවෙකුට හෝ ඉන් සිත් රිදීමක් ඇති නොවූ අතර සියලු දෙනා සිනහ සෙන්නට විය. එයාකාරයෙන්ම පුද්ගලයන් හට දෝෂාරෝපණය කිරීමේ හැකියාවක්ද ඔහු සතුය.

වක්ලෝ හවල් හමුවීම

චෙක් ජනරජය චෙකෝස්ලෝවැකියාව ලෙස පැවති සමයේ එහි පළමු ජනාධිපති වක්ලෝ හවල් මහතා දලයි ලාමා වහන්සේට ආරාධනා කළ අවස්ථාවේ මමද උන් වහන්සේ සමගින් සිටියෙමි. එම ආරාධනය ලද පළමුවැන්නා රොක් තරුවක් වූ ෆ්‍රෑන්ක් ෂපා වූ අතර දෙවැන්නා දලයි ලාමා වහන්සේ විය. "අපට අත්දැකීම් නෑ, ආණ්ඩුවක් කරගෙන යන විදිහ ගැන අදහසක් නෑ. අපි හැමදෙනාම ආතතියෙන් නින්දක් පවා නැතිවයි ඉන්නේ. කරුණාකර අපට සන්සුන් වෙන විදිහ කියා දෙන්න පුළුවන්ද? එසේ නොවුණොත් අලුත් රටක රජයක් පවත්වාගෙන යන්න අපට කිසිදාක නොහැකි වේවි."යි පැවසූ හවල් මහතා ඔහුට හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට භාවනා කරන අයුරු දලයි ලාමා වහන්සේ මගින් ඉගෙන ගැනීමට අවශ්‍ය බව පැවසීය.

වක්ලෝ හවල් බොහෝ සෙයින් ප්‍රායෝගික පුද්ගලයෙකු වූ අතර, දලයි ලාමා වහන්සේට හා සියලු අමාත්‍යවරුන් හට ප්‍රේග් නගරයෙන් පිට පැවති විශාල මන්දිරයක් වූ සමර් පැලස් වෙත ආරාධනා කරන ලදී. ඔහුද සැබැවින්ම එහි කිසිදින ගොස් නොතිබි අතර, එය අතිවිශාල ගොඩනැගිල්ලක් වූ බැවින් එහි බිත්ති අතර ඇවිදිමින් සියලු දෙනා අතරමං වූ තත්ත්වයක විය. "මේක තමයි කොමියුනිස්ට් නායකයන්ගේ ගණිකා මඩම"යි ඔහු දලයි ලාමා වහන්සේ වෙත ගණනකට නොගෙන පැවසීය. එය දලයි ලාමා වහන්සේ ආමන්ත්‍රණය කිරීමට සුදුසු සාමාන්‍ය භාෂාව නොවුවද, ඔහු එවැනි ප්‍රායෝගික පුද්ගලයෙකු විය. ඉන්පසු, දලයි ලාමා වහන්සේද ඇතුළුව සියලු දෙනා එහි වූ විශාල කාමර අතරින් එකක ඉඳ ගත්හ. හවල් හා ඔහුගේ සියලු අමාත්‍යවරුන්ද ක්‍රීඩා ඇඳුම් ඇඳ සිටි අතර, දලයි ලාමා වහන්සේ විසින් සන්සුන් වීමේ මූලික ශ්වසන හා ශක්ති භාවනාවන් ඔවුන් වෙත උගන්වන ලදී.

සාමාන්‍යයෙන් දලයි ලාමා වහන්සේ දැඩිසේ භික්ෂු ශික්ෂාවන් අනුගමනය කරන්නෙක් බැවින් රාත්‍රී ආහාරය නොගනී. එනමුත්, ඔහු නම්‍යශීලී අයෙකු වන අතර, ජනාධිපති හවල් මහතා විසින් මාළිගයෙහි රාත්‍රී භෝජනය සකසා තිබිණි. එහි පැවති සාකච්ඡාව ඉංග්‍රීසි භාෂාවෙන් වූ අතර, කැපී පෙනෙන සිදුවීම වූයේ නොකඩවා දුම් බොන්නට වූ හවල් මහතා හට දලයි ලාමා වහන්සේ විසින් දෝෂාරෝපණය කළ ආකාරයයි. ඔහු දලයි ලාමා වහන්සේට යාබදවම සිටිමින් දුම් බොන්නට වූ අතර, එය කිසිසේත් නොකළ යුතු දෙයකි. ඔහු රටක ජනපතිවරයා වුවද, "ඔබ දුම් බොනවා වැඩියි. ඕකෙන් ඔබ රෝගීවී පිළිකා වැළඳෙන්න පවා පුළුවන්. එනිසා ඔබ මෙය නැවැත්විය යුතුයි" යනුවෙන් ඉතා සුව පහසු වදනින් දලයි ලාමා වහන්සේ විසින් උපදෙස් දෙන ලදී. මෙය දලයි ලාමා වහන්සේගේ සැබෑ කාරුණිකත්වය පෙන්වන අවස්ථාවක් විය. පසු කලෙක සැබැවින්ම හවල් හට පෙනහළු පිළිකාවක් වැළඳිණි. දලයි ලාමා වහන්සේගේ ප්‍රධාන සැලකිල්ල වූයේ අනෙක් පුද්ගලයාගේ යහපත විනා ඔවුන් තමා පිළිබඳ කවරාකාරයෙන් සිතනු ඇත්තේද යන කරුණ නොවන්නේය යන්න දැක්වීමට මෙය තවත් එක් නිදසුනක් පමණි.

බුද්ධිය හා මතකය

දලයි ලාමා වහන්සේ මා හට හමුවූ සියලු පුද්ගලයන් අතර වඩාත් බුද්ධිමත් පුද්ගලයාය. ඔහුගේ මතකය ඡායාරූපයක් මෙනි. දේශනා පවත්වන විටදී සියලු සම්ප්‍රදායන් තුළ ඕනෑම අයෙකු විසින් දේශනා කරන ලද බෞද්ධ දේශනාවන් පිළිබඳ ප්‍රවීණත්වයක් ඔහු තුළ විය. ඔහුට ඕනෑම ග්‍රන්ථයකින් කරුණු උපුටා දැක්විය හැක. සිය පුහුණුව තුළ තිබ්බතීයයෝ පිටු 1000ක් වැනි ප්‍රමාණයක් විවිධ ප්‍රධාන කෘතීන්ගෙන් සිය මතකයේ තබාගන්නා නමුත් නොඇදහිය හැකි දෙය නම් දලයි ලාමා වහන්සේ විසින් සියලු අටුවාවන් මතකයේ රඳවාගෙන තිබීමයි. දේශනා පවත්වන විටදී, ඔහු එක් කෘතියකින් එක් කුඩා ඡේදයක්ද, තවත් කෘතියකින් තවත් පාඨයක්ද වශයෙන් ගෙනහැර දක්වන අතර එය ඉතා දුෂ්කර කර්තව්‍යයකි. ඔහුගේ මතකය මෙපරිදිය. එය පෘථුල බුද්ධිය පිළිබඳ සළකුණකි. ඔබට දේවල් එකට තබා එ්වා ගැලපෙන ආකාරය හා එ්වාහි රටාව දැකිය හැක. e=mc2 වැනි සූත්‍ර අයින්සිටයින් වැනි පුද්ගලයන් විසින් ගණනය කළේ කෙසේද? එය සිදුකරන ලද්දේ සියලු ආකාර දේ එක්ව තබා රටාවක් නිමැවීමෙනි. තිබ්බතීය ග්‍රන්ථ පිළිබඳ පවත්නා සිය පෘථුල දැනුම උපයෝගයෙන් මෙම කර්තව්‍යය සිදු කිරීමේ හැකියාවක් දලයි ලාමා වහන්සේ සතුවේ.

ඔහුගේ ඡායාරූපමය මතකය හුදෙක් ග්‍රන්ථ සම්බන්ධව පමණක් වූවක්ද නොව, බොහෝ අවස්ථාවන්හි මා ඉදිරිපිටදීම එළි දක්වන ලද පරිදි පුද්ගලයන් සම්බන්ධයෙන්ද වූවක් වේ. තිබ්බතයෙන් පැමිණි ඉතා මහළු හිමි නමක් ධර්මශාලාවට වැඩි අවස්ථාවේ උන් වහන්සේ දුටු දලයි ලාමා වහන්සේ "මට ඔබ වහන්සේ මතකයි. අවුරුදු තිහකට කලින් ඉන්දියාවට එන අතරමග ඔබ වහන්සේගේ ආරාමයේ නැවතුණා. එදා මොකක්ද උත්සවයකුත් තිබුණා. පූජාවන් සහිත පිඟානක් ඔසවාගෙන සිටින්න ඔබ වහන්සේට සිදුවුණා. මට මතකයි එ් පිඟාන හරිම බර නිසා මුළු උත්සවය අවසන් වන තෙක් එ්ක ඔසවාගෙන සිටීම ඔබ වහන්සේට හරිම දුෂ්කර කාර්යයක් වුණා. ඔබට මතකද?"යි විමසීය. එය විශ්වාස කළ නොහැකි තරම් මතකයකි. මාගේ ගුරුවරයා වූ සර්කොං රින්පෝෂේ දලයි ලාමා වහන්සේගේ ප්‍රධාන ගුරුවරුන් අතරින් එක් අයෙකු වූ අතර, ඔහු පැවසූ පරිදි ඔහුට ළමා කාලයේදී යම් කරුණක් ඉගැන්විය යුතු වූයේ එක් වරක් පමණි. එය වහා වටහාගෙන සිහි තබාගන්නා ලදී.

සාර්ථකත්වයන්

මේ අපගේ කාලයේ අතිශයින්ම සුවිශේෂී වූ පුද්ගලයෙකු වන අතර, එහි ඇති අදාළත්වය කවරක්ද? එය නම් මෙයයි: මනුෂ්‍යයෙකු ලෙස සාක්ෂාත් කරගත හැකි දේ විමසා බලන්න. තමාගේ සංවර්ධනය සඳහා ඉමහත් උත්සාහයක් දැරීමට සිදුවන බව ඔහු පවසන අතර, එය අප සියලු දෙනාටද සිදුකළ හැක්කකි. ඔහු ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය විමසා බලන්න. ලෝකයේ බිලියනයකට වැඩි ජනතාවක් විසින් අංක එකේ පොදු සතුරා ලෙස සලකන ආකාරය සිතා බලන්න. එනමුත් එය සත්‍ය නොවන බව දන්නා දලයි ලාමා වහන්සේ මේ පිළිබඳව සිදු කරනුයේ හුදෙක් සිනහසීම පමණි. ඔහුට සිය හිස මත අං පිහිටා නොමැත. එනමුත්, භික්ෂු චීවරධාරීව සිටින රාක්ෂයෙකු ලෙස ලේබල්ගතවීමේ තත්ත්වයක් කළමනාකරණය කරගන්නේ කෙසේද?

ඔහු කිසිදින මානසික අවපීඩනයට පත් නොවේ. තමා විසින් එවැන්නක් කිසිදින අත්විඳ නොමැති බව පවසා ඇති ඔහු, එය වටහා ගැනීමද දුෂ්කර කරුණක් වන බව පවසයි. මිනිසුන් තුළ අඩු ආත්ම ඇගයීමක් හෝ ආත්ම වෛරයක් පවා පවත්නේය යන කරුණ තමා කිසිදින අසා හෝ සිතා හෝ නොමැති කරුණක් බව ඔහු විසින් පිළිගත් අවස්ථාවක් මා හට සිහිපත් වේ. එය ඔහු විසින් පෞද්ගලිකව කිසි දින අත්විඳ හෝ ඔහුට කිසිදින හමුවී හෝ ඇති තත්ත්වයක් නොවේ.

සුභවාදී ආකල්පයක සිටින ඔහු එ් හා සමාන්තරවම පවත්නා තත්ත්වයනටද මුහුණ දේ. අප වර්තමානයේ මුහුණ දෙන තත්ත්වයන් සම්බන්ධයෙන් ඔහු පවසන්නේ "ලෝකයේ ගැටළු නිර්මාණය කර ඇත්තේ මනුෂ්‍යයා විසින් වන අතර, එ්වා මුළිනුපුටා දැමිය හැක්කේද මනුෂ්‍යයාටම පමණක්" බවයි. මූලික මිනිස් වටිනාකම් ප්‍රවර්ධනය කිරීමෙන්, ළමා අධ්‍යාපනය තුළට ආචාර ධර්ම විෂයය ගෙන එ්මෙන්, හා විවිධ සංස්කෘතීන් හා ආගම් අතර ආගමික සාමුහිකත්වයක් ඇති කිරීමට උත්සාහ කිරීමෙන් ඔහු විසින් එ්වා මුළිනුපුටා දැමීම සඳහා දායකත්වයක් ලබා දීමට උත්සාහ ගනිමින් සිටී. පූර්ණ නිහතමානිත්වයක් හා ප්‍රායෝගික ආකල්පයක් පවත්වා ගන්නා අතර, ඔහු සැබැවින්ම සමස්ත‌ ලෝකයේම සුවසෙත පිණිස සක්‍රීය කාර්ය භාරයක නියැළී සිටී. මෙයයි සිත් ගන්නා සුළු කාරණය. එයටද වැඩියෙන් අවධානයට ලක්වන කරුණ නම්, ඔහුගේ හාස්‍ය රසය හා විශ්වාස කළ නොහැකි තරම් වූ ශක්තියයි.

විවේක ගන්නා ලෙසත් ඔතරම් සංචාරයන්හි නිරත නොවන ලෙසත් ඔහුගේ ලේකම්වරුන් හා උපදේශකවරුන් විසින් නිරතුරු ඔහුට පවසනු ලබයි. සංචාරය කරන අවස්ථාවන්හි දිනකට රැස්වීම් දුසිම් ගණනින් වන පරිදි සෑම විනාඩියක්ම රැස්වීම්වලින් පිරී පවතින අතර, සෑම දිනකම පාහේ ගුවන් යානා සංචාරයන්ද වේ. එනමුත් ඔහුගේ නිරන්තර පිළිතුර වනුයේ "නෑ. මේවා කරන්න පුළුවන් ශක්තිය තියෙන කාලෙ මේ වගේ ගමන් කරන්නම්. මොකද, එ්කෙන් අනිත් අයට ප්‍රයෝජනයක් තියෙනවා" යන්නයි.

මෙහි පවත්නා අදාළත්වය වනුයේ ඔහු අප තුළ අපේක්ෂාවන් දැල්වීමයි. ඉතා අවංක අයෙකු වන ඔහු බොහෝ වෙහෙස වී කටයුතු කරයි. මනුෂ්‍ය වර්ගයාගේ වැඩි දියුණුව පිළිබඳ කථා කරන විටදී, ඔහු කථා කරනුයේ මුළුමනින්ම යථාර්ථවාදී හා සාක්ෂාත් කරගත හැකි ආකාරයන්ගෙනි: අධ්‍යාපනය, අන්‍යෝන්‍ය වැටහීම, ආචාර ධර්ම ඈ වශයෙනි. මේවා ආශ්චර්යමත් විධික්‍රම නොවේ; අපට සැබැවින්ම කළ හැකි දේය. ඔහු ඔබගේ රටට හෝ නගරයට පැමිණෙන විටදී, පරම පූජනීය දලයි ලාමා වහන්සේ පිළිබඳ අත්දැකීමක් පෞද්ගලිකවම ලබාගැනීමේ අවස්ථාවක් උදාකර ගැනීම සැබැවින්ම බොහෝ සෙයින් අපූර්ව හා වටිනා එකක් වේ.

ප්‍රශ්න හා පිළිතුරු

දලයි ලාමා වහන්සේ විසින් ඔහුගේ සියලු ආධ්‍යාත්මික රාජකාරි මෙන්ම සරණාගතයන්ගේ ජීවිත සංවිධානය කිරීම වැනි ප්‍රායෝගික දේවල්ද සම්බන්ධ කිරීම් කළමනාකරණය කරගන්නේ කෙසේද?

ඔහු බොහෝ අධ්‍යයන කටයුතුවල හා බොහෝ භාවනා පිළිවෙත්වල නිරත වනවා පමණක් නොව විප්‍රවාසී තිබ්බතීය සමාජය සඳහා වූ මධ්‍යම තිබ්බතීය පරිපාලනයේ ප්‍රධානියාද විය. ධෛර්ය සම්පන්නව හා බුද්ධිමත්ව, ඉමහත් පෙර දැක්මක් සහිතව, ඔහු එම තනතුර අත්හැරි අතර, සික්යොං ලෙස හඳුන්වන ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරගත් ප්‍රධානියෙකු පත් කරන ලදී. එනමුත්, එයට බොහෝ වසර ගණනාවකට පෙර, ඔහු එහි භාරකාරත්වය දැරූ අතර, සරණාගතයන් පදිංචි කිරීමේ සියලු ප්‍රයත්නයන් අධීක්ෂණය හා සංවිධානය, විප්‍රවාසීව සිටිමින් විවිධ ආයතන නැවත ආරම්භ කිරීම ආදියද සිදු කරන ලදී. ඔහුගේ ප්‍රධාන ක්‍රමෝපාය වනුයේ "අයියෝ, මේක බර වැඩියිනෙ, මට මේක කරන්න බෑ" ලෙස නොසිතා ඉතා යථාර්ථවාදී වෙමින් ඉතා සංවිධිත ආකාරයකින් කටයුතු කිරීමයි. ඔහුගේ අසිරිමත් බුද්ධිය හා සිහිය සමගින්, ඔහුට තමා යටතේ පවත්නා විවිධාකාර සියලු ව්‍යාපෘති එකිනෙක වෙත යොමුවිය හැකි අතර, කටයුතු පවරන ආකාරයද දැන සිටියේය. අවශ්‍ය කවරක්ද, එය ඔහු විසින් සිදු කරයි; එය ඔහුට වදයක් හෝ කරදරයක් නොවේ.

සුවිශාල හා විවිධ දේවල් ගණනාවක් සිදු කිරීමට පුහුණු වීමේදී කාලචක්‍ර ක්‍රමය ඉතා වැදගත් වන ආකාරය පිළිබඳ මම නිරතුරු අඩ-විහිළු කතා කියමි. කාලචක්‍ර මණ්ඩලය තුළ රූප 722ක් මවාගත යුතු අතර, එය සිදු කළ හැකි ඉතා සුළුතරයක් වූ අය අතරින් ඔහු එක් අයෙකු විය හැක. එවන් සුවිශාල හා සංකීර්ණ ආකාරයකින් මෙම පිළිවෙත් ක්‍රමය හරහා තමා පිළිබඳවම සිතන තත්ත්වයක, අලුත් කටයුත්තක් හෝ ගැටලුවක් ඉස්මතුවන විටදී, එය තවත් සුළු කරුණක් පමණක් වේ. එහිදී ඔබ කිසිවකට හෝ බිය නොවේ. කිසිවකින් හෝ කලබලයට පත් නොවේ.

ජීවිතය සංකීර්ණ එකක් වන අතර, ඇතැමුන්ගේ ජීවිත අන් අයගේ ජීවිතවලට වඩා සංකීර්ණ වේ. එනමුත්, ඉන් බියට පත්වනු වෙනුවට, එම තත්ත්වය පිළිගත නොහැකිද? එසේ කළ හැකිනම් වඩාත් යහපත්ය. එය භාෂා 21කින් ක්‍රියාත්මක මාගේ වෙබ් අඩවිය මෙනි. එය කරදරයක් නොවන අතර, කළමනාකරණය කළ හැක්කකි. අවශ්‍ය නම් තවත් එක්කළ හැක. දලයි ලාමා වහන්සේ විසින් සිදුකරන කාර්යයන් හා සසඳන කල මෙය කුඩා ව්‍යාපෘතියකි. එනමුත්, කළ හැකියාවන් එමගින් පෙන්නුම් කරයි. මැසිවිලි හෝ "අනේ අසරණ මා" වැනි සිතිවිලි එහි නොමැත. මාගේ මව පවසන පරිදි "ඉහළට, පහළට යන්න" හුදෙක් කාර්යය සිදු කරන්න.

දලයි ලාමා වහන්සේ විසින්ම ඔහු සරල මනුෂ්‍යයෙකු බව අවධාරණය කරන තැනෙක උන් වහන්සේ හඳුන්වන්නට පරම පූජනීය යන නාමයක් යොදන්නේ මන්ද?

හොඳයි. දලයි ලාමා වහන්සේ තමාටම පරම පූජනීය කියාගන්නේ නැහැ. එ්ක ආරම්භ වුණු විදිහ මම දන්නේ නෑ: සමහර විට එය යම් ක්‍රිස්තියානි නාමයකින් ගෙන ඉංග්‍රීසියෙන් ඇලවූ දෙයක් විය හැකියි. රජ කෙනෙකුට "ස්වාමීනි" කියන්නාක් මෙන් ගෞරවාර්ථ පදයක් ලෙස මිනිසුන් විසින් එය පාවිච්චි කරනවා. ආධ්‍යාත්මික ගුරුවරයෙකු හඳුන්වන්නට යොදන බොහෝ ගෞරව යෙදුම් තිබ්බත භාෂාවේ තිබෙන අතර දලයි ලාමා වහන්සේ වෙනුවෙන් වෙන්කළ විශේෂ යෙදුම්ද තිබෙන නමුත්, එ් කිසිවක් "පරම පූජනීය" ලෙස පරිවර්තනය වන්නේ නෑ. එය ජනතාව විසින් යොදන්නට ගත් සරල සම්මුතියක් විය හැකි අතර ජනතාවට දලයි ලාමා වහන්සේව එසේ ඇමතීම නොකරන්නැයි කියන්නට බැහැ. එනමුත් සත්‍ය වශයෙන්ම ඔහුට කිසි විටෙක හෝ දෙවි කෙනෙකුට මෙන් ජනතාව ලවා වන්දනාමාන කරගන්නට උවමනා නැහැ.

ඔබ තිබ්බත බස දන්නා බැවින්, වඩාත් සුදුසු ඉංග්‍රීසි වචනයක් ඔබට යෝජනා කරන්නට නොහැකිද?

ඔහු හැඳින්වීමට යෙදෙන ප්‍රධාන නාමය "කුන්ඩුන්" හෙවත් "මා ඉදිරියේ සිටින ශ්‍රේෂ්ඨ උත්තමයා" යන අරුත දෙන වදනයි. එය වෙනත් භාෂාවනට පරිවර්තනය කිරීම දුෂ්කර නමුත් ඉන් අදහස් වන්නේ ඔහු අතිශයින් ඉහළ සංවර්ධනයක් සහිත සත්ත්වයන් සතු සියලු යහගුණයන්හි ප්‍රතිරූපයක් හා නියෝජනයක් වන බවයි. සැබෑ වූ ඉහළ අවබෝධයක් සහිත අයෙකු ඔබ ඉදිරියේ සිටී. සත්‍ය වශයෙන්ම මෙම යෙදුම හඳුන්වා දීමට මම උත්සාහ කළත් කිසිවෙකු හෝ එයට ඇල්මක් දැක්වුයේ නැහැ.

සාරාංශය

ඇතැම්හූ ඔහු සිය ආධ්‍යාත්මික නායකයා ලෙස සලකන අතර තවත් අය ඔහු සුපිරි තරුවක් සේ දකිති. ඔහු "බැටලු හමක් පොරවාගත් වෘකයෙකු" සේ දකින අයද සිටිති. යථාර්ථය වනුයේ සිය ලෞකික ආචාර ධර්ම හා ආගමික සමගිය ප්‍රවර්ධනය සඳහා වූ කාර්යයන් මගින් දලයි ලාමා වහන්සේ වෙහෙස නොබලා අන්‍යයන්ගේ යහපත හා ලෝක සාමය උදෙසා කටයුතු කරන්නේය යන්නයි. ප්‍රේමයේ, කරුණාවේ හා ප්‍රඥාවේ ප්‍රතිමූර්තියක් වශයෙන් මනුෂ්‍යයන් වන අපට සාක්ෂාත් කරගත හැකි දේ කව‌රේද යන්න දක්වමින් ඔහු අප වෙත යම් අනුප්‍රාණයක් ලබාදීමට කටයුතු කරන්නෙකි.

Top