වෙනත් ආගම් පිළිබඳ බෞද්ධ අදහස

මෙම ග්‍රහලෝකය තුළ බිලියන ගණන් මිනිසුන් වාසය කරන්නාක් මෙන්ම බිලියන ගණනින් වූ චරිත ස්වභාවයන් හා අභිරුචීන්ද පවතී. බෞද්ධ මානයකින් බලන කල, විවිධ පුද්ගලයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවයනට යෝග්‍ය වනු පිණිස විවිධාකාර වූ ආගම්ද අවශ්‍ය වේ. සියලු ආගම් මිනිස් වර්ගයාගේ යහපත තකා කටයුතු කිරීමේ අරමුණ නමැති පොදු අරමුණින් ක්‍රියාත්මක වන්නේය යන්න බුදු දහම තුළ හඳුනා ගනී. මෙකී පොදු පදනමින්, අන්‍යෝන්‍ය සහයෝගිතාවයෙන් හා ගෞරවයෙන් යුතුව එකිනෙකා වෙතින් කරුණු ඉගෙනීම සඳහා අදහස් හුවමාරු කරගැනීමේ වැඩසටහන් බෞද්ධයන් හා ක්‍රිස්තියානින් විසින් ආරම්භ කොට ඇත.

සියලු දෙනා තුළම එක හා සමාන නැඹුරුතාවයන් හා අභිරුචීන් නොපවත්නා බැවින් බුදුන් වහන්සේ විසින් විවිධ පුද්ගලයන් හට යෝග්‍ය වන පරිදි විවිධාකාර විධික්‍රම ගණනාවක් දේශනා කරන ලදී. මෙකරුණ සිත්හි තබා ගනිමින්, ලොව එතරම් විවිධ ආගම් සංඛ්‍යාවක් පැවතීම ආශ්චර්යයක් බව පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් ප්‍රකාශ කර ඇත. එක් ආහාරයක් සියලු දෙනාටම රුචි නොවන්නා සේම, එක් ආගමක් හෝ ලබ්ධීන් කිහිපයක් මගින් සියලු දෙනාගේ අවශ්‍යතා තෘප්ත කළ නොහැක. විවිධ ආගම් ගණනාවක් පවත්නේය යන කරුණ ඉතා ප්‍රයෝජනවත් එකක් වන අතරම සාදරයෙන් පිළිගත යුතු හා සතුටු විය යුතු කරුණක්ද වේ.

Top