ආතතිය අත්හැර දැමීමට උපකාරී වීම සඳහා වූ බෞද්ධ විග්‍රහය

අත්හැර දැමීම යන සංකල්පය මේ මොස්කව් නගරය වැනි විශාල නගරයක ජීවත්වීමේදී ඇතිවන ආතතිමය තත්ත්වය තුළ වටහාගත හැක්කේ කවරාකාරවද යන්න විශේෂ කොටගෙන, අපගේ ගැටලුවලින් නිදහස් වීමේ අදිටනක් අදහස් කෙරෙන එම සංකල්පය පිළිබඳ මෙම සන්ධ්‍යාවේ කථා කිරීමට මා හට ආරාධනා කෙරී ඇත. එනමුත්, එම මාතෘකාව විග්‍රහ කිරීමට පටන් ගන්නා විටදී, වර්තමාන ලෝකය තුළ අප විසින් අත්විඳිනු ලබන බොහෝ ගැටලු හුදෙක් විශාල නගරයක ජීවත්වීම යන කරුණට පමණක් සීමාවී නොමැති බව ඔබට වැටහෙනු ඇත.

ආතති මූලයක් වශයෙන් අධි-උත්තේජනය

සැබැවින්ම විශාල නගරයක පරිසර දූෂණය, මාර්ග තදබදය ආදී ගැටලුද පවතින අතර, මේවා ගමක නොපවත්නා ගැටලු වන නමුත් අපගේ ආතතිමය තත්ත්වයට බලපාන්නාවූ එකම හේතු මේවා නොවේ. වඩාත් ගැඹුරින් කරුණු සලකා බැලීමේදී අප ජීවත්වන ප්‍රදේශය කවරක් වුවද වර්තමාන ලෝකයේ ජනතාව අතරින් බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලු අපට හමුවන අතර එය අප සතුව පවත්නා බොහෝ දේවල්, බොහෝ තේරීම්, තොරතුරු, රූපවාහිනී සේවාවන්, සිනමා පට හා නිෂ්පාදනයන් පැවතීම හේතුකොට ඇතිවන්නක්ය යන්න මාගේ අදහසයි. බොහෝ පුද්ගලයෝ ජංගම දුරකථන පාවිච්චි කරන අතර, ඔබ වෙත පැමිණෙන විද්‍යුත් තැපැල් පණිවිඩ, නිරන්තරයෙන් ලැබෙන පණිවිඩ, අදහස් හුවමාරු ආදී දේවල් පවත්නා අතර, මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කළ යුතුය යන වගකීම් සහගත හැඟීමෙන් ඉස්මතුවන ආතතියක් පවතී. මක් නිසාද, අප විසින් කඩිනම් පිළිතුරු ලබාදෙනු ඇතැයි අන් අය අපේක්ෂා කරන බැවින් අපට එම විමසුම්වලට වහා පිළිතුරු සැපයීමට සිදුවන බැවිනි. සම්බන්ධතා පවත්වාගෙන යාමේ වැදගත්කමක් ඇති ස්ථානයන්හි අන් අය සමගින් සම්බන්ධතා පවත්වාගෙන යාමේ යම් ප්‍රයෝජනයන් පවත්නා නමුත්, ඇතැම් විට එය පමණ ඉක්මවන්නක් වේ. එය නිරන්තරයෙන්ම පවත්වාගත යුතුවන තත්ත්වයක් බැවින් "එ්ක මගහැර ගන්න හොඳ නෑ. එ් අදහස වැදගත් වෙන්න පුළුවන්. මං හැලෙන්න නරකයි" ආදී හැඟීමක් තුළින් සිතිවිලි ඇතිකරගැනීම හරහා එ් අනුව නිරන්තර අනාරක්ෂිත බවක් ඇතිවේ.

එ් අනුව නිරන්තරයෙන්ම සිදුවන දෙය පරීක්ෂාකර බැලීමට බල කෙරෙන නමුත් නිරන්තරයෙන්ම අලුතින් දේවල් සිදුවන, අලුත් පණිවිඩ එන හා අලුත් සාකච්ඡා ඉදිරිපත් වන තත්ත්වයක් පවත්නා බැවින් එමගින් කිසි විටෙකුදු අපට ආරක්ෂිත හැඟීමක් ඇති කරවනු නොලබයි. යූ ටියුබයේ හෝ රූපවාහිනියේ ආදී වශයෙන් යම් කිසිවක් නැරඹීමට තෝරා ගන්නේ නම්, මේ මොස්කව් නගරයේ කෙතරම් රූපවාහිනී නාලිකාවන් ගණනක් පවත්නේද යන්න මම නොදන්නා නමුත් යුරෝපයේ හා ඇමරිකාවේ එ්වා සිය ගණනින් පවත්නා අතර එ් අනුව එ් අතරින් එකක් නැරඹීමෙන් ඔබට ආරක්ෂිත හැඟීමක් ඇති නොවන්නේ "මීට වැඩිය හොඳ එකක් අනික් එකේ ඇති" යන හැඟීමක් ඇතිවන බැවිනි. එ් අනුව, නිරන්තරයෙන්ම, "මට මග ඇරුණු මීට වඩා වැදගත් දෙයක් තියෙන්න පුළුවන්" යන විමසා බැලීමේ බල කිරීම ඔබ පසුපස ගමන් කරයි.

අපගේ සැබෑ ලොව තුළ අනුමැතිය හා පිළිගැනීම සොයා යාම

විශේෂයෙන් අපගේ නූතන ලෝකය තුළ මහා නගරයක වේවා, ගමක වේවා, කවර ප්‍රදේශයක ජීවත් වුවද මෙයාකාරයේ දේවල් මගින් සැබෑ ලෙසම අපගේ ආතතිය වැඩි වර්ධනය කරවන බව සිතමි. අපට යම් ආකාරයක සමාජයක සාමාජිකයෙකු වීමේ හා යම් මිතුරු කණ්ඩායමක සාමාජිකයෙකු වීමේ අවශ්‍යතාවයක් ඇත. එ් අනුව, අප විසින් අපගේ මුහුණු පොතේ පළ කරන සියලු දේ සඳහා අන් අයගේ "කැමැතියි" යන අදහස ලබාගැනීමට අවශ්‍ය වේ. මක් නිසාද, එ් අනුව අපට යම් ආකාරයකින් අප පිළිගනු ලැබ ඇති බවක් හැඟෙන බැවිනි. එනමුදු, එ් සම්බන්ධයෙන්ද අප තුළ සන්සුන් බවක් නොපවතී. අපි කිසිදින හෝ අපට ලැබෙන "කැමතියි" යන දැන්වීම් සංඛ්‍යාවෙන් තෘප්තිමත් නොවන අතර, වඩ වඩාත් එ්වා අවශ්‍යය යන හැඟීමෙන් පෙළෙන අතර, නොඑසේ නම්, "ඇත්තටම එ් අය එහෙම දාන්නේ අවංකවමද?" යන සාංකාවකින් පෙළේ. ඔවුහූ හුදෙක් බොත්තමක් ඔබන අතර, ඇතැම් විට එම බොත්තම පවා යම් යන්ත්‍රයකින් ඔබවා ගන්නවාද විය හැක (එම "කැමතියි" බොහෝ ගණනක් ඔබට මුදල් ගෙවාද ලබාගත හැක". අපි අපේක්ෂාවෙන් කලබලයට පත්වෙමු. අපට පණිවිඩයක් දුරකථනයට ලැබෙන විට, එය යම් විශේෂ දෙයක් විය හැකැයි සිතන්නෙමු.

"තව ලයික්ස් ටිකක් හම්බවෙලාද?" යන කුතුහලයෙන් මුහුණු පොත් පිටුව පිරික්සන විටදීද අපේක්ෂාවේ කැළඹීම සිත තුළ පවතී. නොඑසේ නම්, මා මා පිළිබඳවම සඳහන් කරන ආකාරයට පුවත් පිස්සෙකු විය හැකි අතර, එ් අනුව මා හට කිසිදු නව තොරතුරක් මඟ හැරගැනීමට අවශ්‍ය නොවන බැවින් අලුතින් යම් කිසිවක් හෝ අලුතින් සිත් ගන්නා සුළු යම් කිසිවක් සිදුව ඇත්තේදැයි සොයා බලනු පිණිස නිරන්තරයෙන්ම පුවත් බලන්නෙමි.

සැබැවින්ම එකරුණ වඩාත් ගැඹුරින් විග්‍රහ කර බලන්නේ නම්, එහි පදනමේ පවත්නේ "මම සිදුවන සියලු දේ දැනගත යුතු තරම් වැදගත් පුද්ගලයෙක්මි. සියලු දෙනා මා හට කැමති විය යුතුය" යන හැඟීමකි. මා ඉතා වැදගත් පුද්ගලයෙකු බවත්, සියල්ල දැන සිටිය යුතු බවත්, සියලු දෙනාගේ පිළිගැනීමට ලක්විය යුතු බවත් ලෙස එන හැඟීම බෞද්ධ දෘෂ්ටි කෝණයකින් ගැඹුරු විශ්ලේෂණයකට යටත් කළ හැක. අප මෙතරම් තමා පිළිබඳවම වූ සිතිවිල්ලකින් පසුවන්නේ මන්ද? මෙම සන්ධ්‍යාවේ එම කරුණ පිළිබඳ ගැඹුරු විග්‍රහයක් සිදු කිරීමට අදහස් නොකරමි.

අපගේ තත්ත්වයට අදාළ යථාර්ථයෙන් පළා යාම

අනෙක් අතින්, අපට නිරතුරු අප වටා පවත්නා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවක් හැඟෙන අතර ජංගම උපකරණය දෙසට නැඹුරු වෙමින් හෝ දුම්රියෙහි ගමන් ගන්නා අතර හෝ ඔබ මොබ ගමන් ගන්නා අතර සංගීතයට සවන් දෙමින් ඉන් පලා යාමට උත්සාහ කරන්නෙමු. නිරතුරු අයිපොඩයද සමගින් ඉයර්ෆෝනය සූදානම්ව තබාගෙන සිටින අතර එ් පිළිබඳ සිතා බලන්නේ නම්, එය ළගන්නා සුළු පරස්පරයක් බව ඔබට වැටහෙනු ඇත. එක් අතකින් සමාජ කණ්ඩායමක පිළිගැනීම ලබාගැනීමේ අවශ්‍යතාවයකින් පෙළෙන අපි එනමුදු අනෙක් අතින් සැබැවින්ම සමාජය තුළ සිටින විටදී, දුරකථනයේ ක්‍රීඩාවක නියැළෙමින් හෝ මහා ඝෝෂාකාරී සංගීතයට සවන් දෙමින් අන් සියලු දෙනා කෙරෙහි දොරගුළු වසා ගන්නෙමු.

ඉන් අදහස් වනුයේ කවරක්ද? හුදෙකලාබව නොවේද?  අපට එම සමාජ පිළිගැනීම අවශ්‍ය වේ. සමාජයේ පිළිගැනීම සැබෑ ලෙසම අපට නොමැති බවක් හැඟෙන බැවින් හුදෙකලාව සිටින්නෙමු. එනමුත්, අනෙක් අතින්, අපගේ සැබෑ ලෝකයට පළා යමින් අපි අන් අය හට දොරගුලු ලන්නෙමු. එම ලෝකයද ඉතා හුදෙකලා එකක් නොවන්නේද?

අන් අය අප විනෝදයෙන් තැබිය යුතුය යන බලහත්කාරී හැඟීමක් අප තුළ පවතී. කිසිවක් හෝ සිදු නොවන එක් මොහොතක් හෝ පැවතිය නොහැක. එයද, පරස්පරයකි. මක් නිසාද, එක් අතකින් සාමය හා සංහිඳියාව අපේක්ෂා කරමින්, අනෙක් අතින් තොරතුරු ගලා නොඑන හෝ සංගීත නාදය ගලා නොඑන එම රික්තකය කෙරෙහි බියට පත්වන බැවිනි.

දුම්රියෙහි හෝ වෙනයම් ස්ථානයක හෝ සිටින විටදීද බාහිර ලෝකයේ ආතතියෙන් කෙසේ හෝ පළා යාමට අවශ්‍ය වන බැවින් අපගේ දුරකථනය, අන්තර්ජාලය වැනි සැබෑ කුඩා ලෝකයට පලා යන නමුත් එහිද, මිතුරන්ගේ අනුමැතිය ආදිය අපේක්ෂා කරන බැවින් කිසි විටෙක හෝ ආරක්ෂිත බවක් නොදැනේ. එය අප විසින් සැබැවින්ම සිතා බැලිය යුතුවන දෙයකි. ජංගම උපකරණයක් කරා පසුබැසීම ආතතියට අදාළ අපගේ ගැටලුවට සැබෑ විසඳුමද? අප ජීවත් වන්නේ මහා නගරයක හෝ අන් ස්ථානයක වුවද, විසඳුම එයද?

සෘණාත්මක පුරුදු හඳුනා ගනිමින් නිදහස් වීමේ අදිටන ගොඩනගා ගැනීම

අප විසින් සිදුකිරීමට අවශ්‍ය වන්නේ, මෙම පුදුරු චර්යාවන්හි සිරවී සිටින විටදී අත් විඳීමට සිදුවන අසතුට හඳුනා ගෙන එහි මූලාශ්‍රය හඳුනා ගැනීමයි. අප මෙම පුරුදුවල සිරවී සිටින්නේ මන්ද? 

එ් අනුව, එහි මූලාශ්‍රයන්ගෙන් මිදීමේ විධික්‍රමයන්ද දැන සිටිමින් හා එ්වා සාර්ථක වන්නේය යන විශ්වාසයද සහිතව මෙම අසතුටින් මිදීමේ අදිටන ගොඩනගා ගත යුතුය. එනමුත් ඉන් අදහස් වන්නේ හුදෙක් මෙම අසතුට ඉවත් කර ඉන්පසු පිල්ලියක් සෙයින් කිසිදු හැඟීමක් නොමැතිව මළ මිනිසෙකු සෙයින් ඔබ මොබ ගමන් කිරීමක් නොවේ. සතුට යනු හුදෙක් අසතුටක් නොමැති තත්ත්වය නොවේ. එය උදාසීන, සන්සුන් හැඟීමකට වැඩි යමක් වේ. මෙහිදී කිසිවක් නොහැඟෙන තත්ත්වයක් ඇතිකරගැනීමද අපගේ අරමුණ නොවේ.

එ් අනුව, අප විසින් අත් විඳිනු ලබන අසතුටේ, දුකේ හා ආතතියේ මූලාශ්‍රයන් බාහිර ද්‍රව්‍ය හා අවස්ථාවන් නොවන බව හඳුනාගත යුතුය. එම මූලාශ්‍රයන් බාහිර එ්වා වීනම් සියලු දෙනා විසින් එය එකම ආකාරයකින් අත්විඳිය යුතුය.

ගැටලුව අන්තර්ජාලය හෝ අපගේ ජංගම උපකරණද නොවේ. නිවැරදිව භාවිත කරන්නේ නම්, සත්‍ය වශයෙන්ම එ්වා අපගේ ජීවිතවලට අතිශයින්ම ප්‍රයෝජනවත් දේවල් වේ. ගැටලුව වනුයේ අප තුළ එ්වා සහ එ්වා මගින් අප වෙත ඇති කරන සහ බලගන්වනු ලබන භාවයන් කෙරෙහි පවත්නා ආකල්පය, අප විසින් අන්තර්ජාලය නමැති මෙම අසිරිමත් ලෝකය හසුරුවන ආකාරය හා අප විසින් අපගේ ජීවිතාවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයයි.

අප තුළ බොහෝ ආත්ම විනාශකාරී පුරුදු ඇත. එ් සියල්ලම, අනාරක්ෂිත බව, අන්‍යයන් විසින් නොපිළිගනු ඇතැයි හෝ හලා දමනු ඇතැයි යන බිය, බලහත්කාරිත්වය ආදී වශයෙන් වූ යම් කැළඹිලිකාරී චිත්ත ස්වභාවයක් විසින් ඉදිරියට ගෙන එනු ලබයි. සමාජ මාධ්‍ය තුළට පළා යාම මගින් එ්වා මැඩ පැවැත්වීම සඳහා අප විසින් යොදා ගැනීමට උත්සාහ කරන ක්‍රමෝපායන් මගින් සිදු කෙරෙනුයේ හුදෙක් අප තව තවත් ආතතියට පත් කිරීම පමණි. එය ප්‍රතිපෝෂක හිදැසකි. එමගින් හුදෙක් "අන් අය මට කැමති වනු ඇත්ද?" ආදී වශයෙන් එන සාංකා හැඟීම වඩ වඩාත් බලවත් කරවයි.

දරුවන් පිළිබඳව සිතා බලන විට අන්තර්ජාලය හරහා ඔවුන් බියගැන්වීම් සිදුවන ආකාරය සැලකීමේදී තත්ත්වය වඩාත් අයහපත් බවට හැරේ. මෙහිදී ඔබට "කැමතියි" හෙවත් ලයික්ස් ලැබෙන විට සියලු දෙනා ඔබට ලැබුණු එම කැමැති ඡන්ද ප්‍රමාණය දකිනා අතර, තර්ජනාත්මක ලෙස "අකමැතියි" හෙවත් අමනාපයන් ලැබෙන විටද සියලු දෙනා එය දකිති. මෙය භයානක තත්ත්වයක් නොවේද?

පුද්ගලයෝ තමා ගතකල මිහිරි කාලයන්, අවස්ථාවන් පිළිබඳ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරති. එනමුත්, අමිහිරි, අප්‍රසන්න කාල පරිච්ඡේදයන් ගතකළ අවස්ථා එසේ පළ නොකරති. එ් අනුව, ඔබ දකින්නේ තමාගේ සියලු මිතුරන් ඉතා මිහිරි ජීවිත ගතකරන අතර තමා පමණක් අසතුටින් මෙම කාමරයේ හිඳිමින් තනිවම දුරකථනය දෙස බලා සිටින බවයි. එය එතරම් සතුටුදායක චිත්ත ස්වභාවයක් නොවේ.

මෙකී සියලු සමාජ මාධ්‍ය ආදියෙහි සිදුවන දේ කෙරෙහි යථාර්ථවාදී ආකල්පයක් පවත්වාගත යුතුය. ඔබගේ මුහුණු පොතෙහි මනාප පුරවාගැනීම මගින් ඔබට ආරක්ෂාවක් නොලැබෙන අතර එම හැකියාවද එයට නොමැති බව අවබෝධ කරගත යුතුය. සැබෑ යථාර්ථය නම් එහි විලෝමයයි.  අමනෝඥ ලෙස එමගින් මහා වෙනසක් අප තුළ ඇතිවනු ඇතැයි සිතන්නෙමු. එමගින් ඇති කරනුයේ වඩ වඩාත් මනාපයන් හෙවත් "කැමතියි" යන ඡන්ද එ්කරාශි කරගැනීමේ තණ්හාවක් පමණි. මෙය කිසි විටෙක හෝ තෘප්තියට පත්වන තත්ත්වයක් නොවේ. තවද, නිරතුරු මනාපයන් විමසා බැලීම පිණිස කල් ගත කිරීමේ අනාරක්ෂිත බවක්ද එ් තුළ අන්තර්ගත වේ.

මා හට මාගේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් එම තත්ත්වය පවත්නා බව පිළිගැනීමට සිදුවේ. එම වෙබ් අඩවියට කෙතරම් පුද්ගලයන් සංඛ්‍යාවක් පිවිස ඇත්තේද යන සංඛ්‍යාන කෙරෙහි නිරන්තරයෙන් මාගේ අවධානය යොමුවේ. මෙයද එ් හා සමාන තත්ත්වයකි. දිනයේ ලද පාඩුව ගණනය පිණිස දිනපතා විනිමය අනුපාත විමසා බැලීමද එවැන්නකි. මෙමගින් කිසිදින චිත්ත සාමයක් උදා නොවේ (සිනහසෙයි). නොඑසේ නම්, පරිගණක ක්‍රීඩා ලෝකයකට පලා යාම තුළ යම් ආකාරයකින් අප‌ගේ ගැටලු නිරාකරණය වෙනු ඇතැයි සිතන්නෙමු. එයද, බොහෝ වොඩ්කා පානය කොට එමගින් ගැටළු නිමවනු ඇතැයි අපේක්ෂා කිරීම වැන්නකි.

මෙම සහලක්ෂණය හෙවත් සින්ඩ්‍රෝමය තක්සේරුකොට බලන්නේ නම්, එය බොහෝ සෙයින් ස්වයං විනාශකාරී එකක් වන අතර, ජීවිතයේ පීඩනයන් හා ආතතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අපගේ විධික්‍රම මගින් හුදෙක් වඩ වඩාත් ගැටලුම නිර්මාණය කරන බව වටහා ගන්නෙමු.

අපගේ තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කරගනු පිණිස වෙන්කොට දැකීමේ දැනුවත්භාවය හෙවත් යෝනිසෝ මනසිකාරය අවශ්‍ය බව

මෙම සින්ඩ්‍රෝමයන් සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස, අප දැනට සිටින තත්ත්වය සම්බන්ධ යෝනිසෝ මනසිකාරයක් පවත්වාගත යුතුය. නිදසුනක් ලෙස, බොහෝ කාර්ය බහුල රැකියාවක් ගනිමු. එම රැකියාව සමගින් කටයුතු කිරීමට අපට සිදුවේ. එය යථාර්ථයයි. එම යථාර්ථය පිළිගැනීමට අපට සිදුවේ. යථාර්ථය වනුයේ අපට හැකි උපරිමයෙන් එම කාර්යය සිදුකළ හැකි බවයි. එම යථාර්ථය පිළිගන්නේ නම්, රැකියාව මහා වදයක් වන අතර තමා "අවශ්‍ය තරම් දක්ෂයෙකු නොවන" බවට වූ ප්‍රක්ෂේපණයන් ඇතිකර ගැනීමෙන් වැළකීමට අපට උපකාරයක් ලැබේ.

ගැටලුව වනුයේ අප සර්ව සම්පූර්ණයන් විය යුතු බවට වන අපගේ සිතිවිල්ලයි. බුද්ධත්වයට පත්ව ඇත්තේ නම් විනා, කිසිවෙකු හෝ සර්ව සම්පූර්ණ නැත. ආයතන ප්‍රධානියා විසින් අප සර්ව සම්පූර්ණ විය යුතු බවට අපේක්ෂා කළද, එසේ විය යුතු බවට බලපෑම් කළද, යථාර්ථය වනුයේ එය සිදුකළ නොහැක්කක් බවයි. එය සිදුකළ නොහැක්කක් වන බැවින්, සිදුකළ නොහැකි දෙයක් සිදු කරන්නට නොහැකි වූයේයැයි සිතමින් වරදකාරී හැඟීමක්ද ආරෝපණය කරගනිමින් බිත්තියේ හිස ගසා ගන්නේ මන්ද?

එ් අනුව, අපි අපට හැකි උපරිමයෙන් කටයුතු කරන අතර අවස්ථාවට අදාළ යථාර්ථය පිළිගනිමු. ඉන්පසු චිත්ත එ්කාග්‍රතාවය තබාගැනීමට උත්සාහ කරමු. එනම් අප මුහුණ දෙන තත්ත්වය "මෙය කළ නොහැක්කකි" වශයෙන් අධි තක්සේරු කිරීමකින් හෝ "මාගේ දුරකථනයට ගොස් අන්තර් ජාලයේ සැරිසරමින් ඉන් පලා යා හැක" ලෙස අව තක්සේරු කිරීමකින්ද තොරව අවස්ථාවට අදාළ යථාර්ථය පිළිබඳ සතිමත් විය යුතුය.

ඔබ එම තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුවේ. කටයුතු කළමනාකරණය කරගැනීමට සිදුවේ. එය අවතක්සේරු කරන්නේ නම්, එවිට එය මවිසින් කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවන දෙයක් බව සිතන්නෙමු. එය වූකලි රැකියා ස්ථානයේදී සිදු කිරීමට සිදුවන යම් කාර්යයක් ඇති විටදී, එය සිදු කිරීමේ කැමැත්තක් ඇති නොවන අවස්ථාවන්හි ඔබ සිදු කරන්නේ කවරක්ද? එහිදී හුදෙක්ම එම කාර්යය සිදු කිරීමේ ශික්ෂණය ඔබ සතුද? නැත්නම් වහා දුරකථනය වෙත ගොස් "හොඳයි, අලුත් පණිවිඩයක් ඇති සමහරවිට, කවුරු හරි හොඳ දෙයක් දාල ඇති" යි සිතමින් එහි සැරිසරන්නේද? එය වූකලි ඔබට මෙම කාර්යය සිදු කිරීමට ඇත්තේය යන යථාර්ථය අවතක්සේරු කිරීමකි. මේ සියල්ල නිදහස් වීමේ අදිටන හා සම්බන්ධ දේය. එය කවරක්ද යන්න හඳුනා ගැනීමට දරන උත්සාහයේදීය සියලු ගැටලු ඉස්මතු වනුයේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද?

ක්‍රියාවන් මගින් ප්‍රතික්‍රියාවන් ඇති කරවන ආකාරය වටහා ගැනීම

ස්වයං ශික්ෂණයෙන් අරඹා කුඩා දෙයින් කාර්යයට මුළ පිරුවහොත් එමගින් අප අපගේ ආතතිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ක්‍රියාත්මකවන අයුරු වටහාගත හැක. හෝමෝන සම්බන්ධයෙන් සලකා බලන්නේ නම් මෙකරුණ විද්‍යාත්මකව පවා වටහාගත හැක. එමගින් අපට මුළුමනින්ම වෙනස් වූ අන්තර්ඥාණයක් ලබාදෙන අතර, බුදු දහම තුළ දේශනා කෙරෙන දෙය සම්බන්ධ විද්‍යාත්මක පදනමක් සපයා දෙනු ලබයි.

කෝටිසෝල් හා ඩොපමයින් හෝමෝන

ඔබ ආතතියට පත්ව සිටින අතර එහිදී හෝමෝන මට්ටමින් සිදුවන දෙය නම් අපගේ කෝටිසෝල් මට්ටම වර්ධනය වීමයි. කෝටිසෝල් යනු ආතති හෝමෝනයයි. එ් අනුව අපි යම් සහනයක් අපේක්ෂා කරමු. අපගේ සිරුර තුළ ක්‍රියාත්මකවන මෙම කෝටිසෝල් ධාවනයෙන් මිදීම සඳහා අප වෙත සතුටක් ලබාදෙුන ඇතැයි සිතා අප විසින් යොදන ක්‍රමෝපාය කවරක්ද? මෙහිදී සිගරැට්ටුවක් පානය කිරීම මගින් යම් සහනයක් ලැබෙනු ඇතැයි හෝ අන්තර්ජාලයෙහි සැරිසරා, සමාජ මාධ්‍ය පිරික්සා මෙම ආතතියට සහනයක් සලසන දෙයක් සොයන්නෙමු. මෙහිදී සිදුවන දෙය නම්, මෙමගින් අපගේ තත්ත්වය යහපත් අතට හරවනු ඇතැයි යන අපේක්ෂාවට අදාළ කැළඹිල්ල හා සතුට පැවතීම තුළ අපගේ ඩොපමයින් මට්ටම වර්ධනය වීමයි. ඩොපමයින් යනු යම් ධනාත්මක දෙයක් අපේක්ෂා කිරීමේ හෝමෝනයයි; එය තවත් සතෙකු හඹා යන විටදී දැනෙන දෙයයි. එහිද මෙම අපේක්ෂාව පවතී. ඔබ ආදරණීයයෙකු හමුවීමට යන විටදී හා මේ සමාන තත්ත්වයන්හිදී මෙය හඳුනා ගැනීම පහසු වේ. අදාළ අවස්ථාව කෙතරම් අසිරිමත් වනු ඇත්තේද යන අපේක්ෂාව සමගින් ඩොපමයින් මට්ටම බොහෝ සෙයින් ඉහළ නගී. ඔබ සැබැවින්ම අදාළ පුද්ගලයා සමගින් සිටින විටදී, තත්ත්වය අපේක්ෂා කළ පමණින් මිහිරි එකක් නොවිය හැකි නමුත් මෙම හෝමෝනය වන ඩොපමයින් මත පදනම්ව ඔබගේ සතුටේ මට්ටම නංවාලනු ලබන්නේ අපේක්ෂාව විසිනි.

අපි බොහෝ ජීව විද්‍යාත්මක සත්ත්වයෝ වෙමු. එනමුත් සිගරැට්ටුව නිවී යාමෙන් අනතුරුව හෝ අන්තර්ජාලය පිරික්සීමෙන් අනතුරුව, එමගින් අපේක්ෂිත තෘප්තිය නොලැබෙන අතර, අපගේ ආතතිය ආපසු පැමිණේ. එ් අනුව මෙය එතරම් යහපත් ක්‍රමෝපායක් නොවේ.

එ් අනුව සිගරැට්ටුව විසින් අපගේ ගැටලුව නිරාකරණය කරනු ඇතැයි යන සාවද්‍ය සංකල්පනාව විශ්වාස කිරීමේ අවාසි වෙන්කොට දැකිය යුතුවේ. පුවත්වල යම් සිත්ගන්නා සුළු දෙයක් සොයා යාම හෝ මුහුණු පොත් පිටුවෙහි සිත් ගන්නා සුළු දෙයක් සොයා යාම සම්බන්ධවද පැවසිය හැක්කේ මෙපරිදිම එමගින් ආතතිමය ගැටලුව නිරාකරණය නොවන බවයි.

මෙය අනුගමනය කළ යුතු හොඳම ක්‍රමෝපායය යනුවෙන් සිතීමේ අවාසි වටහාගන්නා විටදී මෙයාකාරයේ පුරුදුවලින් නිදහස් වීමේ අදිටනක් ගොඩනගාගත හැකි බව අපට වැටහේ. මක් නිසාද, පුරුද්ද සාර්ථක එකක් නොවන බැවිනි.

සෘණාත්මක පුරුදු මගින් ඇති කරන ප්‍රතිචාරයන් අනුගමනය කිරීමෙන් වැළකීම

එ් අනුව සිගරැට් සරණ යාම නවතාලමු. තවද, දුම් පානය යනු වෙනමම ක්ෂේත්‍රයකි. සිගරට් පානයෙන් ලැබෙන ඵලයක් වේද? කිසිදු ඵලයක් නොමැත. එනමුත්, අන්තර්ජාලය පරිහරණය හා නිරතුරුවම අපගේ පණිවිඩ පිරික්සා බැලීම ගතහොත්, එය සෑම විටෙකම සිදු නොකොට නියාමනය කරගත යුතුවේ. වෙනත් වචනවලින් පවසන්නේ නම්, එය අපගේ සරණ වශයෙන් ගැනීමෙන් වැළකිය යුතුවේ. එය අපගේ පලා යාමේ මාවත ලෙස නොගත යුතු බවයි. එය එහි එන ප්‍රයෝජනවත් අරමුණක් වෙනුවෙන් විනා එමගින් සාර්ථක කරගත නොහැකි අරමුණක් වෙනුවෙන් යොදා නොගත යුතුය.

අපට යම් කිසි නීරස කටයුත්තක් සිදුකිරීමට කාර්යාලයේදී හෝ නිවසේදී සිදුවන විටදී දුරකථනය කරා යාමේ බලපෑමක් ඇති වන අතර, ඉන් වැළකීම ඉතා දුෂ්කර කාර්යයකි. එනමුත්, ස්ථුලතාවයෙන් මිදීම සඳහා ආහාර රටාවකට හුරු වන්නාක් මෙන්, මෙකී මානසික ස්ථුලතාවයෙන් මිදෙනු වන් තොරතුරු ආහාර රටාවකටද හුරුවිය යුතුවේ. ආහාර ගැනීම සීමා කරන්නාක් මෙන්ම තොරතුරු, පණිවිඩ, සංගීතය ආදියද ලබාගැනීමේ සීමාවන් පනවා ගැනීමට උත්සාහ කළ යුතුය.

මෙහිදී අපගේ පැරණි හානිකර පුරුදුවලින් වැළකී සිටීමේදී ආරම්භයේදී අපගේ ආතතිමය කෝටිසෝල් මට්ටම වර්ධනය කරනු ඇත. මක් නිසාද, පැරණි පුරුදු බොහෝ සෙයින් බලවත් වන බැවිනි. එ් අනුව, සිගරැට් පාවිච්චිය අත් හැරීමේදී හෝ මත්පැන් හෝ මත් ද්‍රව්‍ය අත් හැරීමේදී බරපතල පසු බැසීම් රෝග ලක්ෂණ හෙවත් කෝටිසෝල් ආතති හෝමෝන ලක්ෂණ පහල වන්නාක් මෙන්, අන්තර්ජාලය හෝ සමාජ පණිවිඩ හෝ සංගීතය ආදිය අත්හැර ඉන් යම් විවේකයක් ගැනීමේදීද පසු බැසීම් ආතතියක් ඇතිවේ. එය විෂ ඉවත් කිරීමක් හෙවත් නිර්ධූලකරණයක් මෙනි. විශේෂයෙන් ඔබ අයිපොඩය සහිතව එහි ඉයර්ෆෝනය කණේ රුවාගෙන සංගීතයට සවන් දීමේ ඇබ්බැහියක සිටියේ නම්, සංගීත නිර්ධූලකරණයකින් පසුවද, සැළකිය යුතු කාලයක් පුරා ඔබගේ හිස තුළ සංගීතය දෝංකාර දෙන්නට ගනී. එම තත්ත්වය සන්සිඳීමට දීර්ඝ කාලයක් ගතවේ. එය ඉතා යහපත් රූපයක්ය යන්න මාගේ අදහසයි. එනම්, සංගීතය හිසෙහි රුවාගෙන සිටීමේ ස්ථුලතාවයයි.

නිරතුරු රැව්දෙන මෙම සංගීත නාදය හේතුකොට කිසිදු දෙයක් පිළිබඳ සිතීමේ හැකියාවක් ඔබ සතු නොවන අතරම, ඔබට නිසි පරිදි ඔබගේ කටයුතුවල යෙදීමටද නොහැකි වේ. විශේෂයෙන් එකම සංගීත කාණ්ඩය නැවත නැවතද වාදනය වන්නට වන විටදී ඔබ උමතු වේ. එනමුත්, එම තත්ත්වය දරා සිටිය හැක්කේ නම්, පසුබැසීමේ ආතති මට්ටම අවසානයේ වියැකී ගොස් සාමකාමී චිත්ත සන්සිඳියාවක් අත් විඳීමට හැකිවනු ඇත. එවිට අපගේ සෘණාත්මක පුරුදු වෙනුවට ධනාත්මක පුරුදු යෙදිය හැකි යහපත් තත්ත්වයකට අපි පත් වන්නෙමු.

මෙහිදී අවශ්‍යයෙන්ම බෞද්ධයන්ට පමණක් සීමා නොවන ඉතා යහපත් බෞද්ධ විධික්‍රමද පවතී. අප සියලු දෙනා මනුෂ්‍යත්වයේ කොටස් වන අතර, සියලු දෙනා එකිනෙකා හා සම්බන්ධ බවත් අපගේ සුවසෙත අන් සියල්ලන් මතද රඳා පවත්නක්ය ඈ වශයෙනි. මෙය වූකලි සැබැවින්ම අන්තර්ජාල සමාජ ජාලයක කොටසක් වීම තුළින් ඉටුකර ගත නොහැකි වන, අන්‍යයන් සමගින් බැඳී හා සම්බන්ධව සිටින්නේය යන හැඟීමක් ඇතිකර ගැනීමේ අපගේ අවශ්‍යතාවය තෘප්ත කිරීමේ වඩාත් ස්ථාවර විධික්‍රමයකි.

ඔක්සිටෝසින් හෝමෝනය

එ් සඳහාද ඔක්සිටෝන් නමැති හෝමෝනයක් පවතී. ඔක්සිටෝන් යනු අප සතු බන්ධන හෝමෝනයයි; එනම් මව දරුවා සමගින් ඈ වශයෙන් සිදුකරන බැඳීමයි. එකිනෙකා සමගින් බැදීමේ හා යම් කණ්ඩායමක කොටසක් වශයෙන් හැඟීමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය ඇති කරවනුයේ අප තුළ පවත්නා මෙම හෝමෝනයයි. අප සියලු දෙනා මනුෂ්‍ය වර්ගයාගේ කොටසක්ය හා අප සියලු දෙනා සමානයන්ය, සියලු දෙනාට සතුටින් සිටීමට අවශ්‍යවන අතර, කිසිවෙකුට හෝ අසතුටින් සිටීමට අවශ්‍ය නැත ආදී හැඟීම් තුළින් මෙය ධනාත්මක ලෙස තෘප්ත කළ හැක. "කැමතියි" යන ඡන්ද මත හෙවත් මනාප මත රඳා පවත්නා සමාජ මාධ්‍ය කණ්ඩායමක සාමාජිකයෙකු වීමෙන් ඇතිකරගන්නා තෘප්තියට වැඩි තෘප්තියක් මෙයාකාරයේ වඩාත් ස්ථාවර දෙයකින් ඇතිකරගත හැක.

මම හෝමෝන පිළිබඳ මෙම තොරතුරු නිශ්චිත හේතුවක් සහිතව ඉදිරිපත් කරන්නෙමි. පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් නිරතුරු පවසන දෙයක් නම් අප සියලු දෙනා විසි එක්වන සියවසේ බෞද්ධයන් විය යුතු බවයි. මින් අදහස් කෙරෙනුයේ බෞද්ධ දේශනාවන් තුළ විද්‍යාව සමගින් සමාන්තර වන්නාවූ හෙවත් ගැලපෙන්නාවූ බොහෝ කරුණු අන්තර්ගත වන බව පෙන්වා දීම සඳහා බෞද්ධ දේශනා සහ විද්‍යාව අතර පවත්නා පරතරය පියවීමයි. පොදුවේ වටහාගනු ලබන දේවල් පවත්නා ස්ථානයන් සොයා බලා ජීවිතය පිළිබඳ වඩාත් සම්පූර්ණ පින්තූරයක් ලබාගනු පිණිස එම පාර්ශ්වයන් දෙකටම එකිනෙකාට උපකාර කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ විමසා බලනු සඳහා විද්‍යාඥයන් හමුවීමේ චිත්ත හා ජීවිත සමුළු උන් වහන්සේ විසින් පවත්වනු ලබයි.

අපගේ සිරුර තුළ පවත්නා යම් හෝමෝනයන් මත පදනම්ව හුදු ශාරීරික ජීව විද්‍යාත්මක මට්ටමකින් අපට සතුටක් දැනෙන හා වඩාත් යහපත් තත්ත්වයක් දැනෙන බව වටහා ගන්නේ නම්, එවිට එ්වා තෘප්ත කරනු පිණිස මේ අවස්ථාවේ අප විසින් යොදාගනු ලබන ක්‍රමෝපායන් කවරේද යන්න විශ්ලේෂණය කළ හැකි අතර, එ්වා ක්‍රියාත්මක නොවේ නම්, ධනාත්මක, ස්වයං-විනාශකාරී නොවන ආකාරයකින් එ්වායින් ප්‍රයෝජන ගත හැකි සෙසු ක්‍රමෝපායන්ද සොයාගත හැක.

ඩොපමයින්, අපේක්ෂා හෝමෝනය, හා ධනාත්මක අරමුණු පිහිටුවා ගැනීම

ත්‍යාගයක් හෙවත් ධනාත්මක ප්‍රතිචාරයක් අපේක්ෂා කිරීම් වර්ගයේ අපේක්ෂාව පිළිබඳ කථා කළෙමු. එමගින් සිංහයෙකු සිය ගොදුර ලෙස ඇන්ටිලෝපයෙකු පසුපස හඹා යන්නාක් වැනි කැළඹිලි හැඟීමක් ඇති කරවනු ලබයි. එ් අනුව, අපගේ මුහුණු පොත් පිටුව මත වැඩි මනාපයන් පවත්වාගෙන යාමට අපේක්ෂා කිරීම වැනි එම ඩොපමයින් සහලක්ෂණයෙන් වාසි ලබාගැනීමට උත්සාහ කිරීමේ, හානිකර විධික්‍රමයන්ද ඇති නමුත් එ්වා ඵල නොදරයි.

නොඑසේ නම් එය තෘප්ත කිරීමට උත්සාහ කිරීමේ උදාසීන හෙවත් මධ්‍යස්ථ විධික්‍රමද පැවතිය හැක. බර එසවීමේ ඉසවුවෙහි ක්‍රීඩා කරන මාගේ මිතුරෙකු ඇත. එ් අනුව ඔහු දැන් තමාට කිලෝග්‍රෑම් 180ක් එසවීමට හැකි බැවින් ඉදිරියට කිලෝග්‍රෑම් 200ක බරක් ඉසිලීමට හැකි විය යුතු බවට අපේක්ෂා කරයි. ඔහු මහත් කැළඹිල්ලෙන් පසුවන අතර සම්මානයක් අපේක්ෂා කිරීම තුළ බොහෝ සතුටටද පත්වෙයි. ඔහුට කිලෝග්‍රෑම් 200ක බරක් ඉසිලිය හැකි වූවද, බෞද්ධයන් වශයෙන් අපට උපහාසාත්මකව විමසිය හැකි පැනය වනුයේ එමගින් වඩා යහපත් පුනරුත්පත්තියක් ඔහු වෙනුවෙන් සකස් කෙරෙනු ඇත්තේද යන්නයි. ඉනුදු ඔහු තෘප්තියට පත් නොවනු ඇති අතර, ඉනික්බිති කිලෝග්‍රෑම් 210 මට්ටම අපේක්ෂා කරනු ඇත.

එනමුත් එම ඩොපමයින් සහලක්ෂණය ක්‍රියාත්මක වීම තුළින් , නිදසුනක් ලෙස, සමථය වඩා සමාධිය උපරිම තලයට ගෙනඑනු පිණිස, හෝ ඉවසීම වඩවාගනු පිණිස, කෝපය මැඩ පැවැත්වීම පිණිස ඈ වශයෙන් වූ ප්‍රයෝජන ගන්නේ නම්, මෙය ඉතා තෘප්තදායක දෙයක් බවට පත්වේ. "මං හිතපු මට්ටමට පැමිණ නෑ. මට එ් මට්ටමට එන්න බැරි වෙයි" ඈ වශයෙන් ඉච්ඡා භංගත්වයට පත්වනු වෙනුවට, "මෙන්න නියම අභියෝගයක්. මේ අභියෝගය භාරගන්න ලැබීම පිළිබඳ හරිම සතුටුයි" ඈ ලෙස එ් සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කළ හැක.

අපේක්ෂාවන්ගෙන් හෝ කලකිරීම්වලින් තොරව මින් මිදීමට කටයුතු කළ යුතුවේ. මෙය භාවනා උපදෙස් තුළ ඔබට ලබා‌දෙන උපදේශයකි. ක්ෂණික ප්‍රතිඵල ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන විටදීය සැබැවින්ම ඔබට කළකිරීමට සිදුවන්නේ. එ් අනුව, අපේක්ෂාවකින් තොරවම වුවද ඔබ යම් අරමුණක් කරා පිය මනිමින් සිටී. එ් අනුව, අදාළ අරමුණ අර්ථාන්විත අරමුණක් වන්නේ නම්, එ් වෙනුවෙන් කටයුතු කිරීම සතුටේ මූලයකි. එම සතුටට ජීව විද්‍යාත්මක පදනමක් පවතින බව අපට හැඟෙනු ඇත. එ් අනුව එය විද්‍යාත්මක ක්‍රමවේදය හා මුළුමනින්ම අනුගත වූවකි: විසි එක්වන සියවසේ බුදු දහම මෙයයි. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, බෞද්ධ විධික්‍රම ඵලදායක වන ආකාරය හා එසේ වීමට හේතුව විද්‍යාඥයන් හට පිළිගත හැකි ආකාරයකින් විස්තර කළ හැක. එයයි මෙහි අරමුණ.

වඩා උසස් පුහුණු ත්‍රිත්වය: ස්වයං-ශික්ෂණය, සමාධිය හා යෝනිසෝ මනසිකාරය

කෙටියෙන් පවසන්නේ නම් අප විසින් අත්හැර දැමීම වශයෙන් බුදු දහම තුළ හඳුන්වන නිදහස් වීමේ අදිටන ගොඩනගාගත යුතුය. එ් අනුව, අපගේ පැරණි සෘණාත්මක පුරුදුවලින් මිදෙනු පිණිස, ප්‍රයෝජනවත් දේ හා හානික‌ර දේද, ප්‍රායෝගික දේද එසේ නොවන දේද වෙන්කොට දකිමින් එ් මත සිත එ්කාග්‍ර කොට තබාගනිමින් එ් අනුව අපගේ චර්යාවද වෙනස් කරගැනීමේ ශික්ෂණයද සහිතව පුහුණු ත්‍රිත්වය ලෙස හඳුන්වනු ලබන ස්වයං-ශික්ෂණය, එ්කාග්‍රතාවය හා යෝනිසෝ මනසිකාරයද පුහුණු කළ යුතුවේ.

පසුතැවීම: ස්වයං-විනයට එරෙහිව පවත්වනා බාධකය

මෙම පුහුණු ත්‍රිත්වය එ්කාබද්ධව ක්‍රියාත්මක විය යුතු නමුත් එ්වා නිසි පරිදි ගොඩනගා ගනු පිණිස, එ්වාට බාධකව පවත්නා සාධකයන්ගෙන් අප මිදිය යුතුවේ. පසුතැවීම අපගේ ස්වයං විනයට බාධක වේ. නිදසුනක් ලෙස, අන්තර්ජාලය පිරික්සීමට නොහැකි වූයේය හෝ විද්‍යුත් තැපැල් පණිවිඩවලට ක්ෂණිකව පිළිතුරු ලබාදීමට නොහැකි වූයේ යැයි සිතමින් අපි පසුතැවෙමු. එවන් පසුතැවීම් මගින් දිනයේ යම් කාල වේලාවකදී පමණක් එ්වා බැලීමේ අපගේ ස්වයං විනයට හානි පමණුවනු ලබයි.

මේ සඳහා ප්‍රයෝජනවත් වන ක්‍රමෝපාය වනුයේ පරිගණකයේ හෝ ජංගම උපකරණයේ "ඔබට විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලැබී ඇත" නමැති දැනුම් දීමේ සංඥා නාදය  ක්‍රියා විරහිත කොට දිනයේ නිශ්චිත අවස්ථාවන්හි පමණක් එය පිරික්සා බැලීමයි. වැදගත් පණිවිඩවලට පමණක් එ්වා කියවන අවස්ථාවේදී පිළිතුරු ලබා දෙන්න. එ්න අනුව අපට අපගේ කාර්ය බහුලත්වය අවම වන තෙක් පසෙක තැබිය හැකි ප්‍රශ්නවලට පසුව පිළිතුරු ලබාදෙනු පිණිස එ්වා පසෙක තැබීමේ හෝ ඔබ නිතිපතා පණිවිඩවලට පිළිතුරු සැපයීම සඳහා යොදාගෙන තිබෙන යම් කාල වේලාවක් දක්වා කල් තැබීමේ ස්වයං විනය පැවතිය යුතුවේ.

මම මෙකරුණෙහි වරදකාරයෙකු බව පාපෝච්චාරණය කළ යුතුය. එ් අනුව මා වෙත ලැබෙන විද්‍යුත් තැපැල් පණිවිඩ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රමෝපායක් මවිසින් යොදාගෙන ඇත. මම සමාජ මාධ්‍යවල නිරත නොවන බැවින් මෙම පණිවිඩ නොලැබෙන නමුත් දිනකට විද්‍යුත් තැපැල් පණිවිඩ තිහක් හෝ එයට වැඩි ප්‍රමාණයක් ලැබේ. අන් කිසිදු කාර්යයක් සිදු කිරීමට නොහැකිවන පරිදි එම පණිවිඩවලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වනු වෙනුවට, මා සිදු කරන්නේ මෙවැන්නකි. මම පණිවිඩ පරීක්ෂා කරමි: සැබැවින්ම වැදගත් එ්වාට පිළිතුරු ලබාදෙන අතර, ඉතිරිය කොඩි යොදා සලකුණු කරන්නෙමි. එ් අනුව සන්ධ්‍යා යාමයේදී ලේඛන කටයුත්තක හෝ වඩා වැදගත් දෙයක නිරත වීමට තරම් මාගේ මනස පැහැදිලි නොවන අවස්ථාවන්හිදී එ්වාට පිළිතුරු සපයමි. එ් අනුව, එ් සඳහා යම් කාල වේලාවක් වෙන් කිරීම සිදු වේ. නොඑසේ නම් ඔබ පාලනයෙන් තොර අයෙකු වනු ඇත.

එ්කාග්‍රතාවයට පවත්නා බාධක: නිදිමත ස්වභාවය, මානසික අලසබව හා අස්ථාවරත්වය

නිදිමත ස්වභාවය, මානසික අලසබව හා අස්ථාවරත්වය අපගේ සමාධියට බාධක වේ. එ් කිසිවක් හෝ පවත්නේ නම්, අපට ලැබෙන පණිවිඩ නිරන්තරයෙන්ම පිරික්සා බැලීමේ පුරුද්දෙන් වැළකී සිටීම තුළ ජීවිතයේ සංකීර්ණත්වය අඩුවන්නේය යන කරුණ කෙරෙහි සිහිය එළවීමට අපට නොහැකි වේ. එ් කෙරෙහි අවධානය යොමුකොට පවත්වාගෙන යාම හා එය සිහි තබා ගැනීමයි සතිය යනුවෙන් හැඳින්වෙනුයේ.

මෙම පණිවිඩ අතරින් බොහොමයකටම සන්ධ්‍යා සමයේ පිළිතුරු සපයන්නෙමියි යන කරුණ පිළිගන්නේ නම් ජීවිතයේ ආතතිමය තත්ත්වය, පීඩනය අඩුවනු ඇත. එය හවස් කාලය හෝ දවසේ පණිවිඩ සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම සඳහා යොදාගනු ලබන කවර හෝ නිශ්චිත කාල වේලාවක් විය හැක. එයට බාධකව පවත්නා සාධක වනුයේ ඔබගේ නිදිමත ස්වභාවය, වෙහෙස වන අතර, එ් අනුව ඔබට කරුණු අමතකව යාම සිදුවේ. එ් අනුව, ඔබගේ මුහුණු පොත් පිටුවට පිවිසීම වඩාත් පහසු වේ. නොඑසේව ඔබට කම්මැලි හා බර ගතියක් දැනෙන්නේ නම්, නැගිට වතුර වීදුරුවක් පානය කිරීම වැනි දෙයක් සිදු කිරීම වෙනුවට ඔබ අන්තර් ජාලයෙහි සැරි සරන්නට පටන් ගනී. චිත්ත අස්ථාවරත්වය තුළදී මාගේ සිත අයාලේ යන්නට  පටන් ගන්නා අතර විවිධාකාර දේ සිදුවන අතරම සිතා බැලීමකින් තොරවම පණිවිඩවලට පිළිතුරු සපයන්නට පටන් ගනී. "මට කිසිම දෙයක් මග හැර ගන්න බෑ" යන සිතිවිල්ලෙන් ගොස් පණිවිඩ කියවන්නට පටන් ගනී.

යෝනිසෝ මනසිකාරයට එරෙහිව පවත්නා බාධක: අතීරණාත්මක වැනෙන සුළු බව හා සැකය

අවසන් වශයෙන්, අතීරණාත්මක වැනෙන සුළු බව අපගේ යෝනිසෝ මනසිකාරයට බාධකව පවතී. යම් නිශ්චිත කාල වේලාවකදී පමණක් අපට ලැබෙන පණිවිඩ පිරික්සා බැලීමේ තීරණය පිළිබඳ දෙපසට වැනෙන්නට පටන් ගනී. "මෙය නිවැරදි තීරණයද?" යන සැකයක් හා අවිනිශ්චිත බවක් ඇති වේ. සැකයක් ඇතිවේ.

පණිවිඩ පිරික්සා බැලීමේ පුරුද්දෙන් වැළකී සිටීම දුෂ්කර හා ආතතිමය දෙයක් වන බැවින් එවන් සැකයන් ඉස්මතු වේ. මෙම සැකයන් සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස, අපගේ පුරුදු වෙනස් කිරීමේ වාසි පිළිබඳ සිහි කැඳවාගත යුතුවේ. යම් එක් කටයුත්තක් පිළිබඳ පමණක් අවධානය යොමු කරමින් දේවල් නිසි අනුපිළිවෙලකට, නිසි ව්‍යුහයකට අනුව පවත්වාගත හැක්කේ නම් එමගින් මාගේ ජීවිතයේ කැබලිගත ස්වරූපය හෙවත් කොටස්වලට බෙදී ඇති ස්වරූපය අවම වනු ඇත. නොඑසේ නම් ඇතිවන ප්‍රතිඵලය වියවුලක් වන අතර, වියවුල යනු ආතතිමය තත්ත්වයකි.

සමචිත්තතාව හා කරුණාව

අපට අපගේ ජීවිත වඩාත් සතුටුදායක එ්වා බවට පත්කරනු පිණිස යොදාගත හැකි සෙසු ක්‍රමෝපායන්ද පවතී. නිදසුනක් ලෙස, සෙනග පිරි දුම්රියක නැගී ගමන් කිරීමේදී ඇතිවන තත්ත්වය කළමනාකරණය කරගන්නේ කෙසේද? අප අප පිළිබඳවම පමණක් අවධානය යොමු කරවා ගනිමින්, අපගේ ආරක්ෂාව පිළිබඳ පමණක් හැඟීමක් සහිතව, අපගේ ජංගම දුරකථනය වෙත යොමු වන්නට වන්නට, අප වඩ වඩාත් කොටුවී සිටින්නේය යන හැඟීමක් ඇතිවේ. මා කථා කරනුයේ දුම්රියක ගමන් කරන අතර, පොතක් කියවන්නට හැකි කවර හෝ තැනකට යන්නට බොහෝ වේලාවක් ගතවන බැවින් දුම්රිය කාල වේලාව සන්සුන්ව ගත කිරීමක් පිළිබඳව නොවේ. මා කථා කරන්නේ එ් වෙනුවට ඔබ ඔබගේ ජංගම දුරකථනයට හෝ සංගීතයට හෝ අන්තර් ජාල ක්‍රීඩාවකට හෝ පලා යන තත්ත්වය පිළිබඳවයි. අප අප පිළිබඳවම පමණක් අවධානය යොමු කරවා ගනිමින්, අපගේ ආරක්ෂාව පිළිබඳ පමණක් හැඟීමක් සහිතව, අපගේ ජංගම දුරකථනය වෙත යොමු වන්නට වන්නට, අප වඩ වඩාත් කොටුවී සිටින්නේය යන හැඟීමක් ඇතිවන අතර, අපගේ ශක්තිය මිරිකා හළ ආතතිමය ස්වභාවයක් දැනෙන්නට පටන් ගනී. විශේෂයෙන් මේ මොස්කව් නගරය වැනි දුම්රියෙහි සාමාන්‍යයෙන් බොහෝ සෙනග පිරි වටපිටාවන් තුළ අවදානමක තර්ජනයක් දැනෙන බැවින්, අපි ඉහිල්ව නොසිටින්නෙමු. බර්ලින්හි දුම්රිය එතරම්ම සෙනග පිරි එ්වා නොවේ.

ක්‍රීඩාව තුළ ගිලී සිටියද, ජංගම දුරකථනයේ ක්‍රීඩාවක යෙදී සිටියද, අයිපොඩයේ ඝෝෂාකාරී සංගීතයට සවන් දෙමින් සිටියද, අප වටා එමගින් තාප්පයක් බැඳී තිබෙන අතර, එම දැහැනට බාධා සිදුකර ගැනීමට අකමැත්තෙන් ආරක්ෂක පියවරක පසුවන්නෙමු. එය වූකලි ඉතා අප්‍රසන්න අත්දැකීමකි. මෙහිදී විනෝදාස්වාදයක් ලැබීමට උත්සාහ කරන්නේ වුවද, අපි සන්සුන්ව නොසිටිමු.

අනෙක් අතින්, අපි අප පිළිබඳව එම දුම්රියේ ගමන් කරන සමස්ත ජනයා අතරින් එකෙකු පමණක් සේ සලකන්නේ නම්, හා අප මුහුණ දී සිටින තත්ත්වයටම මුහුණ දී සිටින සියලු දෙනා කෙරෙහි සැලකිල්ල හා කරුණාව ගොඩනගා ගැනීමට උත්සාහ කරන්නේ නම්, අපගේ සිත් හා හදවත් විවෘත වේ. සැබැවින්ම අපට අවදානම් කෙරෙහි සූදානම්කාරීව සිටිය හැකි නමුත්, එය කළ යුත්තේ අප පිළිබඳව පමණක් අවධානය යොමු කර සිටීමේ මතිභ්‍රමයෙන් තොරවය. සියලු දෙනා ආරක්ෂා වීම එහිදී අපගේ අභිලාශයයි. එ් අනුව අපි අන් සියලු දෙනා සංගීත ඝෝෂාවෙන් යටපත් කිරීම හෝ සියල්ලන් වෙතින් ක්‍රීඩාවක් කරා පලා යාම හෝ සිදු නොකරන්නෙමු. එමගින් හුදෙක් අප හුදෙකලා කිරීම පමණකි සිදු වන්නේ. අපට හුදෙකලා වීමට අවශ්‍ය නොවේ.

සියල්ලන් කෙරෙහි විවෘතභාවයක් දැනීම

වඩාත් ප්‍රයෝජනවත් වන දෙය නම් සියලු දෙනා කෙරෙහි විවෘතභාවයක් දැනීම වන අතර, එයද ඉතා මටසිළුටු දෙයකි. මා තුළ සිටින දැඩි මමෙකු ග්‍රහණය කොටගෙන සිටින්නේ නම්, දැන් මා විවෘතයි, දැන් මා පීඩනයට ලක්ව සිටින්නෙක්, මට වේදනාවක් ඇතිවන්නට යනවා වැනි හැඟීම් ඇතිවේ. එවන් පදනමකින් මෙම කාර්යය සිදුකළ නොහැක. සියලු දෙනා පිළිබඳ සිතිවිල්ල කරා විවෘත වීම මගින් එක් අතකින් රංචුවේ එකෙකු බවට පත්වීමේ මෙකී තිරිසන් සහජාසය තෘප්ත කෙරේ. රංචුවෙන් වෙන්ව හුදෙකලා වීමකට වඩා ඔබ රංචුවේ එකෙකු වූකල වැඩි ආරක්ෂිත බවක් දැනේ. එ් අනුව, සත්ත්ව මට්ටමකින් සලකා බලන කල, එය සාර්ථකය.  එනමුත් මා වටා ගොඩනගාගත් බිත්ති, බැමි බිඳ හෙළීමත් සමගින් "දැන් සියලු දෙනා මාහට පහර දෙනු ඇත" යන හැඟීම ඇති කරන දැඩි මම කැබලිවලට ගලවා දැමීමටද ප්‍රවේශම් විය යුතුය.

එය වූකලි සියුමැලි මෙ‌හෙයුමක් වන නමුත් කළ හැක්කේ නම් ඉතා ප්‍රයෝජනවත් එකක්ද වේ. මෙය සිදුකරනු පිණිස ස්වයං විනය, සමාධිය හා යෝනිසෝ මනසිකාරය එ්කාබද්ධ කරගත යුතුවේ.

මෙම කඩිනම් කාර්යයන්ගෙන් ඵලදායී විවේකයන් ගැනීම

අපගේ ජීවිතවල පවත්නා ආතතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට උත්සාහ කිරීමේදී යොදාගත හැකි ඉතා සරල අන් බොහෝ ක්‍රමෝපායන්ද පවතී. එය කඩිනම් කටයුතු ගොන්න තුළ යම් විවේකයක් අවශ්‍ය වන්නේ නම්, අන්තර්ජාලයෙහි සැරිසැරීම වෙනුවට, නැගී සිට වතුර වීදුරුවක් පානය කර ජනේලයෙන් පිටත බැලීම වැනි දේ සිදු කිරීම වැනි දෙයකි. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, වැඩි උත්තේජනයකට වඩා අඩු උත්තේජනයකි. ආතතිය ඇති වනුයේ අධි උත්තේජනය තුළිනි. එය තව තවත් උත්තේජනයන් ගෙන එමින් විසඳාලීමට ඔබට අවශ්‍ය නොවේ. එ් අනුව අඩු උත්තේජනය වඩාත් යහපත්ය.

මිදීමේ මෙකී අදිටනද සමගින්, ස්වයං විනය, එ්කාග්‍රතාවය හා යෝනිසෝ මනසිකාරය යන පුහුණු තුන යොදාගැනීම මගින් අපට අපගේ එදිනෙදා ජීවිතයේදී හමුවන ආතතිය හා අප තුළ පවත්නා ස්වයං විනාශකාරී පුරුදුද අවම කරගැනීමට හැකිවනු ඇත. සේවා ස්ථානයනට, පවුලට, ආර්ථික තත්ත්වයට අදාළ පීඩනයන් ආදිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකිවන ආකාරයට වඩාත් සන්සුන් සිතකින් පසුවනු ඇත. සමාජ මාධ්‍ය, අන්තර්ජාලය, සංගීතය ඈ බො‌හෝ කරුණු අප සඳහා සූදානම්ව පවත්නා අපගේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එය විශේෂයෙන් ඵලදායක වනු ඇත. එමගින් අදහස් කෙරෙනුයේ අප විසින් අන්තර්ජාලය අත්හැර, ජංගම උපකරණ,  පසෙකට වීසි කර දැමිය යුතු බවක් හා කිසිදින සංගීතයට සවන් නොදිය යුතු බවක් හෝ නොවේ. එමගින් එවැන්නක් අදහස් නොවේ. වඩා යහපත් ක්‍රමෝපායක් ගොඩනැංවිය යුතු හා වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රයෝජනවත් ආකාරයකින් එ්වා පරිහරණය කරන ආකාරයන් ගොඩනගා ගත යුතුවන බවයි. 

ප්‍රශ්න

ගැටලුව වනුයේ එය නවීන ජීවන රටාව වීමයි. අප‌ට දේවලට ප්‍රතිචාර දැක්වීමට සිදුවේ. නිදසුනක් ලෙස, පුවත් විමසා බලන්නේ නම්, අපි හුදෙක් තමා පිළිබඳ පමණක් සිතීමේ අදහසක ගිලී එම පුවත් නොවිමසන්නෙමු. අප විසින් කළ යුත්තේ කවරක්ද, දේවලට ප්‍රතිචාර දැක්විය යුත්තේ කවරාකාරවද යන්නද අපට දැනගැනීමට අවශ්‍යයි. නිදසුනක් ලෙස, විනිමය අනුපාතිකය ගනිමු. ඇතැම් විට එ්වා වෙනස්වන ආකාරය අන්තර්ජාලයෙන් පෙන්නුම් කරන අතර අපට එයට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය විය හැක. නොඑසේ නම් යම් පුද්ගලයෙකු අසනීපයෙන් පසුවන අතර උපකාරයක් අවශ්‍ය බව පවසා යමෙකු විසින් අපට පණිවිඩයක් එවිය හැක. එසේත් නැතිනම් අපගේ සගයනට අප වෙත යමක් ලියා අපගෙන් යමක් විමසීමට හැකිය. අප විසින් එය පිරික්සා නොබලන්නේ නම්, අපිට එය හසු නොවේ. නොඑසේ නම්, නිදසුනක් ලෙස, කාලගුණ වාර්තාව සලකා බලමු. උදෑසන කාලගුණ වාර්තාව පිරික්සා නොබලා නිවසින් පිට වුවහොත්, අධික ශීතලයකට හසුවීමට සිදුවනු ඇත. මක් නිසාද, කල්තබා එය දැනගැනීමට නොහැකි වූ බැවිනි. එමගින් අපි අසනීප විය හැක. මේ සියලු අවස්ථාවන්හි අපි අඩුවෙන් කාර්යක්ෂම වන අතර අපගේ කාලය, සෞඛ්‍ය තත්ත්වය හෝ වෙනයම් දෙයක් එ් අනුව අපතේ යැවෙනු ඇත.

එබැවිනි අප විසින් අන්තර්ජාලය භාවිත කරන ආකාරය සම්බන්ධ සෞඛ්‍ය සම්පන්න, බුද්ධිමත් ක්‍රමෝපායක් ගොඩනගාගත යුතු බව මා පෙරදී පැවසුවේ. අපි ශාරීරිකව ස්ථුලතාවයෙන් පෙළෙමින් ආහාර පාලනයකට යන්නේ නම්, එමගින් අප විසින් ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නවතාලන බවක් අදහස් නොවේ. අපි එහිදී ගනු ලබන ආහාර පිළිබඳ සීමාවක් පනවා ගන්නෙමු. එ් හා සමානවම, තොරතුරු ස්ථුලතාවයෙන් පෙළෙන්නේ නම්, අපි විමසා බලන දෙය සීමා කරන අතර අපට අවශ්‍ය, ප්‍රයෝජනවත් ආදී දෙය දෙස පමණක් බලන්නෙමු. මා පෙරදී සඳහන් කළ පරිදි මාගේ විද්‍යුත් තැපැල් වැඩසටහන් ක්‍රමෝපාය මෙනි. යම් යම් කරුණු පසුවට විමසා බලනු පිණිස, එ් සම්බන්ධයෙන් පසුව කටයුතු කරනු පිණිස, කොඩි යෙදිය හැක.

එනමුත්, මෙම ක්‍රමෝපාය තුළින් අඟවන පරිදි කවර තත්ත්වයක වුවද, අපට සියලු තොරතුරු ලැබෙන අතර, පිළිතුරු සැපයිය යුතු දේ හා එසේ නොවන දේ වෙන් වෙන්ව තෝරාගන්නා නමුත්, එහිදීද සියලුම පණිවිඩ, සියලුම පුවත් ආදිය කියවන්නෙමු.

නැවතද, ඔබට වෙනස් වූ ක්‍රමෝපායන් යෙදා ගැනීමට සිදුවේ. උදෑසන අවදි වී කාලගුණ වාර්තාව පිරික්සා බැලීම හා දිනය තුළ තමාට කෙතරම් "කැමතියි" යන පෝස්ටු සංඛ්‍යාවක් ලැබී ඇත්දැයි විමසා බැලීම අතර පැහැදිලි වෙනසක් ඇත. ඔබට ලැබී ඇති මනාප සංඛ්‍යාව පිරික්සා බැලීම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. ඔබට ලැබෙන පණිවිඩ සලකා බැලුවහොත්, එ්වා අතරින් සමහරක් වෙළඳ දැන්වීම්ද, සමහරක් ඔබගේ රාජකාරිය ආදී පාර්ශ්වයන්ගෙන් එතරම් වැදගත් නොවන පුද්ගලයන්ගෙන් ලැබෙන පණිවිඩ ආදියද විය හැක. ඇතැම් දේවල් සම්බන්ධයෙන් ඔබට පසුව කටයුතු කළ හැක. ඔබගේම ලිපින පොත තුළ වැදගත් දෙය හා එතරම් වැදගත් නොවන දෙය පිළිබඳ දැනුමක් ඔබට ඇත. තමා සකස් කරන උදේ ආහාරය ඡායාරූපයට ගෙන අන් අයට යැවීමට කැමැත්තක් දක්වන මිතුරෙකු මට ඇත. සැබැවින්ම මට එය බැලීමට අවශ්‍ය නැත.

ඔබ එය නොබලන බව ඔහු දන්නවා නොවේද?

මම පසුව එය බැලිය හැකි නමුත් සැබැවින්ම එය බැලීම සඳහාම මාගේ කාර්යයනට බාධා පමුණුවා නොගනිමි.

"හොඳින් සිටින බව දැනීමේ" මෙකී හෝමෝනමය හැඟීම පවත්වාගෙන යාමේ විධික්‍රම සෙසු ආගම් තුළින්ද සම්පාදනය කරනු ලබයි. එ්වා හා බුදු දහම අතර පවත්නා වෙනස කවරක්ද?

"යේසුස් වහන්සේ මට ආදරය කරයි" හා "දෙවියන් වහන්සේ මට ආදරෙයි" ආදී වශයෙන් අනෙක් ආගම් තුළින්ද මෙය ලබාදෙන්නේය යන්න සත්‍යයක්. එහිද පිළිගැනීමක් හා යම් අරමුණක් කරා කටයුතු කිරීමක් දක්නට ලැබෙනවා. මා කථාකළ විධික්‍රම බුදු දහමටම පමණක් සීමිත වූ එ්වා නොවේ. එ්වා ඕනෑම අවශ්‍ය ආගමික සන්දර්භයක් තුළ හමුවන දේවල්. එ්වා කවරෙකුට හෝ ප්‍රයෝජනවත් වන පොදු ක්‍රමෝපායන්. මා පැවසූ දේහි සුවිශේෂයෙන්ම බෞද්ධ වූ කිසිවක් නොමැත.

සුවිශේෂී ලෙසම බෞද්ධ දෙයක් යනුවෙන් අදහස් කරනුයේ එහි සියුම් මට්ටමකින් පවත්නා යථාර්ථය කවරක්ද යන්නයි. විද්‍යාඥයන් සමගින් පවත්වනු ලබන සංවාදයන් තුළින් හෙළි කෙරෙනුයේ කොන්ටම් විශ්වය සම්බන්ධ අදහස සමගින් යථාර්ථය සම්බන්ධ මෙම අදහස බොහෝ සෙයින් ගැලපෙන බැවින් එයද පරමාදර්ශී තත්ත්වයක් නොවන බවයි. විශ්වයේ ව්‍යුහය සම්බන්ධයෙන් කොන්ටම් න්‍යායෙහි තාර්කික නිගමනය සලකා බලන්නේ නම්, ශූන්‍යතාවය හා පටිච්ච සමුප්පාදය පිළිබඳ බෞද්ධ දේශනාවන් එතුළ හමුවේ.

අපි සැබැවින්ම යම් කිසිවෙකු පෞද්ගලිකව බැහැ දැකිමට සූදානම්ව සිටිමින් මෙම පුද්ගලයා බැලීමට යන නමුත් සැබැවින්ම ඔහු හමුවන විටදී ඔහු හුදෙක් සිය ජංගම දුරකථනය දෙස බලා සිටින අතර අප කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකරන්නේ නම් කළ යුත්තේ කවරක්ද? මෙම අවස්ථාවේදී, අප මුහුණට මුහුණ හමුවන බැවින් මෙම හැසිරීම සුදුසු නොවන්නක් බව කෙළින්ම එම පුද්ගලයාගේ මුහුණටම පැවසීම යෝග්‍යද? 

පුද්ගලිකව එය එසේය යන්න මාගේ අදහසයි. "හලෝ. මං ඇවිත් ඉන්නෙ"යි එම පුද්ගලයාට පැවසීම සුදුසුය යන්න මාගේ අදහසයි. කෑම මේසයේදී දුරකථනයෙන් පණිවිඩ යැවීම හා සංවාදයන්හි යෙදීම සිදු නොකළ යුතු බවට වූ විනය ස්ථාපනය කරගැනීමට විශේෂයෙන් දරුවන් සිටින දෙමව්පියන් හට නම් ඉතා වැදගත් කරුණක් වන බැවින් ජංගම දුරකථන සුසිරිත් නමැති දෙයක් පවතී. ඇත්ත, එයට අවසර නොමැති බව ඔබ විසින් පවසන අතර ඔවුන් ලවා එම දුරකථන වෙනතක තැබීමද සිදු කරවයි. ඇමරිකන් විශ්වවිද්‍යාලයක උගන්වන මාගේ මිතුරු ගුරුවරියක් සිටී. ඇය විසින් සිය දේශනය අතරතුර සිසුන් හට පවසන්නේ ජංගම දුරකථන මේසයක් මත තබන ලෙසයි. එ්වා තම ආසන මත තබාගැනීමට ඔවුනට අවසර නැත. එය සම්පූර්ණයෙන්ම සුදුසු දෙයක්ය යන්න මාගේ අදහසයි. මෙහි ඉතා සිත් ගන්නා සුළු දෙය වනුයේ පැය තුනක් පුරා පැවැත්වෙන එම සම්මන්ත්‍රණයේදී සෑම විනාඩි 45කටම හෝ පැයකටම වරක් ඇය විසින් ඔවුන් හට දුරකථන සංවාද විවේකයක් ලබා දීමයි. එම විවේකයේ අදහස වැසිකිලියට, කැසිකිලියට යාමේ අවශ්‍යතාවයක් සපුරා ගැනීම නොව, ඔවුන් තමා අසල දුරකථනය නොමැති කාල වේලාව තුළ කෙතරම් අසහනයකින් සිටින්නේද යත්, එම විවේක කාලයේදී දිවගොස් දුරකථනය ගෙන එය පිරික්සා බලති. එය සමාජ විද්‍යාත්මකව ඉතාමත් සිත් ගන්නා සුළු දෙයකි.

මෙය පුද්ගලයන් සිය දුරකථන හා සම්බන්ධයෙන් ඇතිකරගෙන ඇති නිධන්ගත ඇබ්බැහියක් වන අතර, ජනතාවට යම් ආකාර සමාජ විනයක් ගොඩනගා ගැනීම සඳහා උපකාර කළ යුතුව පවත්නා පැතිකඩක්ද වේ. විනීත ආකාරයකින් සිදු කරන්නේ නම් එය සුදුසු දෙයක්ය යන්න මාගේ අදහසයි. නැවතද පැවසිය යුත්තේ, දුරකථනය තුළින් ඔවුන් විමසා බැලිය යුතු යම් විපතක් ආදිය වේද, නැතහොත් ඔවුන් ඉතා නොවැදගත් දෙයක් සම්බන්ධයෙන් හුදෙක්ම කයිවාරු ගැසීම සඳහා එය යොදා ගන්නේද යන දෙක අතර වෙනසක් පවත්නා බවයි. යථාර්ථවාදීව විමසා බලන්නේ නම්, විපත් පිළිබඳ දුරකථන පණිවිඩ දිනකට, සතියකට කී වරක් අපට ලැබෙන්නේද? යමෙකු අප හමුවන්නට පැමිණ ඇති අවස්ථාවක වුව, අප අපගේ දරුවා ආරක්ෂිතව ආපසු නිවෙසට ගොස් ඇත්තේද යන පණිවිඩය ලැබෙන තෙක් දුරකථනය පිරික්සමින් සිටින්නේ නම්, හෝ එවැනි වෙනයම් තත්ත්වයක් පවත්නේ නම්,  එ් පිළිබඳ හමුවන්නට පැමිණි පුද්ගලයාට පවසන්න. එහිදී විනීත වන්න: "මං කෝල් එකක් එනකන් ඉන්නෙ. ළමයා පරිස්සමින් ගෙදර ගියාද කියල දැනගන්න කෝල් එක එනකනුයි ඉන්නෙ" ලෙසිනි. එවිට තත්ත්වය ඔවුන් විසින් වටහාගනු ඇති අතර, සියල්ල නිරවුල් වනු ඇත.

දුම්රියෙහි ගමන් කරමින් සිටින අතර මම නිරතුරු සංගීතයට සවන් දෙන නමුත් එය සිදු කරන්නේ වඩ වඩාත් උත්තේජනයන් ලබාගනු පිණිස නොව මා තුළ පවත්නා සෘණාත්මක උත්තේජනයන් අවම කරගනු පිණිසය. මක් නිසාද, මා වටා සිටින අය විසින් කථා කරන දෙය මට ඇහුම්කන් දීමට අවශ්‍ය දේවල් නොවන අතර මෙම කථාවල බොහෝ නිශේධනාත්මක ලක්ෂණ පවතී. තවද, දුම්රියේ වෙළඳ දැන්වීම්ද ඇති අතර, එ්වාහි ඔබට බොහෝ දුරටම කටපාඩම් දේ නැවත නැවතද පවසනු ලබයි. එ් අනුව, මේ සියලු සෘණාත්මක උත්තේජකයන්ගෙන් ආවරණය වනු පිණිස, හුදෙක් සංගීතයට සවන් දෙමි. එහිදි මා පලා යන්නෙක්ද? එහිදී මවිසින් සෘණාත්මක හා ඉතා තීව්‍ර උත්තේජකයන් අඩු තීව්‍ර හා අඩු හානිකර එ්වා බවට හරවන්නේද?

එය ඉතා ළගන්නා සුළු ප්‍රශ්නයකි. මාගේ සිතට නැගෙන පළමු දෙය වනුයේ ඉන්දියානු පිළිතුරයි. එය වඩාත්ම සුදුසු පිළිතුර නොවිය හැක. ඔබ ඉන්දියාවේ රාත්‍රිය පුරා ගමන් ගන්නා වීඩියෝ පට ප්‍රදර්ශනය කරන බස් රියක ගමන් ගන්නා අතර, මහා ඝෝෂාවක් සහිතව අසන්නට හා දකින්නට ලැබෙන්නේ නැවත නැවතද එකම චිත්‍රපටයයි. "චුට්ටක් සද්දෙ අඩු කරන්න පුළුවන්ද?"යි රියැදුරාගෙන් ඇසුවහොත් ලැබෙන ඉන්දියානු ප්‍රතිචාරය වනුයේ "එ්කට ඇහුම්කන් දෙන්න එපා" යන්නයි.

දුම්රියේදී ඔබ සියලු දෙනා විසින් පවසන සියලු දෙයට ඇහුම්කන් දිය යුතු නොවේ. එය අවධානය පිළිබඳ ප්‍රශ්නයකි. ඔබ අවධානය යොමු කරවන්නේ කවරක් දිශාවටද? ඔබ සියලු පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කරවමින්, ඔවුන්ගේ මුහුණුවල ලියැවී ඇති ප්‍රකාශනයන්, හැඟීම් දෙස බලා ඔවුන් එතරම් සතුටින් කල් ගත නොකරන බව හඳුනා ගනිමින් ඔවුන් වෙත කරුණාවෙන් එ් සියලු දෙනා  ඔවුන්ගේ අසතුටින් මිදේවාය හා සතුටින් සිටීවාය යන පැතුම වඩවා ගතහොත්, එවිට ඔබගේ අවධානය ඔවුන් පවසන දෙයට යොමු නොවේ; ඔබ වෙළඳ දැන්වීම්වලට අවධානය යොමු නොකරයි. අවධානය වෙනතක යොමුවී ඇති බැවිනි.

එසේ කටයුතු කිරීමේ හැකියාවක් නොමැත්තේ නම්, සංගීතයට සවන් දුන්නද කම් නැත. එනමුත්, සංගීතය යනු පුද්ගලයන් නොතකා හැරී‌ම සඳහා වූ නිදහසට කරුණක් නොවිය යුතුය. එය වූකලි කරුණාව පුහුණු කිරී‌මේ සර්ව සම්පූර්ණ අවස්ථාවකි.

ගනුදෙනු කිරීමේ ටොංලන් නමැති උසස් බෞද්ධ පිළිවෙත පිළිබඳ සිතා බලන්න. මෙම අවස්ථාවේදී ඔබ විසින් සිදු කිරීමට උත්සාහ කරනුයේ පිටතට තල්ලුකර දමමින් අන් අය කථා කරන දෙය වටා තාප්පයක් ගොඩනගා ගැනීමට වඩා එය පිළිගනිමින් එයට විවෘත වන අතර ඔවුන් යම් සුළු හා පහත් සහ සෘණාත්මක දෙයක් පිළිබඳව කථා කරන බව පිළිගනිමින්, ඔවුන්ගේ සිත් වියවුල් කරන කවර හෝ දෙයක් වේනම් ඔවුන් ඉන් මිදේවාය යන ආදරණීය පැතුම ඇතිකර ගැනීමටයි. ඔවුනට වඩාත් අර්ථවත් හා ධනාත්මක දේවල්හි නිරත විය හැක. එ් අනුව එය ටොංලන් පිළිවෙත් පිරීම සඳහා වූ ඉතා යහපත් අවස්ථාවක් වේ.

බොහෝ විට, අපට පළමුව නිදහස් වීමේ අදිටනක් පවත්නා විටදී, යම් තැනෙකදී එය අඩුවන අතර, ඇතැම් විට කුසීත බව හෝ වෙනයම් දෙයක් හේතුවෙන් මෙය තවදුරටත් නොදැනෙන තත්ත්වයක් ඇතිවන අතර, එවැන්නක් සිදුවන විට එය නැවත ප්‍රකෘතිමක් කරගැනීමට කළ යුත්තේ කවරක්ද?

සාමාන්‍යයෙන් දෙනු ලබන ප්‍රධාන උපදෙස වනුයේ අප නිදහස් වීමට අදිටන් කරගෙන සිටින ඕනෑම දෙයක අවාසි අප වෙත සිහි කැඳවිය යුතු බවයි; කවර තත්ත්වයක් පැවතුණද, එයින් නිදහස් වීමේ ප්‍රයෝජනයි. තවද, ඉන් මිදීමේ විධික්‍රම කවරේද යන්න අප වෙතම සිහි කැඳවා ගනිමින් එම ක්‍රමය ක්‍රියාත්මක වන්නේය යන බව පමණක් නොව, අපට එය කළ හැකි බවටද වූ විශ්වාසය නැවත තහවුරු කරගැනීමයි. එ් සියල්ල නිදහස් වීමේ මෙකී අදිටනෙහි ඉතා වැදගත් කොටසක් වේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, "ප්‍රමාණවත් වෙහෙසක් දරන්නේ නම් මා හට එයින් මිදිය හැක" යන්න අප වෙත සිහිපත් කරවා ගැනීමයි. නොඑසේ නම්, අප හුදෙක්ම අධෛර්යමත් වනු ඇති අතර, එවිට කිසිවක් හෝ සිදු නොකර උත්සාහය අත්හැර දමමු.

භාවනා පිළිවෙත් පුරන්නේ නම්, එමගින් අප වඩාත් ස්ථාවර කරන අතර මෙය අප විසින් සාක්ෂාත් කරගන්නා දෙයකි. එනමුත්, වඩාත් ස්ථාවර වනු පිණිස ඖෂධ ගන්නා විටදී, මෙය අප විසින් මූලිකව උත්සාහයකින් තොරව ගන්නා දෙයක් වන අතර, එමගින් අප වෙනස් කිරීමක් සිදු නොකරයි. සැබැවින්ම, යම් පුද්ගලයෙකු රෝගීව සිටී නම්, ඖෂධ ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. එනමුත්, යමෙකු විසින් සිය තත්ත්වය වැඩිදියුණු කරගනු පිණිස ආතතිය අවම කරමින් සිතේ සෙසු සෘණාත්මක බලපෑම්ද අවම කරගනු පිණිස පමණක් යම් කිසිවක් ගන්නේ නම්, තත්ත්වය කවරක්ද?

අප විසින් බෞද්ධ විධික්‍රම පිළිබඳ යථාර්ථවාදී විය යුතුය යන්න මාගේ අදහසයි. යම් මට්ටමක පරිණත බවක් හා ස්ථාවරත්වයක් දැනටමත් ලබා ඇති පුද්ගලයන් සඳහා බෞද්ධ විධික්‍රම ඵලදායක වේ. ඔබ බරපතල ලෙස භාවමය වශයෙන්, මානසික වශයෙන් කැළඹිල්ලට පත්ව සිටින්නේ නම්, තවමත් ඔබ බෞද්ධ විධික්‍රම යොදා ගැනීමට සමත්වූ අයෙක් නොවේ. ඔබ විසින් යම් ආකාර ස්ථාවරත්වයක් ලබාගත යුතු අතර, ප්‍රශාන්තිජනකයක් වේවා, මානසික අවපාතය සමනය කරන ඔසුවක් වේවා, ඖෂධ භාවිත කිරීම ඉතා ප්‍රයෝජනවත් විය හැක. ඔබට උපකාරී වන යම් කිසිවක් අවශ්‍ය වේ. "හුදෙක්ම භාවනා කරන්න" යනුවෙන් පමණක් ප්‍රකාශ කිරීම සිදු කරන අය තවමත් දක්ෂ මට්ටමකට පැමණ නැත. එනමුත්, ඔබ වඩාත් ස්ථාවර වන විට, එවිට සැබැවින්ම ඔබ ඖෂධවලට ඇබ්බැහි වීමේ පුරුද්ද මැඩ පවත්වාගත යුතුවේ. ඔබ වඩාත් ස්ථාවර වන විටදී, සැබැවින්ම භාවනා පිළිවෙත් යොදා ගැනීමට හැකි චිත්ත ස්වභාවයකට ඔබ පත්වේ. එයට පෙර ඔබ පමණ ඉක්මවා කැළඹිල්ලට පත් වූවෙක් වේ: එ් අනුව එහි චිත්ත එ්කාග්‍රතාවයක් නොමැත.

බුරුමයේ හෙඩ්‌ෆෝන් පැළඳ සිටින බුදුවරයෙකුගේ රූපයක් සහිත ආපන ශාලා වෙළඳ දැන්වීමක් එල්ලා තැබීම සම්බන්ධයෙන් සිරගත කරන ලද පුද්ගලයන් තිදෙනෙකු විය. මෙකරුණ බෞද්ධ දෘෂ්ටි කෝණයකින් විමසා බලන්නේ කෙසේද?

බුදුන් වහන්සේගේ ඊර්ෂ්‍යාකාර ඥාති සොයුරු දේවදත්තයන් විසින් නිරතුරු බුදුන් හට හානි පැමිණවීමට උත්සාහ කළ නමුත් සැබැවින්ම බුදුන් වහන්සේ හට හානි සිදු කිරීමට නොහැකි වූ අතර සැබැවින්ම උන් වහන්සේ එ් පිළිබඳ කැළඹිල්ලටද පත් නොවූ සේක. එබැවින්, තමාගේ රූපයක් හෙඩ්ෆෝන් පැළඳි අයෙකු සේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සිත් රිදවා නොගනු ඇත. එනමුත්, බෞද්ධ අනුගාමිකයන් හට පමණක් නොව ඕනෑම ආගමක අනුගාමිකයන් හට සිය ආගමික නායකයා හට යමෙකු අගෞරව කරන්නේ නම් එය සිත් රිදීමට හේතුවක් වේ. පුද්ගලයන්ගේ සිත් රිදවීමට හේතුවක් නොමැති අතර, එය ඉතා සැර පරුෂ දෙයක්ද වේ. ඔවුන් සිරගත කිරීම හෝ ඉතා ඉහළ දඩයක් පැනවීමද ඇතැම් විට කිසිසේත් සුදුසු නොවනු ඇත. කෙසේ වුවද, ඔවුන්ද එම කටයුත්ත නොකළ යුතුය. භාෂණයේ නිදහස යන්නෙන් පුද්ගලයනට පහර ගැසීමේ නිදහසක් අදහස් නොවේ. විශේෂයෙන් යම් ජන කොටසකගේ හැඟීම් එමගින් අවුලුවාලන තත්ත්වයක එය කිසිසේත් සුදුසු නොවේ. එය සැබැවින්ම වරදකාරී කටයුත්තක් යනු කවරක්ද හා අපයෝජනය කළ හැක්කේ කවරක්ද යන්න තීරණය කරන්නා මත පදනම් වේ. එනමුත්, යේසුස් වහන්සේ, මුහම්මද් තුමා හෝ බුදුන් වහන්සේ වෙත අගරු කිරීමට හේතුවන කටයුත්තක් වැනි ආගම් සම්බන්ධ ක්ෂේත්‍රය ගත්කල, මෙය නුසුදුසු කටයුත්තක්ය යන්න පැහැදිලිය. නව අයිපොඩයක් අලෙවි කිරීම සඳහා පළ කරන වෙළඳ දැන්වීමක සිය අයිපොඩයට සවන් දෙමින් හෙඩ් ෆෝනයක් පැළඳ සිටින කුරුසියේ ඇණ ගසාලූ යේසුස් වහන්සේ දැක්වෙන වෙළඳ දැන්වීමකට ක්‍රිස්තියානුවන්ගේ ප්‍රතිචාරය කවරක් විය හැකිද? දැඩි ක්‍රිස්තියානි ලබ්ධිකයන් එය ඇගයීමට ලක් කරනු ඇතැයි නොසිතමි.

අපට ලෞකික අරමුණු හෝ ආධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් කරගැනීමට උත්සාහ කළ හැක. අන්ත දෙකක් පැවතිය හැකි බව මා හට වැටහි ඇත. එක් අන්තයක් වනුයේ වඩ වඩාත් ලෞකික අරමුණු වෙනුවෙන් අවධානය යොමු කිරීමයි. එනමුත් මෙහිදී එහි කෙළවරක් නොමැත. ඔබ එක් අරමුණක් සාක්ෂාත් කරගන්නා විටදීම තවත් අරමුණක් පවතී. නිදසුනක් ලෙස බෞද්ධ සමාජයන් වැනි සමාජයන් තුළ මා හට දැකිය හැකි අනෙක් අන්තය වනුයේ ආධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා උත්සාහ කරන නමුත් ලෞකික අරමුණු අමතක කිරීමයි. මෙම ගැටලුව විසඳා සමතුලිතයක් සොයා ගැනීමේ ක්‍රම හෝ විධි පවත්නේද?

පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් නිරතුරු ප්‍රකාශ කරන්නේ පනහට පනහ න්‍යාය අනුගමනය කරන ලෙසයි. අපට අපගේ ජීවන යථාර්ථයන් වටහා ගැනීමට සිදුවේ. අපගේ වගකීම් හඳුනා ගැනීමට සිදුවේ. අපගේ මූල්‍ය තත්ත්වය වටහා ගැනීමට සිදුවේ. අපගෙන් යැපෙන්නන් සිටීද? එ් අනුව යථාර්ථවාදී වන්න.

Top