සැලකිලිමත්භාවය උපදවා ගැනීම

අන් අයද අප මෙන්ම හැඟීම් සහිත මනුෂ්‍යයන් ලෙස සලකමින්, ඔවුන්ගේ හැඟීම්වලට අප කටයුතු කරන හා කථාකරන ආකාරය සම්බන්ධයෙන් සැලකීමක් හා තැකීමක් ගොඩනගා ගන්නෙමු.
Meditation generating care matheus ferrero

පැහැදිලි කිරීම

ඕනෑම වර්ගයක භාවනාව සඳහා පූර්වාවශ්‍යතාවයක් වන හුස්ම පිළිබඳ අවධානය යොමු කරමින් සිත් සන්සුන් කරගත් පසු, අපි ධනාත්මක, පුණ්‍යවන්ත චිත්ත ස්වභාවයක් උපදවා ගැනීමට සූදානම්ව සිටින්නන් වෙමු. අන් අය සමගින් අන්තර් සම්බන්ධතා පැවැත්වීමේදී වැදගත්ම දෙය වනුයේ ඔවුන් වෙනුවෙන් අවංක සැලකිලිමත්භාවයක් හා සත්කාරක හැඟීමක් පවත්වා ගැනීමයි. මින් අදහස් වනුයේ ඔවුන්ද අප මෙන්ම හැඟීම් ඇති, මනුෂ්‍යයන්ය යන අරුතින් බරපතල සේ ගැනීමයි. මෙකරුණ අවධානයෙන් ගිලිහී යාම පහසුවෙන් සිදුවිය හැකි අතර අප කාර්ය බහුලව, ආතතිමය තත්ත්වයකින් හෝ අපගේම කරුණක ගිලී සිටින විටෙකදී පහසුවෙන්ම ඒ පිළිබඳ සංවේදී නොවී‍මේ හැකියාවක් ඇත. එනමුදු, අප විිසින් අප පිළිබකඳවම හා අපගේ පෞද්ගලික ගැටලු හා හැඟීම් පිළිබඳව පමණක් පටු ලෙස අවධානය යොමු කරන්නට කරන්නට, අපි වඩ වඩාත් අසතුටටම පත් වන්නෙමු. එහිදී අපි අප වටා පවත්නා වඩා පුළුල් යථාර්ථය පිළිබඳ අනවධානයෙන් සිටින්නෙමු.
 
මනුෂ්‍යයන් සමාජ සත්ත්වයන් වන බැවින්, අපි සියලු දෙනා අපගේ සුභ සාධනය හා සුව සෙත උදෙසා එකිනෙකා මත රඳා පවතින්නෙමු. අපි ඔවුන් සමගින් අන්තර් ක්‍රියාවන්හි නිරත විය යුතුවේ. එබැවින්, යථාර්ථවාදී හා සෞඛ්‍ය සම්පන්න ආකාරයකින් අන් අය සමගින් අන්තර් සම්බන්ධතා පැවැත්වීම සඳහා අපි අවංකවම ඔවුන්ගේ සුභ සාධනය හා සුවසෙත පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙමු. විශේෂයෙන්ම, අපි ඔවුන් සමගින් අන්තර් සබඳතා පවත්වන ආකාරයනට ප්‍රතිචාරීව ඔවුන්ගේ තත්ත්වයේ හා හැඟීම්වල යථාර්ථයට සංවේදී විය යුතු වෙමු.

අපට යමෙකු හමුවන අවස්ථාවේදී අප තුළ පවත්නා චිත්ත ස්වභාවයට එදින ඉන් පෙර සිදුවූ, අත් විඳි දේ බලපාන්නාක් මෙන් ඔවුන් සම්බන්ධයෙන්ද එකරුණ සත්‍ය වේ. ඔවුහූද අප හමුවන විට ආකස්මිකව එම ස්ථානයෙහි පහළ වන්නෝ නොවෙති. අපගේ චිත්ත ස්වභාවය ඔවුන්ගේ ප්‍රතිචාරයට හේතු වන්නාක් මෙන්ම ඔවුන්ගේ චිත්ත ස්වභාවය අපගේ ප්‍රතිචාරයට හේතුවේ. අප වෙතම හා ඔවුන් වෙතද නිසි ගෞරවය සහිතව මෙකරුණ සම්බන්ධ සත්‍යය හා යථාර්ථය පිළිබඳව අපි අසංවේදී වන්නෙනමු නම්, අපගේ ප්‍රතිචාරය අප කැමති වන දෙයට වඩා වෙනස් වූවක් විය හැක. මෙයට අමතරව, ඔවුන් අපට කථාකරන හා සලකන ආකාරය අපට බලපාන්නාක් මෙන් අපි ඔවුන් සමගින් කථා කරන ආකාරය හා ඔවුන්ට සලකන ආකාරය ඔවුන්ගේ හැඟීම්වලට බලපානු ඇත.
 
අපි මෙකරුණු සම්බන්ධයෙන් සිහියට නගාගනිමින්, මිතුරන් වේවා, අමුත්තන් වේවා, අප අකමැති සෙසු පුද්ගලයන් වේවා, ඔවුන් සමගින් සිටින විටදී මෙකරුණු සිහියට නගා ගනිමින් ඒ පිළිබඳ සතිමත්ව සිටින්නෙමු නම්, අපට මෙන්ම ඔවුනටද අපගේ ප්‍රතිචාරය වඩාත් ඵලදායී හා තෘප්තකර එකක් වනු ඇත.

භාවනාව

  • හුස්ම පිළිබඳ අවධානය යොමුකරගෙන සිටිමින් සන්සුන් වන්න.
  • විනිශ්චය කරන සිතිවිල්ලකින් තොරව, සන්සුන් මනසකින්, ඔබට සමීප බව හැ‍ඟෙන හා එක්ව සිටීමට කැමති අයෙකු පිළිබඳ සිතන්න.
  • මා වෙන්ම ඔබද මනුෂ්‍යයෙකු වන අතරම හැඟීම් ඇත්තෙකුය යන වැටහීම සහිතව ඔවුන් පිළිබඳ සැලකිලිමත් වන්න.
  • මාගේ චිත්ත ස්වභාවය ඔබගේ ප්‍රතිචාරයට බලපාන්නාක් මෙන් ඔබගේ චිත්ත ස්වභාවය මාගේ ප්‍රතිචාරයට බලපානු ඇත.
  • මා ඔබට සලකන ආකාරය හා පවසන දෙය තවදුරටත් ඔබගේ හැඟීම්වලට බලපානු ඇත.
  • එබැවින්, අපගේ සම්බන්ධතාවය තුළ ඔබ මා පිළිබඳ හා මාගේ හැඟීම් පිළිබඳ සැලකිලිමත් වන්නේ නම් යහපත් යැයි අපේක්ෂා කරන්නාක් මෙන්, මමද ඔබ පිළිබඳ සැලකිලිමත් වෙමි. මම ඔබගේ හැඟීම් පිළිබඳ සැලකිල්ල යොමු කරමි.
  • සිනමා ශාලාවක ඔබගේ ටිකට්පත ලබාගන්නා පුද්ගලයා මෙන් හුදෙක් ඔබට අමුත්තෙකු හෝ ඔබ දන්නා පුද්ගලයෙකු පමණක් වන, ඔහු කෙරෙහි ඔබ තුළ කිසිදු විශේෂ හැඟීමක් නොමැති පුද්ගලයෙකු පිළිබඳ අවධානය යොමු කරවාගෙන සිටිමින් මෙම සමස්ත ක්‍රියාවලිය නැවත සිදුකරන්න.
  • ඔබ අකමැති හා එක්ව සිටීමට අපහසුතාවයක් දැනෙන පුද්ගලයෙකු මත හොඳින් අවධානය යොමු කරගෙන සිටිමින් මෙම සමස්ත ක්‍රියාවලිය නැවත සිදු කරන්න.

සාරාංශය

මෙම භාවනාව බොහෝ අවස්ථාවන්හි ක්‍රියාවෙහි යෙදවිය හැක්කක් වන අතර පුළුල් ලෙස විකාශය කළ හැක්කක්ද වේ. ඉහත කාණ්ඩ තුනට අයත් විවිධ වයස් කාණ්ඩයන්හි, විවිධ ස්ත්‍රී-පුරුෂභාවයනට අයත්, විවිධ ජන වර්ග ආදිය නියෝජනය කරන පුද්ගලයන් පිළිබඳවද අපට අවධානය යොමු කළ හැක. මමද මනුෂ්‍යයෙකු වන අතර, මා තුළද හැඟීම් පවතී; අපගේ සිතින් අප අපටම සලකන ආකාරය හා අප පිළිබඳවම කථාකරන ආකාරයද බොහෝ කොටම අපගේ හැඟීම්වලට බලපායි. මෙයාකාරයෙන් අපි අප කෙරෙහිද සැලකිලිමත් ආකල්පයක් ගොඩනගන්නෙමු.

Top