දුෂ්කර සම්බන්ධතාවයන් සම්බන්ධව කටයුතු කිරීම

අපගේ සම්බන්ධතා වැඩිදියුණු කරගනු පිණිස, දුෂ්කරතාවන් ඇති කරවන්නාවූ අපගේ අතාත්වික, යථාර්ථවාදී නොවන ප්‍රක්ෂේපණයන් පළවා හැර සැලකිලිමත් ආකල්පයක් ගොඩනගා ගත යුතුය.
Meditation difficult relationships nik shuliahin unsplash

පැහැදිලි කිරීම

බෞද්ධ භාවනාව ගැටලු මැඩ පැවැත්වීම කරා යොමු වූවකි. මේ හේතුවෙනි බුදුරජාණන් වහන්සේ විසින් ඒවා සම්බන්ධයෙන් වඩා යහපත් ලෙස කටයුතු කිරීමට අපට උපකාරවනු පිණිස චතුරාර්ය සත්‍යය දේශනා කරන ලද්දේ. අප සියලු දෙනා හට ජීවිතයේ ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. ඇතැම්වා අනෙක්වාට වඩා බරපතල වේ. එනමුත් අප බොහෝ දෙනෙකු විසින් මුහුණ දෙන ඒ අතරින් ඇතැම්වා අන්‍යයන් සමගින් අප පවත්වන සම්බන්ධතාවයනට අදාළ වේ.

එම සම්බන්ධතාවයන් අතරින් ඇතැම්වා ඉතා දුෂ්කර හා අභියෝගාත්මක විය හැක. එනමුත් ඒවා සම්බන්ධයෙන් වඩාත් යහපත් ලෙස කටයුතු කරනු පිණිස කළ හැකි දෙයක් පවත්නා බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙම ගැටලුවලට තුඩුදෙන හේතු සොයනු පිණිස අපගේ ඇතුළාන්තය විමසා බැලිය යුතුවේ. මක් නිසාද, අපගේ ගැටලුවලට අන් අය කෙතරම් තදබල ලෙස දායකත්වයක් ලබා දෙන්නේද යන්න නොසලකා, අපට පාලනය කළ හැකි එකම දෙය වනුයේ අප විසින් ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරයයි. එනම්, අපගේ ආකල්ප හා හැසිරීම් මගින් ප්‍රතිචාර දක්වන ආකාරයයි.

අපගේ චර්යාව අපගේ ආකල්ප මගින් හැඩගස්වන්නක් වන බැවින්, අප විසින් අපගේ ආකල්ප වැඩිදියුණු කරගැනීම සඳහා අපගේ ප්‍රයත්නයන් නාභිගත කළ යුතුවේ. කරදරකාරී ආකල්පයන් වෙනුවට යථාර්ථය හා කරුණාව පදනම්ගත ආකල්පයන් යෙදවිය හැක්කේ නම් අපට දුෂ්කර සම්බන්ධතාවයන්ගෙන් අත්විඳින දුක මුළුමනින්ම ඉවත් කරගත නොහැක්කේ නම් අවම වශයෙන් එය අවම කරගත හැකිවනු ඇත.

 භාවනාව

  • හුස්ම පිළිබඳ අවධානය යොමු කරමින් සන්සුන් වන්න.
  • සැබෑ දුක නමැති පළමු ආර්ය සත්‍යයේ නිදසුනක් ලෙස ඔබට ආශ්‍රය කිරීමට දුෂ්කර අයෙකු පිළිබඳ අවධානය යොමු කරන්න.
  • කෝපය නමැති හැඟීම ඉස්මතු වන්නට ඉඩ හරින්න.
  • දෙවන ආර්ය සත්‍යයේ නිදසුනක් ලෙස ඔබට එවැන්නක් දැනෙන්නේ මන්ද යන කරුණ විමසන්න. එය ඇතැම් විට ඔවුන් සමගින් ඇසුරු කිරීම දුෂ්කර වන අතර ඔවුන් කරදරකාරයන් වන බැවින් හෝ අපට ඔවුන්ගේ යම් ලක්ෂණයක් නොරුස්සන බැවින් හෝ අපට අවශ්‍ය අවස්ථාවන්හි ඔවුන් අප සමගින් නොමැති අතර ඔවුන් නිරතුරු යහපත් මනෝ භාවයකින්ද නොසිටීම ආදිය හේතුවෙන් ඇතිවූවක් විය හැක.
  • වඩාත් ගැඹුරට කරුණු විමසා බැලීමේදී, අප විසින් ඔවුන් නිරතුරු මෙම පැතිකඩ තුළින් පමණක් අනන්‍ය කරවන අතර, ඔවුන්ද සිය ජීවිතයේ බොහෝ පුද්ගල සම්බන්ධතා සහිත හා අප හැර ඔවුනගේ ජීවිතවලට බලපාන්නාවූ අන් බොහෝ දේවල්ද සහිත අය වන අතර අපට මෙන්ම ඔවුනටද හැඟීම් ඇති අතර අප මෙන්ම අන්‍යයන්ගේ ඇල්ම, ආදරය දිනා ගැනීමට කැමැත්තක් දක්වන්නන්ය යන කරුණ නොසලකා හරින්නෙමු.
  • සියලු දෙනා හට ඔවුන් පිළිබඳ එවැනි හැඟීමක් ඇති නොවන බැවින් දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නමැති තෙවන ආර්ය සත්‍යයට නිදසුනක් ලෙස ඔවුන් සමගින් වාසය කිරීමේ පවත්නා කෝප ගන්වන සුළු බව හා අපහසුතාවයේ හැඟීම අවසන් කළ හැක්කක් වේ.
  • එම අපහසුතාවය පළවා හරිනු පිණිස, සතරවන ආර්ය සත්‍යයට නිදසුනක් ලෙස, හෙවත් නිවැරදි වැටහීමේ සැබෑ මාර්ග චිත්තයක් ලෙස, ඔවුන් සැබෑ ලෙසම කෝප ගන්වන සුළු පුද්ගලයන් ලෙස සිටියේ නම්, ඔවුන්ගේ උපත සිදුවූ මොහොතේ සිට ඔවුන් සියලු දෙනා හට කෝප ගන්වන සුළු අය ලෙස පෙනී යා යුතුය යන කරුණ අවබෝධ කරගත යුතුය. එනමුත් එවැන්නක් සිදුවිය නොහැක.
  • ඔවුන් සැබැවින්ම කෝප ගන්වන සුළු පුද්ගලයන් වන්නේය යන එකී ප්‍රක්ෂේපණයෙන් ඉවත් වෙමු.
  • ඉන්පසු කෝප ගැන්වීමකින් තොරව ඔවුන් දෙස බලමු. ඔවුන් අපට පමණක් කෝප ගන්වන සුළු අය ලෙස පෙනුනද එය හුදෙක් මායාවක් පමණි.
  • ඉන්පසු ඔවුන් කෙරෙහි සැලකිලිමත් ආකල්පයක් ජනනය කරගන්නෙමු. ඔවුන්ද මනුෂ්‍යයන් වන අතර, අන්‍යයන්ගේ කැමැත්ත දිනා ගැනීමටද සතුටින් සිටීමටද අවශ්‍ය වේ. අන්‍යයන්ගේ අකමැත්තට ලක්වීමට අකමැති වේ. මෙම පුද්ගලයා විසින් මා මදුරුවෙකු වැනි මහා කරදරකාරයෙකුය යන හැඟීමක් සහිතව මා සම්බන්ධයෙන් කටයුතු කරනු දැකීමට මා අකමැති වන්නාක් මෙන් ඔවුන්ද එවැන්නකට අකමැති වන අතර එය ඔවුන්ගේ හැඟීම්වලටද බලපාන්නේ වෙයි.
  • අදාළ පුද්ගලයා පිළිබඳව කාරුණික, සැලකිලිමත් ආකල්පයකින් සලකා බලන්න.

සාරාංශය

ඇසුරු කිරීමට දුෂ්කර පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුුතු කිරීමේදී පළමුව ඔවුන් හමුවන අවස්ථාවේදී සන්සුන් විය යුතුවන අතර නොඑසේ නම්, හැකි විට ඔවුන් මුණ ගැසීමට පෙරදීම සන්සුන් විය යුතුය. ඉන්පසු, ඔවුන් සමගින් සිටින විටදී, ඔවුන්ද අප මෙන්ම හැඟීම් සහිත පුද්ගලයන් සෙයින් සලකා සැලකිලිමත් ආකල්පයක් ඔවුන් පිළිබඳ‍ව ගොඩනගාගත යුතුය. එවන් ආකල්පයක් ගොඩනගා ගැනීම විෂයයෙහි පවත්නා එක් බාධකයක් වනුයේ අදාළ පුද්ගලයා ඔවුන්ගේ ජීවිතයන්හි වඩා විශාල සන්දර්භය තුළ සලකා නොබැලීමයි. අපගේ සාවද්‍ය ප්‍රක්ෂේපණයන් පළවා හැර ඒවා සම්බන්ධව වඩාත් යථාර්ථවාදීව බැලිය හැක්කේ නම්, එවිට වඩා විවෘත හා සැලකිලිමත් ආකල්පයකින් ඔවුන් සමගින් වඩා සාර්ථක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකිවනු ඇත.

Top