අප විසින් අපගේ ගැටලු හා එම ගැටලුවලට හේතුවන කරුණුවලින් මිදුණු කල, අපි අපගේ සැලකිලිමත් බව අන්‍යයන් කරා යොමු කරවන අතර, කරුණාවෙන් යුතුව, ඔවුන්ද නිදහස් වේවාය යන පැතුම ගොඩනගා ගනිමු.
Meditation feeling compassion

පැහැදිලි කිරීම

සැලකිලිමත් හා යථාර්ථවාදී ආකල්පයක් ගොඩනගාගත් විටදී, ඊළඟ පියවර වනුයේ අන් අය වෙනුවෙන් කරුණාව ගොඩනගා ගැනීමයි. කරුණාව යන්න අන්‍යයන් පිළිබඳ අනුකම්පාවෙන් සලකා බැලීම නොව සහකම්පනය හෙවත් අන් අයට හැ‍ඟෙන පරිදි හැඟීම මත පදනම් වූවකි.  ඒ අනුව කරුණාව යනු අප දුකින් හා එහි හේතුවලින් මිදීමට කැමති වන්නේ කවරාකාරවද අන් අයද එසේම ඒවායින් මිදේවාය යන පැතුමයි. එය එකරුණ අර්ථ විරහිතය යන්න දැන දැනම සිදුකරන හුදු ප්‍රාර්ථනාමය සිතිවිල්ලක් පමණක් නොව, ඉන් මිදීමේ හැකියාවක් පවත්නේය යන විශ්වාසය මත පදනම් වූවකි. කරුණාව යන්න තුළට උපකාර කිරීමේ කැමැත්තක්ද හැකි කවරාකාරයෙන් හෝ උපකාර කිරී‍මේ අදහසක්ද පවතී. එය හුදෙක්ම උදාසීන වූවක් නොවේ. අපි අවශ්‍ය වන්නේ නම් භෞතික හෝ ද්‍රව්‍යාත්මක අයුරකින් උපකාර කිරීම හෝ අන් අය හට සිය ගැටලු මැඩ පැවැත්වීමට අවශ්‍ය චිත්ත ස්වභාවය අප විසින් මානසිකව ජනනය කරමින් එය අන් අය කරා යොමු කිරීමේ තත්ත්වයක් සිතින් මවාගමු.

භාවනාව

  • හුස්ම රැල්ල මත අවධානය යොමු කරමින් සන්සුන් වන්න.
  • ඔබට භූකම්පනයක් හේතුවෙන් ඔබගේ නිවස හා සියලු සන්තකයන් අහිමි වී ඇති අතර විවෘත අවකාශයේ නිදන්නට වන තත්ත්වයක්ද ආහාර පාන සොයා ගැනීම සඳහා අරගලයක නිරත වීමට සිදුවන තත්ත්වයක්ද ඔබගේ නිවස නැවත ගොඩනැගීම සඳහා කිසිදු මුදලක් ඔබ සතුව නොපවත්නා තත්ත්වයක්ද සිතින් මවාගන්න. ඔබට මුළුමනින්ම අසරණ හා මානසික අවපීඩිත තත්ත්වයක් දැනේ.
  • මෙම තත්ත්වයෙන් නිදහස් වී ඔබගේ අසතුටේ හේතුව ඔබ තුළ පවත්නා මානසික අවපීඩනයය යන කරුණ අවබෝධ කරගෙන ඒ අනුව මෙම මානසික අවපීඩනයෙන් නිදහස් වීමට අදිටන් කරගනිමින් නැවත ගොඩනැගීමට අවශ්‍ය විධික්‍රම සොයාගැනීමට ඔබ තුළ පවත්නා අවශ්‍යතාවය සිතින් සිතාගන්න.
  • ඉන්පසු ඔබගේ මවද එම තත්ත්වයටම පත්ව ඇති තත්ත්වයක් සිතින් මවාගෙන ඔබගේ නිදහස් වීම උදෙසා ඇතිවූ මෙම අදිටන ඔබගේ මව දක්වා විතැන් කර ඇය ඉන් මිදේවාය යන අදිටන හෙවත් කරුණාව ගොඩනගා ගන්න.
  • අපේක්ෂාව අත් නොහැර නැවත ගොඩනැගී‍මේ දිරිය හා ශක්තිය ඇය විසින් පවත්වා ගනීවාය යන පැතුම ඇතිකර ගන්න.
  • ඉන්පසු දැනට මෙම තත්ත්වයේ සිටින ලක්ෂ ගණන්වලින් වූ නේපාල ජාතිකයන් සම්බන්ධවද එකරුණම සිතින් සිතා ගනිමින් ඔවුන් වෙනුවෙන්ද කරුණාවක් ගොඩනගා ගන්න.
  • භාවමය අසමතුලිතය සම්බන්ධවද එම කාර්ය පරිපාටියම අනුගමනය කරන්න.  ඔබ භාවමය වශයෙන් අසමතුලිතව සිටි කාල පරිච්ඡේදයක් සිහි කොට, සන්සුන් පැහැදිලි මනසක් ගොඩනගා ගැනීම තුළ භාවමය සමතුලිතයක් ලබාගත හැක්කේය යන අවබෝධය තුළ, අසමතුලිතයෙන් නිදහස් වීමේ අදිටනක් උපදවා ගන්න.
  • ඉන්පසු මෙකරුණ ඔබගේ මව වෙතද, ඉන්පසු සියලු සත්ත්වයන් වෙතද විතැන් කරන්න.

සාරාංශය

අපට සතුටින් විනා කිසි විටෙක හෝ අසතුටින් සිටීමට අවශ්‍ය නොවන්නාක් මෙන්, අන් සියලු දෙනා සම්බන්ධවද එකරුණ සත්‍ය වේ. අප මෙන්ම සියලු දෙනා හටම සිය ගැටලුවලින් හා දුකින් මිදීමට අවශ්‍ය වේ. ඔවුන් වෙනුවෙන් කරුණාව හෙවත් ඔවුන් දුකින් මිදේවාය යන පැතුම ගොඩනගා ගැනීම සඳහා අප විසින් පළමුව අපගේම ගැටලු පිළිගෙන ඒවාට මුුහණ දී ඒවායින් මිදීමේ දැඩි පැතුමක් ගොඩනගා ගත යුතුවේ. අපගේ පෞද්ගලික දුක් මුලිනුපුටා දැමීමේ අදිටන දැඩි වන්නට වන්නට, අන් අයගේ දුක දැක සහකම්පනයක් ඇතිකර ගනිමින් ඔවුන් හට ඔවුන්ගේ දුක මැඩ පැවැත්වීමට උපකාර කිරීමේ අදිටන ගොඩනගා ගැනීමටද අපට වඩාත් හැකිවනු ඇත. අප විසින් "කරුණාව" ලෙස හඳුන්වනු ලබන්නේ අන් අය වෙත යොමු කරවනු ලබන එම අදිටනයි.

Top