සියලු දෙනා සමගින් පවත්නා අපගේ අන්තර් සම්බන්ධතාවය හා අන්තර් රඳා පැවැත්ම අවබෝධ කරගත් පසු, අපි අප පිළිබඳවම මනුෂ්‍ය වර්ගයාගේ කොටසක් සේ සලකා සිතන්නට පටන් ගන්නා අතර එතුළ විශ්වමය ප්‍රේමයද, සියලු දෙනා සතුටින් සිටීවා යන පැතුමද පවතී.
Meditations broadening love 1

පැහැදිලි කිරීම

බුදු දහම තුළ ආදරය යනු අන්‍යයන් සතුටින් සිටීවාය හා ඔවුන් වෙනුවෙන් සතුටේ හේතු පහළ වේවාය යන පැතුම වන අතර එයට හුදෙක් අන් කිසිවෙකු විසින් අවශ්‍ය උපකාර කරනු ඇතැයි අපේක්ෂාවෙන් බලා සිටීමට වඩා හැකියාවක් ඇත්තේ නම් එම සතුට ඇති කිරීම සඳහා උපකාර කිරීමේ කැමැත්තද අන්තර්ගත වේ. එය විශ්වමය කරුණක් වන අතර, හුදෙක් අප කැමතිවන හෝ අපට සමීප පුද්ගලයනට පමණක් නොව, අමුත්තන්ට හා අප අකමැති වන අයටද වශයෙන් සියලු දෙනා වෙත විහිදෙන්නක් වේ. ඒ අනුව මෙයාකාරයේ විශ්වමය ආදරයක් අපක්ෂපාතී එකක්ද වේ: එය ආකර්ශනය, විකර්ශනය හා උපේක්ෂාව යන ත්‍රිවිධ කාරණාවන්ගෙන්ම මිදුනක් වේ. මක් නිසාද, සියලු දෙනා හට සතුටින් විනා අසතුටින් සිටීමට අවශ්‍ය නොවන්නේය යන පදනම මත සියලු දෙනා සමාන වන්නේය යන කරුණ අවබෝධ කරගැනීම මත එය පදනම් වන බැවිනි. ඔවුන් ඔවුනට අසතුට ගෙන එන්නාවූ හානිකර සිතිවිලි පෙරදැරිව හැසිරිය හැක. එනමුත් එවැන්නක් සිදුවන්නේ ඔවුන් වියවුලට පත්ව ඇති අතර, ඔවුනට සතුට ගෙනඑනු ඇත්තේ කවරක් විසින්ද යන කරුණ නොදන්නා බැවිනි.

ඒ අනුව, අප විසින් සිදුකරන අයුරු හුදෙක් අන් සියලු දෙනා සතුටින් සිටීමේ අවශ්‍යතාවය සහිත පුද්ගලයන් ලෙස සිතීම මත අපගේ ආදරය පදනම් කරන්නෙමු. අපි පොදුවේ ඔවුන් විසින් සිදුකරන කාර්යයන් මත අපගේ ආදරය පදනම් නොකරන අතර, සැබැවින්ම ඔවුන් අපට ප්‍රියමනාප වන්නේද හෝ පෙරළා අපට ආදරය කරන්නේද යන්න මත එය පදනම් නොවේ. අප තුළ කිසිදු අපේක්ෂාවක් හෝ පක්ෂපාතිත්වයක් නොපවත්නා බැවින්, අපගේ කොන්දේසි විරහිත ආදරය යනු සන්සුන් චිත්ත ස්වභාවයක් වේ. එය ඇල්ම පදනම්ගත කිසිදු අතාර්කික සිතිවිල්ලක් හෝ චර්යාවක් මගින් අපගේ මනස වසා දැමීම, අඳුරට පත් කිරීම සිදු නොකරයි.

අපගේ ආදරයේ භාවමය විලාසය වනුයේ සියලු දෙනා සමගින් බද්ධව සිටීමක් හා කෘතවේදිත්ව හැඟීමක්ද වේ. එකී සම්බන්ධතාවය හා කෘතවේදිත්වය පිළිබඳ හැඟීම අප විසින් පරිභෝජනය කරන හෝ පරිහරණය කරන සියලු දේ අන් අයගේ ශ්‍රමය තුළින් නිර්මාණය වන ඒවාය යන අවබෝධය තුළින් පැන නගී. අන් අයගේ වෙහෙස මහන්සිය නොවන්නට, අප පරිහරණය කරන නිෂ්පාදන, එම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, අප ආහාරයට ගන්නා ආහාර, අඳින පළඳින ඇඳුම් පැළඳුම්, අපගේ නිවෙස්හි විදුලිය හා ජලය, අන්තර්ජාලයේ තොරතුරු ආදිය කෙසේ නම් ලබාගන්නද? අප විසින් මිලදී ගනු ලබන නිෂ්පාදන නිපදවීම සඳහා අන් අය පොළඹවාලන වෙළඳපල නිර්මාණය කිරීම මගින්ද ඔවුහූ අපට වක්‍ර ලෙස උපකාර කරති.

මෙම සම්බන්ධතාවය හා කෘතවේදිත්වය වඩ වඩාත් ප්‍රබල වන්නට වන්නට, වඩ වඩාත් ආරක්ෂිත හා සතුටුදායක හැඟීමක් අප තුළ ඇතිවේ. මෙය මව හා අළුත උපන් ළදරුවා අතර බැම්ම හෙවත් බැඳීම ආශ්‍රිත හෝමෝනය වන ඔක්සිටොන් හෝමෝනය හා සම්බන්ධ වේ. මෙකී ආදරණීය, ප්‍රීතිමත් හැඟීම උත්පාදනය වු පසු, පළමුව එය අපගේ භාවනාව තුළ අප වෙතම විහිදුවාලමු. මක් නිසාද යත්, අප අපටම සතුට නොපතන්නේ නම්, අන් කිසිවෙකු වෙනුවෙන් හෝ සතුටක් පැතිය නොහැකිවන බැවිනි. ඉන්පසු, එමගින් සියලු දෙනා අන්තර්ගතවන පරිදි ක්‍රම ක්‍රමයෙන් වඩ වඩාත් පුළුල් කණ්ඩායම් වෙත එය විහිදුවන්නෙමු.

එම සෑම පියවරකදීම අපගේ ආදරය තුළ සිතිවිලි තුනක් අන්තර්ගත වේ:

  • අන් අය සතුටින් සිටියේ නම් හා සතුටට හේතුවන කරුණු ඔවුන් වෙනුවෙන් තිබියේ නම් කෙතරම් අසිරිමත්ද යන සිතිවිල්ල.
  • "සැබැවින්ම ඔවුන් සතුටින් සිටීවායි පතමි" යන අරුත දෙන පරිදි ඔවුන් සතුටින් සිටීවාය යන සිතිවිල්ල.
  • "මා හට ඔවුන් වෙනුවෙන් සතුට ගෙන ඒමට හැකිවේවා" යන සිතිවිල්ල, වශයෙනි.

අන් අය උදෙසා සතුටට හේතුවන කරුණු ඇති කිරීම සම්බන්ධව සිතා බලන විටදී, පළමුව ඔවුන්ගේ සතුටට හේතුවන කරුණු හඳුනාගත යුතුවේ. ඔවුන් කුසගින්නේ සිටින්නේ නම්, අපි හුදෙක්ම ඔවුනට ආහාරයට ගැනීමට ප්‍රමාණවත් ආහාර තිබේවායි පැතීම පමණක් සිදු නොකරමු. ඒ වෙනුවට ඔවුන් ආහාරයෙන් පසු සතුටට පත්විය හැකි නමුත්, අධික ආහාර ගැනීම තුළ තරබාරු වීමේ හැකියාවක්ද ඇති බව අවබෝධ කරගන්නෙමු. ඒ අනුව ඔවුන් තුළ භාවමය සමබරතාවය, ලද දෙයින් සතුටු වීමේ හැකියාව හා සිය ආහාර පුරුදු සම්බන්ධ ස්වයං පාලනයක්ද පවතීවායි පතමු. මුදල්, භෞතික භාණ්ඩ ආදිය සම්බන්ධයෙන්ද තත්ත්වය එපරිදිය. අපි හුදෙක් භෞතික අවශ්‍යතාවයන් කෙටි කාලීනව තෘප්ත කරවීමකට වඩා දිගු කාලීන තිරසර සතුට පිළිබඳ සිතමු.

භාවනාව

  • හුස්ම පිළිබඳ අවධානය යොමු කරමින් සන්සුන් වන්න.
  • ඔබ පරිභෝජනය කරන හා පරිහරණය කරන සියලු දේ අන් අය මත රඳා පවත්නා ආකාරය සිතා බලන්න.
  • අන් සියලු දෙනා සමගින් පවත්නා සම්බන්ධතාවය හා ගැඹුරු කෘතවේදිත්ව හැඟීමක් මත අවධානය යොමු කරන්න.
  • මෙමගින් ඔබ වඩාත් ආදරණීය, ආරක්ෂිත හා සතුටින් සිටින අයෙකු බවට පත්කරන ආකාරය සැලකිල්ලට ගන්න.
  • ඔබ පිළිබඳවම අවධානය යොමු කරගෙන සිටිමින් නිරතුරු ඔබට අසතුටක් දැනෙන ආකාරය සැලකිල්ලට ගන්න.
  • මෙසේ සිතන්න: මා සතුටින් සිටින්නේ නම් හා මා සඳහා සතු‍ටට හේතුවන කරුණු පවතින්නේ නම් කෙතරම් අසිරිමත්ද; මා සතුටින් සිටීවා; හුුදෙක් මතුපිටින් පෙනෙන කෙටි කාලීන සතුටක් නොව, දිගු කාලීන සතුටක් වඩ වඩාත් මා වෙත ගෙන එන හේතු මවිසින් වර්ධනය කරගනිත්වා. භාවමය සමබරතාවය හා ස්ථාවරත්වය, සන්සුන්, පැහැදිලි මනසක්, වඩා හොඳ වැටහීමක්, අන් අය සමගින් වඩා හොඳින් ඇසුරු කිරීමේ හැකියාව ආදී ලෙස ඔබ වඩාත් සතුටින් සිටින අයෙකු බවට පත් කරවන සුළු නිශ්චිත දේද සිතට නඟාගත හැක.
  •  [විකල්පයක් ලෙස: මෙකී ආදරණීය සතුට නියෝජනය කෙරෙන උණුසුම් කහ වර්ණැති ආලෝකයකින් ඔබ සිත පිරී ඇති ආකාරයක් සිතින් මවාගන්න.]
  • ඉන්පසු ඔබ කැමති පුද්ගලයෙකු සම්බන්ධවද එම කාර්යයම සිදුකර එය ඔබ කැමති පුද්ගලයන් කිහිප දෙනෙකු දක්වා විහිදුවන්න.
  •  [විකල්පයක් ලෙස: ඔබ වෙතින් එකී උණුසුම් කහ වර්ණැති ආලෝක කිරණ අනෙකා වෙත ගමන් කොට ඔහු පුරවාලන ආකාරය සිතින් මවාගන්න.]
  • භාණ්ඩ අලෙවි සැලෙහි සිටින භාණ්ඩ පරීක්ෂා කරන ලිපිකරු, හෝ බස් රියැදුරු වැනි ඔබ සමගින් එතරම් සම්බන්ධයක් නොමැති, ජීවිතයේ හමුවන පුද්ගලයන් වෙත.
  • ඉන්පසු ඔබ අකමැති පුද්ගලයන් වෙත.
  • ඉන්පසු එක්වර එකී කණ්ඩායම් තුන වෙතම.
  • ඉන්පසු ඔබගේ නගරයේ, ඔබගේ රටේ හා සමස්ත ලෝකයේ සිටින සියලු දෙනා වෙත එම ආදරය විහිදුවාලන්න.

සාරාංශය

ඒ අනුව අපක්ෂපාතී විශ්වමය ආදරය යනු සියලු දෙනා සමගින් සම්බන්ධිත බවට වූ හැඟීමක් සහ ජීවිතයේ ඔබගේ සුවසෙත සඳහා සෘජුව හෝ වක්‍රව ඒ සියලු දෙනා විසින් දායකත්වයක් ලබාදී ඇති ආකාරය පිළිබඳ කෘතවේදී හැඟීමක්ද එකිනෙක සම්බන්ධ කරන්නාවූ සංකීිර්ණ භාවයකි. එය වූකලි, ආකර්ශනය, විකර්ශනය හෝ උපේක්ෂාවෙන්ද තොර සන්සුන්, උණුසුම් භාවමය ස්වභාවයක් වන අතර, එතුළ ප්‍රියතමයන් හෝ ඔබ විසින් ඈත් කරන්නන් නොසිටී. එය කොන්දේසි විරහිත එකක් වන අතර, සතුටින් සිටීමට අවශ්‍යවන අතර කිසි විටෙක හෝ අසතුටින් සිටීමට අවශ්‍ය නොවීමේ විෂයයෙහි සියලු දෙනා තුළ පවත්නා සමානාත්මතාවය වටහා ගැනීම මතද එය පදනම් වන බැවින් ඔවුන් කවරාකාර වුවද සියලු දෙනා වෙත විහිදෙන්නක් වේ. එමගින් කිසිවක් හෝ ආපසු බලාපො‍රොත්තු නොවේ. එය උදාසීන හැඟීමක්ද නොවන අතර එමගින් කෙටි කාලීන භෞතික අවශ්‍යතාවයන්ගෙන් නිදහස් වීමේ කෙටි කාලීන සතුට පමණක් නොව, කෙලෙස්වලින් හා ව්‍යාකූල සිතිවිලිවලින්ද නිදහස් වීමේ දිගු කාලීන තිරසර සතුටද ලැබීම සඳහා අන්‍යයන් වෙත උපකාර කිරීම සඳහා සිදුකළ හැකි කවර කටයුත්තක් හෝ සිදු කිරීම කරා ඔබ යොමු කරවනු ලබයි.

Top