අනිත්‍යය කෙරෙහි ගෞරවාන්විත වීම

ජීවිතයේ සියලු දේ නිරතුරු වෙනස් වන්නේය යන සත්‍යයට ගරු කරන විටදී, අන්‍යයන් සමගින් සම්බන්ධ වීමේ යල්පිනූ ක්‍රමයන්හි ඇලී සිටීමෙන් වළකිමු.
Meditation impermanence

පැහැදිලි කිරීම

අනිත්‍යය යනු වෙනස් වීමයි: හේතු ප්‍රත්‍යවල බලපෑමට ලක්වූ දේ කිසි විටෙක හෝ ස්ථිතිකව, ස්ථිරව නොපිහිටයි. එ්වා මොහොතින් මොහොත වෙනස් වේ. ඇතැම් දේ, නිර්මාණය වූ මොහොතේ සිට ක්‍රමිකව, මන්දගාමීව දිරාපත්ව වියැකී යන අතර එ්වා අවසාන මොහොත උදාවන තුරු එම ගමනෙහි නිරත වේ. එනමුත්, එ්වා නිරතුරු අලුත් වන බැවින්, ගෙවී යාමක්, මුළුමනින්ම ක්ෂය වීමක් සිදු නොවේ. කුඩා දරුවෙකු, සක්‍රීය වැඩිහිටියෙකු හෝ ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන මහල්ලෙකු ලෙස වේවා, ඔබගේ මූලික මානසික ක්‍රියාකාරිත්වය සෙයින් එ්වා නොවියැකී පවතී. උෂ්ණත්වය හෝ ඔබගේ භාවනාවේ තත්ත්වය වැනි ඇතැම් දේ ඉහළ පහළ ගමන් කරන අතර ගුවන් යානයක ගමන් ගන්නා මගීන් වැනි තවත් ඇතැම්හූ එක්ව වෙන්වෙති. බෞද්ධ දෘෂ්ටියට අනුව සෘතු හෝ දිවා රාත්‍රී දින චක්‍රය වැනි ඇතැම් දේ නැවත නැවත සිදුවන චක්‍රාකාර ගමනක නිරත වන අතරම විශ්වය වැනි තවත් දේ නොකඩවා පැන නගිමින්, පවතිමින් නැවතීමකට පැමිණේ. අනිත්‍යයේ විවිධ වර්ගයෝ වෙති.

අවාසනාවකට මෙන්, එක් මොහොතක දීර්ඝ කාල පරිච්ඡේදයන් ග්‍රහණය කරගැනීමේ, හසුකර ගැනීමේ හැකියාවක් අපගේ සිත්වලට නොමැති බැවින් ව්‍යාකූලත්වයට පත්වන අපි අපගේ සම්බන්ධතාවයන්, අපගේ තාරුණ්‍යය, චිත්ත ස්වභාවය ආදී දේ ස්ථාවරව හා කිසි දින නොවෙනස්ව පවතිනු අතැයි ඇතැම් විට සිතමු. එයාකාරයෙන් සිතන විටදී, අපි අප කෙරෙහිම අසතුට හා ගැටලු නිර්මාණය කරගන්නෙමු. නිදසුනක් ලෙස, අපි යමෙකු සමගින් ප්‍රේම සබඳතාවයක් පවත්වාගන්නේ යැයි සිතමු. එය යම් හේතු සාධක මත ඉස්මතු විය. අප දෙදෙනාම එකම ස්ථානයක සිටි අතර දෙදෙනාම සහකරුවෙකු/ කාරියක සොයමින් සිට ඇත. අප දෙදෙනා තුළම අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක යම් වෙනත් කරුණුද මෙයට බලපාන්නට ඇත. එනමුත්, කල් ගතවීමේදී, එම තත්ත්වයන් වෙනස් විය. අප දෙදෙනාම ආරම්භයේදී හා මුල් අදියරේදී පැවති සම්බන්ධතාවයම ග්‍රහණය කොටගෙන සිටියෙමු නම්, අපට අපගේ සහකරු/කාරිය රැකියාවක් ලබා පිටව යන අවස්ථාවේදී හෝ වෙනත් නගරයකට පිටත්ව යන විටදී හෝ අමුත්තෙකු බැලීමට යන විටදී හෝ අළුතින් මිතුරු, මිතුරියන් ඇතිකර ගන්නා විටදී හෝ එ් හා සමාන දෙයක් ජීවිතයේ සිදුවන විටදී අප අතර පවත්නා සබඳතාවය එම නව තත්ත්වයට ගලපා ගැනීමට නොහැකි වේ. අපි පෙරදී අපගේ සම්බන්ධතාවය පැවති තත්ත්වයට ඇලී සිටින අතර, එය යථාර්ථයෙන් බැහැර වූවක් වන බැවින්, දුකට හා අසතුටට පත්‌ වෙමු.

අපගේ භාවනාමය කටයුතු සඳහා, අනිත්‍යයට යටත් වන හා අපගේ ජීවිතයට සම්බන්ධ විවිධ දේ කෙරෙහි අවධානය යොමු කරමින් එ්වා වෙනස් වී ඇති බව හා කල් ගතවීමත් සමගින් නොකඩවා වෙනස් වනු ඇති බවටද, අවසානයේ නිමාවකට පත්වනු ඇති බවටද වූ අවබෝධයක් සහිතව එ්වා මත අවධානය යොමු කිරීමට උත්සාහ කරමු.

භාවනාව

  • හුස්ම පිළිබඳ අවධානය යොමු කරගෙන සිටිමින් සන්සුන් වන්න.
  • මව සමගින් පවත්නා සම්බන්ධතාවය පිළිබඳ අවධානය යොමු කරන්න.
  • එය ආරම්භ වූ ආකාරය සිහියට නගාගන්න - ඔබ ළදරුවෙකු වූ අතර එය යම් ආකාරයකට ඔබගේ සම්බන්ධතාවයට බලපෑය.
  • ඉන්පසු ඔබ හා ඔබගේ මව වයස්ගතවූ අතර ඔබ ළමයෙකු, නව යෞවණයෙකු හා ඉන්පසු වැඩිහිටියෙකු හා මහල්ලෙකු ලෙස වැඩීමත් සමගින් ඔබගේ සම්බන්ධතාවයද වෙනස් නොවුණේද?
  • ඇය මිය යන විටදී හෝ ඇය දැනටමත් මිය ගොස් ඇත්නම්, අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අවසන්ව ඇති නමුත්, ඇය පිළිබඳ ඔබගේ ආකල්පය හා මතකය වෙනස්වන හා නොකඩවා වෙනස්වන ආකාරය පිළිබඳ අවධානය යොමු කරන්න.
  • ඔබගේ පියා සමගින් ඔබ පවත්වන සම්බන්ධතාවය පිළිබඳවද එයාකාරයෙන්ම අවධානය යොමු කරන්න.
  • ඔබ ආදරය කරන හෝ බොහෝ සෙයින් ආදරය කළ මිතුරෙකු සමග පැවති සම්බන්ධතාවය පිළිබඳව අවධානය යොමු කරන්න.
  • ඔබගේ වෘත්තීය දිවිය මත අවධානය යොමු කරන්න.

සාරාංශය

අනිත්‍යය යනු ජීවන සත්‍යයකි. අප කැමති වුවද, නොවුවද සියල්ල නිති වෙනස්වන අතර කිසිවක් හෝ සදාකල් එකාකාරව නොපවතී. මෙම යථාර්ථය පිළිගන්නා විටදී, නොවෙනස්ව සදාකල් පවතිනු ඇතැයි සිතා කිසිවකට හෝ ඇලී සිටීම නිරර්ථක ක්‍රියාවක්ය යන කරුණ අප හට අවබෝධ වේ. ජීවිතයේ අපගේ අවස්ථාවන්, අපගේ සම්බන්ධතාවයන්, අපගේ ශරීරය ආදියට සම්බන්ධව අනිවාර්යයෙන්ම සිදුවන වෙනස්වීම්වලට අනුගත වීමට හැකිවන විටදී, එසේ නොවුයේ නම් අත් විඳීමට සිදුවන ඉමහත්  අසතුටක් හා ගැටළු ගොන්නක් වළකා ලීමට අපට හැකිවේ.

Top