අපගේ ජීවිතය එදිනෙදා දින චරියාවට කොටුවූවක් හා අර්ථ විරහිත එකක් බව හඳුනාගත් විටදී, අපගේ අත් වැරදීම් මැඩ පවත්වා අප තුළ පවත්නා විභවයන් සාක්ෂාත් කරගනු පිණිස කටයුතු කරමින් අර්ථාන්විත දිශානතියක් අත්පත් කරගන්නෙමු.
Meditation a meaning in life

පැහැදිලි කිරීම

අපගේ ජීවිත කිසිදු අරමුණක් රහිතව ගමන් කරන්නේය යන හැඟීමක් අප බොහෝ දෙනෙකු තුළ පවතී. අපට අපගේ ජීවිත අරුත් විරහිත බවක් දැනිය හැකි අතර නොඑසේ නම්, සේවා වියුක්තව, ජීවිතයේ වැඩිදියුණුව පිණිස කිසිදු අපේක්ෂාවක් රහිත තත්ත්වයක සිටිය හැක. තවමත් පාසැල් යන වියේ පසුවන අප අධ්‍යාපනයේ වටිනාකම හා අරුත කවරේදැයි ප්‍රශ්න කළ හැක. දේවල් වඩාත් අයහපත් අතට හැරෙනු ඇතැයි බියවන අපට මානසික අවපීඩනයක් දක්වා ඇද වැටීමේ අවදානමක්ද දකින්නෙමු. මේ සමගින්, අපට යම් අර්ථාන්විත හා ලෝකයේ යම් ධනාත්මක වෙනසක් සිදුකරන දෙයක් කිරීමට කැමැත්තක් ඇතිවන අතර එය අන් අය සමගින් බෙදා හදා ගැනීමට අවශ්‍ය වේ. බොහෝ මුදල් ඉපැයීම හා බොහෝ දේ සන්තකව තබාගැනීම මගින් අර්ථවත් බවක් ලබාගැනීම සඳහා අප තුළ පවත්නා අවශ්‍යතාවය තෘප්ත නොකරන බව පවා අප බොහෝ දෙනෙකු විසින් අවබෝධ කරගනී.

බුදු දහම තුළ සාමාන්‍යයෙන් සරණ ලෙස පරිවර්තනය කෙරෙන ආරක්ෂිත දිශානතිය නමැති මාතෘකාව තුළ මෙම ගැටලුව ආමන්ත්‍රණය කරනු ලබයි. අප සතුව පවත්නා අගනා මිනිස් දිවිය අනිවාර්යයෙන්ම මරණයෙන් අවසන් වනු ඇති අතර මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ජීවිතය තුළ යම් ධනාත්මක දෙයක් සිදු නොකරන්නේ නම් වඩාත් අයහපත් තලයන්හි පුනරුත්පත්තිය සිදුවිය හැකි බව අවබෝධ කරගත් විටදී, ඉන් මිදෙන ආකාරය විමසා බලන්නෙමු. මේ හා සමානවම, පුනරුත්පත්තිය නොපිළිගත්තද, ලබා ඇති අගනා ජීවිත ඇගයීමට ලක්කොට , අපගේ ජීවිත ‍කෙතරම් නම් අර්ථ විරහිතව ගත කළෙමුද යන කරුණ පිළිබඳ පසුතැවීමක්ද සහිතව මියයාම කෙතරම් භයානක දෙයක් වන්නේද යන දැනුම සහිතව, මෙම ජීවිත කාලය තුළ කරුණු වඩාත් අයහපත් වීම පිළිබඳ බිය වෙමු.

බුදු දහම තුළ ලබාදෙනු ලබන ආරක්ෂිත දිශානතිය ත්‍රිවිධ රත්නය මගින් දක්වනු ලබයි. එ් අතරින් ප්‍රධාන වනුයේ සැබෑ නැවතුම හා සත්‍ය මාර්ග චිත්තයන් තුළින් අපගේ අඩු ලුහුඬුකම් මැඩ පවත්වමින් සියලු යහ ගුළ ගොඩනගා ගැනීම මගින් අපගේ හැකියාවන් සියල්ල අවබෝධ කරගැනීම නමැති ධර්මයයි. අඩු ලුහුඬුකම් තුළට කැළඹිලිකාරී භාවයන් හෙවත් ක්ලේශ ධර්මයන්ද, සමාධියෙන් තොරබව, ආත්ම පෝෂණය, ඵලදායී සන්නිවේදනය ආශ්‍රිත දුෂ්කරතා ආදිය ඇතුළත් වේ. යහ ගුණ තුළට කාරුණිකත්වය, දයාව, ඉවසීම, වැටහීම, සමාව ලබාදීම, අවංකත්වය ආදී මූලික මනුෂ්‍ය වටිනාකම් මෙන්ම ආචාර ධර්ම පිළිබඳ යම් හැඟීමක්ද, සමාධිය හා විදර්ශනාවද ඇතුළත් වේ. බුදුවරුන් විසින් පූර්ණ වශයෙන්ද, ඉහළ අවබෝධයක් සහිත ගුරුවරුන් විසින් යම් තාක් දුරකටද සිදුකර ඇති පරිදි, මෙම ගුණාංග සපුරා ගැනීම සඳහා කටයුතු කිරීම මගින් පැහැදිලිවම අප ජීවිත අර්ථවත් කරනු ඇත.

අප විසින් අන් අය සමගින් දේවල් හවුලේ බෙදා හදාගැනීමට කැමති විය හැකි නමුදු, මෙමගින් අදහස් වනුයේ හුදෙක් අපගේ සාර්ථකත්වය සමාජ මාධ්‍ය තුළ පළ කිරීම පමණක් නොව, වඩ වඩාත් වර්ධනය වන ආත්ම විශ්වාසයක් සමගින් අපට හැකි සුළු හෝ මහා පරිමාණ වූ කවරාකාරයකින් හෝ අන් අය වෙත උපකාර කරමින් ඔවුන් සමග අපගේ සංවර්ධනයන් බෙදා හදා ගැනීමයි. මෙලෙසින්, අපගේ ජීවිත තුළට ආරක්ෂිත දිශානතියක් ලබාදීම දේවල් වඩාත් නරක අතට හැරීම සම්බන්ධයෙන් පවත්නා බිය, අපගේ වර්ධනය පිණිස අප ජීවිත වඩවා ගැනීම එම ජීවිත වඩාත් නරක අතට හැරීමෙන් වැළැක්වීමේ ආරක්ෂිත දිශානතියක්ය යන කරුණ පිළිබඳ විශ්වාසය හා අපගේ සාර්ථකත්වයන් බෙදා හදා ගනිමින් උපකාර කිරීමේ කැමැත්තක් අප තුළ ඇති අන් අය කෙරෙහි වූ සැලකිලිමත්භාවය හා කරුණාව යන කරුණු මත රඳා පවතී.

භාවනාව

  • හුස්ම පිළිබඳ අවධානය යොමු කරමින් සන්සුන් වන්න.
  • ඔබගේ ජීවිතය පිළිබඳ සිතමින් එය අර්ථවත් බවක් ඔබට හැඟෙන්නේද, නැත්ද යන කරුණ අගයන්න.
  • ඔබගේ ජීවිතය සම්බන්ධ කරුණු අන් අය සමගින් හවුලේ බෙදා හදා ගැනීමට ඔබ කැමතිවන ආකාරය පිළිබඳ සිතන්න.
  • ඔබගේ අඩු ලුහුඬුකම් මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඔබගේ විභවයන් අවබෝධ කරගැනීම මගින් ඔබගේ ජීවිතයට අරුතක් ලබාදෙමින් හුදෙක් වල්පල් නොව යම් අර්ථාන්විත කරුණු අන් අය සමගින් බෙදා හදා ගැනීමට හැකියාව ලබාදෙන ආකාරය පිළිබඳ කල්පනා කර බලන්න. මාර්ගගතව පමණක් නොව, පුද්ගලික සම්බන්ධතාවලදීද ඔබ විසින් බෙදා හදාගන්නා දේ අන් අයට යම් ආකාරයකින් උපකාරී වන්නේ නම් කෙතරම් අසිරිමත්ද යන කරුණ පිළිබඳ සිතන්න.
  • ඔබගේ ජීවිතයට අර්ථාන්විත දිශානතියක් පිහිටුවාව නොගැනීම තුළ කඳු මුදුනක සිට ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටෙන ආකාරය සිතින් සිතාගන්න.
  • ඔබගේ ප්‍රගතිය පිණිස කටයුතු කිරීම තුළ ඔබ මෙම ප්‍රපාතයෙන් මිදෙන ආකාරයද එය අන් අය සමගින් හවුලේ බෙදා හදාගත හැකි අසිරිමත් ත්‍යාගයක් වන ආකාරයද සිතන්න.
  • ඔබගේ ජීවිතයට එම දිශානතිය පිහිටුවීමට අදිටන් කරගන්න.
  • එයම සිතින් සිතාගන්න. එනමුත් දැන් ඔබ එම කඳු මුදුනින් ඇද වැටෙන්නට ආසන්න, ගල්කුළු කෙළවරෙහි සිටින බව දකින්න.
  • එයම සිතින් සිතාගන්න. එනමුත්, ඔබ එම ගල් කුළෙන් තරමක් දුරින් සිටින නමුත් නොකඩවා එයට ආසන්න වෙමින් සිටින තත්ත්වයක් දකින්න. 

සාරාංශය

අපගේ ජීවිත එ්කාකාරී, නීරස හා අර්ථ විරහිත බවක් පෙනෙන බව දැනෙන විටදී, ප්‍රායෝගික ප්‍රවේශයකට පිවිසිය යුතුවේ. අප විසින් අපගේ ජීවිත තුළට ධනාත්මක දිශානතියක් පිහිටුවිය යුතුවේ. එය වූකලි අපට පමණක් නොව, අන් අය කෙරෙහිද අර්ථාන්විත වූවක් විය යුතුය. මෙම දිශානතිය වනුයේ අපගේ අඩු ලුහුඬුකම් මැඩ පවත්වමින් අපගේ ධනාත්මක විභවයන් අවබෝධ කරගැනීම නමැති අපගේම ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කිරීමකි. බුදුවරුන් විසින් පූර්ණ වශයෙන්ද, ඉහළ අවබෝධයක් සහිත උත්තමයන් විසින් යම්තාක් දුරකටද සාර්ථක කරගත් පරිදි අපගේ අවසන් අරමුණ මෙකරුණ මුළුමනින්ම ඉටුකර ගැනීම වුවද, නොවුවද මෙමගෙහි ගමන් කිරීම තුළ අපගේ ජීවිතවල ගුණාත්මකභාවය අති මහත් සේ වර්ධනය කරවනු ඇත.

Top