සන්සුන් වීම

හුස්ම රැල්ල පිළිබඳ අවධානය යොමු කරගෙන සිටිමින් හුස්ම වාර ගණන් ගණන් කිරීම තුළ අපි සන්සුන් වන අතර එමගින් ධනාත්මක චිත්ත ස්වභාවයන් ගොඩනගා ගැනීමට හැකිවේ.

පැහැදිලි කිරීම

භාවනාව යනු යම් කිසි කාර්යයක් නැවත නැවතද සිදු කිරීම මගින් ධනාත්මක පුරුදු ගොඩනගා ගැනීමේ ක්‍රමයකි. එය නව මධ්‍යස්ථ මාර්ගයක් සකසා පැරණි මාර්ගය දුර්වල කිරීමක් මෙනි. මෙය සිදු කිරීම සඳහා, නව හා වඩාත් ප්‍රයෝජනවත් වැටහීමක් හා ආකල්පයක් උත්පාදනය කිරීම සඳහා වූ නව අවකාශයක් සැකසීම උදෙසා අපගේ වේගවත්ව ධාවනයෙහි යෙදෙන සිත් පළමුව සන්සුන් කිරීම අවශ්‍ය වේ. සන්සුන් වීමේ හැකියාවමද ප්‍රයෝජනවත් පුරුද්දක් වන නමුත් ධනාත්මක හෝ හානිකර ආකල්පයක් ජනනය කිරීමේ පදනම විය හැක්කේ මධ්‍යස්ථ ස්වභාවයයි. ධනාත්මක චිත්ත ස්වභාවයක් ජනනය කිරීමේ විවෘත අවකාශය වශයෙන් මෙකී සන්සුන් චිත්ත ස්වභාවය යොදාගැනීමට අපට අවශ්‍යවන අතර, ඒ සඳහා එකරුණ අනිවාර්ය සූදානම්කාරිත්ව පියවරක් වේ.

සන්සුන් වීම තුළින් ජීවිතයේ ඉස්මතුවන දුෂ්කර දේවල් සම්බන්ධයෙන් වඩා හොඳින් කටයුතු කිරීමට අපට උපකාරයක් ලැබේ. නිරතුරුවම ඒවා සම්බන්ධයෙන් නිවැරදි ලෙස කටයුතු කිරීමෙන් අප වළකාලනු ලබන සාධකය වනුයේ අපගේ සිත් අපැහැදිලි වීමයි. වෙහෙස වීම හා ආතතිමය තත්ත්වය හේතුකොට ඒවා මානසික අයාලේ යාමේ තත්ත්වයෙන් පිරී පවතී. නිදසුනක් ලෙස, අපගේ කාර්යාලයෙහි දිගු, දුෂ්කර දිනයක් ගත‍කළේ යැයි සිතමු. කාර්යාලයෙන් පිටවීම සඳහා තවත් පැයක පමණ කාලයක් ඇති අතර තවත් කළයුතුව පවත්නා බො‍හෝ කටයුුතුද පවතී. මෙම අභියෝගාත්මක තත්ත්වයට පැහැදිලි චිත්ත ස්වභාවයකින් මුහුණ දීමට හැකිවනු පිණිස හුස්ම පිළිබඳ අවධානය යොමු කරගෙන සිටීම මගින් සිත සන්සුන් කරගැනීමට උපකාරයක් ලැබෙනු ඇත.

භාවනාව

  • ඔබගේ දෙඅත් උකුළ මත තබා ගනිමින්, දෑස් අඩවන් කොට තබාගෙන, බිම දෙසට නෙත් යොමුකොට දත් දෙපළ එකිනෙක තදින් තද කරගැනීමකින් තොරව කෙළින් හිඳ සිටින්න.
  • ඔබගේ උරහිස්, මුව හා නළල විශේෂ කොටගෙන සිරුරේ ආතතිමය තත්ත්වය ඉහිල් කරන්න. සිරුරේ ආතතිමය තත්ත්වය ඉහිල් වූයේ නම් විනා සිත සන්සුන් කළ නොහැක.
  • සාමාන්‍ය පරිදි නාසයෙන් හුස්ම ගන්න.
  • ඔබගේ නාස් පුඩු තුළින් ඉහළට, පහළට ගමන් ගන්නා හුස්ම රැල්ලෙහි දැනීම මත අවධානය යොමු කරමින් නැවත නැවතද හුස්ම වාර 11ක් දක්වා ගණන් කරන්න.
  • හුස්ම දැනීම හා ගණනය පිළිබඳ සතිමත්ව සිටින්න (චිත්ත මැලියමෙන් බැඳී සිටින්න)
  • අඳුරු ස්වභාවය හෝ මනස අයාලේ යාම හේතුකොට අවධානය ගිලිහී ගිය විටදී පරීක්ෂා කිරීම සඳහා සූදානම්කාරිත්වයක් පවත්වා ගන්න.
  • ඔබගේ අවධානය ගිලිහී ගොස් ඇති බව පරීක්ෂාවන විටදී, හුස්ම හා ගණනය මත නැවත අවධානය යොමු කරන්න.
  • මනස අයාලේ යාමේ තත්ත්වයක් පරීක්ෂාවට ලක් වන්නේ නම්, ප්‍රශ්වාස කරන විටදී එය ඔබගේ සිතින් බැහැර වන බව සිතමින් නැවතත් අවධානය හුස්ම හා ගණනය මත යොමු කරවන්න.
  • ඔබගේ උරහිස් හෝ මුහුණ නැවතද තදවී ඇත්නම්, ඒවා නැවත වරක් ඉහිල් කරන්න.
  • අවසන, භාවනාවෙන් සංක්‍රාන්තියක් වශයෙන්, නිශ්චල මනසකින් නැවතද සන්සුන් වන්න.

සාරාංශය

අප වෙහෙසට හා ආතතියට පත්ව ඇති අතර අභියෝගාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස වැඩි චිත්ත පැහැදිලි භාවයක් හා භාවමය සමබරතාවයක් අවශ්‍යවන විටදී, සන්සුන් වී අපගේ භාවමය හා චිත්ත ස්වභාවය නැවත ලබාගත යුතුය. පරිගණකයක් මෙන් අපගේ සිත්ද නැවත ආරම්භ කළ යුතුවේ. මෙය සිදු කිරීම සඳහා, හුස්ම චක්‍රයන් ගණනය කරන අතරම අපගේ සිරුරු ඉහිල් කරමින් හුස්ම මත අවධානය යොමු කළ යුතුය. භාවනාව පිළිබඳ මෙම ක්‍රමය නිවසේදී පුහුණු කිරීම මගින් එදිනෙදා ජීවිතයේදී අවශ්‍යවන අවස්ථාවන්හි අදාළ ක්‍රමය යොදා ගැනීමට සිහිපත්වන ආකාරයෙන් මධ්‍යස්ථ මාර්ගයක් හා පුරුද්දක් ගොඩනගන අතර එමගින් එය භාවිතයෙහි යෙදවීම වඩාත් පහසු එකක් බවට පත්වේ.

Top