ලොව පුරා අද දින වෙසක් පොහොය සමරන බෞද්ධ සොයුරු සොයුරියන්ට ශුභාශංසන පළ කිරීමට ලැබීම මට මහත් සතුටකි.
වසර 2600කට පෙර ශාක්‍යමුනි බුදුරජාණන්වහන්සේ ලුම්බිණියේදී ඉපදුණහ. බෝධ්ගයාවේදී බුදු බවට පත් වූහ. කුශිනගර්වලදී පිරිනිවන් පෑහ. එහෙත් උන්වහන්සේගේ ඉගැන්වීම් විශ්වීය ලෙස අදටත් අදාළ වන පරිදි පවතින බව මම විශ්වාස කරමි. පරෝපකාරය පිළිබඳ ගැඹුරු සංවේදී බවකින් මෙහෙයවුණු බුදුන්වහන්සේ තම සම්බෝධියෙන් අනතුරුව තමුන්වහන්සේගේ අත්දැකීම් ඇසීමට ප්‍රිය කරන අය සමග බෙදා හදා ගනිමින් ජීවිතයේ ඉතිරි කාලය ගත කළ සේක. ප්‍රතීත්‍යසමුත්පාදය පිළිබඳ උන්වහන්සේගේ දැක්මත් කිසිවෙකුටත් හිංසා නොකර, හැකි සෑම අයෙකුටම උපකාර කිරීමට කළ අවවාදයත් යන දෙකම අහිංසාව පුහුණු කිරීම පිළිබඳ ඉස්මතු කර පෙන්වයි. වර්තමාන ලෝකයේ යහපත උදෙසා මෙය ප්‍රබල බලවේගයක් ලෙස රඳා පවතිනු ඇත. ඇයිද යත්, කරුණාවෙන් පෙලඹුණු අහිංසාව යනු අපේ හිතවත් මිනිස්වර්ගයාට සේවය කිරීමේදී තිබිය යුතු දෙයකි.
එන්න එන්නම එකෙකා මත යැපෙන ලෝකයක, අපේම යහපැවැත්ම සහ සතුට රඳා පවතින්නේ අනෙක් මිනිසුන් බොහෝ දෙනෙකු මතය. අද වන විට අප මුහුණ දෙන අභියෝග අපෙන් ඉල්ලා සිටින්නේ මනුෂ්‍යත්වයේ ඒකත්වය පිළිගන්නා ලෙසයි. අප අතර මතුපිටින් ඇති වෙනස්කම් නොසලකා සිටි විට, සාමය සහ සතුට පිළිබඳව ඇති මූලික ප්‍රාර්ථනාවෙන් මිනිස්සු සමාන වෙති. භාවනාව තුළින් අපේ මනස හික්මවීම බෞද්ධ ප්‍රතිපදාවේ කොටසකි. අපගේ මනස සංවර කරගැනීමේ පුහුණුවත් මෛත්‍රිය, කරුණාව, පරිත්‍යාගය සහ ඉවසීම යන ගුණධර්ම වර්ධනය කරගැනීමත් ඵලදායී වන්නට නම් අපි ඒවා එදිනෙදා ජීවිතයේදී පුරුදු පුහුණු කළ යුත්තෙමු.
මෑතක් වන තුරුම, ලෝකයේ විවිධ බෞද්ධ ප්‍රජාවන්ට ඔවුනෝවුන්ගේ පැවැත්ම පිළිබඳව තිබුණේ දූරස්ථ අවබෝධයක් වන අතර අප කෙතෙක් පොදු කරුණු හුවමාරු කරගන්නේද’යි අගය කිරීමටද අවස්ථාවක් නොතිබිණි. අද වන විට, විවිධ භූමිප්‍රදේශවලින් විකාසය වුණු සියලු බෞද්ධ සම්ප්‍රදායවලටම පාහේ කැමැති අයෙකුට පිවිසිය හැකිය. එපමණකුත් නොව, මේ විවිධ බෞද්ධ සම්ප්‍රදායයන් අනුගමනය කරමින් උගන්වමින් සිටින අයට දැන් ඔවුනොවුන් මුණ ගැසී ඉගෙන ගැනීමටද හැකියාව ඇත.
ටිබෙට් භික්ෂූන්වහන්සේ නමක් වශයෙන් මම මාව නාලන්දා සම්ප්‍රදායයේ උරුමකරුවෙකු ලෙස සලකමි. නාලන්දා විශ්වවිද්‍යාලයයේදී බුදුදහම උගන්වන ලද සහ හදාරන ලද ක්‍රමය තර්කය සහ න්‍යාය මත මුල්බැස ගත් භාරතය තුළ බුදුදහමේ උපරිමය නියෝජනය කළ ක්‍රමයකි. අප 21වන සියවසේ බෞද්ධයන් වන්නේ නම්, හුදෙක් ශ්‍රද්ධාව මත යැපෙන්නේ නැතිව, ඔවුන් එදා එහිදී කළ මෙන් බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම් හදාරමින් විශ්ලේෂණ කිරීමේ නිරත වීම වැදගත් වේ.
බුදුන්වහන්සේගේ කාලයෙන් පටන්ගෙන ලෝකය බරපතල ලෙස වෙනස් වී ඇත. භෞතික තලය පිළිබඳ විදග්ධ අවබෝධයක් නූතන විද්‍යාව මඟින් සංවර්ධනය කර ඇත. අනෙක් අතට, සාපේක්ෂව නූතන විද්‍යාවට තවමත් අලුත් වන මනසේ සහ මනෝභාවයන්ගේ ක්‍රියාකාරිත්වය පිළබඳ උත්තම-පුරුෂ අවබෝධයක් බෞද්ධ විද්‍යාව අත් කරගෙන සිටී. දෙපාර්ශ්වයටම අනෙකාට පරිපූරක වූ තීරණාත්මක දැනුමක් ඇත. මේ එළඹුම් දෙක එකට එකතු කිරීම අපගේ කායික, මනෝභාවික සහ සාමාජික යහපැවැත්ම ඔප්නංවන නව ගවේෂණයන් වෙත යොමු කරවන ඉමහත් ශක්‍යතාවක් බව මම විශ්වාස කරමි.
බෞද්ධයන් වශයෙන් බුදුන්වහන්සේගේ ඉගැන්වීම් දරා සිටින්නේ අප වුවත් උන්වහන්සේගේ පනිවුඩය අදාළ වන්නේ සෙසු මිනිස් වර්ගයා සමග සිදුකරන අපගේ පෘථුල අන්තර්ක්‍රියා සමගය. සෑම ආගමක්ම සියලු මිනිසුන්ගේ සතුට ප්‍රවර්ධනය කරන්නේය යන සාධකය පාදක කරගනිමින් අන්තර්-ආගමික අවබෝධය අපි ප්‍රවර්ධනය කිරීම අවශ්‍යය. එසේම, ලෝකය මුහුණ පා සිටින මෙම දරුණු ව්‍යසනකාරී කාලයේදී, අපේ සෞඛ්‍ය පිළිබඳ අප තර්ජනයකට මුහුණ දී සිටින සහ අප අතුරින් වියෝවට පත් පවුල් සහ මිතුරන් ගැන ශෝකයෙන් සිටින කාලයකදී, අපව එකම මිනිස් පවුලක සාමාජිකයන් ලෙස බැඳ තබන දේ ගැන අප අවධානය යොමු කළ යුතුය. ඒ අනුව, අප සෑම අයෙකු වෙතම කරුණාවෙන් යුතුව දෑත් දිගු කිරීම අවශ්‍යය. කුමක් නිසාද යත්, අප මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝගයන් ජය ගත හැකි වන්නේ සාමූහික සහ ගෝලීය ප්‍රයත්නයක් මත එකට එකතු වීමෙන් පමණිය.
දලයි ලාමා 2020 මැයි 07 දින,