සතුට වෙනුවෙන් වෙරදැරීම ජීවිතයේ අරමුණය
අප මෙහි ඉන්නවා. අප පවතිනවා. අපට පවතින්න අයිතියක් තියෙනවා. ‘මල්’ වගේ අචේතනික ජීවකයකට වුණත් පවතින්න අයිතියක් තියෙනවා. ඒවාට එරෙහිව ඍණාත්මක බලයක් යෙදෙව්වහොත්, ජීවය පවත්වාගෙන යන්නට මල් තමුන්වම රසායනික වශයෙන් නවීකරණය කරගන්නවා. ඒත් [ඊට වඩා], මිනිසුන් කියන අපිත්, කෘමි සතුනුත් ඇතුළත්ව, කුඩාම ජීවීන් ලෙස සලකන ඇමීබාවාත් සචේතනික ජීවීහු. [සචේතනික ජීවීන් විදිහට ජීවිතය පවත්වාගෙන යන්නට අපට ඊටත් වඩා යාන්ත්‍රණයක් තියෙනව.]
මා විද්‍යාඥයන් සමග කළ සාකච්ඡාවලට අනුව “සචේතනික සත්ත්වයෙකු” කියන්නේ තමුන්ගේ කැමැත්තට, අභිලාසයට අනුව චලනය වෙන්න හැකි අය. “සචේතනික” යන්නෙන් අනිවාර්යයෙන් සවිඥානික බව හෝ සවිඥානික මට්ටමේ සිටින මිනිසුන් හෝ අදහස් කරන්නේ නැහැ. ඇත්තටම “විඥානය” නැතිනම් “විඥානවත් බව” යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා නිර්වචනය කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් එමඟින් අපේ මනසේ පැහැදිලිම අංශය අදහස් කරනවා. ඒත් එයින් කියන්නේ අප අඩසිහියෙන් හෝ අවසිහියෙන් හෝ සිටින විට විඥානයක් නැතිද? කෘමි සතුන්ට එය තියෙනවාද? බාගදා, විඥානයට වඩා “ඥානාත්මක ඉන්ද්‍රිය” කියා කතා කිරීම වඩා හොඳ විය හැකියි.
කොහොම බැලුවත් වැදගත්ම කාරණය මෙයයි. [ඥානාත්මක ඉන්ද්‍රිය යනුවෙන්] අප මෙහිදී අදහස් කරන්නේ වේදනාව, සතුට, එහෙම නැතිනම් ස්වභාවික හැඟීම් කියන විඳීම් ගැන දැන ගැනීමේ හැකියාවයි. ඇත්තටම, වින්දනය සහ වේදනාවත් [සතුට සහ නොසතුටත්] අප වඩාත් ගැඹුරින් පරීක්ෂා කර බලන්න අවශ්‍යයි. උදාහරණයක් විදිහට, හැම සචේතනික සත්ත්වයෙකුටම ජීවය පවත්වාගෙන යන්න අයිතියක් තියෙනවා. මෙතැනදී ජීවය පවත්වාගෙන යාම යනුවෙන් අදහස් කරන්නේ සතුට සහ සුවපහසුව ඇති කරගැනීමේ අභිලාසයක් තිබීම. ඒ වෙනුවෙන් තමා සචේතනික සත්ත්වයන් ජීවය පවත්වාගෙන යන්න වෙරදරන්නේ. මේ විදිහට බැලුවාම, අපේ ජීවන පැවැත්ම රඳාපවතින්නේ බලාපොරොත්තුවීම මත; හොඳ දෙයක් බලාපොරොත්තුවීම මත. ඒ තමා සතුට. මෙන්න මේ නිසා තමා මා නිතරම ජීවිතයේ අරමුණ සතුටයි කියා නිගමනය කරන්නේ. බලාපොරොත්තුවීමත් සතුටින්පිරි හැඟීමත් සමග අපේ සිරුරට හොඳ හැඟීමක් දැනෙනවා. මේ නිසා, බලාපොරොත්තුවීම සහ සතුට කියන්නේ අපේ සෞඛ්‍යයට හිතකර සාධක. හිතේ සතුට මත තමා සෞඛ්‍ය රඳාපවතින්නේ.
අනෙක් අතට, කෝපය ඇතිවෙන්නේ අනාරක්ෂිත බව කියන හැඟීම මත. ඒ හැඟීමෙන් අපට බිය ඇති වෙනවා. අපට හොඳ දෙයක් මුණගැහුණාම ආරක්ෂිත බවක් දැනෙනවා. යමක් තර්ජනාත්මක වන විට, අපට අනාරක්ෂිත බවක් දැනී ඊට පසුව කේන්තියක් එනවා. අපේ ජීවන පැවැත්මට හානි කරන යමක් තියේ නම් එයින් ආරක්ෂා වීමට මනසේම ඇති වන කොටසක් තමා කෝපය කියන්නේ. ඒ වුණාට, කෝපයෙන් අපට ඇති වෙන්නේ නරක හැඟීමක්. ඒ නිසා අන්තිමේදී එය අපේ සෞඛ්‍යයට නරකයි.
ඇලීම කියන්නේත් ජීවන පැවැත්මට උපකාරී වන මූලධාතුවක්. බලන්නකෝ, කිසිම සවිඥානික බවක් නැතිවත් ගහකට පවා තමුන්ව ආරක්ෂා කරගෙන (තමුන්ගේ) වැඩීමට උදවු කරගන්න එක්තරා රසායනික අංශයක් තියෙනවා. භෞතික වශයෙන් අපේ ශරීරයත් ඒ වගේ තමා. ඒත් මිනිසුන් විදිහට, කිසියම් පුද්ගලයෙකු වෙත, නැතිනම් අපේම සතුට වෙත ඇලීමක් ඇති කරගන්න අපේ සිරුරට තවත් මනෝභාවාත්මක සාධනීය මූලධාතුවක් තියෙනවා. [අනෙක් අතට, කෝපය සහ එහි] හානිදායක මූලය අපව [සතුට වගේ] දේවලින් එළියට තල්ලු කරනවා. කායික මට්ටමේදී සතුට ගෙනදෙන වින්දනයක් ශරීරයට හොඳයි. කෝපය සහ ඒ හේතුවෙන් ඇතිවන නොසතුට හානිකාරකයි. මේ නිසා, ජීවන පැවැත්ම හඹාගෙන යනවා යන දෘෂ්ටිකෝණයෙන් බැලුවාම ජීවිතයේ අරමුණ කියන්නේ සතුටින්පිරි ජීවිතයක් තිබීම.
මේ තමා මා කතා කරන මූලික මානුෂීය මට්ටම. ද්විතීයක වශයෙන් තියෙන ආගමික මට්ටම ගැන මා කතා කරන්නේ නැහැ. ආගමික මට්ටමේදී, ඇත්ත, ජීවිතයේ අරමුණ ගැන වෙනස්ම විදිහේ පැහැදිලිකිරීම් තියෙනවා. මේ ද්විතීයක පැතිකඩ ඇත්ත වශයෙන්ම ටිකක් පටලැවිලිසහගතයි. ඒ නිසා, වඩා හොඳයි මූලික මානුෂීය මට්ටම ගැන කතා කිරීම.
සතුට කියන්නේ කුමක්ද?
ජීවිතයේ ඉලක්කය එහෙම නැතිනම් අරමුණ සතුට නේ. මොකද්ද මේ සතුට කියන්නේ? [ඉමහත් පරිශ්‍රමයෙන් ව්‍යායාම කිරීමෙන් පසුව මලලක්‍රීඩකයෙකු ලබා ගන්නවා වගේ] ඇතැම් වෙලාවට කායික පීඩාවකින් සංතෘප්තිය (satisfaction) පිළිබඳ වඩා ගැඹුරු හැඟීමක් ලැබෙන්න පුළුවන්. ඉතිං, “සතුට” කියන්නේ ප්‍රධාන වශයෙන්ම සංතෘප්තිය පිළිබඳ ගැඹුරු හැඟීමක්. මේ නිසා, ජීවිතයේ අරමුණ, නැතිනම් අපේ ඉලක්කය වෙන්නේ සංතෘප්තිය.
සතුට, දුක හෝ පීඩාව - මේ දේවලට මට්ටම් දෙකක් තියෙනවා. ඉන්ද්‍රීයබද්ධ මට්ටම සහ මානසික මට්ටම කියා. ඉන්ද්‍රීයබද්ධ මට්ටම කියන දේ කුඩා ක්ෂීරපායී සත්ත්වයෙකුට, මැස්සෙකු වගේ කෘමියෙකුට පවා පොදුයි. සීත කාලගුණයක් තියෙද්දි, ඉර පායාගෙන එන වෙලාවට, මැස්සෙකු එක්තරා සතුටක් පෙන්වනවා. ඌ ලස්සනට වටේට පියාඹනවා. සීත කාමරයකදී ඌ වේගය අඩු කරනවා. ඌ දුකින් ඉන්නවා වගේ සලකුණු පෙන්වනවා. ඒත්, මෝරපු මොළයක් තිබුණා නම්, ඉන්ද්‍රීයබද්ධ වින්දනය ගැන මීට වඩා ප්‍රබල හැඟීමක් ඇති වෙනවා. [ඒ විතරක් යැ], අපේ මෝරපු මොළය ගත්තාම ඒක ප්‍රමාණයෙනුත් විශාලයි. මේ නිසා, අපට බුද්ධියකුත් තියෙනවා.
හිතා බලන්න කායිකව කිසිදු තර්ජනාත්මක බවක් නැති මිනිසුන් ගැන. ඒ අය සතුටින් ඉන්නවා. සුඛෝපභෝගි ජීවිතයක් තියෙනවා, හොඳ යාළුවන් ඉන්නවා, හොඳ වැටුපක් සහ නමක් තියෙනවා. ඒත් එහෙම වුණත්, අප දැකල තියෙනවා සමහර මිලියනපතියන්. උදාහරණයක් විදිහට තමුන්ට සමාජයේ වැදගත් තැනක් තියෙනවා කියා ඒ අයට දැනෙනවා, ඒත් පුද්ගලයන් විදිහට ඒ මිනිසුන් හරිම නොසතුටින් ඉන්න අය. බොහොම සුළු අවස්ථා කීපයකදී ධනවත් සහ බලවත්, ලොකු කරදරයකින් පෙළෙන බව පෙන්වන මිනිසුන් මට මුණගැසී තියෙනවා. ඇතුළතින් ඒ අයට පාළුව, ආතතිය, කණස්සල්ල කියන දැනීම් තිබුණා. මේ විදිහට, මානසික මට්ටමේදී, ඒ අය පීඩා විඳිනවා.
අපට විශ්මයජනක බුද්ධියක් තියෙනවා. මේ නිසා කායික මට්ටමට වඩා අපේ අත්දැකීම්වල තියෙන මානසික මට්ටම වඩා බලවන්තයි. එයින් පුළුවන් කායික වේදනාව අවම කරන්න හෝ යටපත් කරන්න. පුංචි උදාහරණයක් කීවොත්, ටික කාලයකට පෙර මට බරපතල අසනීප තත්ත්වයක් ඇතිවේගෙන ආවා. ඒක මගේ බඩවැල්වල ලොකු වේදනාවක්. ඒ දවස්වල මා සිටියේ බිහාර්වල, ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තය. මා බුද්ධගයාව සහ නාලන්දාව පසුකරගෙන යමින් හිටියේ. එහිදී හුඟාක් දුප්පත් ළමයි ගොඩාක් දැක්කා. ඒ අය ගොම එකතු කරමින් හිටියේ. ඒ දරුවන්ට කිසිම අධ්‍යාපන පහසුකමක් තිබුණේ නැහැ. මට සෑහෙන දුකක් ඇති වුණා. පසුව, පැට්නා ළඟදී, ඒ කියන්නේ ප්‍රාන්තයේ අගනුවර ළඟදි, මගේ වේදනාව වැඩි වෙලා සෑහෙන්න දාඩිය දැම්මා. එතැනදී එක්තරා වයසක මිනිසෙකු, රෝගි මිනිසෙකු, හුඟාක්, හුඟාක් කිළිටි සුදු රෙද්දක් ඇඳගෙන ඉන්නවා මට දකින්න ලැබුණා. ඒ මනුස්සයා ගැන කවුරුවත් සොයා බලන්නේ නැහැ. හරිම දුකයි. එදා රෑ, මගේ හෝටල් කාමරයේදී, මගේ කායික වේදනාව ඉතා දරුණු වුණා. ඒත් මගේ හිතින් හිත හිත හිටියේ අර ළමයි ගැනයි, වයසක මනුස්සයා ගැනයි. ඒ සිතා බැලීම මගේ කායික වේදනාව සෑහෙන්න අඩු කළා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන්න පුහුණු වන අය උදාහරණයක් විදිහට ගන්න. කොයි තරම් වේදනාබර, දරදඬු අත්දැකීමක් විඳින්න වුණත් කමක් නැහැ, ඒ අය හුඟාක් තදබල පුහුණුවීම් කරනවා, මොකද මානසික වශයෙන් ඒ අය සතුටින් ඉන්නේ. මේ විදිහට, කායික අත්දැකීමට වඩා මානසික මට්ටම වඩා වැදගත්. මේ නිසා, ජීවිතයේ ඇත්තටම වැදගත් වෙන්නේ සතුට සහ සංතෘප්තිය.
සතුට ඇතිකරවන හේතු
දැන්, සතුට ඇතිකරවන හේතු මොනවාද? මේ ශරීරය කියන මූලධාතුව සංසුන් මනසක් සමග හොඳට පෑහෙනවා, විසිරුණු මනසක් සමග නෙවේ. ඒ නිසා, සංසුන් මනස හරිම වැදගත් කියා මා සිතනවා. අපේ කායික තත්ත්වය අදාළ වෙන්නේ නැහැ. මානසික සංසුන් බව තමා වැදගත්. ඉතිං, කොහොමද සංසුන් මනසක් අප ඇති කර ගන්නේ?
මෙහෙමයි, හැම ප්‍රශ්නයකින්ම අතමිදෙනවා කියන කාරණය ප්‍රායෝගික නොවේවි. මනස ම්ලාන කරගෙන අපේ ගැටලු අමතක කරනවා කියන කාරණයත් හරියන්නේ නැහැ. අපට අපේ ගැටලු දිහා පැහැදිලිව බලා ඒවා සමග කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒත් ඒ සමගම මනස සංසුන්ව තියා ගන්නවා නම් අපට යථාර්ථවාදීව එළඹිලා ඒවාට හොඳින් පිළියම් කරන්න, ඒවා සමග නිවැරදිව කටයුතු කරන්න පුළුවන් වෙනවා.
ආතතිය අඩුකරගෙන මනස පැහැදිලි කරගන්න පෙති භාවිත කරන අය ගැන හිතුවොත් - මේකයි, මට එහෙම අත්දැකීමක් නැහැ. මිනිසුන් මේ පෙති ගන්න වෙලාවට, ඒ අයගේ බුද්ධිය තියුණුද නැතිනම් ම්ලානද කියා කියන්න මා දන්නේ නැහැ. මට ඒ ගැන අහල බලන්න වෙනවා. උදාහරණයක් කිව්වොත්, 1959දී, මා මුසඕරිවල ඉන්න කාලේ, මගේ අම්මා, සමහරවිට වෙන කෙනෙකු වෙන්න ඇති, කරදරයකින් සෑහෙන්න සාංකාවකින් හිටියා. නින්ද නොයාම තමා කරදරය වුණේ. වෛද්‍යවරයා කීවා, ඒ සඳහා ඒ අයට ගන්න බෙහෙත් ටිකක් තියෙනවා, හැබැයි ඒකෙන් මනස ටිකක් ම්ලාන කරනවා කියා. ඒ වෙලාවේ ඒක හොඳ නැහැ කියා මට හිතුණා. එක පැත්තකින්, ඔබට තියෙන්නේ පොඩිත්තක් සංසුන් වූ මනසක්. අනෙක් පැත්තෙන්, බෙහෙත් පෙත්තෙ බලපෑමෙන් වෙන්නේත් එය ම්ලාන වීම නම් ඒක හොඳ නැහැ. මා වඩාත් ප්‍රිය කළේ වෙන ක්‍රමයකට. මා කැමතියි, හොඳින් වැඩ කරන, අවධානයෙන් සහ සීරුවෙන් සිටින බුද්ධිය කරදරයකුත් නැතිව තියෙනවා නම්. කරදරයක් නැති මානසික සංසුන් බව තමා හොඳම.
මේ සඳහා, කරුණාබර මානව සෙනෙහස ඇත්තටම වැදගත්. අපේ මනස කරුණාවෙන් බර වෙන්න, බර වෙන්න, අපේ මොළය හොඳින් වැඩකරනවා. අපේ මනසින් භය, කේන්තිය ඇති කරනවා නම් ඒක ඇති වෙද්දි අපේ මොළය හුඟාක් දුර්වලව තමා ක්‍රියා කරන්නේ. වතාවක් අවුරුදු අසූවත් ඉක්මවූ විද්‍යාඥයෙකු මට මුණ ගැහුණා. ඔහු ලියපු පොත්වලින් එකක් මට දුන්නා. මා හිතන්නේ ඒක අපි කෝපයේ සිරකරුවෝ (We Are Prisoners of Anger) වගේ නමක් තියෙන එකක්. ඔහුගේ අත්දැකීම් කතා කරන විට, ඔහු කීවා, අප යම් වස්තුවක් වෙත කේන්ති ගන්නවා නම් ඒ වස්තුව අපට ඍණාත්මකව පේන්න ගන්නවා කියා. ඒත් ඒ ඍණාත්මක බවින් සීයට අනූවක්ම අපේ මානසික ප්‍රක්ෂේපණයක්. මේ ඔහුගේම අත්දැකීම.
බුදුදහම කියන්නේත් ඒකමයි. ඍණාත්මක මනෝභාවයන් ඇති වෙනකොට අපට යථාර්ථය දකින්න බැහැ. අප තීරණයක් ගන්න ඕනැ වෙලාවක, මනස කෝපයෙන් යටපත් වෙලා නම් තියෙන්නේ, ඒ වෙලාවට අප වැරදි තීරණයක් ගන්න තමයි ඉඩ තියෙන්නේ. කාටවත් ඕනෙ නැහැ වැරදි තීරණ ගන්න. ඒත් ඒ මොහොතේ, හරි වැරද්ද තෝරා බේරා ගෙන හොඳම තීරණය ගන්න ක්‍රියාත්මක වන අපේ බුද්ධියේ සහ මොළයේ කොටස වැඩ කරන්නේ ඉතාම දුර්වලව. ශ්‍රේෂ්ඨ නායකයෝ පවා මේක මේ විදිහට අත්විඳල තියෙනවා.
මේ විදිහට, කරුණාවයි සෙනෙහසයි මොළය වඩාත් සුමටව ක්‍රියාත්මක කරවීමට උපකාරී වෙනවා. දෙවැනියට, කරුණාව අපට මානසික ශක්තිය ලබා දෙනවා. බිය අවම කරවන ආත්මවිශ්වාසය එයින් ගෙන එනවා. එමඟින් අපේ මනස සංසුන්ව තබනවා. මෙහෙම, කරුණාවට කාර්යයන් දෙකක් තියෙනවා. එය අපේ මොළය හොඳින් ක්‍රියාත්මක කරවන්න හේතු වෙනවා, ඒ වගේම මනසික ශක්තියත් එයින් ගෙනෙනවා. මේවා තමයි සතුට ඇති කරවන හේතු. මට ඒක දැනෙන්නේ එහෙමයි.
ඇත්තටම, තවත් හොඳ හොඳ ක්‍රම තියෙනවා සතුට ලබා ගන්න. උදාහරණයක් කිව්වොත්, හැමෝම කැමතියි සල්ලිවලට. අපට සල්ලි තියෙනවා නම් හොඳ පහසුකම් විඳින්න තිබුණා. සාමාන්‍යයෙන් අප වඩාත් වැදගත් දේවල් විදිහට සලකන්නේ මේවා. ඒත් මා නම් එය එහෙමයි කියා හිතන්නේ නැහැ. ද්‍රව්‍යමය සුවපහසුව කායික පරිශ්‍රමයෙන් ලබා ගන්න පුළුවන්. ඒත් මානසික සුවපහසුව එන්නේ මානසික පරිශ්‍රමයකින්. අප කඩේකට ගිහිං සල්ලි දීලා මුදලාලිට කියනවා නම් අපට හිතේ සැනසීම මිලදී ගන්න ඕනැ කියා ඔවුන් කියාවි ඒ අයට එහෙම විකුණන්න දෙයක් නැහැ කියා. හුඟාක් කඩහිමියන්ට මේක මහ විකාර දෙයක් කියා හිතිලා හිනා යාවි. කිසියම් එන්නතක් හෝ බෙහෙත් පෙත්තක් හෝ ඇතැම් විට තාවකාලික සතුටක් සහ හිතේ සංසුන් බවක් ගෙන එන්නට සමත් වේවි. ඒත් සම්පූර්ණයෙන්ම නෙවේ. මනෝ-උපදේශනය පිළිබඳ උදාහරණවලින් අපට දකින්න පුළුවන් මනෝභාවයන් හාංබාන් කරගන්න වෙන්නේ සාකච්ඡාවෙන් සහ තර්කණයෙන් බව. ඒ නිසා අප මානසික එළඹුමක් යොදා ගත යුතුයි. මෙන්න මේ නිසා, මා කතාවක් පවත්වන හැම වෙලාවකම කියනවා, නූතන මිනිසුන් වන අප භෞතික සංවර්ධනය ගැන ඕනෑවටත් වඩා හිතනවා කියා. අප ඒ තලය ගැන විතර නම් අවධානය යොමු කරන්නේ, ඒක මදි. අව්‍යාජ සතුටක් සහ සංතෘප්තියක් ආ යුත්තේ ඇතුළතින්.
ඒ සඳහා මූලික ධර්මතා වෙන්නේ කරුණාව සහ මානව සෙනෙහස. ඒවා එන්නේ ජෛවීය වශයෙන්. ළදරුවෙකු හැටියට නම්, අපේ ජීවන පැවැත්ම මුළුමනින්ම රඳා පවතින්නේ සෙනෙහස මත. සෙනෙහස තියෙනවා නම් අපට ආරක්ෂිත බවක් දැනෙනවා. ඒක නැතිනම්, අපට කණස්සල්ලක් සහ අනාරක්ෂිත බවක් දැනෙනවා. අප අම්මාගෙන් වෙන් වුණාම අඬනවා. අප ඉන්නේ අම්මගේ අත්දෙකේ නම් අපව තදේට උණුසුම්ව අල්ලාගෙන ඉන්නවා නම් අපට සතුටක් දැනී නිශ්ශබ්ද වෙනවා. පුංචි දරුවෙකුට මේක ජීවවිද්‍යාත්මක සාධකයක්. න්‍යෂ්ටික ප්‍රචණ්ඩත්වයට විරුද්ධව ක්‍රියා කළ, මගේ ගුරුවරයෙකුද වන, එක් ජීවවිද්‍යාඥයෙකු ඉන්නවා. ඔහු කීවා උපතින් පසු සති කීපයක් යන තුරු අම්මාගේ කායික ස්පර්ශය ළදරුවාගේ මොළය සහ වැඩීම විශාල වීමට අතිශයින් වැදගත් වෙනවා කියා. එයින් ආරක්ෂාව සහ සුවපහසුව පිළිබඳ හැඟීමක් එනවා වගේම, එමඟින් මොළය ඇතුළු කායික වැඩීමේ ක්‍රමික සංවර්ධනයක් ඇති වෙනවා.
ඉතිං, කරුණාවේ සහ සෙනෙහසේ බීජය ආගමින් එන දෙයක් නෙවේ. ඒක එන්නේ ජීවවිද්‍යාවෙන්. අප හැම කෙනෙකුම එන්නේ මව්කුසින්, ඒ වගේම හැම කෙනෙකුම ජීවය පවත්වාගෙන යන්නේ අම්මගේ රැකවරණය සහ සෙනෙහස නිසා. භාරතීය සම්ප්‍රදායය තුළ, ශුද්ධභූමියේදී නෙළුම්මලකින් ඉපදීමක් ගැන කල්පනා කරනවා. ඒක නම් හොඳයි වගේ, ඒත් සමහර විට එහෙ මිනිසුන් නෙළුම්මල්වලට මිනිසුන්ට වඩා සෙනෙහසක් දක්වනවා ඇති. ඒ නිසා මව්කුසින් ඉපදීම වඩා හොඳයි. එතකොට අප කරුණාවේ බීජය දරාගෙනයි එන්නේ. ඉතිං, ඒවා තමයි සතුට ඇති කරවන හේතු.