සදාචාරාත්මක ජීවිතයකට යොමුවන අයුරු

ආත්මාර්ථය පරයන පරාර්ථය සදාචාරාත්මක ජීවිතයකට මූල හේතු ලෙස

බුදුදහමේ හරය: අපට අන් අයට උදවු කළ හැකි නම් අප එය කරන්නට ඕනැ. අපට නොහැකි නම්, අඩුම තරමේ අන් අයට හානියක් කිරීමෙන් වැළකෙන්න ඕනැ. සදාචාරාත්මක ජීවිතයකට යොමු කරවන හරය එයයි.

හැම ක්‍රියාවක්ම ඇති වෙන්නේ අභිප්‍රායකින්. අප අන් අයට හානි කරනවා නම් එය සිදුවන්නේ අභිප්‍රායකින්. අන් අයට උදවු කරනවා නම් එයත් සිදුවන්නේ අභිප්‍රායකින්. ඉතිං, අන් අයට උදවු කරන්න, ඒ අයට සේවය කරන්න, අපට කිසියම් අභිප්‍රායක් අවශ්‍යයි. ඒ සඳහා අපට යම් යම් සංකල්ප අවශ්‍යයි. ඇයි අපි උදවු කරන්නේ, ඇයි හානි නොකරන්නේ?

උදාහරණයක් විදිහට, අප යම් කෙනෙකුට හානියක් කරන්න යන විට අපට ඒ ගැන යම් අවබෝධයක් තියේ නම් එම අවබෝධය හේතුවක් වෙනවා එම ක්‍රියාවෙන් වැළකී සිටින්න. ඒ කියන්නේ අපට එක්තරා ආකාරයක අධිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා (අන් අයට හානියක් නොකර ඉන්න). අපේ හිතේ එක කොනක තියෙනවා කාට හෝ හානියක් කරන්න ඕනැ කියන හැඟීම. ඒත් හිතේ තියෙන කිසියම් තත්ත්වයක් නිසා හිතේ අනෙක් පැත්තෙන් කියනවා මේක වැරදියි, මේක හරි නැහැ කියා. ඒක වැරදියි කියා අප දකින නිසා ඊට පසුව අප ආත්මශක්තිය වැඩිදියුණු කරගෙන එයින් වැළකෙනවා. (හානි කරනවාද එසේ කිරීමෙන් වළකිනවාද කියන) මේ තෝරාගැනීම් දෙකම ගැන හිතද්දි අපට අවබෝධයක් තියෙන්න ඕනැ ඇතැම් ක්‍රියාවලින් දීර්ඝ කාලීන ප්‍රතිඵල අත්විඳින්න වෙනවා කියා. මිනිස්සු හැටියට අපට බුද්ධියක් තියෙනවා දීර්ඝ කාලීන ප්‍රතිඵල දකින්න. එහෙම අප ඒවා දකින විට, මධ්‍යස්ථ තලයක හිඳගෙන, අපටම පුළුවන් වැළකෙන්න.

මෙහිදී අපට එකිනෙකට වෙනස් එළඹුම් දෙකක් ගත හැකියි. පළමුවෙන්ම, අප අපේම ආත්මාර්ථය ගැන හිතා බලා, අපට පුළුවන් නම් උදවු කරන්න අප කරනවා, නැතිනම්, අපට උදවු කරන්න බැරි නම්, අප (හානිදායක වීමෙන්) වැළකී සිටිනවා. අනෙක් එළඹුම නම් අප අනෙක් අයගේ යහපත ගැන හිතා පෙර පරිදිම, අපට උදවු කළ හැකි නම් උදවු කරනවා, නැතිනම් (හානිදායක් වීමෙන්) වැළකී සිටිනවා. අන් අයට හානි කිරීමෙන් වැළකී සිටිනවා කියන කාරණයේදී “මා මෙය කළොත් මට නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා, නීතිමය කාරණාවලට පවා” යන සිතුවිල්ල ඇතිව එමඟින් අප අපවම මැඩපවත්වා ගන්නවා නම් එයට තමා ආත්මාර්ථය හේතුවෙන් වැළකෙනවා කියන්නේ. අපේ හේතුව හැටියට, දැන්, අනෙක් අය සලකනවා නම් අපට පුළුවන් හිතන්න “අනෙක් අයත් මා වගෙයි. ඒ අයටත් දුක, වේදනාව අවශ්‍ය නැහැ. ඒ නිසා මා ඒ අයට හානියක් කිරීමෙන් වැළකෙනවා” කියා.

අපේ හිත පුරුදු පුහුණු කරද්දී මුලින්ම අප හිතන්නේ ආත්මාර්ථයට අනුව. අනතුරුව අනෙක් අය ගැන දැඩි සේ හිතනවා. ඵලදායී බව ගැන සැලකුවොත්, අනෙක් අය ගැන දැඩිව හිතීම තමා වඩාත්ම බලවත්. භික්ෂු-භික්ෂුණීන්ගේ හික්මීම උදෙසා, විනය සම්ප්‍රදායයේ එන ශික්ෂා සංග්‍රහය වන ප්‍රාතිමෝක්ෂය ගැන හිතුවොත් එහි මූලිකම පදනම අපේම ආත්මාර්ථය ගැන හිතීම. එමඟින් අප හානිදායක වීමෙන් වැළකී සිටීම. ඒ මොකද අප විමුක්තිය අරමුණු කරගෙනයි ඉන්නේ. බෝධිසත්ත්ව ප්‍රතිපදාව දිහා බැලුවාම අන් අයට හානි කිරීමෙන් වැළකී සිටීමේ ප්‍රධානම කාරණය පරාර්ථය ගැන සලකා බැලීම. සමහර විට, පරාර්ථය ගැන හිතා අන් අයට හානිදායක වීමෙන් වැළකී සිටීම සහ ඔවුන්ට උදවු කිරීම කියන දෙවන කාරණයට, මා නිතරම කතා කරන, විශ්වීය වගකීම සමග යම් සම්බන්ධයක් තියෙනවා.

මානවයන් වශයෙන් අපගේ මූලික ස්වභාවය

සාමාන්‍යයෙන් මිනිසුන් වන අපි සමාජීය සත්ත්වයෝ. පුද්ගලයා කවුරු වුණත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත පැවැත්ම රඳා පවතින්නේ සෙසු මිනිස් සංහතිය මත. එක් පුද්ගලයෙකුගේ ජීවිත පැවැත්ම සහ යහපැවැත්ම සමස්ත සමාජය මතම රඳා පවතින නිසා අප අනෙක් අයගේ යහපැවැත්ම ගැන හිතන්න ඕනැ. ඒ පිළිබඳව ඒ ආකාරයට සැලකිලිමත් වීම අපේම මූලික ස්වභාවයෙන් මතුවී එන්නක්. අපි උදාහරණයක් විදිහට බැබුන්ලව අරන් බැලුවහොත් වැඩිමල්ම එකා තමා රැළේ සම්පූර්ණ වගකීම ගන්නේ. අනිත් එවුන් කෑම ගද්දි එක වයසක පිරිමි බැබුන් කෙනෙකු පැත්තකට වී බලා සිටිනවා. සමාජයේ යහපත උදෙසා ශක්තිමත් එකා කණ්ඩායමේ අනෙක් උන්ව රැක බලා ගන්න උදවු කරනවා.

ප්‍රාග්-ඓතිහාසික යුගයේදී මානවයන් වුණු අපට අධ්‍යාපනයක්වත් තාක්ෂණයක්වත් තිබුණේ නැහැ. මූලික මිනිස් සමාජය සරලයි: හැමෝම එකට එකතු වෙලා වැඩ කළා, බෙදාහදා ගත්තා. කොමියුනිස්ට්වාදීන් කියන්නේ මේ තමා මුල්ම කොමියුනිස්ට් සමාජය කියා. හැමෝම එකට වැඩ කිරීම සහ විනෝදවීම. ඊට පසුව, අන්තිමේදී, අධ්‍යාපනය දියුණු වුණා, අප ශිෂ්ටාචාරගත වුණා. (මිනිස්) මනස වඩා විචක්ෂණශීලී බවට පත්වුණා. ඒ සමගම ලෝභය වැඩි වුණා. ඒකත් සමග ඉරිසියාව සහ වෛරය ආවා. කාලයත් සමග ඒවා ශක්තිමත්ව වැඩුණා.

අද, මේ විසි එක්වැනි සියවසේ, (මිනිස් සමාජය තුළ) බොහෝ වෙනස්කම් සිදුවී තියෙනවා. අප එකෙකා අතර තියෙන වෙනස්කම් වැඩිදියුණු වෙලා. අධ්‍යාපනය තුළ, රැකියාවල, සමාජ පසුබිම් තුළ. වයස්කාණ්ඩ සහ ජනවර්ග අතර ඇති වෙනස්කම් පවා. හැබැයි මේ සියල්ල දෙවනුව ආපු දේවල්. මූලික තලයේදී අපි තාමත් මිනිස්සු. ඒ වගේම අපි හැමෝම එකයි. වසර සියදහස් ගාණකට පෙර තිබුණු තලය ඒකයි.

පුංචිම ළමයින්ගේ ආකල්ප හරියට මේ වගේ. ඒ ගොල්ලන් සමාජ පසුබිම, ආගම, ජාතිය, වර්ණය හෝ අනික් ළමයින්ගේ ධනවත්කම ගැන සොයා බලන්නේ නැහැ. එගොල්ලන් හැමෝම එකට සෙල්ලම් කරනවා. ඔවුන් එකෙකා අතර මිත්‍රත්වයෙන් ඉන්නතාක් කල් ඒ අය අවංක කෙළිසගයෝ. දැන් අපි වැඩුණු අය. වඩා බුද්ධිමත් සහ උසස් සංවර්ධනයක් තිබිය යුතු අය. ඒත් අප අනෙක් අයගේ සමාජ පසුබිම මැනබලනවා. “මා සිනාසුණොතින් මට අවශ්‍ය දේ ලැබෙයිද, මා නෝක්කාඩුවෙන් බැලුවොත් මට මොනවහරි නැති වෙයිද?” කියා අප හිතින් ගණන් හදාගන්නවා.

විශ්වීය වගකීම

විශ්වීය හෝ ගෝලීය වගකීම යන හැඟීම ක්‍රියාත්මක වෙන්නේ මානව තලයේදී. අප අනෙක් මිනිසුන් ගැන සිතා බලනවා, මොකද “මම ඔවුන්ගෙන් කෙනෙක්. මොන තරම් වෙනස්කම් තිබුණත් මගේ සුභසිද්ධිය රඳා පවතින්නේ ඔවුන් මත.” වෙනස්කම් කවදත් තියෙනවා. ඒ වුණාට මෙය උපකාරී වෙන්න පුළුවන්.

සියවස් කීපයක් යන තුරුම මේ පෘථිවිතලයේ ජනගහනය වුණේ බිලියනයයි. ඒත් දැන් බිලියන හයත් ඉක්මවා ගිහින්. දැනටමත්, මේ අධික ජනගහනය නිසා, එක රටකට බැහැ තමුන්ගේ රටේ සියලු ජනතාව සඳහා සියලු ආහාර සහ සම්පත් සපයා දෙන්න. ඒ නිසා අපට තියෙන්නේ ගෝලීය ආර්ථිකයක්. මේ හේතුව නිසා, අද කාලේ යථාර්ථයට අනුව බැලුවොත්, ලෝකය ගොඩාක් පුංචි වෙලා, බරපතල විදිහට එකිනෙකා මත යැපෙනවා. මේ තමයි යථාර්ථය. මේ සියල්ලට ඉහළින් අපට පාරිසරික අර්බුදය තියෙනවා. ගෝලීය උෂ්ණත්වය. මේක මේ පෘථිවිතලයේ ජීවත් වන බිලියන හයක් වන සියලු වාසීන්ගේ ප්‍රශ්නයක් මිසක එක ජාතියකට හෝ දෙකකට අයිති එකක් නෙවේ. මේ අලුත්ම යථාර්ථය වෙනුවෙන් ගෝලීය වගකීම යන හැඟීම අවශ්‍යයි.

උදාහරණයක් විදිහට, ඒ දවස්වල, මේ ඉන්න බ්‍රිතාන්‍ය වැසියන් ඒ අය ගැන පමණක් හිතා සමහර අවස්ථාවලදී මහපොළොවේ අනෙක් ප්‍රදේශ සූරා කෑවා. මේ අනෙක් මිනිසුන්ගේ උවමනා-එපාකම් ගැන හෝ හැඟීම් ගැන හෝ ඒ අය සලකා බැලුවේ නැහැ. කමක් නෑ. ඒක අතීතය නේ. දැන් මේ දේවල් වෙනස්. ඒවා වෙනස් වෙලා. අප දැන් අනෙක් රටවල් ගැන සොයා බැලිය යුතුයි.

ඇත්තටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමහර හොඳ දේවලුත් කළා. ඒ අය ඉංග්‍රීසි භාෂාවෙන් හොඳ අධ්‍යාපනයක් ඉන්දියාවට ගෙනාවා. ඉන්දියාව මේ සම්බන්ධයෙන් බොහෝ ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම බ්‍රිතාන්‍යයෙන් තාක්ෂණය, දුම්රිය මාර්ග පද්ධතිය ගෙනාවා. ඒක ඔබේ යහපත් ගතිගුණවලින් එකක්. මා ඉන්දියාවට ගියාම, සමහර ගාන්ධිවාදීන් තාමත් ජීවතුන් අතර ඉන්නවා. ගාන්ධීය අවිහිංසාවාදී ක්‍රම ගැන ඒ අය මට උපදෙස් දුන්නා. ඒ වගේ වෙලාවට මට හිතිල තියෙනවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හරිම නරකයි කියා. ඒ වුණාට, ස්වාධීන ඉන්දීය අධිකරණයක්, නිදහස් මාධ්‍යය, කතාකිරීමේ නිදහස වැනි දේ මා දැක්කා. ඉතිං මං ගැඹුරින් කල්පනා කර බලද්දි, මට පෙනුනා මේ දේවල් ඉතා හොඳයි කියා.

අද, ජාතියක් තවත් ජාතියකට, මහාද්වීපයක් තවත් මහාද්වීපයකට, බරපතල විදිහට එකිනෙකා මත යැපෙනවා. මේ යථාර්ථයට අනුව, අපට ඇත්තටම අවශ්‍යයි ගෝලීය වගකීම. ඔබේම යහපත රඳා පවතින්නේ අනෙක් අයගේ සංවර්ධනය සහ යහපත මත. ඒ නිසා ඔබේම යහපත වෙනුවෙන් ඔබට සිදුවෙනවා අනෙක් අය ගැන සොයා බලන්න. ආර්ථික ක්ෂේත්‍රයේදී මේක දැනටමත් මෙහෙම තමා. එකිනෙකට වෙනස් පරමාදර්ශයන් තිබුණත්, අප එකිනෙකාව විශ්වාස කරන්නේ නැති වුණත්, අපට සිදුවෙලා තියෙනවා අපේ ගෝලීය අන්‍යොන්‍යාධීන ආර්ථිකය තුළ අන්තර්ක්‍රියා කරන්න. මේ නිසා, අනෙකාගේ සුබසිද්ධියට ගරුකිරීම පදනම් කර ගත් ගෝලීය වගකීම ඉතාම වැදගත් දෙයක්.

අප අනෙක් අය ගැන අපේ සහෝදර සහෝදරියන් හැටියට හිතන්න ඕනේ. සමීප හැඟීමක් ඇති කර ගන්න ඕනැ. මෙයට ආගමක් පටලවා ගන්න ඕනැ නැහැ. අපට ඇත්තටම මෙය අවශ්‍යයි. “අප සහ ඔවුන්”  කියන සංකල්පය ගත්තාම, ඇත්ත, ඇතැම් අවස්ථාවකදී අපට එහෙම කියන්න පුළුවන්. ඒත් මුළු ලෝකයම “අප” කියන සංකල්පයේ කොටසක් විදිහට දකින්න ඕනැ. අපේ අසල්වැසියාගේ යහපත අපේද යහපතයි.

සංතෘප්තිය

තනි පුද්ගලයෙකු හැටියට සදාචාරාත්මක ජීවිතයකට යොමු වෙනවා කියන්නේ අනෙක් අයට හානියක් නොකර සිටීම සහ පුළුවන්නම් ඔවුන්ට උදවු කිරීම. (මෙහෙම කරද්දී) අනෙකාගේ සුභසාධනය අපේ සදාචාරයේ පදනම ලෙස බාර ගන්නවා නම් එමඟින් සදාචාරයේ පරාසය පුළුල් වෙනවා. අපේම ජීවනරටා තුළින් මේ සාධක සැලකිල්ලට ගත යුතුයි.

එක්සත් ජනපදයේ පවා දුප්පත් පොහොසත් පරතරය ඉතා විශාලයි. ලෝකයේ ධනවත්ම රට, ඇමරිකාව දිහා බැලුවහොත්, තාමත් දුප්පත් සාක්කු එහි තියෙනවා. වතාවක් මා වොශින්ටන් ඩීසීවල ඉන්න විට, ඒ කියන්නේ ධනවත්ම රටේ අගනුවර, මා දුටුවා එහි ගොඩාක් දිළිඳු ප්‍රදේශ තියෙනවා. ඒවායේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවත් හරියට සපිරෙන්නේ නැහැ. (මේ විදිහටම) ලෝක මට්ටමෙන් බැලුවාම, කාර්මිකීකරණය වූ උතුරු කොටස පෘථිවියේ අනෙක් කොටස්වලට වඩා සංවර්ධිතයි, ඒ වගේම ධනවත්.  එය ආචාරාත්මකව වරදක් නොවේ. ඒත් එය විශාල ප්‍රශ්නවල මූලාරම්භයක්. ඉතිං, ඇතැම් ධනවත් රටවල් ඔවුන්ගේ ජීවනරටා ගැන හොඳින් හොයා බලා නිරීක්ෂණය කරන්න ඕනැ. ඔවුන් සංතෘප්තිය පුරුදු කරන්න අවශ්‍යයි.

වතාවක්, ජපානයේදී, අවුරුදු පහළොවකට විතර පෙර, මා ඒ මිනිසුන්ට කීවා හැම අවුරුද්දකම ආර්ථිකය ඉහළට යන්න ඕනේය, හැම අවුරුද්දකම භෞතික දියුණුවක් ඇති වෙන්න ඕනේය කියන ඔබේ උපකල්පනය වැරදියි කියා. දවසක ඔබ දකීවි ඔබේ ආර්ථිකය ඉතා සීමිත වෙනවා කියා. එදාට ඔබ සූදානම් වී සිටිය යුතුයි එය ඔබේ සිත්වල ව්‍යසනකාරී දෙයක් නොවන්නට නම්.  අවුරුදු කීපයකට පසුව ඒ තත්ත්වය ඇත්තටම ජපානයට උදා වුණා.

සමහර මිනිසුන්ගේ ජීවන රටාවන් ඕනෑවටත් වඩා සුඛෝපභෝගීයි. හොරකම් කරන්නේත් නැතිව, සූරාකෑමකින් තොරව, සහ රැවටීමකින් තොරව ඒ අයට සෑහෙන මුදලක් තියෙනවා. ඒ අයගේම ආත්මාර්ථයට අනුව  බැලුවහොත් ඒ අය මුදල් උපයන මාර්ග සදාචාරවිරෝධී ඒවා නොවන තාක් එහි වරදක් නැහැ. ඒත්, ඒ අය සම්බන්ධයෙන් වරදක් ඇත්තේම නැති වුණත්, අනෙක් අයගේ යහපත පැත්තෙන් බැලුවහොත්, අනෙක් අය දරුණු හිඟයකට මුහුණ දෙන විට සදාචාරාත්මකව එය හොඳ නැහැ. හැමෝටම ඉහළ සුඛෝපභෝගී ජීවන රටාවක් තියෙනවා නම්, කමක් නෑ. ඒත් ඒ තත්ත්වය ළඟා කරගන්නා තුරු වඩා හොඳ ජීවන රටාව වෙන්නේ වඩාත් සංතෘප්තිමත් වීමයි. ජපානයේදී, එක්සත් ජනපදයේදී සහ වෙනත් ධනාඪ්‍ය සමාජවලදී මා අත්විඳ ඇති දේට අනුව ජීවන රටාවේ යම් වෙනස්කමක් සිදුවීම අවශ්‍යයි.

බොහෝ රටවල එක පවුලකට වාහන දෙකක් හෝ ඇතැම්විට තුනක් තියෙනවා. ඉන්දියාවයි චීනයයි ගැන හිතන්න. මේ ජාතීන් දෙක එකට එකතු වුණාම බිලියන දෙකකට අධික ජනගහනයක් ඉන්නවා. බිලියන දෙකක් ජනතාව බිලියන දෙකක් හෝ ඊට වැඩියෙන් වාහන ගත්තොත් ඉතාම අසීරු තත්ත්වයක් තමා ඇති වෙන්නේ. මෙතැන ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම ඉන්ධන, භෞතික සම්පත්, ස්වභාවික සම්පත් වගේ දේවල් පිළිබඳ ලොකු සංකීර්ණතා ඇති වෙනවා. එය හරිම සංකීර්ණයි.

පරිසරය ගැන සොයා බැලීම

මේ සමගම, සදාචාරාත්මක ජීවිතයක තවත් අතිරේක පැතිකඩක් තමා පරිසරය ගැන සොයා බැලීම. උදාහරණයක් විදිහට අපේ වතුර භාවිතය අරගන්න. මගේ දායකත්වය සමහරවිට බොළඳ විය හැකියි. ඒත් වසර ගාණක් තිස්සේ මා කීයටවත් නානබේසමක නාන්නේ නැහැ. මා වතුර මලක් විතරයි භාවිත කරන්නේ. නානබේසමක ගොඩාක් වතුර පාවිච්චි වෙනවා. මා බොළඳ වෙන්න පුළුවන්. මොකද හැමදාම දෙවතාවක් නාන නිසා මාත් ඒ තරම්ම වතුර ප්‍රමාණයක් භාවිත කරනවා. ඒ කොහොම වෙතත්, විදුලිපහන්  ගැන හිතද්දි, මා කාමරයෙන් ඉවතට යන හැමවිටම ඒවා නිවා දමනවා. ඉතිං මා පරිසරයට පුංචි සම්මාදමක් වෙනවා. ගෝලීය වගකීම යන හැඟීමෙන් යම් ආකාරයක සදාචාරවත් ජීවිතයක් එළියට එනවා.

අන් අයට උදවු කරන අයුරු

අනෙක් අයට උදවු කරන්න බොහෝ ක්‍රම තියෙනවා. හුඟාක්ම ඒ අවස්ථාවට අනුව තමයි. මා පොඩි කාලේ, අවුරුදු හතේදි අටේදි විතර, මගේ පාඩම් කටයුතු කරන විට මගේ ගුරුතුමා ලිං රින්පොචේ හැමතිස්සේම වේවැලක් තියා ගත්තා. ඒ දවස්වල මට ළඟින්ම හිටිය මගේ අයියායි මායි එකට තමා පාඩම් කළේ. ඇත්තටම වේවැල් දෙකක් තිබුණා. එක වේවැලක් කහපාටයි. ඒක පූජනීය වේවැලක්. පූජනීය දලයි ලාමාට. ඒ පූජනීය වේවැල යොදා ගත්තත් මා හිතන්නේ නැහැ පූජනීය වේදනාවක් තියෙයි කියා! ඒක බොහොම දරදඬු ක්‍රමයක්. හැබැයි එය උපකාරී වුණා.

අන්තිමේදී යම් ක්‍රියාවක් උපකාරී වෙනවාද හානිදායක වෙනවාද යන්න තීරණය වෙන්නේ අභිප්‍රාය මත. අනෙක් අයගේ දීර්ඝකාලීන යහපැවැත්ම ගැන අවංකව සිතා බලා යොදා ගන්න ඇතැම් ක්‍රමෝපායන් සමහර විට දරදඬුයි. සමහර විට මෘදුයි. සමහර වෙලාවට පුංචි බොරුවකටත් පුළුවන් උපාකාරයක් කරන්න. උදාහරණයක් විදිහට ගොඩාක් දුරබැහැරක ඉන්න හිතවත්ම මිතුරෙකු එහෙම නැතිනම් ඒ කෙනාගේ අම්ම-තාත්තා හොඳටම අසනීප වෙලා, මරණාසන්න වෙලා ඉන්නවා, ඔබ දන්නවා. ඒත් ඔබ දන්නවා, කාට හෝ කියනවා නම් ඒ අයගේ අම්ම-තාත්තා මරණාසන්න වෙලා ඉන්නේ කියා ඒ පුද්ගලයා හොඳටම අවුල් වෙන්න, කලකිරෙන්න ඉඩ තියෙනවා. කලන්තේ හැදෙන්නත් පුළුවන්. ඉතිං ඔබ කියනවා, “ඒ අය හොඳින්” කියා. බොරුවක් කියන්නේ තමුන්ගේ පැත්තෙන් සදාචාරවිරෝධී දෙයක් වුණත්, ඔබ සීයටසීයක්ම අනෙක් කෙනාව අවුල් කරන්නේ නැතිව ඉන්න හිතනවා නම් එ් වගේ වෙලාවට, අනෙක් කෙනාගේ පැත්තෙන්, ඒක හොඳටම සුදුසු වෙන්න පුළුවන්.

ප්‍රචණ්ඩත්වය පරයන අවිහිංසාවාදී ක්‍රමෝපාය

ඉතිං අනෙක් අයට උදවු කරන්න පුළුවන් හොඳම ක්‍රමය කුමක්ද? ඒක කියන්න අමාරුයි. අපට ප්‍රඥාව අවශ්‍යයි. එළඹිලා තියෙන අවස්ථාව ගැන අපට පැහැදිලි අවබෝධයක් අවශ්‍යයි.  ඒ වගේම, විවිධ අවස්ථාවන්වලදී විවිධක්‍රම අනුගමනය කරන්න අප නම්‍යශීලී වීම අවශ්‍යයි. වඩාත්ම වැදගත් වෙන්නේ අපේ අභිප්‍රාය. අපට අනෙක් අයගේ උවමනා-එපාකම් ගැන අවංක හැඟීමක් තියෙන්න ඕනැ.

උදාහරණයක් විදිහට යම් ක්‍රමෝපායක් සාහසිකද අවිහිංසකද කියා තීරණය වෙන්නේ  බොහෝ දුරට අභිප්‍රාය මත. ක්‍රියාවක් ලෙස ගත්තාම, අහිංසක බොරුවක් කීම වුණත් සාහසිකයි. ඒත් අභිප්‍රායට අනුව එය යොදා ගන්න පුළුවන් අනෙක් අයට උදවු කිරීමේ ක්‍රමෝපායක් විදිහට. ඉතිං ඒ විදිහට බලන විට, එය අවිහිංසක ක්‍රමෝපායක්.  අනෙක් අතට, අපට අන් අයගෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය වී අප ඒ අයට තෑග්ගක් දෙනවා. බැලූබැල්මට මෙය අවිහිංසකයි. ඒත් අන්තිමේදී, අපට අවශ්‍ය කරන්නේ අනෙකාව රවට්ටන්න සහ අයුතු ප්‍රයෝජනයක් ගන්න නිසා, එය සාහසික ක්‍රමෝපායක්. ඉතිං, සාහසිකද නැතිනම් අවිහිංසකද යන්න තීරණය වන්නේ අභිප්‍රාය මත. සෑම මානව ක්‍රියාවක්ම තීරණය වන්නේ අභිප්‍රාය මත. සමහර වෙලාවට එය අවසාන අරමුණ මතත් තීරණය වෙනවා. අප ඉලක්කය වන්නේ අවසාන අරමුණ ළඟා කර ගන්න වුණත් අපේ පෙලඹවීම කෝපයෙන් යුක්ත නම් මේ වැඩේ අමාරුයි. මේ නිසා, අන්තිමේදී අභිප්‍රාය තමා වඩා වැදගත් වෙන්නේ.

අන්තර්-ආගමික සහජීවනය

මෙතැන අපේ කතාබහින් ඔබ ගෙදර ගෙනියන්නේ මොනවද කියා හිතුවොත් වැදගත්ම දේ තමයි හිතේ සැනසීම වැඩිදියුණු කරගන්න උත්සාහ කිරීම යන කාරණය. මෙය අප සිතිය යුතු අප තුළින්ම මතුකර ගත යුතු කාරණයක්. ඒ විතරක් නෙවේ, මේ ඇහුම්කන් දුන් අය අතර කවුරුහෝ ආගමක් අදහනවා නම් විශ්වාස කරනවා නම් මා හැමවිටම අවධාරණය කරන වැදගත් කරුණක් තමා අන්තර්-ආගමික සහජීවනය. මා හිතනවා සියලු ප්‍රධාන ආගම්: ඉර, හඳ වඳින කුඩා ආගම් නෙවේ - ඒවායේ ලොකු දර්ශනයක් නැහැ - එහෙත් බෙහෝ ප්‍රධාන ආගම්වලට දර්ශනයක් හෝ දේවධර්මශාස්ත්‍රයක් තියෙනවා. ඒ අයගේ ආගම කිසියම් දර්ශනයක් මත පදනම්වෙලා තියෙන නිසා තමයි අවුරුදු දහස්ගාණක් තිස්සේ පැවැත එන්නේ. ඒ දර්ශනවල විවිධ වෙනස්කම් අතහැරියහොත් සෑම ආගමක්ම ඉහළම ප්‍රතිපදාව විදිහට සලකන්නේ මෛත්‍රිය සහ කරුණාව පුරුදු කිරීම.

කරුණාවත් සමග, සමාව දීම කියන හැඟීම ඉබේම එනවා, ඒත් එක්කම ඉවසීම සහ තෘප්තිමත්භාවයත්. මේ සාධක තුනත් සමග, සෑහීමකට පත්වීම තියෙනවා. මෙය හැම ආගමකටම පොදුයි. අප කතාකරමින් සිටි මූලික මිනිස් වටිනාකම් පුළුල් කරන්න මේවාත් වැදගත් වෙනවා. ඉතිං මේ විදිහට, අපේ හැම ආගමක්ම අපට උපකාරී වෙනවා, ඒවා අපේ සතුටට පදනම් වන දේ, ඒ කියන්නේ සදාචාරාත්මක ජීවිතයකට යොමු වීම කියන කාරණය ඉස්මතු කරනවා කියන හැඟීමෙන්.  මේ විදිහට, හැම ආගමක්ම එකම පනිවිඩයක් රැගෙන එන නිසා, ඒ සෑම එකක්ම මානවවර්ගයාට උපකාර කිරීමේ හැකියාවෙන් යුක්තයි.

විවිධ කාලවලදී විවිධ ප්‍රදේශවල විවිධ ඉගැන්වීම් මතු වුණා. එය අනිවාර්ය තත්ත්වයක්. මේ විවිධ කාල සහ ප්‍රදේශත් විවිධ ජීවන මාර්ගත් විකාසය වුණේ පාරිසරික වෙනස්කම් නිසා. ඒ හේතුව නිසාම ආගම තුළ වෙනස්කම් වැඩිදියුණු වුණා. ඒ එක එක කාලවලදී ඇතැම් ආගමික අදහස් යෝග්‍ය වුණා. (ඒ නිසාම ඒවා බාරගත්තා).  මේ තත්ත්වය නිසා, අවුරුදු දාහක් පරණ ආගම්වලට තමන්ගේම සම්ප්‍රදායයන් තියෙනවා.  මේ පොහොසත් සම්ප්‍රදායයන් සහිත විවිධත්වය අපට අවශ්‍යයි. විවිධ වර්ගවල මිනිසුන්ට ඒවා සේවය සපයනවා. එක ආගමකට බැහැ හැමෝටම යෝග්‍ය වෙන්න සහ සේවය කරන්න.

බුද්ධකාලයේදීත් ඉන්දියාවේ බොහෝ බෞද්ධ නොවන සම්ප්‍රදායයන් තිබුණා. බුදුහාමුදුරුවන් සියලු ඉන්දියානුවන්ව බුදුදහමට හරවා ගන්න උත්සාහ කළේ නැහැ. අනෙක් ආගම් තිබුණාවේ. ඉඳලහිටලා ඒ අය අතර වාදවිවාද ඇති වුණා. විශේෂයෙන්ම බුදුහාමුදුරුවන්ගෙන් පසුව ආචාර්යපාදයන්වහන්සේලා ඔවුනොවුන් අතර සියවස් ගාණක් වාද පැවැත්වූවා. මේ වාදවිවාද ඉතාම උපකාරී ඒවා. විශේෂයෙන්ම ඥානමීමාංසාත්මක ක්ෂේත්‍රයේදී. වෙනත් සම්ප්‍රදායයකට අයත් උගතෙකු තවත් ආගමක දර්ශනය සහ අදහස් විචාරපූර්වකව විමර්ශනය කරනවා. මේ තත්ත්වය හේතු වෙනවා සෑම කෙනෙකුටම තමුන්ගේම ආගම, සම්ප්‍රදායය, සහ වාදවිවාද ගැන හිතා බලන්න. ඉතිං, ස්වභාවිකවම එයින් ප්‍රගතියක් අත්වෙනවා. සමහර අවස්ථාවලදී, ඇතැම්විට, මේ වාදවිවාදත් සමග බැඳුණු පොඩි කලහකාරී ගතියක් තිබුණා. එය අවාසනාවන්ත තත්ත්වයක්. ඒත් සාමාන්‍යයෙන් ඒ තත්ත්වය නීරෝගි සංවර්ධනයක්.

මේ නිසා, සියවස් ගාණක් සම්ප්‍රදායයන් වශයෙන් පැවැත එන සැබෑ ආගමිකවාද ඉවසීමකට හොඳ උදාහරණයක් තමා ඉන්දියාව. සෙසු ලෝකයට මෙය හොඳ ආකෘතියක්.

ඈත අතීතයේදී මිනිසුන් හුදෙකලා වුණා. ඒක හරි.  ඒත් අප අද ඉන්නේ වෙනස් සමාජ-අවස්ථාවක. ලන්ඩන් නගරය ගත්තත් එය මුළුමනින්ම පාහේ බහු-ආගමික සමාජයක්. මේ නිසා ආගමික ඉවසිලිවන්ත බව හරිම වැදගත්. ආගමික ඇදහීමක් ඇතිව ඉන්න ඔබට, සහජීවනය සහ ඉවසීම ඉතාම වැදගත්. ඔබට අවස්ථාවක් ලැබුණාම ඒ සඳහා දායක වෙන්න.

Top