මානසික සැනසීමද සම්පූර්ණ බවද සොයා ගැනීම

Study buddhism universal values 02

යම් අවස්ථාවක යථා තත්ත්වය ගැන සොයා බැලීමේ වැදගත්කම

හිතේ සැනසීම සම්බන්ධ වෙන්නේ මනසේ සන්සුන් බවත් එක්ක. භෞතික අත්දැකීම් අපේ මානසික සැනසීම අනිවාර්යයෙන් තීරණය කරන්නේ නැහැ. අපට මානසික සැනසීම තියෙද්දි භෞතික මට්ටම එතරම් වැදගත් නැහැ. 

දැන් ඉතිං, අපි ඇදහීම් මඟින් හිතේ සැනසීම වැඩි කරගන්නවාද? නෑ. කොහෙත්ම නෑ. ශාරීරික අභ්‍යාස මඟින්? නැහැ.  නිකං ඔහේ දැනුම ලබා ගැනීමෙන්? නැහැ. අපේ හැඟීම් මරා දැමීමෙන්. නැහැ.  ඒත් අමාරු අවස්ථාවකට මුහුණ දෙන්න වෙනකොට, අප හොඳටම දන්නවා නම් අපට ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයේත් එහි ප්‍රතිඵලයේත් ඇති වාසිදායක බව සහ හානිදායක බව ගැන, අප ඒ අවස්ථාවට මුහුණ දෙනවා. එතැනදී අපේ මනස කැළඹිලා නැත්නම් ඒ තමයි ඇත්තම හිතේ සැනසීම.  

මෙතැනදී කරුණාවයි, තාත්වික ප්‍රවේශයක් තිබීමයි සෑහෙන වැදගත්. හිතන්නැති විදිහෙ කරදර කඩාපාත් වෙනවා නම්, ඒ නිසා අපට ඉමහත් බයක් දැනෙනවා නම්, එහෙම වෙන්නේ අප අතාත්වික වුණු හින්දා. වෙන්න පුළුවන් හැම දෙයක් දිහාම අපි බලන්නේ නැහැ. ඉතිං අපේ අවබෝධයේ සහ වටහා ගැනීමේත් අඩුවක් තියෙනවා. අපට බය ඇති වෙන්නේ හොඳ විමසාබැලීමක් නැතිකමින්. මේ නිසා සම්පූර්ණ චිත්‍රයක් ගන්න නම් අපට අවශ්‍ය වෙනවා හතර පැත්තම සහ උඩයටත් බලන්න. හැම තිස්සේම, යථාර්ථය සහ අපට පේන දේ අතර පරතරයක් තියෙනවා. මේ නිසා හැම පැත්තම හොඳින් විමසා බලන්න සිද්ද වෙනවා. 

මොකක් හරි දෙයක් දිහා දැක්ක පමණින්, ඒක ධනාත්මක දෙයක්ද ඍණාත්මක දෙයක්ද කියා දකින්න බැහැ. ඒත් අප යමක් හොඳින් විමර්ශනය කර බලනවා නම්, ඒ දේ ගැන යථා තත්වය අවබෝධ කර ගන්නවා නම් අන්න එතකොට විතරයි ඒක ධනාත්මකද ඍණාත්මකද කියා ඇගයීමට ලක්කරන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට, අප අපේ අවස්ථාවන් බුද්ධිමය ඇගයීමකට ලක්කරන්න අවශ්‍යයි. “මට මේ විදිහෙ ප්‍රතිඵලයක් ඕනේ, අර විදිහෙ ප්‍රතිඵලයක් ඕනේ” කියා ඇති කර ගත් ආශාවෙන් අපේ විමර්ශනය ආරම්භ කරනවා නම්, එතකොට අපේ විමර්ශනය ආධානග්‍රාහී වෙනවා. භාරතයේ නාලන්දා සම්ප්‍රදායය අපට කියන්නේ අප හැමවිටම සැක කරන්න අවශ්‍යයි, ආගමද ඇතුළුව හැම ක්ෂේත්‍රයක්ම වාස්තවිකව විමර්ශනය කරන්න අවශ්‍යයි කියා. 

අන් අය උදෙසා අපේ මනස විවෘත කිරීමේ වැදගත්කම

දැන්, මනසේ සැනසීම නැති වීම, අතෘප්තිමත් බව තියෙනවානේ, ඒවා එන්නේ අතිශයින්ම තමා ගැන හිතන්නට පෙලඹවීමක් තියෙන කොට. පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා දුක තරණය කර සතුට ළඟා කර ගන්න. ඒත් අපි අප ගැන විතරනං හිතන්නේ, මනස හුඟාක් ඍණාත්මක වෙනවා. පුංචි ප්‍රශ්න දැවැන්ත ඒවා වගේ පේනවා, අප සමබර නැති වෙනවා. අපට අපව ප්‍රියමනාප වෙනවා වගේ අනෙක් අය ගැනත් ප්‍රිය මනාප ලෙස හිතද්දි, අපේ මනස විවෘත වෙනවා, පළල් වෙනවා. එතකොට, ඒකේ ප්‍රතිඵලයක් විදිහට බරපතල ප්‍රශ්නයක් වුණත් ඒ තරම් වැදගත් එකක් නොවේ වගේ පේනවා. ඉතිං, අප දේවල් දිහා බලන්නේ කොහොමද යන පරාසය මත අපේ මනෝභාවයන්වල විශාල වෙනසක් ඇති වෙනවා. අපේම දෘෂ්ටිකෝණයකින් බලද්දි සහ හැමෝගේම දෘෂ්ටිකෝණයෙන් බලද්දි. 

මේ නිසා, මනසේ සැනසීම උදෙසා වැදගත් වන මූලධාතූන් දෙකක් තියෙනවා. පළමු එක තමා, යථාර්ථය පිළිබඳ අවධානයෙන් සිටීම. අප එළඹෙන්නේ යථාර්ථවාදී විදිහට නම් එතැන නොසිතූ ප්‍රතිවිපාකයක් ඇති වෙන්නේ නැහැ. දෙවැනි කාරණය කරුණාව. එයින් “ආධ්‍යාත්මික දොරටු” විවෘත වෙනවා. බයයි, අවිශ්වාසයයි අපව අනෙක් අයගෙන් වෙන් කරනවා.  

අපේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් නොවීම


[අපේ මනසේ සැනසීම නැති වෙන තවත් එක දෙයක් තමා අපේ බාහිර පෙනුම ගැන වද වීම.] උදාහරණයක් විදිහට, මා ඉස්සරවෙලාම බීජිංවලට ගියාම මට කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. මා පොඩි තැතිගැන්මකින් හිටියේ. මට යම් චකිතයක් තිබුණා. ඒත් ඊට පස්සේ මා දැක්කා, සමහර මිනිසුන්, ඒ අයගේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් වෙද්දි, මොනව හරි නරක දෙයක් වුණාම ඒ අයගේ මූණ රතු වෙනවා.  ඒත් ඒ අය විවෘත නම්, යමක් වැරදුණාමත් වැඩිය ගණන් ගන්නේ නැතිනම්, එතකොට එතැන ප්‍රශ්නයක් නැහැ. 

උදාහරණයක් විදිහට, 1954දී, මා බීජිංවල ඉන්න විට, ඉන්දීය තානාපතිතුමා මාව බලන්න ආවා මගේ කාමරයට. මේ චීන මිනිසුන් මල්, පලතුරු වගේ දේවල් ගෙනවිත් ඉතා ඉහළින් සූදානම් කළා. ඒ අය තදින්ම කිව්වා අපට චීන භාෂානුවාදයෙකු අවශ්‍යයි කියා. මගේ සමහර නිලධාරීන් ඉංග්‍රීසි දැනගෙන හිටියත්, ඒ කතාව ගියේ ඉතිං ටිබෙට්වලින් චීනවලට සහ චීනවලින් ඉංග්‍රීසියට. කතාවේ එක්තරා තැනකදී, පලතුරු ගොඩ කඩන් වැටුණා. අප ඉදිරියේ බොහොම තදපරුස විදිහට ආචාරශීලිව හිටිය චීන නිලධාරීන් ඒ වෙලාවේ පොළොවේ දණගාන්න ගත්තා. ඒ අය කලින් ඉදන්ම ඒ අයගේ බාහිර පෙනුම ගැන හිතන්නේ නැතිව හිටියා නම් ඒක ඒ තරම් ප්‍රශ්නයක් නොවන්න තිබුණා. ඒත් ඒක ඒ අයට දරාගන්න බැරි ලජ්ජාවක් වුණා. 

වතාවක් මෙක්සිකෝ නගරයේ තිබුණු විවිධ බැතිමතුන් අතර පැවැති හමුවකදී එක්තරා ජපන් පූජකවරයෙකු හිටියා. ඔහුගේ අතේ තිබුණා පබළුවලින් කරපු ජපමාලයක්. ඒක කැඩුණා. පබළු ටික පොළොවේ හැම තැනම විසිරිලා තිබුණත් ඔහු මොකද කළේ දිගටම මහපට ඇඟිල්ලෙන් ජපමාලය පිරිමැද්දා. ඒ ටික අහුල ගන්න ඔහුට ලජ්ජාවක් තිබුණා. තමුන්ගේ පෙනුම ගැන සෑහෙන්න හිතපු නිසා හරිම අපහසුතාවෙන් තමා ඔහු හිටියේ. 

කොහොම නමුත්, කරුණාව, පරාර්ථචර්යාව, සත්‍යවාදී බව, අවංකකම - මේවා තමයි හිතේ සන්සුන් බව ගෙන එ්මට, ඔබේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් නොවී සිටීමට වැදගත් වෙන්නේ.  මා කවදාකවත් කියන්නේ නැහැ මා විශේෂ චරිතයක් කියා. ඒත් මගේම අත්දැකීමෙන් කියන්නේ, දහස්ගාණක් මිනිසුන් ඉදිරියේ කොහොමද හැසිරෙන්නේ කියා මට කවදාකවත් සිත්තැවුලක් ඇති වෙන්නේ නැහැ. මා මේ අද කරනවා වගේ, දේශනවලදී දහස්ගාණක් මිනිසුන්ට කතා කරනවා. ඒත් මට ඒක මිනිසුන් කීපදෙනෙකුට කතා කරනවා වගේ. යම් අත්වැරද්දක් වුණොත් මා එය අමතක කර දානවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අනෙක් අයත් වැරදි කරනවා නම්, මා ඔහේ හිනාවෙනවා.

මානසික ගතිගුණ වෙනස්කිරීම 

දැන් මානසික ගතිගුණ වෙනස්කිරීම් ගත්තාම, මානසික ගතිගුණ වෙනස්කිරීමක් කියන්නේ මනෝභාවමය තලයක් ගැන කතා කිරීමක්. මානසික ගතිගුණ වෙනස්කිරීමේ එක වර්ගයක් තියෙනවා වයසත් එක්ක ස්වභාවිකවම ඇති වෙන. අනෙක් වර්ගය බාහිර සිදුවීම් මඟින් ඇති වෙන්න පුළුවන්. මේ ගතිගුණ වෙනස්කිරීම් වර්ග ඉබේම ඇති වෙනවා. තවත් වර්ග තියෙනවා ඇති වෙන්නේ පරිශ්‍රමයකින් අනතුරුව. මේක තමා අපි ඇති කරගන්න ඕනැ ප්‍රධානම එක. ඒ කියන්නේ අපේ කැමැත්තට අනුව මානසික ගතිගුණ වෙනස්කරගැනීම. මේකයි ඒකේ ප්‍රධාන තේරුම. 

දැන් මෙතැනදී, අපි කතා කරන්නේ නැහැ ඊළඟ භවය ගැන, විමුක්තිය හෝ ස්වර්ගය ගැන. ඒත්, දුෂ්කරතා සහ ගැටලු මඟහරවා ගනිමින් මේ ජීවිතය කොහොමද වඩාත් සතුටින් සංසුන් ක්‍රමයකට පවත්වා ගෙන යන්නේ කියන කාරණය ගැන.  මේ සඳහා, කේන්තිය, වෛරය, භය, ඉරිසියාව, අවිශ්වාසය, තනිකම, ආතතිය වගේ දේවල් ඇතුළත් මහාසාධක සමග හැල හැප්පෙන්න වෙනවා. මේ හැමදේම අපේ මූලික මානසික නැඹුරුවීම්වලට අදාළයි. ඒවා ඇති වෙන්නේ ඕනෑවටත් වඩා තමාව කේන්ද්‍ර කරගැනීම නිසා. අප ගත්තාම, මෙහෙම දේවල් අත්විඳින කොට, තමුන් තමා වැදගත්කමින් උඩින්ම ඉන්නේ. ඒයින් තමා ඉරිසියාව හටගන්නේ. අපටම ඇලිලා සිටීමෙන්, පුංචි නොරිස්සීමකින් වුණත් කේන්තිය හටගන්නවා. ඊට පස්සේ භය ඇති වෙනවා. අපි අනෙක් අය ගැන හිතන්නේ නැහැ. අපි හිතන්නේ අප ගැන විතරයි. ඒ වගේම, අප හිතනවා අනෙක් අයත් හිතන්නේ ඒ අය ගැන විතරයි, ඒ අය තක්කෙටම අප ගැන හිතන්නේ නැහැ කියා. අප හිතනවා, “මට අනෙක් අයව විශ්වාස කරන්න බැහැ” කියා. මේ නිසා, අප ඉදිරියේ සිටින අය ගැන, අනෙක් පැත්තෙන් සිටින අය ගැන, ඒ විතරක් නෙවේ පිටුපසින් සිටින අය ගැනත් අපට අවිශ්වාසයක් ඇති වෙනවා. 

මූලිකවම, අප හිතල බලනවා නම්, මනුෂ්‍ය ස්වභාවය මේකයි, හැමකෙනෙකුම මිත්‍රත්වය අගය කරනවා. අප මිත්‍රත්වය දිගු කරනවා නම්, හුඟාක් මිනිසුන් ධනාත්මකව සම්බන්ධ වෙනවා. හිතේ චකිතයක් ඇති වීම වගේ ඍණාත්මක මනෝභාවයන් වෙනුවෙන්, ඒවාට විරුද්ධ වෙන්නට අපට ඇතැම් ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් අවශ්‍යයි. උදාහරණයක් විදිහට, අපට හුඟාක් රස්නය දැනෙනවා නම් අප උණුසුම්කරනයේ උෂ්ණත්වමාපකය අඩුකරනවා. අපට කළුවර ඉවත් කරන්න ඕනේ නම් අලෝකය ගේනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේක භෞතික තලයේදී ඇත්ත. ප්‍රතිවිරුද්ධ බලවේග යෙදවීමෙන් වෙනසක් ඇති කරන්න පුළුවන් - ස්වභාවයෙන්ම එහෙම තමා. ඒත් මේක භෞතික තලයේදී විතරක් නෙවේ ඇත්ත වෙන්නේ. මානසික තලයේදීත් එහෙමයි. ඉතිං අපට අවශ්‍ය වෙනවා අපේ දැක්මට හෝ බලනවිදිහට හෝ විරුද්ධ යමක් මුණ ගස්සවන්න [හරියට, තමාවම කේන්ද්‍ර කරගැනීමට සහ අවිශ්වාසයට විරුද්ධව, අනුන්ගේ උවමනා-එපාකම් ගැන සොයා බැලීම සහ මිත්‍රත්වය යොදා ගැනීම වගේ].

කහ මලේ උදාහරණය ගන්න. අප කියනවා නම්, යම යම් හේතූන් නිසා, “ඒක සුදුයි” කියා, ඒත් පසුව කල්පනා කර බලනවා නෑ ඒක කහපාටයි කියා. මේ දෙක එකිනෙකාට පරස්පර දැකීම්. ඒවා එකම මොහොතේ සත්‍ය ලෙස බාර ගන්න බැහැ. යම් විටෙක  කහපාට ප්‍රත්‍යක්ෂ කරයිද ඒ මොහොතේම සුදුපාට පිළිබඳ ප්‍රත්‍යක්ෂය පහවී යනවා. ඒවා කෙළින්ම එකිනෙකාට විරුද්ධයි. මේ නිසා, මානසික වෙනස්වීම ඇති කර ගත හැකි එක ක්‍රමෝපායක් තමා මනසේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් නිෂ්පාදනය කිරීම.

දුෂ්කරතාවලට තවත් හේතුවක් වෙන්න පුළුවන් නොදන්නාකම. ඒකට තියෙන ප්‍රතිවිරුද්ධ බලවේගය තමා අධ්‍යයනය කිරීම, විශ්ලේෂණය කිරීම සහ විමර්ශනය කිරීම. ඇයි ද කියනවා නම් යථා තත්ත්වය දකින්නේ නැතිකම මත තමයි නොදන්නාකම පිහිටා තියෙන්නේ.  මේ නිසා, නොදන්නාකමට විරුද්ධව ක්‍රියා කරන බලවේගය තමයි, විශ්ලේෂණය කිරීම. ඒ වගේම, තමුන්ට විතරක් ඇලුම් කිරීම යන කාරණයට විරුද්ධව ක්‍රියා කරන බලවේගය තමා අනුන්ගේ උවමනා එපා-කම් ගැන සොයා බැලීම. මේ විදිහෙන් තමා අපේ මනස හුරු කරවන්නේ [නැතිනම් අපේ නැඹුරුවීම් පිරිසිදු කරවන්නේ].

වීතාගමික සදාචාරය

අපේ මනස හුරු කරවන්නේ කොහොමද [නැතිනම් අපේ නැඹුරුවීම් පිරිසිදු කරවන්නේ කොහොමද] කියන කාරණයේදී ප්‍රශ්නය වෙන්නේ මේ සඳහා ආගම හෝ ආධ්‍යාත්මිකත්වය හෝ සම්බන්ධ වීම අවශ්‍යද යන්නයි. මා හිතන්නේ මූලික වශයෙන්ම මේක ආගමට කිසිසේත් අදාළ දෙයක් නෙවේ.
ආධ්‍යාත්මිකත්වය ගැන හිතද්දි, ඇත්තටම, ආකාර දෙකක් තියෙනවා. එකක් ආගම හා විශ්වාසය සමග බැඳුණු එකක්, අනෙක ඒවාත් සමග සම්බන්ධයක් නැති එකක්. ඒවාත් එක්ක සම්බන්ධයක් නැති එකට මා කියන්නේ “වීතාගමික සදාචාරය” කියා. “වීතාගමික” යන්නෙන් හැම ආගමකටම එක සමාන ආකල්පයක් සහ ඒ හැම එකකටම ගෞරව කිරීමක් අදහස් කරනවා මිසක ආගම ප්‍රතික්ෂේප කිරීමක් අදහස් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඉන්දීය ව්‍යවස්ථාව හැම ආගමකටම ගරු කර තියෙනවා. ඒක වීතාගමික ව්‍යවස්ථාවක්. මේ නිසා, පාර්සී සහ සොරෝස්ත්‍රාන්තික ප්‍රජාව ඉන්දියාවේ ඉතා කුඩා ප්‍රමාණයක් වුවත් - බිලියන ගාණක් ඉන්දීය මිනිසුනට සාපේක්ෂව ලක්ෂයක විතර ප්‍රමාණයක් - ඒ අයට හමුදාවේ සහ දේශපාලන තලවලදී සමාන තනතුරු ලැබෙනවා. 

අප වීතාගමික සදාචාරය ගැන කතා කරද්දී, එමඟින් ආගම් විශ්වාස කරන්නේ නැති අයගේ සදාචාරයත් අදහස් වෙනවා. වීතාගමික සදාචාර පදනමක සිට අපට පුළුවන් අපේ සදාචාරවත් බව සහ ගරු කිරීම තිරිසන් සතුන් දක්වාම දිගු කරන්න. ඒ විතරක් නෙවේ, වීතාගමික ආධ්‍යාත්මිකත්වයේ එහෙම නැතිනම් සදාචාරයේ තවත් එක් පැතිකඩක් තමා පරිසරය ගැන සොයා බැලීම. ඉතිං, අපට අවශ්‍ය වෙනවා වීතාගමිකව අපේ මනස අනුශීලනය කරන්න. අපි වීතාගමික සදාචාරය අනුශීලනය කරන්න අවශ්‍යයි. මේ පෘථිවිතලයේ සිටින මිලියන හයක ජනතාව එහෙම කරන්න අවශ්‍යයි. ආගමික පද්ධතිවලට පුළුවන් ලෝකය පුරාම වීතාගමික සදාචාර අනුශීලනය වඩාත් ශක්තිමත්ව රෝපණය කරන්න. ඒ අය තමා ඒක රෝපණය කරන්න උදවු කරන අතිරේක ක්‍රමෝපාය වෙන්නේ. ඒ අය කීයටවත් ඒක හීන කරවන්න අදහස් කරන්නේ නැහැ. 

ඒ විතරක් නෙවේ, අප වීතාගමික සදාචාරය ගැන කතා කරද්දි, අපට තියෙන්නේ කිසිදු ආගමික ගුරුකුලයකට අදාළ නැති ආකල්ප. ඉදින් කුමන හෝ ආගමකට අයත් කිසියම් පුද්ගලයෙකු වීතාගමික සදාචාරය ඉදිරියට ගෙන යන්න වැඩ කරනවා නම්, ඒ කෙනා ඇත්තටම ආගමික ලබ්ධිකයෙක්. ඒ අය එහෙම කරන්නේ නැතිව පල්ලියට, මස්දිජයට හෝ සිනගෝජයට යනවා වුණත් මට සැකයි ඒ අය ඇත්තටම ආගමික ලබ්ධිකයන්ද කියා [සදාචාරය යනු කුමක්ද යන්නත් බලන්න]. 

Top